Sinhala story Blog

පෙබරවාරි 15, 2010

3.1 -සමන්ත…සමන්ත….ඒයි සමන්ත

Filed under: Uncategorized — sinhalashortstories @ 8:04 පෙ.ව.

“සුබ උදෑසනක් රුක්ෂානි!”
 
“සුබ උදෑසනක් නයිජෙල්!”
 
“සුබ උදෑසනක් රුක්ෂානි!”
 
“ඔයාටත් සුබ උදෑසනක් කැමිල්!”
 
හිමිදිරියේ නිදිබර දෑතින් පොත්පත් කිහිලි ගන්නා ගෙන කඩදාසි කෝප්පවල පිරුණු උණුසුම් තේ කෝපි වලින් නිදිමත කඩන්නට වෑයම් දරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දේශන ශාලා සොයා යති.
 
“රුක්ෂානේ… රුක්ෂානේ…..”
 
“හලෝ බියට්‍රිස්… සුබ උදෑසනක්!”
 
“මේ ලියුම ඇවිත් දවස් දෙකක්. ඔයා කාර්යාලය පැත්තෙ එන්නෙ නැතුව පන්ති යන නිසා දෙන්න බැරිවුනා. අදත් ආවේ නැත්තම් මම ගෙදරට දුරකතන ඇමතුමක් දෙන්න හිටියෙ.”
 
මෙම දෙබස පැවැත්වුනේ ලන්ඩන්හි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාරේ වූ වූල්ෆ්සන් බිල්ඩිමේ දී ය. ඉංග්‍රීසියෙන් කෙරුන කතා බහේ දී සිංහලයාගේ නම විකෘති ව උච්චාරණය වුව ද වෙනදට වරද නිවරද කරන නම අයිතිකාරිය ඒ ගැන සැලකිලිමත් නොවූවාය. ඇයගේ නෙත් යොමුව තිබුණේ ලියුම දෙස.
 
කහ පැහැති මැටියෙන් පිටත බිත්ති නිමැවුන මෙම පැරණි ගොඩනැඟිල්ලට රුක්ෂානි එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එය ගොඩනැඟිලි නිර්මාණ සුන්දරත්වයෙන් තොර හතරැස් ජනේල තැනින් තැන දිස්වෙන පෙට්ටියක් වැනි ආකෘතියකි. එමෙන්ම නූතන ඉන්ධන කාර්යමශීලි බවෙන් තොර හෙයින් ඇතුලත නිරතුරුවම හමා ගිය සීතල සුළඟකින් ඇඟ හිරි වට්ටන්නට සමත් වුනි. බලවත් ඉතිහාසයක නටබුන් මාලිගාවල මහත් රදළ පිරිසක් තවමත් ජීවත් වෙන රටක මෙවැනි ගොඩනැඟිලි ඔව්හු ආරක්‍ෂා කරති.
 
රුක්ෂානි තමාට ලැබුන ගුවන් ලියුම ලංකාවෙන් බව හැඳිනගත්තෙ එය අතට ගන්නටත් කලින්. නිල් පැහැති ලියුම් කවරයේ දෙපැත්තෙම සැරසිලිවල ලාංකික සංකේත. රුක්ෂානි කවරය හරවලා යවන්නාගේ නම සහ ලිපිනය දිහා ඇස් යොමු කළා. ඒක එවල තියෙන්නෙ ප්‍රීනි. ඉඳහිට ලියුමක් ලැබෙන්නේ කුඩා කාලයේ පටන් තමන් හා එක්ව පාසැල් කාලය ගත කළ එමෙන්ම විශ්වවිද්‍යාල ජීවිතයට එක්වුනු හසන්තිගෙන්. ඒ එන්නෙ ගෙදර ලිපිනයට. ප්‍රීනි ලිපියක් කුරුටු ගාන්නේ කලාතුරකිනි. ඒ නිසාම මෙහි යම්කිසි වැදගත් ආරංචියක් ඇති කියල රුක්ෂානිගේ හිතට දැනුන.
 
‘නරියාගේ කාමරයේ’ කවුරුවත් හිටියෙ නැහැ. රුක්ෂානි ඇතුලට ගිහින් පුටුවක වාඩිවුනා ලියුම කියවන්න. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙ කොම්පියුටර් අධ්‍යයන අංශයේ හිටපු පළමු අධ්‍යක්‍ෂකවරයා තමයි ආචාර්ය ලෙස්ලි ෆොක්ස්. ඒ නිසයි මෙයට “ද ෆොක්ස් රූම්” කියල නම වැටුනෙ. එය උපාධිධාරී ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගෙ දේශන සඳහා වෙන්වුණු පංති කාමරයකි.
 
“විවෘත කිරීමට මෙතනින් කපන්න” යයි පෙනෙන නොපෙනන අකුරෙන් කොනක ලියා ඇත. කතුරක් හෝ ලිපි අරින මෙවලමක් අත නැත්තෙන් ඇය බෝල් පොයින්ට් පෑන් තුඩෙන් ලිපිය විවර කළාය. කොනේ ලියා ඇති වචන කිහිපයක් කවරය ඇරුණු කළ ඉරී ගියෙන් කියවන්නට නොහැකිය. කෙසේ වෙතත් එහි වැදගත් ආරංචියක් සටහන් වුණි. ප්‍රීනි ලියා ඇති දිනය යළිත් කියවා බැලූ රුක්ෂානි දේශනයට යෑම පැත්තක දමා ගොඩනැඟිල්ලෙන් පිටව ගියේ කඩිසර ගමනෙනි.
 
තට්ටු දෙකේ රතු පාට ඩබල් ඩෙකර් බසයක නැඟ සිය මාසික ගමන් පත පෙන්වා ඇය එහි රියැදුරාට පිටුපසින් වූ අසුනක හරි බරි ගැසී වාඩි ගත්තාය. ලියුම දිග ඇර එය නැවත නැවතත් ඇය කියැවීය. 
 
****

“හලෝ…”
 
“සුබ උදෑසනක්! මේ රුක්ෂානි. අද ලන්ඩන් හීත්රෝ එයාපෝට් එකට අපේ යාළුවෙක් එනවා. එන්න මාත් එක්ක යන්න.”
 
“කොයි වෙලාවටද ප්ලේන් එක එන්නෙ?” නිදිබර කටහඬ අවදියෙන්.
 
“දහයාමාරට. ප්ලේන් එක වෙලාවට ලංකාවෙන් පිටත් වෙලා. මම ගුවන් ගමන් කාල සටහන් සෝදිසි කළා.”
 
හැමදාම පරක්කුවෙන මේ ගුවන් යානා සේවය ගැන දන්න රුක්ෂානි ඒ බව හොයල තමයි දුරකතන ඇමතුම ගත්තෙ. දෙදෙනා කතා බහ කළේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ භාෂාවෙන් පොඩ්ඩක් එක්ක සිංහල භාෂාව කවලමට දාගෙන.
 
“ටියුබ් එක ගමු. කවෙන්ට් ගාඩන්ස් සෙනඟ පිරිල ඇති. පිකැඩිලි ලයින් එක යන්නෙ හීත්රෝ වලට…. ම්… පිකැඩිලි සර්කස් වල අර පත්තර කඩේ ළඟ මුණ ගැහෙන්න… දැන්ම ගියොත් නමයට ඉන්න පුළුවනි.”
 
දුරකතනයේ අනිත් පැත්තෙන් පිළිතුරක් නැති නිසා රුක්ෂානි සිය සැලසුම නොනවත්වා කියා පෑවාය. තවමත් නිහැඬියාව රජයයි. තනි තීරණ ගන්නට සමත් නොවන කෙනෙක් එවැන්නක් වෙත පොළඹවා ගන්න තදින් පෙරැත්ත කළොත් එය ඉෂ්ට නොවෙයි. එහෙයින් රුක්ෂානි ද මඳක් නිහඬව සිටියාය. මීට කළින් වතාවක දී ඔවුන් මුණ ගැසුනේ ද රුක්ෂානිගේ නිවසට කිට්ටුවෙන් ඇති පත්තර කඩය අබියස දී ය. දන්නා තැනක් කීම නොදන්නා තැනකට කෙනෙකු ගෙන්වා ගැනීම පහසු කරවයි.
 
“එන්නම් මම.”
 
ඇහෙන නෑහෙන හඬෙන් පැවසූ ඒ වදනෙන් දුරකතනය විසන්ධි කෙරුණ. එන්නෙ කවුද, එන්නෙ ඇයිද කියල කිසිම වගතුගක් තමා විමසුවේ නැති බව සංජීවනී දනියි. කිසිවකු ගැන හෝ කිසිවක් ගැන උනන්දුවක් මේ දිනවල ඇය තුල පහන් නොවෙයි. කවුද, කින්ද, මන්ද යන විස්තර සෙවීම කිසි දිනෙකත් ඇය සිරිත නොවීය. වැදගත් නොවන කෙනෙක් හමුවන්නට සිය යෙහෙළිය තමා කැඳවන්නේ නැති බව ඇය විශ්වාසයයි.
 
සිය මිතුරිය රටට පැමිණ වසරක් පමණ ගත වුවද දෙදෙනා හමුව ඇත්තේ දවස් කිහිපයක් පමණි. තමාගේ නිහැඬියාවට ගරු කරන තම යෙහෙළිය ඇය අගය කළාය. යටගියාව ගැන කතා කරන්නට පිරියක් දෙදෙනාටම නැත. වර්තමානය තවමත් පවතිනුයේ අස්ථීර තත්වයකිනි.
 
කාමරයේ කෙළවරක වූ ඇඳුම් කුටියට ගිය සංජීවනී එහි එල්ලා ඇති සිය ඇඳුම් කට්ටල දෙස බලා උන්නේ කිසිම හැඟීමකින් තොරවයි. අතීතයේ එක් දිනෙක ලස්සන සමනළියක් සේ ඇය ලලනා විලාසිතාවන්ගේ ප්‍රමුඛ නිරූපිකාවක් වූවාය. අද අලුතෙන් ඇඳුමක් ගත්ත කාලයක් සිහියට නොඑයි. සමනළියක් සේ සැරසුනත් ඇයට පියාපත් සලා නිදැල්ලේ පාවෙන්නට එදත් ඉඩ කඩක් නොතිබුන බව සිහියට නැගෙත්ම සුසුමක් හෙළා අතීත ආවර්ජනයට ඇය වහාම තිතක් තැබුවාය. 
 
****

“සමන්ත… සමන්ත…. ඒයි සමන්ත.”
 
ගමන් බෑගයකුත් කරේ එල්ලාගෙන සූට් කේසයක් තල්ලූ කරමින් කඩිනම් ගමනෙන් පිය නඟන සමන්තට කෑ ගැහැව්වේ රුක්ෂානි. ඔහු හැරිල බලල පුදුමයෙන් නැවතුන. යුවතියන් දෙදෙනාම ඔහු වෙත එනතෙක් ඔහු හිනාවෙවී නැවතිල. ඔහු අත් දෙක එකතු කර ආයුබෝවන් කියයි. රුක්ෂානි ඔහු ළඟට ගිය ගමන් අත් දෙකම බඳ වටේ දාලා බදා ගත්තේ හිතවත්කමට. සංජීවනී සමන්තට අතට අත දුන්නා. මෙහෙම තමයි චාරිත්‍ර වාරිත්‍ර එමට තියෙන රටකින් එනකොට. ලන්ඩන් වැසියන් අතට අත දෙනවා. ප්‍රංශ වැසියන් දෙපැත්තෙන්ම මුහුණට මුහුණ ළං කරල වායුව චුම්බනය කරනවා. ඉන්දියාවේ ඇත්තො අත් එකතු කරල නමස්කාර් කියනවා. අපිට එයින් එකක් තීරණය කර ගන්න බැරි නිසා අපි සේරම අනුගමනය කරනවා.
 
“ප්‍රීනි ඔයාලට ලිව්ව ද?”
 
“අද තමයි ලියුම දැක්කෙ. මම හොඳ වෙලාවට අද උදේ ඒ පැත්තෙ ගියෙ. ප්‍රීනි එවලා තිබුනෙ ඉස්කෝලෙට.”
 
“මට දුන්නා ඔයාලගේ ටෙලිෆෝන් නොම්මර. මම කතා කරන්නයි හිටියෙ ආවට පස්සෙ.”
 
දුරකතන පහසුකම් ඔවුන් සැමට ඇත. එහෙත් ලංකාවේ වසනා අය තවමත් බලාපොරොත්තු වෙන්නේ පිටරට ඉන්නා අය ඔවුනට කතා කළ යුතු යයි කියාය. අද පන්ති ගියෙ නැතිනම්, අධ්‍යාපන අංශ කාර්යාලය පැත්තෙ ගියෙ නැතිනම්, ලියුම දකින්නෙ නැහැ. ගුවන් යානයේ වගතුග ලියලා එවලා තියෙන්නෙ එතැනට ගිහින් හමුවෙන්න කියල. අන්තිම මිනිත්තුවෙ එව්වම කරගන්න පුළුවන් වෙයි ද, බැරි වෙයි ද කියලවත් ප්‍රීනි හිතන්නෙ නැතුව ඇති.
 
“කොහෙද ඔයා ඉන්නෙ?”
 
“මෙතන. ඔයාල ඉස්සරහ.” සමන්ත ප්‍රශ්නය නොතේරුනා වගේ හිනාවුනා.
 
“මම ඇහැව්වෙ…”
 
“ආ… හොටෙල් එක ගැනද? ඔන්න මොකක්ද එකක්. මේ සම්මන්ත්‍රණය තියෙන්නෙත් ඒ ළඟ.”
 
ඔවුන් කලබලකාරීව එහෙ මෙහෙ දිවයන ගුවන් ගමන් මඟියන් අතරින් ඈත් මෑත් වෙමින් ගමන් කළහ. සමන්ත කරේ එල්ලා ගෙන ආ බෑගයෙන් තොරතුරු ඇතුලත් ෆයිල් කරවරයක් දිග ඇරියේය. ඔහු තල්ලූ කරගෙන ආ සූට් කේසය දිහා සංජීවනීගේත් රුක්ෂානිගේත් දෑස් යොමුව තිබිණ.
 
“මේක අරන් ටියුබ් එක ගන්න බෑ. ටැක්සියක් ගන්න වෙනවා.”
 
රුක්ෂානිගෙ වදනට සංජීවනී හිස වනා එකඟ වුනේ කිසිත් නොදොඩා. ඒත් තමා අත ටැක්සියෙන් කොටසකට ගෙවන්න තරම් මුදලක් නැති බව වහාම ඇය සිහියට ආවා. කොහෙද යන්නෙ කියල දැන ගත්තම ඒ දෙන්නව ටැක්සියක දාලා ආපහු ටියුබ් එකේම ඉක්මණින් ගෙදර ගියොත් හොඳයි කියල සංජීවනීට හිතුන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: