Sinhala story Blog

ජනවාරි 13, 2010

5 ප්‍රීනි තමයි හැමෝ එක්කම කතා කරන එකම එක්කෙනා

Filed under: Uncategorized — sinhalashortstories @ 10:10 පෙ.ව.

සංජීවනී කරුණාරත්න පංතියේ හැසිරුනේ කවුරුවත් නොහිතපු ලෙසටය.

පංතියේ කටයුතු වලට පැත්තකින් සිට සහභාගී වූ ඇය කා සමඟවත් සමීප ඇසුරක් ඇතිකර නොගත්තාය. ප්‍රීනිගේ ඇරයුම් නොමඳව ලැබුණ ද සංජීවනී ප්‍රීනි හා ම‍ානෙල් සමඟ එකතු වූයේ නැත. ප්‍රීනිගේ ආධිපත්‍යයට සංජීවනීගෙන් තර්ජනයක් නොවූයෙන් ඇය තමන්ගේ පිලට වැටී ඇතැයි ප්‍රීනි සිතුවාය.

ඊ ළඟ සතියේ පැවැත්වෙන්නට නියමිත ඉංග්‍රීසි අක්ෂර වින්‍යාස විභාගයට රුක්ෂානිත් හසන්තිත් ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු කර තිබුණහ. මේ දෙදෙනා පාඩම් කරද්දී මුලින් මුලින් ප්‍රීනි අවඥා සහගත සිනහවකින් ඔවුන් දෙස බලන්නට පුරුදුව සිටියත් දැන් දැන් ඇය ඔවුන් දෙස බලන්නේ කුතුහලයෙනි.

රුක්ෂානිගෙන් ලබා ගන්නා ඉංග්‍රීසි දැනුමට සමාන ගණිත දැනුමක් ඇයට ලබා දීම හසන්තිගේ අරමුණ විය. ප්‍රීනිව පැරදවීම දෙදෙනාගේම අධිෂ්ඨානය වූයෙන් උද්යෝග්‍යයකින් යුතුව පාඩම් කටයුතු කිරීමට දෙදෙනාටම හැකිවිණ.

ඉංග්‍රීසි ගුරුවරිය දුන් නාට්‍ය පොත් අතරින් පතර කියවන්නට කෙනෙක් දෙන්නෙක් පටන් ගෙන තිබුණි. හැමදාම කරන නාට්‍ය ජවනිකාව වෙනුවට අළුත් දෙයක් රඟ දක්වන්නට ආශාවක් පොත් කියවීම පටන් ගත්තවුන්ගේ හිත තුල මෝදු වන්නට විය. ප්‍රීනි ඉදිරියේ ඇයට විරුද්ධව කතා කිරීමට අකැමති නිසා කිසිවකු සිය අදහස් පුකාශ කරන්නට එඩිතර නොවූහ.

සංජීවනී හා ප්‍රධාන චරිතයකට තරඟ වදින්නට සිදුවේ යයි බියෙන් ප්‍රීනි ලතැවුන ද සංජීවනී නාට්‍ය චරිත ගැන කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. වානිජ්‍ය ලෝකයේ අලෙවි වන තම කුසලතා නොමිලයේ ‍ප්‍රදර්ශනය කිරීමට ඇය මැළි වන්නේ ද? එසේත් නැත්නම් විනිශ්චය මණ්ඩලයක් මඟින් හොඳ නරක තීරණය කෙරෙන ආධුනික රංගන දස්කම් හා තරඟ වදින්නට ඇය පසුබාන්නේ ද? සංජීවනීගේ හැසිරීම ප්‍රීනිට ප්‍රශ්නයක් වුවද, හසන්ති හා රුක්ෂානි නාට්‍ය පොත් වලින් සෙව්වේ වැඩි පිරිසකට රඟ පාන්නට හැකි ජවනිකාවකි.

“කතා කරන පාට් වලට කවුරුත් කැමැති නැහැ. ඒකයි හැම සැරේම ප්‍රීනිට මේන් රෝල් එක ලැබෙන්නෙ. එයා කැමතියි එයාගෙ කටහඬට. අනිත් අය අහගෙන ඉන්නවද කියලා වත් බලන්නෙ නැහැ.”

“වචන දෙක තුනක් හරි කියන චරිත ගොඩක් තිබුනම ජවනිකාව නීරස වෙන්නෙ නැහැ. කාණ්ඩයක් ඉන්න කොට එක්කෙනෙක් දෙන්නෙක් අතින් පොඩ්ඩක් වැරදුනොත් ඒක ලොකුවට පේන්නෙත් නැහැ. කොස්ටියුම් ගොඩක් තියෙන කොටත් ලස්සනයි.”

ග්‍රේස් මිස් පංතියට එන්න වෙනදා වගේම පරක්කු වුනි. පංතියේ කිචිබිචිය වැඩි වෙත්ම රුක්ෂානි හා හසන්ති නැඟිට පංතියෙන් පිටවුනේ පුස්තකාලය බලා යන්නටය.

“ඒයි හසන්ති, කොහෙද ඔය දෙන්නා යන්නෙ?”

“මිස් ග්‍රෙස් කිව්වනෙ එයා එන්න පරක්කු වුනොත් අපිට ලයිබ්‍රරි යන්න කියල.”

වජිරා ද තව කෙනෙකුගේ අතින් ඇදගෙන නැඟිට්ටාය. පංති නායිකාව වූ තමන්ගෙන් අවසර නොගෙන පංතියෙන් පිටවන ළමුන් දෙස ප්‍රීනි බලාගෙන හිටියේ විස්මයෙනි. රුක්ෂානි පන්තියට ආ දින පටන් ගත් සිදුවීම් මාලාවේ පුතිඵලයක් ලෙස ප්‍රීනිගේ ලෝකය සැලී තිබුණි. ග්‍රෙස් ගුරුවරියගේ අවවාදය ඇයගේ මතකයෙන් ගිලිහී ගියේ රුක්ෂානිගේ ක්‍රියාකලාපය හේතුවෙන් යයි ප්‍රීනි තරයේම විශ්වාස කළාය.

පංති කාල වේලාවේ පාසැලේ ඇවිදීම තහනම්ය. ගුරුවරියකගේ අනුදැනුම ඇතිව ලැබුන මේ අනගි අවස්ථාව අපතේ දැමිය හැක්කක් නොවේ. ප්‍රීනි ගන්නා තීරණය කුමක්දැයි ඉතිරිව සිටි පංතියේ සැවොම විමසිලිමත් වූහ. වජිරා නැගිට්ටේ රුක්ෂානි හා එකතු වන්නට නොවේ. රුක්ෂානි පටන් ගත් ගමනට ප්‍රීනිගේ අවධානය යොමු කරවන්නටය. බහින් බස් වීමෙන් පරාජය අත්වේ යයි සිතූ ප්‍රීනිත් නැඟිට සිටියේ අනිත් ළමයින්ට ද පුස්තකාලයට යමු යයි අතින් සංඥා කරමිනි. සුචච කීකරු බලු කික්කියක සේ ප්‍රීනිගේ පොත් ඔසවා ගත් මානෙල් ද ඇයට එකතු වූවාය.

පුස්තකාලයට යෑමට පටන් ගත් මෙම සිරිත මුළු පංතියම ආසාවෙන් දිගටම පවත්වා ගෙන ගියහ. ග්‍රේස් ගුරුවරිය තත්පරයට පංතියට ආවේ නැත්නම් හැමෝම පංතියෙන් පිට වූහ. හිමින් හිමින් පුස්තකාලයට යන ශිෂ්‍යාවන් දඬුවම් නොවිඳ තම කතා බහට කාලයක් ලැබීම ගැන උද්දාමයෙන් සිටියහ. ඈත එන ග්‍රේස් ගුරුවරිය දැක දැකම පංතියේ පිටුපස වූ ජනේලයකින් පැන පුස්තකාලයට දිව යෑමට පවා අවසානයේ දී ළමෝ දිරිමත් වූහ. පංතියට පැමිණෙන ග්‍රෙස් ගුරුවරිය වෙන පංතියක ළමයෙකු එවා ආපසු පංතියට පැමිණෙන්න යයි පණිවිඩය එවන විට පංති කාලපරිච්ඡේදය අවසන් වී හමාරය.

ප්‍රීනි පරකඩුවට පංතියේ ළමුන් සැවොම එකතුව කරන මෙම ක්‍රියාව ගැන ගුරුවරියට කේලම් කිය නොහැකිය. මෙතෙක් කලක් පංතියේ ළමුන් එකමුතුව කලේ තමන් අනුමත කෙරුනු දේ පමණි. දැන් දැන් පංතියේ ළ‍මෝ රුක්ෂානි හා හසන්තිගේ චර්යාවන් ද අනුගමනය පටන් ගෙන ඇත. තමා සමඟ සිටි පංතිය තමාගෙන් බිඳී යතැයි ප්‍රීනිට සිතිණ.

“ඔයා ප්‍රීනිට තරහ යන වැඩමයි කරන්නෙ.” දිනක් රුක්ෂානි හා කතාවට එක්වෙමින් හසන්ති පැවසුවාය.

“බොස් නම් අනිත් අය ගැනත් හිතන්න ඕන. එයා දකින්නෙ එයාට වාසි පැත්ත විතරයි.”

“ප්‍රීනිගෙ හැටි. එයා නරක නැහැ. ළමයින්ට උදව් කරනවා.”

“ප්‍රීනි ළමයින්ට උදව් කරන්නෙ එයාට ඕන නම් විතරයිනෙ.”

“ඒක ඇත්ත. ඒත් සමහර අය එහෙමවත් නැහැ. සුලෝචනා, චමරි වගේ අනිත් අය අනිත් ළමයි එක්ක කතා කරන්නෙවත් නැහැ. පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ආපු ළමයින්ව කොන් කරල. පෝසත් ළමයි ආශ්‍රය කරන්නෙ එයාලගෙ කාණ්ඩෙ විතරයි. ශිෂ්‍යත්වකාරයෝ වෙනම. ප්‍රීනි තමයි හැමෝ එක්කම කතා කරන එකම එක්කෙනා.”

“එයා ළමයි එකතු කරවන්නෙ නැතුව ඒක එයාගෙ ඇඩ්වාන්ටේජ් එක කරගෙන.”

ශිෂ්‍යත්වය දිනා ගම්පහ, කළුතර වැනි නගර වලින් දිනපතා පාසැලට එන ළමුන් සිටියහ. ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවාතැන් ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් ද පංතියේ විය. එහෙත් කොළඹ ගෙවල් වලින් ආ අය ඔවුන්ගේ නම් දන්නවා ද යන්නත් සැක සහිතය.

ප්‍රීනිගේ දෙමාපියෝ කොළඹ නගරයේ දක්ෂ යයි නමි දරා ඇති නීතීඥ යුවළකි. පාසැල තුල ද යම් සැලකිල්ලක් ප්‍රීනිට ලැබුනේ එබැවිනි. පහළ පංතියක දී එක් ගුරුවරියක් විභාගයේ ප්‍රශ්නයකට ප්‍රීනිට උදව් දුන් ආකාරය හසන්තිට කවදාවත් අමතක නොවේ. ඒ තුනේ පංතියේ බුද්ධාගම උගැන්වූ කාංචනමාලා ජයවර්ධන නැමති ගුරුවරියයි. සිදුහත් කුමාරයාගේ මවගේ නම නොදත් ප්‍රීනි වටපිට බලද්දී පංතියේ සැමටම ඒ නම මොකක්දැයි ගුරුවරිය කියා දුන්නීය. ඊට නුදුරු කලක දී ජයවර්ධන ගුරුවරිය සිය අසල්වාසීන් හා වූ ඉඩම් නඩුවකින් ඉමහත් ජයග්‍රහණයක් අත් කරගෙන තිබුණි. නඩුවට පෙනී සිටි නීතිඥයා ප්‍රීනිගේ පියාය.

සිද්ධිය මතකයේ සටහන්ව තිබුණ ද එය හරි හෝ වැරදි යයි එදා හසන්තිට සිතුනේ නැත. රුක්ෂානිට ඒ ගැන කිවයුතු නොවේ. එය වැරදි බව අද හසන්ති දනියි. රුක්ෂානි ලොව දකිනා ආකාරයේ සමානාත්මතාවයකින් සමාජය දෙස බලන්නට තමනට හැකිදැයි හසන්ති නොදනී.

“රුක්ෂානි ඔයයි මායි දෙන්නම පුෂ්පරාග හවුස් එකෙ. හෙඩ් ගර්ල්ගෙ නංගි ශිරෝමි තමයි අපේ හවුස් කැප්ටන්.” සංජීවනී ඔවුන් අතරට පැමිණියේ ඇය අතරින් නිතර නොපෙනෙන උද්යෝගයකිනි. පංතියේ වැඩි හරියක් නිදාගෙන කාලය ගෙවන සංජීවනී ක්‍රීඩාවන්ට කැමැත්තක් දැක්වීම විමතියට කරුණකි. තද නින්දකින් නැඟිට ඇඟ මැලි කඩා හැමටම වඩා කඩිසරව ක්‍රීඩාවේ යෙදෙන්නට සංජීවනීට පුළුවන.

“හසන්ති ඔයා මොන හවුස් එකේ ද?”

“මම පද්මර‍ාගේ.”

ප්‍රීනි ඉඳුනිල් නිවාසයේය. ඉන්ද්‍රනීල නිවාසය කවුරුත් හැඳින්වූයේ ඉඳුනිල් කියාය. නම වෙනස් කරන්නට සමහර ගුරුවරු අකැමතිය. ඒ අය ශිෂ්‍යාවන්ව සිටි කාලයන්හි තැබූ වාර්තා සටහන්වල සඳහන්ව ඇත්තේ ඉන්ද්‍රනීල නමිනි. දැන් ඉඳුනිල් යනුවෙන් නම වෙනස් කෙරුනොත් ඒ වාර්තා වල අගය බහී යයි සිතූ අය වැඩිය. සංජීවනී තම නිවාසයේ නොවීම ගැන ප්‍රීනි දුක් වූවාය. රුක්ෂානියි සංජීවනියි එකම නිවාසයේ නිසා ඔවුන් කුළුපග මිත්‍රත්වයක් ඇති කරගනු ඇතැයි ඇය සිත කරදරයට පත් කළාය. ක්‍රීඩා දිනය ළං වත්ම ප්‍රීනිගේ නොසන්සුන් බව ද වැඩි වන්නට පටන් ගෙන තිබුණි.

රොමේන්, කාමන් හා නීලමනී හවස් වරුවේ පැවති ක්‍රීඩා පුහුණු වලට නොවරදවාම පැමිණියහ. ක්‍රීඩා තරඟයන්ට සහභාගී වීම ඔවුන්ගේ අරමුණ නොවුනි. ගෙවල් වලින් පිටව පාසැලේ කාලය ගෙවන්නටත් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා හමුවීමත් ඔව්හු මෙය අවස්ථාවක් කර ගත්හ.

ශිරෝමි ද සිල්වා තම නිවාසය හැසුරුවේ විධායක නිලධාරිනියක ලෙසිනි. කෙටි දුර ධාවන තරඟ කිහිපයකට සහභාගී වූ ඇය පාසැලේ තූර්යවාදන කණ්ඩායමේ ද සිටියාය. හැම තැනම දුව පැනමින් කඩිසරශීලීව කටයුතු කළ ශිරෝමි තම නිවාසයේ සැවොම දිරිමත් කරන්නට අමතක කලේ නැත.

හසන්ති වෙන නිවාසයක වුවද සංජීවනී හා නිතර පුහුණු වලට සහභාගී වූවාය. රුක්ෂානි නිතර ආවේ නැත. ආ දවසක ද ඉංග්‍රීසි කතන්දර පොතක ඔළුව ඔබාගෙන කට්ලස්, පැටිස් හෝ චයිනීස් රෝල් හපමින් ඇය කාලය ගෙව්වාය. පාසැල් කාලයෙන් පසු පාසැලේ කාලය ගත කිරීම විනෝදජනකය. ගුරුවරියන්ගෙන් හෝ විදුහල්පතිනියගෙන් බිය වී සැඟවෙන්නට අවශ්‍ය නැත. නිදහසේ පාසැල පුරා ඇවිදින්නටත් ගස් යටට වී සතුටු සල්ලාපයේ යෙදෙන්නටත් අවකාශ ඇත්තේය.

ක්‍රීඩාවන්ට සහභාගී වන ප්‍රීනි කොට කලිසම් හා ටී ෂර්ට් අඳින්නීය. පාසැල හමාරව ගෙදර ගොස් ඇය ආපහු පැමිණෙන්නේ තුවායක්, වතුර බෝතලයක් වැනි ආම්පන්න කිහිපයකින් සමන්විත මල්ලක් ද අතැතිවය. ලක ලැහැස්තියට හා අන්‍යයනට විධි විධාන දෙන්නට වැඩි කාල වේලාවක් යොදන ඇය පුහුණු වල යෙදෙන්නේ අවම වශයෙනි.

“ෂොර්ට්ස් ඇන්‍‍‍ඳම ඔයාටත් හයියෙන් දුවන්න ලේසි.” කොට කලිසම් ඇඳගත් ළමුන් පිරිසක් මැද තනිව පාසැල් අඳුම ලා සිටින හසන්තිට රුක්ෂානි පැවසීය.

“ආච්චි ගහල එලවයි මාව ‍ෙෂාර්ට්ස් ඉල්ලුවොත්.”

“මගේ එකක් දෙන්නම්. දුවන වෙලාවට විතරක් අඳින්න.” රුක්ෂානි වාදයකට ඉඩ නොතබා ඇය අසල වූ ඇඳපු නැති අළුත්ම කොට කලිසමක් ද එය හා එතූ තවත් ඇඳුමක් ද හසන්ති අත තබා නැඟිට එය හසන්ති බාර ගත්තා ද නැද්ද නොසොයා තණ පිට්ටනියේ ඈතකට දිව ගියාය. අකැමත්තෙන් වුවද හසන්ති රුක්ෂානිගේ කොට කලිසම පිළිගත්තේ තමා සතු සුදු ගවොම් දෙක නිතර දහඩියෙන් තෙ‍ත්වන හෙයිනි. කොට කලිසම සමඟ සිනිඳ කපු රෙද්දෙන් මහපු භූමිතෙල් ගඳ නැති අත්කොට කමිසයක් ද විය.

අළුතින් මසන ලද නිල ඇඳුම් තිබුන ද රුක්ෂානිගේ සුදු ගවුම හරියාකාරව තිබෙන්නේ එහෙමත් දවසකය. ටයි පටිය බාගෙට බුරුල් කරගෙන සිටින ඇය තව වරෙක ඉනට අල්ලා ඇති බෙල්ට් එක ගලවා දමා දෙපැත්තෙන් එල්ලි එල්ලී වැනෙන්නට ඉඩ හරින්නීය. ගුරුවරුන් තරවටු කර ද දඬුවමක් නොලැබුනෙන් ඇය ඒ ආකාරයෙන් හැමදාම සිටියාය.

කලිසම හා කමිසය ඇඳ තරඟ පුහුණුවට සහභාගී වූ හසන්තගේ ගතට සැහැල්ලුවක් දැනින. කකුල් දෙක අස්සේ හිරවෙන ගවුමේ රැලි වෙනුවට නිදහසේ දුවන්නට ඇයට හැකියාව ලැබුණි. මුලින් මුලින් කකුල් එළියේ යයි ලැජ්ජාවක් සිතට දැනුන ද අනිත් ළමයි ඇයගේ ඇඳුම ගැන කිසිත් සැලකිල්ලක් නොදැක්වීම ඇය සහනයක් වුනි. පුහුණුව අවසානයේ දී පංතියකට ගොස් එය මාරු කරගත් ඇය එය බාර දෙන්නට රුක්ෂානි සෙවීය.

පුහුණු හමාර වෙනවාත් සමඟම පැමිණි 504 රථයට දුවගොස් නැඟගත් රුක්ෂානි “ඔයා ඕවා තියාගන්න. ඔයාට හරියනවා මටත් වඩා.” කියා වාහනය ඉදිරියට ඇදී යද්දී වාහන කවුළුවෙන් එළියට එබී අත වැනීය.

Advertisements

ප්‍රතිචාර 5 »

  1. කියෙව්වා…
    ෆොන්ට් එක තව පොඩ්ඩක් ලොකු කලොත් හොඳ නැද්ද?

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 13, 2010 @ 5:27 ප.ව.

    • දිග කතාවක්නෙ. ලොකුවට දැම්මොත් තවත් දිග වැඩි‍ෙවයිද මන්දා! කල්පනා කරල බලන්නම්කො ෆොන්ට් තව ලොකු කරනවද කියලා.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජනවාරි 13, 2010 @ 8:25 ප.ව.

      • අනිත් අයත් කියන ඒව බලන්නකො. මගෙ ඇස්වල අවුලක්ද මන්ද දිගට කියවන් ගිහින් ඉවර වෙද්දි ඇස් රිදෙනව. 🙂

        මමනම් කැමති තව පොඩ්ඩක් හරි ලොකු කරනවනම්. කතාව දිග නිසා තමයි පොඩියට තියෙද්දි කියවන්න අමාරු. මමනම් කියන්නෙ ටිකක් දිග වැඩිවුනාට කමක් නැහැ. තව පොඩ්ඩක් ලොකු කරන්න කියලා.

        නැත්නම් ඉතින් අමාරුවෙන් හරි කියවන්නම්කො… 😦

        ප්‍රතිචාර විසින් indik — ජනවාරි 13, 2010 @ 8:59 ප.ව.

  2. ඇත්ත තමයි.. අඩුගානේ 12 සයිස් එකවත් දාන්න…කතාවනම් මල්!

    ප්‍රතිචාර විසින් සුභාෂ් — අප්‍රේල් 1, 2010 @ 12:54 පෙ.ව.

    • සමාවෙන්න. වර්ඩ්ප්‍රෙස් ග්ලිච් එකක්. සිංහලෙන් ලියන සටහන දිග වැඩි වුනාම මම ලියන 12 එකෙන් නෙමෙයි වෙබි එකේ පෙනෙන්නෙ. කවුරු හරි විසඳුමක් හොයාගත්තොත් මටත් කියන්න.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — අප්‍රේල් 1, 2010 @ 7:11 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: