Sinhala story Blog

පෙබරවාරි 27, 2010

3.11 -අපොයි නෑ බේබි… ඉගෙන ගන්න මට දැන් වයස වැඩි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:27 පෙ.ව.

“අන්න ළමයො ආණ්ඩුවෙන් ලියුමක් ඇවිදින්. රෙජිස්තර තැපෑලෙන් අත්සන් ගහලා ගත්තෙ.”
 
ගෙට ගොඩවැදෙනවත් එක්කම ආච්චිගෙ කටහඬ සාලයට ගලා ආවා.
 
“මොකද මහ දවල් නිදියගෙන. ඇඟේ රුදාවද නැත්නම් අසනීප ගතියක් දැනෙනවද?”
 
ඇතුල් කාමරයට ඔළුව ඔබලා හසන්ති ඇහැව්වේ ආච්චි කිසි දිනෙක දහවල් නිදා ගන්න කෙනෙක් නොවන නිසා. පැදුරෙන් බූරු ඇඳටත් එයින් ලෑලි ඇඳකටත් එන්න පහුගිය අවුරුදු විස්සෙ දි හසන්තිත් ආච්චිත් සමත්ව සිටියහ.
 
“මට නිකම් කඩොත්තු ගතියක් ආවා. වෙන අමාරුවක් නැහැ…..ඔය ලියුම බැලුවා නම්…පත්වීම ද දන්නෑ.”
 
ලිපිය එවා ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමය. රජයත් රටේ තැපැල් සේවය ගැන කළකිරිලා ද රෙජිස්තර තැපෑලෙන්ම ලිපි එවන්නෙ? ආච්චි පොරවා ගෙන උන් චීත්ත රෙද්ද නැවතත් ඇඟ ලා ගෙන ඇඳෙන් නැඟිට සිටියාය. ඇය ඉදිරියේ ලිපිය අරිනවා මිසෙක වෙනත් මඟ හරින මාර්ගයක් හසන්තිට නැත.
 
ටෙලිග්‍රෑම් හා රෙජිස්තර තැපෑලෙන් එවන රජයේ ලිපි අසුබදායක තොරතුරු රැගෙන එතැයි පිළිගන්නා පිරිසට හසන්තිගෙ ආච්චි ද ඇතුලත්ය.
 
“රුක්ෂානිගෙ වදේට දැම්ම ශිෂ්‍යත්ව ඉල්ලුම් පත්‍රයකට මේ උත්තර.”
 
ආච්චිගෙන් සද්දයක් නැත.
 
“සම්මුඛ පරීක්‍ෂණයට එන්න කියල.”
 
වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය පිටරට ශිෂ්‍යත්වයකට ඉල්ලුම් පතක් යැවූ බව තවමත් ආච්චි නොදනියි.
 
“කොළඹ ඉස්පිරිතාලෙකටද?”
 
වෛද්‍යවරියක් ලෙසින් සේවය පටන් ගන්නට බලාගෙන ඉන්නා හසන්තිගේ වැඩිදුර අධ්‍යාපන අපේක්‍ෂාව ආච්චි නොදනියි. ආච්චිගෙ අනුමානය හසන්ති සීමාවාසිකය නිසා අනිවාර්ය දුෂ්කර පලාත් සේවයෙන් ගැලවෙන්න හදනවා කියල. හසන්තිගෙන් පිළිතුරක් නැහැ. ඇඟේ රුදාව නිසා ආච්චි ආපහු ඇඳට ගියා ඇලවෙන්න. හසන්ති ඉස්තෝප්පුවෙ පුටුවෙ දිගා වෙලා ලිපිය දිග ඇරන් අකුරක් නෑර හැම පිටුවක්ම කියෙව්ව.
 
ජීවිතය දවසෙන් දවස වෙනස් වෙනස් අතට දුවයි. අනාගතයක් සඳහා ප්‍රීනි වැන්නන් සැලසුම් කරනා ආකාරය හසන්තිට තේරුම් ගත නොහැකිය. දෙමාපියන් නැති තමා කවා පොවා බලා හදා ගත් ආච්චි තනිකර ඈත පලාතකට යෑමට නොහැකිය. එමෙන්ම ඇය හැරදා පිටරට බලා යන්නේ කෙසේද?
 
සිය අධ්‍යාපනය තව දුරටත් ඉදිරියට ගෙන යෑමට තමන්ට උපකාර කරනු පිණිස රමේෂ් පිටරට අධ්‍යාපන ආයතන වල විස්තර එවයි. හසන්තිව ඔහු ඉන්නා දේශයට ගෙන්වා ගැනීමට ඔහු දරනා ප්‍රයත්නය පිටුපස වෙනත් අරමුණක් ඇති බව දෙදෙනාම නොදන්නවා නොවේ. එහෙත් ඒ ගැන අසන්නට ඔහුට ස්ථාවරයක් නැත්තා සේ ම එවන් ඉල්ලීමකට දිය හැකි පිළිතුරක් හසන්ති වෙත ද නැත.
 
ඇතුල් කාමරයට නැවතත් හිස එබූ හසන්ති ආච්චිගෙන් තේ හදන්නදැයි විමසීය.
 
ආච්චිගෙන් කිසිම සද්දයක් නැත. ඇයට නින්ද යන්න ඇතැයි සිතූ හසන්ති කේතලය ලිප තබා වතුර රත් වෙන තෙක් මුහුණ සෝදා ගන්නට ගියාය. අතීතයේ දී මෙන් අල්ලපු නිවසේ ළිඳට යනවා වෙනුවට දැන් සිය නිවසේම පිටුපස නාන ටැංකියක් සිමෙන්තියෙන් වටකර ඇත. පාරෙන් එන පයිප්පයෙන් වතුර ඊට ගලා එයි.
 
මේ සියළු පහසුකම් ආච්චි ඉටු කරන්නේ ඇයගේ හිතවත් බැංකු නිලධාරියාගේ සහයෝගය ඇතුවය. හසන්තිගේ පියා ඇය වෙනුවෙන් ඇරඹී බැංකු තැන්පත් ගිනුමේ මුදල් ආයෝජන කටයුතු බැංකු නිලධාරියා අවංකවම ඔවුනට ඉටු කර දෙයි. තැන්පතු වලට එකතු වූ ලොකු මුදලක් වූයේ නැත. එහෙත් මුදල් පරිහරණය මනාව දන්නා ආච්චි වියදම් කරන්නේ මුල් තැන්පතුව එසේ තිබිය දී ඊට එකතුවන ලාභ පොලී පමණි. බැංකු උපදෙස් වලට අමතරව ආච්චි හා හිතවත් වූ ඔහු පයිප්ප බාස් හා සිමෙන්ති බාස් යැයි දෙදෙනෙක් ආචිචීට හඳුන්වා දුන් බව හසන්ති සිහි කළාය.
 
තේ හදා ගත් හසන්ති නිදන කාමරයට ගියාය. ආච්චි තද නින්දේය. තේ කෝප්පය පීරිසියෙන් වහා නැවත සාලයට ගිය ඈ වේවැල් පුටුවට බර දුන්නේ හිතේ ඇති ප්‍රශ්න ගැන තවත් කල්පනා කරනු පිණිසය.
 
වාහනය පෙනෙන්නටත් පෙර හසන්තිට එහි හෝන් ගහන සද්දය ඇසිණ. මෙතෙක් වූ නිස්කලංක භාවය නැති කරමින් යෙහෙළියෝ දෙදෙනාගේ කටහඬවල් පළාත දෙවනත් කරන්නට සමත් වුණි.
 
“මෙයාට දුන්න වාහනේ. හරියට හරකා දක්කගෙන යනවා වගේම තමයි.”
 
“රුක්ෂානි ඩ්‍රයිවර් වැඩේ කරන්නෙ අල්ලපු සීට් එකේ ඉඳන්. කනේ පුළුන් ඔබාගෙන එන්න මට අමතක වුනා.”
 
සංජීවනීයි රුක්ෂානියි වාහනය අරගෙන ඇවිත්. ලංකාවේ වාහන බලපත්‍රයක් තිබුනට සංජීවනී රථයක් පැද වූයේ බොහෝ කාලයකට පස්සෙ.
 
“දෙන්නා එක්ක මේ කොහෙ රස්තියාදුවක් යන්නද?”
 
“ඔයාව බලන්න ආවේ අපි.”
 
සංජීවනීත් රුක්ෂානිත් කිව්වේ එකට. ඒකෙන් ම හසන්ති දැන ගත්තා ඇවිත් ඉන්නෙ තමාවත් රැගෙන කොහෙ හරි යන්න බව.
 
“ඉතින් මොනවද පෙන්නන්න ඕනා.”
 
හසන්ති දිව දික් කළාය. ඉන්පසු අත් දෙකේ වෙඳැගිලි දෙකෙන් කම්මුල් කොපු පහතට ඇද ඇස් පෙන්නුවාය. දැන් යුවතියන්ගේ සිනහව පළාත දෙදරුම් කරවයි.
 
“හරි…හරි…ඔයාව එක්කගෙන යන්න තමා ආවේ.”
 
සිනහව පාලනය කරගත් රුක්ෂානි පිළිගනියි.
 
“මෙයාත් එක්ක පීනන්න යන්න.”
 
සංජීවනී හිස පැත්තකට හරවලා කියනවා. කෙල්ල හරිම ලස්සනයි එහෙම චාටු දාන කොට.
 
“මට වැඩ ගොඩයි….”
 
ඒත් යෙහෙළියන් දෙන්නා එයාට වාක්‍යය අවසන් කරන්න ඉඩක් දුන්නෙ නැහැ.
 
“ආච්චි………..”
 
දඟකාර කෙල්ලො දෙන්නා හඬ නඟමින් හසන්තිව ඉස්තෝප්පුවෙ තනි කරල ගෙතුලට දිව ගියෝය.
 
“ආච්චි නිදි.”
 
හසන්තිගෙ වාක්‍යය අවසන් වෙන්න කළින් දෙන්නා ඇතුල් කාමරයේ.
 
යාන්තමෙන් සද්දයක් ඇහුණ ද අවදි ගන්නා හසන්තිගෙ ආච්චි මේ තරම් කාලගෝට්ටියක් මැද තද නින්දේ. හසන්ති කාමරයට ඇතුල් වෙද්දි අනිත් දෙන්නා අත් වලින් කටවල් වහගෙන නිදා ගෙන උන් ඇයව අවදි කලා යන බයට.
 
දවල් කාලයේ නිදා නොගන්නා ආච්චිට මෙතරම් තදින් නින්ද ගොස් ඇත්තේ අසනීපයක් නිසා බව හසන්ති අනුමාන කළාය. කතා කළ පමණින් අවදි නොවන ඇයගේ නාඩි පරීක්‍ෂා කළ විගස වහාම රෝහලකට ඇය රැගෙන යා යුතු බව හසන්තිට වැටහුණි.
 
ඊ ළඟ පැය කිහිපය ගතවුන ආකාරය කිසිවකුට නිනව්වක් නැත. සංජීවනීට වාහනය පදවන්නට රුක්ෂානිගෙන් කිසිම අවවාදයක් නොලැබුණි. පසුපස සීට් එකේ එක් පැත්තකින් හසන්ති ද අනෙක් පැත්තෙන් රුක්ෂානි ද වත්තන් කරගෙන ගිය ආච්චිව ඉතා ඉක්මණින් රෝහල් ගත කෙරුණි. ඇයට සුළු හෘදයාබාධයක් හටගෙන එහි රෝග කාරකයක් ලෙසයි සිහිය නැතිවුනේ.
 
“ඇඟට හරි නැහැ කිය කිය හිටියා. මම බැලුවෙත් නැහැ අනේ.”
 
හසන්ති තමාටම දෝශාරෝපණය කරගනියි.
 
“නින්දෙන් වෙන්නැති හැදෙන්න ඇත්තෙ.”
 
යෙහෙළියන් ඇය සනසන්නට උත්සාහ කරති.
 
“වෛද්‍ය දැනුමක් තියාගෙන වැඩක් නැහැ මෙහෙම වේලාවට. හෘද්‍යාබාධයක් හැදෙන ලක්‍ෂණ දකින්නෙත් නැත්තම්.”
 
සිය අනාගතය ගැන සිතුවිලි මත්තේ එලඹ ගෙන අද කළ යුතු තම යුතුකම් පැහැර හරිනවා යැයි හසන්ති ශෝක වූවාය. බරපතල අනතුරක් වන්නට පෙර ආච්චිව රෝහල් ගත කරන්නට හැකි වූයේ සිය යෙහෙළියන් අහම්බෙන් නිවසට පැමිණි හෙයිනි. ආච්චිව ඇතුල් කරන ලද්දේ කොළඹ මහ රෝහලටය. දිවයිනේ අළුතින් ආරම්භ වූ පුද්ගලික රෝහල් බොහොමයක් තිබුණත් දක්‍ෂ වෛද්‍යවරු තවමත් ඉන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේය. සමහර පුද්ගලික රෝහල්වලට පයින් ඇවිද ගෙන ඇතුල්වන රෝගීන් පිටව යන්නේ මීනී පෙට්ටි වලිනි.
 
“එන්න අපේ ගෙදර ගිහින් රෑට කාලා ආච්චිටත් බත් එකක් බෙදාගෙන එමු.”
 
රුක්ෂානිගෙන් ඇරයුමක්.
 
“දැන් මෙතන හිටියයි කියලත් වැඩක් නෑනේ. අපි ඉක්මණින් ආපහු එමු.”
 
සංජීවනී පෙරැත්ත කරන්නීය.
 
තිදෙනම නැවතත් රථයට නැගුනහ. කිසිත් කතා බහකින් තොරව රුක්ෂානිගේ නිවහනට ගිය ද ඔවුන් රාත්‍රී ආහාරය ගත්තේ කෙළිලොල් බවෙන් තොරව. කතාබහේ වැඩිමන වෙන්වුනේ ඉදිරි ආනාගතය ගැන ප්‍රශ්න නඟමින් වූ අදහස් දැක්වීමට. ලොකු මැණිකා හදලා තිබුණ පොල් යහමින් දාල, රතුළුනු, ලීක්ස් එක්ක හදපු රොටි එක්ක තිබ්බ කට දන කට්ට සම්බෝලෙයි, සුදුවට උයපු තෝර මාළු හොද්දෙයි සුවඳ කෑම කාමරය පුරා පැතිරුණත් කවුරුත් කෑම බෙදා ගත්තේ ඉතා අඩුවෙන්. කන්න අමතක වෙලා වගේ. වෙනදට රුක්ෂානි පිටිපස්සෙන් ඉඳන් කෑම බෙදා ගන්න මතක් කරන චූටි මැණිකත් බර කල්පනාවේ.
 
“මේ බේබිලා රට ගියාම මං ඇවිදින් ඉන්නම් හසන්ති බේබිලාගෙ දිහෑ.”
 
තරුණියන්ගේ කතා බහට හවුල් වෙන චූටි මැණිකා කියයි. තමාට අධ්‍යාපනික කටයුතු සඳහා මෙතෙක් උපකාර කළ හසන්තිට කෘතගුණ සලකන්නට වාරයක් ලැබෙනු ඇතැයි චූටි මැණිකා බලා සිටින්නීය.
 
“හොඳ අදහස. ආච්චිව ගෙදර එක්කගෙන යනකොටම චූටි මැණිකත් යන්න. ගිහින් අහමු ලොකු මැණිකාගෙන් කමක් නැද්ද කියලා.”
 
යෙහෙළියො තුන් දෙනයි චූටි මැණිකයි අත් හෝදන්නෙත් නැතුව ඉඳුල් පිටින්ම ලොකු මැණිකා හොයාගෙන දිව්ව.
 
සිය නැගණියගේ අධ්‍යාපනයට අත දෙන හසන්තිට පෙරලා උපකාරයක් කරනු පිණිස ලොකු මැණිකා කැමතිය. තීරණය තමා අතේ වුවත් ඇය රුක්ෂානි ලවා ලොකු මහත්තයාට දන්වනු ලෙස ඉල්ලා සිටියාය. රුක්ෂානිගේ දෙමාපියන් දේපල හා ව්‍යාපාර කොටස් රාශියක් විකුණා ආපසු පිටරට බලා ගොසිනි. තව නොබෝ දිනෙකින් රුක්ෂානි ද නැවතත් රටෙන් පිටවෙනු ඇත. විසල් ගෙදර වුවත් කිසිවෙක් නැති කළ එය බලා කියා ගන්නට සේවකයෝ හතර දෙනෙක් අවශ්‍ය නොවේ. තම සහෝදරියන් නිකම් ඉඳ පඩි ගන්නේ යැයි ලොකු මැණිකා සිටියේ නොසන්සුන් බවෙනි.
 
“දැන් අපි තුන් දෙනෙක් අවශ්‍ය නෑනේ ගෙදර බලා කියා ගන්න.”
 
පොඩි මැණිකා කණගාටුවෙන් පවසයි.
 
“මෙහෙ කම්මැලි නම් පොඩි මැණිකා කැමති ද වෙන තැනක වැඩට යන්න?”
 
රුක්ෂානි පොඩි මැණිකාගෙන් අසයි. ඇය ඔළුව සොලවන්නේ වෙනතක යන්න කැමති නැහැ කියන්නටය. එහෙත් ඇය තවත් යමක් කියාගනු පිණිස ලැජ්ජාවෙන් ඇඹරෙන වග රුක්ෂානි දුටුවාය.
 
“පොඩි මැණිකටත් ඉගෙන ගන්න ඕනද?”
 
මෙවර රුක්ෂානි අහන්නේ ඇයට තම හිතේ ඇති දෙය කියා ගන්නට දිරිමත් කරනු පිණිසය.
 
“අපොයි නෑ බේබි… ඉගෙන ගන්න මට දැන් වයස වැඩි.”

“පොඩි මැණිකටත් මැද පෙරදිග යන්න හිතිලා ද?”

හසන්ති ඇසුවේ පිටරට යන අය දවසින් දවස වැඩිවන නිසාය.

“නැහැ බේබි.”
 
“පොඩි මැණිකට බඳින්න කෙනෙක් හොයලා දෙමු.”
 
මෙතෙක් නිහඬව සිටි සංජීවනී කියද්දී පොඩි මැණිකාගේ මුහුණ ඉදුනු ජම්බු ගෙඩියක් සේ රතු ව ගියේය. මෙතෙක් ඇයට කියා ගත නොහැකිව උන් කාරණය හැමටම එක සැණයකින් වැටහී ගියහ.
 
හෙටම සිය දෙමාපියන් වෙත දුරකතන ඇමතුමක් දමා සියල්ල විපරම් කරන්නට පටන් ගන්නා වගට රුක්ෂානි පොරොන්දු දුන්නීය. ආච්චි වෙනුවෙන්ම ලොකු මැණිකා සකස් කර දුන් බත් පිඟානක් ද රැගෙන අමරදාස සමඟින් යෙහෙළියෝ නැවතත් ආරෝග්‍යශාලාව බලා පිටත් වූහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: