Sinhala story Blog

පෙබරවාරි 24, 2010

3.8 -රමේෂ්ගෙන් ලියුමක් ආවා නේද?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:38 පෙ.ව.

“පුතේ මෙන්න පිටරටෙන් ලියුමක් ඇවිත්. රුක්ෂානි ළමය එන්න කළින් තැපැල් කරල දැන් එනවද කොහෙද. තැපැල් සේවය දැන් සවුත්තු වෙලා. තැපැල් මළු පිටින් හොරකම් කරනවා කියන්නෙ.”
 
ආච්චි දිගටම කියා ගෙන යන්නීය. මැද පෙරදිග සේවයට යන්නවුන් මහන්සියෙන් උපයා එවන මුදල් ඇණවුමක් හෝ චෙක්පතක් පවා සොරා ගන්නට තරම් කෙනෙකු සද්ගුණයෙන් පහතට බහින්නේ නැති බැරි කම නිසාම ද?
 
ගුවනින් ආ ලිපිය රුක්ෂානිගෙන් නොවේ. එහි කවරයේ ඇති ඉංග්‍රීසියෙන් ලියා ඇති නම කියැවූ හසන්තිගේ සිත ඇය නොහඳුනන ආවේගයක් ඇති කරන්නට සමත් විය. කැනඩාවෙන් ආ ලිපි කවරයේ එක මුද්දරක ඇත්තේ බ්‍රිතාන්‍ය මහ රැජිනයි. අනෙක් මුද්දරයේ ඇත්තේ කැනඩා පාත්තයෙකුගේ රූපයකි.
 
ඇය කුස්සියෙන් පාන් කපන පිහිය රැගෙන ලිපිය විවර කළේ සැත්කමක නියැළෙන්නා සේය. ලිපියටත් කවරයටත් නොදැනෙන්නට එය එළියට ගන්නට ඇය සමත් වූවාය.
ආච්චි අතට දුන්නත් ඇයට එය කියවන්නට නොහැකිය. ලිපිය ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි. එහෙත් ආච්චි ළඟ පාතක සිටිය දී ලිපිය කියවන්නට හසන්ති සිත ඉඩ නොදෙයි. එය බෙදා හදා ගන්නට ආ ලිපියක් නොවෙයි. ලියා ඇත්තේ මොනවාද නොදත්තාට එහි ඇතුලත් දෑ තනිව රස විඳිනු පිණිස ඈ ලිපිය පොතක් යට තැන්පත් කළාය.
 
“ප්‍රීනි ළමයට මොනවද අරන් යන්නෙ?”
 
“තාම හිතුවෙ නෑ.”
 
“අපිට පිටරටෙන් ගේන තෑගි වලට හරි යන්න කරන්න බෑ. ඒත් හදිසියෙ කෙරිච්ච සංජීවනී ළමයගෙ මඟුලටත් මුකුත් නොදුන්න නිසා මොකක් හරි දෙන දෙයක් ගැන කල්පනා කරහන්.”
 
“මම අනිත් දෙන්නාගෙන් අහල බලන්නම්.”

“සල්ලි ඇති මා ළඟ. මෙහෙ අන්තිමට ඉතුරු වෙන්නෙ ප්‍රීනි ළමයනෙ. උඹට යාළුකම තියා ගන්න එක හොඳා.”
 
ආච්චියි ප්‍රීනියි හොඳට ගැලපෙනවා. හිතුවෙ නෑ කියලා ආච්චිට කිව්වට තෑග්ගක් ගැන හසන්ති සොයා බලා ඇත. ප්‍රීනිත් සමන්තත් උසස් සමාජයේ ඉනිමං නඟින්න පියවර තබති. ජීවිතයේ ඉදිරි කාලයේ ඔවුන් භෝජන සංග්‍රහයන් අනේක සංඛ්‍යාවක් සිය නිවසේ පවත්වනු ඇත. රුක්ෂානිගේ නිවසේ දී දැක පුරුදු ඇය සිතේ රැඳි බොහෝ දේ අතරින් ප්‍රීනිට ගත යුතු තෑග්ග ගැන ඇය සිතා තිබුණි. මැණිකෙලා එකම පිඟන් නිතර පාවිච්චි කරන්නේ නැත. ඔවුන් පිඟන් කට්ටල හා තේ කෝප්ප පිරීසි මාරුවෙන් මාරුවට ප්‍රයෝජනයට ගනිති. එයින් කල් පවත්වා ගැනීම සේම නිවසට පැමිණෙන්නාගේ මතකයේ තමන් කෑ බී පිඟන් එකම එකක් බව සටහන් නොවෙයි. මුලින් මුලින් රුක්ෂානිගෙ ගෙදර යන හසන්ති සිතා උන්නේ එයාල හැමදාම අළුත් පිඟන් බඩු ගන්නවා ඇතැයි කියාය.
 
ආච්චි එදා හවස කොහේවත් ගියේ නෑ. ඉතින් ලියුම කියවන්න ඉන්න හසන්ති ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න එකෙනුත් ආශ්වාදයක් ලැබුව. ලිපිය පොත යට තියෙන බව ඇය සිත ප්‍රමෝදමත් කළා. මොනවා ලියල තිබුණත් ලිපියක් එවපු එකේ වැදගත්කමෙන් සතුටු වූ ඇය එදා රෑ නින්දට ගියේ ලිපිය කියවන්නෙ නැතුවයි. 
 
********
 
“අද ඔයාගෙ මූණේ අමුත්තක් තියෙනවා.”
 
ඊ ළඟ උදෑසන රුක්ෂානිගෙ නිවහනේදී හසන්තිගෙ මූණට එබුනු රුක්ෂානි ඇස් දිහා එක එල්ලේ බලා සිටියෙ තමන්ට පිළිතුරක් දෙන්න කළින්ම හසන්තිගෙ වෙනස තේරුම් ගන්න වගේ.
 
සංජීවනීගේ ආච්චියි සීයයි අවුත් සංජීවනී රැගෙන ගිහින්. සංජීවනීගේ මව සමඟ කොළඹ සුපිරි සංචාරක හෝටලයක දවල් කෑමට. එතනදි තමයි සංජීවනීට සිය මව දැන් නැවත විවාහ වෙලා ඉන්න කෙනා දැක ගන්න ලැබෙන්නෙ ප්‍රථම වතාවට. එහෙම තැනකදි හමු වෙන එක හොඳයි කියල සංජීවනී රුක්ෂානිට යන්න කළින් කිව්වා. තම මව හා කුමක් කතා බහ කරන්න ද යැයි ඇය නොදනියි.
 
“රමේෂ්ගෙන් ලියුමක් ආවා නේද?”
 
රුක්ෂානිට දිවැස් තියෙනවද?
 
“ලියුම ලැබුණ ඊයේ. මගේ ඇඩ්‍රස් එක දැකලා තියෙන්නෙ අහම්බෙන්. ඇඩ්‍රස් පොත තියාගෙන හිටියලු පාවිච්චි කරන්න ලෝබ කමට.”
 
“ඔයා ලියනවනෙ පිළිතුරු?”
 
“එයත් මගේ යාළුවෙක්. උත්තර යවනවා.”
 
“අපෙන් ලියුම් ආවමත් ඔය තරම් සතුටෙන් ද?”
 
රුක්ෂානි හිනා වෙයි. යෙහෙළියන් අතරේ දුක මෙන්ම සතුට බෙදා ගන්නට ද ඔවුන් සමත්. හසන්තිට ඇති ප්‍රීතිය තමනට ලැබුණක් සේ සතුටු වෙන්න ඔවුනට පුළුවනි.
 
“එන්න අපි යමු ප්‍රීනිට හොඳ තෑග්ගක් හොයාගෙන එන්න. සංජීවනීත් කිව්වා අපිට තෝරන්න කියලා. තුන්දෙනාගෙන්ම එකක් දෙන්න නිසා අපි එහෙන් අරන් ආවේ නෑ.”
 
“ප්‍රීනි නම් රට බඩු වලට කැමති.”
 
හසන්ති කියන්නෙ ඇත්ත. ප්‍රීනි බලාපොරොත්තු වෙන්නෙ යෙහෙළියො දෙන්නා එංගලන්තයෙන් මෙහෙ කාටවත් නැති දේවල් එයාට අරගෙන එයි කියලයි. සංජීවනී විවාහ වුනේ හදිසියේ. මංගල්‍යයට මුකුත් දෙන්න එපා කියල ඇය කළ ඉල්ලීමට ගරු කරපු යෙහෙළියෝ එදා තෑගි ගැන කතා බහ වුනේ නැහැ. කලක සිට රුක්ෂානිට වැටහුනා සංජීවනී අත මුදල් නැති බව. ලොකු දෑවැද්දක් එක්ක ඇය සරණ බන්ධනයට ඇතුල් වුනත් ඇයගේ ආච්චි සහ සීයා දෑවැද්ද පැවරුවේ මනමාලයාට. ඒ නිසයි තෑග්ග තුන් දෙනාගෙන් යයි රුක්ෂානි තීරණය කළේ එංගලන්තයෙදි. එතකොට තෑග්ගේ බරපැන තිදෙනා අතර බෙදෙනවානේ.
 
“එයාට උවමනා විදියට අපි මඟුලට යනවනෙ. තෑග්ග අපිට ඕනා විදියට දෙමු.”
 
රුක්ෂානිගෙ දඟකාර කටහඬ නැවතත් අහන්න ලැබෙන එක හසන්තිට ලොකු සතුටක්.
මැණිකෙලා එහෙ මෙහෙ කඩිසර ගමණින්. ගෙදර දිවා රාත්‍රී භෝජන සංග්‍රහයන් එක දිගට පැවැත්වෙයි. ඒ අතරතුර අමරදාස නෝනවයි ලොකු මහත්තයවයි අරගෙන නිතර මහමඟ. ඉස්සර පැය කාලෙන් ගිය ගමනට දැන් පැයක් හමාරක් ගතවෙනව. වාහන වලින් පාරවල් සේරම පිරිලා.
 
“කාණ්ඩෙ එක්ක යමු නුවරඑළි.”
 
සෙමෙන් දොරට දැමූ තට්ටුවකින් පසු කාමරයට ආ රුක්ෂානිගේ මවගේ ආරාධනය හමුවේ තරුණියන් දෙදෙනා නිරුත්තරය.
 
“ප්‍රීනිගෙ වෙඩින් එකනෙ මමී. අපි ඉන්නම්.”
 
නොසිතූ ලෙසකින් ඇසුණු පැණයෙන් විස්මිතව සුදුස්සක් දොඩන්නට රුක්ෂානි සමත් වුනේ තත්පරයක දෙකක තද නිහැඬියාවෙන් පසුය. සිය දියණිය දැන් රටවල් දෙකක් අතර හිර වී අනන්‍යතාවය සොයා ගනු නොහැකිව සිටිනවා යයි රුක්ෂානිගේ මව කල්පනා කළාය. පෙර දිනයක ගිය නුවරඑළි ගමන ගැන දන්නේ රුක්ෂානිගේ දෙමව්පියෝ ඇතුළු ස්වල්ප දෙනෙකි. සංජීවනී නැවතත් කිසි දිනෙක නුවරඑළි යනු නොමැත. සංජීවනී කොළඹ තනිකර දමා කොහේවත් යන්නට යෙහෙළියෝ නොසිතති. අතීතයේ ගිය සුන්දර නුවරඑළි ගමන ඔවුන් මතකයේ කිසි දිනෙක නොමැකෙනු ඇත. කටින් වදනක් නොදෙඩුව ද යෞවනියන් දෙදෙනාගේම සිත් ගමන් කළේ එකම මාර්ගයක.
 
“ඩැඩී ආපහු යන්න කළින් ලංකාවේ බිස්නස් ගොඩක් විකුණනවා.”
 
“වත්තත්….?”
 
“එහෙම තමයි කියන්නෙ.”
 
දේශපාලන වාතාවරණය නිශ්චිත නොමැති රටවල වෙළඳ කටයුතු ව්‍යාප්තිය ඇතිවන්නේ සීමිත ඉහළක් කරා පමණි. විදේශ ආයෝජකයන් රටට ඇතුල් වෙද්දී ජන්ම භූමියෙන් තම දේපළ විකුණා දමා දේශීය පිරිස් පිටරටට ඇදෙති. ඈත අතීතයක ඔවුනුත් රටේ ප්‍රතිපත්ති සකස් කරන්නට අත දැමූ අයයි. එහෙත් මොන සමාජ ව්‍යුහයක් තිබුනත් මනුෂ්‍යයා අවසානයේ තම ලාභය තකා කටයුතු කරන සතෙකි.
 
“ඔයා ජනාධිපති ශිෂ්‍යත්වයට ඉල්ලුම් පත් දාන්නකො.”
 
රුක්ෂානිගෙන් යෝජනාවක්. රටට ඇවිදින් දවස් දෙක තුනයි. මෙයත් හොයා ගන්න දේවල්. විභාග සමත් කිරීම හසන්තිට දුෂ්කර ක්‍රියාවක් නොවෙයි. එහෙත් ළඟ ළඟ එන කුසලතා ලැයිස්තු සංස්කරණය ඇය සිත චලිත කරන්නට වුනි. එක මිණුම් දණ්ඩකින් දක්‍ෂතා අගයන්නේ නැති මෙම ලැයිස්තුවෙන් ඉංග්‍රීසි බස හුරුව මනාව දත්තෝ ඉහළින් ලකුණු ලබති. එවන්නන්ට කොළඹ හා ඊට නුදුරු ආරෝග්‍යශාලා වල සීමාවාසික පත්වීම් ලැබෙති. පිටිසර පළාතකට සීමාවාසික පළමු පත්වීම ලබා ආච්චි කොළඹ තනිකර දමා යන්නට වුනොත් කියා හසන්තිගේ සිත නොසන්සුන් ය. ශිෂ්‍යත්වයක් ලබා පිටරට යන්න මඟක් සොයා ගැනීම ගැන ඇය සිතට වතාවක් දෙකක් ඇතුල් වුනි. එහෙත් ඒ පසුපස හඹා යන්න ඇය වෑයමක් නොගත්තීය.
 
එහෙත් රමේෂ්ගේ ලිපියත් සමඟ ඇය සිත චංචලය. ආච්චි හා කතා කළ නොහැකි දේ එමටය. හසන්ති කවදත් සිය අදහස් බෙදා හදා ගන්නේ රුක්ෂානි සමඟය. රමේෂ්ගේ විදේශගත වීමත් සිය යෙහෙළියෝ දෙදෙනෙක් ලන්ඩනයේ ජීවත් වීමත් නිසා ඇයත් පිටරට යන්න සිහිනයක් ඇති කර ගැනීමට සූදානම් ද?
 
“හොයල බලන්න ඕන.”
 
“කෝ මගෙ ටීචර් නෝනා ආවා ද?”
 
චූටි මැණිකා තේක්ක ලී බන්දේසියකුත් රැගෙන කාමරයට එන්නීය. එහෙත් තේ කෝප්ප පීරිසි වෙනුවට එහි ඇත්තේ කුඩා වීදුරු බඳුන් දෙකකි. විනාකිරි සුවඳෙන් කාමරය නැහැවුනි. රුක්ෂානිගේ වත පිපී ඇත. කුඩා දැරියක් මෙන් ඇය සතුටෙන් ඇස් පියා ගත්තාය. කෑම සුවඳක් දැනී නැහැය උස්සා ඉව අල්ලන බලු පැටවකු මෙන් නහය හකුළුමින් ඇය චූටි මැණිකාගේ අතේ ඇති බන්දේසියට කිට්ටු වෙයි.
 
“මෙන්න මේ බේබි රට ඉඳලත් ලියල එවන්නෙ අඹ අච්චාරු ඉල්ලලා.”
 
අඹ පමණක් නොව එහි වෙරළු, අන්නාසි ආදිය ද තිබුණි. ලුණු, ගම්මිරිස් හා මිරිස් දියර විනාකිරි හා එක්ව පළතුරු කෑලි රසවත් කරයි. උඩින් තවරා ඇති සීනි කැට ජනේලයෙන් ගලා ආ හිරු එළියේ දිලිසෙයි.
 
“චූටි මැණිකා මේවා ගේන්නෙ මට නෙමේ. හසන්තිට. අප්පේ… වරුණාව කියල ඉවරයක් නෑ. මට කනක් ඇහිල ඉන්න නෑ. හසන්ති බේබි අරහෙම කියල දුන්න හසන්ති බේබි මෙහෙම කිව්වා…..”
 
“අපේ බේබි නැත්නම් කොහෙද මොනවත්…”
 
චූටි මැණිකා දන්නවා රුක්ෂානි දඟ කරන්නෙ කියලා. ඒත් එයාට දුකයි. රුක්ෂානිත් එකට හැදුනු වැඩුනු මැණිකෙලාට ඇය නැති පාළුව හොඳට දැනෙනවා.
 
“ම්…හරි සුවඳයි.”
 
තම මෑණියන් ඇතුළු පිරිස සමඟින් දහවල් කෑමකට ගිය සංජීවනී කාමරයට ඇතුල් වුනෙත් නහයෙන් ඉව අල්ලමින්. චූටි මැණිකා ඉක්මණින් ගියා තවත් අච්චාරු බඳුනක් අරන් එන්න. වෙනදා සංජීවනී අච්චාරු වගේ කෑම කටේ තියන්නෙ නෑ. ඒත් අද චූටි මැණිකා අරන් ආ අච්චාරු එයා කෑවේ තලු නොගහ විතරයි.
 
“කොහොමද හෝටලේ ලන්ච් එක?”
 
“අහන්න එපා. බකමූණු කූඩුවකට ගියා වගෙ.”
 
අහන්න එපා කිව්වට සංජීවනී විස්තරේ අකුරක් පාසා දෙදෙනා හමුවේ තැබුවාය.
 
“අම්මි පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ. ඒ මිනිහා තමයි කන බොන ඒවා හිටන් තීරණය කළේ. මටත් එක්කම. මගෙන් ඇහැව්වෙත් නැහැ මොනවද ඕන කියලා.”
 
“එයා උයන කෑම නෙමෙයිනෙ. හෝටලයක කෑම ගන්නෙ කැමති අයට කැමති දේවල් ඕඩර් කරන්න පුළුවන් නිසා බව දන්නෙ නැද්ද?”
 
ඒ රුක්ෂානි. සංජීවනී ඒක ඇහුනේ නෑ වගේ කතාව.
 
“මගෙ තොරතුරු මුකුත් ඇහැව්වෙ නැහැ එක්කෙනෙක් වත්. එයාල දන්න අය ගැන කතා කළා මම එතන නෑ වගේ. කවුරුත් වැඩි කතා බහක් නෑ. බකමුණු රැස්වීමක් වගේ.”
 
“ඔයා ඉතින් හූම් හූම් කිව්වද?”
 
රුක්ෂානි ඇහුවම සංජීවනීගේ මූණ හිනාවකින් පිරුණ.
 
හසන්ති පුදුමයෙන් සංජීවනී දිහා බලාගෙන. හිතේ තියෙන දේවල් වැඩිය නොකියන සංජීවනීගෙන් මෙහෙම කතාවක් පිටවෙන්නෙ හොඳටම හිත කළකිරුණම පමණයි. සංජීවනී වෙනස් වෙලා. වෙනද එයා කන බොන දේවල් ගැන විමසිලිමත්. අද එයා කෑම බීම හොයල බලන්නෙ නැතිව කටේ දාගන්නවා. ප්‍රීනිගෙ නිවසේදී එයා කැවුම් කෑවෙත් වෙනද වගේ තෙල් අහක් කරන්න කීප වතාවක් කඩදාසි කොළවල පොඟවල නෙමෙයි. වෙනදා ඇය රූප ස්වභාවය ගැන උනන්දුයි. එයාගෙ ඇඳුම් එහෙමත් ඉස්සර තරම් අලංකාර නැති බව හසන්ති දුටුවාය.
 
“ඇඟ පොඩ්ඩක් හෝද ගන්න ඕනා.”
 
සංජීවනී ඇඳෙන් නැඟිට සිටියාය.
 
“කොයි පොඩ්ඩද හෝදන්නෙ කියන්න. අනිත් හරියට පර්ෆියුම් ටිකක් දාන්නම්.”
 
රුක්ෂානි මේසය මත වූ සුවඳ විලවුන් බඳුනක් සංජීවනී වෙත දක්වන්නීය. සිහින් හඬෙන් හිනා වූ සංජීවනීගේ මුහුණේ අහිංසක සුන්දරත්වය මතුවුනි. ඇය අත වූ පාර්සල් කිහිපයක් රුක්ෂානිගෙ කාමරයේ බිම අතහැරලාය. ඒවා ගැන තැකීමක් නැති පාටයි. අසුරන ලද පොලිතීන් කවරයන්හි දැක්වෙන්නෙ ඒවා මිලට ගෙන ඇත්තේ කොළඹ හොඳ වටින ඇඳුම් පැළඳුම් සාප්පු වලින් බවයි.
 
“අපි ඉන්නම් ඔයා එනකන්. හවස් වෙලා රවුමක් ගිහින් ප්‍රීනිවත් බලාගෙන එමු.”
 
කිසිත් කතාවක් නැතිව බඩු පාර්සල් අහුල ගෙන සංජීවනී කාමරයෙන් නිකුත් වූවාය. සිය මව හා කොතෙක් දෙයක් කතා බහ කරන්නට ඇය සිතුවාද? නිකමටවත් එංගලන්තයේ ගෙවන තම කාලය ගැන හෝ පර්සි ගැන ඇය අහන්නේ නැත්තේ ඇයි? දවස පුරා ලන්ඩනයේ ගේ ඇතුලේ හිරව සිටි සංජීවනී ලංකාවට එන බව දැනගත් දින සිට ආශාවෙන් පසුවුනේ තම මෑණියන් දැකගන්න. එහෙත් ඇයට තමා සහමුලින්ම අමතකව ඇත්තා සේය. නැවත ලන්ඩන් යෑමට පෙර ආයෙත් හමුවන්න යයි සංජීවනීගේ මව ආරාධනා කළේ නැත. එසේ ආරාධනයක් ලැබුනත් සිය මව හමු නොවන්නට දහවල් භෝජනයේදී සංජීවනී තීරණය කළාය. ආච්චි සහ සීයාද හැසිරුනේ සංජීවනී එතැන නොසිටි ලෙසයි. වයසක දෙදෙනා කතාබහ කළේ සංජීවනීගේ මවගේ දෙවන සැමියා හා පමණයි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. මේ කතාව දැන් මට මගේ අත්දැකීමක් වගේ. දුක සතුට හැම දේම…..

    කොහොම හරි පලවෙනි කොටස් දෙකවත් හොයගෙන තියා ගන්න ඕනෙ

    ප්‍රතිචාර විසින් mier — පෙබරවාරි 24, 2010 @ 8:08 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: