Sinhala story Blog

පෙබරවාරි 2, 2010

2.14 -අනේ ආවද එයා?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:04 පෙ.ව.

ගමනට කලින්දා හසන්ති රාත්‍රිය ගත කළේ රුක්ෂානිගේ නිවසේය. 

ආච්චිගේ අසනීප ගතිය මඳක් හොඳ අතට හැරී තිබුණි.  හසන්තිට ගමන යන්නට ආච්චි දිරි දුන්නාය. උදෑසනම දුම්රියපළ වෙත ඔවුන් රැගෙන ගියේ රුක්ෂානිගේ පියාට අයත් ආයතනයක හයි ඒස් වෑන් රථයකි.  වෑන් රථයේ වහළේ ද බඩු භාණ්ඩ ලණු වලින් ගැට ගහන්නට අමරදාස පටන් ගත්තේ මැණිකෙලාට විහිළු කරමිනි. 
 
“අනේ, අමරදාස අයියේ, බඩු වලින් වැඩි හරිය රුක්ෂානි බේබිගෙයි හසන්ති බේබිගෙයි.” 
 
එසේ කිව්ව ද කාලයකට පසු ගමට යන ඔව්හු ගෙනියන්නට මහත් බඩු ප්‍රමාණයක් රැස් කර ගෙන සිටියහ.  මීට කලින් ඔවුන් හා ගමට යෑම ගැන නොසිතූ බව මතක් වී රුක්ෂානි සිතට නැඟුනේ දුකකි.
 
තැන තැන කොළ කැබලි විසිරී දුම්රිය වේදිකා කිලිට ව ඇත.  ඉස්සර මෙහි කසල ශෝධකයන් ලෙස කටයුතු කළේ සක්කිලි ජනතාවය.  ඔවුන් ඉතා කාර්යමශීලීව නිතර දෙවේලේ  කුණු ඉවත් කළහ.  දැන් එම රාජකාරිය පත්ව ඇත්තේ ආණ්ඩුවේ සේවයට බඳවා ගත්තවුන්ටය.  සේවක සංගම් හා යුනියන් ගැන අනුදැනුම ඇති මොවුන් වැඩ කරන්නේ නීතියටයි.  එමෙන්ම තමන් ඉටු කරන්නේ අතිශය වැදගත් සේවාවක් බව ඔවුන්ගේ හිතට නොදැනෙන්නේ සමාජය ඔවුනට පහත් රස්සාවක් කරන අය කියා පහත් තත්වයකින් සලකන නිසාය. පරිසරය බෙහෙවින් ජරාවට ලක් ව ඇතැයි රුක්ෂානි සිතුවාය.
 
බඩු සියල්ල එක් තැන් කර අමරදාස ඔවුන්ට ළඟ කඩයකින් උණු උණූ තේ සහ කිඹුලා බනිස් රැගෙන කඩයේම සේවය කරන කොල්ලකු සමඟින් ආවේය.  තේ කෙප්ප වල ගැට්ට හා අඬු හරි හැටියකට සෝදා නැත.  අනිත් හැමෝම මහත් ප්‍රීතියකින් ගමන මඟ පුරන්නට බලා සිටින හෙයින් රුක්ෂානි තමන්ගේ අසතුටට හේතු කිසිවක් කීවේ ද නැත. 
 
“සංජීවනීව නැඟිට්ටවා ගත්ත ද දන්නෑ ප්‍රීනි.”
 
“දෙන්නා එකට එන හන්දා හොඳයි.  අපිට රෑ කෝච්චියෙ යන්නයි වෙන්නෙ නැත්නම්.” 
 
“හසන්ති, ඔයා දැකල තියෙනව ද චානුකගෙ පින්තූරයක්වත්?”
 
“ම්හූ…නැහැ.  මට පත්තරයක් වත් කියවන්න වෙලාවක් නැහැ.” 
 
“ඡන්දෙ කාලෙ ෆොටෝ එකක් දැකල තියෙනවා.  දැන් කොහොමද දන්නෑ.  චානුක ලංකාවට ආවද කියලවත් හොයා ගන්නෙ කොහොමද?” 
 
“සංජීවනීට කෝල් කරන්න ඇති.”
 
“කියන්න අමතක වුනානේ.  දවසක් පිටරටෙන් එයා කතා කරල.  සංජීවනීගේ මමී අරන් තියෙන්නෙ.” 
 
” හානේ.  ඉතින් මොකද වුනේ?”  හසන්ති ඇහුවෙ ගමනට බාධාවක් වෙනවද කියල දැනගන්නත් එක්ක. 
 
“සංජීවනී කිව්වා උත්තර නොදීපු නිසා එයාගෙ මමීට තරහ ගිහින් ෆෝන් එක පොළවෙ ගැහැව්වෙ නැතුවා විතරයි කියල.”
 
වැඩට එන ජනකායක් රැගත් දකූණින් ආ රුහුණු කුමාරි දුම්රිය වේදිකාවෙහි හරියාකාරව නතර වන්නටත් පෙර කෙනා දෙන්නා ලහිලහියේ ඉන් බැස දිවූහ.  මහා දුරක් ගමන් ගත් යෝධයකු ගමනාන්තය කරා පැමිණ සැනසුම් සුසුම් හෙලනා සේ කෝච්චියේ තිරිංග තද වෙන සද්දය දුම්රිය නැවතුම් පොළ පුරාම දෝංකාරය විය.
 
නුවරඑළි යන කෝච්චිය නවතා ඇත්තේ පදික වේදිකා අංක හයේ යයි අමරදාස සොයා ගෙන අවුත් කීවේය. 
 
“අපි අනිත් අය එනකම් ඉන්නවා.  අමරදාස එක්ක ගිහින් බඩු සේරම පටවගන්න.” රුක්ෂානි මැණිකෙලාට දැන්වූවාය. 
 
“හොයා ගන්න පුළුවන් වෙයි ද අපි යන්නෙ කොයි පෙට්ටියේ ද කියලා?” හසන්ති කවදාවත් කෝච්චියක ගිහින් නෑනේ.  එයා රුක්ෂානි ළඟින් හෙළ වුනේ නැහැ අතරමං වෙයි කියන බයට. 
 
“අමරදාස නඟින්නෙ අන්තිමට.  එයා ඔය අහල පහල ඉන්න අයත් එක්ක කතා කර කර ඉන්නවා අන්තිම විසිල් එකත් පිඹිනකන්.” 
 
සංජීවනී හා ප්‍රීනි අතින් කටෙන් බඩු මළු හා කොට්ට දෙකක් ද එල්ලා ගෙන ඔවුන් අසලට ආහ. 
 
“ප්ලේන් එකේ යන කොට වගේ අරන් යන බෑග් වලට සීමාවක් තියෙනවා.” 
 
රුක්ෂානි දන්වයි.  වික්ෂිප්ත සංජීවනී හා ප්‍රීනි වටපිට බලති.  අනිත් මඟීන් ද ලොකු මළු රැගෙන යති. 
 
“මෙයාගෙ බොරු අනේ.”  හසන්ති ඔවුන් සංසුන් කරවති.
 
රුක්ෂානිත් හසන්තිත් බඩු මළු වලට අත දුන්හ.  දෙන්නම තියන සේරම ඇඳුම් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ යැයි හසන්ති සිතුවාය.  හසන්තිට රැගෙන එන්නට වැඩි යමක් නොතිබුණි.  සීතලට අඳින ජර්සියක් ඇයට නැත්තෙන් රුක්ෂානි පිටරටෙන් ගෙනා ලා කහ පැහැති ලස්සන කබාය කලින්දා රාත්‍රියේ ඇයට අන්දවා හැඩ බැලීය.  ගමන අවසානයේ එය ආපසු ගන්න රුක්ෂානි පොරොන්දු වූ පසුයි හසන්ති එය අඳින්නට එකඟ වුනේ. 
 
“කාවද ඔයා හොයන්නෙ?” 
 
වටපිට බලනා සංජීවනීට රුක්ෂානි සරදම් කරයි. 
 
“අනේ ආවද එයා?” 
 
“අපි දන්නෙ කොහොමද දැකලවත් නැති අය. නේද හසන්ති?” 
 
සංජීවනී දුම්රියට බඩු දාලා අයෙත් පදික වේදිකාවට බැස්සාය.  සෙනඟ දැන් ඉවක් බවක් නැතිව එහෙ මෙහෙ දුවති.  මෙම දුම්රියට නඟින්නේ දුර ගමනට ලක ලැහැස්ති වූ මඟීන්ය.  චානුක පෙනෙන පළාතක නැත. 
 
“බේබි ඒ අන්තිම විසිල් එක ඉක්මණට නඟින්න.” 
 
අමරදාසගෙන් ආයාචනාවක්.  සංජීවනී බලා සිටින්නෙ ඇය ආදරවන්තයා එන තෙක් බව ගමනට එක් වූ ඔවුන්ගේ පිරිසේ සැවොම දනිති.  මළානික වූ මුහුණෙන් සංජීවනී අසුන් ගත්තාය.
 
පෙට්ටියෙන් පෙට්ටියට ගොස් චානුක සෙවීම කළ නොහැක්කකි.  තමාව දැන අඳුන ගතහොත් රසිකයන් හා වැදගැම්මකට නැති කතාවට හවුල් වන්නට අනුමානයක් නැතිව සිදුවේ.  චානුක හඳුනා ගත්තොත් සමහර දෙනෙකු ඔහුට අතවර කරන්නට ද ඉඩ ඇත.  දේශපාලනඥයන් හා ජන්ම වෛර බැඳ ගත්තෝ ද නොමද වෙත්.
 
රැගෙන ආ කොට්ටයට ඔළුව තබා ගත් ඇය නින්දට පත් වූවාය.  අන් තිදෙනාම ගමනේ තොරතුරු කතාබහ පටන් ගත්තේ තද කර තබාගත නොහැකි උද්දාමයෙනි.  චානුක ඔවුන් සොයා ගනු ඇත.
 
දුම්රිය ගමන දර්ශනීය වන්නේ කඳුකරය පැත්තට යද්දීය.  කොළඹින් පිටත්ව යන මාර්ගය අවට දෙපැත්තේ පසු කරන්නේ මුඩුක්කු පේලින්ය.  ගමන් කරනා දුම්රිය දෙසට හැරී මළ පහ කරන කොල්ලො කුරුට්ටෝ ඔවුන් දවස ගෙවනා තැනින් එතරම් දුරක නොසිටිති.  අව්වේ වියළා ගන්නට දමා ඇති රෙදි දුම්රිය මාර්ගය අසලින්ම ඇති ලණු වල එහාට මෙහාට පැද්දෙති.
 
පරිසර දූෂණයත් ජනතාවට ලබා දිය යුතු සෞඛ්‍ය දැනුම ගැනත් කතාව හැරී ගියේය.  චූටි මැණිකා ඉතා කැමැත්තෙන් දෙබස් අසා සිටින්නීය.  අමරදාස කෙච්චිය තුල ඇවිදින්නට ගොසිනි.  ලොකු මැණිකත්, පොඩි මැණිකත් එක පැත්තකත් සංජීවනී අනෙක් පැත්තේ ද තද නින්දේ පසු වෙති. 
 
“ඇයි කාටවත් උවමනාවක් නැත්තෙ?  පරිසර රක්‍ෂණය ධනවත් පංතියේ මෝස්තරයක් ද? රටේ වැඩිය ඉන්න දුප්පත් මිනිහට එදා කන්න වේල හොයා ගන්න එකත් අරගලයක්.” 
 
“මෙන්න හරි එක්කෙනෙක් කියන්නෙ.  ඔයා කොහොමද දුප්පතුන්ගෙ අරගල ගැන දන්නෙ? අනික ධනපතියා ඔයානෙ.” 
 
රුක්ෂානිට එහෙම කතා කරන්න කොහොමද අයිතියක්.  ප්‍රීනි කැමති වුනේ නැහැ දුප්පත් අය වෙනුවෙන් රුක්ෂානි හේතු ඉදිරිපත් කරපු ආකාරය.  දුප්පතා වුනත් පෝසතා වුනත් පරිසරය ආරක්‍ෂා කරගන්න එක අපි හැමෝගේම යුතුකමක්.  ජාතික වගකීමක්.  එක් එක්කෙනා තමන්ට පුළුවන් ආකාරයෙන් සහභාගී වන්නට අවශ්‍යයයි.  හැමෝම ඉන්නෙ මේ පුංචි රටේ.  මේක කබාසිනීයා කර ගත්තොත් අපි කොහෙද යන්නෙ?
 
දුප්පත් පෝසත් අය ගැන කරන වාද වලට කවදත් සහභාගී නොවන හසන්ති නිහඬ බව රැක්කාය.
 
රාගම, ගනේමුල්ල, වේයන්ගොඩ, අඹේපුස්ස, අලව්ව යන නගර සංඥා පුවරු පසු කර ලතාවට ඇදෙන දුම්රිය පොල්ගහවෙලින් රට මැද්දට ඇදී යයි. 
 
“යාල් දේවී පාස් වෙනකන් ඉස්සර නවත්ත ගන ඉන්නවා මේ හරියෙ.” වට පිට බැලු රුක්ෂානි පැවසීය. 
 
“ඔයා යාපනේ ගිහින් තියෙනවා ද රුක්ෂානි?”  හසන්ති ඇහුවේ ආයෙත් කතාවට සම්බන්ධ වෙන්න. 
 
“අපි ගියෙ ප්ලේන් එකේ.  කණ බීරී වෙන තරමට සද්දෙ.  රටින් පිට යන ප්ලේන් වගේ නෙමෙයි.” 
 
“දැන් අපට යන්න වෙන්නෙ නෑ ජීවිතේටම.”  ප්‍රීනි කිව්වෙ එයාගෙ පුරුදු නෝක්කඩු ස්වරයෙන්. 
 
“කලබල එන්න එන්නම වැඩියි නේද?” 
 
පේරාදෙණියට ළඟාවත්ම හැමටම බඩගිනි දැනේනට වූහ.  කතා බහෙන් මහන්සි වූ තොල් කට තෙත් කර ගන්නට ඔවුන් කෑම බීම එළියට ගත්හ.  ලොකු මැණිකා එළියට ගත් චයිනීස් රෝල් සහ කට්ලට් සමඟින් බටර් තැවරූ පාන් පෙති ඔව්හු බෙදා ගත්හ.  මැදිරිය පුරා පැතිරුණු කෑම සුවඳින් ඇස් ඇර ඇඟ හිරි කැඩූ සංජීවනීගේ ඇස් දුකින් පිරී ඇත.  චානුක නාවේ ඇයි? 
 
“කූල් ඩ්‍රින්ක්ස් මොනවා වත් නැහැ.  ෆ්ලාස්ක් එකක කිරි තේ තියනවා.” 
 
“තේ එපා රුක්ෂානි.”
 
“අමරදාස යවල රේල්වේ කැන්ටිමෙන් කූල් ඩ්‍රින්ක්ස් ගන්නද?” සංජීවනී නොකා නොබී සිටිතැයි බියෙන් රුක්ෂානි පෙරැත්ත කළාය.
 
පේරාදෙණියෙන් ගමන අවසන් කරන්නෝ දුම්රියෙන් බහිද්දී නුවරඑළි බලා යන අය කෝච්චියට නැග්ගහ.  බිඳුණු සිතින් නඟිනා බහිනා අය දෙස සංජීවනී බලා සිටින්නීය.  සවස තේ බොන්නට ගෙනා ග්‍රීන් කැබින් කේක් ගෙඩිය රැගත් පෙට්ටිය රුක්ෂානි විවෘත කළේ සංජීවනී ඉන් කෑල්ලක් වත් කටට ගනීවි කියා සිතා ගෙනයි.  ඇය සමඟින් සැවොම නිහඬය.  අමරදාස මැඳිරියට පැමිණ ඔහුගේ කෑම කොටස හා තේ කෝප්පය රැගෙන පිටව ගියේය.
 
දුම්රිය නාවලපිටිය නැවතුම්පලේ නවත්වද්දී ඔවුන් කිසිවෙක් එළිය බලන්නට හෙළවුනේ වත් නැත.  දුවගෙන අවුත් එහි එල්ලී ගත් කඩවසම් තරුණයා දුටුවේ අමරදාස පමණයි.  චානුක අතැතිව සිටි ගමන් මල්ලේ ‘නයිකි’ යන්න ඉංග්‍රීසියෙන් ලියා තිබුණි.  අමරදාස එම වචනය හඳුනා ගත්තේය.  චානුකගේ ඇඳුම් පැළැඳුම් වලින් ඔහු ළඟක දී පිටරට සිට ආ බව සක් සුදක් සේ පැහැදිලිය. 
 
“මහත්තය යන්නෙ නුවරඑළි ද?”  ඔහු ළඟට වුත් අමරදාස ඇසුවේ මැඳිරියේ තිබූ දුක්මුසු බව සිහියට නැඟුන හෙයිනි. 
 
“ඔව්…නානුඔයට.  කාණ්ඩයක් හොයාගන්න තියෙනවා…මේ…”  තොල් සපමින් ඉන්නා තරුණයා කෙල්ලක් සොයනවා යයි කියාගත නොහැක්කේ ලැජ්ජාවෙන් වටපිට බලයි.
“සංජීවනී බේබි?”  අමරදාසට කිසි සැකයක් නැහැ දැන්. 
 
“ඔව්. ඔව්. හරියට හරි.” ඔහු පොඩි එකෙක් සේ ප්‍රීතියෙන්.  අමරදාස එක්කන් ගියා ඉන්න තැන පෙන්නන්න.
 
අඩවන් කර තිබුණ දොර ලඟ නවතින්න යයි සංඥා කර අමරදාස තට්ටුවක් දමා ඇතුලට ගොස් රුක්ෂානි කණට කර එළියට එන්න යයි කීය. 
 
“මේ මහත්තයා සංජීවනී බේබි හොයනවා.” 
 
“හලෝ! ඔයා චානුකද? මම රුක්ෂානි.” 
 
චානුක හා අතට අත දුන් රුක්ෂානි අන් සියල්ලම මැඳිරියෙන් පිට කළ පසු ඇතුලට යන්න යැයි චානුකට රහසෙන් කීය.  අමරදාසට ද ඔහු සොයා දීම ගැන ස්තූති කරන්නට ඇය අමතක නොකළේය.
 
ඇතුලට ගිය ඇය ලොකු මැණිකාට ඇයගේ නැඟණියන්ද රැගෙන මැඳිරියෙන් එළියට යන්න යැයි කණට කර පැවසීය.  හසන්තිගේ හා ප්‍රීනිගේ අත් වලින් අල්ලා ඇද ගත් ඇය ඔවුනට යමක් පෙන්වන්නට ඇතැයි කීය.  හැමගේම අනුකම්පාවට පාත්‍ර වී සිටි සංජීවනී ඔවුන් මැඳිරියෙන් පිටව යන එක ගැන සතුටු වූවාය. 
 
“මොකක් ද පෙන්නන්න තියෙන්නෙ? අනේ පස්සේ යමුකො.”  ප්‍රීනි වැඩේ වරද්දන්නමයි හදන්නෙ.  එයා ආයෙත් වාඩි වෙන්න ලෑස්තිය. 
 
“දැන් ගියෙ නැත්තම් පහුවෙනවා.  බලන්න එන්නකො හරි ලස්සනයි.” 
 
රුක්ෂානි ආයෙත් අත ඇද්දෙ තදින්.  ගැලවෙන්න බැරි බව දැන ගත් ප්‍රීනිත් නැඟිටලා ආවා.
 
මැඳිරිය එළියෙන් චානුක හිටගෙන.  මුහුණේ සිනාව පිරිලා.  රහසෙන් කාණ්ඩය අඳුන්නලා දීලා එයාව යැව්වා ඇතුලට. 
 
“චානුක………!”
 
සංජීවනී කෑ ගහල උඩ පනිනවා ඇහෙද්දී ඇ‍ඟේ හැප්පී හැප්පී කාණ්ඩය එතනින් අයින් වූහ.
 
කඳු මැදින් ඇදෙනා දුම්රිය විඩාවට පත් වූවාසේ සෙමින් සෙමින් ගමන් කරයි.  මැණිකෙලා අමරදාස සමඟින් වෙනතක ගියහ.  යෙහෙළියන් තිදෙනා දුම්රියේ පඩිවල වාඩිව පසු කර ගෙන යන පරිසරයේ රුව නැරඹුහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: