Sinhala story Blog

පෙබරවාරි 20, 2010

3.6 -ඔයා මෙහෙ ද ඉන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 5:05 ප.ව.

වසා දැමුනු පාසැල් නැවත ආරම්භ වී ඇත. පෙළ ගැසී තිබුණු සාමාන්‍යය පෙළ හා උසස් පෙළ පොදු සහතික පත් විභාග එක දිගට පැවැත්වුණි. වසර දෙක තුනක් වසා දමා තිබුණු ලාංකික උසස් අධ්‍යාපන ආයතන ද එකෙන් එක නැවතත් විවෘත වන්නට පටන් ගෙන. රැකියා සොයා ගත් සමහර ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ආපහු විශ්ව විද්‍යාලයන් වෙත ආවේ නැත. සිසු සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වන්නට හේතු වූ තවත් කරුණු වුයේ මරුමුවට පත් වූවන් හා අතුරුදහන් වුවන්ය. පවුල් පිටින් මරුමුවට පත්වූ හෝ අතුරුදහන් වූ අය ගැන දන්වා යවන්නට කෙනෙක් නැත.
 
ආපසු පැමිණෙන්නට වරලත් ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ ලහි ලහියේ අධ්‍යයන කටයුතු වල නිරත වූවෝය. අත මිට ඇති ඉංග්‍රීසි බස් හුරුව දත්තෝ පිටරටෙන් උපාධි ලබා අවසන්ය. ඒ අය අතරට රුක්ෂානි ද අයත් වූවාය. කොළඹ විශ්ව විද්‍යාලයේ ලත් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්ත විශ්ව විද්‍යාලය ඇයට සහනයක් ලබා දුන් නිසා ඉක්මණින් උපාධිය නිම කරන්නට ඇයට හැකිවුණි. රුක්ෂානිත් සංජීවනීත් ළඟදීම පැවැත්වෙන ප්‍රීනිගේ විවාහ උත්සවයට එන බව රුක්ෂානි ලිපියකින් හසන්තිට දන්වා එවීය.
 
“බේබි කතා කළා. සුමානෙටම එයාට කන්න උයන්න දේවල් ලිස්ට් එකක්ම දුන්නා.”
 
“අමරදාස තනියම ද චූටි මැණිකා එයාර් පෝට් යන්නෙ?”
 
“ඔව්. ලොකු මහත්තයෙල ඊට පස්සෙ දවසෙ ලංකාවට එනවා. ලොකු අක්කා දිව්‍ය ලෝකේ ගිහින් වගෙ මේ දවස්වල. කුස්සිය පැත්තට අපිට එන්න දෙන්නෙත් නැහැ.”
 
හසන්ති චූටි මැණිකට සාමාන්‍ය පෙළ විභාගය‍ට පාඩම් කියා දෙන්න නිතර රුක්ෂානිගේ නිවහනට ආවාය. පාසැල් ගියේ නැති වුනාට බාහිර විභාග අපේක්ෂිකාවාක් ලෙස අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඇයට උදව් දුන්නෙ හසන්තියි ප්‍රීනියි. ප්‍රීනි තමයි සේරම පහුගිය ප්‍රශ්න පත්‍ර සොයල ගෙනාවෙ. හසන්ති චූටි මැණිකා ළඟින් ඉඳ ගෙන ඒ සේරම පැහැදිලි කළා. ආසාමන්‍ය වූ හැකියාවෙන් ක්ෂණිකවම කෙනෙක් කියන්න වටහා ගැනීමේ වාසනාව චූටි මැණිකා සතුය. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇය උසස් ලෙසින් සමත් වනවා නිසැකය. එහෙයින් ඔවුන් කාලය කා නොදමා දැනටමත් උසස් පෙළ විෂයයන් හැදෑරීම පටන් ගෙන ඇත.
 
“හසන්ති බේබි දොස්තර කෙනෙක්ට වඩා ටීචර් කෙනෙක් වුනා නම් හොඳයි.”
 
“දොස්තරලට උගන්වන ටීචර්ලත් ඉන්නවනෙ.”
 
“මම ඉතින් ඒ ගුරුවරු ගැන දන්නෙ නෑ. ඒ වුනත්, හසන්ති බේබිට ඇහැකි ඕන දෙයක් හොඳට පැහැදිලි කරන්න.”
 
“බටර් ගාන්න ඕනේ නෑ මට. රුක්ෂානි ආවම මම මෙහෙ එන එක වැඩියිනෙ.”
 
හසන්ති චුටි මැණිකට මතක් කළා. තමා ඇයට පාඩම් කියා දෙන්නට කාලය මිඩංගු කරන්නේ පුද්ගලික ලාභයක් තකාය. එය කවුරුවත් නොදිනිති. රමේෂ් රටෙන් පිටව ගිය දා පටන් සිය ජීවිතයේ ලොකු අඩුවක් ඇත. කාන්සිය තනිකම වැඩි වැඩියෙන් දැනෙයි. වෛද්‍ය විද්‍යාලයේ සෑම දොරක් ඇය අතින් ඇරෙන්නේ වැහෙන්නේ ඔහුව සිහියට නඟමිනි. මහ රෝහලේ වාට්ටු අතරේ සුදු දොස්තර කබායන් ඇඳගත් වෛද්‍යවරු හා සිසුන් ඇවිදින අවස්ථාවල ඇය ඔවුන්ගේ මුහුණු පරීක්‍ෂා කරන්නේ රමේෂ් ඔවුන් අතර නැති බව හොඳටම දැන දැනය. වෛද්‍ය විද්‍යාලයෙන් පිටත ඇය ගත කරනා වැඩි කාලය ගෙවී යන්නේ රුක්ෂානිගේ නිවසේය. චූටි මැණිකාට පාඩම් කියා දෙන හසන්තිගේ සිත මඳකට රමේෂ් ගැන සිතුවිලි වෙතින් ඈත් වෙයි.
 
“බේබි එයාපෝට් යනවා නම් අමරදාස අයිය ඇවිත් උදේට එහෙන් එක්ක යයි.”
 
චූටි මැණිකාගේ වදනින් අවදි වුනු හසන්තියි චූටි මැණිකයි ඇරුණු පොත් මේසය මත තිබිය දීම පුටු වලින් නැඟිට අමරදාස සොයා දිවූහ. තරප්පු පෙළ දිගේ දිවගෙන එන ඔවුනට පොඩි මැණිකාගෙන් තරවටුවක්.
 
“කඩාගෙන බිඳගෙන කොහෙද මේ දෙන්න දුවන්නෙ?”
 
“හසන්ති බේබි…එයාර් පෝට්….අමරදාස අයිය තාම ගෙදර ද?”
 
කලබල වෙලා චූටි මැණිකට වාක්‍යය සම්පූර්ණ කරගන්නත් බෑ. හසන්ති තමා වෙනුවෙන් දැනටමත් කර ඇති උපකාර තක්සේරු කළ නොහැකිය. හසන්ති වෙනුවෙන් කළ හැකි පුංචි දෙයක් හිතට ඒම ගැන චූටි මැණිකා උද්දාමයෙන්. අමරදාස හොයාගෙන රුක්ෂානි එන දවසෙ ගුවන් තොටුපල වෙත යන්න කතිකා කරගෙනයි එදා හසන්ති ගෙදර ගියෙ. 
 
********
මඟ දෙපස ගෙවල් දොරවල් එහෙන් මෙහෙන් නිදිකඩ හරිති. කෙනෙක් දෙන්නෙක් උදෑසනින්ම සැරසී රැකියා සඳහා මෙන්ම පාසැල් යන්නටත් මඟට බැස ඇත. හසන්ති අමරදාස සමඟින් වාහනයේ ඉදිරි ආසනයේම අසුන් ගෙන. ආපහු එනකොට රුක්ෂානි එක්ක පස්සෙ සීට් එකේ වාඩි වෙනවා. අමරදාස වාහනය පිටතින් සෝදා පොලිෂ් දමා ඔප දමා ඇත්තේය. ඇතුලත සීට් කවර කොහේදෝ තැනකට ගෙන ගොස් ඔහු සෝදා මැදගෙන ආ බව මැණිකෙලා හසන්ති කණ තැබූහ. ඒ ලොකු මහත්තයා එන නිසා. අමරදාසට හරි සතුටුයි. අමරදාසගේ ජීවිතයේ එයා අයිති වුනේ එකම පවුලකට. ඒ අතුරුපාන පවුලට. තමාගේ පවුලේ සාමාජිකයො නැවතත් එකතු වෙන සතුට ඔහුට දැනුනෙ. තමන් සේවකයා ඔවුන් තම ස්වාමියන් කියන වෙනස ඔහු සිතට නැඟුනේ නැත.
 
ආනන්ද අතුරුපානගේ බල මහිමය උපයෝගී කරගත් අමරදාස ගුවන් තොටුපලේ මඟීන් නික්මෙන ස්ථානය ළඟටම යන්න පාස් එකක් වාහනයේ රඳවා ගෙන. කිසිත් කතාවක් නැතිව වාහනය ඉදිරියට ගියා. මාර්ග කපොළු වල හිටන් උන්න තුවක්කු මානා ගත් හමුදා භටයින් අත වනා රථයට ඉදිරියට ඇදෙන්න ඉඩ දීලා අයින් වුනා. ඉස්සර කාලෙක හිටපු ජනාධිපතිගෙ වාහනය දැන් විකුණල ද නැත්නම් එයාට තාම තියෙන්නෙත් මේ ජාතියෙම එකක් ද කියල හසන්තිගෙ සිහියට නැඟුන.
 
සූට්කේස් පෙට්ටි එකක් පිට එකක් උඩ ගහල ඒ මත එරමිණිය ගොතා ගෙන රුක්ෂානි. එයා ළඟින් ලේන්සුවකින් දහදිය පිහ දමමින් කාන්තාවක් හිටගෙන. කවුද ඒ…? අඳුනන හැඩ රුවක්…. වාහනය දැක්ක රුක්ෂානි අත වනනවා.
 
“සංජීවනී..! ඔය දෙන්න එකටම එනවා කියල කිව්වේ නෑ.”
 
දොර ඇරගෙන හසන්ති දිව්වා එයාල දෙන්න අසලට. උදව් කරන්න ආ අය එළවලා අමරදාස වාහනේ ඩිකිය ඇරල සූට් කේස් ඒකට ඔබන්න උත්සාහයක. අහල පහල තුවක්කු උරුක් කරන් ඉන්න හමුදා භටයො එයාල නැවතිල එතන ආචාර සමාචාර දක්වන්න කාලය ගන්න එකට අකමැතියි. අමරදාසට පමණයි ඒක සිහියෙ ඇත්තෙ.
 
“පුදුමයි. ඒත් ඇත්තයි.” රුක්ෂානිගෙ මුහුණ දඟකාර හිනාවෙන් පිරිලා.
 
“අන්තිම මිනිත්තුව වෙනකන් අපි දෙන්නම දැනන් හිටියෙ නෑ සංජීවනීට එන්න පුළුවන් වෙයිද බැරිවෙයි ද කියල. ඒකයි කාටවත් කිව්වෙ නැත්තෙ.”
 
රුක්ෂානිගෙ ඇස් ප්‍රීතියෙන් විකසිතය. වේලාව උදෑසන හය වුවද සෙමෙන් සෙමෙන් ඉහළට නඟින්නට තැත දරන කොළඹ නගරයේ උෂ්ණත්වය කියා පාන්නට මෙන් පරිසරයේ ආර්ද්‍රතාවය දැඩිය. ඊට හුරුපුරුදු කම් තව දුරටත් නොකියන සංජීවනී හා රුක්ෂානි මුහුණින් කනින් පෙරෙන දහදියෙන් තෙත්වෙලා.
 
“ඒ.සී. දාන්න එපා අමරදාස අපිව සීතලේ මිදෙයි.”
 
ඇඳ සිටි ඩෙනිම් කලිසමෙත් වුලන් බ්ලවුස් එක ඇතුලෙත් දාඩිය බිංදු එකින් එක බේරී වැටෙද්දී රුක්ෂානි කියා සිටියාය. සුද්ධ පවිත්‍ර කළ වාහනය ඇතුලට දුවිලි එනවාට අකැමති වුවත් අමරදාස නිශ්ශබ්දව වාහනය ඇතුලත සමනය වන සිසිල් සුළඟ නිමා දැමීය.
 
වාහනයේ වීදුරු කවුළු පහත් කළ රුක්ෂානි හිස පොඩ්ඩක් එළියට එබුවාය.
 
“ඔළුව එළියට දානවා නම් ජනේල වහනවා.”
 
අමරදාස තරවටු කරයි. හිස වහාම ඇතුලට ගත්තත් රුක්ෂානිගෙ ඇස් වටපිටාව දිහා කරකැවුනා. පාරේ පැත්තකින් ඌරෙක් දිව යයි. කුඩා කොල්ලෙක් කොට කලිසම් වැහැරැල්ලක් පමණකින් සැරසී අතේ කෝටුවක් ඇතිව ඌරා පිටුපසින් පන්නා ගෙන යයි. බයිසිකල් කාරයෝ එහෙන් මෙහෙන් දමා බස් ඉදිරියෙන් පවා බයිසිකලය පදින්නේ ජීවිතයට ඇල්මක් නැත්තා සේය. වාහන සියල්ලම එකිනෙකා පරදවමින් හෝන් ගසති. හයියෙන් ගහන තරමට පාරේ ඉඩකඩ ලැබෙනවද? තනි කකුලෙන් යන බලු කුක්කන් පාර අයිනේ බලා ඉන්නේ අපේක්‍ෂාවෙනි. පාර පනින්නට නොව එහි සිරි නරඹන සෙයකිනි. මහා කාලඝෝෂාව මැද කිසිම නීතියක් රීතියක් නැතිව දිව යන යාන වාහන වලින් පිරුණු මහපාර මැද කණ්ඩියේ නාකි බැල්ලියක් තද නින්දේ.
 
“ප්‍රීනි මේ දවස් ටිකේ පිස්සු හැදිලා වගේ.”
 
තොරතුරු බෙදා ගන්න පටන් ගන්නෙ කොහෙන්ද?
 
“හැමෝම බොස් කර කර ඇති.”
 
රුක්ෂානිගෙ ඇහි බැම ඉහළ පහළ යනවා. එයා අත් දෙකෙන් උස්සලා කොණ්ඩ කැරලි දෙකක් පස්සට දාන හැටි ඉඟි කලේ වාහනේ උන්නු හැමෝගෙම හිනාව මැද්දෙ.
 
“හෙට හවස එහෙ එන්න කිව්ව සාරි ජැකට් ට්‍රයි කරන්න.”
 
“මම පොරොන්දු වෙනවා කිසිම වාදයක් පටන් ගන්නෙ නැහැ කියල.”
 
රුක්ෂානි අත් දෙකම පපුවට තියල යෙහෙළියන් ඉදිරියේ පොරොන්දු වුනා. අහන්න කියන්න දේ ගොඩාක්. කොහෙන් පටන් ගන්නද? හද පාරන ආවේගයන් වගේම සුවබර අතීතයක මතක වාහනය තුල පිරිලා ඉතිරිලා. තුන් දෙනාම එක පාරටම වගේ නිශ්ශබ්ද වුනේ අතීතයේ එක් එක් තැන් මතකයට ගලා ආ හෙයින්.
 
ගුවන් තොටුපලේ සිට නිවසට පුංචි දුරක් වුනත් පැයක් හමාරක් ගියා රුක්ෂානිගෙ ගෙදරට එන්න. භීෂණ සමයේ සෑහෙන මනුෂ්‍ය ඝාතන සිදු වුනත් කොළඹ නගරයේ ජනගහනය නම් අඩුවක් වෙලා නැති හැඩයි.
 
“ඔයා මෙහෙ ද ඉන්නෙ?”
 
සංජීවනීගේ බඩු භාණ්ඩත් වාහනයෙන් එළියට ගත් නිසා හසන්ති ඇහුවෙ.
 
“ලොකු කතාවක්. යමු කියන්න.”
 
රුක්ෂානි හසන්ති අතට කරේ දාගෙන ආ මල්ල දෙමින් කීය. මැණිකෙලා තුන් දෙනා අවුත් රුක්ෂානි වට කර ගත්හ.
 
“බේබිට මහන්සි ඇති. පොඩ්ඩක් නිවිහැනහිල්ලෙ ඉන්න දීපල්ල.”
 
අමරදාස ලොක්කා වගේ මැණිකෙලට දොස් කියනවා. ඒත් ඔහුගෙ මුහුණ පුරා පැතිරිලා ඇත්තෙ සෙනෙහස. මැණිකෙල තුන් දෙනා රුක්ෂානිගෙ කොණ්ඩෙ අතගානව, අත් අතගානවා. පිට පිරිමදිනවා. ආපහු රටට ආවා කියල විශ්වාස කර ගන්න බැරුව වගෙ. රුක්ෂානි රටෙන් පිටව ගිය හැටි දන්න නිසා මෙච්චර ඉක්මණින් ආපහු එයි කියල තමනුත් විශ්වාස කළ නොහැකි බව හසන්ති සිතට දැණින.
 
“අම්මා ආයෙ බැඳල. එයා කැමති නැහැ මම ඒ ගෙදර ඉන්නවට. අතීතය අමතක කරන්න හදන්නෙ කියලා. මම ලංකාවට එනවට කැමති වුනෙත් නැහැ. එන්න එපා කිව්වා.”
 
ඇඟ සෝදා ගත් සංජීවනී රුක්ෂානිගෙ කාමරයේ දී හසන්තිට කීවාය. සංජීවනී මහත් වෙලා. නිතරම සිය රූප ලාවන්‍යය ගැන සැලකිල්ලෙන් සිටි ඇයට මෙවන් පෘථුල දේහයක් ඇයි? ඇය ගැබ්බර බවක් නොදක්වයි. පව් අහිංසක කෙල්ල.
 
“අපි සංජීවනීගේ ආච්චිට කියලා ටිකට් ගෙන්න ගත්තා එන්න. මාත් එක්ක මෙහෙ ඉන්නවා කිව්වම එයාල කැමති වුනා. අපි පර්සිට කිව්වෙ ප්‍රීනි ටිකට් එව්වෙ කියල. පර්සි එනවට එච්චර කැමති වුනේ නැහැ. අකැමති වුනේත් නැහැ. වෙඩින් එක නිසා මුකුත් කිව්වෙ නැහැ.”
 
සාළුවකින් ඔළුව වසාගෙන තවත් සාළුවක් ඇඟ ඔතා ගෙන ගී තැටියක වැයෙන සිංදුවක හඬ වැඩි කරමින් රුක්ෂානි කතාවට එක් වූවාය. හැම අතටම මොන මොනවා කියල හරි විසඳුමක් හොයා ගන්න රුක්ෂානි සමත්. ඒත් සංජීවනීගේ ජීවිතය හැමදාමත් ඒ වගේ දුෂ්කර ආයාසයක රැඳෙන්නක් ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: