Sinhala story Blog

ජනවාරි 30, 2010

2.11 -චානුක එනවා ලංකාවට

Filed under: Uncategorized — sinhalashortstories @ 11:59 පෙ.ව.

“චානුක එනවා ලබන සතියෙ.”

“ප්‍රශ්න ගොඩකට උත්තර හොයා ගන්න පුළුවන්.”

“රුක්ෂානි ප්‍රශ්නවලට උත්තර කෙසේ වෙතත් මම කල්පනා කරන්නෙ මීට් වෙන්නෙ කොහොම ද කියලයි.”

“ඇයි? ඔයා කැම්පස් එනවා නේද සංජීවනී?”

“තත්පරයෙන් එයාව අඳුර ගනියි මෙතෙන්ට ආවොත්.”

චානුක මෙන්ම සංජීවනී ද සමාජයේ සැවොම හඳුනන මුහුණු වෙති. ඒ දෙදෙනා විශ්වවිද්‍යාලය වැනි විවෘත ස්ථානයක කතා බහේ යෙදුනොත් පත්තර වල ඒ පිළිබඳව කවුරු හෝ කේලමක් ලියනු ඇත.

සංජීවනීගේ දෙමව්පියන් මේ දිනවල ඉන්නේ කොළඹ. පහුගිය වතාවෙහි කතරගම හිරව සිට ඔවුනට ආපසු ඉක්මණින් කොළඹට එන්නට නොහැකි වුණි. ජාතිවාදී කලබල ගැන නොසන්සුන් සංජීවනීගේ මව දැන් පිට පළාත්වලට ද යන්නේ කලාතුරකිනි. ඇයගේ පියා නම් කලබල තිබුනට බිස්නස් නවතනු නොහැකි යයි කිය කියා දුර බැහැර ගමන්වල නිරත වෙයි.

“අපේ වත්තට යමු. නුවරඑළියෙ,” රුක්ෂානි යෝජනා කරයි.

“මට යන්න දෙන එකක් නෑ.”

“කැම්පස් ට්‍රිප් එකක් කියන්න.”

“එහෙම කිව්වොත් කොහොමටවත් යන්න දෙන්නෙ නෑ.”

දින ගණන් සංජීවනී තනිවම ගෙදර සිටිය දී රටපුරා යන සංජීවනීගේ දෙමාපියෝ ඇය කොහේවත් යනවාට අකමැති ඇයි දැයි යන්න රුක්ෂානිට ප්‍රශ්නයකි. බොහෝ අවස්ථා වලදී දෙමාපිය දෙදෙනා තැන් තැන් වල යන්නේ එකට නොව ඔවුනොවුන්ගේ යහළු පිරිස් සමඟිනි. ඒ බව සංජීවනී රුක්ෂානිට කියන්න ගියේ නැත.

දහ අතේ කල්පනා කරන සංජිවනී හා රුක්ෂානි ද එකතු වූවාය. යෙහෙළියන් හතර දෙනාම දිගු කාලයකින් මුණ ගැසී නැත. ඔවුන්ට එකතු වන්නට මෙය කදිම අවස්ථාවකි. එතකොට අපි හැමෝටම එකවර චානුක දැක ගන්නත් පුළුවනි යයි රුක්ෂානි සිතීය. ඔහු පැමිණෙන තෙක් දින ගණන් කරන සංජිවනී දෙමාපියන්ටත් හොරා, රටටත් හොරා, චානුක හමුවීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව දනියි. ඒත් ප්‍රථම හමුවීමට මඟ සලසා ගත් ආකාරය සිහි කළ ඇය කෙසේ හෝ මෙයටත් ඉඩක් හදා ගන්නට අදිටන් කර ගත්තාය.

“රුක්ෂානි ස‍හෝදරිය කොහොම ද සැප දුක?”

රත් පැහැති සිවුරක් ඇඳගත් විශ්වවිද්‍යාල සිසුවකු වූ පූජිත හිමි ඔවුන් අසලට වැඩියේය. ඔහු වාමාංශික දේශපාලනයේ ඉහළ තනතුරක් දරන්නෙකු බව ප්‍රසිද්ධ රහසකි.

“කලබලය දා අපේ සහෝදර සහෝදරියන්ට හොඳින් සංග්‍රහ කරා කියල ආරංචියි.”

“ආ.. ඔව් එහෙමයි.”

සාමාන්‍යයෙන් කතා කරන්න වචන සොයන කෙනෙක් නෙමෙයි රුක්ෂානි. ඒත් එයාට හාමුදුරුවන් හා කතා බහ පුරුදු නැත. ඇය කුඩා අවදියේ වජිරාරාමයේ දහම් පාසැලකට සහභාගී වූවත් එහි එන ප්‍රභූ පංතිය හා කතා බහේ යෙදුනා මිසක භික්ෂූන් වහන්සේලා හා තනිවම ඇය කතාවට ගිහින් නැත.

“අපි කැමතියි දැන අඳුන ගන්න තව දුරටත් රුක්ෂානි වගේ අපේ සහෝදර සහෝදරියන්‍ට හිතවත් අයව. එන්න වෙලාවක අපිත් එක්ක කතා කරන්න.”

සංජීවනී නපුරු බැල්මකින් රුක්ෂානිගේ අතින් අදියි. තවත් පිරිසක් පැමිණියෙන් ඔවුන් දෙදෙනාට පූජිත හිමි සමඟ තව දුරටත් කතා බහේ නියැළෙන්නට සිදු නොවිණ.

“ඔයාට පිස්සු ද?” සංජීවනී අහයි.

“මොකක්ද මං කළේ?”

“එයා කවුද කියල දන්නව ද?”

“කැම්පස් එකේ හාමුදුරුවෝ කෙනෙක්.”

“සාමයේ මුවාවෙන් විප්ලව කරන අය. මෙයාවත් පොලීසිය හොයන කෙනෙක්. අර දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ කෙනෙක්.”

“ඔයා දන්නෙ කොහොම ද? මොනවට ද හොයන්නෙ. මෙතෙන්ට ආවා නම් හම්බ වෙන්න පුළුවන්නෙ. අනික දේශප්‍රේමී කියන්නෙ රටට ආදරේ කියන එකනෙ. ඒක වැරදිද?”

“ඔයාට තේරෙන්නෙ නෑ. ආයෙත් කැරැල්ලක් ඇති වෙයි කියල දැන් මේ කට්ටියක් ගැන හෝදිසියෙන් ඉන්නෙ ආණ්ඩුව. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ මැරුවෙ මෙයාල.”

සංජීවනී ආණ්ඩුවේ ඇමතිවරයාගේ පුතා සමඟ දේශපාලනය කතා කරන්නට නොගිය ද ඇය පුවත්පතින් මෙන්ම කැම්පස් එ‍කේ දී ඇසෙන කතා බහට සවන් දී රටේ තොරතුරු ගැන දැන් සෝදිසියෙන් සිටින්නීය. එය ආත්මාර්ථකාමීත්වය පෙරදැරි කරගත් කටයුත්තකි. ඇයට රටට කුමක් වුවත්, දේශපාලනය කුමක් වුවත් කම් නැත. එහෙත් තම හදවත පුද කර ඇති තැනැත්තාගේ ජීවිතයට යම් බලපෑමක් වන්නේ නම් එය දැන සිටීම තම යුතුකමකැයි ඇය සිතන්නීය.

“හරි තීරණයක් ගන්න හැම පැත්තක්ම අහන්න ඕනා,” රුක්ෂානි කියයි.

“ඔයාට ඕනා නම් ගිහින් අහගන්න. තියන ප්‍රශ්න ඇති මට. රටේ ප්‍රශ්න විසඳගන්න අනිත් අය මහන්සි වුනාවෙ.”

එදා දෙන්න එතනින් වෙන්වෙලා ගියත් පහු දවසක රුක්ෂානි නැවතුනා ඕපන් කැන්ටිමේ. තර්ස්ටන් පාරේ වාහන සද්දය තිබුන ද කතා කළ ශිෂ්‍යයෝ දැක්වූ චතුර විලාශය ඇය සිත් ගති. සිංහල භාෂාව මෙපමණ ලස්සනකින් හසුරවන්නට හැකි අය මීට කළින් ඇයට මුණ ගැසී නැත.

එදා ඔවුන් කතා කළේ රට පෙරළන්නට නොවේ. සමාජයේ පවත්නා විෂමතාවයන් ගැන. දුප්පත් පොහොසත් පරතරය එන්න එන්නම වැඩි වන ආකාරය ගැන. විකල්ප සමාජ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ගැන. මෙසේ කතා කිරීම ආණ්ඩු විරෝධී වන්නේ කෙසේද? ලංකාව නිදහස් දේශපාලන වාතාවරණයක් ඇති රටක් නොවන්නේ ද? ඇය රුපියල් දෙකක් ගෙවා “වෙඩි හඬ” පත්‍රිකාවක් ද රැගෙන ගියේ තව දුරටත් කියවන්නයි.

සිය පියා ලංකාවේ නැති පාඩුව රුක්ෂානිට දැනුණි. සංජිවනී හා නිකමට වත් මෙම කරුණු ගැන සාකච්ඡා කළ නොහැකිය. හසන්ති වෛද්‍ය විද්‍යාලයේ උදේ සිට රෑ වන තෙක් හිරව සිටින්නීය. ප්‍රීනි නිති විද්‍යාලයත් නීති පීඨයත් අතර දුවන්නීය. ඇය සමන්ත දියනන්දන හා බොහෝ කුළුපග බව රුක්ෂානි දනියි. එහෙත් දෙදෙනා අතර එතැනින් එහාට සම්බන්ධයක් නැති බව ප්‍රීනි කියයි. තවමත් රුක්ෂානිට සමන්ත හා හුදකලාව කතා බහට අවස්ථාවක් පෑදී නැත.

දිනපතා උදේ හවා දැක්ක සමන්ත ඇයගේ ළමා කාලයේ ස්ථිර සංකේතයකි. ඒ දිනවල නිතර පිටරට ගිය ද ආපසු ලංකාවට පැමිණෙන හැම වතාවකම ඇය ඊ ළඟ උදෑසන නොවරදවාම සමන්ත දකියි. දැන් ඔවුන් සිටි නිවස වෙන පවුලක් කුලියට ගෙන ඇත. ආපසු පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ සමන්තගේ පියා තම ගමට ගොසිනි.

“ඔන්න ඉන්නවා යාළුවා. ස්ටයිල් එකට දේශපාලනයට බහින්නෙ බලාගෙනයි කියන්න.”

“ඔයාම කියන්න සමන්ත. රුක්ෂානිව අඳුරනවානේ ඔයා.”

“මට කාලේ නාස්ති කරන්න බෑ. මම යනවා මෙන්ඩිස් සර් මීට් වෙන්න.”

රුක්ෂානි ඉංග්‍රීසි නවකතා පොතක ඔළුව ඔබා ගෙන සිටි නිසා ප්‍රීනිත් සමඟ ආ සමන්තව දැක්කෙ නැහැ. සමන්ත රුක්ෂානි හා කතා කිරීම මඟ හරියි. ප්‍රිනි සමන්ත ගැන කියද්දී රුක්ෂානි නිහඬතාවය රකින්නීය. කතාබහට දෙන්නම අකැමති නම් මොකට පෙරැත්ත කරනව ද? ප්‍රීනි සිතුවේ එහෙමයි.

“ඒයි බලන්නකෝ ටිකක් වටපිට. ගොඩ දවසකින් දැක්කෙ නෑ ඔය දෙන්නව. කෝ සංජීවනී?”

“හලෝ ප්‍රීනි! ඔයා අපිව දැක්කෙ නෑ කියනවා. ඔයාවනේ දැන් හොයා ගන්න අමාරු.”

“බිසී අනේ.”

“අපේ ගෙදර එදා හොඳ පාටියක් තිබුන. ඔයා ආවේ නැහැනෙ.”

“මම එදා උදේ කොලෙජ් යන්න කළින් දැන ගත්ත. ඒ ගමන ගෙදර හිටිය. ඔයාල රෑ එළිවෙනකම් ඇහැර ගෙන හිටියලු නේද?”

“සංජීවනී ඇර අනික් හැමෝම නිදාගත්ත!” රුක්ෂානි කිව්වෙ පුරුදු දඟකාර කමෙන්.

“කෝ නිළිය?”

“අද ආවේ නැහැ. ම්…චානුක එනවා ලංකාවට.”

“කවදද? අපිට මීට් වෙයි ද?”

“ප්‍රශ්නෙ ඒකයි. හැමෝම දෙන්නවම අඳුරන නිසා මීට් වෙන්න තැනක් නැතුව ඉන්නවා.”

“දේශපාලනය කරන්න ගියාම ඔහොමයි. සමන්තවත් යන යන තැන්වලදි දකින දකින එක්කෙනා නවත්තලා එයාට කතා කරනවා.”

“ඔයා සමන්තව ගොඩක් දකින බවයි ‍එකෙන් පේන්නෙ.”

රුක්ෂානි නොදැන කලේ විහිළුවක් වුනත් එහි යම් ඇත්තක් තිබුනෙන් ප්‍රීනිගේ සිත මඳ ලැජ්ජාවකින් සලිත වුණි.

“අපි නුවරඑළි ගියොත් ඔයාට එන්න දෙයි ද අප්පච්චි?”

“මීට කළින් එහෙම ගමනක් ගිහින් නෑ. අහල බලන්නම ඕනා.”

“නඩුවකට ඉන්නවා කියලා හිතාගෙන ලැහැස්ති වෙලාම අහන්න. යන්නෙ අපේ වත්තට. කෝච්චියේ. යන්නෙ අපි හතර දෙනයි. මැණිකලායි. අමරදාසයි….. ඔයාට ඕන්නම් සමන්තටත් එන්න කියන්න.”

“පිස්සු ද ඔයා‍ට. එහෙම එකක් නෑ….. මම කවදාවත් කෝච්චියක ගිහින් නෑ.”

ඔවුන් එතැන් සිට විනෝද ගමන ගැන කතා කළහ. ඈත පිටිසරින් තනිවම තම වයසේ තරුණියන් විශ්වවිද්‍යාලය වෙත එති. එය ඔවුන්ගෙ දෙමාපියන්ට මතක් කර දිය හැකිය. හතර දෙනාම යන නිසා අවසර ගන්නට එතරම් අමාරු නොවනු ඇත. සංජීවනීට යන්න දුන්නෙ නැත්නම් පමණක් ගමන අවලංගු කරන්න ඔවුන් තීරණයක් ගත්හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: