Sinhala story Blog

ජනවාරි 17, 2010

11 එදා වගේම අදත් දැකුම්කළු බ්‍යාමප්‍රභාවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 11:38 පෙ.ව.

සතියකට වතාවක් නොවරදවාම පැවැත්වුනු නාට්‍ය පුහුණුවට සංජීවනී ආවෙ නැහැ.

එහෙත් ඇය කියා දුන් ආකාරයෙන් ළමයි නාට්‍ය පුහුණු වූහ. අමතක වූ තැන් සංජීවනී කිව්වෙ මෙහෙමයි කියා එකිනෙකාට මතක් කර ගත්හ. එහෙත් මුල දී නාට්‍ය උළෙලට තිබුණු උද්‍යෝගය දිනෙන් දිනම මඳ වීගෙන යයි.

“අරයා දැන් නාට්‍යයට ඉන්නව ද නැද්ද?” ප්‍රීනි රුක්ෂානිට මුලින් කතා කරන්නෙ ඉතා කලාතුරකිනි.

“කවුද අරයා කිව්වෙ?” රුක්ෂානි හොඳටම දන්නවා ප්‍රීනි අහන්නෙ කා ගැනද වග.

“අපේ නිළිය. සංජීවනී.”

“ඉන්න බැහැ කියල නැහැනෙ. ප්‍රැක්ටිස් එන්න අවශ්‍ය නෑනේ එයාට ඇක්ට් කරන්නත් ඩිරෙක්ට් කරන්නත් දෙකම පුළුවන්නෙ.”

“ඒ කියන්නෙ අපි දැන් කරන කිසි දෙයක් වෙනස් කරන්නෙ නෑ?…”

“අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නෙ. සංජීවනී ගෙන් අහන්න.”

ඒත් ප්‍රීනි සංජීවනී ගෙන් අහන්න ගියේ නැහැ.

ළමුන් සැවොම නාට්‍යයට ඇඳුම් පැළඳුම් සූදානම් කර ගත්හ. වේදිකාවේ පසුතල නිර්මාණයට මුදල් හා කාලය වැය වන්නෙන් සංජීවනී අදහස් කළේ ළමුන් ගස්, ගල්, පරිවත හා ප්‍රතිමා ලෙසින් සිටීමය. එයින් ළමෝ වැඩි ගණනක් නාට්‍යයට එක් කරගත හැකිවිණ. ඔවුන්ට වේදිකාවේ කතා බහක් කිරීමට ද අවශ්‍ය නොවුනි.  කෘතිම මල් ඔළුවේ රඳවා ගන්නා ආකාරයන් ගැන හා කතාවට ඔබින පුතිමා ගැන කතා බහ කෙරුවත් සංජීවනීගේ නිවසේ වූ ඒ පළමු හුරුව තරම් උනන්දුවකින් හා සතුටකින් පසු පැවති පුහුණු සිදු වූයේ නැත.

නාට්‍ය උළෙල පැවැත්වුනේ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේය. එදා පාසැල් දිනයකි. පාසැල් කාල වේලාව තුල පංතියේ ළමුන් සැමට එයට සහභාගී වීමට අවසර ලැබුණි. එහි යාමට පාසැලෙන් බස් රථ ද සූදානම් ව තිබිණ. ගැහැණු පිරිමි පාසැල් හැමෙකකින්ම ශාලාව පිරී ඉතිරී යන්නට පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණ සිටියහ.

මුල් ආසන පේලි හතරකට පමණ පිටුපසින් විනිශ්චය මණ්ඩලය අසුන් ගෙන ඇති බව රංගනයේ යෙදී සිටින කණ්ඩායම කැටුව ආ කුසුම් ගුරුවරිය වේදිකාවේ පිටුපසට අවුත් ඔවුනට දැන් වූවාය. ඇඳුම් මාරු කරගන්නට ලැබුනේ ඉතාමත් සුළු කාලයකි. තවත් පාසැලක අංගයක් ඉවර වූ සැනින් ඔවුනට වේදිකාවේ පිටුපස කාමරයන්හි දොරවල් ඇර දුන් ගුරුවරියෝ ගැහැණු ළමයි එක් පැත්තකින් ද පිරිමි ළමයි ඔවුන් ගෙන් වෙන්ව තබන්නටත් වගබලා ගත්හ.

කාමරයට ඇතුළු වූ හසන්තිගේ අත් සීතලය. උදේ අහරක් ද නොගත්තෙන් අහර දිරවන්නට ආමාශයට ගලා ආ ගෑස්ට්‍රික් අම්ලයට කරන්නට දෙයක් නොතිබුණෙන් බඩේ භූගරිද්මය අහළ පහළ අයට ඇහෙන්නට තරම් හයියෙන් හඬ නැඟුනි. බඩේ යමක් තිබුනා නමි අනිවාර්යෙන්ම දැනටමත් වමනය දමා හමාරය. ඇය වේදිකා චකිතයෙන් පෙළෙන බව වහා හඳුනා ගත් සංජීවනී හසන්තිගේ අතින් ඇද ඇයට කාමරයේ තිබූ විශාල කණ්ණාඩිය ඉදිරියේ වාඩි වන්නට සැලැස්වීය.

“ඇයි හසන්ති ඔළුවෙ කැක්කුමද?” තමා මුහුණ ඔප දමමින් සිටින කණ්ණාඩියෙන් ඔවුන් දුටු ප්‍රීනි ප්‍රශ්න කරයි.

“ඇයි? ඇයි?..” කලබල වූ රුක්ෂානි ද ඔවුන් අතරට ආවේ අතින් කටින් බඩු එල්ලගෙනම.

“ඇයි? මොකද ඔයාට වෙලා තියෙන්නේ ආ..ආ.. අපි නාට්‍ය කරන්නෙ නැද්ද ආ…?”

කවදත් කිසිම සංවරයකින් තොරව දුව පනින වජිරා එහෙම කියාගෙන එක පාරටම හැරුන ගමන් දඩාස් ගාලා රුක්ෂානිගේ ඇ‍ෙඟ් හැපුන. රුක්ෂානි අතේ කටේ එල්ල ගෙන ආපු බඩු සේරම සී සී කඩ විසිවෙලා ගියා.

“මොකද ළමයිනෙ මේ විසේ?”

පෙරළෙන, හැපෙන, ඇද වැටෙන සද්ද ඇහිලා කුසුම් මිස් දොර විවෘත කරල බැලුව. බඩු බිම පුරා හැම තැනම විසිරිලා. පියන් ඇරිලා බිම හැම තැනම ඉහිරුණ කුඩා පව්ඩර් පෙට්ටි. පොළවෙ හැපිල දෙකට කැඩුණු තොල් සායම් කරන වත්සුණු කෑලි. මූණේ ගාන ක්‍රීම් වර්ග රැගත් පුංචි බෝතල් බිම රෝල් වෙනව. ඇස් පාට කරන්න යොදා ගන්න පැන්සල් ඒ එක්කම තරඟයට බිම දුවනවා. ඒ මදිවට කුසුම් මිස් දොර ඇරියට තවත් කලබල වෙලා වජිරා හිටගෙන හිටියෙ රුක්ෂානිගෙ නාට්‍ය ඇඳුම මත.

කුසුම් ගුරුවරිය කාමරේ ඇතුලත තත්වෙ දැකලා නළලෙ අත තියාගන එහාටයි මෙහාටයි ඔළුව වැනුවෙ අදහා ගන්න බැරි පුදුමයකින්. ගෑණු ළමයි ටික දෙනෙකුට මෙහෙම කලබැගෑනියක් කරන්න පුළුවන් ද මේ තරම් සුළු කාලයක දී? හරියට අලි රැලක් කාමරේ මැද්දෙන් ගිහින් වගේ. කතාවක් බහක් නැතුව ඇය දොර ආපහු වැහැව්වෙ අත් ඔරලෝසුවට දබරැඟිල්ලෙන් තට්ටු කරල. දැන් අවවාද දෙන්න කාලයක් නැහැ.

දොර වහපු ගමන් සංජීවනී වජිරව තල්ලු කරගෙන ගිහින් එයාව පුටුවක ඉන්‍‍ඳව්වා වාඩිවෙලා හිටිය ළමයෙකුව අතින් ඇදල නැගිට්ටවලා.

“අපි තව මිනිත්තු පහෙන් වේදිකාවේ. එතකන් ඔයා නැඟිටින්නෙ නැහැ ඔතනින්.” ඇඟිල්ලක් උරුක් කරල සංජීවනී වජිරට කිව්වෙ හයියෙන් නෙමෙයි. ඒත් හරිම තද ස්වර‍යකිනි.

“රුක්ෂානි ඇහිඳින්න බිම වැටිච්චි සේරම. ප්‍රීනි උදව් කරන්න රුක්ෂානිට.” ප්‍රීනිත් රුක්ෂානිත් කිසිම වචනයක් පිට නොකර වැටුනු, කැඩුණු හැම දෙයක්ම ඇහින්ඳ. වජිරාව කලබල කරල එයාට ඔය අස්සෙ වලිප්පුව පටන් ගත්තොත් හරි විනාසෙ.

“හසන්ති…හසන්ති..”

හසන්තිගෙ අත් තාමත් අයිස් කැට වගේ සීතලයි. ‍ශාලාව වායු සමීකරණය කරල තිබුණත් මේ කාමර එතරම් සීතල නැහැ. බඩු සේරම ඇහිඳලා පැත්තකට දාපු රුක්ෂානියි ප්‍රීනියි කණ්ණාඩිය අසලට ආහ.

“දැන් මොකද කරන්නෙ?”

“ප්‍රීනිට මගේ පාට් එක දෙන්න.” හසන්තිගෙන් කෙඳිරියක්.

“එතකොට ප්‍රීනි‍ෙග පාට් එක කරන්නෙ කවුද?” රුක්ෂානි තරහ ගන්නෙ තමා ප්‍රීනිට තම කොටස දෙන නිසා නෙමේ. ප්‍රීනිගෙ කොටස හරියට කරන්න කෙනෙකු නැති එක ගැනයි කියල හසන්තිට හීනෙන් වගේ දැනුන.

“ප්‍රධාන චරිතය කෙටි වුනත් හරියට රඟ පෑවෙ නැත්නම් ඔක්කොම අගේ ඉවරයි. ප්‍රීනිගෙ පාට් එක එයා ප්‍රේක්ෂකයාගේ හිතට වැදෙන්න ලස්සනට කරනවා. එයාව වෙනස් කරන්න බැහැ.”

සංජීවනී අතිශයෝක්තියක් නැතිව කියූ කතාවට ප්‍රීනිටත් පුදුමයි. මෙච්චර දවසක් නාට්‍ය පුහුණුව බලන්නවත් ආවේ නැති වුනාට සංජීවනී කියපු කතාව ඇත්ත. අනිත් ළමුන් ඔළු වනල එය අනුමත කළාම ප්‍රීනිට හරි සතුටුයි.

රුක්ෂානි අතේ තිබුණ කළු පැන්සලයෙන් එයාගෙ ඇස් බැමි තවත් තදට පාට කරන්න ගත්තෙ ඒ වෙලාවේ. ඒක දැකලා සංජීවනීට හොඳ අදහසක් පහළ වුනා. හසන්තිට රඟපාන්න තියෙන්නෙ පිරිමි චරිතයක්.

“දැන් ඔයා හසන්ති නෙමේ. මැල්වෝලියෝ. ඔයාව ඇඳින ගන්න බැරි තරමට මම ඔයාට මේකප් දාන්නම්. ඔයාගෙ චරිතය ඔයා රඟපාන්න. හසන්තිව අමතක කරන්න.”

මෘදු ස්වරයකින් යම් ලතාවකට හසන්තිගෙ ඇස් දෙකට නැඹුරු වෙලා සංජීවනී කිව්වෙ හරියට හසන්තිව මෝහනයට පත් කරනවා වගේ. එක් කෙනෙකුට තදින් කතා කළාම වැටහෙනවා අනෙකාට සෙමෙන් කතා කරාම වැටහෙනවා. ප්‍රීනියි රුක්ෂානියි දෙන්නමත් එකතු වුනා හසන්තිගේ මුහුණේ වේශ නිරූපනයට.

“වේදිකාවට නැග්ගම ප්‍රේක්ෂකයෝ වාඩි වෙලා ඉන්න තැන් හොයන්න යන්න එපා. ස්ටේජ් ලයිට් නිසා ඕඩියන්ස් එක හරියට පේන්නෙ නැහැ. කලබල වෙන්න එපා. හෝල් එක පිරෙන්නම ළමයි ඉන්නවා. පුරුදු වුන විදියට කරන්න. වැරදුනොත් ඒකත් අපේ නාට්‍යයේ කෑල්ලක් වගේ නවත්තන්නෙ නැතුව කරගෙන යන්න.”

සංජීවනී මඳක් නතර වෙලා “වජිරා ඔයත් අහගෙන ද ඉන්නේ?” කියා ප්‍රශ්න කළාය.

“ඔව්. ඔව්.” වජිරාත් මෝහනයට පාත්‍ර වෙලා වගේ.

මේ ළමයි මොනවා කරනවද බලන්න දොර ඇරිය කුසුම් මිස්ට හරි පුදුමයි. හැමෝම ලැහැස්තියි. බිම වැටුණු ඒවා සේරම ඇහිඳලා. මූණ වැහෙන්නම ආලේප ගාලා හිටි හසන්තිගෙ මූණට කුසුම් මිස් එබිලා බැලුව කවුද කියලා හොයා ගන්න. හසන්තිටත් එයාවම අඳුන ගන්න බැරිවුනා කණ්ණාඩියෙන් තමා දිහා බැලුවම. හිතට අළුත් ශක්තියක් ආවා ඒ නිසාම.

වේදිකාවේ තිරය වහල තාම. තම තමන්ගෙ තැන් වලට ගිහින් හැමෝම හිට ගත්ත. ශාලාවේ අසුන් ගත් ප්‍රෙක්ෂකයෝ එකවර හැම දෙනාම කතා කරන හඬ ඇසෙනවා. මෙතෙක් රඟ දක්වපු රෝමියෝ ජුලියට් නාට්‍යයන්ගෙන් වෙනස් මඟක් ගන්නා දොළොස්වන රාත්‍රියේ අංගය හා ජවනිකාව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියැවෙද්දීත් ශාලාවේ තොර තෝංචියක් නැතුව කෙරුන සද්දෙ නම් අඩු වුනේ නැහැ. ඒත් තිරය ඇරෙද්දි, පිළිම වගේ ගස් ගල් වගේ ළමයි ඇඳගෙන හිටන් ඉන්නවා දකිද්දි තමයි අසුන් ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දුටුවෙ සීන් එක තවත් රෝමියෝ ජුලියට් එකක් නොවන බව. නිශ්ශබ්ද වූ සභාව කිසි සද්දයක් පිට කරන්නෙ නැතුව නරඹපු එකම අංගය වූයේ එයයි. ඒ නිසාම දෙබස් හිමින් සිද්ධ වූ ඒවා පවා පැහැදිලිව අහ ගන්නටත්, කුළුදුල් උත්සාහයක සාර්ථක ප්‍රතිඵල දැක ගන්නටත් විනිශ්චය මණ්ඩලය ඇතුළු සැවොටම හැකිවුණි.

ශාලාව දෙවනත් වෙන්න හයියෙන් වැදුන අත් පොළසන් නාදය මැද්දෙ තිරය වැහුනෙ. හැමෝටම පැහැදිලියි මුල් තැනට ජය ලැබුවෙ මෙයාලගෙ නාට්‍යයට බව. සංජීවනීගේ අධ්‍යක්ෂණයටත් හැමෝගේම එකමුතුවත් අවසාන මොහොතේ හතරදෙනාම එකතුව කළ වෑයමත් තමා ජයග්‍රහණයට හේතු වුනේ.

කෙටි වුවත් දැඩි ආත්ම ශක්තියකින් දක්ෂ ලෙස තම චරිතය රඟ පෑ නිසා නාට්‍ය උළෙලේ හොඳම නිළිය වෙන්න ප්‍රීනිට හැකිවුනි. සහතික බෙදා දීලා  තිරය වැහෙද්දී වේදිකාව මැද ඔවුන් වාඩි වුනහ. මෙය විශ්වාස කරනු නොහැකිය. කිසිදු වැරදීමකින් තොරව නාට්‍ය ගලා ගිය ආකාරය ඔවුනට ද අදහත නොහැකිය. හැමෝම හැමෝටමත් අතිනත දී ගත්තෙත් ඒ අත් වලින්ම උස්සලා අනිත් අයව නැගිට්ටවා බදා ගත්තෙත් ඉතා ප්‍රීතියෙන්.

කුසුම් ගුරුවරිය වේදිකාවේ දකුණු පසෙන් එයාලට සංඥා කළා වේදිකාවෙන් ඉවත් වන්න කියා. කුසුම් මිස්ව දැක්ක ගමන් සංජීවනී, ප්‍රීනි, හසන්ති හා රුක්ෂානිට මතක් වුනේ ක්‍රීඩා දිනයයි. එදා වගේම අදත් දැකුම්කළු බ්‍යාමප්‍රභාවක් අප වටා ඇති. හතරදෙනාම එකතු වුනාම අති විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවනි. සතුට වැඩිකමට වචනයෙන් කියන්න බැරි නිසා හතර දෙනාම අත් අල්ලා ගෙන වේදිකාවෙන් බැස්සෝය.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. 10,11 කොටස් දෙකත් කියව්ව… 🙂

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 17, 2010 @ 12:01 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: