Sinhala story Blog

පෙබරවාරි 19, 2010

3.5 -මෙහෙ හැමෝටම රෑ වෙන්නෙ එකම වෙලාවට

Filed under: Uncategorized — sinhalashortstories @ 7:21 පෙ.ව.

“මේ ළමයි පින් දහම් කරන්න ඕන. ලබන ආත්මෙ ලස්සන වෙලා උපදින්න.”
 
වැඳ පුදා ගත් රුක්ෂානිටත් සංජීවනීටත් පන්සලේ හාමුදුරුවන්ගෙන් අවවාදයක්. සංජීවනී ඉක්මණින් රුක්ෂානිගෙ මූණට එබුනේ එයා ආපැත්තට මොකක් හරි කියයි යන බයට.
 
“බලන්න අපි කැතයි කිව්වනෙ.”
 
පන්සලෙන් එළියට ආ ගමන් රුක්ෂානිගෙන් චෝදනාවක්.
 
“ඔයාට ඇහුනෙ වැරදියට. අද ලස්සනට ඉන්නේ ගිය ආත්මෙ පින් කරලා. ඒ නිසා මේ ආත්මෙත් පින් කළාම ලබන ආත්මෙටත් හරි. ලස්සනයි කියල අදහස් කෙරුනේ. කෙල්ලො සේරම පින් කරන්නෙ ලස්සන වෙන්න. ලබන ආත්මෙත් ලස්සන වෙන්න.”
 
සමන්ත හිනා වෙවී පවසයි.
 
“ඉතින් මොනවද බලන්න යන්නෙ? ඔයා හෙට ආපහු යනවනෙ. වැදගත් දේවල් සේරම බලන්න සති දෙකක්වත් ඉන්න බලාගෙන ආවනම් හරි.”
 
“අපි ඉතින් අනුන්ගෙ සල්ලි වලින් ගමන් යන අයනෙ. මෙහෙ හෝටල් වල සති ගණන් ඉන්න අපිට කොහෙද සල්ලි.”
 
“නීතිය හදාරපු අය ලන්ඩන් ටවර් බලන්න කැමති.”
 
රුක්ෂානි කතාව වෙනස් කළා. එයා අහුවුනේ නැහැ සමන්තගෙ සල්ලි සාකච්ඡාවට. සල්ලි ගැන කිසිම කතාවකට දැන් සංජීවනීත් කැමති නැහැ.
 
“මම හෝටලයෙ සංචාරකයෝ සඳහා තිබුණු විස්තර කියෙව්වා ලන්ඩන් ටවර් එක ගැන. හරිම මුස්පේන්තු තැනක් වගෙ. ඇඟ හිරිවැටිලා යනවා ඒකෙ තොරතුරු අහන කොට. හතරකඩට කපලා දෙන දඬුවම මෙහෙ තමයි පටන් ගෙන තියෙන්නෙ. රජ්ජුරුවන්ට විරුද්ධ වෙන අයට දීපු එකක්.”
 
“අර උල තියන එක එහෙම මෙහෙත් කෙරිල තියෙනවා.”
 
“ඔය දෙන්නට බැරිද හොඳ දෙයක් ගැන කතා කරන්න?”
 
සංජීවනීගෙන් ආයාචනයක්. දවස සුන්දරය. යාන්තමෙන් හමා යන සිසිල් සුළඟකින් පරිසරය නැහැවෙයි. වසන්තයේ මල් තවමත් හිස ඔසවා නැත. එහෙත් අතු සියල්ලම මල් අද හෙටම පිපෙන සේයාවක් හඟවති. වට රවුම් දෙක පසු කර ආපසු ඔවුන් පොළව යටෙන් දිවෙන උමං දුම්රිය මාර්ග ස්ථානය වෙත පැමිණියහ.
 
බකින්හැම් මාලිගයේ කළු උස් හිස්වැසුම් පැලැඳගත් මුරකරුවන් සිය මුර සේවා කාලයන් අවසන් ව මාරු වී යන උත්සවාකාරය තිදෙනා නැරඹූහ. මාලිගය ඇතුලත සමහර පැති සංචාරකයන්ට විවෘතය. මුදල් ගෙවා රජ මාලිගය නරඹන්නට රුක්ෂානි අදිමදි කළාය. ඇය ඒ වෙනුවට මැඩාම් ටූසෝ ගේ ඉටියෙන් නිමැවුන රූප කෞතුකාගාරයට ඇතුල් වන්නට තිදෙනටම ප්‍රවේශපත් ගත්තීය. එයට තරමක මුදලක් ගෙවන්නට වුනි. එහෙත් ඇය සමන්තටවත් සංජීවනීටවත් ඊට මුදලින් සහභාගි වන්නට ඉඩ නොදුනි.
 
කෞතුකාගාරය ඇතුලත වූ ලෝක නායකයන්ගේ හා සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඉටි රූපයන්ට විහිළු කරමින් ඔවුන් ගත කළේ ප්‍රීතිමත් කාලයකි.
 
“මම ගෙදර යන්න ඕනා.” සංජීවනි මතක් කරයි. 
 
“අපි කන්න තැනක් හොයා ගනිමු.”  රුක්ෂානිට බඩගිනියි.
 
සංජීවනීව බඩගින්නේ ආපසු යවත නොහැකිය. රුක්ෂානි අත පැළඳි ඔරලෝසුව දිහා දෙනෙත් යොමු කළේ කාලය කෙතරම් විගසින් ගෙවී ගියේ දැයි විශ්වාස කරනු නොහැකිවය.
 
“සේකර එකට යමුද?”
 
“ආයෙත් පවුම් දෙකයි පනහකට ආප්පයක් කන්න ද?”
 
සංජීවනී ඇහැව්වේ රුක්ෂානිත් එක්ක කළින් ගිය ගමනක් මතක් වෙලා.
 
“බ්‍රිතාන්‍ය පවුම් දෙකයි පනහක් කියන්නේ….රුපියල් හාරසීයක්…මගේ අම්මෝ..එක ආප්පයකට?”
 
සමන්ත ගණන් හදල බලනවා. ගෑණු ළමයි දෙදෙනට සිනහව නතර කරගනු නොහැකි තරම්.
 
“නීතීඥ විභාගෙ දාලා මෙහෙ ඇවිත් ආප්ප පුච්චනවනෙ කලින් දන්නවා නම්.”
 
ලංකාවෙන් එළියට ආවාම වෙන රටවලත් තම රටේත් ඇති වෙනස්කම් ගැන අදහස් දක්වන්න හැම කෙනෙක්ම පෙළඹෙන්නේ නොදැනුවත්වම. ළබාල අවදියේ පටන් රට රටවල ඇවිදපු රුක්ෂානි නිතරම දැක්කෙ ලංකාවේ අසිරියයි. ඒත් අන්තිමට රට දාල එන කාලේ එහෙ තිබුණු ප්‍රචණ්ඩත්වය කොහෙන් ආවද කියලවත් හිතා ගන්න බැරුව එයා හිටියෙ. ඒ චිත්ත පීඩාව ගැන සංවාදයකට හිත තාමත් ඉඩ නොදේ.
 
අන්තිමට ඔව්හු පාර අයිනේ කරත්තයක කෑම විකුණපු ජංගම වෙළෙන්ඳෙකුගෙන් ඉටි පත් ඉරුවක එතූ සොසෙජස් සහ බැදපු අල පෙති සමඟින් කොකා කෝලා බෝතල් තුනක් මිලදී ගත්හ. පාර අයිනේ වූ බංකුවක වාඩි ගත් තිදෙනා කෑම බීම හිස් කළේ මහත් සතුටෙන්. කිසිම වැදගැම්මකට නැති කතාවෙන් ඔවුන් කාලය ගෙවා දැම්මේ හැමදාම හමුවෙන තිදෙනෙක් ලෙසයි. මහ හයියෙන් සිංහලෙන් කතා කරද්දී අහලින් පහලින් ගිය එක සුද්දෙක් වත් සුද්දියක් වත් ඔවුන් දිහා නිකමටවත් හැරිලා බැලූවෙ නැහැ.
 
කළුවර පාත් වෙන්න කලින් සංජීවනීව ටියුබ් ස්ටේෂන් එකට හැරලවා දෙන්නම හිටියා එයා පිටත් වෙන තෙක්. අනතුරුව රුක්ෂානි සමන්ත දිහා බැලූවෙ ඊ ළඟට මොනවද කරන්නෙ අහන්න.
 
“මට තෑග්ගක් ගන්න තැනක් කියන්න.”
 
“සිහිවටනයක්ද?”
 
“මාලයක් වගෙ.”
 
“ගෑණූ ළමයෙකුට එහෙනම්.”
 
“දැන් කාලෙ නම් ලංකාවේ කොල්ලොත් මාල දානවා.”
 
සමන්ත කිව්වේ නැහැ ගෑණු ළමය කවුද යන්න. දෙන්නම ඩබල් ඩෙකර් බස් එකක නැග්ග. ලංකාවේ ඉස්සර මේ විදිය බස් දිව්ව කියල මතකද කියල සමන්ත රුක්ෂානිගෙන් ඇහැව්ව. නිතරම එංගලන්තෙ ආපු නිසා මේ වගෙ බස් දැක්කෙ ලංකාවෙදිද එංගලන්තෙදිද කියල මතකයක් නෑ කියල රුක්ෂානි උත්තර දුන්න.
 
බස් එක ඇතුලේ ටිකට් දෙන්න ආපු කොන්දොස්තර නිල් ඇස් ඇති, ලා පාට රත්තරන් හුරුවට කොණ්ඩය ඇති රූමතියකි. ඇය වෙත හෙලූ සමන්තගෙ බැල්ම රුක්ෂානිව අතීතයට ගෙන ගියා. සුද්දි නම් දෙන්නව සතේකට ගණන් ගත්තෙ නැහැ. සමන්ත දෙන්නටම ටිකට් ගන්න හදන කොට එංගලන්තයෙ ගමනාගමනය ගැන රුක්ෂානි සමන්තට පැහැදිලි කළා. එක් පැත්තකට පමණක් යන ප්‍රවේශ පත් ගන්නට පෙර ආපසු පැමිණිය හැකි ටිකට් පතෙහි මුදල ගැන සොයන්න අවශ්‍යයි. බොහෝ අවස්ථාවල එක් පැත්තකට යන දුර සඳහා අය කරන මුදලට අමතරව තවත් පවුමක් ගෙවීමෙන් පමණක් එම දුර ප්‍රමාණය ආපසු එන්නට ද පුළුවනි.
 
“පුදුම රටක්නෙ. එතකොට ආණ්ඩුවට පාඩු නැද්ද?”
 
“ඔයා වගෙ නොදන්න සංචාරකයන් දෙපැත්තටම එක ගාන ගෙවනවනෙ. පාඩු නැහැ.”
 
සාප්පු සවාරි සඳහා සංචාරකයන් සුලබව ඉන්නේ ලන්ඩන් හි ඔක්ස්ෆෝර්ඩ් සහ රීජන්ට් වීදි, නයිට්ස්බ්‍රිජ් සහ කෙන්සින්ග්ටන් පැති වලය. බස් වල නැඟ එහා මෙහා හැම තැනම ගිය දෙන්නම අවසානයේ දී නැවතුනේ ලන්ඩනයේ වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාර සාප්පුවෙහිය.
 
“කෞතුකාගාරයට නොගිහින් සාප්පුවෙන් බඩු ගත්තට කමක් නැද්ද?”
 
“බ්‍රිතාන්‍ය ඉතිහාසයම කියවලා ඉවර කරන්න ඕනා මෙතනින් බඩු ගන්න කලින්.”
 
රුක්ෂානි සමන්තට කවටකම් කළාය. කලකට ඉහත දී වෙන් වන්නට පෙර ඔවුන් දෙදෙනා අවුරුදු ගණනාවක් දැන හැඳින සිටියහ. කුඩා කාලයේ තම අසල්වැසියා වූ සමන්තව රුක්ෂානි දැක තිබුනා පමණි. කොළඹ විශ්ව විද්‍යාලයට ප්‍රවේශයත් සමඟ ඔහු හා සමීප ඇසුරක් පටන් ගැනුනේ සිය යෙහෙළිය වූ ප්‍රීනි මුල් කර ගෙනය. වසර ගණනක දැන හැඳුනුම්කම් පැවැත් වුවද අද තරම් කතා බහක් ඒ අවුරුදු ගණනාව තුලදීම ඔවුන් අතර සිදු වී නැත.
 
කෞතුකාගාර සාප්පුව තුළ අගනා තෑගි භාණ්ඩය. බ්‍රිතාන්‍යයේ නිම කරන ලද අගනා මාලයක් වෙත සමන්තගේ අවධානය යොමුව තිබුණි. කඳුළු බිංදුවක හැඩයෙන් යුත් නිල් පැහැති පුෂ්ප රාග ගලකින් එමෙන්ම ඒ වටා රැස්වුනු කළු පැහැති මාකසයිට් වලින් යුත් ස්ටර්ලින් රීදියෙන් නිමැවුනු මාලය සැබැවින්ම ලස්සනය. චාම් අලංකාරයක් එහි දිස්වුනි. මෙය එංගලන්තයේ ම නිමැවුනක් ද යයි ඔහු කිහිප වතාවක් සාප්පු නියෝජිතයාගෙන් ඇසීය. මාකසයිට් ගල් තැනෙන්නේ ක්‍රිස්ටලයිස් යකඩ පයිරයිට් වලිනි. මෙම මාකසයිට් ස්විට්ස්සර්ලන්තයේ ජූරා කඳු වැටියෙන් එන ලද්දකි. සාප්පු නියෝජිතයා මාලය එංගලන්තයේම නිම වූවක් යයි තහවුරු කළේය. එය බ්‍රිතාන්‍ය පවුම් තිස් පහකි. කිසිම පසුබෑමක් නොමැතිව මාලයට මුදල් ගෙවූ සමන්තට සාප්පු නියෝජිතයා එය අලංකාර අසුරනයක දවටා දුන්නේය.
 
ආප්පයේ ගාන වැඩියි කියපු කෙනා මාලයට මුදල් ගෙවූ ආකාරය ගැන රුක්ෂානි පුදුම වුනත් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. සමන්තගෙ අම්මට වෙන්න ඇති. ලංකාවේ අයට එංගලන්තයෙන් මාල අරගෙන යනවද? අගනා මාණික්‍යයන් තියෙන්නෙ ලංකාවේ. රැජිණගේ ඔටුන්නෙ තියෙන මැණික් ගල් එහෙමත් ලංකාවෙන්. ඒත් කැමති කෙනෙකුට තමන්ගෙ සල්ලි කැමති ආකාරයට වියදම් කරන්න අයිතියක් තියෙනවනෙ.
 
“ඔයාට රෑ වෙනව නේද?” සමන්ත අහයි. 
 
“මෙහෙ හැමෝටම රෑ වෙන්නෙ එකම වෙලාවට.” රුක්ෂානි කියයි. 
 
රුක්ෂානිට කවදත් අහවල් වෙලාවට ගෙදර ඉන්නම ඕනා කියලා කවුරුවත් නීති දාලා නෑ. ලන්ඩන් නගරයේ තැනින් තැන පහන් දැල්වෙයි. දහවල තිබුණු සුන්දරත්වය වෙනුවට පරිසරයේ උත්සවශ්‍රීයක් පැතිරෙයි. සවස් කාලයේ දොරට බහින්නෝ විසිතුරු ඇඳුමෙන් සැරසී සිටින්නෝය. කාර්යාලය වෙත අඳින සිහින් ඉරි ඇති ඔක්ස්ෆර්ඩ් ෂර්ට් වෙනුවට තද පැහැයන්ගෙන් ඇඳ ඇති දිලිසෙන සිල්ක් කමිස තරුණයන්ගේ හුරුබුහුටි කඩවසම් බව හුවා දක්වන්නට සමත් වෙති. කාන්තාවන් කොට හම් සායවල් හෝ ඇඟට තදවුනු දිග ගවුම් ඇඳ අඩි උස සපත්තු දමාගෙන තරුණයන්ගේ අතේ එල්ලී ගමන් ගනිති. හැමෝම නා නා අරුමෝසම් මෝසතර වලින් යුතු කබා වලින් වත පොරවා ගෙනය. වසන්තය ආසන්නයේ රාත්‍රිය මඳ සීතලකින් යුතුය.
 
සමන්තව ආපහු හෝටලයට ඇරලන්න ගියත් තාම රෑ වෙලා මදිනෙ කියලා හිතලා රුක්ෂානි සමන්තට ඉංග්‍රීසි පබ් එකක් පෙන්නන්න ඊට ඇතුල් වුනා.
 
“සුරාහල් වලට ගෑණු ළමයි පය ගහනවද?”
 
සමන්ත ටිකක් අදිමදි කළා ඇතුල් වෙන්න.
 
“සමහර ඉංග්‍රීසි පබ් රෑ අට වෙනකම් පුංචි ළමයින්ටත් ඇතුලට එන්න අවසර දෙනවා. මුළු පවුලටම ඇවිත් කෑම බීම ගන්න පුළුවන් තැනක්.”
 
රුක්ෂානි තතු පහදයි.
 
“මොනවද බොන්නෙ?”
 
වේටර් තැන එන්නට ප්‍රථම සමන්ත රුක්ෂානි විමසීය.
 
“මෙහෙ බියර් ඉල්ලන්නෙ වීදුරු වලින් දෙන්න බෝතල් වලින් දෙන්න කියල නෙමේ. පයින්ට් එකක් නැත්නම් දෙකක් දෙන්න කියල. ඔයා කැමති ලාගර් වලට ද ස්ටවුට් වලට ද?”
 
“මෙන්ඩිස් ස්පෙෂල් නැද්ද? ඩ්‍රෑම් වලින් දෙන්නැද්ද?”
 
සමන්ත කැම්පස් ඉන්න කාලෙත් මත්පැන් කට ගෑ කෙනෙක් නෙවෙයි.
 
“ලන්ඩන් වල ලයන් බ්‍රෑන්ඩ් ලාගර් ස්ටවුට් දෙකම විකුණන තැන් තියෙනවා. ඩ්‍රෑම් ගැන නම් මං දන්නෙ නෑ.”
 
සිංහ සංකේතය යටතේ බියර් බෝතල් කෙරෙන්නෙ ලංකාවේ. ඒත් අන්තිමේදි සමන්ත තීරණය කළා එංගලන්තයේ හදන දෙයක් බොන්න. රුක්ෂානි රතු වයින් වීදුරුවක් ගන්න කොට සමන්ත බියර් පයින්ට් එකක් ගෙන්න ගත්තා. දවස පුරාම තොර තෝංචියක් නැතුව දොඩවපු දෙදෙනා දැන් නිහඬයි. ගිනි උදුනක් ආපනශාලාවේ පැත්තක පරිසරයට ගත පිනවන රස්නය දෙමින් දැල්වෙයි. කළු ගල් ලෙසට පෙනෙන්නට කෘතිම බදාමයකින් නිමැවුනු අවට බිත්ති වල ඇත්තේ දඩයම් තේමාවකි. වට පිටාව සරසන්නට එල්ලා ඇති පින්තූර රාමුවල අශ්වයන් පිට නැඟ යන රතු ඉනට වැටෙන කෝට් පැළැඳ ගත් පුද්ගලයන් ද ඔවුන් සමඟින් දුවනා බලු රෑන් වල සිතුවම් තිබුණි.
 
“ඔයාලගෙ ගෙදර ඉස්සර පාටි තියෙන කොට මම රෑට ඉස්තෝප්පුවෙ ඉඳන් බලාගෙන ඉන්නවා.”
 
සමන්ත අතීතයෙන් බිඳක් ගෙනාවා.
 
“ඔයයි ඔයාගෙ ඩැඩියි ඩාන්ස්. ඔයාගෙ මමී පියානෝ. සිංදු කියන හැටි.”
 
සමන්තගෙ වාක්‍යය හරියකට සම්පූර්ණ නැහැ.
 
“ඔයාලගෙ ගෙදරටත් සෙනඟ පිරෙන්න එනවනෙ ඒ දවස්වල.”
 
“අපේ ගෙදර පාටි දැම්මේ නැහැ. ගෙදරට ආ අය තාත්තා එක්ක ඔෆිස් කාමරයෙ දොරවල් වහගන දේශපාලන සාකච්ඡා තිබ්බ විතරයි.”
 
“මම ඉස්සර ලංකාවට එන හැම වතාවෙම ඊ ළඟ දවසෙ උදේට නොවැරදීම දකින්නෙ ඔයා රෝයල් එකට යන හැටි. පස්සෙ නීති විද්‍යාලයට යන හැටි. මට ඔයා යන එන දිහා බලල හරියටම වෙලාව කියන්නත් පුළුවන් කම තිබුන.”
 
“තාත්තට ලැබුණ ආණ්ඩුවෙ වාහන වල යන්න වුනාම මට ඕන ඕන වෙලාවට යන්න බෑ. තාත්තා අමාත්‍යාංශයට යන කොට මාවත් මඟින් බස්සල යන්නෙ.”
 
“මම මෙහෙන් ඒ දවස්වල ලංකාවට යන්න කැමති නැහැ. මගෙ ලෝකය මෙහෙ. ඒත් හසන්ති, ප්‍රීනි, රුක්ෂානි එක්ක එකතු වුනාට පස්සෙ ආපසු මෙහෙ එන්න කැමති වුනේ නැහැ. කැමති නැති රටට යන්නමයි හැම තිස්සෙම සිද්ධ වුනේ.”
 
“ඔයාට යාළුවො කොච්චර හිටියද ඔය හතර දෙනා එක් වෙන්න කලින්. ඉස්සර එන්නෙ කෙල්ලො මිනි ස්කර්ට් දාගෙන, ඩ්‍රයිවර්ලා ගෙනැත් බස්සලා යන්නෙ.”
 
“ඒ මම තෝර ගත්තු යාළුවො නෙමේ. මමී ඩැඩි අඳුනන අය. ඒ ළමයි වෙන ලෝකයක අය.”
 
“ඔයත් ඒ ලෝකයේම තමයි.”
 
“මාව නොදන්න අය එහෙම හිතුවා.”
 
රුක්ෂානි වයින් වීදුරුව බිව්වේ හෙමිහිට. සමන්තගෙ පයින්ට් එක ඉවර වෙන්න කළින් තවත් වීදුරුවක් නොගන්න. සමන්ත තව පයින්ට් කීයක් බොන්න හිතාගෙන ඉන්නවා ද දන්නෑනෙ.
 
“මම ආසාවෙන් හිටියෙ ඔයාව අඳුර ගන්න. ඒත් ඔයා මට කත‍ා කරන්නවත් චාන්ස් එකක් දුන්නෙ නෑ.”
 
සමන්ත මුමුණයි. රුක්ෂානි නිහඬයි. මොනවා කියන්නද?
 
“අපි දෙන්නට එකට අනාගතයක් තිබුණ.”

සමන්ත ඉංග්‍රීසියෙන් පැවසුවේ බීමතෙන් නෙමෙයි.
 
එදා රාත්‍රියෙ ගෙදර ගිය රුක්ෂානි ප්‍රීනි එවලා තිබුන ගුවන් ලියුම ආයෙත් අතට ගත්ත. මැලියම් කූරුවක් සොයාගෙන ලියුම අරින කොට ඉරී ගිය කෑලි එකතු කරල හරි හැටියට ආපහු අලවල ප්‍රීනි ලියුම අයිනේ කුරුටු ගාපු හරිය කියෙව්ව.
 
“සමන්තයි මමයි විවාහ වෙනවා. දින තවම තීරණය කරල නැහැ. ඔයාල දෙන්නට ලංකාවට එන්න පුළුවන් දවස් දන්වන්න.”
 
ඒ ප්‍රීනි එවපු ගුවන් ලියුමෙ ඉංග්‍රීසි බසෙන් සඳහන් රුක්ෂානි මෙතෙක් නොකියවපු කොටසයි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. mama passe kiyawannam. tikak gigay kataawa.

    ප්‍රතිචාර විසින් බිඟුවා..! — පෙබරවාරි 19, 2010 @ 10:24 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: