Sinhala story Blog

පෙබරවාරි 7, 2010

2.19 -මගේ අම්මේ මේ පොතේ මොනවද තියෙන්නෙ බේබි?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:56 පෙ.ව.

“ඩැඩීයි මමීයි ලංකාවට එනවා.” 

රුක්ෂානි ප්‍රකාශ කළේ හරිම සතුටෙන්. 
 
“කවද්ද?”
 
“මාසේ අන්තිමට.” 
 
හසන්ති එදා රුක්ෂානිගෙ ගෙදර.  ඉංග්‍රීසි වචන සම්භාරයක් ලියා ගත්තු ෆුල්ස්කැප් පිටු ගණනක් එයාගෙ අතේ.  ඒවත් අරන් රුක්ෂානි හමුවුනේ වචන උච්චාරණය ඉගෙන ගන්නයි.  වෛද්‍ය වදන් නිසා ගොඩක් වචන හොයාගන්න දෙන්නටම රුක්ෂානිගේ ගෙදර තිබුණු පත ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශය අරින්න සිද්ධ වුනි. ලතින් අරටු දන්නවා නම් වෛද්‍ය විද්‍යාවේ ඉංග්‍රීසි වචන තේරුම් ගන්න ලේසියි. තේරුම් ගත්තාම මතක තියා ගන්නත් ලේසියි. රුක්ෂානි ඩැඩීගේ පොත් අල්මාරියක් ඇරලා ලතින් අරටු ගැන හැඳින්වීමක් කරපු පොතක් හොයාගෙන ආවා. ඊට පස්සෙ වැඩේ ලේසියි.
 
“ෆයිනල්ස් ඉවර වෙලා ඔයත් යනවද කොහෙ හරි?”
 
“හසන්තිත් එන්න යන්න මාත් එක්ක.” 
 
“මම යන්න පිටරට?”
 
“ඇයි?” 
 
“නෑ… පිටරට යන්න කවදාකවත් හිතුවේ නැති හන්දා..” 
 
“ලන්ඩන් ගේ තාම තියෙනවා.  අපිට එහෙ ඉන්න පුළුවන්.” 
 
“නොමිලේ ප්ලේන් ටිකට් දෙන ට්‍රැවල් ඒජන්සියක් හොයා ගන්න වෙයි.”
 
හසන්ති ගණනකට නැතුව කීවාය.  ගුවන් ගමනකට තබා කොළඹින් පිට යන්නවත් ඇය අත මුදල් නැත.
 
රුක්ෂානි කුඩා කොළ කැබලිවල දිගු වචන ලියයි.  ලතින් භාෂාව අතිශයින් පාවිච්චි කරන වෛද්‍ය විද්‍යාවෙහි වචන ඉගැනීම කට පාඩමෙන් කරන්නට අවශ්‍යය.  පාට පාට ෆෙල්ට් පෑන් වලින් සමාන වචන දක්වන්නටත් එක හා සමාන රටා හොයා ගන්නටත් රුක්ෂානි සමත් වූවාය. 
 
“බේබිලාට බොන්න මොනවා හරි ගේන්නද?” 
 
කාමරයට ඔළුව දැමූ චූටි මැණිකා අසන්නීය. 
 
“කන්න මොනවද තියෙන්නෙ?” 
 
“වැලි තලප තියෙනවා.  අළුවා.  එතකොට අඹ ගෙනාපුවත් ඇති මයේ හිතේ.” 
 
“ඒවත් එක්ක තේ බොමු?” රුක්ෂානි ඇහුවෙ හසන්තිගෙන්. 
 
“අඹ එක්ක තේ බොන්න?” 
 
“නෑ. නෑ. වැලි තලපයි, අළුවා එක්කයි.” 
 
මඳෙකින් චූටි මැණිකා තේ අරන් ආවා.  බන්දේසිය පිරෙන්න අතුරුපස සමඟින් ඇය ලෙමන් පෆ් බිස්කට් කිහිපයක්ද රැගෙන ආවාය.  ඇඳ වැහෙන්නට ඇසිරුණු පොත් ඉතා භක්තියකින් ඇය පැත්තකට කර ගොඩ ගැසුවාය. 
 
“මගේ අම්මේ මේ පොතේ මොනවද තියෙන්නෙ බේබි?”
 
ඇය සුමුදු ස්පර්ශයකින් ශබ්දකෝශය අරියි. 
 
“චූටි මැණිකට ඉංග්‍රීසි වචන වල තේරුම කියවන්න පුළුවන් ඔය පොතෙන්.” 
 
රුක්ෂානි කිව්වේ අළුවා කෑල්ලක් තේ කෝප්පයේ ඔබමිනි.  තෙත් වූ එය ඇය කටේ ඔබා ගත්තීය.  එසේ අළුවා කෑල්ලේ රස විඳින්නට ආශාවක් ඇති වුවද යෙහෙළිය ඉදිරිපිට දී ඇය අනුකරණය කරන්නට අකමැති හසන්ති ආශාව මැඬ ගත්තීය. 
 
“චූටි මැණිකට ඉංග්‍රීසි කියවන්න පුළුවන් ද?”  හසන්ති ඇසුවේ පොත ඇරගෙන එය බලනා චූටි මැණිකාගෙනි. 
 
“රුක්ෂානි බේබි මට කියවන්න උගන්නලා ගොඩක් කල්.  මට ඉංග්‍රීසි පත්තරෙත් කියවන්න ඇහැකි.” 
 
එයා කිව්වේ තරමක ආඩම්බරයකිනි.  කාමරය අස් කරනා ඇය පාට පින්තූර ඇති නවකතා පොත් කවර දෙස ආශාවෙන් බලනා ආකාරය දුටු රුක්ෂානි ළමා පොත් වලින් පටන් ගෙන ඇයට කියවන්නට ඉගැන්වීය.
 
හසන්තිට තම මිතුරිය ගැන දැඩි ආදරයක් ඇති වුනි.  කෙනෙකුට යමක් තේරුම් කර දීම රුක්ෂානි සතු සහජ හැකියාවකි.
 
තේ බන්දේසියත් කෝප්ප පීරිසිත් රැගෙන චූටි මැණිකා පිටව ගියාය.

“ඩැඩීගෙන් අහල චූටි මැණිකට ඕ ලෙවල් විභාගෙ ගන්න ලෑස්ති කරන්නයි ඉන්නෙ.” 
 
ලොකු රහසක් කියන්නා සේ රුක්ෂානි කියයි.  දෙමාපිය අවසරය නැතුව චූටි මැණිකාට අදහස් දමන්න හොඳ නැත. 
 
“මගෙන් උදව්වක් ඕන නම් කියන්න.”
 
හසන්ති තම සහයෝගය පළ කරන්නට පසුබට වුනේ නැත. 
 
“එයා ආසයි ඉගෙන ගන්න.  මගේ පොත් සේරම තවම තියෙනවා.  ඒවයින් ඉගෙන ගන්න ආස වෙයි.” 
 
රුක්ෂානි තම අභිමතාර්ථය පැහැදිලි කරයි. 
 
“මා ළඟ ප්‍රශ්න පත්තර ලියා ගත්තුව ගොඩකුත් ඇති.  මම ගෙනත් දෙන්නම්.” 
 
තමාට දිය හැකි සහය ගැන හසන්ති ද සඳහන් කළේ සතුටෙන්.
 
රුක්ෂානි ජනේලයෙන් එහා බලාගෙන තද කල්පනාවකට වැටුණි.  අල්ලපු ගෙදර ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන හඬ ඇසේ.  දැන් එහි පදිංචිව ඉන්නේ විදේශිකයන්ය.  රුක්ෂානිගේ නිවහනට මුලින්ම පැමිණි දවසක ඇය ජනේලය හැර එලිය බලා වෙලාව කී හැටි හසන්තිගේ මතකයට නැඟුනි.  ඒ සමන්ත රැගත් වාහනය වත්තට ඇතුළු වූ විටයි.  රුක්ෂානිගෙන් සමන්ත ගැන අහන්නට සිතුනත් සිතට නැ‍ෙඟන හැම සිතුවිල්ලක්ම වචනයට නොදමන හසන්ති නිහඬතාවය රැක්කාය. 
 
“ප්‍රීනි කෝල් කළා ඊයේ.”
 
“මොකද කියන්නෙ?”
 
“ෆිල්ම් එකක් බලන්න යන්න ඇහැව්වා.” 
 
“මේ එග්සෑම් දවස්වල?”
 
රුක්ෂානි නැවතත් නිහඬයි.  රුක්ෂානි විභාගය මැද්දේ වුවද චිත්‍රපටි බලන්න යෑම රහසක් හෝ පුදුමයකට කරුණක් නොවේ.  එහෙත් ප්‍රීනි දන්නා හඳුනන කිසිවෙක් ඇය අවසාන විභාග සමයේ එවැන්නක් යෝජනා කිරීම අතිශයින්ම කුහුල දනවන්නකි. 
 
“රමේෂ් කෝල් කළා.”
 
එවර හසන්තිගෙන් කිසි ප්‍රතිචාරයක් නැත. 
 
“ඔයා ගැන අහන්න.” 
 
“මට දවසක් කොලෙජ් එකේදී හොයාගෙන ඇවිත් කතා කළා.”  හසන්ති මිමිණුවේ ඇහෙන නෑහෙන ගණනට. 
 
“ඉතින්?”
 
“ඉතින් එච්චරයි.”

“මොනවද කතා කළේ?” 
 
රුක්ෂානි අහන්න තියන දෙයක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. 
 
“ඉංග්‍රීසියෙන් කතා කළේ.  මාත් එක්ක කතා ටිකක් කරන්න ඕනා කියන්න……….මම දැන් වෙලාව නැහැ කියල මාරු වුනා.” 
 
“ඔයා මොනවද හිතන්නෙ?”
 
“මොනවා හිතන්නද රුක්ෂානි.  මම ඔයාල එක්ක හිටියට ඇත්ත තත්වය දන්නවා නම් එයා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ.” 
 
“ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලයි මගෙන් ඇහුවෙ.” 
 
දෙදෙනම නැවතත් නිහඬ වූහ.  රමේෂ්ගේ තියුණු බැල්ම හසන්ති හද සසල කළ ද එය ආදරය යැයි කිය හැකිද?  විශ්ව විද්‍යාලයේ පටන් ගන්නා ආදර සබඳතා බොහොමයක් ඉන් පිටව යද්දී නිමාව දකියි.  විහිළුවට සම්බන්ධයක් ඇරඹීම හසන්ති අනුමත නොකළාය.  රමේෂ් වැන්නකු ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයකි.  එහෙත් එවැනි කෙනෙක් හා අනාගතයක් ගැන තමනට සිතනු නොහැකිය. රමේෂ් පෝසත්. හසන්ති දුප්පත්. රමේෂ් ද්‍රවිඩ. හසන්ති සිංහල. රමේෂ් ක්‍රිස්තියානි. හසන්ති බෞද්ධ.
 
“කරදර වෙන්න එපා කියන්න රුක්ෂානි. මට ඒවා ගැන හිතන්න බැහැ දැන්ම.” 
 
“මම කියන්නම් ඔයා ඩොක්ටර් කෙනෙක් වුනාම ඇවිත් ආච්චිගෙන් අහන්න කියලා.” 
 
මෙතෙක් මළානික ව තිබුණු මුහුණු දෙකම යළි පිබිදුනි.  ඒ දෙදෙනටම හසන්තිගේ ආච්චි හා රමේෂ් දෙදෙනා මුණ ගැසෙන ආකාරය මැවී පෙනෙන්නට වූ හෙයිනි. 
 
“අපි කරන්න පුළුවන් දේවල් කරමු.  චූටි මැණිකව ඕ ලෙවල් පාස් කරවමු.”
 
හසන්තිගේ ප්‍රකාශය සත්‍යයය බව රුක්ෂානිට වැටහුනා.  ලංකාවේ සමාජ ව්‍යුහය ඇත්තෙන්ම එංගලන්තයේ ඇති වංශවාදී පුහු ආකල්ප හා එක් වූවක් බව ඊනියා සංකර ක්‍රම යයි ඊට බැන වදින මෙරටෙහි ජනතාව පිළිගනියිද?  යටත් විජිත වාදයට එරෙහි අයම මෙවන් පිළිවෙත් රැක පවත්වා ගැනීම දෙබිඩි කතාවක් නොවන්නේද?

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. ආදරයට ජාති, ආගම් ප්‍රශ්න නෙමෙයි කියලනෙ කියන්නෙ… 🙂

    ප්‍රතිචාර විසින් indik — පෙබරවාරි 7, 2010 @ 11:40 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: