Sinhala story Blog

ජනවාරි 11, 2010

3 අපිට මැණික් තුනක් තියෙනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 12:14 ප.ව.

රුක්ෂානිට උවමනා වූයේ කොහොම හරි තරඟය දිනන්නටය.

ප්‍රීනිගේ අභියෝගය බාර නොගත්තා නමි එදා රුක්ෂානි පංතිය ඉදිරියේ අසරණ වන බව නිසැකය. දිනන්නට තරම් හැකියාවක් තමනට ඇත්දැයි හසන්ති කිහිප වරක් රුක්ෂානි විමසීය.

“බාර ගත්තා වගේ නෙමේ දැන් ඔයාට සවුත්තුව මම හොඳ ලකුණු ගත්තෙ නැත්නම්. ඉංග්‍රීසි තමයි මගේ දුර්වලම සබ්ජෙක්ට් එක.”

රුක්ෂානිගේ ආරාධනය මත දෙදෙනා එකතු වී ඉංග්‍රීසි අක්ෂර වින්‍යාස විභාගයට පාඩම් කිරීමට හසන්ති ආච්චිගෙන් අවසර ගත්තාය. ඒ අනුව හසන්ති පාසැල ඇරී රුක්ෂාන හා ඇයගේ නිවස බලා ගියාය. ඇවිදින දුරක තිබූ විසල් ගෙවල් ඇති මේ පරිසරය හසන්තිට එතරම් හුරු පුරුදු නොවේ. ඔවුන් දෙදෙනා රැගත් කිරි සුදු පැහැති 504 රථය සෙමින් ගමන් ගත්තේ පාරේ තිබුනු නිසංසල බව රැක ගන්නට මෙනි.

වාහනය ඇතුලත වායු සමීකරණයව තිබුණි. ආසන සුදු රෙදි වලින් ආවරණය වුවද එහි කිසිදු පැල්ලමක් හෝ කුණු බිංදුවක්වත් ගෑවී තිබුණේ නැත. බස් රථයක පවා වැඩි ගමනාගමනයක් නොකළ හසන්තිට 504 රථය අමුතුම ලෝකයක් විය. ආච්චි හෝ තමා දන්නා රථ වාහනයකට හිමිකම් කියන තවත් කෙනෙක් ඇත්දැයි හසන්ති කල්පනා කළාය.

ගේට්ටුව සවි කර තිබුනේ මහ පාරෙන් ඇතුළු වනවිට ඉබේටම ඇරෙන්නටය. හරියට හොල්මන් ඉඳල ගේට්ටුව අරිනවා වහනවා වගේ යයි හසන්තිට සිතිණ. කවුරුවත් ගෙ‍දර ඇති පාටක් පෙනෙන්නට නොවීය. කැතම කැත මුහුණක් තියෙන තරබාරු බල්ලෙක් කපාපු නකුටු කොටය වනන්න තද උත්සාහයක යෙදෙනවා දැකපු හසන්තිගෙ මුහුණෙ හිනාවක් මතුවුනා.

“මේ සෑම්. එයා බොක්සර් වර්ගයේ බල්ලෙක්. හැබැයි බොක්සිං ගහන්න නම් දන්නෙ නැහැ.”

මෙවර හසන්ති හඬනඟා සිනහාවන්නට පටන් ගත්තීය. තමා ද විහිළුවේ කොටස්කාරයෙකු බව දැනගත් නිසා දෝ සෑම් ද නැට්ට නැති පස්සා පැත්ත මුළුමනින්ම වනමින් ඔහුගේ ප්‍රීතිය දැක්වූයේය.

“බොක්සිං නෙමේ. මෙයා මීයෙක්. නොදන්න මිනිස්සු බයවෙලා පළාතෙ එන්නෙ නැහැ. ඒ වුනාට ඒ අය ඇඟ උඩින් ගියත් සෑමි බලාගෙන ඉඳියි.”

“ආ..මේ අපේ ලොකු මැණිකා. මේ මගේ පංතියෙ යාළුවෙක්. හසන්ති. ලොකු මැණිකා තමයි කෑම හදන්නෙ. කරුණාකර කැරමල් පුඩිං හදනවද ලොකු මැණිකා? හසන්ති අද දවල්ට කන්නෙ මෙහෙදී.”

ලා රතු පාටෙහි කළු තිත් වැටුන ටෙරාසෝ වලින් මුළු පොළවම සැරසී ඇත. හසන්ති සපත්තු ගලවන්න හැදුවද මේක පන්සලක් නෙමේ කියමින් රුක්ෂානි ඇයගේ අතින් ඇදගෙන තරප්පු පෙලක් දිගේ උඩුමහලට දිව ගියාය. උඩුමහලේ  නිදන කාමර හයකි. රුක්ෂානිගෙ කාමරයට පාර පෙනේ. කාමරය මැද සුව පහසු ලොකු ඇඳකි. ඇඳ වැහෙන්නම පොත්.

“ඔයා හැම පොතක්ම එකපාර කියවන්න හදනවා වගේ.”

“සමහර පොත් ඉන්ටෙරස්ටින් නෑ. බාගයක් කියවන කොට එපා වෙනවා. රෑට සේරම පොත් බිමට දාලා නිදා ගන්නෙ. උදේට පොඩි මැණිකා කාමරේ අස් කරන කොට පොත් ආපහු ඇඳට දාන්න කියලයි තියෙන්නෙ.”

පොත් බිම දැමීම නරකය. ඒ හසන්ති හැදුනු වැඩුනු පරිසරයේය. රුක්ෂානිගේ ඇඳ අසල බිම එලා තිබූ කකුල් සිප ගන්නා කාපට් රටාව මතට පොත් දැමීම බිම දානවා හා සමාන කළ හැකි නොවේ. නාන කාමරය ද නිදන කාමරය ඇතුලත විය. සුමුදු සුවඳක් එහි පැතිරුණි. මල් පැල වලින් අලංකාර වුන නාන කාමරය තුල කිරිගරුඬින් නිම කළ මාළුවෙකුගේ ප්‍රතිමාවක් ද විය.

ඌ ඩොල්ෆින් වර්‍ගයේ මාළුවෙකි. පැත්තකින් එල්ලෙන වේවැලෙන් නිම කළ රාක්ක මත නොයෙකුත් පුමාණයන් ගෙන් යුත් තුවා පෙළක්. රුක්ෂානිගේ එදිනෙදා ජීවිතයේ ඇති සුවපහසු ආම්පන්න හසන්ති වැනි ලාංකික සමාජයේ වැඩි ජනතාවකට හිතන්නවත් බැරි තරමි. පිටරටින් ආධාර ලබාගන රට පාලනය කරන රාජ්‍ය නායකයෝ වැඩිදෙනා ජීවත්‍ වුනෙත් රුක්ෂානිලා හා සමානවය. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කතා කරද්දී එයාලට ඒ ගැන කිසිම අත්දැකීමක් නමි තිබුනෙ නැහැ. ඒ නිසාම දෝ ඒ අය රටට පුදුම නීති පැනවූ කාලයකි මේ. පුදුමය වුනේ ගෙන ආ නීතීන් නොව ඒවායෙහි පුතිවිපාක නීති පැනවූ අයට කිසිසේත්ම බලපෑම් නොකළ ආකාරයයි.

“ආපහු යුනිෆෝම් එක අඳින්නෙ නැතුව මගෙ ගවුමක් අඳින්න.” නානකාමරයට එබෙමින් රුක්ෂානි ගවුමක් දුන්නාය. හසන්ති මුහුණ කට සෝදාගෙන ඒ ගවුම ඇඳ ගත්තීය.

“ඇති නේද ගවුම ඔයාට.”

“ඔයා මට වඩා උස නිසා ගවුම ටිකක් කොටයි. අනිත් හරිය නම් ගාණට තියෙනවා.” ඇඟට සුමුදු සුවයක් ගෙන ආ ඒ ගවුම ලස්සනට මසා තිබිණ.

“ඉන්න මාත් වොෂ් එකක් දාගෙන එන්නම්.”

ඇඟලා සිටි පාසැල් නිල ඇඳුමත් යට ගවුමත් ගලවා පොළවේ තිබූ ලෑල්ලක් ඔසවා අත හැරිය රුක්ෂානි නානකාමරයට දිව ගියාය. නිදන කාමරය තුල සිහින් හඬින් ඉංග්‍රීසි සිංදුවක් වාදනය වන්නට පටන් ගැණින. ඒ එංගලන්තයේ ලිවර්පූල් වලින් පුසිද්ධියට පැමිණ තිබුණ ‘බීටල්ස්’ සංගීත කණ්ඩායමේ ගීතයකි. නානකාමරය තුලින් රුක්ෂානි ඒ සිංදුව හෙමිහිට මුමුණන්නට විය. පොළවේ සවිකර තිබුණ ලෑල්ල ඔසවා බලන්නට හිතුනත් ඒ ආශාව යටපත් කරගෙන හසන්ති සිය කොණ්ඩය අවුල් බේරා පීරන්නට පටන් ගත්තීය.

“බේබිලාට කෑම ලෑස්තියි.”

කාමරයට ඇතුළු වුනේ තවත් ගැහැණු ළමයෙකි. ම‍ට බේබි කියන්න එපා යයි කියන්න සිතුනද කිසිවක් ‍කියන්න තරම් ශක්තියක් හසන්තිට නොවීය.

“මට හොඳටම බඩගිනියි.” හසන්ති නානකාමරයෙන් ආවේ තුවාය ඔතාගන. “මේ චූටි මැණිකා. අපිට මැණික් තුනක් තියෙනවා. ලොකු මැණිකා කුස්සියෙ. පොඩි මැණිකා ගෙදර වැඩ කරන්නෙ. චූටි මැණිකා මොනව කරනවද කියල කවුරුවත් දන්නෙ නැහැ. හැබැයි එයාට තමයි වැඩ වැඩිම.”

“බේබිට මම නැති දවසට තේරෙයි.” චූටි මැණිකා කිව්වෙ හිනාවෙලා. රුක්ෂානිට ගවුම ඇඳගන්න චූටි මැණිකා උදව් කළා. එහා මෙහා දමා තිබුණ තුවා හා උනා දැමූ ඇඳුම් සේරම අරගෙන ගොස් ඇය ලෑල්ල ඔසවා එයට අත හැරියාය. හසන්තිගෙ ගවුමත් එයට වැටිණ. හසන්ති කලබල වී ඒ මගේ යුනිෆෝම් එක යයි කීය.

“ඔතනින් ඇඳුම් වැටෙන්නෙ රෙදි හෝදන මැෂිම ළඟට. එතකොට පොඩි මැණිකට ගේ මැද්දෙන් කිළුටු රෙදි උස්සගන යන්න වෙන්නෙ නෑ. තාත්තාගේ අයිඩියා එක.”

“රුක්ෂානි මට ගවුම ඕනා ගෙදර ඇඳන් යන්න. ආච්චි කැමති වෙන එකක් නැහැ අනුන්ගෙ ගවුම් ඇඳගෙන ගෙදර ගියොත්.”

“චූටි මැණිකා ඔයාට පුළුවන් ද හසන්තිගෙ ගවුම විතරක් දැන්ම හෝදලා දෙන්න. හොඳ චූටි මැණිකනෙ. ප්ලීස්.”

අමනාපයක සේයාවකදූ නොමැතිව චූටි මැණිකා කාමරයෙන් පිටව ගියාය. රුක්ෂානි වැඩ කරන අයටත් ‘කරුණාකර’ යන්න පාවිච්චි කිරීම දුටු හසන්තිට තම යෙහෙළිය ගැන ඇතිවූයේ අමුතු ආඩම්බරයක්.

“අපි යමු. කෑම ලැහැස්ති කරලා තියෙන්නෙ ස්විමිං පූල් එක ළඟ.”

“මම දැක්කෙ නැහැනෙ ඔයාලගෙ ගෙදර ස්විමිං පූල් එකක්.”

“දැන් බලාගන්නකො. මේ වෙලාවට බහින්න බෑ ඒකට. වහලේ උඩ හදවල තියෙන්නෙ. දවල්ට හරියට උණු වතුර පොකුණක් වගෙ. තාත්තට වැරදුන ප්‍රොජෙක්ට් එක ඒ.”

තරප්පු පේලියකින් නැඟ සිමෙන්තියෙන් නිමවුන වහළයකට දෙදෙනම පිවිසුනහ. කම්කළු පුංච් පිහිනුම් තටාකයේ වතුර නිල් පාටින් දිළිසුණි. අසල තිබූ දැවැන්ත කුඩයකින් ආවරණය වුන ලී මේසයක් මත කෑම පිළියෙල කර තිබිණ. බොන්න දොඩම් යුෂ වීදුරු දෙකක් පිඟන් අසල විය.

“පොඩ්ඩක් ඉන්න හසන්ති. මීට වඩා රස බීමක් මම අරගෙන එන්නම්.” කියූ රුක්ෂානි සැනෙකින් තරප්පු පෙළෙන් බැස නොපෙනී ගියාය.

හැම තැනෙකම බෝගන්විලා මල් පැල වලින් අලංකාරව තිබුනේ සල්ලි ඇත්නම් මොනවා කරන්න බැරිදැයි කියන්නාක් මෙනි. වහළ වටේටම ගැසූ යකඩ වැට හරියට පන්සලේ බෝධිය වටා තියෙන වැට වාගේ සුදු තීන්ත ගා තිබිණ.

“මෙන්න මම හදන ස්පෙෂල් එකක්. එන්න අපි කන්න පටන් ගනිමු.” ලා රතු පාට බීම වීදුරුවක් හසන්ති අතට දෙමින් රුක්ෂානි අසුන් ගත්තාය.

“සැර බීම මම බොන්නෙ නෑ.” මඳක් සැක සහිතව හසන්ති පැවසුවේ වීදුරුව මේසය මත තබමින්.

“ළමයෝ ඒවා මාත් බොන්නෙ නෑ.”

“මොනවද මේ?”

“බීලා බලන්නකෝ.”

බීම වීදුරුව තොල ගෑ හසන්තිට එහි සරුවත් වැනි රසක් දැනින. කෑමට තිබුන ආහාර දිහා බැලූ හසන්තිට ආච්චි දවල්ට මොනවා කන්න ඇත්දැයි සිතිණ. කැරමල් පුඩිම රැගෙන ආ පොඩි මැණිකා අනේ මේ බේබි සේරම ‍බොනකම් අපේ බේබ් බලාගෙන ඉන්නවානෙ යයි කීවාය.

“ඉතින් හසන්ති රසයි කිය කිය බොනවා නම් මම මොනවා කරන්න ද?” රුක්ෂානිගෙ දෑසේ දඟකාර හිනාවක්.

“හසන්ති බේබි ඕක බොන්න එපා. ඔය අයිස් වතුරට කලරින් දාලා රුක්ෂානි බේබ් හදන්නෙ. අර දොඩම් බොන්න බේබ්.”

හසන්තිට දැඩි ලැජ්ජාවක් ඇති විය. ඒත් ලැජ්ජාව වැඩි වෙන්නෙ ලැජ්ජා පාට පෙන්නුවොත් තමයි. රුක්ෂානිත් එක්ක එකතු වෙලා හසන්ති හිනා වෙන්න පටන් ගත්තෙ ඒ නිසයි.

“මේකත් එක විදියක රැග් එකක්.” බීම වීදුරුව උස්සලා හසන්ති කිව්වා.

“සුද්දොන් ගෙන් ඉගෙන ගත්තු දේවල් අතහරින්න අමාරු‍යිනෙ. යමු මගෙ කාමරේ‍ට ඔයා කාලා ඉවර නම්.”

“යමු. යමු. මං කාලා ඉවරයි. මට ගොඩක් හවස් වෙන්න කලින් ගෙදර යන්නත් ඕනා.”

“පොඩි මැණිකා!”

“ඇයි බේබි?”

“හසන්තිගෙ යුනිෆෝම් එක ඉක්මණින් ඕනා හො‍ෙඳ්.”

තමනට අමතක වී ගිය පාසැල් නිල ඇඳුම රුක්ෂානිට අමතක නොවීම ගැන හසන්ති සතුටු වූවාය. නිදනකාමරයට ආ රුක්ෂානි ලේස් දොර රෙද්දකින් ආවරණය වුනු හසන්ති මෙතෙක් නොදැකපු දොරක් ඇරගෙන සඳලුතලයකට පිවිසීය.

“හරියට තුනහමාරයි.”

“පාර දිහා බලල කොහොමද වෙලාව කියන්නෙ?”

“අර කාර් එක අල්ලපු වත්තෙ සමන්ත එක්කගෙන එන එක. එයා නීති ශිෂ්‍යයෙක්. හැමදාම තුනහමාරට ගෙදර එනවා. පහට කාර් එක ආපහු යනවා එයාගෙ තාත්තා එක්ක එන්න.”

දෙදෙනාම නිදනකාමරයට ගිහින් පොත් ඇර ගත්තෙ එකවරට. තවත් කල් දාන්න බැහැ කියන්නා සේ. දෙබසක් නොමැතිව කරන්නට යන දේ හිතා ගැනීමේ හැකියාවක් ‍දැනටම දෙදෙනාට ලැබී තිබුණෙන් ඔවුන් තවත් එකිනෙකාට සිතින් සමීප වූහ.

“අපි ප්ලෑන් එකක් ඇතුව පටන් ගන්න ඕනා පාඩම් කරන්න.”

“රොෂානා මිස් විභාගයට නිතරම දෙන්නෙ අපි අන්තිමට කරපු පාඩම් තුනෙන් වචන.”

“එහෙනම් ලේසිනෙ. කියන්න ඔයා දන්නෙ නැති ඒවා මොනවද කියලා.”

“ගොඩක් කියෙනවා. මම ලියන්නම්.”

හසන්ති පොතේ පිටු පෙරලන්නට විය. ඇඳ මත හරහට ඇලවුනු රුක්ෂානි එහි වූ ඉංග්‍රිසි කතා ‍පොතක් පෙරළා ගෙන කියවන්නට ගති. එවන් කතා පොතක් කියවන්නට තරම් ඉංග්‍රීසි දැනුමක් තමනට තියෙනවා නම් කොපමණ අගනේ ද? ඒ හසන්තිගේ සිතුවිල්ලයි.

හසන්ති ඉදිර‍ියේ වූ කොළය ඉතා ඉක්මණින්ම වචන රාශියකින් පිරී ගියේය. රුක්ෂානි තම පොතෙන් හිස එසවූයේ නැත. මඳ සිනහවකින් ඇය කතන්දර පොතේ රසවත් කොටසක් කියැවූවාය. ටික වේලාවකින් තම උරහිසට උඩින් එබී බලන රුක්ෂානිගෙ දඟකාර හිනාව ඇගේ මුහුණ පුරාත් ඇස් වලිනුත් නළියනවා හසන්තිට පෙනුනි.

“මේවා අමාරු වචන නෙමේ හසන්ති.”

“ඔයාට අමාරු නැති වුනාට මට මතක තියා ගන්න ලේසි නැහැ.”

“මේ පාඩම් තුනේම තියෙන්නෙ ‘ජී’ අකුර භාවිතා වෙන හැටි. වචන උච්චාරණය දැන ගත්තාම ලියන හැටි ‍ඉ‍ෙගන ගන්න ලේසියි.”

“උච්චාරණය දන්නවා රොෂානා මිස් කියවද්දි. ඒත් ගෙදර ගියාම අමතකයි.”

“රේඩියෝ එක අහන්න. ඉංග්‍රීසි ප්‍රවෘත්ති. සිංහල අහල ඉවර වෙලා. මම ඒකෙ අනිත් පැත්ත කලා ලංකාවට ආ මුල් කාලයේ. ඉංග්‍රීසි සිංහලට වඩා හරි ලේසියි. රේඩියෝ කියල වෙනසක් නැහැ. හැමෝම කතා කරන්නෙ එක විදියට. සිංහල දැනගත්තත් තාම සිංහල පුවෘත්ති තේරුම් ගන්න අමාරුයි.”

හසන්තිගෙ ගෙදර රේඩියෝව පාවිච්චි වෙන්නෙ එහෙමත් දවසක. විශේෂ ප්‍රවෘත්තියක් අහන්න පමණයි. ඒකත් බැටරි ගන්න සල්ලි තිබුනොත් තමා. ඉංග්‍රීසි ඉගෙන ගන්න හසන්තිට තිබුන හොඳම ක්‍රමය අල්ලපු ගෙදර මිස්ටර් ඩිලෙනි කතා කරනවා අහන් ඉන්න එක. ඒත් ආච්චි කැමැති නෑ අනුන්ගෙ කතා අහන් ඉන්නවාට. අනික මිස්ටර් ඩිලෙනිට අඩියක් දෙකක් වැදුනම ළමයින්ට අහන්න හොඳ නැති කතාත් කියවෙන නිසා.

“මේ බලන්න මේ වචනෙ. ‘ගෝජස්’. තේරුම මොකක්ද?”

“ජරාවක්…කැත දෙයක්?” හසන්ති මිමිණුවාය.

“හසන්ති සිංහලෙන් හිතන්න එපා. ‘ගෝජස්’ කියන්නෙ ගොඩාරියක් ලස්සනයි කියන එක. දැන් බලන්න ‘ජී’ අකුර එක්ක ‘ඒ’ අකුර එනකොට ‘ග’ සද්දෙ. ‘ජී’ ළඟ‍ට ‘ඊ” ආවාම ‘ජ’ සද්දෙ. මේ නීතිය වෙනස් වෙන්නෙ නැහැ.”

පැය දෙකක කාලයක දී රුක්ෂානිට හැකිවුනා වචන ලැයිස්තුවෙ හැමෙකක්ම කොටස් වලට බෙදලා හසන්තිට විස්තර කර දෙන්න. ඉංග්‍රීසි වචන මතකයේ තබාගන්න දහස් වාරයක් මුමුණන්න පුරුදු වෙලා හිටිය හසන්තිට මේ ක්‍රමය ඉතා පහසු විය. විස්තරය අවසානයේ දී කඩ පාඩම් නොකරම වචන බොහොමයක අකුරු මතකයේ සටහන්ව තිබිණ.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. I enjoy very much this fast reading youth novel. Continue to write. My congratulations!

    ප්‍රතිචාර විසින් W.A. Wijewardena — අගෝස්තු 21, 2011 @ 10:02 පෙ.ව.

  2. I’m late comer but I enjoy too.

    ප්‍රතිචාර විසින් Jay — සැප්තැම්බර් 25, 2012 @ 2:20 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: