Sinhala story Blog

පෙබරවාරි 10, 2010

2.22 -ඔයා කිවේ බෝම්බයක් පිපිරුණා කියල….

Filed under: Uncategorized — sinhalashortstories @ 10:16 පෙ.ව.

“රජයේ වහල් මානසිකත්වය පිටු දකිමු.”
 
රීඩ් මාවතේ විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට සෙනඟ පිරිලා. සටන් පාඨ ලියපු බෝඩ් උස්සගෙන ඉන්න උද්ඝෝෂණකරුවෙක් දිහා රුක්ෂානිගෙ ඇස් යොමු වුනේ නිතැතයෙන්. 
 
“අරවින්ද නේද මේ?  ඔයා කවදද මහණ වුනේ?” 
 
“හා… හා.. ඕවා අහන්න එපා. සහෝදරී එන්න අපිට සහයෝගය දෙන්න.” 
 
රුක්ෂානි දැක්කෙ නැහැ පැත්තක හිටගෙන හිටි කාණ්ඩයක් ඇයව හොඳින් මතකයේ තබා ගන්න තැත දරන ආකාරය.  ඔවුන් අසලින් යන ශිෂ්‍යාවකගෙන් ඇයගේ නම විමසා සොයාගත් බවත් ඇය නොදිටීය. 
 
“මොකක්ද හේතුව?” 
 
“පූජිත හාමුදූරුවො අල්ලන් ගිහින්.  ඒකටත් එක්ක අපි සපෝට් එක දෙනවා විශ්ව විද්‍යාල සුළු සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඉල්ලන මේ ස්ට්‍රයික් එකට.” 
 
අරවින්ද සිවුර දා ගත්තට එයා ගිහියෙක්.  රුක්ෂානි ඒ ගැන අහන්නට පෙර කතාව වෙනතකට හරවන්නට ඔහු සමත් වුනි. 
 
“හතරවෙනි තට්ටුවෙන් එළියට ආවත් වැඩක් නැහැ.  පුස්ස විතරයි විසි කරන්නෙ.” 
 
“කෝ…සමන් පියසිරි?”
 
“එයා අතුරුදහන්.  ශාන්ත බණ්ඩාර හොයාගන්නත් නැහැ.  පුෂ්පා සහෝදරියත් ආ ගිය අතක් නැහැ කියල ආරංචියි.”
 
විරුද්ධතා පෙළපාලි දරුණු වන්නට ඉඩ ඇති බව දූටු පොලීසිය විශ්ව විද්‍යාලය හා කතිකා කොට දින නියමයක් නැතිව දේශන කල් දැමීය. ගෙවල් දොරවල් වලට වී ළමුන් කාලය නාස්ති කළහ.
 
“රුක්ෂානි….” දුරකතනය අතට ගත් රුක්ෂානිට කෙඳිරියක් ඇසිණ.
 
“හලෝ? … සංජීවනී නේද?  හලෝ…?” 
 
දූරකතනයෙන් ඇසෙන්නෙ සංජීවනී ඉකිබිඳින හඬයි. 
 
“මම එනවා ඔයාගෙ ගෙදර.  කොහෙවත් යන්න එපා.”

ඇය අමරදාස ලවා තමාව සංජීවනීගේ ගෙදරට ඇරලවා ගත්තාය.  ගෙදර කිසිවෙක් වසනා බවක් වත් පෙනෙන්නට නැති තරම්ය.  ගෙය වැහෙන්නටම උස්ව ඇති තාප්පයෙන් තමා අවුත් ඇති බව ඇතුලත ඉන්නා කෙනෙකුට නොපෙනේ.  ඇය යකඩ ගේට්ටුවට හයියෙන් තට්ටු කළේ තාප්පයෙන් පිටත සීනුවක් නොදූටු හෙයිනි.  එහි හඬ පළාත පුරා පැතිර ගොස් අහල පහළ ගෙවල් වල අය විපරම් කරන්නට වූ කල යකඩ ගේට්ටුවෙහි පුංචි කවුළුවකින් වැඩට ඉන්නා කොල්ලාගේ ඔළුව දිස් විය.  ඔහු කතා නොකළේය. 
 
“මම සංජීවනීගෙ යාළුවෙක්. මතකද කලින් දවසක් ආවා? අද මම එනවා කියල දන්නවා.”
 
“නිදි.” 
 
“මට එන්න කීවා දැන්.  මම කූද්දන්නම්.” 
 
රුක්ෂානි කියන්න විශ්වාස නොකරන බව පෙන්වා කොල්ලා ගේට්ටුවෙහි පියනක් ඇරියේ යාන්තමෙන් ඇතුලට රිංගත හැකි පමණටය. 
 
“මම කෝල් කරන්නම් අමරදාසට එන්න.” 
 
කොල්ලා ගේට්ටුව වහන්නට පෙර රුක්ෂානි අමරදාසට හඬ ගෑය.
 
කොල්ලා පාර පෙන්නුවේ මුළුතැන්ගෙය පැත්තෙනි. කුස්සි අම්මා එහි වූ කුඩා රූපවාහිනිය දිහා ඇස් පිල්ලන් නොගසා බලා ඉඳියි. මෑතක පටන් ඇරඹුනු රූපවාහිනියේ ප්‍රචාරය වෙන වැඩ සටහන් තවමත් ඇත්තේ ස්වල්පයකි. එහෙත් ප්‍රචාරය වෙන කාල වේලාවන් නොදන්නා ජනතාව වැඩ සටහනක් පටන් ගන්නා තුරු එහි පාට පාට තීරු දිහා මෙන්ම තිරයේ දූවන මී මැස්සෝ දෙස බලා සිටිති. කුස්සි අම්මාගේ තිරයේද ඇත්තේ මී මැස්සෝය.
 
“ඇයි සංජීවනී මොකද මේ?”
 
සංජීවනීගේ දෙනෙතින් නොනැවතී කඳුළු කඩා හැලේ.  ඇයට කතා කරනු නොහැකිය.  ඇය කොට්ටය වෙත හැරී එය තදින් විකා ගත්තේ හද පත්ලෙන් නැ‍ඟෙන ශෝක රාවය මුවෙන් පිටවෙන්නට නොදීය. 
 
“කියන්න ළමයෝ මොකද වුනේ?” 
 
රුක්ෂානි ඇඳ කොණකින් වාඩි ගත්තේ දැන්ම සංජීවනීගෙන් පිළිතුරක් නොලැබෙන බව ඉවෙන් දැන ගෙනය.  ඇය මෘදූ ලෙස සංජීවනීගේ හිස පිරි මැද්දාය.  කෙස් කැරලි අවුල්ව කොට්ටය පුරා විසිර ඇත.  සංජීවනී සිය අත් මිටි මොලවා කොට්ටයට තඩි බාන්නට වූවාය.  කොට්ටය තෙත බරිතය.  තැළුණු තැන් වලවල් සේ පවතී.  ඇය අඬන්නේ පහුගිය පැය භාගයේ පමණක් සිට නොවන බව රුක්ෂානි අවබෝධ කර ගත්තේ කොට්ටයේ තත්වය දැක්ක පසුය.
 
කාමරයෙන් එළියට ගියත් පෙනෙන පැත්තක කිසිවෙක් නැත.  ඇය වට පිට බලා තවත් නිදින කාමරයක් යැයි අනුමානයෙන් අඩවන් වූ දොරක් මෑත් කර බැලීය.  එහි අති විශාල ඇඳකි.  ඇඳ උඩ තිබුණු කොට්ට දෙකක්ම වහා ඩැහැගත් රුක්ෂානි ආපසු සංජීවනීගේ කාමරයට ආවාය.
 
තම දයාබර යෙහෙළිය විඳිනා දූක බෙදාගන්නට හැකිනම් එය සතුටින් දරන්නට රුක්ෂානි සූදානම්ය.  එහෙත් ඇය කතා කරන්නටවත් සුදූසු තත්වයක සිටිනා බවක් නොපෙනේ.  ඇගේ ඇඟිලි තුඩු වලට හිරව ඇති තෙත කොට්ටය මුදා ගත් රුක්ෂානි ඒ වෙනුවට පිරිසිදූ කොට්ටය ඇය හිස යටෙන් තැබුවාය.
 
සංජීවනී කොට්ටය පපුවට තබා බදා ගත්තේ හදවත දෙදරා යෑමෙන් ඇතිවන කම්පනය අඩු කරගන්නට මෙනි. ඇයගේ කඳුලේ නැවතීමක් නැත.  වෙනදා තම රූ සපුව ගැන සැලකිල්ලෙන් පසුවෙන රූමතිය අද නාසයෙන් ගලනා හොටු ගැන කිසිම දැනුමක් නැතිව සිටින්නීය.
 
ඇයගේ හිස නැවතත් පිරිමැද රුක්ෂානි කාමරයෙන් පිට වූනේ කුමක් කරන්නට දැයි සිතා ගත නොහැකිවය. කුස්සි අම්මා කිසිවක් දන්නා බවක් නොපෙනුනි. කොල්ලා සිතන්නේද ඇය නිදන බවය.  ගෙදර වෙන කිසිවෙක් නැද්ද?  ඇය සාලයට ගියාය.  අවුරුදූ ගණනකට පෙර මෙම නිවසට ආ දවස ඇය මතකයට නැගුණි.  වට පිටාවේ එදත් අදත් වෙනසක් නැත.  කිසි බඩු භාණ්ඩයක් තිබූ තැනින් හෙලවී නැත.
 
රුක්ෂානි දූරකතනයේ අංක කරකවමින් කල්පනා කළේ කල යුත්ත කුමක්ද කියාය.
ඇය ඇමතුවේ සිය නිවසයි. උත්තර දුන්නේ අමරදාසයි.  හසන්තිගේ නිවසෙන් ඇය කැන්දා ගෙන එන්න යයි අමරදාසගෙන් ඉල්ලා සිටි ඇය තමනට රෑට නැවතීමට ඇඳුම් ගෙනෙන්න යයිද කීවාය.  අනතුරුව ඇය ප්‍රීනි ඇමතීය. 
 
“ඔයා ඇහුවද නිව්ස්?”
 
“මං කතා කරන්නෙ සංජීවනීගේ ගෙදර ඉඳන්….” 
 
රුක්ෂානිට සිය වාක්‍යය අවසන් කරන්නට ඉඩක් නොදූන් ප්‍රීනි තමා ඇසූ ප්‍රවෘත්ති විස්තරය ඇය කණ තැබුවාය. 
 
“ඔයාට රෑ නවතින්න සංජීවනීගේ ගෙදර එන්න පුළුවනිද?”
 
“අද?” 
 
“ඔව්…අද රෑට.” 
 
ප්‍රවෘත්තිය ඇසූ රුක්ෂානි හද සලිත වුනේ තමා හිතන්න සත්‍යය නොවේවා කියා දෙවියන්ට බුදූන්ට කන්නලව් කරමිනි.
 
ගේට්ටුව අසල රැඳී සිටි රුක්ෂානි සිය යෙහෙළියන්ට තමා අනුමාන කරන්න කියන්නෙ කෙසේදැයි කල්පනා කළාය.  කොල්ලා වරක් දෙවරක් පැමිණ ඇය දෙස සැකයෙන් බලා නොපෙනෙන මානයකට ගියේය.  හසන්තිත් ප්‍රීනිත් රැගෙන ආ අමරදාසට ස්තුති කර ගමන් මල්ල ද ගත් ඇය ඔවුන් හා මිදූලේ වූ අඹ ගස යටට ගියේ තවමත් කිසිදූ සැලැස්මක් තීරණය කර ගත නොහැකිවය. 
 
“මාත් ආවා රෑට ඉන්න බලාගෙන.” 
 
ඒ හසන්ති. 
 
“කෝ සංජීවනී?  මොකද වෙලා තියෙන්නෙ?” 
 
ඒ ප්‍රීනි. 
 
“මම හරියටම දන්නෙ නෑ…..සංජීවනී කාමරේ….හොඳටම අඬනවා. ප්‍රීනි නිව්ස් කිව්වට පස්සෙ………..චානුක ආවා ලංකාවට…….ඒත් එයා එතන හිටියද දන්නෑ……සංජීවනී දැන ගත්තෙ කොහොමද?” 
 
“රුක්ෂානි! කියන දෙයක් මුල ඉඳල කියන්නකො. මොකක්ද වෙලා තියෙන්නෙ?” 

ප්‍රීනි නොඉවසිල්ලෙන්.

“ඔයා කිවේ බෝම්බයක් පිපිරුණා කියල….”
 
රුක්ෂානි අමාරුවෙන් වචන ගැට ගහනවා එයාල දැකපු පළමු වතාව.  හසන්ති කම්මුල් දෙක අත් දෙකින් වසා ගෙන එතන තිබුන සිමෙන්ති බංකුවෙ වාඩිවුනා. 
 
“මොකක්ද? ඒක කොටි ගහපු බෝම්බයක්නෙ…………ආ……..” 
 
එතකොටයි ප්‍රීනිටත් වැටහුනේ සිදූ ව ඇති වින්නැහිය කුමක් විය හැකිද කියා. 
 
“චානුක කවදද ලංකාවට ආවේ?” කවදත් සුමුදූ හසන්තිගෙ කටහඬ ඇහෙන නෑහෙන ගානයි. 
 
“දවස් තුනයි අදට.  අපි ආපු දවසේ ඩිංගකට හමුවුනා අපේ අයිස් ක්‍රීම් කඩේදී.”

කිසිවෙක් ඔවුන් හඳුනා ගනීවී යැයි බියෙන් ආදරවන්තයන් දෙදෙන කතා කළේ රුක්ෂානිත් ඔවුන් සමඟ අසුන් ගෙන සිටියදීමයි. 
 
“ඉතින් එයා අද….. එතන හිටිය කියල හරියටම දන්නෙ කොහොමද?”

හසන්ති ආයෙත් නැඟුවේ සාධාරණ ප්‍රශ්ණයක්. 
 
“බී.බී.සී. නිව්ස් වලට කිව්වේ 113 ක් මැරුණා….. නම් කියවුනේ නැහැ.” ඒ ප්‍රීනි.
 
“මොකද අපි කරන්නේ?” ඒ හසන්ති.
 
“කොහොමද හරියට හොයා ගන්නෙ?” ඒ රුක්ෂානි.
 
තිදෙනම ආපසු සංජීවනීගේ නිදන කාමරයට ගියේ ඇය ලවා විස්තර දැන ගන්න.
එහෙත් සංජීවනීගේ හද පෙළන කඳුළු ගංඟාවෙහි ඉමක් කොනක් දකින්නට නැත. 
 
“බොන්න මොනවා හරි අරන් එන්න මෙයාට. අඬල අඬලා දැන් ඇ‍ඟේ වතුර කලඳක්වත් නැතුව ඇති.”
 
හසන්තිගෙ වෛද්‍ය අධ්‍යාපනය මූලිකත්වය ගත්තා.  ප්‍රීනිව කුස්සියට යවලා රුක්ෂානි සාලේ කෙලවරක දැක්ක මත්පැන් බෝතල් ළඟට ගියා.  ඒවා තිබුන අල්මාරිය යතුරු දාල.  කුස්සි අම්මාගෙන් අහන්න හිතුනෙ නැහැ රුක්ෂානිට.  විසිතුරු ලී කැටයමෙන් නිමැවූ අල්මාරිය දිහා බලාගෙන රුක්ෂානි කල්පනා කළේ කොතනද යතුර හංගලා ඇත්තෙ කියලා. 
 
බෝතල් පේලිය තිබුනේ පැත්තක.  මත්ද්‍රව්‍ය පානය සඳහා වෙන්වුනු විශේෂ හැඩ ඇති වීදූරු තිබුනෙ තවත් පැත්තක.  පිළිතුර තමා ඉදිරිපිට ඇති බව රුක්ෂානි දැකීය.  වීදූරු අසල කුඩා මල් බඳුනකි.  එහි මල් නැත.  එය අතට ගත් ඇය මුනින් අතට හැරවුයේ මහා ගැටළුවක් විසඳා ලබා ගත් ජයග්‍රහණයක් සේය.
 
අල්මාරිය ඇරිය ඇය එහි ඇති බෝතල්හි ලේබල් කියවා බැලීය.  හාර්විස් බ්‍රිස්ටල් ක්‍රීම් නමෙන් ෂෙරි වයින් බෝතලය ස්පාඤ්ඤයේ නිෂ්පාදිත බව සඳහන් වුනි.  එහි එය මූල්‍ය මෙන්ම සුපිරි ගණයේ බව ද ලියා තිබුණි. ප්‍රංශයේ බෝතල් කෙරුණු කොනියැක් VSOP බ්‍රැන්ඩි බෝතලයක් ද ඇය එළියට ගත්තාය. ඒ දෙකෙන්ම භාග භාග යටිකුරු වූ බැලුනයක් වැනි වීදූරුවකට වත් කළ ඇය ඉතිරිය අල්මාරියට දමා වසා යතුරත් මල් පෝච්චියට බහා උඩු මහලට නැඟීය.
 
හසන්තිගේ සංසුන් හැසිරීමෙන් සංජීවනී හැඩීම මඳක් නවතා ඇත.  ප්‍රීනි හැලිබොරේන්ජ් දොඩම් පානයෙන් වීදූරු හතරක් බන්දේසියක තබා ගෙන කාමරයට ආවාය.  රුක්ෂානි තම අත ඇති වීදූරුව සිරුර පිටු පස්සෙන් සඟවා ගෙන හසන්තිට අතින් එළියට එන්න යැයි සංඥා කළාය. 
 
“දොඩම් බිව්වට පස්සෙ මේක බොන්න දෙමුද?  බ්‍රැන්ඩි එක්ක වයින් දාලා.  මම පොත්වල කියවලා තියෙනවා හදිසි කම්පනයට දෙන්න හොඳයි කියලා.”
 
හසන්ති ඒකට කිසි උත්තරයක් දූන්නෙ නැහැ.  එයා නැහැය ලං කරල ඉඹල බලල මූණ ඇඹුල් කර ගත්තා.  අරිෂ්ඨයක් වගේ වෙන්නැති.
 
දෙන්නම කාමරයට එනකොට සංජීවනී දොඩම් බොනවා.  ප්‍රීනි නම් එයාගේ වීදූරුව හිස් කරලත් අහවරයි. 
 
“මේක බීලා ඔයා නිදා ගන්න.  දැන් කතා කරන්න අවශ්‍ය නැහැ.  පස්සෙ කියන්න.” 
 
දොඩම් බීලා ඉවර කරපු සංජීවනී අතට රුක්ෂානි තමා ගෙනා වීදූරුව දූන්නාය. 
 
“මොනවද මේ?”
 
“ෂැන්ඩි.” 
 
“මොනවා ද?” 
 
“ගිනෙස් එක්ක ජින්ජර් ඒල් දාලා.  හැබැයි මේ පාට නෙමෙයි එතකොට.” 
 
ප්‍රීනි වීදූරුව අතට අරන් බලල කීවාය. 
 
“ඒ ඔයා දන්න හරිය.  ෂැන්ඩි කියන්නෙ ෂෙරී වයින් වලට බ්‍රැන්ඩි දැම්මම.” 
 
රුක්ෂානි පොත්වල කියවල තියෙන්නෙ එහෙම.  රුක්ෂානිත් ප්‍රීනිත් සුපුරුදු පරිදි වාදයක් අරඹන්න සූදානම් වෙන බව දැක්ක සංජීවනීගේ දූක්මුසු මුහුනේ කඳුළු අතරින් යාන්තමින් හිනාවක් ඇඳුනා. 
 
“මම දැකල තියෙන්නෙ බියර් වලට ලෙමනේඩ් දාලා හදන හැටියි.” 
 
ඒ සංජීවනී.  එයා උගුර පාදල රුක්ෂානි අතින් වීදූරුව අරන් එක හුස්මට එය බීගෙන ගියාය. ඇයට එය කුමක් වුවද කම් නැත. කිසිවෙක් කිසිවක් කීවේ නැත.  වෙනදා කට වහගෙන තප්පරයක් ඉන්න බැරි ප්‍රීනිත් අද ටිකක් නිශ්ශබ්දයි.  කාමරේ තිබුන රූ වඩවන සඟරා ඇරගෙන කියවන්න ගත්ත කෙල්ලො තුන්දෙනා සංජීවනීට නින්ද යනකම් කතාබහෙන් තොරව ඉන්න සමත් වූහ. 
 
“ඩැඩී.  ලොකු උදව්වක් ඕනා.  අද පිටකොටුවෙ බෝම්බෙන් තුවාල වෙච්ච අයගේ නම් ලැයිස්තුව අරන් දෙන්න.” 
 
“ඔයා පරිස්සමෙන් ද?” 
 
“ඔව්. අද රෑ මම සංජීවනීගේ ගෙදර.” 
 
“ඔව්..ඔව්..ඒක හොඳයි.  මගේ ශෝකයත් කියන්න. මම ලැයිස්තුව හොයාගෙන කතා කරන්නම්.”
 
රුක්ෂානි විමසුම් සහගතව රිසීවරය ආපසු තැබුවාය.  ශෝකය පළ කරන්න යයි කියූ ඇයගේ පියා චානුක ගැන දන්නේ කොහොමද?  තමා සංජීවනීගේ ගෙදර රාත්‍රිය ගත කරනවාට ඔහු සතුටු වුනේ ඇයි?  මේ ගෙදර වැඩිහිටියෝ කොහෙද? 
 
“සංජීවනීට සනීප නැහැ.  කෝ එයාගෙ මමී?”
 
කුස්සි අම්මාගෙ පිළිතුර අහන්න තුන්දෙනාම මුළුතැන්ගෙයි දොරකොඩ හිටගෙන. 
 
“අපිලට කියන්නෑ යන එන තැන්.  නෝනා මහත්තයා යනා එනා.  කෑම හදාන කීවම අපිල හදානවා. ඒම තමා.” 
 
ජාතික රූපවාහිනියේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශනයේ දී ඡායාරූප සමඟින් ‍පිටකොටුවේ බෝගහ යට පිපිරුණ බෝම්බය ගැන සඳහන් වුනා.  වැඩි විස්තරයක් කියවුනේ නැහැ තුවාල ලබපු අය ගැන.  බීබීසී ගුවන් විදුලි සේවයේ වාර්තාකරුවකුගෙන්  එතැන දී සජීවී පුචාරයක් මුළු ලොවටම ඇසෙන්නට කියැවුනත් රාජ්‍ය මාධ්‍ය වලින් ලංකාවේ අයට මුළු විස්තර දැනගන්න සෑහෙන කාලයක් ගියා.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. අයියෝ මොකද වෙලා තියෙන්නෙ?

    ප්‍රතිචාර විසින් indik — පෙබරවාරි 10, 2010 @ 11:24 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: