Sinhala story Blog

ජනවාරි 25, 2010

2.6 -වික්‍රම පරකඩුව ඔයාගෙ තාත්තා!?

Filed under: Uncategorized — sinhalashortstories @ 12:36 ප.ව.

“සුදු දුව, ඔය හයි හීල්ස් දාගෙන කොලෙජ් යන්න ද?”

ප්‍රීනි ඇවිදින විට සිමෙන්ති පොළවෙ ටකස් ටකස් ගාලා එයා දාගෙන ඉන්න පාවහන් වලින් එන සද්දෙ ඇහනවා.

“අද දවසෙම ඉන්නෙ කොලෙජ් එකේ අම්මි. කැම්පස් යන්නෙ නෑ.”

“වෙඩින් එකට දැම්මට ඕක දාගෙන දවසෙම ඉන්න පුළුවනැයි?”

“අපරාදේ ගෙදර තියාගෙන නිකං දූවිලි බැ‍ඳෙනවා. මේ ගවුමටත් මැච් වෙන නිසා දාන්න හිතුවා අම්මි.”

“හේතු සාධාරණයි. තීන්දුව විත්තිකාරයාගේ වාසියට දෙන්නම්.”

ප්‍රීනිගෙ අප්පච්චි එහෙම කියාගෙන සාලයට ආවේ පත්තර ගොඩකුත් කිහිළි ගන්නා ගෙන. උදේ පාන්දර රේඩියෝවේ බණ අහල ඉවර වුනාම අප්පච්චි පත්තර ටික සේරම කියවල තමයි දවසෙ වැඩ පටන් ගන්නෙ.

ප්‍රීනි පරක්කු වෙලයි කොලෙජ් ආවේ. පංති පටන් ගන්න ඔන්න මෙන්න බස් එකෙන් බහිද්දිම. අප්පච්චිගෙන් උදව් අරගෙන ප්‍රශ්නයකට උත්තර හොයා ගන්න ගිහින් තමා ප්‍රමාද වුනේ. ගුවන් විදුලියේ බණ අහලා ඉවර වෙන තෙක් අප්පච්චි එක්ක කතා කරන්න බැහැ. සමහර දවසක පොත් දහයක් පෙරළල හොයන්න වෙන උත්තරය අප්පච්චිට මතකයෙන් පොත, පිටුව, වගන්තිය පවා කියන්න හැකියාව තියෙනවා.

නීති විද්‍යාලයට ඇතුල් වෙන කොට කාර් වලින් ඇවිත් බහින කොළඹ කූල් ටූර් කෙල්ලන්ගෙ කොට ගවුම් වලින් නිරුවත් වෙන කලව දිහා බලන්න ත්‍රී රෝද රථ රියැදුරන් පාර දෙපැත්තෙ හිනා වෙවී ඉන්නවා දැකල ප්‍රීනිට හරි තරහයි. ‍මෝඩ කෙල්ලො හිතන්නෙ නව මෝස්තර ලෝකයේ එයාල ඉස්සරහින් ඉන්නව කියල. පාරේ තොටේ මිනිස්සු හිනා වෙන බව දන්නෙ නැහැ එයාල. රුක්ෂානි හිටියා නම් කියාවි ඕන කෙනෙකුට ඕන ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕන, අකැමති නම් නොබල ඉන්න කියල.

විද්‍යාලය ඇතුලට එනකොට ප්‍රීනිට පෙනුනා නවකයෝ එකිනෙකාගේ කන්පෙති වලින් අල්ල ගෙන උඩ පනිනවා. ඒ නීති විද්‍යාලයේ තියන එකම එක ඩිංගන් තණ පිස්සෙ. පුරුදු පරිදි එතන කොරිඩෝව බකට් කරපු වතුර වලින් තෙමිල. ලිස්සල වැටෙයි බයට ප්‍රීනි සිරුවෙන් ඇවිද්ද එතැනින් යද්දී. බකට් කරන්නෙ ආදර සබඳතා පටන් ගත්ත අයව. විද්‍යාලයට ආපු ගමන් සතියෙන් දෙකෙන් ආදර සම්බන්ධතා පටන් ගන්න ආකාරය ප්‍රීනිට තේරුම් ගත නොහැකියි.

කාල සටහන නොබලා ප්‍රීනි ඇතුල් වුනේ වැරදි පංතියට. කෙල්ලො ඉස්සරහ වාඩි වෙන නිසා ‍ෙහාඳයි. වැරදි පංතිය කියලා දැනගත් ගමන් ඇය නැඟිටලා පංතියෙන් පිට වූවාය. කෙල්ලෝ වැරැද්දකට නිතැතින්ම උසුළු විසුළු නොකරති. පිරිමි පක්ෂයට එසේ කට වසා සිටිනු බැරිය.

ප්‍රීනි පොත් හා ෆයිල් කවර බෑගය ඇතුලට නොදා ඒවා අත් දෙකින්ම පපුවට තද කරගෙන නිවැරදි පංතිය සොයා තරප්පු පෙළ දිගේ උඩට දුවන්නට විය. ප්‍රීනි ඇඳ සිටියේ තියුණු සිහින් දිගු අඩි ඇති පාවහන් යුවලකි. එය විවාහ මංගල්‍ය උත්සවයකට යන්න ගත්තකි. කඩිමුඩියේ දිව ගිය වේගයට සපත්තුවේ අඩිය තරප්පු පෙළ වසා වැතිරුණ කොහු කාපට් එකේ පෙරළුණි. ඇය අත තිබූ පොත් හා ෆයිල් කවර සී සී කඩ විසිර ගියේය. කරණමක් ගැසූ කල මෙන් ඇයව නිල් හා කොළ පැහැති කැටයම් ටයිල් වලින් සැරසුන පෘතුගීසි සමයේ රටාවන් පිරි බිත්තියේ හැපී තරප්පුව නැඟ ආ කෙනෙකුව ද පෙරලා ගෙන ඔහු මත ඇද වැටුණි.

“සමන්ත මොකද මචං. දැන් කොල්ලො එක්ක පිනුම් ගහන්න ඉගෙන ගන්නවද?”

නිති ශිෂ්‍යයෝ වට කරගෙන කතා කරන්නෙ කොල්ලට. ප්‍රීනිට වස ලැජ්ජාව. එතැනින් ගිය එකම ගෑණු ළමයෙක් වත් නැවතුනේ නැහැ එයා ගැන අහන්න. ඒ මදිවට බිත්තියෙ එල්ලා තියෙන පින්තූර රාමුවක ඉන්න ප්‍රින්සිපල් ගුණසේකර ප්‍රීනි දිහා රවාගෙන ඉන්නවා.

“ඔයාට තුවාල ද?”

කටහඬ දිහා හැරුණම මේ එදා කොළඹ කැම්පස් එකේ දී යහළුවන් වටකර ගෙන සිටි රුක්ෂානි දන්නවා කියපු කෙනා යයි ප්‍රීනි හඳුනා ගත්තාය. ඔහු තමාව හඳුනා ගත් බවක් නොපෙනේ. ප්‍රිනිව පඩියක ඉන්දවා හෙතෙම නැඟිට ගත්තේය.

ඔළුව දෙපැත්තට වනා කිසිම තුවාලයක් නැතැයි කියා පෑව ද ප්‍රීනි තවම කකුල් දෙකින් සිට ගත්තේ නැත. සමන්තත් ඔවුන් වටා රොක් වුනු ඔහුගේ සගයින් සියල්ලෝමත් ප්‍රීනිගේ පොත්පත් සියල්ල ඇයට එකතු කර දුන්හ.

සමන්ත ඇයට අත දිගු කරගෙන සිටියි. තමා තවමත් පඩියේ වාඩි වී සිටින බව ඇයට වැටහුනි. කොල්ලෙකුගේ අතින් කවදාවත් අල්ලා නැති ප්‍රීනිගේ හිත තදින් ගැසෙයි. ඔහු අත අල්ලනවා වෙනුවට තරප්පුවේ ගැට්ට අල්ලා ගෙන ඇය නැඟිට ගත්තාය.

“තෑන්ක්ස්,” ඇය පොත් පත් ලබා ගැනීමට අත පෑවේය.

“ඔයා ෆස්‍ට් ඉයර් නේද? ලෙක්චර්ස් පටන් අරන්. දැන් ගියොත් බැනුම් තමා. එන්න කැන්ටිමට යන්න. මං ගානේ ස්වර්ණක්කාගෙන් තේ අරන් දෙන්නම්,” සමන්ත කියයි.

“මචං අපිට තේ අරන් දෙන්න අහන්නෙ නෑ නේද?” පොත් පත් අහුලන්න උදව් කරපු කොල්ලො ටික එකා දෙන්නා බැගින් විසිරිලා ගියා.

“තේ එපා.”

“මොනවද බොන්නෙ?” ඔහු යළිත් අසයි.

තරප්පු පෙළේ ඇද වැටුනේ තම වරදෙනි. ඔහු හිතන්නේ එය ඔහුගේ වරදක් කියා ද? පොත් තවම ඔහු අතය. එබැවින් එතැනින් පැන යෑමට ද නොහැකිය. ඇය වටපිට බලමින් පැකිළෙද්දී සමන්ත කැන්ටිම දෙසට ගමන් කළේය.

“වඩේ තියනවා ද සුනිල් අයියා?” සමන්ත කැන්ටිමේ ඇතුල් කාමරයකට ඔළුව ඔබයි.

“සමන්ත මල්ලී…අපිව නොදැක ඉන්න බෑ වගේ.”

සමන්ත වාඩි වුනේ මේසය මත. සුනිල් අයියා පත්තරයක් දිග ඇරගෙන. මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූවරුන්ගේ ඡායාරූප රැසක් එහි පිටු පිරෙන්නම. සමන්තගේ ඇස් ඇදිලා ගියෙත් සුනිල් අයියගෙ දෙනෙත් යොමු වෙලා තිබුන පැත්තටමයි.

තමාව අමතක වෙලා යයි සිතූ ප්‍රීනි හෙමිහිට මඳක් එහාට මෙහාට හැරුණාය.

“මෙයාට බොන්න බීම බෝතල් මොනවද තියෙන්නෙ ස්වර්ණක්කෙ?”

“අලියා, ෆැන්ටා, මොනවද ඕනා?”

ස්වර්ණක්කා අත් දෙකින්ම ලිප මත ඇති භාජනයක් හැඳි ගාන්නීය. ඇයගේ කතාව මිහිරිය. ස්වර්ණක්කාත් සුනිල් අයියාත් නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහත් දයාවකින් සලකති.

“ප්ලේන් ටී එකක් බොන්නම්,” ප්‍රීනි කිව්වේ ඇය කවදාවත් නොකියන සිහින් හඬකිනි.

පත්තරයෙන් ඔළුව එස වූ සමන්තගේ මුවෙහි හිනාවක් පැතිරුණි.

“සමන්ත මල්ලිගෙ තාත්තලාගේ කාලෙයි මෙයා කොලෙජ් එකේ හිටියෙ. ඊට පස්සෙ එංගලන්තෙ ඉගෙන ගන්න ගියා. අපිට පෝස්ට් කාඩ් හිටන් එව්වා එහෙන්. හරි දක්ෂයි. හොඳ මොළකාරයා.”

තේ කෝප්පය අතට ගන්න ගිය ප්‍රීනිත් දැක්කා පත්තරේ තිබුන ඡායාරූපය. සුනිල් අයියා පෙන්නුම් කරන්නෙ තමන්ගෙ අප්පච්චිව.

“මේ මගේ අප්පච්චි,” හිතන්නෙ බලන්නෙ නැතුව ප්‍රීනිට කියවුනා.

“වික්‍රම පරකඩුව ඔයාගෙ තාත්තා!?” සමන්තගෙ මුහුණ සතුටින් පිරිලා.

“මම ඔයාලගෙ ගෙදරත් ඇවිත් තියෙනවා.”

“තාත්තාව අපිත් මතක් කළා කියන්න,” තවත් වැඩක් පටන් ගත්ත ස්වර්ණක්කා කීවාය. ඇයට හවුල් වන්නට සුනිල් අයියා ද පුවත්පත සමන්ත අතට දී පුටුවෙන් නැඟී සිටියේය.

“මෙතනට මෙච්චර කලක් එන්නෙ නීතීඥයින්ගෙම දරුවෝ. රටේ අනිත් අය දන්නෙවත් නැහැ නීති විද්‍යාලයට ඇතුල් වෙන්නෙ කොහොම ද කියලවත්. නීති වෙනස් කරන්න පරකඩුව සර් හොඳටම මහන්සි වුනා. ඇතුල්වීමේ විභාගය ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙයි සිංහලෙන් දෙන්නත් පටන් ගන්න කොච්චර සටනක් කෙරුවද?”

සමන්ත තවත් දේවල් ගොඩාක් දේවල් කියාගෙන කියා. ප්‍රීනි කිසිම බාධාවක් නොකර අහගෙන හිටියා සමන්ත කතා කරන හැටි. එයා නීතීඥයෙක් පමණක් නොව දේශපාලනයටත් සුදුසු කෙනෙක් යයි ප්‍රීනි සීතිය. සමන්ත කතාවේ දී පැහැදිලි ලස්සන වචන භාවිතා කරන්නට සහජ හැකියාවක් ඇත්තෙකි. වැඩි වෙලාවක් යන්න මත්තෙන් ඔවුන් වටා පුටු ඇදගෙන ලොකු කල්ලියක් එකතු වූහ.

හැම අවුරුදුවලම ඉන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සමන්ත හඳුනති. කැන්ටිමට ආ සෑම කෙනෙක්ම වාගේ ඔහු දැක එම මේසය ළඟට පැමිණ කතා කරති. කලබලයෙන් යන කෙනෙක් ඔහු උරහිසට තට්ටුවක් දමා “පස්සෙ හමුවෙමු මචං,” කියාගෙන යයි.

ඊ ළඟ කාල සීමාවේ යෙදෙන්නට ඇති දේශනය පටන් ගන්න ඔන්න මෙන්න තිබිය දී ප්‍රීනිට එය මතක් වුනි. සමන්ත ඔහු අත තවමත් තබාගෙන සිටින්නේ තම පොත් ගොන්න මතය.

“සමන්ත, මගේ පොත්.”

තමාට හරියාකාරව වාක්‍යයක් කියා ගන්නට ද බැරිය. එක කොල්ලෙක් ඉස්සරහ මෙහෙම නම් කොහොමද උසාවිය ඉදිරියේ තමන් නීතීඥවරියක් වෙන්නෙ? කොහොමද ජූරිය ඇමතීම වැනි තරඟයකට අත දාන්නෙ? ප්‍රීනි සිතුවේ කළකිරුණු සිතකින්. ගැහැණු පාසැලක සැමදා ඉගෙන ගත් හෙයින් ලද පාඩුව මෙය යැයි ඇය සිතින් තර්ක කළාය. මෙය වහාම වෙනස් කරගත යුත්තකි. ඉදිරියේ ලද අවස්ථාවල හැමෙකකම පිරිමි ආශ්‍රයට පුරුදුවී සබකෝලය නැති කරගත යුතු යයි ප්‍රීනි අදිටන් කරගත්තාය.

පොත් ඉල්ලා ගෙන දේශන කාමරයට යද්දී තමා රුක්ෂානිගෙ යෙහෙළියක් බව සමන්තට නොකී බව ප්‍රීනිට මතක් වුනි. එය‍ා හිටිය ගෙදරට අල්ලපු ගෙදර අයව තමා අඳුනන බව නොකීවාට කමක් නෑනේ.

ප්‍රතිචාර 7 »

  1. ප්‍රීතිත් ගොඩයයි වගේ නේද? 😛

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 25, 2010 @ 10:19 ප.ව.

  2. සුනිල් අයිය මැරිල නේද ? D
    විහිළුවක් කළෙ’.. කතාව ගලාගෙන යනව කියවන්න ආස හිතෙන විදිහට. අදයි මම මේක දැක්කෙ. දිගටම ලියන්න. ජයවේවා !

    ප්‍රතිචාර විසින් සු — පෙබරවාරි 9, 2010 @ 12:57 පෙ.ව.

    • සුනිල් අයියා හා ස්වර්ණක්කා අද ජීවතුන් අතර ඉන්නවා ද නැද්ද කියා නොදනිමි. මේ පොතේ මුද්‍රිත කොපි ඒ දෙන්නට ලෝ කොලෙජ් ළමයෙක් අත යැව්වා. ඔයා ලෝ කොලෙජ් ගිය සුලේඛා ද? ඔයා ලියන බ්ලොග් වල තියෙන සාරවත් බව නිසා එහෙම හිතුනා. මම වැරදි නම් සමාවෙන්න. මගේ විවාහයට පෙර නම අරුණි සමරසිංහ. මගේ පංතියෙ හිටපු යාළුවා නම් ඊමේල් එකක් එවන්න. arunishapiro@gmail.com

      ප්‍රතිචාර විසින් sinhalashortstories — පෙබරවාරි 9, 2010 @ 8:46 පෙ.ව.

  3. අරුණි,
    මං හැම බ්ලොග් එකක්ම ලැබෙන විදිහට කියවනවා. පහුගිය කාලෙ විවේක මදි වුණා. මේකත් දැක්කෙ අහම්බෙන්. ඒත් කියවනවා. මම සුලේඛා නෙවෙයි.. අවුරුද්දකට දේශන 4,5කට වඩා ගිහින් නැති නිසා මාව ළඟින් ඇසුරු කළ මගේ වසරේ අය නැහැ. ඔයාගේ කතාව කියවනකොට හුරු පුරුදු ‍පාරවල් ඔස්සේ ඇවිදන් යනවා වගේ දැනෙන නිසයි එහෙම ඇහුවේ. ඕපන් එක, නැබ් එක විතරක් නෙවෙයි ඉස්සර පීචම දිගේ මතක ගොඩක් ඔළුවට එනවා… ඔයා ලියන්න දක්ෂ නිසයි ඒ..අපිට අපේ වගේ දැනෙන්නේ…ඔව් සුනිල් අයියා මැරුණා. ස්වර්ණා අක්කා වයසට ගිහින්..තාමත් අර ලොකු තොප්පිය දාගෙන වැඩ. මං මේ දිනව්‍ල යනවා නඩුවක සාක්කි කාරියක් විදිහට. එයා කිවුවා “ඔයාල ඉන්න කොට වගේ නෙවෙයි දැන් හවස් වෙද්දි කවුරුත් නැහැ මේකෙ…කැරම් බෝඩ් පාළුවෙලා කියලා” :D.. මං අන්තිමට යන දවස ළඟයි. එදාට ඔයාගෙ පොත ලැබුණාද කියලා අහන්න තිබුණා. ඒත් දැන් ඒ ගේට්ටුවට තහංචි දාලා.. රජ කුමාරයාගෙ විභාග ලියවිල්ල පත්තරවල ගියාට පස්සේ….

    ප්‍රතිචාර විසින් සු — පෙබරවාරි 12, 2010 @ 1:31 ප.ව.

  4. මේ කතාව සින්ඩිකේටර් එකේ තියෙනවා දවස් කීපයක්ම දැක්කා.

    අනේ මගේ අවාසනාවට ඒක බලන්න එන්න බැරි උනා. (තරහා වෙන්න එපා . . කතාවකට / බ්ලොග් පෝස්ට් එකකට ආකර්ෂණෙය නමක් තියෙන්න ඕන බව මට පසක් කලේ මේ කතාව – කොයි තරම් ලස්සනට ලිව්වත් පෝස්ට් එකට ලස්සන නමක් නැතිකම අඩුවක් කියලා මට පසක් කලේ මේ බ්ලොග් එක . . විස්වාස කරන්න . . . )

    අද මට අහම්බෙන් හිතුනා කෑම කන ගමන් මේකේ කොටසක් කියවන්න ඕන කියලා. කෑමෙන් පැය 2කටත් පසුව එක දිගට මුල ඉඳන් ඔක්කෝම කියවගෙන ඇවිත් මම මේ කොටසේ නතර වුනේ තේ එකක් බොන්න කියලා . ..

    කරුණාසේන ජයලත්ගේ පොත් වල තියෙන සංවේදී බව මම මේ කතාව පුරාම දැක්කා. සුනේත්‍රාගේ කතාවල වගේ ගතියකුත් දැනුනා. තිලක කුඩාහෙට්ටිගේ කතාවලට සමාන කමකුත් දැනුනා. සෝමා ජයකොඩිගේ සමහර පොත් වලට වඩා ගොඩක් ඉස්සරහින් කියලත් හිතුනා.

    කොහොම නමුත් මගේ හදවත වෙව්ලවන්න පුලුවන් විදිහට ලියන්න පුලුවන් කමක් තියෙන කෙනෙක් . . . ලියපු දෙයක් දැකලා මාව වෙව්ලුවා. . .. විස්වාස කරන්න . . . මේකේ ඉතුරු ටික පස්සේ වෙලාවක කියවන්න හිත හදා ගගන්නේ කැමැත්තකින් නෙමෙයි. ඒත් රාජකාරී වැඩක් නිසා නොකරම බෑ. අද මම මගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්න හිත හිතා ආවේ ඒත් මේඅ කියවලා ඉවරවෙන කම් මට කිසි දෙයක් කර ගන්න බැරි වෙයිදෝ කියලා හිතෙනවා.

    හදවතේ ගැඹුරුම තැන්වලට වදින ලෙස තාම සාර්ථක ලෙස ලියවුනු කතාවක් කියලා මම මේ කතාව හඳුන්වන්න කැමතියි . . .

    ඔබට ජය

    ප්‍රතිචාර විසින් දුකා — අප්‍රේල් 20, 2010 @ 6:20 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.