Sinhala story Blog

මාර්තු 2, 2010

3.14 -මොකද මචං. අවතාරයක්වත් දැක්කද?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:10 ප.ව.

කෝ මෙහාට දෙන්න. හරියට පොලිෂ් කරලා නෑ සපත්තු දෙක.”

ප්‍රීනි සපත්තු දෙක අරන් ගියේ සමන්ත මේස් දෙකත් දාගෙන සපත්තු වලට බහින්න ලැහැස්ති වෙද්දි. කළු කබාය, කළු කලිසම, සුදු හෝ කළු කමිසය, කළු ටයි පටිය, කළු මේස්, කළු සපත්තු. ඒ හැමදාම උසාවියට පැළඳිය යුතු පාට. සමන්ත නිවාඩු දවස එනකම් බලාගෙන ඉන්නෙ වෙන පාටක් අඳින්න. මදැයි දැන් මෙයා මෙහෙකාරියට ගෑස් දාලා දුඹුරු පැහැති සපත්තු දෙක පොලිෂ් කරන්න වරුවක් ගනියි.

ආපහු ගේන්න කිව්වට වැඩක් වෙන්නෙ නැති බව සමන්ත දන්නවා. ප්‍රීනි යමක් කරන්න හිතුවොත් කඹ දාලා, අලි දාලවත් ආපහු ඒකෙන් ඇදලා වෙනතකට ගෙනියන්න බැහැ. පොළවෙ ගෑවෙන්නෙ නැතුව දුඹුරු, රතු, සහ කහ පාට එකතු රටාවකින් යුතු මේස් දමාපු කකුල් දෙකත් උඩට අරන් පුටුවෙ අසුන් ගත් සමන්ත අරමුණක් නැතිව බලා ගත්තු අත බලාගෙන හිටිය.

ගේ ඇතුලෙන් එන්නේ ප්‍රීනිගේ කටහඬයි. මෙහෙකාර කෙල්ලට සපත්තු ඔප දමනා ආකාරය සවිස්තරව ඇය කියා දෙන ආකාරයට සමන්ත සවන් දුනි. මදෑ, කියලා දෙන්න ගිය කාලෙට පොලිෂ් කරලාම පෙන්නන්න තිබුණ, ඔහු සිතීය.

පාපැදියක් සීනුව ගසමින් නිවසට යාබද කුඩා පාරේ යයි. උස් තාප්පය නිසා පාර පුරා මිනිස්සු ඉන්නවාද නැද්ද යයි දැක ගත නොහැකිය. මාර්ගයේ යන්නන්ගේ කතාබහක් නොඇසේ. බෙල් ගහන්නේ ආසාවට වෙන්නැති. අවට ගෙදරක බල්ලෙක් පාපැදියේ සීනුවට උරණව බුරයි.

වාද විවාදයන්ගෙන් නිතරම කන් පිරී යන පරිසරයක කාලය ගෙවනා කෙනෙක් කතා බහෙන් තොර නිසංසල බවට දක්වන්නේ දැඩි ආශාවකි. එහෙත් ඒ වාතාවරණයම තවත් අයෙකු නොසංසුන් කරවයි. හඬක් නැති පරිසරයක තමා ජීවත් වෙනවාද නැද්ද යයි දැන ගන්නේ කෙසේද කියා කිසියම් දාර්ශනියෙක් ප්‍රශ්න කර තියෙනවා නේද? කතාබහෙන් තොර කාලයක් ප්‍රීනි අසල දී නම් කිසි කෙනෙකුට නොලැබේ.

“ඔයා උපවංශගේ කේස් එක කියෙව්වද?”

මෙහෙකාරියට සපත්තු ඔප දැමීමේ නිමාව පවරා ප්‍රීනි අවුත් හාංසි පුටුවේ හරි බරි ගැසී වාඩි ගත්තාය.

“අද නිවාඩු දවසේ ඕවා ගැන කතා නොකර ඉම්මු.”

බිරිඳ දෙස නෙත් යොමු නොකළ ද ඇයගේ උකුලේ ඇත්තේ නඩු විභාග ගැන පිරුණු ෆයිල් කවර බව සමන්ත දනියි.

“අප්පච්චියි අම්මියි දෙන්නම බලාගෙන ඉන්නේ ඔයාගෙ අදහස දැන ගන්න.”

ප්‍රීනිට කවදත් තමාගෙ අදහසට පිටින් යන ඒවා ඇහෙනවා අඩුයිනෙ. සමන්තගෙන් ප්‍රතිචාරයක් නැත.

“දිනුවත් නැතත් කේස් එකට පෙනී ඉන්න….”

“ප්‍රීනි…”

ඇයට වාක්‍යය අවසන් කරන්න සමන්ත ඉඩ නොදී අසුන් ගෙන උන් හාංසි පුටුවෙන් නැඟිට්ටේ මේස් දැමූ පා පොළවෙ තබමිනි.

“අදවත් අපි නඩු ගැන කතා නොකර ඉමු. නිවාඩු දවස කියන්නෙ නිවාඩු ගන්න. ගේන්නකො මගෙ සපත්තු දෙක. ඔය මැද්දා ඇති. මං මේ චාමරයාගේ ගෙදට්ටනෙ යන්නෙ.”

“ඔයා දැන් හොඳ ප්‍රසිද්ධ නීතීඥයෙක්. කොහේ ගියත් හොඳට ලැහැස්ති වෙලා යන්න ඕන.”

ප්‍රීනි පවසන්නේ ලිපි ගොනු වලින් දෑස් මෑත් නොකර. සමන්තට කෙසේ වෙතත් ඇයට නම් උපවංශගේ නඩුව කුතුහලය දනවන්නකි.

“සපත්තු මැදලා ද නැද්ද කියල දකින්නෙ ඔයා විතරයි ප්‍රීනි.”

“සම්පූර්ණ පුද්ගලයා සමන්ත මම දකින්නෙ. සපත්තු දෙක විතරක් නෙමේ. ඔළුවේ ඉඳන් සපත්තු කුට්ටම දක්වා බැලුවම කියන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා.”

ප්‍රීනිගෙ මහ ලොකු කයිවාරු කතාව වුනාට එයා හිස ඔසවා සමන්ත දිහා බැලුවේ නැහැ. ඔළුව පොඩ්ඩක් ඉස්සුවා නම් සමන්ත නිකට උස්සලා ඇද කරන හැටි ප්‍රීනි දකිනවා. සපත්තු නැති මේස් වලින් ආවරණය වූ කකුලින් යුත් ඔහු හිට ගෙන පොඩි ළමයෙක් වගේ සිය භාර්යාවට නිහඬව ඔච්චම් කරන හැටි දැක්කෙ මැදපු සපත්තු දෙකත් අරගෙන එතැනට ආ තරුණ මෙහෙකාර කෙල්ල. ඒ දර්ශනයෙන් පැන නැඟුනු සිනහව පිට නොවන්නට ඇය කට අතින් වසා ගත්ත ද එය සාර්ථක නොවුණි. ඇයගේ මුවෙන් පැන්න සිනහව ප්‍රීනිගේ හිස ඔසවන්නට සමත් වුනා. එහෙත් මුවෙන් පැන්න සිනහව අතෙන් වසා ගන්නට ඇය දැරූ තැත නිසා මෙහෙකාරියගේ අතේ තිබුනු සපත්තු කුට්ටම ගිලි හී වැටුනේ ප්‍රීනිගේ කකුල් උඩට.

“ඌයියා… මොන විසයක් ගහල ද මන්දා.”

ප්‍රීනි කිව්වේ නිකට ඇද කරපු සමන්තට ද නැත්නම් ආපහු හැරී ගේ තුලට දිව්ව මෙහෙකාර කෙල්ලට ද?

“සොරි ප්‍රීනි.”

ඒත් සමන්තට සිනාව මැඬ ගන්න පහසු වුනේ නැහැ. ඝන සපත්තු ඇද වැටුනු සියුමැලි දෙපාවල වේදනාව පහ කරන්න එය පිරිමදිනා ප්‍රීනි වෙත සමන්ත ඉක්මණින් යන්න තැත් කළා.

ඒත් සපත්තු හරියට මැද්දෙ නැති වුනාට මෙහෙකාර කෙල්ල පොළව නම් ඕනෑවටත් වඩා ඔප දාලා. ටයිල් වල ගාලා තියෙන පොලිෂ් නිසා මේස් පමණක් පැළැඳ ඉන්න සමන්තගෙ ඉක්මන් පා ලෙස්සලා යැව්වෙ හිස නමාගෙන තම දෙපා වලට ප්‍රතිකාර කරන ප්‍රීනි දිහාට. සමන්ත නතර වුනේ ප්‍රීනිගේ ඔළුවේ හැප්පිලා.

“සොරි, සොරි මයි ඩියර්. වෙරි සොරි.”

හිසේ සහ දෙපා වෙතින් ඇති වේදනාව එතරම් නොවුව ද මෙහෙකාරිය ඉදිරියේ තමාව හෑල්ලු කිරීමට නම් සමන්තට සමාව දීමට ප්‍රීනිට නොහැකිය. සමන්ත සමාව යදින්නේ තවමත් සිනහ වෙමිනි. එයින් ප්‍රීනිගේ තරහ වැඩි වුණි. ඇය පුටුවෙන් නැඟිට ලිපි ගොනු පුටුවට විසි කර නිදන කාමරයට ගියාය.

ඇය පසු පස යන්නට නැඟිට ගත් සමන්ත සපත්තු තුළට දෙපා දමන්නට සූදානම් වෙද්දී අලුත ඔප දැමූ පොළවේ ඇතිරුණු රතු පොලිෂ් සිය මේස් දෙක පුරා තැවරී ඇති අන්දම දැක්කේය. සපත්තු දෙක අතින් රැගෙන ඔහු නිදන කාමරයට ගියේ ප්‍රීනිට ඒ බව පෙන්වන්නටයි. එහෙත් තරහ මුහුණ කොට්ටයේ ඔබා ගෙන ඉන්නා ප්‍රීනිගේ රූපය දැක්ක සමන්ත එයින් මෙහෙකාර කෙල්ලට තවත් දෝෂාරෝපණ එල්ල වෙයි සිතා නිහඬව වෙනත් මේස් කුට්ටමක් පය ලා ගෙන කාමරයෙන් පිටව ගියේ වචනයක් වත් නොදොඩා.

චාමරගේ නිවසේ උළුවහු පඩිපෙළ නැඟ ඉස්තෝප්පුවට ගොඩවත්ම සමන්තගේ මතකයට ආවේ වසර ගණනාවකට පෙර නීති විද්‍යාලයේ තරප්පු පෙළ දී තමා අබියසට පෙරලී වැටුනු ප්‍රීනි හා අහඹු හමුවීම පිළිබඳ මතකයයි. ඔහුගේ හදවතට ශෝකයක් දැනිණ. එහෙත් එය ඇයි කියා වටහා ගන්නට ඔහුට නොහැකියි.

“මොකද මචං. අවතාරයක්වත් දැක්කද? ඇතුලට එන්නැතුව බලන් ඉන්නෙ?”

ඇරුණු දොර උළුවස්ස අසල සමන්ත හිටගෙන. චාමර නිවහන ඇතුලේ ඇරුණු දොරට මුහුණලා පිහිටි ආසනයක දිගාවී පවසයි. චාමර අසලින් බටහිර සංගීතය ස්ටීරියෝ පෙට්ටියකින් ගිගිරුම් දි දී නාද වෙයි. කිසිත් නොකියා සමන්ත ද යහළුවා අසලින්ම අසුනකට බර දුන්නේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: