Sinhala story Blog

පෙබරවාරි 28, 2010

3.12 -අමුත්තන්ට දෙන කාමරේ නිදා ගන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 9:33 ප.ව.

සංජීවනීත් රුක්ෂානිත් රටෙන් පිට වුනේ හසන්තිගේ ආච්චිට සුවය ලබා රෝහලෙන් ගෙදර රැගෙන ආ පසුවය.

පොරොන්දු වූ පරිදි චූටි මැණිකා සිය පොතපතත් ඇඳුම් සූට්කේසයකුත් රැගෙන හසන්තිගේ නිවසට ගියාය. පොඩි මැණිකා හා විවාහ වන්නට සුදුසු කෙනෙක් සෙවීම ලංකාවේ ඉන්නා හසන්තිට, ප්‍රීනිට, අමරදාසට හා ලොකු මැණිකාට පැවරිණ. ඇයගේ විවාහයට මැණිකෙලා තුන් දෙනාම සිතුවාට වඩා ලොකු මුදල් පරිත්‍යාගයක් රුක්ෂානිගේ ඩැඩී නම් කළේය. එය දෑවැද්දක් නොව පොඩි මැණිකාගේ පරිහරණය සඳහා ඇයගේ නමෙන් බැංකුවක තැන්පත් වන්නක් බව ඔහු තරයේ කියා සිටියේය. රටෙන් පිටත් වන්නට පෙර සංජීවනී සිය මෑණියන් විසින් දුන් තෑගි බෝග සියල්ල පාර්සල් අරින්නේ වත් නැතුව පොඩි මැණිකාට දී ගියේය.
 
“කළු වෙලා අව්වේ ගිහින් ද කොහෙද.”
 
මාස දෙකකට පසු ගුවන් තොටුපළේ දී සිය බිරිඳ පිළිගන්නා පර්සි ඉඹුලානගේ කටෙන් පිටවුනු පළමු වාක්‍යය එයයි.
 
“එහෙ මෙහෙ ගියා තමයි වෙඩින් එකේ වැඩට. ඊට පස්සෙ හසන්තිගේ ආච්චි අසනීප වුනානෙ.”
 
මාස දෙකට සිය සැමියා මඳක් තරබාරුව ඇතැයි සිතුණ ද ඇය එය වදනින් පිට නොකළාය.
 
ඔවුන’තර කවදත් වැඩි කතා බහක් කෙරුණේ නැත. හීත්-රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව මෝටර්වේ එකේ ගමන් කරද්දී සංජීවනී ලංකාවේ තොරතුරු කියන්නට තැත් කළ ද ඔහු අවධානය යොමු නොකරන බව දැනුනු හෙයින් ඇය කට පියා ගත්තාය.
 
රුක්ෂානි ගුවන් තොටුපළෙන් පිටව ටැක්සියකින් ගෙදර ගියේ තනිවමය. ඇය පදිංචිව ඉන්නේ වාහන සුලබ ජනගහණය පිරි නගරයේ මැදය. ඒ පැත්තට රථය ධාවනය කරන්නට පර්සි අකමැතිය. ඒ නිසා සංජීවනී තම යෙහෙළිය ගිහින් ඇරලවන්න හැකි දැයි ඔහුගෙන් ඇසුවේ ද නැත.
 
“කොහොමද අම්මයි තාත්තයි?”
 
“කෝ අද බලන්න යන්න බැරි වුනානේ.”
 
අද සෙනසුරාදා බව සංජීවනීට මතක් වුනේ එතකොට. ඒත් මෙතෙක් දවසක් සෑම සති අන්තයකම ඔවුන් හා කාලය ගෙවූ ඔහුට මාස දෙකකින් නොදැක්ක තමාව පිළිගැනීමට වඩා දෙමාපියන් දකින්නට නොයෑම හිතේ බලපාන බව වැටහුන සංජීවනීගේ හිතට සියුම් වේදනාවක් දැනුන.
 
“අපේ ගෙදර එන්න කියන්න දවසක. මම රෑට උයන්නම්.”
 
ඇයටත් නොදැනීම එම වදන් ඇයගේ මුවෙන් පිටවුනි. මෙතෙක් දිනක් සංජීවනී මෙවන් කටයුත්තකට අත ගහන්න කැමති වුනේ නැහැ. හරියාකාරව උයන්න පිහන්න නොදැන කෑම සංග්‍රහයකට ආරාධනා කරන්න ඇය ඉදිරිපත් වුනේ ප්‍රීනිගෙ මංගල්‍යයේ දී නෑඳෑයෝ සතුටෙන් එකවෙන හැටි හිතේ සටහන් වුන නිසාද?
 
“අහල බලන්නම්.”
 
උදාසීන ස්වරයෙන් පර්සි උත්තර දුන්නෙ. කාලයක් නොදැක්ක ඔහු දිහා හොරෙන් හොරෙන් සංජීවනී වාහනයේ ගමන් කරද්දී නෙත් යොමු කළාය. ඔහුගේ මළානික ඇස් වල කිසිම ප්‍රීතියක් ඇය කිසි දිනෙක දැක නැති බව සංජීවනීට අවබෝධ වුනේ හද ගැස්මක් එක්ක. වෛද්‍ය වෘත්තියේ යෙදෙන පර්සි නිවාඩුවක් ලැබුන ද එළිමහනේ කාලය ගත නොකරයි. ඔහුගේ සම ඇස් වලට ගැලපෙන මළානික පාටකින් යුතු බව ඇය දුටුවාය. සිය විවාහ ජීවිතයේ ප්‍රථම වතාවට සිය සැමියා හරියාකාරව දැක ඇය සන්තාපයට පත්වීය.
 
“කොහොම හරි හදා ගන්න ඕනා.”
 
ඇයට සිහින් හඬෙන් තොල් මැතුරූ වචන කටින් පිටවුන බව ඇහෙන කොට පර්සිට ඒක ඇහිලා ඉවරයි.
 
“ම්…මොකක්ද කිව්වේ?”
 
“ඔයා රෑට කෑවද? ගෙදර හදාගන්න මොනවා හරි තියෙයි ද?”
 
ඇය ඔහුගෙන් ප්‍රශ්න කළේ පිළිතුර දැන දැනය. පර්සි එළවළු මාළු ගන්න කඩයකට යන කෙනෙක් නොවෙයි.
 
“කන්න මොනා හරි අරන් යමු.”
 
ලංකාවේ දී තම මෑණියන්ගේ නීරස ජීවිතය දුටු සංජීවනී එයින් කළකිරුණේ වැඩිහිටියෙක් හැටියට මව තමා පාලනය කරන්නට අන් අයට ඉඩ දී ඇති හෙයිනි. එවැනිම වූ ජීවිතයක් කරා තමා ද සෙමෙන් සෙමෙන් පියවර තබන බව ඇයට ඉවෙන් මෙන් වැටහිණ.
 
සංජීවනී ළාබාල වයසෙන් යුග දිවියට පා තැබූවෙකු වුව ද එවන් අයට වඩා වෙනස්ය. ලැබූ කාල සීමාව කෙටි වුව ද ඇය විශ්ව විද්‍යාල ජීවිතයක් අත්දැක ඇත. නිදහස යන්නේ රස යාන්තමෙන් දිව ගා බලා ඇත. තමන්ට සුවිශේෂි වූ සුන්දර අනාගතයක් ගැන එක් දිනෙක සිහින මවා ඇත. එය ඒ ආකාරයෙන් ඉටු නොවුන ද සිය මව වැනි අන්‍යයන්ගේ රූකඩයක් ලෙස නම් තමා ජීවත් වන්නට අකමැති බව සංජීවනී පසක් කර ගත්තාය.
 
ආදරයෙන් නොබැඳි තමන් හා කිසිවක් කතා බහෙන් බෙදා නොගන්නා කෙනෙක් හා පවුල් කන හැටි ලියැවුන පොත පතක් ඇත්දැයි රුක්ෂානිගෙන් වත් අහන්න අවශ්‍ය යයි සංජීවනී තීරණය කලාය. යෙහෙළියන් හැරුණු කළ ලොව තමාට ඉතිරිව ඇත්තේ පර්සි පමණි. එය හිත රිදුම් දෙන අවබෝධයක් වුව ද කෙසේ හෝ තම ජීවිතය අර්ථවත් කර ගැනීමට ඇය අදිටන් කළාය.
 
තමන් සේවය කරන ආරෝග්‍යශාලාව අසලින්ම වූ නිවාස සංකීර්ණයක වාසය කරන පර්සි වාහනය රැගෙන යන්න දන්නේ සීමිත පාරවල් කිහිපයක පමණි. ලන්ඩන්හි නගරය මැද ඇති මාර්ග තදබදය මඟ හරින්නට උත්සාහ කරන ඔහුට නගරයේ මං මාවත් පිළිබඳ අවබෝධයක් නැත්තෙන් අතරමං වන අවස්ථා බොහෝය. එහෙත් කිසිවකුගෙන් නිවැරදි පාර අසන්නට ඔහු කැමති නැත. එකම වට රවුම් වලට දෙතුන් වතාවක් එන ඔහු හඳුනාගත හැකි පාරක් දකිනා තුරු රිය හැම අතම ගෙන යයි. සංජීවනී කට පියාගෙන පිටත සිරි නරඹන්නේ එවන් අවස්ථාවක ඇයට තමා වෙසෙන නගරයේ සිරිය දැක බලා ගනු හැකි නිසාය.
 
සති අන්තය නිසා නගරබද මහමඟ වාහන ස්වල්පයකි. ආපනාශාලා වලට එක් රොක්ව මැදිවියේ ලන්ඩන් වැසියෝ අල්ලාප සල්ලාපයේ යෙදෙති. පරණ බස් ඩිපෝවක පටන් ගත් “මිනිස්ට්‍රි ඔෆ් සවුන්ඩ්” නැමති ඩාන්ස් ක්ලබ් එක ඉදිරියේ කල්ලි ගැසී ඇතුලට යන්න තම වාරය එනතුරු සීතලේ ගැහෙමින් අතේ ඇඟිලි වලට කටෙන් උණුසුම් හුමාලය පිඹමින් සතුටෙන් නළියන තරුණ රංචුය. නිවාඩු සති අන්තය කෙළිලොල් ලෙස ගත කරන්නෝ පසුකර මේ දෙදෙනා වාහනයේ ගමන් ගත්තේ වසර කිහිපයක් විවාහව ඉන්නා දෙදෙනෙකු සේ නොව ආගන්තුකයෝ දෙදෙනෙක් සේය.
 
හදිසියේම පර්සි වාහනය නවතා සංජීවනී එහි සිටිය දී ම කිසිත් කතාවක් නැතුව වාහනයෙන් බැස ගියේය. ඔහු වාහනය නවතා තිබුණේ විල්ටන් පාරෙහි ය. කොළ පැහැති වැටකින් බෙදුන චීන ආපනශාලා දෙකක් වැටෙන් දෙපැත්තෙහි ය. එකක් “චොප්ස්ටික් එක්ස්චේන්ජ්” නමෙන් හැඳින්වෙයි. අනික “කිම්ස්” ලෙසින් නම් වෙයි. තමන්ගෙන් කිසිවක් නොඅසා වාහනයෙන් බැස ගිය පර්සි ගැන අළුතෙන් දැනෙන සියුම් නොරිස්සුම් ගතිය හිතේ කොණක පොඩි කරණමක් ගැහැව්ව ද ඇය නිහඬ වූවාය. යම් ආහාරයක් සඳහා ඇති තමාගේ කැමැත්ත අකැමැත්ත පර්සි කිසිදා හෝ අසා තිබේද ගැන සංජීවනීට නිනව් නැත.
 
තමන් ආපසු රටට පැමිණීමේ ප්‍රීතියෙන් ඔහු තමාව පුදුම කරවනු සඳහා “කිම්ස්” වැනි රස නහර පිනවන ඒත් මුදල් වැඩියෙන් වැයවන ආපනශාලාවකින් රාත්‍රී ආහාරය රැගෙන එන්නේ යයි ඇය සිත සනසා ගන්නට තැත් කළාය. එහෙත් පර්සි “කිම්ස්” පසුකර ගොඩ වැදුනේ අඩු මුදලෙන් බාල තත්වයෙන් කෑම විකුණන “චොප්ස්ටික් එක්ස්චේන්ජ්” එක ඇතුලටයි. දෙනෙතට උනන කඳුළු නවතා ගන්නට මෙවර නම් ඇයට නොහැකි වුනි. ස්ටයිරෆෝම් පෙට්ටි දෙකක පිරුණ චීන කෑම ඔහු ගෙනාවේය. පෙට්ටි ඇතුලෙන් එන චීන කෑම සුවඳ වාහනය සිසාරා පැතිරිණ.
 
“මොකද ඒ ගමන අඬන්නෙ? ගෙදර මතක් වුනා ද?”
 
කෑම ඔඩොක්කුවේ තියද්දී සංජීවනීගේ දෙකොපුල් තෙත් ව ඇති ආකාරය දැක පර්සි කිව්වෙ යාන්තමෙන් සෙනෙහසක ඡායාවක් සමඟ. ඊට ඔළුව වනා සංජීවනී එකඟ වුනේ ඇත්ත ඊට වඩා වැඩි ඈතක නොවන නිසයි. ඇයගේ ශෝකය තමාට දැනෙන බව කියන්නට දෝ පර්සි ඇයගේ උරහිසට තට්ටුවක් දුන්නේ ය.
 
කෙසේ හෝ මෙම විවාහය සාර්ථක එකක් බවට පත් කර ගන්නට සංජීවනී දැඩි අධිෂ්ඨානයක් කර ගත්තා ය. කෑම පෙට්ටි වලින් එන චීන කෑමවල සුවඳ බඩගිනි වැඩි කළෙන් ඇය කෑම හරි සුවඳ යයි ද කීවාය.
 
සංජීවනීගේ මව පර්සි ගැන වගතුග නොඇසුවා සේ ම පර්සි ද සංජීවනීගේ මවගේ සුව දුක් ඇසුවේ නැත. රාත්‍රියේ නින්දට යන්නට පෙර ලංකාව වෙනස්ව ඇති හැටි, සිය මව සහ මවගේ නව සැමියා ගැන, ආච්චි හා සීයාගේ ක්‍රියාකලාපයන්හි කිසි වෙනසක් නොමැති බව, මෙන්ම සිය යෙහෙළියන් හා ගතකළ මිහිරි කාලය පිළිබඳව පර්සි හා කියන්න සංජීවනීගේ මුව කිහිප වතාවක් සැරසුන ද ඊට ඉඩක් ඇයට ලැබුනේ නැත.
 
“ඔයාට මහන්සි ඇතිනෙ. අමුත්තන්ට දෙන කාමරේ නිදා ගන්න. එතකොට වෙලාව වෙනස් නිසා රෑ මැද්දෙ ඇහුරුනොත් මාව ඇහැරෙන එකක් නෑ. මාව නැඟිට්ටවන්න එපා උදෙන්. හරි මහන්සියි. ටිකක් දවල් වෙනකන් නිදා ගන්න ඕනා නිවාඩු දවසෙවත්.”
 
එහෙම කියූ පර්සි තනිවම නිදන කාමරයට වැදුන. යුග දිවියක බෙදා හදා ගන්න උත්සාහය එක් කෙනෙක් විතරක් තනියම කොහොම කරන්න ද? මෙපමණ කලක් සංජීවනී තමන් පර්සි හා ගෙවන යුග දිවිය පිළිබඳව ඇස් ඇරල බලල නැති බව එයාට තේරුනෙ අද. ඒත් කුස පිරෙන්න වැටුනු චීන කෑම වලින් ලැබෙන ශාරීරික තෘප්තියෙන් සංසුන් වූ හිතත්, ගමන් කඩේත්තුවත් නිසා අමුත්තන්ට වෙන් කළ ඇඳේ කොට්ටයට ඔළුව තිබ්බ ගමන්ම සංජීවනී නින්දට වැටුන.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: