Sinhala story Blog

ජනවාරි 26, 2010

2.7 -ඌයියා.. ලොකු මැණිකා…

Filed under: Uncategorized — sinhalashortstories @ 9:59 පෙ.ව.

“රුක්ෂානි බේබි. පිටරටින් කෝල් එකක්. රුක්ෂානි බේබ්.”

වේලාව උදේ පාන්දර පහට ළඟයි. චූටි මැණිකා ඇවිත් රුක්ෂානිගෙ පිටට තට්ටු කරයි.

“ලොකු මහත්තය. මම නිදි කිව්වම නැඟිට්ටවන්න කිව්වා.”

රුක්ෂානි ඇර තිබූ ජනේලයෙන් සීතල සුළඟක් හමා ආවෙන් හිරි ගඩු පිපෙන වත ආවරණය කරන්නට ඇ‍ඳේ තිබු පොරෝනය රැගෙන බාගයක් බිම දිගේ ඇදගෙන ටෙලිෆෝනය කරා දිව්වාය.

“හලෝ ඩැඩී!”

“රුකී ගුඩ් මෝනින්! සොරි නැගිට්ටෙව්වට උදේ පාන්දර. අද අපි පැරිස් වලින් කැලිෆෝර්නියා යනවා. දැන් එයාපෝට් යන්න ලෑස්ති වෙලා. මොනවද නිව්ස්?”

රුක්ෂානිගෙ පියා ඈ හා කතා කළේ ලංකාවේ තොරතුරු ගැන. තම ව්‍යාපාරයන්හි සේවය කරන කළමනාකරුවන්, නීතීඥයින් හා ගණකාධිකාරීන් සමඟ ඔහු නිතර කතා කරයි. එහෙත් අට ගැනත් වෙළඳපලේ වාතාවරණය ගැනත් ඔහු තතු විමසන්නේත් එමෙන්ම විශ්වාස කරන්නේත් තම එකම දරුවා වන රුක්ෂානි කියන්න පමණි.

“ඩැඩී වත්තෙ ඉන්න දෙමළ අයට ප්‍රශ්නයක් නෑ. ඒත් කොළඹ ඔෆීස් වල ඉන්න අයව බලා ගන්න වෙයි. මම කැනේඩියන් එම්බසි එකේ මිස්ට ස්ට්‍රෙන්ජ්වේ කතා කරනවා ඇහුවා ලක්ෂ්මි නැන්දිගෙ බර්ත්ඩේ පාට් එකේ දී. එයා කියන්නෙ දැන් හරියට දෙමළ අය කැනඩා යනවා කියල. ලක්ෂ්මි නැන්දි නෙවේ. මිස්ට ස්ට්‍රෙන්ජ්වේ කිව්වෙ.”

“ඔයා මොකද හිතන්නෙ?”

“එයාල වැඩි දෙනා යන්නෙ සරණාගතයන් විදියට. ලේසි ක්‍රමය. නමුත් මෙයාල උතුරෙ අය පමණක් නෙවේ. කොළඹ ඉන්න අයත්. මෙහෙන් ජාතිවාදී කරදර කරනවා කියල යන්නෙ. ඇයි ලෝකේ කිසිම රටකට අපි කියන්නෙ නැත්තෙ එහෙම හිරිහැර නැහැ කියල.”

“අපිට විදේශ ප්‍රතිපත්තියක් නැහැ. එන එන ආණ්ඩුවට තමන්ට ඕන විදියට කරනවා. අනික බලවත් රටවල් අහන්නෙ එයාලට අවශ්‍ය දේ. දෙමළ ජනතාව හොඳ ප්‍රචාරක ව්‍යාපාර වගේම පිටරට කාර්යාලත් දාගෙන එයාලට වාසි වෙන විදියට කතා කරනවා. ඔහොම යනකොට කුලප්පු කරලා ජාතිවාදි බව පෙන්නන්න ඉල්ලන් කන එකත් කරයි. අපේ අයත් ඒවට අහුවෙනවා. ද්‍රවිඩ අය ඉන්දියාවේ, අප්‍රිකාවේ එහෙම කාලාන්තරයක් තිස්සෙ ඉන්නවා. ඒත් මේ පුංචි ලංකාවේ ඉන්න සිංහලයන් ඩිංග වෙනුවෙන් කතා කරන්න ඉන්න අපිත් කෑ ගහන්නේ අපේ අයටම විරුද්ධවයි.”

“අපි හරි මෝඩයි නේද?”

“ඉතිහාසයේම සිංහලයන් එකතු වූ අවස්ථා තියෙන්නෙ හරිම ස්වල්පයක්. රට එක්සත් කාල වලත් ජනතාව එක්සත් නෑ. ඇත්තටම ජාතිවාදී කෝලාහලයක් ආවොත් අපිට පුළුවන් අපේ වැඩ කරන දෙමළ අයව හොටේල්ස් වලට දාන්න. ලක්ටෙක් මැනේජින් ඩිරෙක්ටර් රංග රාජරත්නම්ට හරි තරහකාරයෝ. එයාටම කියන්න ලැහැස්ති කරන්න කියලා තැන් හොයලා. රූම් ඩිස්කවුන්ට් හොයන්න එපා කියන්න.”

“පරමේශ්වරී ආන්ටිගෙ දූ කොහෙද ඉන්නෙ?”

රුක්ෂානිගෙ පියා හඬ නඟා සිනහ වෙන නාද ‍ටෙලිෆෝනය දිගේ ගලා ආවා. එය කලාතුරකින් අහන්න පුළුවන් දෙයක්. මධුරි ගනේෂන් ඇති රූමත්. ඇය ද්‍රවිඩ බව කාර්යාලයේ වැඩ කරන බොහෝ දෙනෙක් දන්නෙ නැත්තෙ ඇය නම පාවිච්චි කරන්නෙ ජී. මධුරි ලෙසින් හෙයිනි. ඇයගේ කතා බහ ඉංග්‍රීසියෙනි. කාර්යාලයේ සිටිනා ජාතිවාදී සිංහල තරුණයෝ ද ඇයට පෙම් බඳිනා බව රුක්ෂානිටත් ඇයගේ පියාටත් රහසක් නොවේ.

“ලොකු කලබලයක් වෙයි ද දන්නෑ. මම කියල තියන්නම් ඩිරෙක්ටර්ස්ල සේරටම. සෝමසිරි ‍එවයි අත්සන් කරන්න අවශ්‍ය ලිපි ගෙදරටම. කලබලයක් වුනොත් අමරදාසව යවන්න. ඔයා යන්න එපා කොහේවත්.”

රුක්ෂානිගේ මවගේ කඩහඬ පසුබිමින් ඇසෙයි. දෙදෙනා කරන කතාබහට ඇයටත් එකතු වන්නට අවශ්‍යව ඇත.

“කොහොමද ඩාලිං?”

පියාගෙන් රිසීවරය ඉල්ලා ගත් රුක්ෂානිගේ මව ඇය ඇමතීය. කන්න බොන්න අමතක කරන්න එපා, චූටි මැණිකා, පොඩි මැණිකා හා ලොකු මැණිකා ගැනත්, අමරදාස ගැනත් සොයා බලන්නට අමතක කරන්න එපා, යනාදී අවවාද රැසක් දුන් ඇය ලංකාවේ සිටිනා ඇයගේ යෙහෙළියන්ගේ ද වගතුග විමසුවාය.

දැන් දැන් රටෙහි දුරකතනයකට හිමිකම් කියන්නෝ මඳක් බිහිවෙයි. තවමත් මෙරට සිට පිටරටට කතා කළ හැකි ටෙලිෆෝනයක් ඇත්තේ සීමිත සංඛ්‍යාවකටය. රුක්ෂානිගේ නිවහනට එම පහසුකම ඇය කුඩා කළ සිටම තිබුණි. රටෙහි වැඩි දෙනෙක් බොහෝ අවස්ථාවල ප්‍රධාන දුරකතන කාර්යාලයට ගොස් මුදල් බැඳ ආව ද නියමිත වේලාවට ඇමතුම ගනු නොහැකිව ලතවෙති. පිටරට ඉන්නා සිය දෙමාපියන්ට කොළඹ යහළු යෙහෙළියන් නොහමුවන කාන්සිය අනිවාර්යෙන්ම ඇතැයි රුක්ෂානි සිතුවාය.

“රුක්ෂානි බේබි අද උදේට කන්න අන්න උළුදු වඩේ හදනවා.”

 රුක්ෂානි උළුදු වඩේ කන්න රුසියා බව දන්නා චූටි මැණිකා කියයි.

“ලොකු මැණික නිකම් මහන්සි වෙනවා. අන්න ශාන්ති විහාර් ඇරල දැන්. එතනින් ගන්න පුළුවන්.”

“පව් බේබි එහෙම කියන්න එපා. කඩෙන් කනවා කියල දැන ගත්තොත් හොඳටම දුක හිතේවි. දැන් පාටි දාන්නෙත් නෑ කියල හරි අමනාපෙන් ඉන්නෙ. උයල පිහල කන්න දෙන්න කාණ්ඩෙ ඉන්නවා නම් තමා එයා කැමති.”

තම නිවහනේ වැඩ කරනා මැණිකෙලා තුන් දෙනා ඇයට ඥාතීන් වැනිය. හැමදාම ඔවුන් ඇය හා සිටියහ. දෙමාපියන් රට රටවල සංචාරය කරද්දී ඇයට පාළුවක් තනිකමක් නොදැනෙන්නේ මේ තිදෙනාත් රියැදුරු අමරදාසත් සිටින නිසාය.

“චූටි මැණිකට පාටියක් දාන්න ඕන වෙලා වගේ.”

“ඔන්න බේබි මට විහිළු කරනවා ඒ ගමන.”

“දාමු දාමු පාටියක්….ලොකු මැණිකා…..”

රුක්ෂානි හයියෙන් කෑ ගසමින් තරප්පු පෙළ බැස ගෙන මුළුතැන් ගෙය වෙත දුවයි. ඇය පිටුපසින් චූටි මැණිකා ද දිව ආවේය.

“පාටියක් දාමු. අපි පාටියක් දාමු.”

“මං නෙමෙයි ඕන් කීවේ.” චූටි මැණිකා සිය වැඩිමහල් සහෝදරියට කියයි.

තාච්චියෙන් උණු උණු උළුදු වඩේ හිල් ඇති හැන්දකින් රැගෙන පත්තර කොලයක් ඇතිරූ පිඟානකට දමන ලොකු මැණිකා එකවරම කතා කරන දෙන්නාගෙන් එක්කෙනක් වත් කියන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව සිටියි.

පිඟානේ තෙල් බේරෙමින් දිළිසෙනා උණු වඩය ඇඟිලි තුඩු වලින් ඩැහැ ගන්නට රුක්ෂානි තැත් දැරීය.

ලොකු මැණිකාගේ අතින් ඇයගේ ඇඟිලි වලට සියුම් පහරක් වැදුනේය. ඇය ගන්නට තැත් දැරූ වඩය ආපහු පිඟානට වැටුණි.

“ඌයියා..ලොකු මැණිකා…”

රිදුනේ නැතත් රුක්ෂානි බොරුවට කෙඳිරි ගෑවාය. කට කොණකින් සිනා වූ ලොකු මැණිකා ඇයව ගණනකට ගත්තේ නැත.

“තෙල් බේරෙනකන් කන්න හොඳ නෑ. බඩේ අමාරු හැදෙනවා.”

රුක්ෂානි දිව දික් කර ලොකු මැණිකාගේ පිටුපස සිට ඇයට ඇද කරයි. චූටි මැණිකා කට අතින් වහගෙන සිනාසෙයි.

“පාටියක් දාන්න ලෑස්ති වෙන්න කියන්නයි ආවේ.”

“රුක්ෂානි බේබිගෙ උපන්දිනේට තව කල් තියෙනවානෙ.” ලොකු මැණිකා කියයි.

“එහෙනම් නොදා ඉමු.” රුක්ෂානි ඇස් නටවා චූටි මැණිකා දෙස බලයි.

“නෑ ඉතින්…බේබිට ඕන නම් පාටියක්….” තම වාක්‍යය අවසානයට පෙර ඇය රුක්ෂානි හා චූටි මැණිකා අතර කෙරුන රහස් ඉඟිබිඟිය දුටුවාය.

“මොකක්ද ඒ ගමන දෙන්න එක්ක කරන්න හදන්නෙ?”

දෙමාපියෝ නැති ගෙදර රුක්ෂානි ගෘහ මූලිකයා වුවද ලොකු මැණිකා තවමත් ඇයගේ බාරකාරයාය. ලොකු මැණිකා අකමැති නම් යමක් කළ නොහැකිය.

“හේතුවක් ඕන නෑනේ. මගේ කැම්පස් ඉන්න අළුත් යා‍ළුවෝන්ටත් එන්න කියල දාමු පාටියක්.”

මෙතෙක් දිනක් කිසිදු උත්සවයක් නැති හෙයින් ලොකු මැණිකා සිටියේ ද එතරම් සතුටකින් නොවේ. රුක්ෂානිගේ දෙමාපියෝ ඉන්නා දිනවල ඇය විවිධ කෑම වට්ටෝරු සාදයි. රාත්‍රී භෝජන සාදයන් සඳහා දවස් ගණන් කල් ියා ලක ලැහැස්ති වෙයි. ලොකු මැණිකා සිය රැකියාවෙන් මහත් තෘප්තියක් ලබන්නීය. මීට කලින් මේ ගැන සිතා නොබැලීම ගැන රුක්ෂානි තමන්ට දොස් පවරා ගත්තීය.

“මොන පාටියක් ද දාන්නෙ?” ලොකු මැණිකා අහන්නේ නව පණක් ලද්දියක සේය.

“මොනවත් වැඩිය කරන්න අවශ්‍ය නෑ. ඔය ශාන්ති විහාර් එකෙන් වඩේ ගෙනැත් බියර් බෝතල් ටිකක් ඇරියම ඇති.”

ඇස් ලොකු කරන් බලා ඉන්නා ලොකු මැණිකාට ඇස් නටවමින් රුක්ෂානි කවට බස් දොඩන්නීය.

“කඩෙන් කෑම අරන් දාන පාටි මං ඉන්නකන් මෙහෙ නෑ බේබි.” ලොකු මැණිකා තරව‍ටු කළාය.

ලොකු මැණිකාගේ ඉඟවටා එක අතකින් බදාගෙන අනෙක් අතෙන් නිවී යන්නට පෙර වඩේ අහුරක් අල්ලට ගත් රුක්ෂානි ඇයට හසු නොවන්නට මුළුතැන් ගෙයින් පැන ගත්තාය.

“බඩු ගෙනත් තියා ගමු. මම යාළුවොන්ගෙන් අහන්නම් රෑට කන්න එන්න පුළුවන් ද කියල.” රුක්ෂානි උණු වඩේ කට ඇතුලට ඔබමින් ලොකු මැණිකාට ඇසෙන්නට කීවාය.

ලොකු මැණිකා ඇඳ සිටි චීත්තය තදකර ගැට ගසා ගත්තේ භාර දූර කර්තව්‍යයකට මුල පුරන්නා සේය. මෙතෙක් ඇය කෑම බීම සකස් කර ඇත්තේ කොළඹ හතේ නෝන මහත්තෙලාට පමණි. ඊට වඩා වෙනස් අයුරකින් විශ්ව විද්‍යාල සිසුන්ට දෙන කෑම සකස් විය යුතුද? රුක්ෂානිගේ පියා තනිවම ගෙදර සිටිය දී කන්නට කැමැත්තේ කිරි කොස්, කරවල බැදුම්, පොල් සම්බෝල හා රතු හාලේ බතින් පිරි කෑම වේලකි. අගුණ කොල මැල්ලුමටත් ඔහු හරි කැමතියි. එවැන්නක් සකස් කිරීම හොඳ යයි ලොකු මැණිකා සිතුවාය. බොන්න පළතුරු බීම තිබුනම ඇති. රුක්ෂානි බේබි බියර් ගේන්න කියලා හරි විහිළු තමයි කරන්නෙ යැයි ලොකු මැණිකා සතුටෙන් සිතීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: