Sinhala story Blog

පෙබරවාරි 16, 2010

3.2 -මේ ඉන්නෙ ආදර කුරුල්ලෝ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:41 පෙ.ව.

“දොස්තර මහත්තය රට යන්නෙ කවද්දැයි පුතේ?”
 
“අනිද්දා ආච්චියෙ. අද රෑට පාටිය. මම යනවද නැද්ද කියලා තාම හිතුවෙ නැහැ.”
 
“උඹ පළයන්. හන්දියෙන් මම හේමපාලයාගේ ටැක්සිය කතා කරන් එන්නම් යන්නයි ආයේ ඉවර වුනාම ආපහු එන්නත් එක්ක. ඇහුවොත් කියන්න වෛද්‍ය විද්‍යාලයේ උත්සවයක් කියල. උන්ට හැම දෙයක් ම කියන්න ඕනෙ නෑ.”
 
රෙද්ද ඉනවටේ තද කර ගැට ගහමින් ආච්චි සූදානම් වුනේ හන්දියට ගිහින් එන්න. එක සතයක් වත් සොයා නොබලා වැය නොකරන ආච්චි රමේෂ් වෙනුවෙන් ටැක්සියකට මුදල් ගෙවන්නට දෙවරක් නොසිතයි. “හැම දෙයක් ම” යන්නෙන් ආච්චි අදහස් කරන්නේ මොනවාද? හසන්ති දන්නා හැම දෙයක් ම ආච්චි නොදනියි.
 
රමේෂ් සිය පවුල සමඟින් කැනඩාව බලා සංක්‍රමණය වෙයි. දක්‍ෂතාවයන් අගයන රටක් ආගම, ජාතිය, කුලය නොබලා තම රටට කුසලතාවන් එක් කරගන්නට සංක්‍රමණිකයන්ට ආරාධනා කරයි. තමන් උපන් රටට කොතරම් ඇල්මක් තිබුනත් ජනමතය නිසා තම ජීවිත පවා අනතුරකට ලක් වන්නට හැකි සමයක රටෙන් පිටවන උගතුන් අතරට රමේෂ්ගේ පවුල ද අද එක්ව ඇත.
 
රමේෂ්ගේ පෙරැත්තය අහක දමනු නොහැකිව දින කිහිපයකට පෙර ඔහු හා තනිව මුණ ගැසුන ආකාරය හසන්ති සිහියට ආවාය. කොළඹ විශ්වවිද්‍යාලය අසල වූ ඒ අයිස්ක්‍රීම් හළට වසර කිහිපයකට පෙර ඔවුන්ගේ ප්‍රථම හමුවීම දා ද ඔව්හු ගියහ. දිගු කළකින් පසු ඔවුන් දෙදෙන සිය යහළු යෙහෙළියන් නොමැතිව එයට පා තැබූ පළමු අවස්ථාව එයයි.
 
“ගෙයක් දොරක් නැතුව, රස්සාවක් නැතුව, අඩුම ගානේ ඉන්න කියල රටක් වත් නැතුව ඔයාට මංගල යෝජනාවක් කරන්න බැරි එක ගැන කණගාටුයි.”
 
රමේෂ් කොතරම් අවංක ද? ඔහු අදහස් කරන යෝජනාවට එකඟ වෙන්න කියා හිත කෑ මොර දෙයි. හසන්ති හැමදාම කළේ ජීවිතයේ ගැටළු එදිනෙදා එකින් එක විසඳීමයි. ඇයගේ හුරුව තමනට හැකි පමණින් මහන්සි වෙලා අනාගතය එන ආකාරයෙන් බාර ගැනීම. ඔහු ළඟට ගෙන්න ගන්න හැකියාව ලැබෙන තෙක්, අනාගතයේ නොදන්නා දවසක් එනතෙක්, රමේෂ් වෙනුවෙන් ඉන්නම් යන පොරොන්දුව දෙන්න හසන්තිගෙ හිත ඉඩ දෙන්නෙ නැහැ.
 
ඔහුගේ කරුණාවන්ත පිළිවෙතට හිත ගිය ආච්චි දෙදෙනා අතර එකතුවට එක පයින් කැමති වෙයි. ඒත් ආගම, ජාතිය වසන් කරල කොහොමද? පුද්ගලයාට කොතරම් ලෙන්ගතු වුවත් රට පුරා පැතිර යන ජාතිවාදී ආගම් භේදයන්ට හිත නොසැලෙන අය කී දෙනාද ඉන්නෙ? රමේෂ් එයාගෙ දෙමාපියන්ගෙන් අහල බලලත් නැහැ. එහෙම පොරොන්දුවක් නොදී තම මිත්‍රත්වය පමණක් පවත්වා ගෙන යමු යයි හසන්ති කිව්වෙ ඔහුට ආදරයක් සිය හිතේ නැති නිසාද?
 
තමා සතු අනගිතම සාරිය ගත දවටා ගෙන හසන්ති කල්පනා කළේ වැරැද්ද කොතනද කියලයි. බැරි පොරොන්දු නොදී ඉන්න එක දෙන්නටම හොඳයි. දෙදෙනාගේම අවිනිශ්චිත අනාගතයන් ඉදිරියේ කළ නොහැක්කක් පටන් ගන්නවාට වඩා සනාතන මිතු දහම රැක ගැනීම වැදගත් යයි ඇය තමාටම මතක් කර ගත්තාය. බොළඳ හැඟීම් වෙනුවට සංවේදී හැදියාවක් කවදත් හසන්ති සතුවුනි.
 
රටේ පවත්නා ආරක්‍ෂක ප්‍රතිපත්ති හේතුවෙන් සමූහයක් හමුවන සංග්‍රහයන් කොළඹ නගරයේ ඇතැම් පැති වලට තහනම්ය. ද්‍රවිඩ ජනතාව වාසය කරන වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය යන ප්‍රදේශවලට මෙය බෙහෙවින් බලපෑය. තම නිවහනේ රටේ උසස්ම නායකයා පවා සංග්‍රහ විඳ ඇතත් අද දවසේ එවැන්නකට ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ඉඩ නොදෙයි. තත්වය මෙසේ හෙයින් රමේෂ්ගේ අප්පා සිය සමුගැනීමේ සාදය පැවැත්වූයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේය. තම ද්‍රවිඩ හිතවතුන්ටත් සිංහල මිතුරන්ටත් විචිකිච්ඡාවකින් තොරව හමුවන්නට සුදුසු තැනකි ඒ. රටට එන විදේශ සංචාරකයින් කෙමෙන් අඩුවන කළ අගනුවර හෝටල් මෙවැනි සාද වලින් සිය ගතමනාව උපයා ගත්හ.
 
කහ පාටෙන් නිවෙන පත්තුවෙන පුංචි පුංචි විදුලි බුබුළු වලින් දිදිලෙන හෝටලයේ උත්සවශීලි පරිසරය නගරයේ වෙනත් පැතිවල බොහෝ දෙනෙක් නොදැක ඇති අසිරියක් ඇති කරයි. ඔවුනොවුන්ට සුවිශේෂී නවතම විලාසිතාවන්ගෙන් ගත සරසා ගත් සුපිරි ධනවතුන් රටේ අවිනිශ්චිත බවට සරදම් කරන්නා සේ ගාම්භීර පියවර මැන සාදයට එක් වෙති. කොහේ හෝ කොයියම් වේලාවක බෝම්බයක් පිපිරේ දැයි බියෙන් දෙමාපියන් සිය දරුවනට රෑ බෝ වන්නට පෙර ගෙදර එන්නැයි තරවටු කරන කළ මෙවන් තැනක අතමිට යහමින් ඇත්තෝ කිසි සැකයක් බියක් නැතිව සුරා මතෙන් සංගීතයට වැනෙති.
 
සංචාරක හෝටලයේ එක් ශාලාවක පැවැත්වෙන සමුගැනීමේ සාදයට සුප්‍රසිද්ධ උගත්තු, ඉහළ පෙළේ දේශීය විදේශීය ව්‍යාපාරිකයෝ මෙන්ම වෛද්‍ය විද්‍යාලයෙන් ද බොහෝ දෙනෙකු පැමිණ සිටියහ. නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයකු වන ටී. සී. රාජරත්නම් රමේෂ්ගේ අප්පා. ජාතිය ආගම නොබලා වෛද්‍ය උපදෙස් ඔහුගෙන් උසස් සමාජයත් අතමිට නැති අයත් ලබා ගත්තෙ දක්‍ෂතාවයට මුල් තැන දීලා. එහෙත් දැන් පැවතෙන්නේ ඔහුගේ දක්‍ෂතාවයත් සැකයට ලක්වෙන වාතාවරණයකි.
 
හසන්ති තමන් දන්නා හඳුනන වෛද්‍ය විද්‍යාලයේ කිහිප දෙනෙකුට කතා කරල පැත්තකට වුනා. රමේෂ්ව දැක්කත් එයා වෙතට යන්න ඇය උත්සාහ කළේ නැහැ. මෙතැනින් පිටව යන්න කළින් කතා කරල යනවා කියල තීරණයක් ගත් ඇය සංගීතයට සවන් දෙමින් කල්පනා කළේ සිය යෙහෙළිය වූ රුක්ෂානි ගැන. මෙවන් සමාජයක් රුක්ෂානිට හොඳට හුරු පුරුදුයි. මෙතන ඉන්න හැමෝවම එයා දන්නවත් ඇති. සියුම් සිනහවක් ඇගේ මුවට නැඟුනේ මේ අය ගැන රුක්ෂානි කියන දේවල් මතක් වෙලා.
 
“ආවට බොහොම ස්තූතියි.”
 
රමේෂ් වීදුරු දෙකක් අතැතිව අවුත් හසන්ති ලඟින් අසුන් ගත්තේය. ඔහු පිරි නැමූ පළතුරු යුෂ වීදුරුව හසන්ති අතට ගත්තෙ කිසිත් නොකියාය. ඇයගේ නිර්මල සිනහව ඔහුගේ හදවත පුරවන්නට සමත්. දෙදෙනාම කතා බහක් නොමැතිව සුහද සිතින් අවට තොර තෝංචියක් නැතිව කෙරෙන සංවාදයන් දිහා බලා සිටියහ. ඒවා කිසිවක් ඔවුනට ඇසුනේ නැත.
 
“මේ ඉන්නෙ ආදර කුරුල්ලෝ.”
 
අළුතෙන් සීමාවාසික පත්වීම් ලැබු තරුණ වෛද්‍යවරු කණ්ඩායමක් රමේෂ් සොයා ආහ.
 
“කොහෙද එක තැනක ඉන්න දෙන්නෙ නෑනෙ මෙයාල මට.”
 
රමේෂ් හසන්ති දිහා බලා රහසින් පැවසුයේ කරන්නට දෙයක් නෑ යයි සමාව අයදින ස්වරයෙන්.
 
“දැන් ඩොක්ටර් රමේෂ් කැනඩා ගිහින් කෝටි ගණන් හොයල ඔයාව රැජිනක් වගේ ගෙන්න ගනියි.”
 
මත්පැන් වීදුරුවක් දෙකක් පමණට වඩා ගත්තෙක් වචන රස කර කියයි.
 
හසන්ති සුපුරුදු සිනහවෙන්. තමා තවම වෛද්‍ය ශිෂ්‍යාවක් බව දැන දැනත් ඔවුන් සැවොම රමේෂ්ට දක්වන ගරු සැලකිලි ඇය වෙතත් දක්වති. යහළු පිරිස අනාගතය ගැන සුන්දර පේන කිව්ව ද හසන්ති වත් රමේෂ් වත් ඊට සහභාගී නොවූයෙන් ඔවුන් මඳෙකින් තම හිස්වුනු මත්පැන් වීදුරු යළි පුරවා ගන්නට පිටත් වූහ.
 
ප්‍රතික්‍ෂේප කරන්නට ඉඩක් නොතබා හසන්ති අතින් අල්ලා ගත් රමේෂ් පසෙක වූ දොරකින් ශාලාවෙන් කඩිනමින් පිටතට ආවේය.
 
“ඇයි රමේෂ්?”
 
තමා ඉදිරියෙන් යන ඔහුගේ මුහුණ දැක ගත නොහැකි හසන්ති කලබල වූවාය. වටපිටාවේ දේශීය විදේශීය අමුත්තෝ අතලොස්සකි. දොර පියන් නැති අති විශාල උළුවහු කණු කිහිපයක් පසුකළ ඔවුන් දෙදෙනා නතර වුනේ සුපිරි හෝටලයේ පිහිනුම් තටාකය අසලයි.
 
සමුගැනීමේ සිහිවටනයක් ලෙසින් ඇය ඔහු වෙනුවෙන් ගෙනා කුඩා තෑග්ග ඔහු අත තැබීය. එය ලිපිනයන් ලියා තබා ගත හැකි කුඩා පොතකි. සමරු පොතකින් කපා එය ඉංග්‍රීසි ශබ්ද කෝශයේ අකුරු පිළිවෙළින් ලියා නිමැවූයේ හසන්ති අතෙන්මය. බ්‍රවුන් පේපර් කඩදාසියෙන් එතූ එයට ඈ ගොක් කොළයෙන් නිම කළ චූට්ටන් කුරුල්ලෙක් එක් කර තිබුණි.
 
ඔහු තෑග්ග ඇරියේ නැත. එය කිහිළි ගන්වා ගෙන තෑග්ග දුන් අතින් අල්ලා ඇයව ළං කර ගත් ඔහු ඇයගේ දෑත් ඔහු අත් වලින් වසා ගත්තේය. ඔහුගේ දෙනෙත්හි එළියට නොපනින ලොකු කඳුළු බිංදුවලින් පිරී ඇත. තවත් ඔහු ඇස් දිහා බලනු නොහැකි හසන්ති රමේෂ්ගේ පපුවට නළල තියා ගත්තීය. හැඳ සිටි කමිසයෙන් ඔහු තුලින් සබන් සුවඳක්, සුවඳ විලවුන් අංශුමාත්‍රයක් මෙන්ම යාන්තමින් දහදිය පුසුඹ ඇයගේ නැහැයට දැනුනි. හසන්තිගේ හිස් මුදුන දැනෙන නොදැනෙන අන්දමෙන් සිපගත් රමේෂ් ඇය අතින් අල්ලා ගෙන නැවතත් ඇයව සාදය පැවැත්වුනු ශාලාව වෙත ගෙන ගියේය.
 
ඇය වෙත ඒ සන්ධ්‍යාවේ ඔහු නැවතත් පැමිණියේ නැත. හේමපාලගේ ටැක්සියට එන්න කියා තිබූ වේලාව පැමිණි කළ හසන්ති කිසිවෙකුටත් නොකියා ශාලාවෙන් පිටවුණි. ලිපින පොතේ “එන්” අකුර යටතේ තම නම හා ලිපිනය සටහන් කල බව රමේෂ් දකියිද? එයා කැනඩාවට ඒ පොත අරගෙන යයි ද?

ප්‍රතිචාර 2 »

  1. අයියෝ මිස් වෙලා නේ මට මේ කතාව. දැන් කියවන යනවා.

    PS: ඇයි N අකුර?

    ප්‍රතිචාර විසින් Ama — අගෝස්තු 20, 2012 @ 10:37 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: