“ඔන්න රෑ එළිවෙනකන් ඇහැරගෙන නම් ඉන්න බෑ හොඳේ.”
මංගල්‍යයට පෙර දා ආයෙත් එකතු වුනු යෙහෙළියන්ට පුරුදු පරිදි ප්‍රීනි විධානාත්මක ලෙසින් කියන්නීය.
“ප්‍රීනි සිහින ලෝකෙන් සමන්ත බලන්න ඉක්මණින් නිදා ගන්න හදන්නෙ.”
රුක්ෂානි දෑස් පියා කට උල් කර චුම්බනයන් දෙන ආකාරය රඟපායි.
“හෙට ඉඳන් ආයෙ මැරෙනකම්ම උදේටයි රෑටයි ඉතින් ඒ මූණ තමයි දකින්න වෙන්නෙ.”
හසන්තිත් කිසි දා නොකරන වදේට හවුල් වෙයි.
“එයාගෙ මූණ නෙමෙයි හසන්ති මගේ මූණ ගැනයි මම කල්පනා කළේ. පින්තූර වලටයි විඩියො එකටයි නිදි මරපු කළු රවුම් වැටිච්චි ඇස් එක්ක හිටියාම කවද හරි දවසක මුණුපුරාල මිණිපීරීල අහයි මොකද ආච්චි ඒ කාලෙත් මූණේ රැළිද කියල,” ප්‍රීනි කියන්නීය.
“පින්තූර ටචප් කරල රැළි අයින් කරමු. ”
රුක්ෂානිට ප්‍රශ්නයක් දෙන්න, එයා උත්තරයක් දෙයි හැරෙන තැපෑලෙන්ම.
මංගල්‍යයට කළින් දවසෙ යෙහෙළියන් හතර දෙනාම ප්‍රීනිගෙ නිවහනේ. උත්සවයක් පැවැත්වෙන නිවසක අසිරිය හැම පැත්තෙන්ම දැනෙනවා. තරුණියන්ගෙ සිනහව හැම අතෙකම පැතිරිලා. වැඩිහිටි අය හාන්සි පුටුවල මහන්සි නිවාගන්න වාඩිවෙලා හිටියට යුවතියන් හතර දෙනාට මොහොතකට වඩා එක තැනක ඉන්න බැරි පාටයි. ප්‍රීනි නම් හතර පස් වතාවක්ම එකම දෙය කෙරිලද කියල නැවත නැවත හොයල බලනවා. ඒක දැකලා රුක්ෂානි ගණන් කරපු ගොඩක තිබුණ වෙඩින් කේක් ඇසුරූ පෙට්ටි කිහිපයක් වෙන ගොඩකට දැම්මේ ප්‍රීනි බලා ඉන්දැද්දිම.
වෙනදට කේන්ති ගන්න ප්‍රීනි ඒත් ඒක දැකල හයියෙන් හිනා වුනා. අනිත් දෙන්නා රණ්ඩුවක් පැටලෙයි කියල සැකයෙන් උඩට ගත් හුස්ම පහළට හෙළුවෙ සැනසිල්ලෙන්.
“ප්‍රීනි හැම දෙයක්ම සැලැස්මක් ඇතුව කරන්නෙ. වෙන අය වගේ රෑ එළිවෙනකම් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.”
හසන්ති සැනසුම් සුසුමක් හෙළමින් පැවසීය. ඇය අත රිදී බන්දේසියක් පුරා කේක් පුරවපු පෙට්ටි. ඒ තුලින් හමා ආ සුවඳ කෑම මේසය පුරා පැතිර තිබුණ කේක් සමඟ එක්වුනා.
“හෙටින් පස්සෙ ඔයා මිසිස් ප්‍රීනි දියනන්දන.”
වෙඩින් කේක් පෙට්ටියෙ මුද්‍රණය කර ඇති මනාලයාගේ හා මනාලියගේ නම් සංජීවනී හඬ නඟමින් කියවන්නීය.
“අපොයි මම නම වෙනස් කරන්නෙ නෑ. උපාධි සහතිකවල නම් වෙනස් කරන්න බෑ. අනික අප්පච්චිගෙ වාසගම මට වැඩියෙන් වාසියි නීතිඥවරියක් වුනාම. දියනන්නදනලාට වඩා උසාවිය ඉදිරියෙ පරකඩුව නම වටිනවා.”
“මමත් තාම තීරණය කරලා නැහැ නම වෙනස් කරනවාද නැද්ද කියලා. එහෙ පුරවැසියෙක් වෙන දවසට පුළුවන් ඕන නම් අළුත් නමක් වුණත් දාගන්න.”
මඳ නිහැඬියාවකින් පස්සෙ කියන්නෙ සංජීවනී.
“ඕනම නමක්?”
ප්‍රීනි අහනවා සැකයෙන් වගේ.
“තමන් කැමති නමක්. මහදැනමුත්තා කියලා දා ගන්නත් පුළුවන්,” සංජීවනී පිළිතුරු දෙයි.
“මහදැනමුත්ති කියලා දා ගන්න,” ඒ හසන්ති.
“ලේඩි මහදැනමුත්ති කියලා දා ගන්න,” ප්‍රීනි කියන්නීය. කොහෙන් හරි පට්ටමක් එකතු කර ගන්න චාන්ස් එකක්නෙ.
“දෙවැනි ලේඩි මහදැනමුත්ති. එංගලන්තේ ඔය දෙවැනි තුන්වැනි කෑලි තියෙන අයට සැලකිලි වැඩියි නේද?” හසන්තිගෙන් තවත් යෝජනාවක්.
“එලිසබෙත් කියල දා ගත්තම ඊට වඩා හොඳ නැද්ද?”
එංගලන්තයේ මහ රැජිණගේ නම යෝජනා කළේ ප්‍රීනි. රැජිණක් වෙන්න හැකියාව තියෙද්දි ආර්යාවක් වීම මදියි හිතෙන්නැති.
“එලිසබෙත්ලා හැම තැනම. හැම වයසකම අය. ලේඩි මහදැනමුත්ති තරම් සුවිශේෂී නමක් නෙමෙයි ඒක.”
කවදත් ප්‍රීනි කියන්නට වෙනස් වෙන්න හදන රුක්ෂානිගෙන් ඒ.
“එහෙනම් ක්වීන් කියලා දා ගන්න,” ප්රීනිගෙන් තවත් යෝජනවාක්.
“ප්‍රීනි, එංගලන්තයේ ක්වීන්, ප්‍රින්ස්, ප්‍රින්සස් වගේ කෑලි පුද්ගලයන්ගෙ නම් හැටියට දාන්න තහනම්. යුරෝපයේ සමහර රටවල්වල ලංකාවේ ප්‍රසිද්ධ නමක් වුනත් ළමයෙක්ට දාන්න කළින් විශේෂ අවසර ගන්න ඕනා. ඒක සාමාන්‍ය නමක් කියල විස්තර එහෙම පෙන්වලා. නැත්නම් ඇමෙරිකන් අය වගේ ළමයට “මූන් යුනිට්” කියලා නම දා ගනිවී බයට.”
“දැන් හසන්තිටත් රමේෂ් ඉන්න නිසා අපි රුක්ෂානිටත් කෙනෙක් ඉක්මනට හොයන්න ඕන.”
ගත් කටටම කතාව වෙනස් කළේ ප්‍රීනි කිසිම දැනුම් දීමක් නැතුව. අද දවසේ රුක්ෂානිත් එක්ක ආරවුල් පටන් නොගන්නවා කියල එයත් තීරණයක් අරන් හිටියෙ.
යෙහෙළියන් හතර දෙනා අතරෙ රහස් නැහැ. රුක්ෂානි යාළුවො හැටියට පුංචි කාලේ ඉඳලම කොල්ලො ඇසුරු කළාට ඒ කිසිවෙක් ගැන එතරම් විශේෂ උනන්දුවක් එයා පෙන්නුවෙ නැහැ. විශ්වවිද්‍යාලයේ එයාලගෙ සමාජ මට්ටමේ අය අතලොස්සයි උන්නෙ. ඉඳහිට එයාගෙ ඩැඩී හරි මමී හරි අඳුනන අයගෙ දරුවන් හා රුක්ෂානි එහෙ මෙහෙ ගියා. ඒත් කිසිම කෙනෙක් එයාගෙ හද කිතිකවන්නට සමත් නොවුනු බව යෙහෙළියෝ දනිති.
“මගෙයි රමේෂ්ගෙයි එහෙම එකක් නැහැ,” හසන්ති එහෙම කියුව සිහින් හඬ මැකිලා ගියෙ රුක්ෂානි හඬ නඟා හිනා වූ නිසා.
“අයියෝ මෙහෙන් හොයන්න එපා. මම එහෙන්ම කෙනෙක් හොයාගන්නම්.”
“දැනටමත් හොයාගෙන ද?” ප්‍රීනි විමසයි.
“නෑ නෑ තවම නෑ. හොයා ගත්ත දාට ඉස්සෙල්ලම කියන්නෙ වෙන කාට ද ඉතින් ඔයාලට තමයි.”
අසුරන ලද කේක් පෙට්ටියකින් කේක් කෑල්ලක් එළියට අරන් කටේ දා ගන්න හදන රුක්ෂානි කියන්නීය. ඇය අතින් එය උදුරා ගත් හසන්ති එය නැවතත් පෙට්ටියේ ඇසුරුවාය.
“කොයි දීපංකරේකින් කාව හොයා ගනියි ද දන්නෑ මෙයා.”
ප්‍රීනි කියන්නේ රුක්ෂානි අසල ඇති කේක් පිරුණු බන්දේසි සියල්ල ඇයගේ දෑතට හසු නොවන තරම් ඈතකින් තබමිනි.
“බ්‍රැන්ඩි පොඩ්ඩක් වැඩිය දාලා හදපු වෙඩින් කේක් කොටසක් මම වෙන් කළා අපට කන්න. රෑට හොඳට නින්ද යයි එතකොට.”
වසා තිබුන ප්ලාස්ටික් පෙට්ටියකින් මංගල කේක් පෙට්ටියේ දමනවාට වඩා ලොකුවට කෑලි කපා ඇති කේක් කෑලි රැගෙන පිඟානකට බෙදු ප්‍රීනි එය මිතුරියන් මැද්දේ තැබුවාය.
“මේ ටික සේරම වෙඩින් එක ඉවර වුන ගමන් ඔයා කටේ දා ගන්න. එතකොට…..”
සංජීවනී කියන්න පටන් ගත් දේ කියා කළේ නැහැ. අනිත් තුන් දෙනා හිනා වෙන්න පටන් අරගෙන හමාරයි.
එකින් එක කෑල්ල කෑල්ල කේක් කටවල් ඇතුලට වැටුන. සීනි මිශ්‍ර මත්පැන් සුවඳ පැතුරුණාට මත් වෙන්න තරම් හයියක් ඒවා තුල නැහැ. අතීතයේ වූ දවසක වාගේ එයාල ආයෙත් වතාවක් කිසිම වැදගත් කමක් නැති කතා බහෙන් ප්‍රීති වූහ. හිනා නොයන කතා වලට කොක් හඬලා හිනා වූහ. එකිනෙකාට විහිළු කර ගත්හ. අනාගතය ගැන සුන්දර පේන කිවූහ. අවසානයේ ඔවුන් නින්දට ගියේ මැදියම් රෑ පහන් වූ පසුයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න