Sinhala story Blog

ජනවාරි 19, 2010

විරාමය 3 -අපි කියන දේ එයා කරන්න ඕන

Filed under: Uncategorized — sinhalashortstories @ 8:05 පෙ.ව.

“සර් කියන්න සර්ගෙ පක්ෂය මොකක්ද කියල.”

“දැන් කිව්වනෙ මිස්ටර් මට ඇති පක්ෂයක් නැහැ.”

“ඒ වුනාට පහුගිය ආණ්ඩුව කාලේ සර් කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කළා නේද?”

“පහුගිය ආණ්ඩුවේ මිනිස්ටර්ලාත් එහෙනම් කට්ටිය එක්ක වැඩ කරල දැන් ආයෙත් මිනිස්‍ටර්ල වෙලා ඉන්නෙ. එයාලත් වැරදිද?”

“හරි. හරි. සර් නීතිය දන්නවා. අපි ඔය නීති රීති දන්නෙ නැහැ. ඒත් සර්. මට දැන් රස්සාව ලැබිලා තියෙන්නෙ අලියට පින් සිද්ද වෙන්න. මට රාජකාරිය කරන්න ඕනා..”

“…නීතියට අනුකූලව මිසක් පක්ෂයක පැත්ත අරන් නෙමේ,” යයි වේගයෙන් පවසමින් තම සේවකයාගේ වාක්‍යය අවසන් කළ නීතීඥවරයා තම මේසය මත වූ ලිපි ගොන්නත් රැගෙන කාමරයෙන් පිටවන්නට ලක ලැහැස්ති විය.

“මම ඇවිල්ලා එහෙම ඇහුවට තරහ වෙන්න එපා සර්. මම සර්ට කැමතියි. ඒත් අකැමති අය මේ ඔපීසියේ ගොඩක් ඉන්නවා. සර්ගෙ පක්ෂය මොකක්ද කියල දන්නෙ නැතුව ඒ අය ඉදිරියේ සර්ගෙ සයිඩ් එක ගන්න බෑනෙ.”

“සයිඩ් ගන්නෙ නැතුව තමන්ගෙ රාජකාරිය කරන්න. මං වෙනුවෙන් කතා කරන්න මට පුළුවන්. මම නීතීඥවරයෙක් හැටියට දිවුරුම් දීලා ඉන්නෙ.”

“සර්ගෙ කැමැත්තක්.”

කලබලකාරී උසාවියෙන් ඈත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව ඇති කථිකාචාර්ය තනතුරට ඉල්ලන්න යයි තම බිරිඳ උදේ හවා කියන්නීය. බිරිඳට ළඟදී ලැබෙන්නට තිබුණු මහේස්ත්‍රාත් පදවිය ද ටික කලක් යනතුරු කල් දමා ඇති බවට නිල ලිපියක් තැපෑලෙන් ලැබුණි. දුවගේ අනාගතය ගැන ද සිතිය යුතුය. තමාට වැඩි මෙහෙයක් ඉටු කළ හැක්කේ කොතැනක සිට ද?

*****

අඹ ගහ යට වලක් හාරන්නට තම සැමියා සමඟ ඇය එක් වුවද ජීවිතේටම උදැල්ලක් අතින් ඇල්ලුවේ අදය. ලෑලි පෙට්ටගමක් වල දාන්නටය දෙදෙනා මෙසේ වල හාරන්නේ.

“අපි පොලිටික්ස් වලට සම්බන්ධ නැහැ.”

“එහෙනම් ඇයි අපේ ගෙදර ජනෙල් වීදුරු වලට ගල් ගහලා කඩලා දැම්මෙ?”

“ඒවා ඉතින් කඩා දාපු අයගෙන් අහන්න.”

“මට ඔය මිනිස්සු හොයාගන යන්න බැහැ ඒවා අහන්න. මගේ ඩැඩියි මමියි මාව ඔයා එක්ක එව්වෙ ඔයා මාව බලා ගනිවී කියල.”

“ඒකනෙ ළමයෝ අපි එදා ඔබරෝයි එකේ හිටියෙ.”

“ඒ එදානෙ. දැන් මට බයයි තනියම එහෙ මෙහෙ යන්න. මඟදි කාර් එකට ගහන්න ආවොත්?”

“එහෙම කරනවද? ඉලෙක්ෂන්ස් දවස්වල ජොලියට කරපුවා ඔය ගල් ගැහිලි. දැන් ඔක්කොම හරි. ඔන්න දුව අරගෙන යන්න කාර් එකෙ. තනියම යන්න බය නම්. එතකොට හරි.”

“අයියෝ එහෙම කරන්න පුළුවන්ද? අනික දූට කැම්මැලි හිතේවි අපේ ලේඩිස්ල කතා කරන දේවල් අහගෙන ඉන්න ගියාම.”

“එහෙනම් ඔයාට තියෙන්නෙ කවුරු හරි තනියට කෙනෙක් ගන්න එක. නාකි අම්මණ්ඩි කෙනෙක් ගන්නෙ නැතුව ලස්සන කෙල්ලෙක් ගන්න. හොඳ පඩියකුයි, ලස්සනට අඳින්නයි අරන් දුන්නම ඔයා යන හැම තැනම එක්කගෙන යන්න පුළුවන්. වැඩේ හරිනෙ.”

“දුවගෙ වයසේ කාව හරි හොයන්නත් ඕනා ද එයා එක්ක යන්න.”

“පිස්සු කතා කියන්න එපා. එයා එක්ක යන්න කවුරුත් ඕනා නැහැ. එයාව දැන් හැමෝම දන්නවානෙ. තනියම යන්න අරින්න. ඩ්‍රයිවින් ස්කූල් යැව්වෙ වෙන මක්කටද? අනික කොහෙවත් වැඩිය නොගිහින් ඉන්න තරමට හොඳයි එයාට.”

“ඇයි ඒ?”

“සිරිලාල්ගෙ අයියාගෙ පුතා එංගලන්තෙ මෙඩිසින් කරල ඉවර වෙන්න ළඟයි. මෙහෙන් බඳින්න කෙනෙක් හොයනවා. පරම්පරාවට, තත්වෙට ගැලපෙන. සිරිලාල් මගෙන් නිකමට ඇහැව්වා දූගේ වයස එහෙම. දැන් ඔය රඟපෑමෙන් අයින් වෙන්නත් කාලේ හරි.”

“තවම දහ හතයිනෙ අනේ.”

“ඔයා මං ළඟට ආවේ දහ හයෙන්.”

“ඒ ඒ කාලෙනේ. ඔයා ඇහුවද දුවගෙන්.”

“මොනව කියනවද ඔයා. එයාගෙන් අහල නෙමේ මම වැඩ කරන්නෙ. අපි කියන දේ එයා කරන්න ඕන.”

“මගේ ඩැඩියි මමියි නම් මගෙන් ඇහුවා ඔයා ගැන.”

“තමුසෙ මට අකැමති වුනේ නැහැනෙ,” ජයග්‍රාහී සිනහවකින් පැවසූ ඔහු පෙට්ටගම වල තුලට අත හැරියේය.

නව රජය අලුතින් මුදල් අච්චු ගසන්නට ලක ලැහැස්ති වෙති. මෙතෙක් කල් ආදායම් බදු නොගෙවා සඟවාගත් මුදල් නෝට්ටු පාවිච්චිය නතර කරන්නටයි ඒ. උදැල්ලක් ජීවිතේට අතින් අල්ලා නැති මේ දෙදෙනා රාත්‍රියේ හොර රහසේ මෙසේ ලක්ෂ කිහිපයක මුදල් නෝට්ටු වළලා දැමුවේ ද ආදායම් බදු නීති රීතීන්ගෙන් ගැලවෙන්නට. ආධාර ලෙස එය පරිත්‍යාග කිරීමට ද දෙදෙනා අකැමතියි. දන්නා හඳුනන යහළු මිත්‍රාදීන් රජයට ගතු කියතැයි ඔවුනට සැකයකි. දානපතියන් නොවන නිසා දුප්පතුන් අතර බෙදා දිය හැකි යයි සිතට එන්නේ නැත. පසු කාලයක ප්‍රයෝජනයට ගතහැකි යයි සිතා මෙසේ මුදල් වළලා දමන්නට දෙදෙනා ඒකමතිකව තීරණය කළහ.

******

පහුගිය අවුරුදු තුන ගෙවී ගියේ නොදැනුවත්වම. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉහළ පංති වලට ගියහ. කෙනෙක් දෙන්නෙක් තමා හදාරන්නට කැමති විෂයයන් මොනවා දැයි දැන සිටිය ද සමත් වූ වැඩි දෙනා ගුරුවරුන්ගේ හෝ දෙමාපියන්ගේ බල කිරීම මත විද්‍යා විෂයයන් අධ්‍යයනය කරා ගියහ.

වසර දෙකකින් උසස් පෙළ හදාරන ශිෂ්‍ය පරපුර විශ්වවිද්‍යාල අධ්‍යයනය ගැන පෙරුම් පිරූහ. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සුපුරුදු පරිදි දිගින් දිගටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. දුෂ්කර පළාත් වලින් උසස් පෙළ සමත් වන්නන්ට ලෙහෙසියෙන් උසස් අධ්‍යාපන දොරටු ඇරේ යයි දැනගත් අය කොළඹින් බැහැරව ගම් පළාත් හි වෙසෙන ඥාතීන් සොයා ගියහ.

රට පුරා හතු පිපෙන්නාක් සේ ටියුෂන් පංති පැතිරිණ. සාමාන්‍ය පෙළ විභාගය සේම උසස් පෙළ ද කළබලයකින් තොරව නිමාව දැක්කේය. ප්‍රතිඵල ලැබෙන තෙක් සුළු කාලයක් ළමෝ ගෙවල් වලට වී කාලය ගත කළහ.

උසස් පෙළ සමත් නොවූ කිහිප දෙනෙක් රට පුරා ඇතිවෙමින් පැවතුන පුද්ගලික පාඨමාලාවන් අධ්‍යයනට ලියා පදිංචි වූහ. ගැහැණු ළමයින්ට තිබුනේ සීමිත විකල්පයන් පමණි. රැකියාවක් ගැන සිතන්න අ.පො.ස. උසස් පෙළ නැතිව බැරිය. වෙන කරන්නට දෙයක් නැත්තෙන් වයස දහසය දහහත වත්ම විවාහ ජීවිතයට දෑවැදි අරන් ඇතුළු වූ අය ද අපමණය.

“මොන වියදම් තියෙයි ද දන්නෙ නෑ ඔය විශ්වවිද්‍යාලෙට ගියාම.”

“නිදහස් අධ්‍යාපන‍යනේ. ඉස්කෝලේ වගේම වෙයි.”

“ඇඳුම් ටිකක් ලේස්ති කරගන්නත් වෙයි.”

“මහපොළ කියල අළුතින් ශිෂ්‍යත්වයක් එනවා. ඒක ලැබෙයි මට.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: