Sinhala story Blog

පෙබරවාරි 14, 2010

කතාවට පසු

Filed under: Uncategorized — sinhalashortstories @ 8:38 පෙ.ව.

සෙමින් ගලා යන දිය සීරාවකට පුළුවන් කළුගලක් වුනත් කඩතොළු කරන්න. දිය සීරාව ගලා යන තැන කාලයාගේ ඇවෑමෙන් වල ගැහිල කළුගලේ සටහනක් තියන මේ හැකියාව දැක බලා ගන්න ලොකු වෑයමක් ගන්න අවශ්‍ය නැහැ. නමුත් අපි කරන්නෙ උදේ හවා දකින මේ දිය සීරාව ගලන ආකාරය දිහා නොබල කළු ගලේ ඔළුව හප්පගන්න දැඩි වෑයමක යෙදීමයි.
 
අපේ අතින් වෙන වැරදි නොදකින, නොපිළිගන්න අපි කොහොමද වෙනත් දෙයක් කරන්නෙ? අවුරුදු 450 ක අතීතයක ඉඳන් අද වෙනතෙක් එම ප්‍රතිපත්තිම යළි යළිත් අනුගමනය කරමින් ලෝකෙ හැමෝම වෙත දෝෂාරෙපණය පවරනවා මිසක අපේ වැරදි දිහා ඇසිපිය ඇරලා බලන්නෙ නැහැ.
 
හක්ක කැඩිලා නිසා කට හොලවන්න අමාරුයි. කට හොලව ගන්න බැරි නිසා හරියමකට කතා කරන්න බැහැ. වේදනාවට ඩිස්ප්‍රින් බාගයක් හරි පැනඩෝල් පෙත්තක් හරි ඉල්ල ගන්න කෙනෙක් පැත්ත පළාතක නැහැ. අත පය කැඩී බිඳී ගියේ බූට් සපත්තු වලින් ගහපු පාරවල් වලට. ඇඟිලි කඩල, කකුලේ නියපොතු ගලවලා දමල අනේක වද හිංසා දුන්නත් එයා දන්න සේරම හිත ඇතුලෙ තියාගෙන මිය ඇදෙන්න තීරණය කළා.
 
අළුපාට බිත්ති වලින් වටවුනු හිර කාමරය දැන් හොඳටම පුරුදු තැනක්.
 
“හ්ම්… අදවත් කතා කරන්නෙ නැද්ද?”
 
බැටන් පොල්ල කරකවමින් තමන් ඉදිරියේ හිටගෙන ඉන්න බන්ධනාගාර නිලධාරියාගේ බූට් සපත්තු පමණයි ඔහු දසුනට හසූවූයේ.
 
ඉදිමුණු කම්මුලේ පැත්තක් හිරිවැටිලා. අතින් එය පිරිමදිමින් ඔහු බිත්තියට හේත්තු වූයේය. ඒත් බිමින් නැගිට්ටේ නැහැ.
 
“අනිත් හයිරංකාරයෝ සේරම අත් අඩංගුවට අරන් තියෙන්නෙ. තමුසෙ කියන්න තියන දෙයක් කියලා පිටවෙලා යනවා.”
 
“ජයදේව සහෝදරයා…” ඔහු පටන් ගත්තෙ තොල මතුරන්න.

“ජයදේව කියන්නෙ තමුසෙලගෙ ව්‍යාපාරයට ද්‍රෝහි වෙච්ච කෙනෙක්. එයා ගැන අපිට ඕන නැහැ දැනගන්න. දීගන නිවාස සංකීර්ණයෙ මීටිම ගැන කතා කරනවා හොඳයි.”
 
කැරලිකරුවා පැවසුවේ නිලධාරීන් දැනටමත් දන්නා දේ ගැන පමණි.  ඔහු පාවා දුන්නේ තම කැරැල්ලට ද්‍රෝහි වූවන් පමණි. අළුපාට බිත්තියේ දත් මදින්නට දුන් අඟුරු කැබැල්ලකින් ඔහු මෙසේ ලියා තිබිණ.
 
“අප මැරුණ ද අප නැඟූ හඬ සදා පවතී.”
 
බඩගින්න නිවාලන්නට ක්‍රමයක් සොයා දිවිය පුරා සටනේ යෙදෙන අතිමහත් ජනතාවක් නියෝජනය කරන ඔහු විශ්වාස කළේ දිය සීරාවෙන් කළත හැකි වික්‍රමයයි. ඔහු මියෑදුන ද දිය සීරාවේ පහර නවතිනු නොමැත.
 
එහෙත් ඔහුව නොමඟ යැවූ නායකයන් පීඩිත පංතියේ නාමයෙන් දියත් කළේ පාලන බලය අල්ලා ගන්නට අරගලයක් මිස බඩගින්න නිවාලන්නට ක්‍රම පිළිවෙතක් නොවේ.
අන්තිමේ සිදුවූයේ සැවොම එක්ව අර දැවැන්ත කළුගලේ ඔළුව ගසා ගැනීම පමණි.
 
මාස පහක් ගැබ්බරව සිටින තම බිරිඳ වෙත ලියමනක් ලියන්නට ඔහු සිය අන්තිම කැමැත්ත වශයෙන් ඉල්ලා සිටියේය. සිය මෑණියන් සිහිකර කවියක් ගයන්නට ද හේ උත්සාහයක යෙදුණේය. වෙඩි උණ්ඩයෙන් නළල හිල් වන්නට පෙර ඔහුගේ අන්තිම වචන කිහිපය වූයේ මෙයයි.
 
“මේ සටනෙන් විශාල පිරිසක් නැසී ගියා. වටිනා මනුෂ්‍ය ජීවිත අපරාදේ. මෙයට වගකිව යුත්තේ වෙන කිසිවකු නොව මේ රටේ ඉන්නා ධනපති පංතියයි.”
 
බඩගින්න නිසා බිහිවුනු, රත්තරන් මෙන් උණුවන හදවතක් ඇති, කැළණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලත් විප්ලවීය සහෝදරයෙක් මෙසේ අවසන් වදන් දක්වාම විශ්වාස කළේ බල ලෝභී නායකයන්ගේ සටන් පාඨයි. අන් සෑම දෙනෙක් වගේම ඔහුත් වරද පැටවුයේ තව කෙනෙක් මත. අවසානයේ ඔහු ද කළේ මෝඩකම නැමති කළුගලේ ඔළුව ගසා ගෙන මිය යෑමයි.
 
දිය සීරාව තවමත් සෙමින් සෙමින් ගලා ඇදෙයි. බඩගිනි දැනෙන තුරා එය නිවන්නට මං සොයා යන්නවුන් අඩුවක් නැතිව පවතිනු ඇත. පාලන බලයට කෑදර කමෙන් කටෙන් කෙළ හළමින් ඒ මත්තේ හඹා යන නායකයන් ද, ඔවුනට ඉනිමං බඳින අත් වැසියෝ ද සිටිනා තුරා බඩගින්න හරි හැටියට කිසිවකු තේරුම් නොගනිති.  අවසානයේ වන්නේ තවත් වසර 450ක් යනතෙක් සැවොම විටින් විට කළුගලේ ඔළු ගසා ගෙන මිය යාමයි.

****** 

ග්ලෝබ් තියටර් එක අසලින් තමා යෙහෙළියෝ දෙන්නා දවස පටන් ගත්තෙ. කාලයකට පස්සෙ එකතු වුනාම කතා කරන්න ගොඩක් දේවල් තියෙයි කියල හිතුවත් නුහුරු නිහැඬියාවක් රජයන්න ගත්ත. හොඳ වෙලාවට දවසම ගෙවන්න මෙහෙම එළියෙදි හමුවුනේ.
 
ශරත් ඍතුවේ තද සුළං, ගස්වල එල්ලෙන කහ පාට වුනු, දුඹුරු පාට වුනු කොළ බිමට ඇද දමයි. පාරේ රවුමට කැරකැවෙමින් පවතිනා කොළ හැකිනම් මා අල්ලන්න යයි සරදම් කරමින් ළඟට එනතෙක් සිට විගස ඈතට පාවී යයි.
 
විශ්ව වේදිකාවේ එලිසබෙත් යුගයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී ගත් නළුවෝ සිනහා මුසු මුහුණින් සංචාරකයන් හා ඡායාරූප වලට පෙනී සිටිති.  ඇමෙරිකන් හා ජපන් ජාතික සංචාරකයෝ තරඟයට කැමරාවල බොත්තම් ඔබති.
 
“මුළු ලෝකයම රඟහලකි…” ඇය හෙමිහිට ඉංග්‍රීසියෙන් මුමුණන්නට පටන් ගති.

“එහි ඉන්නා ගැහැණු සහ පිරිමි සියල්ලෝම රැඟුම් දක්වන්නෝ පමණි…” ඇය හා ගමන් ගත් යෙහෙළිය ද සිනහා මුසු හඬෙන් ඇය හා එකතු වූවාය.
 
“වේදිකාවට ඇතුළුවීමත් ඉන් නික්ම යාමත් ඔවුන් සතුවෙයි, එක් පුද්ගලයෙක් ඔහුගේ කාලය තුලදී චරිත කිහිපයක් රඟපායි..”
 
‘ඔබ කැමති පරිදි’ නමැති විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යයේ අංක 3හි 7වන ජවනිකාවේ 138 වගන්තිය මෙසේ දෙදෙනාම එක හඬින් කියා නිම කළහ. මෙතෙක් දෙදෙනා අතර පැවති ආගන්තුක චංචලභාවය ඉන් පහව ගියේය.
 
“මතක ද? දොළොස්වන රාත්‍රිය?”
 
“ඔයා හිටියෙ නැත්නම් එදා ඔක්කොම ඉවරයි.”
 
“දොර ආපහු අරිද්දී කුසුම් මිස්ගෙ මූණ මතකද?”
 
“මගේ ජීවිතේ හොඳම කාලේ ඒ,” ඇය දුක්මුසු ස්වරයකින් කීවාය.
 
“එහෙම කියන්න එපා.  මේ පටන් ගත්ත විතරයි.”
 
අතීතය කරා යෑම බෙහෙවින් බියකරුය. අවාසනාවන්ත සිදුවීම් රැසක හොල්මන් සැරිසරන අතීතය මාංචු, කම්බි, දම්වැල් දමා අගුල් ලා තබන තරමට ඇඟට හොඳය.
 
“ඔය දෙන්නා ශේක්ස්පියර් උපුටන හැටි ඇහුණ.  ඔයාල කොහෙන්ද?” ඔවුන් දෙදෙන අතරට ආ සුදු තරුණයකු අමුතු ඉංග්‍රීසි උච්චාරණයක.
 
“අපි ලංකාවෙන්. ඔයා අයර්ලන්තයෙන් නේද?” එක් තරුණියක් පසුබට වෙද්දී අනිත් තරුණිය උද්‍යෝගයෙන් කතාවට එක් වූවාය.
 
“හ්ම්.. මගේ ගම්බද කථා ශෛලිය ලෝක වේදිකාවේ හංගන්න බැහැ වගෙයි,” ඔහු පැවසුවේ ලැජ්ජාවෙන් තොර ආඩම්බරයකින්.
 
ඔහු අයර්ලන්තයේ කිලාර්නි ප්‍රදේශයෙන් ලන්ඩන් නුවර දැකබලා ගන්නට පැමිණ ඇත්තේ වසර කිහිපයක් පුරා ඉතිරි කරගත් මුදලක් අතැතිව. ගඟ අද්දරින් තිබුණු පුංචි අඩි පාරක ඔවුන් සක්මන් කළේ ලන්ඩන් නුවරත් කිලාර්නි ගමෙත් වෙනස්කම් ගැන කතා බහෙන්.
 
ඔවුන්ගේ පා ගමන අවසන් වුනේ ලැම්බෙත් මාලිගාව අසලයි. එය කැන්ටබරියේ අග්‍ර රාජගුරු බිෂොප්වරයාගේ නිල නිවහනයි. අයර්ලන්තයේ පවතින කතෝලික ආගමත් එංගලන්තයේ පවතින ක්‍රිස්තියානි දහමේ වෙනසත් ගැන ශ්‍රී ලාංකික තරුණිය දිගින් දිගට කතා කරද්දී අයර්ලන්ත තරුණයා මවිතයට පත්විය.
 
“මට කණගාටුයි. මම බුදු දහම ගැන කිසිවක් දන්නෙ නැහැ,” මෙවර නම් ඔහු පැවසුවේ නිහතමානී පසුතැවිල්ලකිනි.
 
“හරි. ඔයා ක්‍රිකට් ගැන දන්නව ද?”
 
“බ්‍රිතාන්‍ය ජාතිකයා ලොවට දුන් එකම දායාදය!” ඔහු කිව්වේ අයර්ලන්ත වැසියන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් වෙන් කරලා පෙන්වමින්. සුදු හම තිබුනට හැමෝම එකම රටක සුද්දො නොවෙයි කියන්නා වගේ.
 
ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සෑම කෙනෙකුම මේ පළාතෙන් යනවා නම් ඕවල් ක්‍රීඩාංගණයට වන්දනා කරලා තමයි ගමනෙ යෙදෙන්නෙ. මේ තුන්දෙනාට නම් ක්‍රිකට් පිස්සුවක් නැහැ. ඒ නිසා එයාල ඕවල් පිටියට හැරෙන්නෙ නැතුව ගියා බට්ලර්ස් වෝෆ් නැමති මුහුදු තීරයේ පැවති කෑම බීම පිරි ස්ථානයකට.
 
නොයෙකුත් කෑම කඩ ගණනාවකින් කෑම ඉදෙන සුවඳ බඩගිනි වැඩි කරමින් නැහැය කිති කැව්වා. රට රටවලින් ආ සංචාරකයන් පොදි ගැහිල. මුහුදෙන් හමන ලුණු මිශ්‍ර සුළඟත් සැමදාම නොමැති වළාකුල් රහිත ආකාසයත් හැම දෙනාගෙම කුසගිනි තවත් වැඩි කරල.
 
කතාබහට නොපැකිළෙන තරුණිය අයර්ලන්ත තරුණයාට ගිනෙස් බියර් බෝතලයකුත් ගෙන්නවා ගත්ත. ගිනෙස් හදන්නෙ අයර්ලන්තයේ. ගමෙන් පිට ගියාම ගමේ කෑමවල අගය වැඩියෙන් දැනෙනවා. ඇය විසින්ම තුන්දෙනාගෙම කෑම බිල ගෙවා දැම්මෙ අනිත් දෙන්නට කතා කරන්නවත් ඉඩ නොතබා. ලාංකික ආගන්තුක සත්කාරය ගැන සතුටු වෙච්ච තරුණයා ඔහුගේ වියදමෙන් තරුණියන් දෙදෙනාව වෙස්මිනිස්ටර් පාලම අසල ඇති ‘ලන්ඩනයේ ඇස’ නමෙන් හැඳින්වෙන දැවැන්ත කතුරු ඔංචිල්ලාවේ එක්කන් යන්න ඉදිරිපත් වුනා.
 
“අනේ මට නම් හවස් වෙන්න කළියෙන් ගෙදර යන්න ඕන.”
 
නිහැඬියාව බිඳිමින් මෙතෙක් වැඩියමක් කතා නොකළ සුරූපිය කටහඬ අවදි කළාය.
 
“ඒ වුනාට රෑට තමයි ලස්සන.  මුළු ලන්ඩන් නුවරම බලාගන්න පුළුවනි.”
 
“බොහොම ස්තූතියි. ඒත් මට එන්න බැහැ.” ඇය නැවතත් තරයේම කියා සිටියාය.
 
ඇය දෙස මඳක් කුහුලින් යුතුව බලා සිටි අනෙක් තරුණිය අයර්ලන්ත තරුණයාට තමන් දෙදෙනා හා මෙතෙක් කල් ගෙවීම ගැන ස්තූති කර සමුගත්තේ ඔහුට ලන්ඩනයේ හොඳ නිවාඩුවකට ආශීර්වාද කරමිනි.
 
********

“මේ ගොම්මන් වැටෙන වෙලාවේ පොත් කියවන්නෙ නැතුව හිටපන්.”
 
“තව පිටු දෙකයි තියෙන්නෙ. ඉක්මනට ඉවර කරන්නම්.”
 
“අර ළමයාගෙන් ලියුමක් ආවැයි ළඟකදී?”
 
“ආවා… මම උත්තර යැව්වා,” ඇය පිළිතුරු සපයන්නේ කියැවීම නතර නොකරමය.
 
“ආයෙ කවද රටට එන්න පුළුවන් වෙයිද දන්නෑ.”
 
එය තමාටම කියා ගත්තක් මිසක පිළිතුරක් බලාපොරොත්තුවෙන් නැඟූ ප්‍රශ්නයක් නෙමෙයි.
 
යානවාහන තදින් බ්රේක් ගසමින් නලා පිඹමින් එහාට මෙහාට දුවති. කඩකාරයෝ නැවතත් වෙළඳ කටයුතු ආරම්භ කර ඇත. ආණ්ඩු සේවකයන් සිය රාජකාරී ස්ථාන වලට පැමිණ ඇත. පාසැල් ඇරිය ද තවමත් විශ්වවිද්‍යාල වැසී පවතී. හතළිස් දහසකට ආසන්න පිරිසක් විප්ලවයෙන් මරුමුවට පත් වූහ. දැන් දැන් කැරළිකරුවන් කැරැල්ල අතහැර දමා දේශප්‍රේමී කබා පොරවා ගෙන යළි දේශපාලන වේදිකාවට නඟිති.
 
“උඹ ඉතින් මට වඩා දන්න නිසා මම ආයෙත් කියන්නෙ නෑ. ඒත් පුතේ ඔය අඳුරු එළියෙන් කියවන්න නරකයි.”
 
පොත කියවා හමාර කර එය වසා දැමූ තරුණියගේ මුවඟ සිනහවක් පැතිරුණා. අඩු එළිය ඇස් නරක් කරන්නෙ නැහැ. වෙහෙස කරනවා පමණයි. ඒත් ඇය ඒක කියන්න ගියේ නැහැ.
 
“දැන් හතිය අඩුද?”
 
“ඔව් පුතේ. අර සීදේවී මහත්තය නලාව තියල බැලුවත් හරි. පින් ඇති දරුවෙක්.”
 
තරුණියගේ සිනාව තවත් පුළුල් වුනා. සීදේවී දොස්තර මහත්තයාගෙ වාසගම දන්නවා නම් කතාව වෙනස් වේවිද? ජාතිවාදී අදහස් රජයන කාලයක කිසිදු මතයක් නොතිබූ අය පවා පැති ගන්නට පුරුදු වෙති.
 
“අර දරුවට ගණන් උගන්වන්න යනවැයි හෙට?”
 
“ඔව්.. මම එහෙ එන්නම් කිව්වා. අනික හැමෝම හරි පාළුවෙන් ඉන්නෙ. මම ගියාම දාහක් ප්‍රශ්න. සමහර ඒවට මොනවා කියන්න ද මන්ද?”
 
නිදහස් අධ්‍යාපනය මානව අයිතියක් හා සමාන යැයි කියා ගන්නා අය ඇත. නමුත් මානව අයිතීන් උල්ලංඝනය කරන අයම මෙම නිදහස් අධ්‍යාපනයට වැට කඩොළු දමා එය යුධ පුහුණු පිටියක් කරගෙන ඇත. මෙය අයිතිවාසිකමක් නොව විශේෂ වරප්‍රසාදයක් ලෙස බලන්නට පටන් ගතහොත් පමණක් ඉන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට කෙනෙකු උත්සාහ දරනු ඇත. එසේ නොමැති නම් මෙම වටිනා ප්‍රස්තාව අනාගත දියුණුවට ඉනිමං තබන්නේ කෙසේද? වසර ගණන් උසස් අධ්‍යාපනය අඩාල වෙද්දී ධනවත් පංතිය පිටරට විශ්ව විද්‍යාලයන්ට මාරුව තම ඉගෙනුම නිමා කළහ.
 
“අපට ඔය කොයි පැත්ත ආවත් එකයි. කුලල් කා ගන්නවා මිසක තත්වෙ වෙනස් වෙන්නෙ නෑ.”
 
“ඒත් පහුගිය දවස්වල වෙච්ච දේවල් දැක්කම ඒ අය ආවොත් කිසි ප්‍රතිපත්තියක් නැති නීති නිසා තියෙන දෙයත් නැතිවෙයි.”
 
“වැඩිය ඕවා ගැන කතා කරන්න යන්න එපා කා එක්කවත්.”
 
මැහැල්ල ගෙය තුලට ගිය කළ, තරුණිය අඳුර ගිල ගන්නා පරිසරය දෙස බලා සිටියේ මනස්තාප සිතුවිලි දහ අතේ දුවද්දී. තක්සේරු නොදී පැති නොගෙන හිතට එන දෙයක් කියා ගන්නට හිටියේ එකම එක්කෙනෙකි.  ඇය ළඟ සිටිනා කළ තමා පොත පතේ ඇලී සිටියා හැරෙන්නට අදහස් හුවමාරු කර නොගත්තේ ඇයි? දැන් අහන්නට දහසකුත් දේවල් ඇත. ලිපි වලින් ලියන්නට බැරි තරම් කාරණා රාශියක් ඇත. ඇය ළඟ සිටියා නම් බනියි. ගිය දේවල් ගැන හිත හිතා ඉන්නවා කියල. වේවැල් පුටු ගෙය තුලට දමා ඉස්තෙප්පුවේ දොර අගුල ලා ඇය නිවස තුලට ගියේ පසුතැවිල්ලෙන් පලක් නැහැ යයි තමාටම පසක් කර ගනිමිනි.
 
*******************

“ඔයා මොකද කියන්නෙ?”
 
මේසය මත ගොඩ ගැසී තිබුණ පොත් ඈත් මෑත් කර ඇය මුහුණට එබුනු ඔහු ඇසුවේය.
 
“මොකක් ගැන ද?”
 
ඇයගේ අවධානය තවමත් යොමුව තිබුණේ ඇය කියවමින් සිටි ලිපි ගොනුව වෙතටයි.  ප්‍රශ්ණයකට පිළිතුරක් හැටියට එකවරට එය කටෙන් පිටවුනා විනා ඔහු අහන්නේ කුමක් ගැනද යන්න ඇයට හැඟීමක් නොවීය.
 
“අප්පච්චිගෙන් අහන්න ද?”
 
ඔහු සිය පොත් පත් වසා ගොඩ ගසා ඇත.
 
“මොකක් ගැන ද?”
 
ඔළුව උස්සන්නේ නැතුව ඇය පිළිතුරු දෙනවා වෙනුවට නැවතත් එම ක්‍ෂණික ඔටෝමැටික් ප්‍රශ්නයම අසයි.
 
“අපි දෙන්නා ගැන.”
 
මෙවර ඇයගේ කියැවීම නතර විණ. තම සම්පූර්ණ අවධානය ඔහුගේ මුහුණ වෙත යොමු කළේ විසල් වූ දෙනෙතින් පුදුමය ප්‍රකාශ වෙද්දී. ඔහු දෙනෙතේ සෙනෙහස පැතිර ඇත.  නුපුරුදු ලැජ්ජාවකින් හිත ගත සලිත වූයෙන් ඇය අසල ඇති පොතකින් මුහුණ වසා ගත්තාය.
 
“ඇයි කතා නැත්තෙ. මට කැමති නැද්ද?”
 
“පිස්සු ද?”
 
“එහෙම විනිශ්චයක් තාම කවුරුත් දීලා නැහැ.”
 
“ම්… මම කිව්වේ…. කැමති නැද්ද කියපු නිසා… මානසික තත්වයක් ගැන නෙමෙයි.”
 
“ඒ කියන්නෙ ඔයා මට කැමතියි.”
 
පොතට මුවා කරගත් ඔළුව ඉහළටත් පහළටත් යයි.
 
“වෙන කෙනෙක් එවන්නෙ නැතිව මම අහනවා අප්පච්චිගෙන්. කමක් නෑනේ?”
 
තවත් වතාවක් ඇයගේ ඔළුව ඉහළටත් පහළටත් සෙලවෙයි.
 
“අද අහන්න ද? හෙට අහන්න ද?”
 
“අද අප්පච්චි එනකොට රෑ වෙනවා. හෙට අහන්න,” ඇය තවමත් පොත පිටුපසය.
 
“දැන්ම ගෙදර ගිහින් ස්පීච් ප්‍රැක්ටිස් කරගෙන එන්නම්. අම්මිට කියන්න මම ගියා කියල.”
 
ඇයගේ හිස මතට නොරිදෙන්නට හෙමින් ටොකු පාරක් ඇන්න ඔහු සිය පොත් පත් කිහිපයත් රැගෙන මිදුලේ නවතා තිබූ වාහනයේ නැඟ පිටත්ව ගියේය.
 
හිඳගත් තැනින් නොසෙල්වුන ඇයගේ මුහුණ ප්‍රීතියෙන් පිරී ඇත. වසර ගණනක ඇසුරින් මෙම අවස්ථාව උදාවන බවට ඇයට කිසිම සැකයක් නොතිබුණි. අද දක්වාම දෙදෙන එකට නොයෙකුත් වැඩ කටයුතු වල නිරත වුවද ආදර සම්බන්ධයක් ගැන කිසිදා කතා කළේ නැත. අම්මත් අප්පච්චිත් කැමැත්ත පළ කරනු නිසැකය. ඔහුගේ දෙමාපියන් ද මෙවැනි එක්වීමකට බාධා නොකරනු ඇත.
 
ඇයගේ සිතුවිලි ගලා ගියේ දෙදෙනාගේ එක්වීමෙන් ඔවුන්ගේ සමාජ තත්වයට හා වෘත්තීය වශයෙන් ඇතිවන ප්‍රගතිය සම්බන්ධයෙනි.
 
තමා ඔහුට කැමති යයි වචනයෙන් ප්‍රකාශ කළේ නැති බවත් ඔහු තමාට ආදරය ප්‍රකාශ නොකරපු බවත් ඇය සිතට නැඟුනේ නැත.
 
බොළඳ පෙම්වතුන් ආදරය මත්තේ පෙම් වදන් වලට රණ්ඩු කරමින් නහිද්දී තවත් අයෙක් මෙසේ ගැලපෙන කරුණු සොයා බලා තමන් එකිනෙකාට සුදුසු යැයි තීරණය ගැනීම වැරදි වන්නේ කෙසේද?

එක් ප්‍රතිචාරයක් »

  1. අයියෝ කතාව ඉවරද? ගොඩක් ලස්සනයි කතාව…

    ප්‍රතිචාර විසින් indik — පෙබරවාරි 15, 2010 @ 12:41 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: