Sinhala story Blog

පෙබරවාරි 6, 2010

2.18 -රමේෂ් හොඳ කොල්ලා

Filed under: Uncategorized — sinhalashortstories @ 11:54 පෙ.ව.

වර්ණ රාත්‍රියට සහභාගී වුනේ ක්‍රීඩාවන්හි නියැළුන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොවෙයි. 

වර්ණ ප්‍රදානයට වඩා බොහෝ දෙනෙක් අපේක්‍ෂාවෙන් හිටියේ සංගීත කණ්ඩායම හා සෙට්වෙලා ජොලි කරන්න.  වසර පුරා පොත පතට බැඳී සිටිනා උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ට සිය ඒකාකාරී දින චරියාවට ප්‍රමෝදය එක් කරන මෙවැනි උත්සව අල්පයක් විශ්ව විද්‍යාලය තුල තිබුනි. අලංකාර වස්ත්‍රයෙන් සැරසී සන්ධ්‍යා සමයේ කාලය ගෙවන්නට විශ්ව විද්‍යාලය තුල ඇත්තේ සීමිත ඉඩ කඩකි.  වර්ණ රාත්‍රිය ඉන් එකකි.

සාරිවලින් සැරසී කණ කර බබලන්නට නොයෙක් ආයිත්තම් පැළැඳ වෛවාරණ්‍ය සමනලියන් මෙන් එහාට මෙහාට සැරි සරනා තරුණියන් දහවල් කාලයේ පන්ති වලට දුවන අයදැයි සිතනු නොහැකිය.
 
උත්සව ශාලාව හැඩ වැඩ කෙරුණේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතින්මය.  ක්‍රීඩා අංශයේ දවස පුරා කාලය ගත කරනා කෙනෙක් දෙන්නෙක් තම අතට සංවිධාන මූලිකත්වය පවරා ගෙන තිබුණි.  පෙම්වතුන් පෙම්වතියන් කට්ටි ගැසී විහිළුවෙන් තහළුවෙන් ඔවුනට උදව් දුන්හ.
 
බොහොම අමාරුවෙන් වර්ණ රාත්‍රියට එන්න හසන්ති කැමති කරවා ගන්නට රුක්ෂානිට හැකිවුණි. 
 
“මට අඳින්න එකක් නැහැ.”  ඒ හසන්ති නිදහසට ගෙනා මුල්ම කරුණ විය. 
 
“කාලේ නාස්ති වෙනවා අපරාදේ.  මට පාඩම් කරන්න තියෙනවා.”  ඇය ඊ ළඟට ගෙනා පෑය. 
 
“ආච්චි කැමති නැහැ ඕවට.” ඇය ඉන් අනතුරුව කීවාය.  අවසානයේ ගැලවෙන්නට නොහැකි බව දැනගත් හසන්ති වර්ණ ප්‍රදානයට පමණක් ඉන්න කැමති වුවාය. 
 
“ඔයාගෙන් හැමදාම ඇඳුම් ඉල්ල ගන්න බෑනේ රුක්ෂානි.” 
 
“හසන්ති, ඔයා ඉල්ලනවා නෙමෙයි.  මම දෙනවා.  ඒක ලොකු වෙනසක්.” 
 
දැන් වෙළඳ පලේ මසා නිම කළ ඇඳුම් මිලදී ගන්නට ඇත.  පිටරටෙන් ගෙනෙනා මෙන්ම මෙරට නිම වෙන නා නා විලාසිතා අලෙවියට අළුත් ඇඳුම් සාප්පු ඇර තිබේ.  රුක්ෂානිට ඇත්තේ පිටරට ඇඳුම් පැළඳුම්ය.  ප්‍රීනි හා සංජීවනී කොළඹ අනගි කඩවලින් රෙදි ගෙන මැහුම් දන්නා අය ලවා ගවුම්, සාරි හැට්ට මස්සවා ගනිති. 
 
“ඔන්න නටන්න කියන්න එපා හොඳද?” 
 
“මම නෙමෙයි වෙන එක්කෙනෙක් නටන්න කතා කළොත්?” 
 
“මටත් බය ඒක තමයි රුක්ෂානි.  මාව තනියම දාලා ගියොත් එහෙම ආයි කතා කරන්නෙ නෑ ඔයත් එක්ක.” 
 
“රමේෂ් හොඳ කොල්ලා.”
 
“පිස්සු විකාර කියන්න එපා රුක්ෂානි.  ප්ලීස්.” 
 
රුක්ෂානි කතාව දුර දිග ගෙන ගියේ නැහැ.  බටහිර සමාජයේ අදහස් අනුව හැදුන වැඩුන පවුලකට අයිති රුක්ෂානි ලංකාවේ ජීවත් වුනත් හිතන්නෙ විදේශිකයන් හිතන අන්දමටයි.  ආදරය යන්න පමණක් දෙන්නෙකුට එක් වන්නට අවශ්‍ය පදනම කියලයි එයා හිතන්නෙ.  සමාජ සංස්ථාවන් වෙනස් මෙවැනි රටක ආදරය යන්නට ලැබෙන්නෙ බොහොම අඩු සැලකිල්ලක් කියල එයා හිතන්නෙ නැහැ.  ජාතිය, වංශය, කුලය, ආගම වගේම වත්කම කියන බැඳි වලින් ගැලවෙන්න කී දෙනාට ද හැකියාව තියෙන්නෙ.
 
වර්ණ රාත්‍රියට සංජීවනී කැමති කරවා ගන්නට එතරම් අපහසු නොවුනි.  සංජීවනීගේ පියා දැන් ගෙදර එන්නේ රෑ පහන් වෙද්දීය.  ඇය හා වචනයක්වත් කතා කරන්නට ඔහු මුණ ගැසෙන්නේ කලාතුරකිනි.  ඔහු රෑ බෝවී අවුත් තම නින්දට බාධා කරන්නේ යයි කියු සංජීවනීගේ මෑණියෝ වෙනත් කාමරයක නිදන්නට පටන් ගෙනය.  ඇය ද සංජීවනී හා කතා බහ කරන්නේ කලාතුරකිනි.  එක ගෙයක ජීවත් වුවද තිදෙනා ගෙවන්නේ හුදකලා ජීවිතයන්ය.  තම විවාහ යෝජනාව ගැන කතා බහක් ඇති වේ යයි බියෙන් හැකි තරම් දෙමාපියන් මඟ හැරීමට සංජීවනී වග බලා ගත්තාය.
 
ඒජන්ත තැපැල් කාර්යාලයකින් ඉඳ හිට චානුක හා කතා කරන ඇය ඔහුට ලියන ලිපි හා ඔහුගෙන් ලැබෙනා ලිපි සමඟින් කාලය ගෙවන්නේ එය සීමාසහිත වූද තාවකාලික වූද බව හිතේ කැකෑරෙද්දීය.
 
පියාගේත් මවගේත් අනුදැනුම හා ආශීර්වාද මැද්දේ ප්‍රීනි අහල පහල වසනා ඇඳුම් මහන්නියක ලවා ඉස්තරම් අන්දමෙන් නවතම මෙස්තරයෙන් සාරි හැට්ටයක් සකසා ගත්තීය.  එයට ගැලපෙන පාවහන් යුවලක් ද, අතට කුඩා පර්ස් එකක් ද ඇය හා ගිය මව තෝරා දුන්නීය.  නිවසෙන් පිටවන්නට පෙර තම දු සිඟිත්තී දැන් රූබර තරුණියක් ව ඇතැයි ආදරබර සුසුම් හෙලු ප්‍රීනිගේ අප්පච්චි ආඩම්බරයෙන් ඇයගේ නළල සිප ගත්තේය. 
 
“හලෝ දිනූෂි, හලෝ අනුක්!”
 
රුක්ෂානි ශාලාවට ඇතුල් වෙච්ච වෙලාවේ පටන් තවමත් දන්න අයට කතා කරල ඉවර නෑ වගෙයි.  මෙයා හරියට මුළු කැම්පස් එකම දන්නවා වගෙයි.  ප්‍රීනිට යාන්තමෙන් ඊර්ෂ්‍යාවකුත් දැනුන.
 
නොයෙකුත් පැහැති විදුලි බල්බයන්ගෙන් පරිසරය ආලෝකමත් වෙයි.  සමහර තරුණයන් ටයි පටි පැළැඳ සිටියහ.  ගවුමක් ඇඳ සිටියේ රුක්ෂානි ඇතුළු තවත් කෙනෙක් දෙන්නෙක් පමණි.  වත්සුණු තැවරුණු මුහුණු සුන්දරත්වය වැඩි කරයි.  වටිනා සුවඳ විලවුන් සුවඳක් හමද්දී වට පිට බැලු ප්‍රීනි සංජීවනී තමා අසලට එන බව දුටුවාය. 
 
“හරි සුවඳයි.”
 
“දහඬිය ගඳ ගහන අය අස්සෙ ඉන්න වුනොත් කියල ටිකක් වැඩියෙන් දාගෙන ආවා.” 
 
ප්‍රීනිට හිතා ගන්න බැහැ සංජීවනී කළේ විහිළුවක් ද නැද්ද කියල. 
 
“රමේෂ්ල ඇවිත්.”  ඔවුන් අතරට එක්වෙමින් රුක්ෂානි රපොර්තු කරයි. 
 
“රුක්ෂානි…”  හසන්ති තරවටු කළේ ඇත්තටම. 
 
“මාත් එක්ක ඩාන්ස් කරන්න ඕනා.” ලඟින් කෙනෙක් කියාගෙන ගියා.  එයා කිව්වේ කාටද?  යෙහෙළියන් හතරදෙනාම ඒ කවුද කියල බලන කොට සමන්ත ඈතට ගිහින්.  රුක්ෂානි මඳ කල්පනාවකින් සමන්ත ගිය දිහාව බලාගෙන.
 
වර්ණ ප්‍රදාන උත්සවය ආරම්භ වුනේ අත්පොලසන් මැද.  පොල් තෙල් පහනක් දල්වා ඇරඹුනු වැඩ කටයුතු ආරාධිත අමුත්තන් ස්තූති කතා පවත්වා අවසන් වුනා.  කුසලාන හා පදක්කම් ගන්න යෙහෙළියන් කිහිප වතාවක්ම වේදිකාව වෙත ගියෝය.  රුක්ෂානි වේදිකාවට නැග්ග හැම වතාවකම කන් බිහිරි කරවන අත් පොළසන් නාදය මෙන්ම ප්‍රශංසා සහගත විසිල් ද වැදින. 
 
සිසු සිසුවියන්ගෙන් ශාලාව පිරෙද්දී වේදිකාවේ සංගීත කණ්ඩායම සූදානම් වෙනවා සාජ්ජය පටන් ගන්න. කොන් ගැහිල හැංගෙන ගෑණු ළමයි නටන පොළවට ඇදල ගන්න කොල්ලො හොඳ උත්සාහයක් ගත්හ.  මුලින් තරමක ප්‍රකට සිංදු වාදනය කළ සංගීත කණ්ඩායම පසුව බයිලා වාදනයට එළඹුනේය. 
 
“සමහරු උඩ පනිනවා, නටනවා කියල හිතාගෙන.” සංජීවනී නහය හකුළුවමින් කීවාය. 
 
“සංජීවනී නටල පෙන්නන්නකො.”  හසන්ති කෙළිලොල් සිතින් කිව්වේ සංජීවනී නටන්නෙ නැති බව දැනගෙන. 
 
“එතකොට කවුද මට ගෙවන්නෙ?”  සංජීවනී හසන්තිගෙන් ඇහුවෙත් කවටකමටමයි. 
 
“ඔට්ටුවක් අල්ලන්නම්. ඔයා නටන්නෙ නෑ මෙතන.”  ප්‍රීනිගෙන් අභියෝගයක්. 
 
“මොකක්ද ඔට්ටුව?” ඒ රුක්ෂානි.
 
“ම්………ම්……….”  ප්‍රීනිට මුකුත් හිතට ආවේ නැහැ. 
 
“අද නැටුවොත් චානුක ආවම අපි ආයෙ නුවරඑළි යන්න එනවා.” 
 
ප්‍රීනි කිව්වේත් විහිළුවට.  නැටුවත් නැතත් සංජීවනී වෙනුවෙන් ආයෙත් ඒ ගමන යන්න අනිත් තුන් දෙනාම සූදානම්.  කුඩා කාලයේ සිංහල සිනමාවේ රඟ පෑ සංජීවනී කාලෙකින් රංගනයෙන් කිසි දෙයකට සහභාගී වුනේ නැහැ.  ඒ චානුක මුණ ගැහුණට පස්සෙ.  අද සංජීවනී තුළ සරදම් බවක් නළියයි.
 
ඇය අනික් තිදෙනාගේද අත් වලින් ඇද ගෙන නටන්නට වූවාය.  හරි හරියට ඇය හා නටන්නට වුනේ රුක්ෂානි.  හසන්ති මඳ සිනහවෙකින් හිට ගෙන.  ප්‍රීනිට දාගෙන ආපු උස අඩි සපත්තු එක්ක බයිලා නටන්න අමාරුයි.  ඒත් එයා එකතු නොවී හිටියෙත් නැහැ. 
 
“ඔයාලට තනියම විනෝද වෙන්න දෙන්න බෑ.”
 
සමන්ත ආවා ඔවුන් අසලට.  අනිත් තුන් දෙනාම හොඳට නටනවා.  හසන්ති බලාගෙන ඉන්න බව දැක්ක එයා හසන්තිගෙ අතින් ඇදගෙන ආවා අනිත් අයත් එක්ක එහාට මෙහාට තාලෙට වැනෙන්න.  හසන්ති ආපහු යන්නෙ නැතිබව දැනගත්තාට පස්සෙ සමන්ත හසන්ති ළඟින් අයින් වෙලා සංජීවනීගෙ ඉස්සරහින් නටන්න ගත්ත. ඒත් සංජීවනී යන රිද්මයට සමන්තට එන්න හැකියාවක් නැහැ. 
 
“මේ කෙල්ල එක්ක නටන්න මම ඉගෙන ගෙන එන්න ඕනා.” 
 
ඔහු ඊ ළඟට හිට ගත්තෙ ප්‍රීනි ඉදිරියෙන්.  ප්‍රීනි වේගය අඩු කරල සමන්තගෙ තාලයට අඩිය තිබ්බ.  මඳ වෙලාවක් ඔවුන් දෙදෙන තාලයට වැනුනහ.
 
අන්තිමට ඔහු හැරුනේ රුක්ෂානි දිහාවට.  එතකොටම සංගීතය වෙනස් වුනා.  සෙමෙන් සෙමෙන් වාදනය වන්නට පටන් ගත්ත සංගීතය පෙම්වතුන්ට ගැයුණක්.  රුක්ෂානි හිතන්නෙ බලන්නෙ නැතුව පුරුදු කාරියක් වගේ සමන්තගෙ දකුණු උරහිසට සිය වම් අත තියලා ආලිංගන නැටුමකට මුල පිරුවා.  ඔවුන් දෙදෙනාගේ දෑස් එකතු වුනේ අහම්බෙන්.  රුක්ෂානිගෙ අත සමන්තගෙ උරහිසෙන් ලිස්සලා ගියා.  උරහිසෙන් ගිහිලුන අතින් ඇය සමන්තගෙ කමිස සාක්කුවට අත තියල සමන්තව තල්ලු කළා. දෙන්නටම නොදැනී දෙන්න ළං වෙලා වැඩියි.  ඒත් රුක්ෂානිගෙ දකුණු අත තවමත් සමන්තගෙ අතේ.  සමන්ත ඒක තදින් අල්ල ගෙනයි හිටියෙ. රුක්ෂානි අත මුදා ගත්තෙ අමාරුවෙන්.
 
මේ සියල්ලම වුණේ තත්පර කිහිපයකදි.  රුක්ෂානි හැසිරුණු ආකාරය දැක්කෙ හසන්ති පමණයි.  ආලිංගන නැටුමක් රුක්ෂානි නටපු ප්‍රථම වතාව නොවෙයි මෙය.  එයා සමන්තව තල්ලු කලේ ඇයි?  සමන්තගේ ඇස් වලින් ඇය දුටුවේ කුමක්ද?
ඒ එක්කම ශාලාවේ පැත්තකින් ඝෝෂාවක් හඬ නැඟුන. නැවතත් බයිලා සංගීතය පටන් ගන්න යයි සිසුන් කෑ ගසති. මත්පැන් හොරෙන් රැගෙන එන සිසුන් පුරුද්දක් නැතිව පමණට වඩා බී වෙරිමතෙන් හැසිරෙති. සන්ධ්‍යාව අවසානයේ ජාතික ගීය ගහන්නේ විසිර යන්න කාලේ ඇවිත් කියන්න. බීමතෙන් ඉන්න සමහරු ඒකටත් නටනවා. අනිත් අය සංගීතය නවත්වන එකට උරණ වෙලා සංගීත කණ්ඩායමටත් ගහන්න යනවා.
 
“හැම සැරේම ඉවර වෙන්නෙ ගුටි කෙළගෙන.” 
 
සමන්ත ඒ පැත්තට යන්න ගත්තෙ සමාදාන කරන්න බැරිනම් ගහ ගන්න අය වෙන් කරන්න.  ඒත් යන්න හැරුණු එයා හැරිල රුක්ෂානි දිහා බැලුවේ මොකක්ද කියන්න.  රුක්ෂානි අහක බලා ගත්ත. 
 
“තෑන්ක්ස් සමන්ත අපිත් එක්ක ඩාන්ස් කළාට.”  ප්‍රීනි කිව්වෙ සතුටින්. 
 
“ආ..ම්.. ෂුවර්.”  සමන්ත සිටියේ වෙන කල්පනාවක ප්‍රීනි කියපු දේ ඇහුණ ද මන්ද. අනිත් කෙළවරේ වැඩිවෙන සද්දෙ ඇහිලා සමන්ත ඉක්මණට හැරිල සෙනඟ අතරින් නොපෙනී ගියා.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. වර්ණ ප්‍රදාන උත්සවයනම් කැම්පස් එකේ තියෙන සුන්දර දවසක්. මටත් එකවතාවක් සහභාගි වෙන්න ලැබුනා.

    ප්‍රතිචාර විසින් indik — පෙබරවාරි 7, 2010 @ 1:14 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: