Sinhala story Blog

පෙබරවාරි 8, 2010

2.20 -සහෝදරිය හරි නිශ්ශබ්දයි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:38 පෙ.ව.

“රුක්ෂානි සහෝදරිය එන්න අපේ සාකච්ඡාවට සහභාගී වෙන්න.” 
 
“දැන් එන්න බෑ. වෙන දවසක එන්නම්.”
 
“ඔයා හොඳ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.  අපිට හුවමාරු කරගන්න අදහස් ගොඩක් තියෙනවා.  අපි රත්මලානේ සහෝදරයෙකුගේ චමරියේ මුණ ගැහෙනවා බදාදා.  හවස හයට.  කැම්පස් එකෙන් එකට යමු.” 
 
වමරියක් දැකලා නැති නිසා රුක්ෂානි ඒක බලන්නත් එක්ක යන්න ගත් තීරණය ඇයගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වෙතැයි ඇය සිතුවා නම් මෙදා ගමන ඇය යනු ඇත්ද?
 
රැකියාව නිම කර ගෙවල් බලා දුවන ජනතාව රැගත් බසයක ඇය නැඟ ගිය ප්‍රථම වතාව මෙයයි.  දවස තිස්සේ වෙහෙස මහන්සි වූ පිරිසෙන් නැ‍ෙඟන දහදිය ගඳ ඇයගේ නැහය පුරා පැතිරේ.  බස් රථයේ තෙල් හා දුම් වලින් එන්නා වූ අහිතකර වායූ පෙනහළු පුරා ආශ්වාස කරමින් ගමන් ගන්නා මඟීන් ගැන ඇය කණගාටු විය.
 
රත්මලානෙන් බැස ගත් පිරිස පස් දෙනෙකු ගෙන් යුතුය.  රුක්ෂානි ඇතුළු ගැහැණු ළමයි තුන් දෙනෙක් හා පිරිමි ළමයින් දෙදෙනක් පාරවල් සොයාගෙන චමරිය බලා ගියහ.  මැලිබන් බිස්කට් කර්මාන්ත ශාලාවේ සුවඳින් පලාත නැහැවෙයි. 
 
“පොඩ්ඩක් ඉන්න යාළුවෙකුට කතා කරල එන්නම් මිනිත්තුවෙන්.”
 
ඉදිවෙමින් පවතින නිවහනක් දැක රුක්ෂානි අන් අය කිසිවක් කියන්නට පෙර එහි ඇතුලට ගියාය.  බලු කුක්කෙක් වලිගය වනමින් ඇය ඉදිරියට ආවේය.  අන් ළමුන් පාරෙහි නැවතුනහ. 
 
“ආ මේ අර එදා අපේ තිලිනා දුව එක්ක ආ මිස් නේද?” 
 
“ඔව්.  මගේ නම රුක්ෂානි.  කෝ නංගි ගෙදර ද?”
 
“තිලිනා…..”  මහ හඬෙන් දැරිවිය කැඳවන්නට නැන්දනිය හඬ ගෑවාය. 
 
“මේ රුක්ෂානි මිස් තමයි එදා තිලිනාව ගෙදර ගෙනත් ඇරලුවේ.” 
 
ඇය ගෙය ඇතුලෙන් එලියට ඔළුව එබූ තවත් තැනැත්තියකට රුක්ෂානි අඳුන්වා දුන්නීය.  ඒ තිලිනාගේ මවයි. 
 
“අනේ මේ දරුවට බොහොම පින්.  කොච්චර දෙයක් ද එදා කළේ? අනේ වාසනාවන්.” 
 
මව දිගින් දිගටම රුක්ෂානිට ස්තුති කළාය.  මවගේ ගවුමෙහි එල්ලී ගත් තිලිනා ඇඟිල්ලක් කටේ දමා උරමින් දත් විකසිත කර සිනහා වූවාය.  හැමටම බොන්න යමක් ගේන්නදැයි ගෙනා යෝජනාව ප්‍රතික්‍ෂේප කර රුක්ෂානි තිලිනාට අතවනා ගෙදරින් පිට වීය. 
 
“ඔයා කොහොමද ඒ අය අඳුරන්නෙ?” 
 
“ඒක දිග කතාවක්.” 
 
රුක්ෂානි විස්තර කියන්න ගියේ නැහැ.  අනික එදා තිලිනා ගෙනාවේ හසන්ති.  තමා සැපයුවේ වාහනය පමණයිනෙ.
 
චමරිය ගොඩක් කළුවර තැනක් වුනා.  ලයිට් පත්තු කරෙත් නැහැ කිසිවෙක්.  මඳ අඳුරෙම කරපු කතා විශ්ව විද්‍යාලය තුල කෙරුනු ඒවාට වඩා හර බරින් අඩුයි.  මාතෘභූමිය ඉන්දීය අධිරාජ්‍යවාදයෙන් බේර ගන්න ආකාරය කියද්දි රුක්ෂානිට කට කොනකින් හිනා ගියා.  ඉන්දියාව පැත්තෙ ගිය කෙනෙක් දන්නවා ඒ රටේ තියන දුගී දුප්පත් බවයි මායිම් රටවල් එක්ක තියන යුද්ධයි.  ඒ ප්‍රශ්න එක්ක තවත් දුප්පත් රටක් අල්ලන්න වෙලා නැහැ ඉන්දියාවට.  මදුරුවෝ විදින්නට පටන් ගත්තෙන් රුක්ෂානිට කතාවට සිත යොමු කරන්නට නොහැකිය.  ඇය හා පැමිණි අය හැරෙන්නට එතැන සිටියේ මොරටු විශ්ව විද්‍යාලයේ අයය.  ඔවුන් සිය නම් වලින් හඳුන්වා දීමෙන් වැලකී සිට ආරූඪ නම් උපයෝගී කරගත් බව රුක්ෂානි එදා දැන ගත්තෙ නැහැ. 
 
“සහෝදරිය හරි නිශ්ශබ්දයි.”
 
“අහන් ඉන්නත් කෙනෙක් අවශ්‍යයිනෙ.”  අහන් ඉන්නවද බලන්න ප්‍රශ්න කරොත් ඉවරයි.  රුක්ෂානිට ඕන කළේ එතැනින් පැන ගන්න.  ඒත් එකට ආපු අය දාල යන සිරිතක් නැහැනෙ.
 
වෙනදා ඕපන් කැන්ටිමේ කෙරෙන වාද විවාදයන්ට වඩා වෙනස් ආකාරයට මෙදා කටයුතු කෙරුනෙ.  දේශනය කරපු තැනැත්තා ඒක පුරුදු වෙනවා කියල කීප වතාවක්ම රුක්ෂානිට හිතුන. 
 
“අපි පොඩි විවේකයක් අරගෙන අයෙත් පටන් ගනිමු.” 
 
ලැබුන විරාමයෙන් කාටවත් කිසිවක් කියන්න ඉඩ නොතබා රුක්ෂානි ඔවුන්ගෙන් සමුගෙන චමරියෙන් පිට වුනාය.  අවට කළුවරය.  ඉක්මනින් අඩිය තබා ගාලු පාරට එන්නට ඇය සමත් වුවාය.
 
පාරෙහි කඩ වල සෙනඟ කෙමෙන් අඩු වෙමින් පවතී.  මෙතෙක් කලක් ඇය රාත්‍රියේ ගමන් ගත්තේ වහනයෙන් බැස ස්ථානයක් ඇතුලට යන දුර පමණි.  පාර තොටේ ගැවසෙන්නේ පිරිමි පමණි.  තනිවම ගමන් ගන්නා ගැහැණු පෙනෙන්නට නැත. කඩයක් අයිනේ හිටගෙන සිගැරට්ටුවක් බොන තරබාරු පුරුෂයෙක් රුක්ෂානි දෙස උනන්දුවකින් බලන්නට විය.
 
පුද්ගලික බස් රථයක් ඇය පාරෙන් ඉවතට තල්ලු කරන්නට තැත් කරන්නාක් මෙන් ඇඟටම කපා තදින් බ්රේක් ගසා නැවැත්විය.  එය තමනට ගෙදර යා හැකි මාර්ගයේ දුවන බසයකි.  රියැදුරාගේ ධාවන හැකියාව ගැන සැකයෙන් හා ඔහුගේ හැදියාව ගැන පිළිකුලෙන් බැලුව ද තවත් මහ පාරෙහි ඉන්නට අකමැති වූ රුක්ෂානි බසයට නැග්ගාය. 
 
“නංගිව කොහෙද එක්ක යන්නෙ?”
 
කොන්දොස්තර තැන කියූ කතාවට බසයේ සිටි දෙතුන් දෙනෙක් හඬ නඟා සිනහ වූහ.  ඔහු ඉන් ධෛර්මත්ව රුක්ෂානිගේ කොණ්ඩයෙන් ඇල්ලීය. 
 
“ජරා යක්කු.  ගෑණු ළමයෙකුට පාරේ යන්නත් නැහැ.”
 
ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කර ගෙදර යන තැනැත්තියක් රුක්ෂානි පිටුපසින් බසයට නැඟ ඇය හා කතා කරන්නට පටන් ගත්තාය. 
 
“රෑ වුනොත් ඉතින් ඔය නොසන්ඩාල කතා අහගෙන තමයි බස් වල යන්නෙ අපි.” 
 
“ඇයි ඒ දවල්ට නැති කතා රෑට?”
 
“එයාලගේ හිත්වල තියෙන අදහස් තමයි.  රෑට ගමනක් යන හැම කාන්තාවක්ම අනාචාරයේ යන කෙනෙක් කියලයි හිතන්නෙ.” 
 
රුක්ෂානි ගෙදර ලඟින් බැහැල බස් හෝල්ට් එකේ ඉඳන් ගේට්ටුව දක්වා නොනැවතී දිව්වාය.  ගේට්ටුව ලඟ අමරදාස බලාගෙන ඉන්නවා.  ලොකු මැණිකත් එතැන හිටගෙන.

“මීට පස්සෙ රෑ වුනොත් වාහනය අරන් බේබි හොයාගෙන එන්න යන තැනක් කියල යන්න.” 
 
කවදාවත් නැති සැර ස්වරයකින් කියන්නෙ අමරදාස.  ලොකු මැණිකා අඬලා වගේ ඇස් දෙකත් රතුවෙලා.  ඇය නැහැය පිහිදාන සද්දෙ ඇහුන දෙන්නව පහු කරගෙන ගෙට යද්දී.  සෑම් විතරක් කිසිම වග විභාගයක් කරන්නෙ නැතුව ලඟට ඇවිත් කකුල ලෙව කෑවා. 
 
ගේ ඇතුලේ අනික් මැණිකෙල දෙන්න තක්බීරී වෙලා බලන් ඉන්නවා. ගත තලා පෙලා දැමූ ලෙසින් දැනුනු මහන්සිය ශරීරයට පමණක් නෙමෙයි හිතටත් දැනුන. රෑ කෑමත් එපා කියල රුක්ෂානි පැයක් පමණ නාන කාමරයේ වතුර කරාමය යට හිටගෙන හිටිය.

දවසේ වූ සිදුවීම් ඇයට විශ්වාස කරන්නත් අපහසුයි.  තමා ජීවත්වන සමාජයේම මෙතෙක් නොදැක සිටි පැත්තක් දකින්නට ඇයට ලැබුණි.  මෙයට හේතුව සමාජ විෂමතාවයන් යයි කිය නොහැකිය.  මිනිස් ගුණ දම් වඩා ගන්නට හැකි චරිතවත් ප්‍රතිපත්ති ගැන නොදන්නා කම යැයි රුක්ෂානි කල්පනා කළාය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. රුක්ෂානිට මොනව වෙයිද දන්නෙ නැහැ… මොකක්ද ජීවිතේ ඇතිවෙන වෙනස?

    ප්‍රතිචාර විසින් indik — පෙබරවාරි 9, 2010 @ 12:48 පෙ.ව.

    • ජීවිතේ නොනැවෙතන පෙරළිය අහඹු සිදුවීම් නිසා ද? නැතිනම් අප විසින්ම සකස් කර ගන්නා ලද පෙරගමන් ද? බලමු යනකොට මොකද වෙන්නෙ කියලා.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — පෙබරවාරි 9, 2010 @ 8:49 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: