Sinhala story Blog

පෙබරවාරි 17, 2010

3.3 -හලෝ තමාරා

Filed under: Uncategorized — sinhalashortstories @ 5:57 ප.ව.

ගුවන් විදුලියේ උදෑසන ප්‍රචාරය වෙන බණ පිරිත් අසා නිම කළ වික්‍රම පරකඩුව ඉංග්‍රීසි හා සිංහල දිනපතා පත්තර කිහිපයක් අතැතිව සාලයේ ඇඳි පුටුවක වාඩි වුයේය. උණු උණුවේ දුම් දමන තේ කෝප්පයක් ගෙනා ප්‍රීනිගේ මව ළඟ ඇති කනප්පුව ඇඳිපුටුව වෙත ළං කර එහි මත ආවරණයක් තබා තේ කෝප්පය තැබුවාය.
 
“අප්පච්චි, අපි දුවගේ මංගල්‍යය හෑදෙනියේ අයියලටත් කියන්න ඕන.”
 
“පරණ මිනිස්සු. කාඩ් යවල බැරි වෙයි. කවුද ගිහින් කියන්නෙ. මට තියෙන වැඩ කන්දරාවට ඉඩක් හොයාගන්න අමාරුයි. දවසක්ම යයි ගමනට.”
 
“එහෙම කියලා බෑනේ. අපට ඉන්නෙත් එක්කෙනයි. ආයෙ කියල මඟුල් කියන්න ද?”
 
“ඔයා යන්න දුවත් එක්ක.”
 
“එහෙම හරි නෑ. අප්පච්චි නොගියොත් හිතයි හරි ආඩම්බරකාරයා කියල. දෙන්නම අපේ වෙඩින් එකට කොළඹට ආවනෙ. අපි ඒ දවස්වල නිවාඩු නැහැ කියල නෑඳෑ ගම් කියලත් ගිය එකක්යැයි.”
 
“දින තීරණය කරාට පස්සෙ හොයා ගන්නම් දවසක්.”
 
ප්‍රිනිගේ දෙමවිපියෝ ඇයගේ හා සමන්තගේ එක්වීමට බෙහෙවින් කැමතිය. ආගම, ජාතිය, කුලය පමණක් නොව දේශපාලන පක්‍ෂය ද ගැලපීම හඳහන් ගැලපීමටත් වඩා ඔවුන්ගේ සිත් සතුටු කරයි. දෙපැත්තෙන්ම ගලා ආ ආශීර්වාදයන් මැද්දේ ඔවුන්ගේ මංගල්‍යය ජයෙන් සැමරීමට දෙපැත්තටම උවමනා වුනි.
 
ජීවිතයේ හැම දෙයක්ම වැඩි තරඟයකින්, මහන්සියකින් හෝ අඩුපාඩුවකින් තොරව ලබා සිටි ප්‍රීනි අන් අය දකිනා මෙම අඬු ලුහුඬු නැති ගැලපීම බාර ගත්තේ එය තමන්ට ලැබිය යුත්තක් ලෙසිනි. තම මංගල්‍යයට සහභාගිවීම සඳහා සිය යෙහෙළියන්ගේ පැමිණීම ඇය උදක්ම බලාපොරොත්තු වූවාය. සංජීවනියි රුක්ෂානියි දැන් එංගලන්තයෙ වාසය. රුක්ෂානි කලබල සමයේ හදිසියේ පිටත්ව ගියත් ඇයට දැන් ආපහු එන්න හැකි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. ඔවුන් දෙදෙනා ඊට සහභාගී වන්නට එන බව ප්‍රීනිට නිසැකයි. 
 
 ***********
“ආ…මේ ප්‍රීනි නේද? කෝ ඔයාගෙ යාළුවො ක්ලික් එක නැතුව අඳුන ගන්නත් බැරිවුනා.”
 
“හලෝ තමාරා. මේ මගේ අම්මි. අම්මි මේ තමාරා දාබරේ. අපිත් එක්ක කොළඹ කැම්පස් හිටිය. ඔයා මොනවද කරන්නෙ දැන්?”
 
විශ්ව විද්‍යාල සියල්ල තවම වසා දමා ඇත. ඉංග්‍රීසි බස හුරුව දත් සිසු සිසුවියන්ට තාවකාලික රැකියාවන් සොයා ගැනීම අපහසු නොවුනි.
 
“මම තුල්ටෙක්ස් වල. කාලේ නාස්ති කරනවා අනේ.”
 
තමාරා කියන්නේ රැකියාවක නියැළීම දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නක් සේ සලකාය. සමහර උපාධි අපේක්‍ෂක කොටසක් ඉතා ස්තූති පූර්වකව ඇය හා තැන් මාරු කර ගන්නට සූදානම් බව තමාරා නොදනියි.
 
ප්‍රීනිට උවමනා වුනා සමන්තගේත් තමන්ගේත් විවාහ මංගල්‍යය ගැන තමාරා ඉදිරියේ කියා පාන්න. ඒත් කොහොමද එක පාරටම කියන්නෙ. තමාරාට වෙඩින් එකට ආරාධනා කරන්න ප්‍රීනිට ඕනකමක් නැහැ. ඒත් මූණටම හමු වෙච්ච වෙලාවෙ ආඩම්බරයෙන් ඒ වැදගත් ආරංචිය කියන්න ලොකු උවමනාවක් ඇයට තිබුණ.
 
“කැම්පස් ආයෙ කවද අරියි ද දන්නෙ නෑ?”
 
තමන් කරන්නේ මොනවා දැයි දැන් දැන් තමාරා අසනු ඇතැයි ප්‍රීනි බලාපොරොත්තු වූවාය.
 
“දින නියමයක් නැතුව කල් යවන්නෙ. පටන් ගත්තොත් ආයෙ කලබල පටන් ගනියි කියල.”
 
“මෙඩිකල් ෆැකල්ටි එකත් වහලා නේද? හසන්තිත් ගෙදර ඇති.”
 
ප්‍රීනි ගැන අහනවා වෙනුවට තමාරා දාබරේ අනික් අය ගැන අහනවා. ප්‍රීනිගෙ හිතට සියුම් තරහක් දැනුනත් අවස්ථාවක් නොමැතිව මෙය කියා ගත නොහැක්කෙන් ඇය සිත නොසන්සුන් කළේය.
 
“දුට තිබුණනෙ හසන්ති දුව එක්ක මේ ගමන එන්න. කෝ ඔයාට මතක් වුනේ නෑනේ.”
 
ප්‍රීනිගේ මව සාප්පු සවාරියට එතරම් කැමැත්තක් නොදැක්වූවාය. අතිරේක මහේස්ත්‍රාත් පදවියක් දරන ඇය මඟතොට දී කිසිවෙක් හා වැඩි කතාබහට ද අකමැතිය.
 
“ඒක තමයි අම්මි. අපි තාම කාටවත් කිව්වෙ නෑනේ. මගේ වෙඩින් එකට බඩු බලන්න තමයි අපි  අද ආවේ.”
 
ලැබුණු අවස්ථාවෙන් තම මංගල්‍යය ගැන තමාරාට දන්වන්න ප්‍රීනි සමත් වුනි.
 
“හානේ…හරි ළමයා. නිකම් වත් කිව්වෙ නැහැ. කව්ද? අපි දන්න කෙනෙක් ද?”
 
දැන් ප්‍රීනිගේ ප්‍රීතිය ඉහවහ ගිහින්. වාසනාවන්තයා සමන්ත දියනන්දන කියන කොට තමාරා දාබරේගේ මූණත් ඊර්ෂ්‍යයාවෙන් පොඩ්ඩක් අඳුරු වෙන හැටි ඇය ප්‍රමෝදයෙන් බලා සිටියාය. තමාරාට මංගල්‍යයට ආරාධනාවක් නොකර ප්‍රවෘත්තිය පමණක් කියා ගත හැකි වීම ගැන ප්‍රීනි තවත් සතුටු වුවාය. දහවල් විවේකය ඉක්මණින් අවසන් වන හෙයින් ආපහු වැඩට යන්න තියෙනවා යයි කියූ තමාරා එතැනින් සමු ගත්තාය.
 
“එයා නිව්ස් එක එච්චර හොඳින් නෙමෙයි වගේ බාර ගත්තෙ.”
 
“අම්මි කැම්පස් කෙල්ලොයි, කොලෙජ් කෙල්ලොයි සේරම ට්‍රයි කළා සමන්තට.”
 
සමන්ත නීතිය හැදෑරුවේ කොළඹ විශ්ව විද්‍යාලයත් නීති විද්‍යාලයත් යන දෙකෙහිම. ප්‍රීනිත් ඔහු මෙන්ම මෙම අධ්‍යයන ආයතන දෙකෙහිම උගත්තේය. ඔහුට වෙනත් කිසිම පෙම්වතියක් නොසිටීම ගැන අම්මත් දුවත් දෙන්නම ප්‍රීති වුනහ.
 
සමන්ත කලකට පෙර රුක්ෂානිගෙ අසල්වැසියා වූයේය. සමන්තගේ කුඩා කාලය පිළිබඳ තොරතුරු ඇය වෙතින් දැන ගත හැකි වුවත් ප්‍රීනි කිසි දිනෙක එම තොරතුරු රුක්ෂානිගෙන් අහන්න උත්සාහ නොකළේය. සමන්ත ලන්ඩන් එනබව දන්වලා යැව්ව ලියුම රුක්ෂානිට ලැබුන ද දන්නෑ. සමන්ත ලන්ඩන්හි පැවැත්වෙන සම්මන්ත්‍රණය අවසන් වූ පසු එන්නට කලින් එයාල දෙන්නව හමු වුනොත් හොඳයි. ලිපිනයන් හා දුරකතන නොම්මර දුන්නට හොයාගෙන යයිද දන්නෙත් නෑ. ඒ එක්කම ඇය සිහියට ආවේ සමන්ත ලන්ඩන් නුවරින් තමන්ට හොඳ තෑග්ගක් අරගෙන එනු ඇතැයි කියාය.  ඒ සිතුවිල්ලෙන් අනික් සිතුවිලි සියල්ල ඇය සිතෙන් තුරන් වුනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: