Sinhala story Blog

පෙබරවාරි 5, 2010

2.17 -කවුද කිව්වේ අපි ඔයා එක්ක යයි කියලා

Filed under: Uncategorized — sinhalashortstories @ 5:40 ප.ව.

ක්‍රීඩා තරඟ දිනය විශ්ව විද්‍යාලය තුල පැවැත්වුනේ පාසැල් තුල පැවතෙන්නා වූ ක්‍රීඩා උත්සවයන්ට ඉතා වෙනස් අන්දමකිනි.  කිසිම පුහුණුවක් නැතිව මෙන්ම උත්සව ශ්‍රීයකින් තොරව දවස පුරා තරඟ පැවැත්වුනි. 
 
“දුවල නෑ අනේ ගොඩ දවසකින්.”  සංජීවනී බැලුවේ කොහොම හරි තරඟ මඟ හරින්න. 
 
“වෙන කවුරුත් හොඳ අය නෑ.  මම හොයල බැලුව.  අපිට ලේසියෙන් දිනන්න පුළුවන්.” 
 
රුක්ෂානි කියන්නෙ ඕනම දෙයකට අත දාන සුපුරුදු උද්‍යෝගයෙන්.  එයා තමයි හොයා ගන එන්නෙ හැම විස්තරයක්ම.  අනිත් අය කරන්නෙ සහභාගී වෙන එක පමණයි. 
 
“හසන්තිත් එනව ද?  ප්‍රීනි දන්නව ද?  ඔන්න ඒ දෙන්න නැත්නම් මටත් බෑ.”  සංජීවනී බලන්නෙ ගැලවෙන්න හැකිද කියලයි. 
 
“දෙන්නම එනවා කිව්වා.  හැබැයි අපිට ෆැකල්ටි වෙනස් නිසා එකට රිලේ දුවන්න බැහැ.  තනි ඉවෙන්ට්ස් කරත හැකි.” 
 
ක්‍රීඩා පිට්ටනියට ළඟා වූ ඔවුන් ඉදිරියට දිව ආවේ තමාරාය. 
 
“මම කවදාවත් මීටර් දෙසීය දුවල නෑ.  එත් එන්ටර් වුනා අනේ.” 
 
“ඔයාට දිනන්න බැහැ සංජීවනී එක්ක.  මෙයා තිබ්බ අපේ ස්කූල් රෙකෝඩ් එක තාම කාටවත් කඩන්න බැරිවුනා.”
 
රුක්ෂානි කිසි ගණනකට නොගෙන කීවාය.  සංජීවනී මුවෙහි සිනාවක් නැඟින.  හසන්ති හා ප්‍රීනි ඔවුන් අතරට ආහ.  තමාරාව තනි කර දමා යෙහෙළියන් හතර දෙනා වෙනත් පැත්තකට හැරුණහ. 
 
“පොඩ්ඩක් ඉන්න.  මාත් එනවා ඔයගොල්ලො එක්ක යන්න.”  ඒ හඬ ආවේ තමාරා වෙතින්. 
 
“කවුද කිව්වේ අපි ඔයා එක්ක යයි කියලා.” 
 
ප්‍රීනිට හැකියාව තියෙනවා මහත් අහංකාර ලෙස කතා කරන්න.  තමාරා වටපිට බැලුවේ කිසිවක් තේරුම් ගනු නොහැකිව.  ඔවුන් දැන් වෙනස්කම් පෙන්වන්නේ ඇයි?  ඇය සිතා සිටියේ ඇය ද ඔවුන්ගේ කල්ලියට එකතු වුනා යයි කියාය.
 
ඉක්මන් ගමනින් ඇය හැර දමා තණ පිටියේ වෙනත් පැත්තකට යෙහෙළියන් හතර දෙනා ගියහ. 
 
“ඔයා හරි නරකයි ප්‍රීනි.  පව්.”  හසන්ති හෙමින් කිව්වෙ සිනහවකින්.  හතර දෙනාම දන්නවා එයාල අතරට එන්න වෙන කෙනෙකුට ඉඩක් නැතිබව. 
 
“හසන්ති ඔයා දන්නෙ නෑ මම කොච්චර ට්‍රයි කළාද කියල තමාරට අඟවන්න අපේ පස්සෙ එන්න එපා කියල.  එකට ටෙනිස් ගැහැව්වා කියල එයා හිතන් ඉන්නෙ දැන් අපේ ක්ලික් එකේ එයත් ඉන්නෙ කියල.” 
 
“හැම තිස්සෙම හොයාගන එනවා.  හරි කරදරේ.  වෙන කෙනෙක් එක්ක කතා කරන්නත් බැහැ එයත් එල්ලීගෙන එන නිසා.” 
 
රුක්ෂානිත් සහභාගී වුනේ තමාරාගේ වැරදි පෙන්වන්න.  සංජීවනී පමණක් නිශ්ශබ්දව සිටියාය. 
 
“මොන ඉවෙන්ට්ස් ද අපි කරන්නෙ?”  හසන්ති ඇහුවෙ ඇඟ හිරි කඩමින් අත පය දිගු කර ව්‍යායාම ඉරියව් සඳහා සුදානම් වෙමිනි. 
 
“හැම එකක්ම දුවමු.”  රුක්ෂානිගෙන් යෝජනාවක්. 
 
“තමාරා ඉන්න ඉවෙන්ට් එක දුවන්නම ඕනා.”  ප්‍රීනිගේ ස්වරයේ දැඩි අධිෂ්ඨානයක්. 
 
“දවසෙම මෙතන හිටියොත් කළු වෙනවා.  අර ගහ යටට යමු අපි.”  වට පිට බලා සුදුසු රැකවරණයක් සොයා ගත් සංජීවනී කීවාය.
 
සමහර තරඟයන්ට පෙනී සිටියේ ඔවුන් හතර දෙනා පමණි.  වෛද්‍ය විද්‍යාලයෙන් ආ සිසුන් කණ්ඩායමක් ඉතා ප්‍රීතියෙන් තරඟ වලට සහභාගී වූහ.  ඔවුන් අතර වූ කඩවසම් තරුණයෙක් හසන්ති දෙස වරෙන් වර හොරැහින් බලන ආකාරය පෙණින.  හසන්ති දුවද්දී ඇය වෙනුවෙන් අත් පොලසන් ගසා දිරිමත් කරන්නට ද වෛද්‍ය සිසුවෝ ඉදිරිපත් වූහ.
 
තමාරා පරදවා කළ තරඟය නිමාවේ දී හති දමමින් ගහ අසලට ආ ප්‍රීනි සිය වතුර බෝතලයෙන් ඔළුවට වතුර වත් කර ගත්තාය.  දහඬියෙන් පිරි ගත වතුරින් නෑවුන කළ ඇතිවන ප්‍රබෝදධයෙන් ඇය ඇස් අඩවන් විය. 
 
“කන්ග්‍රැජුලේෂන්ස්!” 
 
ඇස් අරිද්දී  සමන්ත ඇවිත් ගහ යටට.  සමන්ත සුබ පැතුවෙ හතර දෙනාටමයි.  ප්‍රීනි ඇස් කරකැව්වා වටපිටාවෙ කවුරු ඉන්නවද බලන්න.  විශේෂයෙන්ම තමාරා ඉන්නෙ කොහෙද බලන්න.  පෙනෙන පළාතක තමාරා හිටියෙ නැහැ.  ප්‍රීනිගේ සිතට දැනුනේ අස්වැසිල්ලක් නෙමෙයි.  පුංචි පසුතැවිල්ලක්.  ඇයි ඒ?
 
හසන්ති හොයාගෙන වෛද්‍ය සිසුන් ද ඔවුන් ළඟට ආහ.  රුක්ෂානි තමයි එයාල එක්ක කතාව පටන් ගත්තෙ.  ඔවුන් කතා බහ කළේ ඉංග්‍රීසියෙන්.  සමන්ත මාරු වෙලා ගියා ඉක්මණින්.  රුක්ෂානි හොයා ගන ඇඳුනුම්කමක්.  අහවලාගේ අහවලා කියලා කොහොම හරි විස්තර කතාවක් පටන් අරගෙන.  සංජීවනී තොප්පියකින් මූණත් වහගන තණබි‍ෙම් නිදාගෙන.  හසන්ති කතා බහට එකතු වුනේ ඉතාම අඩුවෙන්.  වර්ණ රාත්‍රියට එන බව පවසමින් ඔවුන් නික්ම ගියහ. 
 
“රමේෂ් රාජරත්නම් ඩොක්ටර් ටී. සී. රාජරත්නම්ගෙ පුතා.  මමීගේ හිටපු ගයිනොකොලොජිස්ට්.” 
 
රුක්ෂානි හොයා ගත් තොරතුරු බෙදා ගන්නවා. 
 
“මෙයත් ගයිනොකොලොජි ද කරන්නෙ?”  ප්‍රීනි අහනවා. 
 
“හැන්ඩ්සම් කොල්ලා නේද?  ඔයාටත් කන්සල්ට් කරන්න පුළුවන් හෙට අනිද්දා අවුට් වුනාම.” ප්‍රීනිට කවටකම් කරන්නෙ රුක්ෂානි. 
 
“එයාට ලොකු උවමනාවක් තිබුනා හසන්ති එක්ක කතා කරන්න.  ඒත් හසන්ති කතා කළේ නෑනේ.” 
 
ප්‍රීනි පෙන්නලා දුන්නෙ හැමෝම දැකපු දෙයක්.  හසන්තිගෙ වත ලැජ්ජාවෙන් සලිත වුනත් මුවින් වදනක් පිටවුනේ නැහැ.  තරඟ නිමාවෙහි සහතික පත් ප්‍රදානය පටන් ගත්තෙන් ඒ කතාව නැවතිණ.
 
වට පිට කාලය කා දමන කෙනෙක් දෙන්නෙක් ඇරුණු විට සහතික පත් ප්‍රදානයට සහභාගී වුණේ තරඟ දිනපු අය පමණයි.  තමාරා ගෙදර ගිහින්.  තරඟයන්ට සහභාගී නොවුන ද රමේෂ් රාජරත්නම් සිය සගයන් වෙනුවෙන් රැඳී සිටියේය. හසන්ති සහතිකයක් ගන්නට ගිය හැම අවස්ථාවකම ඔහු ඉතා තදින් අත් පොලසන් දුනි.  පොළවට හරවා ගත් විළිබර මුහුණින් යුතු හසන්ති ඔහු දෙස නොබැලීය.
 
ජයග්‍රහණයන් සමරන්නට අයිස් ක්‍රීම් හලට යෙහෙළියන් ඇවිද්දේ රුක්ෂානිගෙ පෙරැත්තයෙනි.  මඳෙකින් වෛද්‍ය සිසුන් කණ්ඩායම ද එහි ගොඩවුනි.  තරුණ පිරිස අතර ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ගෙවී යද්දී රමේෂ් හසන්ති දිහා ඇසිපිය නොහෙලා බලා සිටි අතර හසන්ති අයිස් ක්‍රීම් බඳුන දිහා බලාගෙන තව තවත් මුනිවත රැක්කාය.  එදා අයිස් ක්‍රීම් දිව ගාමින් සංජීවනීත් කතා කළා හසන්තිට වඩා. 
 
“මචං අද රමේෂ්ට අයිස් ක්‍රීම් හිරවෙලා වගේ.” කොල්ලෙක් කියද්දී රතුවුනේ හසන්තිගෙ මුහුණයි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. අද තමයි කියෙව්වෙ…

    ප්‍රතිචාර විසින් indik — පෙබරවාරි 6, 2010 @ 2:08 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: