Sinhala story Blog

මාර්තු 4, 2010

3.16 -මොනවද පුඩින් එකට දැම්මේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:46 ප.ව.

ලංකාවට ගොස් ආපහු ආ පසු සංජීවනී සිය සැමියා හා ළං වන්නට තැත දරද්දී පර්සි ඇයගෙන් ඈත් වන්නට උත්සාහයේ යෙදෙන සේයාවක් තිබුණි. ඇය තවමත් නිදන්නේ අමුත්තන්ගේ කාමරයේය. ඇයට ඇඳට එන්න එපා යයි කටින් නොකීවාට ඇඳේ ඉඩක් ඉතිරි නොකර ඔහු මෙට්ටයේ හරහට වැටී නිදන්නට පටන් ගෙන.

සංජීවනීගේ දුක්බර මුහුණේ රුවට පර්සි දැක්වූ කැමැත්ත දැන් පහව ගොස් ඇත්තේ ඇයගේ සිනහවක සේයාව ඇති මුහුණ ඔහුට නුරුස්සන නිසා ද?

පර්සිගේ දෙමාපියන් කැඳවා ආහාර වේලක් පිහා දෙන්නට සංජීවනී මුල් වුනේ සිය විවාහයට පණක් ලබා දෙන්න. ඒත් දැන් බලනකොට විවාහයක් ඇත්ද යන්න ප්‍රශ්නයක් වෙලා. දෙදෙනා මෙම නිවහනේ වාසයට පැමිණ වසර පහක් ළං වන්නට ඇත. එහෙත් ඔහු කිසි දිනෙක සිය දෙමාපියෝ කැඳවන්නට කටයුතු නොකළේ ඇයි? එය අහන්නට තරම් සංවාදයක් ඔවුන් අතර නැත. සංජීවනී කතාවක් පටන් ගන්නට ගන්නා හැම උත්සාහයක දීම පර්සි රූපවාහිනියේ ඇස් රඳවා ගෙන එයට වශීවී සිටියි. වචනයක් නොදොඩන ඔහුට කී යමක් ඇසුනාද නැද්ද යයි දැනගත නොහැකිය. දොස්තරවරයෙක් වුනාට රෑට පොතක් පතක් කියවන සිරිතක් ඔහුට නැත.

රාත්‍රියට ආහාර භෝජන සංග්‍රහය සූදානම් කරන්නට පෙර ගෙදර දොර මඳක් පිරිසිදු කරන්න යයි සංජීවනී වෙනදාට වඩා කළින් අවදි වූවාය. අමුත්තන් වෙනුවෙන් ඇති කාමරයේ ඇති තමාගේ රෙදිපිළි ඇය දෙදෙනාගේ නිදන කාමරයට ගෙන ගියාය. වටපිට බලා තියන්නට තැනක් හොයන ඇයට පර්සි සම්පූර්ණ කාමරයම තනියම අල්ලා ගෙන ඉන්නා බව වැටහුණි. සංජීවනීගේ ඇඳුම් කළින් තිබූ තැන් වල දැන් තබන්නට ඉඩක් නැත. අන්තිමේදී තමාගේ අඩුම කුඩුම සංජීවනී නැවතත් අමුත්තන්ගේ කාමරයටම ගෙන ගියාය.

පර්සි උදේ ආහාරයට ගත් දෑ සියල්ල අස් පස් කරන්නටම ඇයට තවත් කාලයක් ගතවුනි. ජනේල වල බැඳී තිබුණු මකුළු දැල් හා දුවිලි ඉවත් කරද්දී මකුළුවෙක් දකින්නට නැති නිවහනේ දැල් ඇත්තේ කෙසේදැයි ඇය කල්පනා කළාය. අකැමැත්තෙන් වුවද නාන කාමර හා වැසිකිලිය ද සුද්ද කර අවසානයේ ඇයට සීන් හිස රදයක් දැණින. ඇස්ප්‍රින් පෙත්තකින් හා වතුර වීදුරුවකින් එය සමනය කරන්නට ගිය කළ දවසේ මෙතෙක් කිසිවක් ආහාරයට නොගත් බව මතක් වුනි. ශීතකරණයෙන් ගත් බිත්තරයක් කඩා පැතැලි සාස්පානේ පිහාගත් ඇය බටර් නොගෑ පාන් පෙති දෙකක් අස්සේ එය හිර කරගෙන කෑවේ කුස්සියේ කවුන්ටරය අසල හිටගෙනමය.

වෙනදා නින්දෙන් අවදි වන වේලාවට ඇය අද මහත් වැඩ ගොඩක් අවසන් කර ඇත. තෙහෙට්ටුව ගතවෙලා ගෙන හිටගෙනම නින්ද යන තරමට සංජීවනීට දැඩි නිදිමතක් දැණින. ඇය තමා අස්පස් කර තිබුණ අමුත්තන්ගේ කාමරයේ ඇඳ මත ඇති ආවරණය එසේම තිබියදී ඒ උඩින් ඇල වුනේ පොඩ්ඩක් ඇස් පියා ගන්නටය. වටෙන් ගොඩෙන් පාත්වන කළුවර සමඟයි ඇය යළි අවදි වූයේ. ඇසිපිය විවර කරද්දී තමා ඉන්නේ මොන රටේ ද කියාවත් ඇයට නිනව්වක් නොතිබුණි. රාත්‍රී භෝජන සංග්‍රහයට කෑම ලැහැස්ති කරන්නට ඇයට දැන් ඉතිරිව ඇත්තේ කළින් සැලසුම් කලාට වඩා ඉතා අඩු කාලයකි.

“අම්මලත් එක්ක පීටර් එනවා.”

ගෙට ගොඩවදිමින් පර්සි කියයි.

“කවුද පීටර් කියන්නෙ?”

“එයා අම්මල ළඟ ගෙයකට අළුතින් පදිංචියට ආ කෙනෙක්.”

“ඉතින් අද මෙහෙ එක්කන් එන්නෙ? මම හිතුවෙ අපි හතර දෙනා විතරක් කියල.”

“එයා තනිකඩයෙක්. ඔයා ඉංග්‍රීසි කෑම හදන නිසා අම්මා එන්න කියලා තියෙන්නෙ.”

“මගෙන් අහන්නෙත් නැතුව.”

සංජීවනී තනිවම මුමුණයි.

“මොකක්ද කිව්වේ?”

“ඇගා එකේ රෝස්ට් එක. පොඩ්ඩක් බලන්න. මම ඇඟ හෝදගෙන එන්නම්.”

ඔහුට බැහැයි කියන්න ඉඩක් නොතියා සංජීවනී නාන කාමරයට දිව්වාය. පර්සි මුලින් නාන කාමරයට වැදුනොත් පැයකට එළියට එන්නෙ නැහැ. උණු වතුර ටිකත් ඔක්කොම ඉවර කරනවා.

ළඟ එන්නේ නත්තල් සමයයි. මාස ගණනක් තියා ඊට සැරසෙන එංගලන්ත ජනතාව නිසා මුළු රටම උත්සව ශ්‍රීයක් ගනියි. ආහාරපාන ද උත්සව කාලයට ඔබින ලෙසින් සකස් කෙරෙයි. රූපවාහිනියේ නැත්නම් එංගලන්ත ජනතාව හඳුන්වන ආකාරයට ‛ටෙලි’යේ වැඩ සටහන් ද උත්සව සමයේ ආහාර ගැන කතා බහෙන් පිරෙයි. අද සංග්‍රහයට සංජීවනී තෝරා ගෙන තිබුණේ ටෙලි වැඩ සටහනකින් ලියා ගත් ආහාරයන්ය. මීට පෙර කිසි දිනක අත්හදා නොබැලු ආහාර අමුත්තන් වෙනුවෙන් පිළියෙල නොකළ යුතු බව ඇයට කියා දෙන්නට කිසිවෙක් නැත.

“ප්ලම් පුඩින් එක පාට අප්සෙට් වුනාට සුවඳයි.”

කෑම කාමරයේ පැත්තකින් තබා ඇති මෙතෙක් නිම වූ එකම ආහාරය දිහා බලාගෙන පර්සි කියයි.

“ඒක දුඹුරු පාට පුඩින් එකක්. ඒකයි. කෝ අම්මලා තවමත් නෑනේ.”

“කෑම හදල ඉවර නැහැනෙ. ඔයා බාත්රූම් එකේ ඉන්දැද්දි කතා කළා. මං කිව්වා පොඩ්ඩක් පරක්කු වෙලා එන්න කියල.”

“මේ කෑම හදන්නේ කන්න ඔන්න මෙන්න කියල. රෝස්ට් එකයි පුඩින් එකයි විතරයි කළින් හදන්න පුළුවන් ඒව.”

ගෑස් හෝ විදුලිය භාවිතා කළ හැකි ඇගා උදුන කොටස් කිහිපයකින් යුක්තය. උඩින් ඇති උදුනේ බ්‍රොයිලර් කූරූ සවි කර ඇත්තේ යමක් පිහන්නට ඉහළින් ද රස්නය ලබා ගත හැකිවන පරිද්දෙනි. පහළින් ඇති තවත් කුඩා උදුනකි. සියල්ල මතුපිට ඉලිප්පී නැති කුකර් කොයිල් හතරකි. මෙය ඇගා අවන් කාණ්ඩයේ ඇති ඉතා කුඩාම උදුන වුවත් එහි අංග සියල්ලම උපයෝගී කර ගන්නා ආකාරය සංජීවනී කිසි දිනෙක සොයා බලා නැත. පිටත තද මෙටැලික් නිල් පැහැයෙන් බැබළෙන මෙම ආම්පන්නය මෙතෙක් දිනක් සුළුවෙන් පරිහරණයට ගැණුනකි.

“ඉතින් දැන් සේරම හදන්න. එතකොට එනකොට ලෑස්තියිනෙ. මට නම් බඩගිනිත් එක්ක.”

පර්සිගේ ඇස් නැවත දිවෙන්නේ ප්ලම් පුඩින් එක වෙතය.

“රෝස්ට් එක කොහොමද?”

“මං දන්නෑ.”

“අනේ පර්සි බලන්න කියලනෙ ගියේ.”

සංජීවනී කුස්සියට දිව ගියාය. උඩු උදුනේ දොර හැර බලන කළ එය දුම් දමමින් තෙල් හැම පැත්තකම විසි කරමින් පිළිස්සෙයි. පිටතින් රොස්ව ඇත. සැණෙකින් කුස්සියත් දුමින් හා තෙල් සුවඳින් පිරී ගියේය. එළියට ගත් පාත්තයාගේ කකුලින් සංජීවනී ඇල්ලූ විට කකුල් අණ්ඩ ගැලවී අතට ආවේය.

ළපටි කැරට් අල ටිකේ සිවි අහක් කරල කළින්ම සංජීවනී හෝදලා තිබුනෙ. කඩෙන් ලැබෙන්නෙම කොළ නැතුවනෙ. ගම්මිරිස්, දුරු ඇබිත්තක් එක්ක ලුණුයි, ශාර්ඩනේ වයින් කෝප්පයකුයි දාලා ඒ සේරටම උඩින් රතු සීනි පොඩ්ඩක් ඉහළ භාජනේ ඇතුල් කළා දුම නැති පහළ උදුනට. මිනිත්තු විස්සකින් ඒක ලෑස්තියි ටෙලියේ ගිය උයන පිහන වැඩ සටහනේ කියපු හැටියට නම්.

පුංචි රතු අල වල ගුණ සහ රස තියා ගන්න සිවිය අහක් කරන්න එපා කියල තමයි ටෙලියේ සූපවේදියා විස්තර කළේ. ඒත් ඉතින් එයා කියපු විදියට පාත්තයා රෝස් කරල පතුලේ රැඳෙන තෙල් වලින් අල උයන්න ගියාම රස ගුණ කෙසේ වෙතත් කොලෙස්ටරෝල් නම් වැඩි වෙනව.

සංජීවනී කැරට් අල ඉදෙන තෙක් රතු අල ටිකක් උඩට දැම්ම ඔලිව් තෙල්. ඒක දැම්මා පාත්තයා එළියට ගත්ත උදුන ඇතුළට. කඩෙන් ගෙනාපු පාන් රෝල් දාන්න පිඟානක් ලෑස්ති කළා. ටෙලියෙ කියපු ආකාරයට මේසෙට තියන්න ළං වෙලා උදුනෙ දාලා පාන් රත් කරන්නයි උපදෙස් දුන්නෙ. ඇගා එකට පාන් දාන්න යකඩ තැටියකුත් පිඟාන අසලින්ම ඇය තිබ්බේ අමතක නොවෙන්න.

“ඔන්න ඔයාගෙ කෑම රහ බලන්න අපි සුද්දෙකුත් එක්කන් ආවා.”

පර්සිගෙ අම්මා කුස්සියට ඇතුල් වුනේ එහෙම කියාගෙන. අතුරුපසට එක් කරන්න කියලා ඇය පළතුරු සලාදයක් අරගෙන ඇවිත්.

“රෝස්ට් එක පිච්චිලානෙ.”

ගැලවිච්ච පාත්ත කකුල් අණ්ඩ අතට අරන් ඇය සංජීවනී දිහා එල්ල කළේ අප්‍රසන්න බැල්මක්.

“පාත්තයා පොඩ්ඩක් පිච්චුනාට මොකෝ ඇතුලෙ තියන මස්නෙ කන්නෙ. හමනෙ පිච්චිලා තියෙන්නෙ. ඒක ගලවලා තියන්න බැරි ද?”

ඒ අහන්නේ පර්සිගෙ අම්මා පිටුපසින් කුස්සියට ඇතුල් වුනු පර්සිගෙ තාත්ත.

“අර පිට මනුස්සයෙකුත් ඉන්න කොට?”

මම නෙමෙයිනෙ පිට මනුස්සයන්ට ආරාධනා කළේ කියන්න හිතට ආවත් සංජීවනීට මුකුත් කියන්න ඉඩක් ලැබුනෙ නැහැ. ඇගා එක ඇතුලේ රෝස්ට් එකෙන් විසි වුනු තෙල් නිසා රතු අල දුම් දාන්න පටන් අරන්. ටෙලියෙ වැඩසටහන් වල විශාල ප්‍රමාණයේ ඇගා කිහිපයක්ම තියෙනවා කෑම හදන්න. එකක් තෙල් වලින් නැහැවුනාම එයාලට පාවිච්චි කරන හොඳට සූද්ද කරපු අළුත් ඒවා තියෙනවා.

“ගන්න ගන්න ඇතුලෙ තියන එක. ගේ ගිනි තියන්න ද හදන්නෙ?”

“තව මිනිත්තු දහයක් තියෙනවා තැම්බෙන්න.”

උදුනේ පියන ඇරියාම කුස්සිය ආයෙත් සැරයක් දුමෙන් හා තෙල් සුවඳින් පිරිලා ගියා. රතු අල තැම්බිලා ඉවර නැහැ. අල බාගෙට උණු වතුරෙන් තම්බලා පස්සෙයි උදුනෙ රෝස් කරන්නෙ කියලා ටෙලියේ කියද්දී සංජීවනී ඒක ඇහෙන පැත්තක නෙමෙයි හිටියෙ. කුස්සියේ මේස මත රෝස් වුනු පාත්තයයි බාගෙට උයපු රතු අලයි. සංජීවනී කැරට් අල එළියට ගත්තෙ දුම් ගහන්න කළින්. පාන් රත් නොකර පිළිගන්වන්න ඇය සිතුවා. සීතකරණය තුළින් කළින් සූදානම් කරන ලද කොළ සලාදය ඇය මේසයට ගෙනාවේ එහි වැරැද්දක් වෙන්න බැහැ කියා සිතමින්. එහෙත් ආවරණයක් නොවූ භාජනයේ සලාද කොළ මැලවී රවුම් කපාපු පිපිඤ්ඤා වලින් වතුර උනා තිබුණ. පිපිඤ්ඤා පෙති වලට දෙහි ඇඹුල් පොඩ්ඩක් ඉහල වෙනම භාජනයකටත් සලාද කොළ තෙත තුවායකින් වහල වෙනම භාජනයකයටත් දාලා සීතකරණයට දැම්මා නම් කොළ මැළවෙන්නෙ නැහැ කියලා සංජීවනීට උපදෙස් දෙන්න කෙනෙක් ළඟපාතක නැහැ.

“මේ කෑම කොහොමෙයි දෙන්නෙ අමුත්තෙකුට. මං කියන්නම් පර්සිට පිට්සා එකක් ඕඩර් කරන්න කියලා.”

සංජීවනීට එහෙම කියපු පර්සිගේ අම්මා කවුරුත් පිළිතුරක් දෙන්න කළින් කුස්සියෙන් පිටව ගියාය. ඇය පිටුපසින් පර්සිගෙ තාත්තා ද පිටව ගියේ පාත්තයා දිහා තවත් සැරයක් බලල. එයාට නම් රෝස් වුනත් පාත්ත මස් කන්න ආස හිතිල ද කොහෙද. සංජීවනී කිසිත් නොකියා අවුල් ජාලයක්ව තියෙන කුස්සිය දිහා නෙත් යොමු කළේ අස්පස් කරන්න කොපමණ කාලයක් ගතවෙයිද කල්පනා කරමිනි. ඒ ඩිංගට රතු අල මතුපිට තෙල් සීතලට මිදිල සුදු පාට තට්ටුවක් බැඳිල.

“පීසා එක එනකන් පුඩින් එක කමු කියල පුතා කියන්නෙ. ඔය මං ගෙනාපු පළතුරු සළාදයත් ගමු.”

නැවත කුස්සියට ආ පර්සිගෙ මව පුඩින් එක කපන්න පිහියක් අරගෙන පළතුරු සළාදයත් අරන් කෑම කාමරයට ගියෙ සංජීවනීට කිසිවක් කියන්න ඉඩ නොතිය. ඔවුන් සතුටු සාමීචියේ යෙදෙනා සුහද සංවාදය ඇයට ඇසෙයි. එහෙත් ඊට එක් වන්නට ඇයගේ සිතට උවමනාවක් නොදැනින. හිටිහැටියේ විසිත්ත කාමරයෙන් යමක් පුපුරන හඬ ඇසිණ. සාලයේ පැත්තක ඇති ගිනි උදුන ඉදිරිපිට සියල්ලෝම හිටගෙන.

“මොනවද එළියට විසි වෙනවා ගිනි උදුනෙන්.”

ඒ පර්සිගෙ අම්මා.

“මේක ගෑස් උදුනක්. දර නෑනේ.”

ඒ පර්සි.

“මේකෙ උඩට මොනවද දාලා.”

ඒ පර්සිගෙ තාත්තා.

“චෙස්ට්නට්”

එලියට විසිවුනු ඇටයක් පළා එහි මදය කටට දා ගත් අමුත්තා කීය.

නත්තල් සමයේ සුප්‍රසිද්ධ ගීතයකින් ගැයෙන ඇරුණු ගිනි මත දැවෙන චෙස්ට්නට් පිළිබඳව ඇසුන සංජීවනී දහවල් කාලයේ දී බොරු දර කොටන් මත චෙස්ට්නට් නැමති ඇට වර්ගය පුළුස්සන්ට තැතක් ගත්තාය. එය ඇයට සහමුලින්ම අමතකව ගොස් තිබුණි. වෙනදාට අවුළුවන්නේ නැති මෙම ගිනි උදුන අද පර්සි දල්වා ඇත්තේ සාලයේ අසුන්ගෙන සතුටු සාමීචියේ යෙදෙන්නටය. සංජීවනී එහි ඇතුරූ ඇට තවමත් තෙතමනයෙන් යුතුය. ඇටයේ පැත්තක පොඩි හිලක් හදන්නට අවශ්‍ය බව ඇය නොදත් හෙයින් ඇතුලත ඇති වතුර උණුවී බුබුළු දමා ඝන පොත්ත පුපුරමින් චෙස්නට් හැම අත විසිවෙයි.

පිට්සා රැගෙන ආ අය ගෙදර සීනුව නාද කරයි. කිසිවකුටත් නොපෙනෙන්න සංජීවනී නැවතත් කුස්සියට රිංගුවාය.

කුස්සියේ ඉයූ පිහූ ආම්පන්න ඇය සෝදා පවිත්‍ර කළේ හිතට දැනෙන කනස්සල්ල මකා ගන්නත් එක්ක. ආයෙත් සාලයට යන්න ඕනෑකමක් නොතිබුණෙන් කාලය ගෙවෙනවා ඇයට දැනුනෙ නැහැ. සංජීවනීව කෑම කාමරයට කැඳවන්න කිසි කෙනෙක් ආවෙත් නැහැ.

“මොනවද පුඩින් එකට දැම්මේ?”

“ඇයි මොකද?”

“හැමෝගෙම බඩ බුරුල් වෙලා.”

“එනසාල්, කරදමුංගු, කරාබු නැටි… ”

“කොහෙන්ද ප්ලම්ස් ගත්තෙ?”

“ප්ලම්ස්….?”

“ප්ලම් පුඩින්? ප්ලම්ස්?”

“ප්ලම්ස් නෑ ඒකෙ. දාන්න කියල තිබුනෙ පෲන්ස්.”

පර්සි බඩ අල්ල ගෙන නාන කාමරයට දිව ගියා. අමුත්තො ආපහු ගිහින්. පිට්සා ගෙනාපු පෙට්ටි දෙක බාගෙට ඉතුරු වුනු පිට්සා කෑලි එක්කම මේසේ උඩ. කවුද දන්නෙ පෲන්ස් බඩ විරේකයක් කියල. පුංචි කාලේ ඉඳලම මෙහෙ හැදුණු වැඩුනු ඒ අයත් ප්ලම් පුඩින් හදන්නෙ පෲන්ස් වලින් කියල නොදන්නවා නම් සංජීවනී මොනවා කරන්නද? අනෙක කවුද නිසැකවම දන්නෙ බඩ බුරුල් වුනේ පිට්සා වලට නෙවෙයි කියල.

දින සතිවලට හැරුනෙත් සති මාස වලට හැරුනෙත් නොදැනීම. ජීවන රටාවේ ඒකාකාරී බවට හුරු වෙමින් සංජීවනී කෙමෙන් කෙමන් නැවතත් නොදැනීම ගත කරන්න පටන් ගත්තේ එයා වෙනස් කරන්න අදිටන් කරපු ජීවිතයයි. කාලයත් එක්ක ඒ බව මතකයෙන් ගිලිහී ගියා.

කෙනෙක් හිතන්නෙ වැටුනු වලකින් ගොඩ එන්න පිටතින් උදව්වක් අවශ්‍ය යයි කියල. වතාවක් දෙකක් දහිරිය දාලා තනියම වෑයමක් ගත්තත් ඒකෙන් ප්‍රතිඵලයක් නොලැබුනාම උත්සාහය අත අරිනවා. වලෙන් ගොඩ ඒම ගැන බලාපොරොත්තුවක් තියා ගන්න එකත් හිතට වේදනා ගෙන දෙන්නක් නිසා අන්තිමට කරන්නේ කිසිම අරමුණක් නැතිව වල තුළම “බකන් නිලාගෙන” ඉන්න එක.

Advertisements

ප්‍රතිචාර 4 »

  1. ම්ම්ම්….. දවස් කීපෙකින් සද්දයක් නෑ නේ….

    ප්‍රතිචාර විසින් සුදම් — මාර්තු 9, 2010 @ 11:05 පෙ.ව.

  2. මමත් බලා හිටියා.. මොකක් හරි කරදරයක්වත් ද ??

    ප්‍රතිචාර විසින් සු — මාර්තු 11, 2010 @ 12:57 පෙ.ව.

  3. කාලෙකට පස්සෙ කියෙව්වෙ… ගොඩාක් වැඩ තිබුන…

    ප්‍රතිචාර විසින් indik — මාර්තු 13, 2010 @ 1:51 පෙ.ව.

  4. R u ok? Hope you are just busy.

    ප්‍රතිචාර විසින් Kulendra — මාර්තු 14, 2010 @ 11:59 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: