Sinhala story Blog

ජනවාරි 28, 2010

2.9 -කොළඹට කොටි ඇවිත්ලු

Filed under: Uncategorized — sinhalashortstories @ 8:01 පෙ.ව.

දේශනය අතර මැද දී ශාලාවට ආවේ පීඨාධිපතිගේ ලේකම්වරියයි.

ඇය කාර්යාලයෙන් පිට දී කෙනෙක් දකින්නේ කලාතුරකිනි. අද දේශනය පැවැත්වූයේ පීඨාධිපතිවරයාය. මෙයත් කළාතුරකින් සිද්ධ වන්නකි. ඔහු අතට දුන් කොළ කැබැල්ල කතාව නතර නොකරම කියවා බැලූ මහාචාර්ය බැස්ටියන්පිල්ලේ තම කණ්ණාඩි කුට්ටම ගලවා සිය සුදු ලෝගුවේ උඩ සාක්කුවට එය දැම්මේය.

දේශනය අවසන්. හැමෝම වහාම හොස්ටල්, ගෙවල් දොරවල් බලා යන්න යැයි අණ කළ ඔහු කඩිනමින් දේශන ශාලාවෙන් පිටව ගියේය. ඔහු දමා ගිය පොත් පත් ඔසවා ගත් ලේකම්වරිය ද ශාලාවෙන් පිටව ගියේ අන්දුන් කුන්දුන් වූ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිත් ප්‍රශ්නයක් අසන්නට ඉඩ නොතබාය.

කොරිඩෝවේ ළමයි දුවන සෙරෙප්පු හඬ ඇසෙයි. දේශන ශාලාවේ තවම අසුන් ගත් පොත් පත් එකතු කරනා අලස අන්දමෙන් හැසිරෙන සිසුන් සිටි කාමරයට හිස එබවූ කෙනෙක් ඉදිරි පේලියේ සිටි අයට යමක් කියා දිව්වේය.

“කොළඹට කොටි ඇවිත්ලු.”

“කොටි??”

“සූ එකෙන් පැනලා ද?”

“නෑ. අර යාපනේ අය.”

” මොක්කු??”

“රට බෙදන්න කතා කරන අය.”

“කාට රට බෙදන්න ද?”

මී මැසි දෙබයකට දුම් ගසද්දී ඇහෙන්නා වූ ගුමු ගුමු නාදය මෙන් පැහැදිලි නැති වුවද හැමෝම පහත් ස්වරයෙන් එකවර කතා කරති. ඔවුන් අතර ද්‍රවිඩ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ අතලොස්සක් පමණි. පංතියෙන් මුලින්ම පිටව ගියේ ඒ අයය.

“හසන්ති අපි යමු. බස් එකක් අල්ල ගන්න ලේසි වෙන්නෑ.”

හසන්ති ඇතුළු කණ්ඩායමක් ඇස් වාට්ටු හංදිය දක්වා පයින් ආහ. පිරුණු බස් රථ එන්නේ වේගය අඩු නොකරය.

“කොහෙද මේ මිනිස්සු සේරම යන්නෙ?”

“දකුණ‍ට.”

“උතුරෙ කොටි කොළඹට ඇවිත් කියන්නෙ.”

බස්, වෑන්, කාර් පමණක් නොව බයිසිකල් හා බර කරත්ත පවා අද මිනිසුන් ගෙන් පිරී ඇත. තම නැතිවුණ අයිතීන් ඉල්ලා සටන් වදිනා ජන කොටසක් රටෙහි ඉන්නා බව නොදන්නා අය සිතුවේ කොළඹට අවුත් සිටින්නේ කොටියා යන සත්වයා කියාය.

“ඇවිදින්න තමා වෙන්නෙ.”

නිර්භීත යන විශේෂණය සිංහලයා යන වචනය සමඟින් පාවිච්චි නොකෙරේ. අද එය මනාව දැක ගත හැකිය. සෙනඟ පිරි පාරේ බස් රථ වේගය අඩු නොකරති. මන්ද දැනටමත් පිරි බසයට වුවද නඟින්නට දුවන අය පාර පුරා සිටින හෙයිනි. වාහන වල එල්ලී යන්නෝ එයින් සිදුවිය හැකි ජීවිත හානිය ගැන සිතා නැත්තාක් මෙනි. පික් පොකැට්කරුවන් ද බස් රථවල තෙරපී හොඳ බිස්නස් කර ගනිති. නගරය එකම කැඳ හැලියකි.

පාසැල් ළමුන් ද දැන් පාරට බැස ඇත. හයක් හතරක් නොදන්නා ඔවුන් මඟ දෙපස කටවල් අයාගෙන වැඩිහිටියන් කරන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව සිටිති.

“එල්ලෙන්න පුළුවන් එකක. මට නම් ඇවිදින්න උනත් පුළුවනි ගෙදරට.” හසන්ති තම යහළු යෙහෙළි කණ්ඩායමට කියා සිටියාය. මඳ වේගයෙන් එන බස් නොනවතා වේගය අඩු කරද්දී කෙනෙක් දෙන්නෙක් නැඟ ගත්තේ අන්තිම පඩියේ එල්ලී යන්නාගේ බඳ වටා අතින් බදාගෙනය. ඇරුණු වීදුරු කවුළු වල එල්ලී ගත් අය මෙන්ම බසය උඩත් සමහරු නැඟ සිටියහ. හසන්තිගේ කණ්ඩායමෙහි අය ද එකා දෙන්නා බස් වලට ගොඩ වන්නට සමත් වූහ.

හසන්ති සිය පාසැල් කාලයම බස් රථයක නොගියේය. ඇයගේ නිවහන වූයේ පාසැලට ඇවිදින දුරකිනි. පාසැලත් ගෙදරත් අතර විනා වෙනත් තැනක ඇය නො‍ගියෙන් මෙම බස් ගමන ඇයට ඉතාමත් දුෂ්කර වූ කර්තව්‍යයකි. අද දින බසයකට ගොඩ වෙන එක ගැන ඇයට හිතාගත වත් නොහැකිය. එන්න එන්නම තත්වය දරුණු වන බව පෙනේ.

අවුරුදු දහයක පමණ කුඩා දැරියක් පසෙකට තල්ලු කර දමා තලතුනා පුද්ගලයෙක් නැවතුම් පළේ මඳකට නැවැත්වූ එකම බසයට ගොඩ විය. තල්ලුවෙන් පැත්තකට විසි වී ගිය දැරිය අඬන්නට ඔන්න මෙන්න.

“නංගි කොහාට  යන්න ද?”

හසන්ති ඇය වෙතින් විමසුවාය. හසන්තිගේ පහන් කටහ‍ෙඬන් මෙතෙක් තදකර ගෙන තිබූ බියත් හිතේ වේදනාවත් සමඟින් කඳුළු බිංදු කුඩා දැරියගේ දෙකපුල් පුරා ගලන්නට වුනි.

“රත්මලානේ…අද..ස්කූල් බස් එක…නෑ.”

දැරිය කියන්නේ බිඳුනු වදනිනි.

අගනුවර හොඳ යයි සම්මත පාසැල් වලට ඈත පුදේශයන් සිට දූ දරුවන් එවනා දෙමාපියන් අද ළතැවෙනු ඇත. මේ දරුවෝ අද ගෙදර යන්නේ කෙසේද?

“ඇයි ඔයා තනියම?”

“මාත් එක්ක එන අක්කා අද ඉස්‍කෝලේ ආවේ නෑ.”

දැරියගේ දෙනෙතින් කඳුළු අළුතින් ගලයි. ඇය අතින් අල්ලා ගත් හසන්ති ඇයව ගෙදර ඇරලන බවට පොරොන්දුවක් දුන්නාය. එය කෙසේ කරන්නේ ද?

“එන්න අපි පෝස්ට් ඔෆිස් එකෙන් කෝල් එකක් ගනිමු.”

තැන් තැන්වල පුද්ගලික ආයතන මඟින් දුරකතන පහසුකම් සපයන මධ්‍යස්ථාන පැතිර ඇත. පිටරට පදිංචියට හා මැද පෙරදිග සේවයට ගිය අයට මෙහි ඉන්නා නෑදෑයින් නිතර කතා කරන්නේ මෙවන් ස්ථාන වලිනි.

“රුක්ෂානි හොඳ වෙලාවට ඔයා ගෙදර.”

“සංජීවනීත් මෙහෙ. අපි තව කැම්පස් ළමයි කාණ්ඩෙකුත් එක්කන් ආවා. ඔයා කොහෙද?”

“මම තවම ඇස් වාට්ටුව හංදියෙ. රුක්ෂානි මාත් එක්ක පුංචි ළමයෙකුත් ඉන්නවා. එයාට ගෙදර යන්න ක්‍රමයක් නෑ. තනියම.”

“අමරදාස එවන්නම්. මෙහෙ එන්න.”

සෙනඟ අතරේ හිට ගන්නට තරම් ඉඩක් සොයා ගත් දෙදෙනාම රතු බර්ගන්ඩි වයින් පැහැති ජැගුවාර් රථය එනතෙක් ඇස් අයාගෙන සිටියහ. සුදු සීට් කවර වලින් වැහුණු ආසන ඇති මෙම රථය රුක්ෂානිගේ පියා මිල දී ගත්තේ ජනාධිපතිවරයාට තියෙන්නෙත් එවැනිම වාහනයක් කියා කවට කම් කියමින්ය. බොහෝ අවස්ථාවක දී රථයට අනිකුත් වාහන වලින් මහපාරේ ඉඩ පෑදුනි. නොදන්නා අය එය ජනාධිපතිවරයාගේ වාහනය යයි වරදවා සිතූහ.

රියැදුරු අමරදාස නම් අද වාහනය ආයෙත් පාරට දමන්නට අකැමතිය. යාන්තමෙන් වත් කිසිදු සීරීමක් නැතුව වාහනය රැක ගන්නේ ඔහු ඉතා ආඩම්බරයෙනි. ප්‍රවේශමින් ඔහු රථය හසුරුවා සෙනඟ නැති අතුරු පාරවල් වලින් ඇස් වාට්ටු හංදියට ආවේය. මඟ උන් දෙදෙනා සමඟ නැවතත් අතුරු පාරවල් වලින්ම රුක්ෂානිගේ නිවසට ආහ.

“කොහෙද බබාගෙ ගෙවල්?” ඒ රුක්ෂානි.

කුඩා දැරිය තවමත් ඉන්නේ බියෙන් හා සැකයෙනි. නිවසට ගොඩ වදින විට වලිගය නැති පස්ස වන වනා අසලට ආ කැත නාකි බල්ලා දැක ඇය ආයෙත් අඬන්න‍ට පටන් ගත්තාය. ඌ හපා කන්නේ නැතැයි හසන්ති කිව්වද දැරිය හසන්තිගේ අත යකඩ හයියකින් අල්ලා ගෙන සිටියාය.

“නංගිගෙ ගෙදර රත්මලානේ කොහෙද තියෙන්නේ?”

හසන්ති තම අත මුදා ගන්නට වෑයම් කරන්නීය. ළඟ ටීපෝවක තබා තිබුනු පැෂන් ෆෲට් යුෂ පිරි වීදුරු ඇති බන්දේසිය දුටු හසන්ති එයින් එකක් දැරියට පිළිගැන්වූයේ අත ඉවත් කර ගන්නටය.

“මැලිබන් එක ළඟ.”

පිපාසයෙන් දින ගණනක් ගෙවූ කාන්තාරයක අතරමං වූ කෙනෙක් ලෙසින් කුඩා දැරිය එක හුස්මේ පළතුරු යුෂ පානය හිස් කළාය.

“ගෙදර ටෙලිෆෝන් නොම්මරේ මොකක්ද?” රුක්ෂානි අසයි. දැරිය ඇස් විහදා බලා සිටියා මිස කිසිවක් කීවේ නැත.

“හැමෝටම ගෙවල් වල ටෙලිෆෝන් නෑ රුක්ෂානි.”

” එහෙනම් ළඟ ගෙදරකට තියෙනවා ද?”

දැරිය නැහැයි කියන්නට ඔළුව දෙපැත්තට වනන්නීය. ගෙය තුල ඇති විසිතුරු ආම්පන්න දෙස බලනා ඇය නිශ්ශබ්දතාවය රකියි. තමා රුක්ෂානිගේ ගෙදර පැමිණි පළමු අවස්ථාව හසන්තිගේ සිහියට නැඟුණි. රුක්ෂානි අතින් ඇදගෙන ඇය ‍පසෙක තබා තිබුණු පියානෝව අසලට ගියාය.

“එයා හොඳටම බයවෙලා ඉන්නෙ. ටිකක් වෙලා ඉන්න ඇරලා අපි අහමු.” හසන්තිගෙන් යෝජනාවක්.

“සංජීවනී…මෙන්න හසන්ති ඇවිත්.”

තරප්පු පෙළ අසලට ගිය රුක්ෂානි තම නිදන කාමරයේ ඉන්නා සංජීවනී වෙත හඬ ගෑවාය.

සාලයේ පැත්තක පෝච්චියක පැල කරන ලද ඇට්ටේරියා පැළයකි. දහවල් කාලයට එය එළිමහනේ තබනවා නිසැකය. මන්ද එහි දළු තද කොළ පාටෙන් සරුව වැඩී ඇත. පැළයට නුදුරුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් රේඩියෝවකට සවන් දෙති.

රේඩියෝව ඇති ලීයෙන් නිම කළ කැබිනෙට්ටුව මත රූපවාහිනියක් ඇත. හසන්ති එය දැක්කේ දැනුයි. අය අළුත් එකතුවකි. තවම ජාතික රූපවාහිනිය පටන් ගෙන නැත. කොළඹ සල්ලිකාර ගෙවල් වල නම් පිට රටෙන් ගෙනා රූපවාහිනී යන්ත්‍ර හා විඩියෝ කැසට් මඟින් ගෙදර දීම විදෙස් චිත්‍රපටි නැරඹිය හැකිය.

රුක්ෂානිගේ ගෙදර බැල්කනියක් තියෙනවා යයි තමා කී විට ආච්චි එහෙනම් එයාට හැමදාම බයිස්කෝප් බලත හැකි යයි කියූ කතාව හසන්තිට මතක් වුනි. දැන් මෙයාට ගෙදර ඉඳන් බයිස්කෝප් බලන්න ඇහැකි තමා. අනේ ආච්චිත් දැන් හොඳටම බයවෙලා ඇති යයි ඒ එක්කම ඇයට සිහි වුනි.

“මාත් ගෙදර යන්න ඕන. මේ නංගිවත් මං ඇරලන්නම්.”

“මෙයාව බස්සලා ආච්චිට කියලා ඔයා අද මෙහෙ ඉන්න එන්න. සංජීවනීත් රෑට ඉන්නවා. මේ කාණ්ඩෙත් රෑට නවතිනවා.”

රුක්ෂානි අතින් රේඩියෝව අසල ඉන්නා සිසු කණ්ඩායම පෙන්වයි. ගී සිංදු වාදනය හැරෙන්නට වෙන ප්‍රවෘත්ති ප්‍රකාශන ඇහෙන්නට නැති බව සිසුන්ගේ මුහුණු වලින් පෙනෙයි.

“මාත් එන්නම් යන්න.”

ලොකු මැණිකා එම යෝජනාවට කැමැත්තක් දැක්වූයේ නැත. නොහඳුනන පිරිසක් ගෙදර තබා ගැනීමට ඇය මැළිය. විශේෂයෙන්ම අමරදාසත් ගෙදර නැති කල.

“සංජීවනී ඉන්නවා මගේ කාමරේ. එයා බලා ගනියි මේ ගොල්ලන්ව.”

“අපි ඉක්මණට එන්නම් ලොකු මැණිකා.”

හසන්තිත් උදව් වුනා ලොකු මැණිකව කැමති කරවා ගන්න. නින්ද ගොස් සිටි සංජීවනී ඇහැරවලා ළමයි කාණ්ඩෙට එයාවත් අඳුන්වලා දී පාරට බහිද්දී පාර තොටේ කිසිවකු හිටියේ නැත.

“ඇඳිරි නීතිය දාලා ද අමරදාස?”

රුක්ෂානි රියැදුරා විමසයි. නිතර දොර ජනේල ඇර පවතින ගෙවල් දොරවල් අද අගුල් දමා වසා ඇත. හාවක් හූවක් නැති පරිසරය මුස්පේන්තු ස්වභාවයකින් පවතී.

“තවම නම් රේඩියෝවේ කිව්වෙ නෑ බේබ්.”

වාහන තදබදයක් නැති ගාලු පාරේ අමරදාස නිදහස් කල කුරුල්ලකු මෙන් පියාඹන්නට විය. මෙවන් වේගයෙන් ගියහොත් වහාම පසුපස හඹා අවුත් නවත්තන මාර්ග පොලිස් නිලධාරීන් ද අද පෙනෙන්නට නැත.

“බබාගෙ ගෙවල් කොයි හරියේ ද?”

රුක්ෂානි දැරිය ගෙන් ඇසුවාය. ඇයට මහන්සියට දෝ ඇස් පියවෙයි. වාහනයේ ඇය අසුන් ගෙන ඉන්නේ සීට් එකේ ගැට්ටෙහිය. පොත් බෑගය තුරුල් කරගෙනය. මෙවැනි සුඛෝපභෝගී රථයක ඇය කවදා වත් ගමනක් කර නැති බව පෙනෙයි.

“බබා කියන්න එපා. නංගි කියන්න.”

හසන්ති රුක්ෂානිගේ කණට මුමුණයි. නළල රැලි කර හසන්ති දෙස විමසුම් කළ ද රුක්ෂානි නැවතත් දැරිය ඇමතුවේ නංගි කියාය.

“මැලිබන් එක ළඟ.”

“පාරේ නම මොකක්ද?”

“දන්නෑ.”

“හොයා ගන්න දන්නව ද නංගි ඒ හරියට ගියොත්?”

“බස් හෝල්ට් එකෙන් බැහැලා යන තැන ඉඳන් යන්න දන්නවා.”

අමරදාස මැලිබන් බිස්කට් කර්මාන්තශාලාව අසලට එද්දී වාහනයේ වේගය අඩු කළේය. බිස්කට් නිපදවෙන සුවඳින් පළාතම රසවත්ය.

“ඔන්න ඔතන..ඔතන…ඔය පාරෙන් හරවන්න.”

“කොයි පැත්තට ද?”

“මේ පැත්තට.”

පාරවල් දෙක තුනක, වමට හා දකුණට හැරි හැරී ගොස් අවසානයේ බ‍ාගෙට හදාගෙන යන නිවසක් ළඟ අමරදාස රථය නතර කළේය. තැනින් තැන ගඩොල් හා වැලි ‍ගොඩවල් ද, බාල්දි හා උදළු වැනි ආම්පන්න ද ඇත. වාහනයෙන් බැස්ස සැනින් දැරිය පිම්මේ ගෙය පිටුපස්සට දිව්වාය.

“බොහොම ස්තූතියි දුව එක්ක ගෙන ආවාට. අනේ මේ ළමයි හොඳටම කරදර වෙලා. ප්‍රවේසමෙන් ආපහු යනකොට. හරි අවදානම් දවසක් අද. මෙයාගෙ අම්මා ගියා ඉ‍ස්කෝලෙට හොයාගෙන. එතකොට දුව ගිහින්. දැන් පොලීසියට ගියා නැතිවුනා කියල ඇන්ට්‍රියක් දාන්න.”

දැරියගේ නැන්දනියක් වන්නට හැකි කෙනෙක් පැමිණ තතු පහදයි. පොලීසිය ඇත්තේ ළඟ පාත බවත්, දැරියගේ මව කැන්දා ගෙන එන්නට ගෙදර කෙනෙක් යවත හැකි බවත් කියූ ඇය ඔවුන්ට පින් දී හැකි ඉක්මණින් ගෙවල් බලා යන්න යයි අවවාද දුන්නාය.

“අමරදාස අපි හසන්තිගෙ ගෙදර ගිහින් ආච්චිවත් බල‍ා ගෙන ආපහු යමු.”

දැන් නම් ඕනෑ තැනක යන්න අමරදාස සූදානම්. පාර දෙපැත්තම හිස්ව ඇත. වෙනදා පාර අයිනේ ලැග ඉන්නා හරක්, බල්ලෝ ආදී සතුන් ද කොටි ගැන දැනගෙන දෝ පළාතේ නැත. හප්පන්නට හැප්පෙන්නට කවුරුත් නැත්තේ අමරදාස ඉතා සතුටෙන් වාහනයෙන් ඉගිළීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: