Sinhala story Blog

ජනවාරි 17, 2010

10 ——-ප්‍රීනියි රුක්ෂානියි ආයෙත් පටන් ගෙන

Filed under: Uncategorized — sinhalashortstories @ 10:30 පෙ.ව.

“අපි රොෂානා මිස්ට තෑග්ගක් අරන් දෙමු අපිව මතක් වෙන්න.”

පහුවදා පංතියේ දී රුක්ෂානිගෙන් ප්‍රීනිට යෝජනාවක්. වැඩක් කරගන්න නම් ප්‍රීනි හවුල් කරගත යුතුය. තමා ඉදිරිපත් වීමෙන් ඇය බාධක ගෙන එනවා මිසක කටයුත්තට උපකාර වන්නේ නැත. අදහසට ඇය කැමති කරගන්න, එය එයාගෙ අදහසක් වගේ දැනුනොත් හරි, එතකොට ඇය මූලිකව කටයුතු කරනු ඇත.

“මිස් ඉස්කෝලේ එන අන්තිම දවස හෙට. අපිට වෙලා නැහැ.”

“අපි ඒක අරගෙන එයාගෙ ගෙදරට යමු.”

“කැමති වෙයිද දන්නෙ නැහැනෙ ගෙදර එනවට.”

“අද අහමු මිස්ගෙන් ගෙදර එන්නද කියල.”

“ඔයා අහන්න රුක්ෂානි. එන්න කිව්වොත් මම ළමයි ගෙන් සල්ලි එකතු කරල දෙන්නම්.”

ඇය නිවසට එන්නට රොෂානා ගුරුතුමිය අනුමැතිය දුන්නෙන් මුදල් එකතුව ආරම්භ විය. එසේ මුදල් එකතුව පාසැලේ නීතීන්ට විරුද්ධ බව කිසිවකු දැන සිටියේ නැත. හසන්ති ඇරෙන්නට අනිත් ළමෝ හැමදෙනාම ඉතා ඉක්මණින් මුදල් ගෙනැවිත් දුනි.

“ඔයාගෙ ගාණ මම දාන්නම්. මට පස්සෙ දවසක ගැනත් දෙන්න.”

“මා ළඟ සල්ලි නැහැ රුක්ෂානි ඔය වගෙ තෑගි අරන් දෙන්න.”

“ඔයා තෑග්ග ඔතන එකට පොඩි ගොක් කොළ සැරසිල්ලක් හදල දෙන්න.”

රුක්ෂානිට ඕන ප්‍රශ්නයක‍ට කඩිනමින් විසඳුමක් හොයා ගන්න පුළුවන් හැකියාව පුදුමයි. මුදල් එකතු කරන්න පටන් ගත් ප්‍රීනිට එසේ එකතු කිරීම තහනම් බව ආරංචි විය. එහෙත් ඒ වනවිට ඇය පංතියේ හසන්ති ඇරුන කොට අනිත් හැම  දෙනාගෙන්ම මුදල් රැස් කරගෙන තිබුණි. පාසැලේ නීතීන්ට විරුද්ධ මුදල් එකතුවට තමාව පොළඹවා ගත්තේ රුක්ෂානි ඒ බව දැන සිටි නිසාද?

“රුක්ෂානි, මෙන්න එකතු වෙච්ච සල්ලි. හසන්ති විතරයි තව දෙන්න ඉන්නෙ.” ඉඩක් ලද වහාම ප්‍රීනි මුදල් රුක්ෂානිට පැවරීය.

රොෂානා ගුරුවරියගේ නිවහන පිහිටියේ බොරැල්ලේ අතුරුපාරක තට්ටු මහල් නිවාසයක. හමුවන ස්ථානය තීරණය කරගන්නට රුක්ෂානිටත් ප්‍රීනිටත් ඉඩහැර අනිත් ළමෝ පංතියේ දී නිහඬව සිටියහ. වාහන වලින් ගෙනැවිත් බස්සන ළමුන්ට නම් ගුරුවරියගේ ගෙදර ‍ෙකාහේ තිබුන ද කම් නැත.

“හැමෝම එකට යමු.” රුක්ෂානි ගමන සංවිධානයට මුල පිරුවාය. ළමෝ තවත් රණ්ඩුවක් ඇවිලේ දැයි බලා සිටිති.

“මට නම් බැහැ ඔය එක එක තැන්වල හිටගෙන ඉන්න. හැමෝම එක වෙලාවට එන්නෙ නැහැනෙ.” සුපුරුදු අමනාපයෙන් රුක්ෂානි හා එකඟ නොවන්නට මඟ සෙව්වේ ප්‍රීනි.

“රුක්ෂානිට පුළුවන් ඔයාව ගෙදරින් අරගන්න. කාර් එකේ ඇවිත්. ඇතුලට වෙලා ඉන්න මීටි වෙන තැනට අනිත් අය එනකම්.” හසන්ති කියනවා. දැන් දැන් හසන්තිටත් පුළුවන් ප්‍රශ්න විසඳන මාර්ග හොයන්න. ප්‍රීනි හා රුක්ෂානි දෙදෙනා අතර සාමය ඇති කරවන්නට හසන්ති නිතර උත්සාහ ගන්නීය.

“හ්ම්…” ප්‍රීනි මඳක් කල්පනාවේ නිරත වූවාය. රුක්ෂානි ගමන් කරන 504 වැනි රථයක ඇය ද ගමන් ගෙන නැත. අප්පච්චිට තියෙන්නෙ පරණ මොරිස් මයිනරයකි. කළු පැහැති වාහනය නිසා සමහර දවසක පාරේ ගමන් ගන්නා මිනිස්සු ටැක්සියක් යයි අත දිගු කර නවත්වන්න හදන අවස්ථා ද ඇත.

504 වෙහි යන්නට ඇත්නම් හොඳය. විශේෂයෙන්ම තම නිවහනට ඇවිත් අහල පහල අයට පෙනෙන්නට තමාට එහි නැඟ යන්නට ඇති අවස්ථාව මඟ හැරිය යුතු නොවේ.

“හසන්ති එන්න අපේ ගෙදර. මායි හසන්තියි එන්නම් ඔයාගෙ ගෙදරට.” ප්‍රීනිගේ නිවසට තනියම යාමට අකැමති වූ රුක්ෂානි පැවසීය.

ලංකා පිඟන් සංස්ථා නව ප්‍රදර්ශනාගාරයෙන් දැකුම්කළු පිඟන් කට්ටලයක් මිල දී ගන්නට රුක්ෂානි සෙනසුරාදා උදය වරුවක්ම යෙදෙව්වාය. කතා කරගත් පරිදි එන්නට හැකියාව තිබූ ළමයි සැවොම රොෂානා ගුරුවරියගේ ගෙදරට ඒ තෑග්ග ද රැගෙන ගියහ.

හසන්ති අතින් නිම කෙරුන ගොක් කොළ තරුවෙන් හා රුක්ෂානි ගෙනා බ්‍රවුන් පේපර් කඩදාසියෙන් තෑග්ග සැරසී තිබුණි. සංජීවනී එම ගමනට දෙමාපියන් ගෙන් අවසර ඉල්ලන්නට වත් ගියේ නැත. වෙන වැඩක් යෙදී ඇතැයි කියා ඇය එය මඟ හැරියාය.

රොෂානා ගුරුවරියගේ නිවහන වූයේ තට්ටු මහලේ ඇනෙක්සියකය. තරප්පු පෙළකින් උඩ තට්ටුවකට නැඟ තවත් ගෙදරක දොරක් පසුකර ළමෝ ඊට ළඟා වූහ. දොර විවෘත කර ආදරයෙන් ළමුන් පිළිගත් ඇය තෑග්ග ගැන පුදුමය පළ කළාය. රුක්ෂානි තෑග්ග ප්‍රීනිගේ අදහසක් යයි හැම දෙනා තුලම තිබූ වැටහීම වෙනස් කරන්නට තැතක්  ගත්තේ නැත. ප්‍රීනිත් පැසසුම් බාර ගත්තා මිසක වරද නිවරද කරන්නට ගියේ ද නැත.

ඔවුන් පැමිණි විගස අහළ ගෙදරක ළමයෙකු කඩයට යවා සිසිල් බීම ගෙන්වා ළමයින්ට සංග්‍රහ කළ රොෂානා ගුරුවරිය නුදුරු දිනයෙක තමා ඔස්ට්‍රේලියාව බලා යන බව පැවසීය.

පිඟන් බඩු ඔස්ට්‍රේලියාවට යන‍ෙකාට කැඩිලා තියෙයි. මිස් කලින් කිව්වා නම් වෙන දෙයක් ගන්න තිබුණ. එහෙත් ඒ සිතුවිල්ල වෙන කිසිවෙක් ප්‍රකාශ නොකළ හෙයින් රුක්ෂානි ද කටපියා ගත්තාය.

ගුරුවරියගේ ගෙදර ශීතකරණයක් නොවීය. කවදත් ලැබෙන දෙයට වඩා වෙනස් ‍යමක් හොයන රුක්ෂානි බීම වීදුරුවට අයිස් කැට හොයද්දී එය දැන ගන්නට ලැබුණි. ගෙදරක ශීතකරණයක් එකළ තිබුනේ අල්ප දෙනෙකුටය. ගුවන් ගමනට සල්ලි සොයා ගන්නට හැකි වූ බොහෝ දෙනා වතුපිටි සියල්ල විකුණා රට යන්නට සූදානමින් සිටියහ. ඉංග්‍රීසි දත්තෝ ඉතා ඉක්මණින්ම රටෙන් පිට වූහ. මුස්ලිම්, බර්ගර් හා ද්‍රවිඩ ජාතිකයන් ද වෙන රටවල් කරා සංක්‍රමණය වූයේ ස්ව ආර්ථිකය වැඩි දියුණු කර ගන්නටය.

ළඟ දී පැවැත්වෙන නාට්‍ය උළෙලට ජය පතා රොෂානා ගුරුවරිය ගෙදරින් පිටමං වූ ළමුන් පිටුපසින් දොර අඩවන් කළේ හදවතේ මෝදු වෙමින් පැවති කණගාටුව මධ්‍යයේය.

“ටියුෂන් දුන්නට සල්ලි හම්බ වෙලා නැති පාටයි.” රුක්ෂානි පඩි පෙළ බහිමින් තවත් නිගමනයක.

“ඔයා ඇයි එහෙම කියන්නෙ?” ප්‍රීනිට ප්‍රශ්නයක්.

“බලන්න ගෙදර ලස්සනට තියා ගත්තට පුංචි තැනක් නෙ. ටියුෂන් වලට ඉඩත් නෑ.”

“පිටරට යන නිසා ලොකු ගෙයක් ගත්තෙ නැතිව ඇති. දිගටම ටියුෂන් කරන්න අදහසක් නැති නිසා.”

ප්‍රීනියි රුක්ෂානියි ආයෙත් පටන් ගෙන. හසන්ති පැත්තකට වුනා. ඇති නැති දේ ගැන කතා කරන්න තමාට අයිතියක් නැහැනෙ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: