Sinhala story Blog

ජනවාරි 27, 2010

2.8 -සර් … නැඟිටින්න … සර් … සර්…

Filed under: Uncategorized — sinhalashortstories @ 2:23 ප.ව.

කලින් දා රාත්‍රියේ පැවති උත්සවයේ දී පමණට වඩා වැඩියෙන් මත්පැන් පානය කළ කෙනෙකුට කුකුළා හඬලන්නට මත්තෙන් අවදි විය නොහැකිය.

මේ බව ඇල්බට් දැන ගත්තේ කුඩා කාලයේ දීමය. උතුරේ පවතිනා තානායමක ඔහු කුඩා සන්දියේ පටන් වැඩ කරයි. මෙතැනට එන උසස් වැදගත් ප්‍රභූන් ඔහු දන්නේය. කොළඹ ජීවත්වන්නෝ එහි දරු පවුල් දමා අවුත් මෙහි නාඩගම් නටන්නෝය. ගෙවල් දොරවල් ඇති පළාත් වල නොකරන ජවුසන් පිට ගිය කලෙක කරන්නෝ එමටය. රේඩියෝ හා පත්තර වල සඳහන් පරිදි මොවුන් නම්බුකාර සත් පුරුෂයෝ නොවෙති.

අන් අය කෙසේ වෙතත් ඇල්බට් අද අවදි කරන්නට තැත් කරන්නේ ඔහු වඩාත්ම පිළිකුල් කරන තැනැත්තෙකි. තම රාජකාරිය පැහැර හැරීම ඔහු සිතට මදිකමකි. එහෙයින් අකමැත්තෙන් වුවද තද නින්දෙන් ගොරවන පුද්ගලයා නැඟිටුවන්න ඔහු දරන්නේ බලවත් වෑයමකි.

“සර්…. නැඟිටින්න…. සර්… සර්…”

ඇල්බට් අත පත ගා ගොරවන සද්දය වෙත කළුවරේම ළං විය. උරහිසෙන් සෙලෙව්වත්, වැලමිටෙන් ඇද්දත් වැඩක් නොවූයෙන් ඇල්බට් තමා අතැතිව තිබූ වතුර වීදුරුව නිදිගත් අයගේ මුහුණට වත් කළේය.

කිසි දවසක මෙවන් දෙයක් කරනු පිණිස තමාට අවස්ථාවක් ලැබේ යයි ඇල්බට් සිතුවේ නැත. වෙනදා මොහු නිදා සිටිනා කාමරයට පවා අවසර නො‍ෙගන කෙනෙක් එන්නේ නැත. හැම දෙයක්ම වෙනස් වෙමින් යන කාලයකි දැන්.

“මොකද? …. ඇයි?… කවුද යකෝ?….. උඹට පිස්සු ද?”

බීමතින් හට ගැනුනු හිස රදයෙන් පෙළෙන නවාතැන් ගත් ආගන්තුකයා තමා අවදි කරන්නේ නවාතැනේ සේවකයා යයි හඳුනා නොගත්තේය.

“සර්..මේ ඇල්බට්. සද්ද කරන්න එපා. ඉක්මනට ඇහැරලා කොළඹ යන්න ලෑස්ති වෙන්න.”

“මොකද මිනිහෝ?..මේ මහ රෑ?…දැන් වෙලාව කීයද?”

“සර් දැන් තමයි අපිට පණිවිඩේ ආවේ. සර්ට මෙහෙ ඉන්න එක භයානකයි. ටවුමේ පුස්තකාලයට ගිනි තියලා පොලීසිය. දැන් පොලීසියට ගහන්න ලැහැස්තියි. රෑම ගියෙ නැත්තම් දවල් වෙනකොට පාරවල් වහල ඇඳිරි නීතිය දාන්නත් ඉඩ තියෙනවා.”

කොළඹ ගියාම එහෙම ඉන්න. ආයේ එන්න එපා කියන්නත් සිතුණ ද ඇල්බට් එහෙම නොකියා කට පියා ගත්තේය.

“මාත් එක්ක ආපු නෝනා කෝ?”

“එයාගෙ කාමරේ. අපි නෝනට නැඟිටලා ලැහැස්ති වෙන්න කිව්වා.”

“ඩ්‍රැයිවර් කූද්දන්න.”

දැන් ඔහු නිදිමත පහව ගොස් ඇත. විධානයක් සමඟින් ඔහු සිය සමාජ තත්වය පෙන්වයි.

“සර් ඩ්‍රැයිවර් වාහනේ සයිඩ් දොර ළඟ ස්ටාට් කරලම තියාගෙන ඉන්නෙ.”

“යකෝ උඹලා නිකම් බය වෙනවා.”

ඒත් ඔහු ඉක්මන් කර තම ඇඳුම් ඇඟලා ගත්තේය. සූට්කේසයට ඇඳ වට්ටමේ වූ ටයි පටියත්, කලින් දා ඇඳි කමිසයත්, කලිසමත් එබූ අතර ඔහු අතේ බැඳි ටයිමෙක්ස් ඔරලෝසුවෙන් වේලාව බැලීය.

“සර්ට බොන්න තේ ෆ්ලාස්ක් එකකට දාලා කාර් එකේ දැම්මා.”

අල්බට් ඒ අමතර සේවයට මුදල් බලාපොරොත්තු නොවීය. ඔහුට උවමනා වූයේ හැකි තරම් ඉක්මණින් මෙයාව නවාතැනින් යවා ගැනීමටය. නවාතැන දින කිහිපයකට වසා දමන්නට සිදුවන බව අවට වාතාවරණයෙන් පැහැදිලිවම පෙනී යයි. ඇඳිරි නීතියක් පැවතුන හොත් මෙම තැනැත්තා තබාගෙන ඔහු රකින්නට වුවහොත් එය නිතැතයෙන්ම තමාට පැනවෙන දරුණු දඬුවමකි.

“ගුඩ් මෝනින් සර්!”

ඔහු රථයට නඟිද්දී එහි සුව පහසු ලෙස අසුන් ගෙන සිටි රූමතිය කීවාය. අඳුර මකාලන්නට ඇත්තේ රියැදුරා අතැති කුඩා ටෝච් එක පමණි. කිසිවක් නොකියා රිය පසුපස ආසනයේ හිඳ ගත් හෙතෙම තරුණියගේ උරහිසට ඔළුව තබා නැවතත් නින්දට ගියේය.

කිසි කතාබහක් නැතුව රියැදුරා වාහනය හරවා ගෙන නවාතැනින් පිටත් විය. කොළඹට යන මාර්ගයේ බාධක පැනෙන්නට පෙර හැකි තරම් ඉක්මණින් මෙම පළාතෙන් පිටව යෑම රියැදු‍රාගේ අරමුණ විය.

පිටුපස ඉන්න තරුණිය නිදි නැත. එහෙත් එකිනෙකා හා කතා කරන්නට තරම් ඇයි හොඳැයියක් රියැදුරා හා තරුණිය අතර නැත. අනෙක නිදා ඉන්නා ස්වාමියාට දෙදෙනම දක්වන්නේ ඉමහත් බියකි.

ඉඳහිට වේගයෙන් එන සීඝුගාමී බසයක් හැරෙන්නට වෙන කිසිදු වාහනයක් පාරෙහි නැත. මැටි ගෙවල් වල වීදුරු පියන් නැති ‍ජනේල වලින් ඇතුලත දිලෙනා භූමිතෙල් කුප්පි ලාම්පු වල අඳුරු ආලෝකය කෙනෙක් දෙන්නෙක් අවදිව ඇති බව කියා පායි. ඇඟ මැලි කඩමින් බාල්දි, තුවා රැගෙන ළිඳක් සොයා යන්නෙක් ද වාහනය පසු කරගෙන යයි.

ගස් කොළන් නැති හැතපුම් කිහිපයක් පසු කළ රියැදුරා වාහනය පැදවූයේ මාර්ගයට සීමිත ධාවන වේගය අධික ලෙසින් ඉක්මවාය. මඟ දෙපසේ බලන්නට දෙයක් ද නොමැත්තෙන් තරුණිය  ද සුසුමක් හෙළා ඇස් පියා ගත්තාය. ඇයගේ ක්‍රමානුකූලව කෙරෙන සියුම් ආශ්වාස ප්‍රාශ්වාසයට එකතු වූයේ ස්වාමියාගේ ගොරහැඬි ගොරවන ශබ්දයයි.

වටෙන් පිටෙන් එළිය වැටී ගෙන එනවිට දී ඔවුන් අනුරාධපුරය දක්වා පැමිණ තිබුණහ. ඝනට වැඩුන ගස් වල ලැගත් කුරුල්ලෝ අවදි වී මහත් හ‍ෙඬකින් කරන කිචිබිචිය වාහනය ඇතුලට ද ඇසේ. බයිසිකල් පදවන්නෝ, බර කරත්තකාරයෝ දැන් මහමඟ අයත් කරගෙනය. වාහනය ඇදෙන්නේ මඟ දිගට තිරිංග තද කරමිනි.

“කොහෙද මිනිහෝ අපි ඉන්නෙ?”

ස්වාමියා නින්දෙන් පිබිද ඇත. ඔහු ළඟ නිදා සිටින තරුණිය ඔහු හ‍ඬෙන් අවදි වුනාය. කොණ්ඩය අතින් සකසා ගත් ඇය‍ ලේන්සුවක් රැගෙන මුහුණ පිසදා ගත්තාය.

“වටවන්දනා පාර පහු කළා සර්.”

“නුවර වැව රෙස්ට් හවුස් එකේ නවත්තන්න මිනිහො තේ බොන්න.”

රියැදුරා ‍හොඳයි සර් කියන්නත් පෙර තරුණිය ස්වාමියාගේ කණට කොඳුරා යමක් කීවාය.

“දාපන් එහෙනම් තිස්ස වැව රෙස්ට් හවුසියට. ඔය මිහිඳු මාවතෙන් දාල පලයන්.”

තරුණිය කණට කර කිව්වේ ඇය චිත්‍රපටියක් පටිගත කරන්නට පැමිණ අවස්ථාවක නුවර වැව තානායමේ ලැගුම් ගත් බවයි. එහි සේවකයන් ඇය හඳුනා ගැනීමට ඉඩ ඇත.

ශ්‍රී මහා බෝධියට වන්දනාවේ පැමිණි පිරිස් සුදුවතින් සැරසී පාර දෙපස සැරි සරති. ථූපාරාමය, ජේතවනය, රුවන්වැලි සෑය, ඉසුරුමුණිය ආදී ගෞරවනීය වන්දනා ස්ථානයන් ඇති ශුද්ධ නගරය මැද්දේ මේ දෙදෙනා රැගත් වාහනය නතර කිරීම රියැදුරාගේ හිත කනස්සලයට පත් කළේය.

“උඹ බීපන් මේකෙ තේ දාලා ඇති.”

තේ රැගත් ‍ෆ්ලාස්කුව රියැදුරු අතට දුන් ස්වාමියා තරුණියට ඉදිරියෙන් තානායමට ඇතුල් විය.

මූඩිය කරකවා ෆ්ලාස්කුව ඇර එය නැහැයට ළං කර ඉව අල්ලා බැලූ රියැදුරා තේ නිවී ඇති බව දුටුවේය. ෆ්ලාස්කු රස මුසු තේ බීමට හේ අකැමතිය. තානායමෙහි උයන පිහන තැන් සොයා ගිය ඔහුට එහි වැඩ කරන අයගෙන් කිරි තේ කෝප්පයක් හා ඉඳියප්පන් සමඟ කිරි හොඳි පිඟානකුත් නොමිලේ ලැබුණි. කා බී හමාර කළ ඔහු ෆ්ලාස්කුවේ තේ විසිකර එය සෝදා ගත්තේය. ඉන්පසු රථය වෙත ගොස් එහි වීදුරු කවුළු ඇර දමා සුක්කානමට ඔළුව ගහගෙන හොඳ නින්දක් දැමීය.

දහවල් ආහාරයත් නිම කළ පසුවයි ඔවුන් නැවතත් ගමන ඇරඹුවේ. කොළඹ බලා එන ගමනේ සැවොම අවදිව සිටිය ද කිසිවකු අතර කතා බහක් හෝ ඇස් මුණ ගැසීමක් සිදුවුනේ නැත. තරුණිය ඇයගේ නවාතැනට ඇරලවා ඔවුන් කොළඹ මහනුගවත්තේ නිවසට එද්දී රාත්‍රිය බෝ වී තිබිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: