Sinhala story Blog

පෙබරවාරි 13, 2010

2.25 -කට හැකර වජිරා?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:51 පෙ.ව.

චුටි මැණිකා බියෙන් වෙවුලමින් රුක්ෂානිගේ නිදන කාමරයේ විදුලි පහන නිවා දැම්මාය.
 
“බේබි…… බේබි…”
 
ඇය කළුවරේ අත පත ගා ඇඳ මත සිටි රුක්ෂානි බදා ගත්තාය.
 
“මොක…”
 
ප්‍රශ්න නඟන්නට ගිය රුක්ෂානිගේ කට අතින් තද කර වසාගත් ඇයට කවුද පිරිසක් ගේට්ටුව ළඟ රැස්ව ඇති බව කණට කොඳුරා කීය.
 
“අමරදාස අයියා ගියා බලන්න. බේබිට කෝකටත් හැං‍ෙඟන්න කිව්වා.”
 
ප්‍රීනි ගෙනා ඡායාරූප චුටි මැණිකා නොදුටු නමුත් ඒවායින් සිත නොසන්සුන් වු සිටි රුක්ෂානි ප්‍රශ්න අහන්න ගියේ නැහැ.  ඇඳ යටට ඇඳුම් සූට්කේසය එබූ ඇය ඇඳ අවට තිබූ ඉතිරි ඇඳුම් හා තුවා කාමරයේ කොණක තිබූ ලෑල්ල ඔසවා එය තුලට දැම්මාය.  ඡායාරූප අස් කරන්නට වෙලාවක් නැත.  ඒවා ඇඳ මත තිබියදී කාමරයෙන් පිට වූ ඇයට යා හැකි වූයේ කොරිඩෝවේ කෙළවරට පමණි.
 
කිසිදාක බුරා පනින්නේ නැති සෑම් උගුරෙන් ගොරවන හඬ ඇසිණ. දඩිබිඩියේ පඩි නැඟ ගෙන කෙනෙකු උඩු මහලට එන අඩි සද්දයත් පහත මාලයේ විදුලි පහනින් එහි හැම තැනකම සෙනඟ ඉන්නා බවත් ඇයට තේරුම් ගියේ නිමේශයකිනි.  ලොකු මැණිකා හා පොඩි මැණිකා හඬන සද්දයත් අමරදාස ඔවුන්ට තරවටු කරන හඬත් හීනයකින් මෙන් ඇසෙද්දී රුක්ෂානි නාන තටාකය ඇති වහලට නැඟ දොර අගුළු දැමීය.
 
චුටි මැණිකා විදුලි පහන නැවතත් දැල්වූවාය.
 
රුක්ෂානිගේ නිදන කාමරයට ගිය හැඩිදැඩි පුද්ගලයා පැළැඳ සිටියේ හමුදාවෙන් නිකුත් කළ පාවහන්ය.
 
“උඹ කවුද?”
 
“මම…..මම……වැඩට ඉන්න….මම..”
 
“කෝ මේ ගෙදර ඉන්න රුක්ෂානි කියන එක්කෙනා?”
 
“බේබි පිටරට ගියා…..දැන් ටික දොහකට කලින්.”
 
“උඹ මොකද මහ රෑ ඇහැරගෙන?”
 
“මම….නින්ද ගියෙ නැති හන්ද බේබිගේ කාමරේ අස් කරන්න හිතුවා.”
 
චුටි මැණිකා හිටියෙ ඇඳ ළඟ පින්තූර අත ගගා.  අතේ පිස්තෝලය පිටුපස්සට කරගත් ඔහු කාමරය සිසාරා බැලුවේ උකුසු ඇසින්.  ඇඳ ළඟට කිට්ටු වුනාම චුටි මැණිකා බයෙන් බිත්තිය පැත්තට ගියා.  ඔහු ඇඳේ තිබුනු ඡායාරූප එකක් දෙකක් අතට අරගෙන බලන්නට විය.
 
“කොයි එක්කෙනා ද රුක්ෂානි කියන්නෙ?”
 
ඡායාරූපයක් අතට ගත් ඔහු ගිගුලේය.
 
“මේ අපේ ජනාධිපති ළඟින්ම ඉන්නෙ බේබි. ඉන්දියාවේ අගමැති ළඟින් ඉන්නෙ බේබිගෙ තාත්තා.”
 
ඔහුගේ මුහුණේ වෙනසක් සිදුවිය.  නළල රැලි ගන්වා මඳක් කල්පනා කළ තමාට ලැබී ඇති තොරතුරුවල කිසියම් වැරැද්දක් ඇතැයි සිතීය.  ඔහුව එවා තිබුණේ විප්ලවීය සන්නද්ධ බලකායේ කැරළිකාරියක් අත් අඩංගුවට ගැනීමටය.  එහෙත් මෙම ඡායාරූප අනුව ඇය ආණ්ඩු පක්‍ෂයේ හිතවතියකි.
 
“උඹ බොරු කියනවා එහෙමද?”
 
“සත්තකයි ඔය ඉන්නෙ බේබි.  අනිත් පින්තූර වලත් ඉන්නෙ.”
 
මෙවර චුටි මැණිකා බියක් නැතිව කීවාය.  කෝකටත් ගේ පුරා ඇවිද බලන්නට සිතූ ඔහු වහලට යන දොර අගුළු දමා ඇති බව දිටීය.
 
“ඉන්න මම යතුරු ඉල්ලන් එන්නම්.”
 
චූටි මැණිකා එසේ කියද්දී ඔහු දොර අගුල කඩා වහලට නැඟ හමාරය.  නාන තටාකය අඳුරෙන් වැසී ඇත.
 
“කෝ මේකේ ලයිට් නැද්ද?”
 
“ලයිට් නෑ මහත්තයො.  දවල්ට ඉතරයිනෙ පාවිච්චි වෙන්නෙ.”
 
චූටි මැණිකා දන්නවා බේබි මේ ළඟ පාතක හැංගලා ඉන්න බව.  ඉතින් ඒ දහිරියෙන් එයා ගැහි ගැහි පට්ටපල් බොරුව කියන්නට සමත් වුනි.
 
සඳ නැති රැයේ අහල පහල ගෙයකින් ද එළියක් නොලැබුනෙන් නාන තටාකය සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී ඇත.  එහි අඩි හයක් ගැඹුරේ තටාකයේ බිමට වී හුස්ම අල්ලා ගෙන රුක්ෂානි හෙලවුනේ නැහැ.  එහාට මෙහාට සපත්තු හප්පල ඇවිද්ද ඔහු පහත මාලයට ගියේය.  චුටි මැණිකත් ඔහු පිටුපසින් තරප්පු පෙළ බැස්සෙ වැරදිලාවත් බේබිගෙ නම කියැවෙයි කියන බයට. ගෙදර වැඩ කාරයන්ට සැර වැර දාපු චන්ඩි ටික පිටවෙලා ගියහ.  ඔවුන් යනතෙක් ඉතා සංවර ලෙස සිටි මැණිකෙල තුන්දෙනා අමරදාස ගේට්ටුවට දම්වැලයි ඉබ්බයි දාද්දී කඩාගෙන බිඳගෙන උඩුමහලට දිවූහ.
 
“දැන් මොකද කරන්නෙ බේබි?”
 
“අද රෑ ආයේ එන්නෙ නැහැ.  මම හෙටම යනවා.”
 
“ලොකු මහත්තයට කෝල් කරොත් හොඳයි නේද?”
 
දුරකථන ඇමතුම් ගැන ප්‍රීනිගේ අවවාදය ඇයට සිහිවුනි.
 
“සලාකා එකෙන් කතා කරනවා හෙට.  උදේ පාන්දරත් වෙලා.  දැන් ගිහින් නිදා ගන්න.  අමරදාසට කියන්න දහයට යන්න ලෑස්ති වෙන්න කියලා. අපේ කාර් එක නැතුව ටැක්සියක් කතා කර ගන්න කියන්න දවසටම.”
 
රුක්ෂානි මොහොතක් වත් නිදා ගත්තෙ නැහැ.  වරදක් නොකළ ද අද දෙපැත්ත විසින්ම අහිංසක පිරිස් ඝාතනය කෙරෙති.  වටිනා ජීවිත නැතිවන්නේ දුර්වල නායකයන්ගේ නූගත් ක්‍රියා වලිනි.  පෝසතා විනාශ කිරීමෙන් දුප්පතාට උදව් කරන්නට නොහැක. තම ජීවිතයට හානියක් වේ යයි කියා සිය මුදල් හදල් ද රැගෙන පෝසතාට රටෙන් පිට වී යත හැකිය.  රටේ ඉන්නා උපාධි ලත් රැකියා නැති තරුණයන් තුළ ඇති ද්වේෂය සාධාරණය. එයට පිළියමක් කරනා තුරු රටේ ස්ථිර සාමයක් ඇති නොවෙයි.  එයට පිළිතුර සොයා ගත යුත්තේ ද සමාජ රාමුව තුළින්මයි. පහුගිය ආණ්ඩු පක්‍ෂයේ අන්ත පරාජයෙන් පාඩම් කිසිවක් අළුත් රජය ඉගෙන ගෙන නැත.  ලංකාව විප්ලවයකට සූදානම් නැත.  බඩගින්න තවමත් තදින් දැනෙන්නේ සීමිත ජන කොටසකට පමණි.
 
“ප්‍රීනි හරි වැඩේ වුනේ ඊයේ රෑ. මම ඔහේ එන්න ද කතා කරන්න?”
 
“මම එන්නම් හසන්තිගෙ ගෙදරට. එහිදි මීට් වෙමු.”
 
සිය පියාට කතා කර තත්වය දැන්වූ රුක්ෂානි එතැනින්ම ප්‍රීනිටත් කතා කළාය.  ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය අතේ තිබුන ද ගුවන් ගමනට අවශ්‍ය ටිකට් පත් තවම ගෙදරට නොලැබුනි.  හසන්තිගේ නිවසට යද්දී ප්‍රීනි එහි අවුත් සිටියාය.
 
“ටිකට් ගන්න යන්න එපා.”
 
“ඇයි ඒ?”
 
“එතනත් කවුරු හරි ඉන්න ඉඩ තියෙනවා.  ඔයාට මතකද වජිරා?”
 
“කට හැකර වජිරා?”
 
ප්‍රීනිගේ මුහුණ අමනාපයෙන් පිරුණ.
 
“ඒ කාලේ කතා මතක් කරන්න එපා.  එයා දැන් කටුනායක වැඩ.  අපිට කීප දවසක් උදව් කරල තියෙනවා.  ටිකට් එක ඕන නෑ අපි ඇතුලට දාන්නම්.”
 
රුක්ෂානිත් හසන්තිත් ඇහුවෙ නැහැ ‘අපි’ යනුවෙන් ප්‍රීනි හැඳින්නුවේ කවුරුන්ද වග.  මානව හිමිකම් සුරකින සංවිධාන සමූහයක් දේශීය විදේශීය අංශයන්ගෙන් එළි දැක තිබුණ.  ප්‍රීනි පහුගිය දවස්වල අප්පච්චියි සමන්තයි එක්ක ඒවායෙහි නිරත වූවන් බොහොමයක් දැන හඳුනා ගෙන සිටින බව නොරහසකි.  හොර රහසේ පැන යන කිහිප දෙනෙකුටම උදව් වන්නට ඔවුන් සමත් වූහ.  එසේ රට හැර දා ගිය අය අතර සමහර කෙනෙක් විප්ලවීය සංවිධානයන් වල සාමාජිකයන් මෙන්ම පුවත් පත් වාර්තා කරුවන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ ජන කොටස් සිටියහ.  එමෙන්ම සරණාගත මුවාවෙන් බටහිර රටවල් වෙත ආර්ථික වාසි සොයා ගියවුන්ද සිටියෝය.
 
හසන්තිත් ප්‍රීනිත් රුක්ෂානිව කටුනායක ගුවන් තොටුපලට එක්කන් ගියෙ ටැක්සියෙන්මයි.  අමරදාස ඔවුන් හා ගියත් මැණිකෙල ආවෙ නැහැ.  ගුවන් යානයට ටික්කො පනින්නෙ නැහැනෙ ගමන් ප්‍රවේශ පත්‍ර තියනවද බලන්න.  අනිත් පැත්තෙන් බහින කොට අහන්නෙත් ගමන් බල පත්‍රයත් වීසා ගැනත් පමණයි.
 
කළින් කතා කරගෙන තිබූ ආකාරයට වජිරා ඔවුන් හා මුණ ගැසුනේ ආරක්‍ෂිත ප්‍රදේශයට කලින්.  එයා එක්කගෙන යද්දී කවුරුත් ප්‍රශ්න ඇහුවෙ නැහැ.  වජිරා එක්ක යන්න කළින් සිය යෙහෙළියන් දෙදෙනාගෙන් සමුගන්න කොට ප්‍රීනි මතක් කළා ලියන්න අමතක කරන්න එපා කියල.  හසන්ති කිව්වා සංජීවනීගේ විස්තරත් ලියලා එවන්න කියලා.
 
“චූටි මැණිකව ඕ ලෙවල් පාස් කරන එක දැන් සම්පුර්ණයෙන්ම ඔයා අතේ.”
 
රුක්ෂානි හසන්තිගෙන් සමුගත්තෙ එහෙමයි.
 
“ඔයාට මේ බොස් උදව් කරයි.”
 
රුක්ෂානි ප්‍රීනිවත් බදාගෙන සමුගනිමින් කීවාය.
 
වජීරා එක්ක ගිහින් රුක්ෂානි නැග්ගෙ ගුවන් යානයේ මුල් දොරෙන්.  ලංකාවෙන් පිටවෙන ගුවන් යානා වල වැඩියෙන් පළමුවෙනි පන්තියේ ඉන්නෙ විදේශික මගීන්. පළමුවෙනි පන්තියේ නිතර ලන්ඩන් ගිය රුක්ෂානිව ගුවන් සේවයේ අනිත් සේවක සේවිකාවන්ටත් හොඳට පුරුදුයි.  ඒ නිසා කවුරුවත් සැකයෙන් බැලුවේ නැහැ.
 
රුක්ෂානි දිවයිනෙන් පිටව ගිය පසු මාස දෙකක් මුළු රටම බියෙන් දෙදරුණි.  මිනී මැරුම්, මංකොල්ලාකෑම් ඇතුළු මානව අයිතීන් උල්ලංඝනය කෙරෙමින් දුෂණ පැතිරෙද්දී ආණ්ඩුව අඩපණව ගියේය. රෝහල් වසා දැමුණි.  ඒවායෙහි දොස්තරවරුන් හෙදියන් තම ජීවිතයට අනතුරක් වේ යයි සිතා රැකියාවන් පැහැර හැරියහ.  එදිනෙදා පුවත්පත් පළ වුනේ නැත.  ජාතික රූපවාහිනියේත් ගුවන් විදුලි සංස්ථාවෙහිත් කිසිවකු වැඩට නොපැමිණියහ.  බැංකු වසා දැමිණ.  මෙතෙක් දොර පලුවක් විවෘත කරන් වෙළඳාමේ යෙදුන කඩ හිමියා එය මුළුමනින්ම වසා දමා ගෙදරට ව දොර අඟුලු ලා ගත්තේය.  දුම්රිය දෙපාර්තමේන්තුවත් බස් ගමනාගමන මංඩලත් ක්‍රියා විරහිතය.
 
ජනතාව වෙනුවෙන් කියා අරගලයේ යෙදෙන, සුපර් හිට් ටීම්ස්, රටෙහි ප්‍රභූන් පිරිසක් ඝාතනය කළහ. මොවුන් අතර කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ස්ටැන්ලි
විජේසුන්දර, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති චන්ද්‍ර පටුවතවිතාන ද වූහ. විශ්ව විද්‍යාල පමණක් නොව පාසැල් ද වැසුණි.  පොලීසීන්ට පහර දීමෙන් ඒවා ද අඩපණ ව ඇති වූ කලබල නිසා පුද්ගලික තරහ මරහ පිරිමසා ගන්නා අය ද නීතිය තම අතට ගත්හ. අසූව දශකයේ අවසානය භීෂණ සමය නමෙන් ලංකා ඉතිහාසයට එක්වුණි.

එක් ප්‍රතිචාරයක් »

  1. පටුවතවිතාන ගැන මෙහෙම (almost first hand) කතාවක් මම ඇහුවා.

    වතාවක් ශිෂ්‍යයින් පිරිසක් ගියා ඔහු හමුවන්න, කාමරයේ සර් හිටියේ නැහැ. ඉදිරියෙන් ම ගිය සිසුවා “පට්ට නැහැ මචන් පස්සෙ එමු” කියා නැවත හැරුනා.

    මේසය ගාව වැටුනු යමක් අහුලන්නට දෙකට නැමී සිටි පුවසුරු පටුවතවිතාන, “පට්ට ඉන්නව මචන් වරෙන් වරෙන්” කියමින් නැගිට්ටා.

    කලාතුරකින් වෙන අන්දමට, සිසුවන්ගේ ආදරය දිනූ උප කුලපති තුමෙක් පුවසුරු පටුවතවිතාන.

    ප්‍රතිචාර විසින් stormcrow — පෙබරවාරි 13, 2010 @ 12:22 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: