Sinhala story Blog

ජනවාරි 8, 2010

1-මෙතන මට ඉඩ තියෙනව ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:45 පෙ.ව.

රුක්ෂානි අතුරුපාන පන්තියට ඇතුල් වෙලා වටපිට බැලුවා.

වාඩි වෙන්නට ඇයට ආසනයක් නොතිබුණි. මුළු පන්තිය පිරෙන්න ළමුන්. සුදු ගවුම් ඇඳගෙන නිල් සහ සුදු ඉරි වැටුන ටයි පටි පැළඳ ගත් අය.

“ගොඩනැඟිලි අරමුදලට සල්ලි දුන්නයි කියල අලුතින් ක්ලාස් රූම් එකක්ම හදල දෙනකම් බලාගෙන ද ඉන්නෙ?”

කොණ්ඩ කැරලි දෙක අත් දෙකෙන් උස්සලා උරහිසෙන් පිටුපසට විසි කරන ගමන් එක ගෑණු ළමයෙක් කිව්වා. එයා ළඟ තිබුනෙ ‘මමයි මෙතන ලොක්කා’ යන ස්වරූපය. එයා කියන හැම දෙයකටම එයාට අවශ්‍ය ආකාරයට ප්‍රතිචාර දෙන්න සූදානමින් හිටිය මුළු පන්තියම එක වරෙම මහ හයියෙන් හිනා වෙන්න ගත්හ. පටන් ගත් සැනෙන් සැවොම ආයෙත් නිහඬ වූහ.

පන්ති භාර ගුරුතුමිය දඩිබිඩි ගාලා කොහෙන්දෝ පාත් වුණි. පස්සෙ දවසකයි රුක්ෂානිගෙ නිරීක්ෂණයට හසුවුනේ ග්‍රේස් මිස් ඇවිදින කොට හරිම සද්දයි යන්න. එයා එන්න කළින් දැනගන්න පුළුවන් කම තිබුණ හෙයින් පන්තියේ ළමයි කවදාවත් කළබල වුනේ නැහැ.

“මේ ළමයට ඉඳගන්න තැනක් දෙන්න. දැන්. දැන්.”

ග්‍රේස් මිස් කතා කළෙත් හරි වේගයකිනි. සුලෝචනයි, චමරියි ඒ දෙන්නා මැද්දෙන් ඉඩක් පෙන්නූහ. රුක්ෂානි පොත් බෑගයත් උස්සා ගෙන ගිහින් ඒ දෙන්නා මැදින් වාඩිවුනා.

“අද හැමෝම ඇවිල්ලා නේද?”

පැමිණීමේ ලේඛනයට නම් ඇතුළු කරද්දී හැමෝගෙම නම් කියවන්න ග්‍රේස් මිස් කාලය ගත්තෙ නැහැ.

“හැමෝටම වැඩියෙන් එක් කෙනෙකුත් ඉන්නවා මිස්.” ආයෙත් කතා කළේ පන්තියෙ ලොක්ක.

“ඔව්. අද අපේ පන්තියට එකතු වෙන මෙයා රුක්ෂානි අතුරුපාන.”

“අපි දන්නවා මිස්.” මුළු පන්තියම එක් හඬින් කෑ ගැහැව්ව.

ග්‍රේස් මිස් පන්තියට එනකොට හැමදාම පරක්කුයි. එයා අද උදේ රැස්වීමට ආවෙත් නැහැ. රුක්ෂානි විදුහල්පති කාර්යාලය තුල ඇතුල්වීමේ කටයුතු නිම කළ නිසා ඇයටත් රැස්වීමෙහි දී කියූ දේ අහගන්නට නොහැකි විය. රුක්ෂානිගෙ තාත්තා පාසැලේ ගොඩනැඟිලි අරමුදලට විශාල මුදලක් පරිත්‍යාග කළ බවයි විදුහල්පතිනිය රැස්වීමෙහි දී වාර්තා කළේ. රුක්ෂානිගෙ නම සඳහන් වූ බව එයාවත් ග්‍රේස් මිස්වත් දැන හිටියෙ නැහැ.

ඊ ළඟට පන්තියට ආවෙ ඉංග්‍රීසි ගුරුවරිය. රොෂානා මොහොමඩ්. ඇය මුළු පන්තිය වෙලාවෙම කතා කළේ ඉංග්‍රීසියෙන්. රුක්ෂානිට බොහොම සතුටුයි. රුක්ෂානි උප්පත්තිය ලැබුවෙ ලංකාවෙදි වුනත් එයා හැදුනෙ වැඩුනෙ පිටරටදි. මව් බස හරි හැටියට කතා කරගන්න බැරි ශ්‍රී ලාංකික දරුවො අනන්තවත් ඉන්න පිටරටදි රුක්ෂානි සිංහල කතා කරන්න දැන සිටීම එයාගෙ දෙමාපියන්ට ආඩම්බරයක්. ආනන්ද අතුරුපාන මහතා ලංකාවට ආවෙ කතාව විතරක් නෙමේ දුවට හරි හැටියට සිංහල ලියන්නත් කියවන්නත් උගන්වන්න. මේ තීරණය ගන්න වැඩියෙන්ම බලපෑවේ ලංකාවේ සිටි අතුරුපාන මහතාගේ පියා ලෙඩ දුකින් දුබල වෙන්නට පටන් ගත් නිසා. ඒත්, රුක්ෂානි ඉතා ළැදියාවක් දැක්වූ විෂය තමා ඉංග්‍රීසි භාෂාව. රොෂානා මිස්ගෙ කාල පරිච්ඡේදය තවත් දික් වෙනවා නම් හොඳ යයි ඇයට සිතිණ.

හඬ නඟා කියවීමට බොහෝ ළමයි පසුබාද්දී රුක්ෂානි එයට කැමැත්තෙන්ම ඉදිරිපත් වූවාය. පසුගිය දවසක නවත්තපු තැනින් පටන් ගත් ඉංග්‍රීසි කියවීමේ පොත රුක්ෂානි ආසාවෙන් කියවන්න පටන් ගත්තා. ඇ‍ෙග් වචන දේශීය උච්චාරණයට වඩා වෙනස් වුවද මුලින් කසු කුසු ගෑ සිසුවියන් මඳ වේලාවකින් නිහඬව ඇයට ඇහුම් කන් දුන්හ. රුක්ෂානිගේ කියවීමේ ලතාව අගැයූ රොෂානා මිස්ට අමතකව ගියා තවත් ළමයෙකුට කියවීමෙ වාරයක් දෙන්න. ඊ ළඟ වාරය අවශ්‍ය වෙලා තිබුනෙ ප්‍රීනිට. ප්‍රීනි අතක් උස්සගෙන එහාට මෙහාට ඇඹරෙන්න ගත්තෙ නැත්නම් මුළු පන්ති කාලය ඉවර වෙන තෙක්ම රුක්ෂානි කියවනවා අහගන ඉන්න සියල්ලම වශීවෙලා හිටියෙ.

“ස්තූතියි රුක්ෂානි. දැන් ප්‍රීනිගෙ වාරය.” රොෂානා මිස් ඉංග්‍රීසියෙන්ම පැවසීය. තමා දෙස බලා ඔළුව මඳක් සොලවා සිහින් සිනාවක් පෑ ඉංග්‍රීසි ගුරුවරිය හා තමන්ට හදවතින් සමීප වූවා සේ රුක්ෂානිට දැනිණ. රුක්ෂානි ඉඳ ගත්තෙ සතුටින් පිරී ගිය සිතකිනි. ඒත් ඉඳගත්ත ගමන් කෑ ගසා ගෙන ඇය උඩ පැන්නා.

සුලෝචනයි චමරියි පුටුව උඩ සීතල කවකටු පෙට්ටියක් තියල. පන්තිය ඉවර වෙන ගංටාර නාදය පටන් ගත්තෙත් ඒ එක්කම. කළබලය අස්සෙ කවුරුවත් දැක්කෙ නැහැ ප්‍රීනිගෙ මුහුණ තරහින් පිරිච්ච හැටි.

ඊ ළඟ කාල පරිච්ඡේදය පටන් ගන්න කළියෙන් තමා වාඩි වී සිටින ආසනය මාරු කල යුතු යයි රුක්ෂානිට තේරුම් වී හමාරය. සුලෝචනයි චමරියි දෙන්න එයාල මැද්දෙන් තමාව වාඩි කරගත්තෙ ආදරේට නෙමෙයි. රුක්ෂානි වටපිට බැලුවෙ හිස් ඉඩක් හොයා ගන්න.

“මෙතන මට ඉඩ තියෙනව ද?”

“මම ළඟ ඉන්න ගර්ල් නිතරම ඇබ්සන්ට්. ඔයා කැමති නම් මෙතන වාඩි වෙන්න පුළුවන්.”

හසන්ති තමා අසල වූ පුටුවත් මේසයත් පෙන්නුවෙ රුක්ෂානි වැටී ඉන්න කරදරයෙන් ගොඩ ගන්නයි.

“මගෙ නම දැන් මුළු ඉස්කෝලෙම දන්නවානෙ. ඔයාගෙ නම මොකක්ද?”

“මම හසන්ති නුගකුඹුර. මේ පන්තියෙ ළමයි නරක නැහැ. අළුතින් එන හැම කෙනාටම රැග් කරන එක මෙයාලගෙ විනෝදය.”

“සුද්දන්ට බැන බැන සුද්දොන්ගෙ කැත පුරුදු කරන්නෙ.”

“ඒ මොකක්ද?”

“රැග් එක. පටන් ගත්තෙ එංගලන්තයෙ. රදළ ළමයි ඉන්න ඉස්කෝළවලට අනිත් ළමයි එන්න පටන් ගත්තම ඒ අයට කරදර කරන්න පටන් ගත්ත සිරිතක්.”

පන්තියට ගුරුවරියක් පැමිණ නැති නිසා ළමයි කල්ලි ගැහිල කතාව. සමහරු සිංහලෙන් කතාව, තවත් අය ඉංග්‍රීසියෙන්. ගොඩක් දෙනා සිංහලයි ඉංග්‍රීසියි දෙකම මිශ්‍ර කරමින් කතාව ගෙන ගියහ. හසන්තිත්, රුක්ෂානිත් එතෙක් පන්තියෙ කෙරුනු පාඩම් ගැන බර කතාවකට වැටුණි.

“ආ..ආ.. ආපු ගමන් යාළුවො හදා ගෙන.. හහ් හා..”

පන්තියේ කොණක වාඩිවී සිටි උස මහත ළමයෙක් ගොරෝසු කටහඬකින් කෑ ගහන්න පටන් ගත්ත.

“ඔය ගර්ල්ට අපි කියන්නෙ ‘කට හැකර වජිරා’ කියලයි. ගණන් ගත්තෙ නැති වුනාම කට පියා ගනීවි.” හසන්ති සිහින් හඬකින් තොල් මැතිරීය.

එහෙත් වජිරා කට පියා ගත්තේ නැහැ. දිගින් දිගටම රුක්ෂානිට විහිළු කළ ඇයට පන්තියේ අනිත් ළමෝ හිනා වෙවී දිරි දුන්හ. වජිරාගේ විනෝදාංශය මෙසේ රැග් එක දී ළමුන්ව තරහ ගැස්වීමය. අද රුක්ෂානිට එල්ල වූ සමරිසි ව්‍යංගයෙන් වූ ඇනුම් පද එකක් වත් කිසිවෙක් බරපතල ලෙස සැලකුවෙ නැත්තෙ ඒ නිසා. ඒත් රුක්ෂානිට මේ කතා පොඩ්ඩක් වත් ඇල්ලුවෙ නැහැ. ටිකින් ටික ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන බව වජිරා දුටුවෙත් නැහැ.

හිටි හැටියෙ නැඟිට්ට රුක්ෂානි කට හැකර වජිරාගේ ටයි පටියෙන් ඇදගෙන තඩි බාන්න ගත්ත. වජිරා බිම වැටෙනවත් එක්කම රුක්ෂානි ගුටි දීම නවත්වද්දී, වජිරාට වලිප්පුවක් ඇවිත්. මුළු පන්තියම කෑ ගහමින් සී සී කඩ දිව ගියහ. පාසැලේ හෙදිය පන්තියට එනකොට වජිරා ළඟ රැඳී හිටියෙ රුක්ෂානියි හසන්තියි පමණි. හසන්ති පැන්සලක් රඳවලා වජිරගෙ දත් මැද්දෙන්. වජිරාට මේ ලෙඩේ පහළ පන්තියක ඉන්දැද්දීත් හැදුන බව හසන්තිට මතකයි.

“ප්‍රින්සිපල් එන්න කිව්වා රුක්ෂානි අතුරුපානට.” කාර්යාලයේ වැඩ කරන ජේමිස් ඇවිත් පන්තියට. වෙනදාටත් වඩා කළබලයෙන් දුව ආ ග්‍රේස් මිස් හෙදියත් එක්ක වජිර ළඟ. ‍ජේමිස්ගෙ පණිවිඩය ඇහුණු ග්‍රේස් මිස් රුක්ෂානි දිහා බැලුවෙ ඇස් බැමි හකුළුවමින් ප්‍රශ්නාර්ථයක් මුහුණින් පමණක් පෙන්වමින්. පන්තියෙන් පැන ගිය ළමුන් ආපහු ඇවිත්.

“තවත් කවුරු හරි යන්න රුක්ෂානි එක්ක.” ග්‍රේස් මිස්ගෙන් විධානයක්. හසන්ති ඉක්මනට නැඟිටලා රුක්ෂානිගෙ අතින් ඇදගෙන පන්තියෙන් පිටවුනා.

දෙදෙනාම විදුහල්පතිනියගෙ කාර්යාලයට ඇතුළු වුනේ අත් අල්ලගෙන. එක වරුවකින් රුක්ෂානිත් හසන්තිත් මේ තරම් යාළු වෙයි කියල ඒ දෙන්නාවත් එදා උදේ දැනගෙන හිටියෙ නැහැනෙ.

“මම එන්න කිව්වෙ රුක්ෂානි අතුරුපානට. අනිත් එක්කෙනා ඉන්න එළියෙන්,” විදුහල්පතිනිය කණ්ණාඩියට උඩින් බලල ආඥාවක් නිකුත් කළාය.

“බාලිකා විද්‍යාලයක ගෑණු ළමයි දෙන්නෙක් ගුටි ඇන ගත්ත බව හවස පත්තර වලින් කියවන්න ආස ද? මේ ලංකාව. දැන් ඔයා ඉන්නෙ පිටරට නෙමෙයි. මෙහෙ ගෑණු ළමයි ගුටි කෙළ ගන්නෙ නැහැ. තවම අලුත් නිසා අදට සමාව දෙනව. ආයෙ අහුවෙන්න එපා ඔය වගෙ දඟ වැඩ කරල. තාත්තා කවුද කියන එක මට ප්‍රශ්නයක් නෙමේ. මේ පාසැලේ කාටත් මම එක විදියටයි සලකන්නෙ.”

රුක්ෂානිට වචනයක් වත් කතා කරන්නට ඉඩක් නොදුන් විදුහල්පතිනිය එක දිගට අවවාද රැසක් දෙන්න පසුබට වුනේ නැහැ. මේ තරම් ඉක්මණින් විදුහල්පතිනියගේ කණේ පන්තියේ වූ සිද්ධිය තබන්නට සමත් වූයේ කවුද?

“වජිරාට කොහොමද දන්නෑ. අපි යමුද සික් රූම් එක පැත්තෙන්?” එළියට ආ ගමන් රුක්ෂානි ඇසුවාය.

රුක්ෂානිගෙ ඉල්ලීමට අනුව හසන්ති ලෙඩ ළමුන් සඳහා වූ කාමරයට ඇතුළු විය.

“ඇයි මේ?”

“නර්ස් මැඩම්, මම මේ පැනඩෝල් එකක් ඉල්ල ගන්න ආවේ.”

ආ.. හසන්ති! හිසරදේ හැදෙන්නෙ උදේ‍ට හරියට කාලා ආවේ නැත්නම්. මතක ඇතුව උදේට මොනවා හරි කන්න. මෙන්න පැනඩෝල්. මේ වතුර වීදුරුව. සේරම බොන්න.”

නැති හිස රදේට පැනඩෝල් බීලා, ලෙඩ ඇ‍ෙඳ් නිඳා සිටි වජිරා දිහා හොරෙන් බලල හසන්ති එළියට පැන ගත්තීය.

“එයා තවම නිදි. පැය ගාණක් නිදා ගන්නවා ඕක හැදුනම. ඔයා දැනගෙන කරපු දෙයක් නෙමෙනෙ.”

“වැරැද්ද වැරැද්දමයි. දැන හෝ නොදැන කළාට.” රුක්ෂානි පැවසුවේ සතුටකින් නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: