Sinhala story Blog

ජනවාරි 20, 2010

බ්‍යාමප්‍රභාව 2.1 -කොහෙ යන්න ද මාර්ච් කළේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:26 පෙ.ව.

“වම, දකුණ, වම…හරක් ගාල වගේ දුවන්නෙ නැතුව පිළිවෙලකට අඩිය තියල පලයව්.” ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගෙන් විධානයක්.

ප්‍රීනි පරකඩුවගේ මුහුණ තරහෙන් පිපිරෙන්න ඔන්න මෙන්න. ජීවිතේට කවුරුත් පළයව් කියල නෑනේ එයාට. කවුදෝ කෙනෙක් වැලමිට ළඟින් අත දාලා ප්‍රීනිව ඇදල ගත්ත ළමයි ගාලෙන්.

ඔරලෝසුවේ තත්පර කටුවටත් වඩා හයියෙන් හදවත ගැහෙද්දි ගඩොල් බිත්තියක ඇති ගහකින් සැඟවුනු දොරක් ඇරලා එයාව ඇතුලට තල්ලු කළා අතින් අල්ල ගත්තු කෙනා.

“හානේ රුක්ෂානි ඔයා!”

රුක්ෂානි මහ ලොකු වීර ක්‍රියාවක් කළා වගේ සතුටෙන්. නවකයන් පංති පටන් ගන්න මේ දවස්වල විශ්ව විද්‍යාලය ඇතුලත ඇත්තේ අමුතුම වාතාවරණයකි.

“කොහෙ යන්න ද මාර්ච් කළේ?”

“පුස්තකාලයට. එක ලෙක්චර් එකක් ඉවරයි. අනික තව පැය එක හමාරකට පස්සෙ.”

“මේක ඇතුලෙ හිටියොත් ෂුවර් එකට රැග් වෙනවා. අපි යමු කැම්පස් එකෙ‍න් එළියට.” රුක්ෂානිගෙන් යෝජනාවක්.

ප්‍රීනියි රුක්ෂානියි හමු වුනේ ගොඩ කාලෙකට පස්සෙ. සිතූ පැතූ පරිදි නීති විද්‍යාලයටත් ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයටත් ඇතුළු වන්නට ප්‍රීනි වාසනාව ලැබ සිටියාය. රුක්ෂානි අවුත් සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයටයි.

රුක්ෂානි දොරවල් ඇරගෙන කාර්යාල මැද්දෙන් ප්‍රීනිගේ අතින් ඇදගෙන ගමන් කරන්නට වින. කාර්යාල සේවකයන් සමහරු ලිපි ගොනු දිහා ඇසිපිය නොහෙලා බලාගෙන. අනික් අය තැන් තැන් වල හිටගෙන බර කතා. මේ කඩිමුඩියේ දුවන ගෑණු ළමයි දෙන්න ගැන කිසිවෙක් හෙව්වෙ බැලුවේ නැහැ. එහෙන් මෙහෙන් රිංගල ගිහින් දෙන්නම එළියට ආවේ කැම්පස් එකේ ඕපන් කැන්ටිම ළඟ ගේට්ටුව ළඟටම ඇවිත්.

“ඔයා කොහොමද මේ ෂෝර්ට් කටි හොයා ගත්තෙ?”

ප්‍රීනි නැඟුව ප්‍රශ්නෙට රුක්ෂානි ඇහි බැම නටවලා හිනා වුනා මිසක් දුන්නෙ නැහැ පිළිතුරක්. දෙන්නම ගේට්ටුවෙන් එළියට පැන ගත්තෙ තවත් නවක වදයෙ යෙදෙන ජ්‍යෙෂ්ඨ සිසුවන්ට අසු නොවී.

“කොහෙද යන්නෙ අපි? බස් හෝල්ට් වලත් රැග් දෙනවා.” ප්‍රීනි තවමත් ඉන්නෙ තරමක නොසන්සුන් බවකිනි.

“වටපිට බලන්නෙ නැතුව, කැම්පස් හැමදාම ඇවිත් ඒක හරි කරදරයක් වගේ මූණ හදාගන ඔහොම දිගටම යමු. ඉස්සරහ පාරේ අයිස් ක්‍රීම් ෂොප් එකක් තියෙනවා. එතන ඉන්නෙ ආදරවන්තයෝ. එයාලට රැග් කරන්න වෙලාව නැහැ.”

මුහුණින් නොපෙන්නුවාට රුක්ෂානිගෙ දඟකාර කටහඬ නම් වෙනදා වගේමයි. එයා කියන දේ කරන්න අකැමති වුනත් කැම්පස් එකේදි අහගන ඉන්න වෙන ජරා කතා තව දුරටත් ඉවසන්න බැරි තරමට ප්‍රීනිගෙ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් තිබුණෙ.

සීතල අවන්හල ඇතුලට ආවම ඇතුලේ මඳ අන්ධකාරයට ඇස් පුරුදු වෙන්න දෙන්නම දොර ළඟ පොඩ්ඩක් හිටගෙන සිටියහ. එතැන සුන්දර තැනක් කියල ප්‍රීනිට වහාම තේරුම් ගියා. රුක්ෂානි වැඩි දවසක් ගෙව්වෙ පිටරට. ඒත් මෙයා දන්න තැන්. අයිස් ක්‍රීම් තෝරන්නම පැය භාගයක් ගියා දෙන්නටම.

දෙන්නා එක්ක අසුන් ගත්තෙ දොර ළඟින්ම තිබුණු ආසනවල. ඇතුලට වෙන්න හිටියෙ පෙම්වතුන් එකිනෙකාගේ කනට කොඳුරමින්. පව්නෙ එයාලට කරදර කරන්න. රුක්ෂානි ඇතුලෙ ඉන්න කෙනෙක් දෙන්නෙකුට අතත් වනනවා. කොහොමද මේ සතිය‍ට දෙකට මෙයාලව අඳුරන්නෙ?

“ඔයා දන්නව ද එයාලව?”

“මෙතෙනට නිතර යන එන අය. කතා කරල නැහැ හැමෝම එක්ක. ඒත් නිතර දකිනවා.”

රුක්ෂානි හිනා වෙවි කියන්නීය. එයා ඕන කෙනෙක් එක්ක කතා කරයි. ගෙදරකට ගියොත් ඒ ගෙදර බල්ලා එක්කත් කතා කරලයි එන්නෙ කියල ඉස්සර හසන්ති කියනවනෙ.

“හසන්තිටයි සංජීවනීටයි කොහොමද දන්නෙ නෑ.” ප්‍රීනි තම සිතුවිලි ගමන් ගත් මාර්ගය හෙළි දරව් කළාය.

“හසන්තිට මුල දවසෙම සෙට් වෙලා ටියුෂන් පංති වලට එකට ගිය කාණ්ඩයක්. හැමෝම එකටමයි හැම තැනම යන්නෙ. නිකම් ඉන්න වෙලාවක් නැහැල්ලු එයාලට.”

“සංජීවනී?”

“එය‍ා ඇ‍ෙඳන් නැඟිටිනවද දන්නෙත් නෑ දැන්. තව සති දෙකකින් විතර ලෙක්චර්ස් එනවලු.”

“ඉතින් අපරාදේ මිස් වෙනවනෙ මුල හරිය.”

“බෝට්ටුවෙන් හරි කැම්පස් එන්න එයාට ලැබුනෙ ස්පෝට්ස් කරපු නිසයි, ඉංග්‍රීසි විෂයයක් හැටියට ගත්ත නිසයි. ඒකටත් යාන්තම් පාස් එකක් විතරයිලු තියෙන්නෙ. කැම්පස් යන්න බලාගෙන හිටිය කෙනෙක් නෙවෙයිනෙ.”

සීතල අයිස් ක්‍රීම් ගොඩක් ඉක්මණින්ම කටට දා ගත්ත හින්දද කොහෙද සියුම්ව ඔළුවේ වේදනාවක් ක්ෂණයෙන් ඇවිත් ආ වේගයටම නැතිව ගියා. ප්‍රීනි ඇඟිලි තුඩු වලින් නළල දෙපැත්ත පිරි මදින්නට වූවාය.

“මොළේ මිදිලා!”

“ආ..?”

“එකපාරටම සීතල ගොඩක් බඩට ගියාම මොළේට දරා ගන්න බෑ.” රුක්ෂානි පැහැදිලි කරන්නට පටන් ගති.

ප්‍රීනි නළලින් ඉවත් කරපු ඇඟිලි තුඩු වලින් කොණ්ඩ කැරලි දෙක උරහිසෙන් පිටුපස්සට දාල කඳ කෙළින් කරල පුටුවෙ හරි බරි ගැහුණ.

රුක්ෂානිගෙ මුහුණෙ දඟකාර හිනාව ඉහවහා ගිහින්. ඉස්කෝලෙ යන කාලේ පටන් ප්‍රීනි ඇබ්බැහිව සිටි කොණ්ඩය පසු පසුට දැමීමේ ක්‍රියාව ගැන රුක්ෂානි කොපමණ සැරයක් ඇයව සරදමට ලක් කර ඇත්ද?

ප්‍රීනි ලැජ්ජාව වහගන්න අත් ඔරලෝසුව දිහා බැලීය. මමත් ගිහින් වැටෙන්නෙ මේ වගේ වලකටමයි. ප්‍රීනි සිතුවාය.

“කවුද ඔයාගෙ යාළුවා?”

කඩවසම් තරුණයකුගේ අතේ එල්ලී ගත් රූමත් තරුණියක් ඔවුන්ගේ මේසය අසල හිටගෙන.

“මේ ප්‍රීනි. ප්‍රීනියි මායි එක ඉස්කෝලෙන් ආවෙ. මේ දිනූෂි. මේ අනුක්.”

“හලෝ!” ප්‍රීනි හෙමිහිට මැතුරුවා.

රුක්ෂානියි ප්‍රීනියි දෙන්නම ගියෙ අගනුවර ප්‍රසිද්ධ ගැහැණු පාසැලකට. දෙන්නම පවුලෙ එකම ළමයි. ඒත් දෙන්නගෙම සමානකම් එතැනින් නැවතුනා. පාසැලත් ගෙදරත් අතර දිවිය ගෙවූ ප්‍රීනි පිරිමි ළමුන් හා මෙතෙක් ජීවිතයේ වැඩි කතාබහක් කර තිබුණේ නැත. ඇයට විශ්ව විද්‍යාලය අළුත්ම ලෝකයකි.

“තව ලෙක්චර්ස් තියේ නම් අපිත් එක්ක යමු.” අනුක් ආරාධනා කළේය.

ආපසු එන ගමනේ රුක්ෂානි ආදරවන්තයෝ දෙන්නා එක්ක කතාව. පංතියෙ කෑ කෝ ගහල බොස් යයි නම් දරාපු ප්‍රීනි කිසිම සද්දයක් නැතුව ගියා ඒ තුන් දෙනත් එක්ක.

“උඹලා වගේ සත්තු නිසා අපිට කෙල්ලෙක් අඳුර ගන්නත් නෑ.”

ගහක් යට රැස් වෙච්ච ළමයි කාණ්ඩයක් මැද්දෙ ඉන්න කොල්ලෙක් අනුක්ට මහ හඬින් දොස් පවරයි. අනුක් හිනාවෙලා වෙදැඟිල්ලත් මැදැඟිල්ලත් විහිදලා ‘සාමය මචං’ කියාගෙන ගියා.

අනුක් හරියට නළුවෙක් වගේ කියල ප්‍රීනිට හිතුන. මඳක් ඈතට ගියාම අනුක් පහදල දුන්නා ඒ ගහ යට රැස් වෙලා සිටි අයගේ දේශපාලනය ගැන. එයාල නවක ව‍දයේ නියැලෙන්නේ කැම්පස් දේශපාලනයට නව සාමාජිකයෝ සොයා ගන්නයි.

“ඌ හොඳ එකා. අනික් අය කොහොම වෙතත්. නීති විද්‍යාලයෙයි මෙහෙයි දෙකේම ඉගෙන ගන්නෙ. තාත්තා හිටපු ඇමති කෙනෙක්.” අඳුන්නලා නොදුන්නට අනුක්ගෙන් ලොකු විස්තරයක් ලැබුණ.

“මං සමන්ත දියනන්දනව දන්නවා.” රුක්ෂානි තරමක් බර කටහඬකින් කීය. “එයා අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ ඉස්සර. දැන් මම හිතන විදියට ලෝ කොලෙජ් එකෙන් අවුට් වෙන්න ළඟයි.”

“බලන්න දිනූෂි කොල්ලො අපිට බනිනවා, අන්තිමට මෙයාල උන්ව දන්නවත් එක්ක.”

අනුක් දිනූෂී එක්ක සුහද නෝක්කඩු කියයි. ප්‍රීනි සමන්තව දන්නෙ නැහැනෙ. ඒත් ප්‍රීනි ඇරෙන්න අනික් තුන් දෙනාට ඒක මතක් වුනේ නැහැ.

එයාල ප්‍රීනිව දේශන ශාලාවේ දොර ළඟටම ඇරලූහ. ප්‍රීනිගේ පිටි පස්සෙන්මයි ආචාර්යවරයාත් දේශන ශාලාවට ඇතුල් වුනේ.

“මට ලෙක්චර්ස් නැහැ. මම ගෙදර යනවා.” රුක්ෂානි පෙම්වතුන් දෙදෙනාට ස්තූති කරල විශ්ව විද්‍යාල භූමියෙන් පිට වූවාය.

“පුදුම ළමයෙක්. හරිම හිතවත්.” කියූ අනුක් දිනූෂිගේ අතින් අල්ල ගෙන ආයෙත් ඔවුනොවුන්ගේ සොඳුරු ප්‍රේම ලෝකයට ඇතුල් වූහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: