Sinhala story Blog

ජනවාරි 12, 2010

4 ඔයා මොන හවුස් එකේ ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:30 ප.ව.

“සංජීවනී කරුණාරත්න අපේ පංතියට එනවලු.”

උදේ පාන්දරින් ‍පංතියෙ ලොකු කසුකුසුවක්.

“කවුද සංජීවනී කරුණාරත්න කියන්නෙ?” රුක්ෂානි හසන්තිගෙන් විමසුවාය.

“කොළඹ බිස්නස් කරන පෝසත් කෙනෙකුගෙ දුව. ජනප්‍රිය ළමා චිත්‍රපටි නිළියක්. හරිම ලස්සනයි.”

“ඔයා දැකල තියෙනවද එයා ඉන්න ෆිල්ම්ස්?”

“ආච්චියි මායි ෆිල්ම්ස් බලන්න යන්නෙ නෑ.”

රුක්ෂානි තත්පරයකට පමණක් නිහඬතාවය රැකගත්තාය.

“ඇයි ඉතින් එයා එනව කියල මෙච්චර…”

“සංජීවනීගේ තාත්තා.. මාර පෝසත්. ඔයාගෙ තාත්තා වගෙ තමයි. සංජීවනී ගියේ ප්‍රයිවට් ඉස්කෝලෙකට. මේ ළඟ දී හිටිහැටියෙ එයාව අස්කරලා ඉස්කෝලෙන්. කවුරුත් දන්නෑ හේතුව මොකක්ද කියල. එයාගෙ තාත්තා ඉ‍ස්කෝලෙට ගිහින් කෑ කෝ ගහල තියෙනවාලු එහෙම කරන්න බෑ, අරකයි මේකයි කියල. ඒත් ඉස්කෝලේ අය කියලා තියා ගන්න බෑ වෙන එකකට දා ගන්න කියල.”

“එයාට මේ පංතියටම එන්න වුනානෙ. එයාගෙ පව් තාම ඉවර නැහැ නේද?”

“ප්‍රීනි‍ට එයා එක්ක යාළු වෙන්න ඕනා වුනොත් එයාව රැග් එකෙන් බේර ගනියි.”

“එහෙම කරන්න පුළුවන් ද එයාට?”

“ප්‍රීනි එයාට ඉස්සෙල්ලා යාළුවෙන් කතා කළොත් අනිත් ළමයි නවත්තනවා රැග් සේරම. අපි පහළ පංති වල ඉන්න කොටත් එහෙමයි.”

“හරි අසාධාරණයි නේද? අපිට තියෙන්නෙ එයත් එක්ක යාළු වෙන්න.”

රොෂානා මිස් පංතියට එදා ආවේ පොත් තොගයක් අරගෙන. අවුරුද්දෙ අන්තිමට පවත්වන අන්තර් විද්‍යාලීය ඉංග්‍රීසි නාට්‍ය තරඟයට හසන්තිගෙ පංතියෙන් නොවරදවාම අංගයක් ඉදිරිපත් වෙනව. සමහර අවුරුදුවල නාට්‍යයෙහි පෙනී සිටියෙ ප්‍රීනි හා තවත් ළමයෙකු හෝ දෙදෙනෙකු. එහිදී ප්‍රීනි අතින් කෙරුන දිගු භාෂණයක් වූ අතර අනිත් ළමුන් පැවසුවේ වචන කිහිපයක් පමණි.

ශේක්ස්පියර් නම් නාට්‍ය රචකයාගේ කෘති මේ උළෙල තුල දී වැඩිපුර රඟ දැක්වුණි. හැමගේම ප්‍රියතම අංගය වූයේ ‘රෝමියෝ හා ජුලියට්’. පිරිමි විද්‍යාලයන්හි පිරිමි ජුලියට්ලා ද ගැහැණු පාසැල් වලින් ගැහැණු රෝමියෝලා ද දකින්නට ලැබේ. එක දිගට රඟ දැක්වෙන ‘රෝමියෝ ජුලියට්’ හි ජවනිකාවන්ට වඩා වෙනත් කතාවකින් කොටසක් මෙවර රඟ දැක්වීමට රොෂානා ගුරුවරියට උවමනා විය.

“අපිට දොළොස්වන රාත්‍රියෙන් සීන් එකක් කරන්න පුළුවන් ද මිස්?” රුක්ෂානිගෙන් යෝජනාවක්.

ප්‍රීනි බුම්මා ගත් හැටි දුටු මුළු පංතියම නිහඬ වූහ. මෙතෙක් ප්‍රීනිට ඉහළින් යන්න කවුරුත් උත්සාහ කළේ නැහැ. මහන්සි වී පංතියේ අමතර කටයුතු හැමෙකක්ම ඉටු කරන ප්‍රීනි ස්වේඡාවෙන්ම නාට්‍යයෙහි වැඩද බාර ගන්නීය. අනිත් ළමෝ බහුතරය එයාට සියල්ල කරන්නට හැර ඔවුන්ගේ ලෝකවල ජීවත් වූහ. හසන්ති වැනි කෙනෙක් පමණක් අමතර වැඩ බාර නොගත්තේ ඒවාට යොදවන්නට මුදල් නැති හෙයිනි.

“අපි ඉස්සරවෙලා නාට්‍ය කිහිපයක් කියවමු. ඊට පස්සෙ අපිට සුදුසු නාට්‍ය තීරණය කරමු.” රොෂානා මිස්ගෙ වචන වලින් ප්‍රීනිගෙ අහංකාර මුහුණෙ මතුවුනේ සාවඥ සිනහවක්. පංතියෙ ළමුන් පොත් බෙදා ගත්තෙ කන් කෙඳිරි ගගා. එක පොතක් කියවන්න අකැමති අයට දැන් පොත් කිහිපයක්ම කියවන්නට සිදු වී ඇත.

සංජීවනී කරුණාරත්න නැමති අලුත් ශිෂ්‍යාව පංතියට ඇතුල් වූයේ මේ මොහොතේදී. ඇයව පුළුල් තිරයෙන් හා පෝස්ටර් වලින් නිතරම දැක පුරුදු වුවද තමන් ඉදිරියේ පෙනී සිටින පාසැල් ශිෂ්‍යාව අතිශයින්ම රූමත් බව හැමටම වැටහුනි. දන්නා හඳුනන කෙනෙකු පංතියට පැමිණියා සේ දැනුනෙන් ඇයට අලුත් ළ‍මයෙකුට සේ සැලකීමට කිසිවකුටත් නොහැකි විය. හසන්ති අනාවැකි කියූ ආකාරයටම ප්‍රීනි ඉඩක් ලද වහාම සංජීවනී හා කුළුපගව කතා කළාය. ඇය හා මිතුරු වන්නට හැම දෙනාටම අවශ්‍ය වූ හෙයින් කිසිවකු ප්‍රීනිට දොස් කීවේද නැත.

දිසානායක මිස් එදින නිවාඩුවක් ගත් බැවින් පංතියට ගණිත ගැටළු කිහිපයක් එවා තිබුණි. ගණිතයට වෙන් වූ කාල පරිච්ඡේදයේ දී ඉහළ පංතියකින් පැමිණි ළමයෙක් ගණන් කිහිපය කළු ලෑල්ලේ ලියා පංතියෙන් පිටවිය.

“හරි බඩගිනියි,” මංජුලා කැන්ටිම කලින් ඇරලා ඇත්දැයි බැලීමට පංතියෙන් නික්ම ගියේ ප්‍රශ්න කොපි කරගන්නේ ද නැතුවය. සෙව්වන්දි හා හේමලතා ලිව්වේ ගණිතය හා සම්බන්ධ ප්‍රශ්න වුවද කතාවෙන් හිටියේ පාසැලෙන් බොහොම ඈතක. මානෙල් කොපි කරදුන් ගැටළු සමඟ පොත පාසැල් බෑගයට එබූ ප්‍රීනි සංජීවනීගේ ආසනය වෙත හැරුනේ වෙන ප්‍රශ්න මාලාවකට පිළිතුරු සොයා ගැනීමේ අරමුණ ඇතිව. එහෙත් ඇයගේ පරමාර්ථය ඉටු නොවිණ. සංජීවනී සිය මේසයෙහි හිස තබාගෙන ඇස් පියාගෙන සිටියාය. ඇතුලට දැමූ කොපි පොත යළි එළියට ඇදගත් ප්‍රීනි ගණිත ගැටළු විසඳීමට පටන් ගත්ත ද මඳකින් එය එපා වී මානෙල් හා කතාවකට වැටුණි.

“හසන්ති, ඔයා ලියන ගමන්ම ගණන් හදනවා නේද?”

“අපි කළින් දවසෙ හදපු ඒවට සමානයි මේව.”

“මට නම් එදා දීපුවා එකක්වත් තේරුනේ නැහැ.”

“මේ වර්ග ඝන බෙදීමේ ගණන් සේරම ගොඩ නැඟිලා තියෙන්නෙ නම වරක් චක්කරේ එක්කයි. බලන්න හැම ගණනකම විසඳුම දිහා. මේක නමයෙන් බෙදන්න පුළුවන්. මේකත් එහෙමයි.”

“මට ඔයා තරම් ඉක්මනට නම වරක් චක්කරේ මතක් කරගන්න බැහැ.”

“නම වරක් මතක තියා ගන්න හරි ලේසියි. මේ බලන්න,” පැන්සලයෙන් කොපි පොතේ රතු ඉරට වම් පැත්තෙන් හසන්ති නම වරක් චක්කරය පැහැදිලි කළාය. “නම වරක් දෙක කියන්නෙ දහ අට. දෙකෙන් එකක් අඩුවුනාම එකයි. එකට අටක් එකතු කළාම නමයයි. ඔන්න බලන්න ඊ ළඟට නම වරක් හතර. තිස් හයයි. හතරෙන් එකක් අඩු වුනාම තුන. ඊ ළඟට තුනට හයක් එකතු කළාම නමයයි. දැන් ඔයා කියන්න නම වරක් අට කීයද කියලා?”

“හත.. හැත්තෑ දෙකයි?”

“හරියට හරි.”

“කවුද ඔයාට මේ මෙතඩ් එක කියල දුන්නෙ?”

“පහළ පංතිවල දී චක්කරේ පාඩම් කරද්දි මම දවසක් හොයාගත්ත.”

“දැන් මට නම වරක් පුළුවන් නිසා එහෙනම් ගණන හදන හැටිත් කියල දෙනවද ප්ලීස්.”

හසන්ති හා රුක්ෂානි දෙදෙනා ඉතා උනන්දුවකින් ගණිත ගැටළු විසඳීම පටන් ගත්හ. මෙතෙක් අතහැර දමා තිබූ ගණිතය එතරම් අප්‍රියජනක විෂයයක් නොවේ යයි රුක්ෂානිට වැටහිණ. පංතියේ අනිත් ළමුන් ගණන් සෑදීම පැත්තක තිබියදී මහා හයියෙන් එකිනෙකා පරදවමින් සාකච්ඡාවේ යෙ‍දී සිටියහ. සෙමෙන් සෙමෙන් පටන් ගත්තද කෙමෙන් කෙමෙන් වැඩි වුනු ශබ්දය කොතරම් ද කියතොත් ග්‍රේස් ගුරුතුමිය පංතියට ඇතුළුවන හඬ ද කිසිවකුට ඇසුනේ නැත.

රූලක් අතින් ගත් ඇය අතේ ඇති මුළු ශක්තියම යොදා ඉන් මේසයට තඩි බෑවාය. අන්දුන් කුන්දුන් වූ ළමෝ මඳක් ගල්ගැසී සිට ඉන් මිදී කඩිමුඩියේ පොත් ඇදගෙන වැඩ කරන බව පෙන්වන්නට නිෂ්ඵල ව්‍යායාමයක යෙදුනහ.

“රුක්ෂානියි හසන්තියි විතරයි මෙතන වැඩක් කරන්නෙ. අනිත් අය වට්ටි අම්මලා වෙළඳාම් කරනවා වගෙ. කවුද ඔතන බුදි?”

පිටුපසින් වාඩිගත් ළමයෙක් නිදා සිටි ළමයාගේ උරහිසට තට්ටුවක් දැමීය.

“මිස් ග්‍රේස්. මේ සංජීවනී කරුණාරත්න,” ප්‍රීනි පංතිභාර ගුරුතුමියට ඇයව හඳුන්වා දුන්නීය. නිදිමත දෑස් ඇඟිලි තුඩු වලින් පිස දමමින් සංජීවනී පංතිය හමුවේ නැගිට්ටාය. ඇය කවුදැයි හඳුනාගත් ග්‍රේස් ගුරුතුමිය වාඩි වෙන්න යයි ඇයට අතින් සංඥා කළාය. ලස්සන අයට නිරතුරුවම හොඳ සැලකිලි ලැබේ. එය මනුෂ්‍ය වර්ගයාගේ ගතියකි.

“මීට පස්සෙ මම පංතියට එන්න පරක්කු වුනොත් මෙතන කෑ ගගහ ඉන්නෙ නැතුව හැමෝම යන්න ඕන පුස්තකාලයට.”

“බලන්න හසන්ති. වෙන කෙනෙක් නිදාගෙන ඉඳලා අහුවුනා නම් දඬුවම්. සංජීවනී නිසා බේරුනා,” රුක්ෂානි සෙමින් මැතිරීය.

“පළමුවෙනි දවසේම දඬුවම් දෙන්න බෑනෙ රුක්ෂානි. ඉස්සෙල්ලා නීති රීති දැනගන්න ඕනනෙ.”

පංතියේ කාල පරිච්ඡේදය අවසන් වන්නට පෙර ඉතිරිව තිබුනේ සුළු වේලාවක් පමණි. රුක්ෂානිත් හසන්තිත් ඉතිරිව තිබූ ගණිත ගැටළු කිහිපය විසඳීමට එම කාලය මිඩංගු කළහ.

අවසාන කාල පරිච්ඡේදයට වැටී තිබුනේ ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම්. පොත් හා බෑග් රැගෙන හැමෝම පංතියෙන් පිට වුනේ ක්‍රීඩාපිටියෙන්ම ගෙවල් බලා යන්නට. පාසැල් බස් රථ වලින් පැමිණෙන ළමුන් බසයේ හොඳ ආසන අල්ලා ගැනීම ගැන කතා කළහ. වජිරා හා ගමන් කළ රොමේන්, කාමන් හා නීලමනී ක්‍රීඩාවෙන් ගැලවීමට හැකි හේතු හදා ගනිමින් ගමන් කළහ. දහඩිය වැගිරෙන කිසිම කාර්යයකට සහභාගී වන්නට අකැමති තිදෙනෙකි නීලමනී, කාමන් හා රොමේන්. වජිරාගේ වලිප්පුව ගැන පාසැලේ සැවොම දන්නා නිසා ඇයට ශාරීරිකව වෙහෙසන කටයුතු වලින් මිදෙන්නට හැකියි.

“අපේ පංතියෙ බාගයකට වඩා ළමයි කැමති කිසිම ක්‍රීඩාවක් නොකර ඉන්න. සිල්වියා මිස් ආසයි ළමයිව දිස්ත්‍රික්ක තරඟ වලට එහෙම යවන්න. ගොඩක් අය කම්මැලි.”

“මම ස්පෝර්ට්ස් කරන්න ආසයි. ටෙනිස්. ස්විමිං ‍එහෙම. ඔයා මොනවට ද ආස?”

“ටෙනිස්, ස්විමිං වගේ දේවලට සල්ලි ගෙවන්න ඕනනෙ. මම කරන්නෙ කෙටි දුර තරඟ. නෙට්බෝල් ගහන්නත් ආසයි. ඒත් ටීම් එකත් එක්ක එහෙ මෙහෙ යන්න ආච්චි දෙන්නෙ නැහැ.”

“ඔන්න හසන්ති අලුත් ළමයා නම් නිදාගෙන නැඟිටලා සෙල්ලම් කරන්න ලෑස්තියි වගෙ.”

සංජීවනී ක්‍රීඩා පිටිය‍ට පැමිණ අතපය හිරි කඩමින් ඇඟ උණුසුම් කරන ව්‍යායාමන්හි යෙදෙන්නට වූවාය.

“රුක්ෂානි ඔයා මොන හවුස් එකේ ද?” ඔවුන් අතරට එමින් ප්‍රීනි විමසුවාය.

“මම අතුරුපාන හවුස් එකෙ,” රුක්ෂානිගේ පිළිතුර ක්ෂණිකය. මුහුනේ සිනාවක් ද නොමැතිය. ප්‍රීනි අන්දමන්දව වටපිට බැලුවාය. පාසැලේ නිවාස බෙදා තිබුනේ පද්මරාග, ඉන්ද්‍රනීල, පුෂ්පරාග හා චන්ද්‍රකාන්ත යන නම් වලිනි. තමන් සුහදව ඇසූ පැණයට ඇය හරහට පිළිතුරු දෙන්නේ ඇයිදැයි ප්‍රීනිට ප්‍රශ්නයක් වුවද ඒ ගැන හඹා යන්නට ඇය අකැමති වූවාය.

“අපේ නිවාසෙ ළමයි ස්පෝට්ස් මීට් එකට ප්‍රැක්ටිස් පටන් අරගෙන. ඔයාත් අපේ නිවාසෙද කියල දැන ගන්නයි ඇහුවෙ,” නොඉවසුම් සහගත ස්වරූපයකින් පැවසූ ප්‍රීනිට උවමනා වූයේ රුක්ෂානි හා කුළුපග කම් ඇති කරගන්නට ද නැතිනම් ඔවුන් අසල සිටි සංජීවනීට යමක් දන්වන්නට ද?

“තවත් තරඟයක් පටන් ගන්න ඕනද ඔයාට?”

“ඉස්සරවෙලා බාර ගත්තු තර‍ෙඟ දිනලා ඉන්නකො,” යයි දිනුම් පදය කියාගෙන ප්‍රීනි ඔවුන් අතරින් මෑත් වූවාය. සිල්වියා ගුරුවරිය සෙල්ලම් පිටියට ඇවිත් විසිල් එක පිඹලා හැමෝගේම අවධානය ගත්තෙ ක්‍රීඩා උත්සවය ගැන කියන්නයි.

ප්‍රතිචාර 5 »

  1. මම අද තමයි කතාව කියවන්න ගත්තෙ. කතාව ලස්සනයි. දිගටම ලියන්න.

    තව පොඩ්ඩක් ෆොන්ට් එක ලොකු කරන්න පුළුවන්නම් හොඳයි…

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 12, 2010 @ 10:17 ප.ව.

  2. lassanay mama mula idalama kiyawanna gaththa

    ප්‍රතිචාර විසින් thanu — අප්‍රේල් 21, 2010 @ 5:23 පෙ.ව.

  3. ඔන්න හොයගත්තා. කවුද බලමු මේ සංජීවනී කරුණාරත්න

    ප්‍රතිචාර විසින් අමිල — දෙසැම්බර් 26, 2010 @ 2:54 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: