දුරකතනය දිගින් දිගටම නාද වෙයි. අනික් අයට ඇහෙන්නෙ නැද්ද මන්ද? බොහොම අමාරුවෙන් ඇස් ඇරලා ඔළුව උස්සලා කණ්ණාඩි මේසය මත තියෙන ඔරලෝසුව දිහා බැලුවම එහි වේලාව උදේ දහයයි කියල සටහන් වෙලා තිබුණ.
රිසීවරය කවුරුත් ගන්නෙ නැති පාටයි. තවත් නිදා ගන්න බැහැ සද්දෙත් එක්ක. ඇෙඳන් බැහැලා ගියේ ගෙදර ඉන්න අනිත් අයට මොකද වෙලා තියෙන්නෙ කියලා හොයන්නත් එක්ක. ඉස්සර වෙලාම කරච්චල් කරන ටෙලිෆෝනය නවත්වලා ඉන්න ඕන.
“හලෝ!”
“ගුඩ් මෝනින්! සංජීවනී ඔයා තාම නිදිද?”
“කවුද මේ?”
“රුක්ෂානි. හෙටවත් කැම්පස් එන්න පටන් ගන්නවද?”
සංජීවනී රිසීවරය දිහා බැලුවෙ ප්‍රශ්නයට උත්තරය ඒක දෙයි කියල වගෙ. විශ්වවිද්‍යාලයට යන්න අනේක සංඛ්‍යාවක් මහත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. නමුත් සංජීවනී කවදාවත් හිතුවෙ නැහැ ඒ අයට අතරට එක් වෙන්න.
“හලෝ…හලෝ…සංජීවනී?”
“ඉන්නවකො ළමයො පොඩ්ඩක්…”
සංජීවනී ලොකු ඈනුමක් ඇරිය. අනිත් පැත්තෙන් නොඉවසිල්ලෙන් දඟලන රුක්ෂානිගෙ කලබල ගතිය ටෙලිෆෝන් වයර් එක දිගේ ගලා ගෙන ඇවිත් සංජීවනීටත් දැනුණ.
“එන්නම්. එන්නම්. අර රෙජිස්ට්‍රේෂන් වැඩත් කරන්න වෙයි නේද?”
“ඒකයි මම කතා කළේ. කොහෙදීද මීට් වෙන්නෙ? මං එක්කන් යන්නම් සේරටම හෙට.”
“තෑන්ක්ස් රුක්ෂානි.”
දැන් එනවා කියපු නිසා යන්නම වෙනවා. මෙච්චර දවසක් කල් දැම්මට හැමදාම කල් දාන්නත් බැහැ. එක අතකින් විශ්වවිද්‍යාලයට තේරිච්ච එක සැඟවුනු භාග්‍යයක්. නැත්නම් මෙලහටත් අර එංගලන්තයෙ ඉන්න මනුස්සයට බන්ඳල දීල ඇති. තාත්තගෙයි අම්මගෙයි යාළුවෙක් සිරිලාල්. එයාගෙ අයියගෙ පුතා එංගලන්තයෙ දොස්තර කෙනෙක්. දැන් බඳින්න හොයනවා ලංකාවෙ කෙල්ලෙක්ව. “ගඟ අද්දර” හිටපු එකාට වගේ එහෙ සුද්දියෙක් ඉන්නව ද දන්නෙත් නැහැ.
සංජීවනී තවමත් දෙමාපියන්ට තම ප්‍රේම සම්බන්ධය ගැන කියා නැත. ඔවුන් ඔහුට අකැමති වන බවට කිසිම සැකයක් ද නැත. ඒ නිසා මොනවා කියන්න ද? අනෙක කවදාවත් එවැනි දෙයක් ගැන කතා කරන්නට තරම් ඇය සිය දෙමාපියන් හා ළඟ ඇසුරක් ද නැත්තේය. කල්පනාවේ නියැලී කොට්ටයක් ළමැදට තුරුල් කරගත් ඇය චානුක ගැන සිතුවේ මුහුණේ ඇඳුනු සිනහවත් සමඟ.
ඔවුන් දෙදෙන හමුව ඇත්තේ ඉතා සුළු අවස්ථා කිහිපයක දී පමණය. ප්‍රථම හමුව ගැන කවදා හෝ ඔහුට කිව යුතුය. චානුක තවමත් සිතන්නේ එය අහම්බෙන් වූ සිද්ධියක් කියාය. ඒ හමුව ප්‍රමෝදයෙන් පිරි සිතින් ඈ යළි යළිත් ආවර්ජනය කරන්නට වූවාය.
කරදරකාරී දුරකතනය නැවතත් නාද වෙයි. තුන් හතර වතාවක් නාද වුනත් පෙර පරිදිම කිසිවෙක් එය ගත්තේ නැත. ඉස්සෙල්ලා නැඟිට්ට වෙලාවෙ ගෙදර අනිත් මිනිස්සු ගැන සොයා බලන්නට සිතුව ද එය නොකළ බව ඇයට මතක් වුනි.
“හලෝ!”
“හලෝ චූටි. ඔයා තාමත් ඇෙඳ් නේද? මං ගැන නේද හිත හිතා හිටියෙ?”
“චානුක!” ඇය රිසීවරය අතින් වසා වටපිට බැලුවාය. පෙනෙන මානයක කිසිවෙක් නැත.
“හරි වැඩේ තමයි අම්මා හරි තාත්තා හරි ගත්තා නම්.”
“එහෙනම් අහනවා දෝණි කැන්දන් යන්න ද කියලා.”
“ඒ දෙන්න එක්ක විහිළු බෑ.”
“විහිළුවක් නෙෙම්. ඇත්තටම අහනවා. ඒක නෙමේ. මම ලියල එව්ව දවසට කතා කරන්න වෙන්නෙ නැහැ. ඒකයි අද කතා කළේ. නැත්නම් ඔයා මාත් එක්ක තරහ වෙයිනෙ.”
“කැම්පස් වැඩ ගොඩද?”
“පංතිත් තියෙනවා. ඒකට වඩා… කාණ්ඩයක් එනවා ලංකාවෙන්. ඒ අයව එක්ක ගෙන එහෙ මෙහෙ යන්න තියෙනවා.”
“ඔහෙ ඉඳලත් දේශපාලනය ද?”
“ඒවා අත අරින්න බෑනේ චූටි.”
මඳ වෙලාවක් ආදර බස් තෙපලමින් ඔවුන් දෙදෙන දුරකතනයේ රැඳී සිටියෝය. සංජීවනීට ඔහු ලිපි ලියන්නේ කෙල්ලකගේ නමෙනි. පාසැලේ සිටි යෙහෙළියක් දැන් පිටරට යැයි ඇය දෙමාපියන්ට කියා සිටියාය. නිතර ගෙදර නැති දෙමාපියෝ ඇයට එන ලිපි කන්දරාව දැක්කා නම් සැක සිතනු නිසැකය.
චානුක බලයේ සිටිනා ඇමතිවරයෙකුගේ පුතෙකි. ලංකාවේ විශ්වවිද්‍යාලයට වරම් නොලද හෙයින් පිටරට අධ්‍යාපනය සොයා ගිය අතරට එක් වූ අයෙකි. යන්න බලා හිටිය කෙනාට ලැබුනෙ නැහැ. හීනෙකින් වත් යන්න නොහිතපු සංජීවනීට අවස්ථාව පෑදුනා.
සංජීවනීගේ දෙමාපියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලද අයයි. ඔවුනට ඉහළ අධ්‍යාපනය ගැන කැමැත්තක් හෝ අකමැත්තක් නොතිබුණි. ඒත් එයින් තම සමාජ තත්වයට ලකුණු වැටෙනවාට සතුටු වූහ. සංජීවනී කැමති නම් තවත් ඉගෙන ගන්න යයි ඔව්හු කීහ. එංගලන්තයේ සිටින මනමාලයා ද ඇය තව දුරටත් ඉගෙන ගන්නවාට කැමත්ත පළකර සිටියේය. විවාහය සම්බන්ධයෙන් කිසිවක් ස්ථිර නොවුන ද ඒ සඳහා කාලය ලබා ගනු වස් ඇය ද කැම්පස් ජීවිතය පටන් ගන්නට අදිටන් කළාය.
නාන කාමරයේ වතුර වැක්කෙරෙන හඬට ඇයගේ නිදන කාමරයේ දොර අරින හඬ මැකී ගියේය. වැරැද්දක් කළ අයෙකු මෙන් නාන කාමරයට ඔළුව දැම්මේ ගෙදර මෙහෙකාරියයි.
“බේබි?”
“ඇයි?”
“ඊයෙ රෑ ඩ්‍රැයිවර් වත්තෙ ඉඳලා ආවා. නෝන මහත්තෙල කාණ්ඩෙම සෙනසුරාදා වෙයි කිව්වා එනකොට.”
“හා.”
“අදත් තේ බොන්නෙ නැද්ද?”
“නෑ. මීට පස්සෙ තේ හදන්න එපා මට. දත් කහට වෙනව තේ බිව්වම.”
සංජීවනී බනින්න හිතුනට බැන්නෙ නැහැ මෙහෙකාරියට දුරකතනය ගත්තෙ නැති එකට. කොල්ලෙක් කතා කළා කියල අනිවාර්යෙන්ම අම්මාගේ කනේ තියනවා මෙයා.
හිමිහිට දොර අඩවන් කළ මෙහෙකාරිය මුළුතැන් ගෙය වෙත ගියාය. මෙහෙමත් මෝස්තර. ඉටිරූපේ වගේ ලස්සනයි. තව මොනවා ඕනද? ලස්සන රැක ගන්නයි කියල තේ ඩිංගක්වත් නොබී ඉන්න පුළුවනැයි. ඇය සිතුවේ ද්‍රවිඩ බසින්.
ප්‍රතිචාරයක් ලබාදෙන්න