Sinhala story Blog

ජනවාරි 17, 2010

12 බඩගින්න තමා විප්ලවයට මුල

Filed under: Uncategorized — sinhalashortstories @ 7:51 ප.ව.

“හසන්ති එන්න ඔයා අපිත් එක්ක ඔස්ට්‍රේලියා යන්න.”

හවස් වරුවේ ලංසි වත්තේ ළි‍ෙඳන් නාගෙන එන හසන්තිට මිස්ටර් ඩිලෙනිගෙන් ආරාධනාවක්.

“ආ..හලෝ ඩිලෙනි අන්කල්!”

“ආච්චි කිව්වද අපි ලබන සතියෙ සිඩ්නි යනවා. එහෙ ඉන්නමයි යන්නෙ. මගේ බ්‍රදර් දැන් එහෙ. හසන්ති යමු අපි එක්ක.”

මිස්‍ටර් ඩිලෙනි හිටියෙ සතුටින්. ඔහු දන්නා හඳුනන බර්ගර් ජාතික හිතවත්තු සහ නෑදෑයින් සියල්ල දැන් හිටියෙ පිටරට. ක්‍රමයෙන් වෙනස් වූ රටේ නීති රීති සිංහල බෞද්ධ නොවන අයට මදි පාඩුකම් ඇති කළහ. පිටරට යන්නට නීතියෙන් ඉඩ කඩ ලැබුනු වහාම හසන්තිගේ පංතියේ හිටපු අම්රන්ති, කාමන් හා රොමේන් යන අය ද ඔවුන්ගේ පවුල් සමඟ පිටරට වලට සංක්‍රමණය වුනහ. මේ අතර සිංහල බෞද්ධ යයි කියාගත් පිරිසට ප්‍රශ්න නොතිබුණා නොවේ. පිටරට යන්නට රටේ වසා තිබූ මායිම් ඇරුනේ දේශපාලනයේ වැරදි කරපු තමන්ගෙ පක්ෂයේ අයට යටිමඩි ගහ ගත්තු සල්ලිත්  අරන් රටෙන් පැන ගැනීමට ඉඩ සලසා දීම සඳහා බව දත්තෝ ටික දෙනෙකි.

ආහාර හිඟයෙන් පෝලිම් වල කල් ගෙවන්නට හැමටම සිදුවිය. චන්දයට තරඟ කරන විපක්ෂය වැඩි වැඩියෙන්ම කතා කළේ ඔවුන් ආණ්ඩු බලයට පත් වූ වහාම ලබා දෙන සහනාධාර ගැනය. බඩගින්නේ විප්ලව කරන්න අමාරුයි. ඒත් බඩගින්න තමා විප්ලවයට මුල් වෙන්නෙ.

******

“කෑම බීම ටිකක් ගෙනැල්ල තියා ගත්ත නම් හොඳයි රානී. චන්දෙ දවසෙ මිනිස්සු ගෝරි දා ගන්න ඉඩ තියෙනවා.”

“අප්පච්චි ස.තො.ස. පැත්තෙන් ගිහින් බඩු අරගෙන එන්නකො.”

“රානී, මට පෝලිම් වල ඉන්න වෙලා නැහැ. ඔයා ඒ ටික බලාගන්න. කාට හරි ගානක් දුන්නම පෝලිමේ තැන තියා ගනියි. ටැක්සියකින් බඩු ගේන්න. අද මට කාර් එක ඕන. මීටින් දෙතුන් පළක තියෙන්නෙ.”

“සුදු දුවේ….සුදු දුවේ…”

“ඇයි අප්පච්චි. මම මේ අප්පච්චි ළඟ.”

“ආ දුව ඉන්නවා දැක්කෙත් නැහැ. මේ දවස් ටිකේ ගෙදරින් පිට කොහේවත් යන්න එපා. ඉස්කෝලෙ නිවාඩු දීපු දවසේ ඉඳල ඉලෙක්ෂන් පහුවෙනකම්ම. ලයිබ්‍රරි ගිහින් පොත් අරගෙන එන්න දැන්මම.”

“හොඳයි අප්පච්චි. අප්පච්චිට පුළුවන් වුනොත් ගැසට් ගෙදර අරගෙන එන්න.”

“හොඳයි සුදු දුවේ. හැබැයි පාඩම් වැඩ කරගන්නත් අමතක කරන්න එපා ඕවා කියවන්න ගිහින්.”

*******

රටේ ප්‍රශ්න වැඩි වෙද්දී, පාර තොටේ මිනිසුන් රණ්ඩු වෙද්දී, අතේ මිටේ යහමින් සල්ලි තියන අයට නමි ජීවන රටාවේ වෙනසක් වුනේ නැහැ.

“ලොකු මැණිකා. මට ආසයි අද ඉස්සො වඩේ කන්න. අපි හදමු ද?” රුක්ෂානිගේ ගෙදර මුළුතැන්ගෙහි ඇත්තේ දිවයිනේ බාගයකට වඩා ජනතාව ජීවත් වෙන මුළු ගෙයම හා සමාන වර්ග අඩි ප්‍රමාණයකි. මුළුතැන් ගෙයි රැජින ලොකු මැණිකාය. එදිනෙදා ආහාර වේලක් සඳහා කුමක් උයන්නේ දැයි ඇය තීරණය කළාය. කෑමට පිට කවුරුන් හෝ එන්නේ නමි පමණක් ඇය උයන පිහන දේ මොනවාදැයි අසන්නීය.

අද ලොකු මැණිකත් රියැදුරු තැනත් රණ්ඩු අල්ල ගෙන. දෙන්නා කතාබහත් නතර කරල. ඉතින් රුක්ෂානිගෙ මූලික කාර්යය වූයේ ඒ දෙන්නව සමාදාන කරන එක. ලොකු මැණිකා හා කිව්වෙ නැතිනම් රියැදුරා යවන්න බැහැනෙ ඉස්සො අරන් එන්න.

රුක්ෂානිගේ මවත් පියාත් දෙදෙනාම මේ දවස්වල කාර්ය බහුල ජීවිත ගත කරති. ආපසු රට යෑමට සූදානම් වන නිසා සිය ව්‍යාපාර කටයුතු වල සූක්ෂම පරිපාලනය ඔහු රටේ නැතිවද හොඳ හැටියට කෙරෙන ආකාරයට සූදානම් කරයි. තමා දන්නා හඳුනන අනිත් ප්‍රභූවරුන්ගේ ආර්යාවන් සමඟ තේ සාද වලටත්, විදේශ තානාපති කාර්යාල වලින් ඇරයුම් කෙරෙන සමුගැනීමේ සාද වලටත් සහභාගී වීමට රුක්ෂානිගේ මව කාලය හා ශ්‍රමය වෙහෙසුවාය.

පාසැල් නොයන දින වල ලොකු මැණිකා හා එක්ව නොයෙක් ආහාර හදන්න රුක්ෂානි ඉගෙන ගත්තේ කතන්දර පොත් කියවලම ඇස් රිදෙන නිසා. අනික ලොකු මැණිකා ගෙන් එයාල හැදුන වැඩුන තේ වත්තෙ කතන්දර අහන්නත් රුක්ෂානි හරි කැමතියි. සංජීවනීගේ ගෙදර ගියාට පස්සෙ ද්‍රවිඩ කෑම ගැනත් රුක්ෂානි අහ දැනගත්තෙ ලොකු මැණිකාගෙන්. ලොකු මැණිකාගේ පියා සිංහල. රුක්ෂානිලගේ තේ වත්තක කංකානම්ව හිටිය කෙනෙත්. අම්මා එයාල පොඩි කාලෙම නැතිවෙල. පියා මැරුණට පස්සෙ ගෑණු ළමයි තුන් දෙනාට කොළඹ ඇවිත් තම නිවසේ වැඩ කරනවද කියල රුක්ෂානිගෙ ඩැඩී අහල. ලොකු මැණිකා තමයි තීරණය අරන් තියෙන්නෙ කොළඹ එන්න. තේ වත‍්තෙ කතන්දර රස කරල කියන්න ලොකු මැණිකට පුළුවන්.

******

පාසැල් ගියාම නිදා ගන්න හපන් සංජීවනී ගෙදර දීත් ඊට වැඩි දෙයක් කළේ නැහැ. එය‍ාගෙ අම්මයි තාත්තයි නිතරම ගෙදරින් පිට ගිහින්. වැඩ කරන කා එක්කවත් කතා කරන්න තහනම් නිසා සංජීවනී කාලය ගෙව්වේ ගෙදරත් නිදා ගෙනමයි. පොත් පත් කියවන්න, ගුවන් විදුලිය හෝ සිංදු අහන්න ඇය කාලය වැය කළෙත් නැහැ.

රූ ලාවන්‍ය වැඩි කර ගන්න හැකි ක්‍රම අත්හදා බලන්න ඇය ආසයි. මුහුණ සුන්දර කරන ආලේපන හෝ තොල් සායම් දාගෙන පාසැලට එන්න ශිෂ්‍යාවනට තහනම්. ඒත් ළඟක දී සිට ලා පැහැති පාට වර්ග වලින් කිසිවෙකුට නොදැනෙන ආකාරයට තම රුව දියුණු කරන ආ‍ෙල්පන යොදන අත්හදා බැලීම් සංජීවනී කරගෙන ගියාය. රුක්ෂානි වරක් දෙවරක් සංජීවනී දෙස කුතුහලයෙන් බැලුව ද අමුත්ත මොකක්දැයි සොයා ගත්තේ නැත. වර්ණ රහිත නිය ආලේපන ගල්වා පාසැලට ගිය සංජීවනීට ගුරුවරුන්ගේ උකුස් ඇස් වලින් බේරී සිටීමට හැකිවිය. ඉතින් ඇයගේ කාලය තවත් වැඩි වුනේ රූප සොභාව තවත් ලස්සන කරන්න.

සාමාන්‍ය පෙළ විභාගය පටන් ගත්තේ මැතිවරණ කළබලයත් සමඟ. කළකෝලාහල නිසා විභාගේ කල් යයි යන අපේක්ෂාවෙන් පාඩම් කල් දැමූ අයගේ බලාපොරොත්තු සුන් කරමින් කලට වේලාවට විභාගය පැවැත්වුනි. රුක්ෂානි හා සංජීවනී විභාග අවසන් වූ වහාම ගෙවල් බලා ගිය ද, ප්‍රීනි හා හසන්ති ප්‍රශ්න පත්‍රයට ලියූ උත්තර සාකච්ඡා කරන කොටසට අයත් වූහ. විභාගය පැවැත්වුනේ සති දෙකක කාලය තුල. යාන්ත්‍රික රූකඩ වගේ ළමයින් විභාග ශාලාවට පැමිණ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ආපසු ගියහ. අනාගතය තීරණය කෙරෙන්නේ මෙම සති දෙකෙන් ද?

රටේ මැතිවරණය පැවැත්වුනේ පොලිස් හා මැරවර පිරිස් අතර වූ ගැටුම් මැ‍ද්දේ. චන්දය දෙන්නට එන අයට තාඩන පීඩන කරන්නට මැරවර පිරිස් සංවිධානව සිටියේ කොළඹට නුදුරින් වූ පළාත්වල. රටට ජාතියට හෝ සමාජයට කිසිදු සේවයක් ඉටු නොකරමින් වටිනා මිනිස් ජීවිත එදා නැති විය. නීති හදන දේශපාලන බලවතුන් සුඛෝපභෝගී ගෙවල් වල චන්ද ප්‍රතිඵල එන තෙක් සාද පැවැත්වූහ.

පුද්ගලික තරහ පිරිමහ ගන්නට අවස්ථාවාදී වූ අය ද අපමණය. ඔල්වරසන් මැද්දේ රතිඤ්ඤා පත්තු කර ජයග්‍රහණය සැමරූ අළුත් ආණ්ඩු පාක්ෂිකයෝ පැරදුන පැත්තේ ගෙවල් වලට ගඩොලකින් දමා ගැසීමට ද අමතක කළේ නැත.

ප්‍රීනිගේ පියා දේශපාලන පක්ෂයකට හේත්තුව නොසිටියත් මැති ඇමතිවරු හා ගැවසි සිටි නිසත්, යමක් කමක් හරි හම්බ කරගෙන තිබුන නිසත්, දවස ගෙව්වේ නොසන්සුන් ලෙසය. අහල පහල අයට නීතිමය කටයුතු සඳහා උදව් පදව් දී තිබුනෙන් ඔවුනට කරදරයක් නොවීය.

දේශපාලනයට සම්බන්ධ නොවුන ද සංජීවනීලාගේ ගෙදරට ‍ගඩොල් මුල් කිහිපයක්ම වැදී ජනේල ද බිඳුණි. ඒ ඔවුන් හැමෝටම අහංකාරකම් පෙන්වමින් සිටි නිසාය. සංජීවනී සිය දෙමාපියන් සමඟ තරු පහේ හෝටලයක ලැගුම් ගෙන සිටියාය.

ආච්චි හා එක්ව අහල පහල රේඩියෝ වලින් නොනැවතී ඇසෙන මෙතෙක් කල් තහනම් කර තිබූ ගී සිංදු අසම්න් හසන්ති කාලය ගෙව්වාය. ඇය වසනා පරිසරයේ හයිකාරයා වූ සමූපාකාරාධිපති තැන සරමත් උස්සාගෙන කඩයේ පිටුපසින් පැන ගියේ ඔහු කළ හොර ජාවාරම් වලට මිනිසුන් පළිගනු ඇතැයි බියෙනි.

චන්දය පැරදුන පිරිස එය හේලීස් කොමට් වල්ගා තරුවේ වැරැද්ද යයි කීහ. චන්දය දිනූ අය වල්ගා තරුවෙන් හොඳ වෙනසක් වන බවට කළ අනාවැකිය නිවරද බව කීවෝය. දීප්තිමත්ව බැබළෙමින් අහසේ දිළිසුන වල්ගා තරුව බලන්නට කොළඹ ගෝල්ෆේස් තණ පිට්ටනියට වැල නොකැඩී ජනතාව පැමිණියේ ඒ සමඟම නව ආණ්ඩුවේ ජය සමරන්නටය.

අළුත් ආණ්ඩුවකින් රටට නිදහස හා නව ජීවයක් ලැබේ යයි රටවැසියෝ ප්‍රීති වෙද්දී රුක්ෂානි හා ඇයගේ මව මෙතෙක් යන්නට බැරිව සිටි ලන්ඩන් සාප්පු සවාරියේ නිරතව සිටියහ. කොයි පැත්ත දිනුවත් තමන්ට වාසි යයි කියා ගත් ව්‍යාපාරික ධනවතුන් අතර මැද ආනන්ද අතුරුපාන ද එංගලන්තයේ සුව පහසු හෝටලයක සාදයකට එක් වී උපන් රටට සව්දිය පිරුවේය.

Advertisements

ප්‍රතිචාර 5 »

  1. අද කොටසත් කියෙව්ව…

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 17, 2010 @ 8:01 ප.ව.

  2. නොස්ටැල්ජික් වින්දනයක් සඳහා ඔබේ කතාව කියවමි. මට හිතෙන්නේ ඔබ අපේ වයසේ හැටියට ඇන්ටි කෙනෙක් විය යුතුයි. දැන් සිංහල පත්තර වල මෙයින් 1/10ක වත් overall quality එකක් ඇති කතා පල වන්නේ කලාතුරකිනි.

    නමුත් මේ කතාව ලියැවෙන කාල පරාසය (60-70 ගනන් වල බව පෙනේ) තුල ඔබ *කීප වතාවක්* සඳහන් කළ හේලිගේ වල්ගා තරුව පායන්නට හැටියක් නැහැ. එය 1910න් පසු නැවත පෑයුවේ 1986 දීයි.

    ඔබෙ කතාවට ආසන්නම චන්දය තිබූ 1977 දී වල්ගා තරු:
    http://articles.adsabs.harvard.edu//full/1985QJRAS..26…81M/0000090.000.html

    ප්‍රතිචාර විසින් stormcrow — ජනවාරි 18, 2010 @ 12:45 පෙ.ව.

    • ඔව්. ඔබ හරි. 1986 දී තමා හේලීස් ආවේ. මම මේ කතාව පොතක් හැටියට පළ කළේ 2004 දී. එකේ ලිව්වා කතාව ඉතිහාසයට අනුව නිවැරදිව හා අනුකූලව ඉදිරිපත් නොකරන බව. ඒ ටික මේක පටන් ගද්දි සටහන් කරන්න අමතක වුනා. පායපු වල්ගා තරු සටහන් කළාට ස්තූතියි. ඇන්ටි කිව්වටත් ස්තූතියි. ඕන ආකාරයක හැඳින්වීමක් බාර ගන්නවා මේ වයසට යන කාලේ!

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජනවාරි 18, 2010 @ 8:37 ප.ව.

  3. මේකට පස්සේ මම කියවන්ට ඕනි මොකක්ද?

    ප්‍රතිචාර විසින් චතුරංග — නොවැම්බර් 23, 2014 @ 10:34 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: