Sinhala story Blog

පෙබරවාරි 4, 2010

2.16 තමාරා දාබරේ එක්ක හරි කරදරේ

Filed under: Uncategorized — sinhalashortstories @ 6:29 ප.ව.

දවස් ගෙවී ගියේ නොදැනුවත්වම කිව්වොත් වැරදියි. 

වැඩ අධික අයට කාලය මදි අවශ්‍ය රාජකාරී සම්පූර්ණ කරන්න.  වැඩක් නැත්තා බලාගත්තු අත බලාගෙන ඉන්නේ දවස ගෙවී යන තෙක්.  හැබැයි දෙන්නගෙම දවසෙ තියෙන්නෙ පැය විසි හතරක් පමණයි.
 
චානුක ආපහු රටෙන් පිටවෙලා ගියාට පස්සෙ සංජීවනී හිටියෙ සතුටෙන්.  නුවරඑළි ගමනට එයා සිය යෙහෙළියන්ට සදා ණය ගැතියි.  කොහොම වෙතත් කිසි දෙයක් හරියාකාරව කතා කර ගත්තෙ නැහැ කියල රුක්ෂානිගෙන් නම් හොඳ බැනුමක් අහ ගත්ත.  දුක වඩවන පිළියම් නැති ප්‍රශ්න එළියට අරගෙන ඉතා හිඟ වූ සුන්දර කාලය අපතේ යවන්නෙ මොකටද කියලයි සංජීවනී තර්ක කළේ.
 
ආදරයේ පවුරු වළලු තමයි ආදරවන්තයා ඇරෙන්නට වෙන කිසිවකු ආශ්‍රයට කිසිම අවශ්‍යතාවයක් නොදැනීම.  සංජීවනීට කොහොමත් තනියම ඉන්න හැකියාව තිබුන නිසා ඇයගේ යෙහෙළියන් නොවන්නට ඇය සමාජයෙන් බොහොම දුරස් වෙන්න ඉඩ තිබුන. 
 
“ටෙනිස් ටීම් එකට ළමයි හොයනවා ස්පෝර්ට්ස් කවුන්සිල් එකෙන්.” 
 
දිනක් උදෑසනම සංජීවනී මුණ ගැසුණු රුක්ෂානි කියා සිටියෙ හරිම සන්තෝසයකින්. 
 
“සෙල්ලම් කරපු කාලයක් මතක නෑ ඒයි.”
 
සංජීවනී පිළිතුරු දුන්නෙ ඈලිමෑලි ගතියෙන්.  ඒත් රුක්ෂානිගෙ උද්‍යෝගය මකා දමන්න ඇයට බැරි වුනා. 
 
“අපි හතර දෙනා එකතු වුනොත් ටීම් එකක්ම හදන්න පුළුවනි.”
 
“හසන්තිට කොහෙද සෙල්ලම් කරන්න වෙලාවක්?” 
 
“හොයා ගනීවි එයා. කොහොම හරි ඇදලා ගනිමු.” 
 
රුක්ෂානිගෙ වෑයම නිසාම හතර දෙනා එකතු වුනහ.  හසන්ති පමණයි කවදාවත් ටෙනිස් රැකට් එකක් අතින්වත් අල්ලල නැත්තෙ.  විශ්ව විද්‍යාලයට අමතරව රුක්ෂානි සාමාජිකත්වය දැරූ සිංහල ක්‍රීඩා සමාජයෙන් පුහුණුව ලබා ගන්නට ද ඔවුනට හැකිවුනි. 
 
“ඔයා ටෙනිස් ඉගෙන ගත්තොත් මම ඔයාට පීනන්න උගන්වන්නම්.”
 
රුක්ෂානි එහෙම කීවෙ හසන්තිව ක්‍රීඩාවට කැඳවා ගැනීමේ අරමුණෙනි. 
 
“හරි වැඩේ ඔයා කරන්න හදන්නෙ.  මට එකක් මදිවට දෙකක් ඉගෙන ගන්න වෙනවා.” 
 
ඒත් හසන්තිටත් අවශ්‍ය වෙලා තිබුණෙ ඒකාකාරී වෛද්‍ය විද්‍යාල ජීවිතයෙන් මඳ ඉඩක් ලබා ගන්න. 
 
“පොතේම ඔළුව දාගෙන හිටියට මදි.”
 
“මේ දවස්වල පොතේ විතරක් නෙමෙයි මළමිනි වලත් ඔළුව දාගෙන ඉන්නෙ.” 
 
හසන්ති කිව්වෙ රුක්ෂානිට සරදම් කරන්න වුනාට බය වුනේ ළඟ හිටිය ප්‍රීනි. 
 
“රෑට නිදාගන්න ගියාම බය හිතෙන්නෙ නැද්ද ඔයාල කපල බලන අයගෙ අවතාර එයි කියල?” 
 
“ඔයා ඩීමන් ආනන්දගෙ පොත් කියවල වගේ.  ඒ අවතාර විශ්වාස කරනවා නම්නෙ.” 
 
හසන්ති ගණනකට නොගෙන උත්තර බැන්දත් ප්‍රීනි දවස් ගණනක් යනතෙක් හසන්ති ළඟින් හිට ගත්තෙවත් නැහැ.  සංජීවනී එයාගෙ ලෝකයේ.  අහගන ඉන්නවද කියලත් හොයා ගන්න අමාරුයි මේ දවස්වල.
 
ඉඳහිට හැන්දෑවට එකතුවෙන හතරදෙනා ටෙනිස් රැකට් එකෙන් කහ පැහැති බෝලෙට පහර දුන්නෙ දවස පුරා තද කර ගෙන සිටි මනස්තාපයන් පළවා හරින්න වගෙයි.  මුලින් මුලින් හසන්ති ගහපු බෝල පාවෙලා ගිහින් වැටුනෙ ඈත තණ නිල්ලෙ පුහුණු වෙන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට.  පසු කාලයේදී රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන අය තමයි අද මෙහි පුහුණු වන්නෙ.  බෝලෙ යවපු කෙනාටම ගිහින් ඉල්ලගෙන එන්න සිද්ධ වුනා. 
 
“නංගිට අපිත් එක්ක ක්‍රිකට් ගහන්න එන්න ඕනිද?” කෙනෙක් අසයි. 
 
“අයියෝ…. අපිව නොදැක ඉන්න බෑ වගෙ ඔයාට…” තවකෙක් කියයි.
 
ඉක්මණින්ම හසන්ති පුරුදු වුනා බෝලය ටෙනිස් පිටියෙම තියාගන්න.  ටෙනිස් කියන්නෙ ලොව පුරාම සල්ලිකාර පංතියට සීමා වූ ක්‍රීඩාවක්.  ඕනෑම තැනක සෙල්ලම් කරන්නත් බැහැ.  රැකට් එකකට සෑහෙන මුදලක් වැය කරන්නත් වෙනවා.
 
ප්‍රීනිටයි රුක්ෂානිටයි එයාලගෙම රැකට් තිබුණ.  හසන්තියි සංජීවනියි පාවිච්චි කළේ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අංශයෙන් ලැබුණු ඒවා.  සංජීවනීට නම් මුදල් ගෙවල වුනත් ගන්න හැකියාව තියෙනවා.  ගෙදර දැනගන්නවාට අකමැති නිසා එයා රැකට් ගන්න ගියේ නැහැ.
 
නමුත් දැන් සංජීවනීගේ ගෙදර වාතාවරණය අනුව සංජීවනී මොනවද කරන්නෙ කියලවත් ඇයගෙ දෙමාපියන් සොයල බලන්නෙ නැති හැඩයි.  කැම්පස් යනවා කියල පිටවෙලා ගිහින් කොයි වෙලාවක ආපසු ආවත් අහන්න කෙනෙක් ගෙදර නෑ.  නිදහස ලැබුනට සංජීවනී යෙහෙළියන් සමඟ ගෙව්වේ නැති හැම මිනිත්තුවක්ම ගත කළේ ගෙදර.
 
විශ්ව විද්‍යාලයේ ටෙනිස් කණ්ඩායමට ඇතුල් වන්නට ඔවුනට දැඩි තරඟයක් නොතිබුණි.  ක්‍රීඩා කුශලතා දැක්වූ අය මැද විශ්ව විද්‍යාල භූමියේ ඔවුනට සිය දස්කම් පෙන්වන්නට අවස්ථාව ලැබුණි.  මුලින් මුලින් කොළඹ සුප්‍රසිද්ධ පාසැල්වල උසස් පෙළ හදාරන සිසුවියන් හා තරඟ වැදී අන්තයටම පරාද වුනද අවසානයේ දී ඔව්හු තරඟ කිහිපයක් දිනා ගත්හ.  අනෙකුත් විශ්ව විද්‍යාලයන් සමඟ තරඟ වදිද්දී පහසු ජයග්‍රහණයන් අත් කර ගන්නට ඔවුනට හැකිවුනි. 
 
“තමාරා දාබරේ එක්ක හරි කරදරේ.”
 
“ඇයි ඔයානෙ එක්කර ගත්තෙ ප්‍රීනි එයාට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කිය කිය.” 
 
“සෙල්ලම හොඳයි.  හරි වාතයක් දැන්.  අපි එක්ක එල්ලිල එනවා හැම තැනම.” 
 
ප්‍රීනිත් සංජීවනීත් එයාලගේ සුපුරුදු ගහ යට අසුන් ගෙන සිටියහ.  තමාරා ඔවුන්ගේ ටෙනිස් කණ්ඩායමෙහි වූ අනිත් ක්‍රීඩිකාවයි.  ධනවත් පවුලකින් ආ ඇය අනිත් සිසු සිසුවියන් හා කතාබහක් නැත.  රුක්ෂානි කිව්වේ තමාරා කාලය, දීපය, දේශය බලලයි කෙනෙක් එක්ක කතා කරන්නෙත් කියල. 
 
“කෝ රුක්ෂානි?” 
 
“දේශපාලනය කතා කරන්න ගිහින් ද කොහෙද?  අනේ මෙයා ආශ්‍රයට යන අය නම් එච්චර හොඳ නෑ.” 
 
සංජීවනී තමාගේ අදහස් කියා පාන්නේ කළාතුරකිනි.  රුක්ෂානිගේ නව හිතවතුන් ඇය සිත චංචල කරන්නට සමත්ව ඇත. 
 
“සමන්තත් ඇහුවා දවසක්.” 
 
ප්‍රීනි සඳහන් කළේ බරපතල කාරණාවක් ගැන හිතන කොට තනියම කතා කරන්නා සේය.  ඇය සංජීවනීගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූවාය.  සංජීවනී ද කිසිවක් කීවේ නැත. 
 
“අන්න සමන්තයි තමාරයි මේ පැත්තට එනවා. ඒ දෙන්නට දෙන්න අඳුර ගත්තෙ කවද ඉඳල ද?” 
 
ඔවුන් අසලට ලහි ලහියේ ආ රුක්ෂානි පැවසීය.  ප්‍රීනිගේ මුහුණ කළු වලාවකින් වැසී ගියේය. 
 
“පස්සෙන් එනවා හැම තිස්සෙම.  සමන්ත මාත් එක්ක ලෝ කොලේජ් ඉඳල ආ දවසක දුව ගෙන ඇවිත් මට කතා කළා.  ඉතින් අඳුන්නල නොදී කොහොමද?” 
 
“තමාරා මට වර්ණ රාත්‍රියට ආරාධනා කළා.  ඔයාල හොඳට දිනල නේද?” 
 
ඔවුන් අතරට ගමන් කරමින් සමන්ත පැවසුවේ සිනහ මුහුණෙනි.  ඔහු දැන් යෙහෙළියන් ගැන ප්‍රීනි මාර්ගයෙන් බොහෝ තොරතුරු දන්නේය.  රුක්ෂානිගේ ප්‍රශ්නාර්ථයකින් මුසු මුහුණත් ප්‍රීනිගේ කෝපය සඟවන්නට තැත දරනා මුහුණත් දුටු ඔහුගේ ප්‍රීතිය පහවුනි. 
 
“කැමති නැත්නම් අපි එන්නෙ නෑ.” සමන්ත කියයි. 
 
“අනේ ඔයා එන්නම ඕන.” තමාරා තොඳොල් බසින් පවසයි. 
 
“මම එන්නෙ නෑ.” සංජීවනී මිමිණුවේ කිසිම හැඟීමක් නැතුව.
 
ප්‍රීනිත් රුක්ෂානිත් කිසිවක් නොකීහ.  නමුත් දෙදෙනම තමාරා වෙත එල්ල කළ දරුණු බැල්ම දරා ගත නොහැක්කේ තමාරා වෙන යමක් මතක් වුනා යයි කියා එතැනින් බැහැරව ගියාය.  ගැහැණු ළමයි තුන් දෙනාගේ ඉරියව් අතරින් කිසිවක් තෝරා බේරා ගන්නට බැරිව සමන්ත ආපසු ගියේ ඔවුනට ඇති ගැටළුව මොකක්ද යයි සිතමිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: