Sinhala story Blog

පෙබරවාරි 23, 2010

3.7 -ප්‍රශ්නයක් නැත්නම් විසඳුමක් මොකටද?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:05 පෙ.ව.

“සුදු දුවේ, මනාලියන්ගෙ යෙහෙළියන් හැටියට ඉන්නෙ අවිවාහක ගෑණු ළමයි.”
 
“මං දන්නවා. ඒත් රුක්ෂානිටයි හසන්තිටයි විතරක් කියලා සංජීවනී තනිවෙනවානෙ අම්මි.”
 
ප්‍රීනිට හාන්කාවිසියක් මතක් වුනේ නෑ සංජීවනී දැන් බැඳල නේද කියල. මදැයි, එයාගෙ වෙඩින් එකට තමන් මනාලියගෙ යෙහෙළිය සේ ඉදිරිපත් වුනාට ඒක සිහියෙන් ගිලිහී ගිය හැටි. තමාගෙ මංගල්‍යයට ඇයව රටට ගෙන්නා ගත්තෙ හතර දෙනාම එකට හිට ගන්න. දැන් මොකද කරන්නෙ? තමන් ඒ ගැන සැක පහළ කළොත් දෙමව්පියෝ ද එය අසුබ ලකුණක් ලෙසින් හිතනු ඇත.
 
මංගල්‍යයට එන නෑඳෑයන්, හිතවතුන්, සහ අමුත්තතන් සියල්ලෝම චාරිත්‍ර වාරිත්‍ර දනිති. ඉන් කුමන අයට ද සංජීවනීගේ මංගල්‍යය මතක ඇත්තෙ.
 
“හලෝ සමන්ත.”
 
“කතා කරනවා.”
 
“මේ.. මම ප්‍රීනි.”
 
“ඔව්.”
 
ඉංග්‍රීසියෙන් කෙටියෙන් පිළිතුරු දෙන සමන්තගෙ කටහඬ කාර්යාලයේ දී මහ ගැඹුරු ලෙසකින් ආරූඪ වුවක්. එයා කැමති නැහැ වැඩට ගියාම පුද්ගලික ඇමතුම් එනවට. උදේ පාන්දරින් නැත්නම් රෑට ගෙදරට කතා කරන්නයි ප්‍රීනිට උවදෙස් දීලා තියෙන්නෙ. ඒත්, ප්‍රීනි හිතුවෙ මෙය හදිසි ප්‍රශ්නයක් කියලා. ඇමතුම ගත්තට පස්සෙ සමන්තගෙ කටහඬ ඇහුණම ඒක හදිසි ප්‍රශ්නයක් ද කියලා ප්‍රීනිටත් සැක හිතුන. අපරාදේ. රෑ වෙලා ගෙදරට කතා කරා නම් හරි.
 
“මොනව කියන්න ද කතා කළේ?”
 
“වෙඩින් එක ගැන. සුළු දෙයක්. හදිසි නෑ. රෑට කතා කරන්නම්.”
 
ප්‍රීනි රිසීවරය ආපහු දුරකතනයේ රැඳෙව්වෙ කලබල වෙන්න නරකයි කියල තමන්ට ම කියා ගනිමින්. මව්බස සිංහල වුවත් ඉංග්‍රීසි දන්නෝ කතාබහේදී අපහසු මාතෘකාවක් ඉංග්‍රීසියෙන් කතා කරති. අපහසු දෙයක් ගැන කතා කළ යුත්තේ පහසු සිංහලෙන් නේද? නැතිනම් ඉංග්‍රීසියෙන් යමක් කීමෙන් ඇඟ බේරා ගැනීම වඩා පහසුද?
 
“අප්පච්චි, මොකද හිතන්නෙ. අම්මි කිව්ව ද සංජීවනී ගැන?”
 
“ඒක ඔයයි සමන්තයි කතා කරල තීරණය කරන්න. චාරිත්‍ර තියෙනව. ඔය වගෙ දෙයක් කළින් කල්පනා කරන්න අවශ්‍යයි. කෙනෙකු පිටරටකින් ගෙන්න ගන්න කළින්. මොනවද දැන් සංජීවනීට කියලා තියෙන්නෙ.”
 
“මම ඒ තුන් දෙනාටම මනාලියගෙ යෙහෙළියන් වශයෙන් ඇඳුම් ලෑස්ති කරන්න මෙහෙ එන්න කියල ආරාධනා කළා අප්පච්චි.”
 
“වචනයක් දුන්නම ආපස්සට යන්න නරකයි. ඒ ළමය දුර ගෙවාගෙන ආවටත් පස්සෙ. ඒත් මේක සුදු දුවගෙ මංගල්‍ය විතරක් නෙමෙයි. සමන්තගෙනුත් අහල එයත් කැමති නම් පමණයි.”
 
ප්‍රීනි කවදත් එයාගෙ අප්පච්චි කියන දේ අහනවා. එපා නොකියපු නිසා සමන්තට ප්‍රශ්නය ඉදිරිපත් කරන ආකාරය සැලසුම් කරන්න ප්‍රීනි තමාගෙ නිදන කාමරයේ එදා දවසම වගේ ගත කළාය.
 
“මගෙ පැත්තෙ අය සංජීවනී දන්නෑ. ඇරත් දැන් රටෙන් පිට හිටපු නිසා දන්න අයටත් අමතක ඇති. අපේ යාළුවො එන්නෙ ටික දෙනයි. උන්ගෙ රේඩාර් එකට වැටෙන්නෙ එයාගෙ මහත්තයා එක්කන් ආවනම්. ඒ තුන් දෙනා එකට ඉන්න කොට කියන්න බැරි වෙයි. හැබැයි, …”
 
එහෙම කිව්වෙ ප්‍රීනිගෙ ප්‍රශ්නයට සවන් දුන් සමන්ත. හවස් වෙලා සමන්ත ගෙදර යන ගමන් ප්‍රීනිගෙ නිවහනට ගොඩ වැදුන. රාත්‍රී ආහාරයත් එහෙන්ම අරගෙනයි ඔහු ගැටළුව ගැන විමසුවේ. ඔවුනට නිදැල්ලේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්නට ඉඩ දී දෙමහල්ලෝ ගේ ඇතුලට වැදුනහ. දෙන්නා ඉස්තෝප්පුවට වෙලා කතාබහේ.
 
“අසුබ වෙයිද?”
 
“පිස්සු ද ප්‍රීනි අපි ඕවා විශ්වාස කරන්නෙ නෑනෙ ළමයො.”
 
“එහෙනම් ඔයා හැබැයි කියල නතර කළේ?”
 
“කෝ ඔයා මට කියලා ඉවර කරන්න දුන්නෙ නෑනේ.”
 
ඒත් කල්පනාවේ නියැළුන සමන්තගෙන් වචනයක් පිට වෙන්න කාලයක් ගතවුනා. ඔහුගෙ හිත ඈතක දුවල. ප්‍රීනි මඳක් හයියෙන් මදුරුවෙකුට තැලුවෙ සමන්තගෙ සමාධිය බිඳින්නත් එක්ක.
 
“සංජීවනී ඉස්සර හිටිය තරම් ලස්සන නෑ. දැන් පිට්ටු බම්බුව වගෙ මහත් වෙල මළානික මූණක් තියෙන්නෙ.”
 
“ඔයා හරි නරකයි. බලන්න කියපු කතාවක්.”
 
තරහ ස්වරයකින් කිව්වට ප්‍රීනිගේ මුහුනේ ඇඳී තිබුනෙ සිනහවක්.
 
“ඉතින් හෙට ආවම බලා ගන්නවකො. අපිට රෑ වෙනවා. අපි යනවා.”
 
ප්‍රීනිගෙ කොණ්ඩ කැරැල්ලක් අතේ පටලවා ගෙන සමන්ත ඇඳි පුටුවෙන් නැඟිට්ට. පුටුවෙ ඇන්ඳෙ වාඩි වෙලා උන්න ප්‍රීනිත් ඒ එක්කම හිට ගත්ත.
 
“ඇත්තටම ගොඩක් මහත් වෙලා ද?”
 
වාහනයේ එන්ජිම පන නංවන සමන්තගෙන් ප්‍රීනි ඇහැව්වෙ රහසෙන්. සමන්ත හිනා වෙලා ඔව් යැයි වදනින් නොකියා ඔළුව ඉහළටත් පහළටත් වැනුව. මදැයි බැඳපු එක්කෙනෙක් මදිවට ඉස්සර හිටපු තරම් ලස්සනත් නැතිලු. මමත් කල්පනා නොකර කර ගන්න වැඩ තමයි. ප්‍රීනි එහෙම හිතුවට සංජීවනී කෙරෙහි එයාගෙ තියෙන සබැඳියාවෙ කිසිම අඩුවක් ඇතිවුනේ නැහැ.
 
ප්‍රීනි හිතන්නෙ යම් දෙයක් හරියාකාරයෙන් කෙරෙන්න අවශ්‍ය විදිය. මානසික ආවේගයන් හා හැඟීම් අතරෙන් ප්‍රතිඵලයක් ගන්න හැකි වන්නෙ ඒවා පාලනය කරන්න පුළුවන් අයට. සංජීවනී හා තියෙන මිතුරු සෙනෙහස දැඩි වුනාට ඉන් තම ජීවිතයට යම් අඩුවක් ඇති කරන්නට ඇති අවස්ථාව වෙනස් කරුණක් ලෙසයි ප්‍රීනි සැලකුවේ. 
 
****

“ප්‍රීනි.”
 
“අපේ සුබ පැතුම්!”
 
“දැන්මම මනමාලි වගේ හැඩයි.”
 
යෙහෙළියන් හතර දෙනා එකතු වන්නෙ අවුරුදු දෙක තුනකට පස්සෙ. තව දුරටත් පුංචි ළමයි නොවුනට ඔවුන් උඩ පැන පැන කෑගහන්න තරම් සතුටකින්. කොච්චර කාලයක් ඈත් වෙලා හිටියත්, ලිපි මඟින් නිතර විස්තර හුවමාරු කර නොගත්තත්, ඔවුන් යළි කතාව පටන් ගත්තෙ ඊයේ පෙරේදා දැක යළි හමුවුනු යෙහෙළියන් වගෙ.
 
“මොනවද අපි කරන්න ඕනා?”
 
“කොයි වෙලාවට ද නැකත තියෙන්නෙ?”
 
“ඔයා ඔසරිය ද අඳින්නෙ නැත්නම් …”
 
“සමන්ත මොනවද අඳින්නෙ? උඩරට නිලමෙ වගේ ද?”
 
ප්‍රශ්න කෙල කෝටියක ආරම්භය. ප්‍රීනිගෙ නිදන කාමරයට වැදුනු යුවතියන්ගෙ කිචිබිචිය ආනන්දයෙන් උණුසුම්. ඔවුන්ගෙ සිනා හඬෙන් පළාතම පිරුණ. නිවහන අසළින් පාර අයිනෙන් යන උදවිය මංගල්‍යයක් මෙම නිවසේ කෙරෙන බව නොදැන ඉන්නේ තව ටික දිනක් පමණි.
 
“මම ලා දම් පාට සාරි ගත්තෙ ඔයාලට. මෙන්න බලන්න.”
 
සාරි, හැට්ට රෙදි, ලයිනින් දාන්න රෙදි සේරම යෙහෙළියන් හමුවේ ප්‍රීනි එළියට ගත්තේ සිය හුරු පුරුදු මමයි මෙතන ලොක්කා යන පිළිවෙතින්.
 
“දම් පාට!?”
 
රුක්ෂානි විවේචනය කරන්න කට ඇරියත් හරි හසන්තියි සංජීවනියි එයා දිහාට හැරුන නිමේශයෙන්.
 
“ලා දම් පාට…. ලස්සනයි.”
 
කවදත් ප්‍රීනි තෝරන්නට එකඟ නොවෙන රුක්ෂානි බොහොම අමාරුවෙන් අනික් දෙදෙනාට දීපු පොරොන්දුව මතක් කර ගෙන කටින් පිට වෙච්ච විවේචනාත්මක ස්වරයෙන් බේරුණාය. ප්‍රීනිගෙයි විවාහ මංගල්‍යය. එයාට කැමති පාටක් මනාළියන්ගෙ යෙහෙළියන් වශයෙන් ඔවුන් හැඳ පැළැඳ ගත යුතුය. ඊට කිසිත් කීමට ඔවුනට අවකාශ නැත.
 
“එන්න ළමයිනෙ. කන්න බොන්න ඇරියා මේසෙට. කාමරේ මෙයාගෙ සේරම ඇඳුම් තියන නිසා. යාන්තමින් වත් බීම ටිකක් ඉහිරුනොත් ඕකක මටයි කණක් ඇහිලා ඉන්න නොවෙන්නෙ.”
 
දොර රෙද්දෙන් ඔළුව එබූ ප්‍රීනිගෙ මව කියා සිටියාය.
 
“ඔයා දැන් තේ බොනවා ද?”
 
කිරි සීනි දෙකම දමා හදා ඇති තේ කෝප්පය අතැති සංජීවනී දුටු ප්‍රීනිට කියැවුණා.
 
“සීතලයිනෙ ළමයො එහෙ. ඇට මිදුළු වලට දැනෙන සීතල නැති වෙන්නෙ තේ කෝප්පයක් අත් දෙකෙන් ම අල්ල ගෙන ඉන්න කොට විතරයි.”
 
සංජීවනී ඉස්සර කාලේ තේ බිව්වේ නැත්තෙ දත් කහට ගැහෙනවා කියල. ඒ බව දන්න යෙහෙළියන් මෙතෙක් කලක් ඇය හමු වෙද්දි තේ බොමු ද අහන්නෙ නැහැ. ප්‍රීනිගෙ අම්මි ඒක දන්නෙ නැහැනෙ. ප්‍රීනිට ඒ බව කලින් අම්මිට කියන්නත් අමතක වුනා. දැන් වැඩ කන්දරාව ගොඩ ගැහිලා නිසා පුංචි පුංචි දේවල් අමතක වෙනවා.
 
“ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් විසඳගන්න දෙයක් තියෙනවා.”
 
යෙහෙළියන්ට නිවීහැනහිල්ලේ ඉන්නට ඉඩ දී ප්‍රීනිගෙ මව ඇතුල් කාමරයට ගිය පසු ප්‍රීනි කටහඬ යළිත් අවදි කළාය.
 
“ප්‍රශ්නයක් නැත්නම් විසඳුමක් මොකටද?” 
 
ඒ රුක්ෂානි. එයා පුහුල් දෝසියක් ඇරල බලල කෑල්ලක් කටේ දැම්ම.
 
“මට නෙමෙයි ප්‍රශ්නය. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ කවුරු හරි ඇදල ගත්තොත් විතරයි.”
 
“හොඳයි ඇති නොවෙන්න ඉඩ තියෙන ප්‍රශ්නය මොකක්ද?”
 
රුක්ෂානි ඒ ගමන අල දෝසියක් දෙකට ඇරල බලල එක් පළුවක් කටට හලා ගත්තීය.
 
“මනාළියන්ගෙ යෙහෙළියන් හැටියට ලංකාවේ හිටගන්නෙ අවිවාහක අය.”
 
“ලංකාවේ විතරක් නෙමෙයි අනික් රටවලත් සම්මතය ඒකයි.”
 
හසන්තිත් සංජීවනීත් කතාවට කන් දුන්න මිසක් හවුල් වෙන්න ගියෙ නෑ. කැවුමක රස බලන සංජීවනීට නම් දෙබස ඇහුනද මන්ද? රුක්ෂානි ඒ ගමන පොල් දෝසියක් අරගෙන ඉස්සෙල්ලා වගේම දෙකට කඩනවා.
 
“ඔයා මොකද ඔය දෝසි ඇරල බලන්නෙ? ඇතුලෙ මුකුත් නෑ.”
 
“නැද්ද කියල තමයි බැලුවේ.”
 
“දෝසිවල ඇතුලේ තියෙන්නෙත් දෝසි.”
 
“සමහර දෝසි වල ඇතුලේ කජු, මුද්දරප්පලම් එහෙම තියෙනවා.”
 
“පොල් දෝසි වල වෙන මුකුත් නැහැ.”
 
“ඉතින් නැද්ද කියල තමයි බැලුවේ.”
 
අනික් දෙන්නගෙ ඇස් වල නලියන සෙනෙහස දැකලා ප්‍රීනියි රුක්ෂානියි දෙන්නම ඇයි මොකද කියලා එයාලගෙන් අහනවා. තමන් නොදැනුවත්වම වාදයකට කොහෙන් හෝ පැටලිලා යන හැටි වෙනදා වගේමයි.
 
“මේ දෙන්නා හිටියම ඇතිනෙ.”
 
සංජීවනී පටන් ගත්තෙ ඇත්තෙන්ම ඉන් ගැලවෙන්න. වෙනත් කෙනෙක් ඒ ගැන දුක් වෙන්න ඉඩ තිබුණත් සංජීවනී හිත පතුලෙන්ම ආශා කළේ පැත්තකට වෙලා මංගල්‍යය නරඹන්න ඇතිනම් කියාය.
 
“එහෙම බෑ.”
 
රුක්ෂානි කියයි.
 
“මේක ඔයාගෙ තීරණය නෙමෙයි.”
 
හසන්ති මතක් කළේ සිහින් හඬෙන්.
 
“ප්‍රීනි….?”
 
රුක්ෂානි ප්‍රීනි දිහා බලා පිළිතුරක් ඉල්ලනවා.
 
“සමන්ත කමක් නෑ කිව්වා. මටත් ප්‍රශ්නයක් නෑ. හැබැයි එක කොන්දේසියක් පිට.”
 
“කොන්දේසි…කොන්දේසි.. යාළුවො අතරෙ කොන්දේසි දාන්නෙ කොහොම ද?”
 
රුක්ෂානි අහනවා.
 
“සංජීවනී බැඳපු කෙනෙක් බව වෙඩින් එකේ දී කාටවත් කියන්න බෑ.”
 
ප්‍රීනි කියන්නේ රුක්ෂානිගෙ ප්‍රශ්නේ ඇහුනෙ නැති ගානට.
 
හසන්ති කල්පනා කළේ ඒ කොන්දේසියෙ කිසිම වැරැද්දක් නැහැයි කියල. සමාජ වත් පිළිවෙත් ගැන කයි කතන්දර කියන අය වෙන කතා කරන්න දෙයක් නැති කමට අඩු පාඩු ගැන තමයි සංවාද කරන්නෙ. ඒ වගෙ අයට අවුළු පත් නොදී ඉන්න තරමට හොඳයිනෙ.
 
“කවුද ඒවා අහන්න එන්නෙ? සංජීවනී අඳුනන අය ආවොත් ද?”
 
රුක්ෂානිගෙන් තවත් ප්‍රශ්න.
 
“එන අමුත්තො කවුද කියලා මම දන්නවා. සංජීවනී බැඳලා කියල දන්න අය නැහැ. ඉතින් කමක් නැද්ද සංජීවනී?”
 
ප්‍රශ්න වලටම නොවුනාට ප්‍රීනිගෙන් උත්තරයක් නම් ලැබුනා.
 
රුක්ෂානි වැඩේට අකමැතියි. එයා ඉතින් කවදත් ප්‍රීනි කරන යෝජනාවකට කැමති නොවෙන නිසා එයාගෙ අකමැත්ත කවුරුත් ගණන් ගත්තෙ නැහැ. සංජීවනී අයෙත් ඇවටිලි කළා අනිත් දෙන්නව පමණක් ගන්න කියලා. ඒකට අනිත් තුන් දෙනාම අකමැතියි. අන්තිමට සංජීවනී විවාහක බව කාටවත් නොකියා ඉන්න යෙහෙළියෝ තීරණය කළහ.

ප්‍රතිචාර 4 »

  1. I was waiting for this episode, I think i must have checked at lease 10 times 🙂
    It was a bit delayed than other days, wasn’t it?
    Really interesting story.
    Thank you

    ප්‍රතිචාර විසින් mier — පෙබරවාරි 23, 2010 @ 8:13 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: