Sinhala story Blog

ජනවාරි 7, 2010

“පකී.. අයින් වෙනවා..”

Filed under: Uncategorized — sinhalashortstories @ 10:21 පෙ.ව.

“පකී..අයින් වෙනවා ඔතනින්.. මගේ පොකට් එකට ගහන්න ද බලන් ඉන්නෙ?”

ඉංග්‍රීසි ජාතිකයා ලන්ඩන් රේල්ලුවේ ගමන් ගත් සිංහලයාට කීය. සීතලෙන් ගැහෙමින් සිටි නිසා මෙතෙක් සීත කබායේ සාක්කු ඇතුලට දමා තිබූ අත් ඉවතට ගත් සිංහලයා රැජිනගේ බසින්ම සුද්දා ඇමතුවේය.

“මම පකිස්ථානයෙන් නෙමෙයි. ලාංකිකයෙක්. ඔයාල බොන තේ හදන රටේ කෙනෙක්.”

“හාහ්.. මෙයා හොඳට අපේ භාෂාව කතා කරන්නත් දන්නවා.” උපහාසාත්මක ස්වරයෙන් පැවසූ සුද්දා තව වැඩියෙන් සමච්චල් කරන්නට පටන් ගති.

බ්‍රිතාන්‍ය අධ්රාජ්‍ය කඩා වැටෙද්දී, ආර්ථික ලාභ සොයා ගෙන පෙර කල යටත් විජිතයන්හි වැසියන් එංගලන්තය කරා ආ කාලයකි මේ. ඉන්දියානු, බංගලදේශි හා පකිස්ථානි ජාතිකයන් “පික් පොකට්” කරුවන් යයි සැලකූ ඉංග්‍රීසි ජාතිකයා ඔවුන් හැම දෙනාම ‘පකී’ යන නාමයෙන් පකිස්ථානුවන් ලෙස සැලකූහ. ඉන්දියාවෙන්, බංගලාදේශයෙන් හා පාකිස්ථානයෙන් එංගලන්තයට ආ ආසියානුවන් එකළ උගත් අයය. ඔවුන් චාල්ස් ඩිකන්ස් වැනි සම්භාවනීය බ්‍රිතාන්‍ය ගත්කරුවන් අතින් ලියැවුන ‘ඔලිවර් ටුවිස්ට්’ හා ‘ඩේවිඩ් කොපර්ෆීල්ඩ්’ වැනි සාහිත්‍ය නිර්මාණයන් කියවා තිබුණහ. ‘පික් පොකට්’ කලාව ප්‍රවීණ කර ඇත්තේ ලන්ඩන් වැසියන්ම බව ඔවුනටම පැහැදිලි කර දෙන්නට හැකියාව මේ සිංහලයා ද සතුය. එහෙත් ඉහළ අධ්‍යාපනය සොයා අවුත් නූගත් ලන්ඩන් සුද්දා හා ගුටි කෙළ ගන්නට අකැමැත්තෙන් ඔහු කට පියාගෙන ඊ ළඟ දුම්රිය පොළෙන් බැස්සේය.

******

“ඊස්ට්මන් කලර්ස් දාලා තමයි සර් අළුත හදන චිත්‍රපටි සේරම එන්නෙ. ඔන්න මම අද කිව්වා කියල මතක තියා ගන්නකො.”

“ඒත්..කොහොම වෙයිද දන්නෙ නැහැ. මට මේ ෆිල්ම් එකට යන මුදල් ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා නෙමෙයි කියන්නෙ. වැරදියට තේරුම් ගන්න එපා. ඔය අළුත් දේවල් වලට අපේ ක්‍රවුඩ් එක කොහොම රියැක්ට් කරයි ද කියල මගේ පු‍ශ්නෙ.”

තමා ඉදිරියේ සිටින නිෂ්පාදකයාට අවශ්‍ය ආකාරයට චිත්‍රපටි නිම වෙද්දී අධ්‍යක්ෂකවරයා ඔළුව බිත්තියේ ගසා ගත් වාර අනන්තය. එහෙත් සිංහල සිනමාව රක්ෂණය කෙරුනේ කලාව අගය කෙරුන්නන් අතින්ම නොවේ. මුදල් ඇති අය තම සතුට හා පුසිද්ධිය සඳහා සිනමාවට එකතු වූහ.

වතුපිටි අයිති, ව්‍යාපාරික කටයුතු වල යෙදුන මේ නිෂ්පාදකයා ච්ත්‍රපටි ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි දැයි සිනමා ලෝකයේ නියැලී සිටින හැම දෙනාටම ප්‍රශ්නයකි. ඔහුට ඇති තරම් මුදල් උපයන වෙනත් මාර්ග ඇත. කලාව අතින් ඉගෙනීමක් හෝ සහජයෙන් ඇති කලාත්මක හැකියාවක් ද ඔහුට නැත. එහෙත් සිනමා ලෝකය ඇසුරු කරන්නටත් ඒ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා යහමින් සල්ලි වියදමටත් ඔහු කැමතිය.

සිනමාවේ ඉහළින් බැබළෙන තරු වලට පමණක් නොව නැඟ එන තරු වලට ද ඔහුගේ ආධාරය, අනුබලය හා රුකුල ලැබේ. ලංකාවේ පුථම සිනමා ශාලාව වූ ‘එල්ෆින්ස්ටන් රඟහල’ නිම වෙද්දී ඔහු කුඩා කොළු පැටියෙකි. එතැනින් ගමන් ගත් සෑම අවස්ථාවකම එදෙස ඔහු බැලුවේ කට අයා වාහනයේ වීදුරුවට නැහැය තද වෙද්දීය.

“තමුසේ හොඳයි කියල හිතන විදියට හදන්න පටන් ගන්නවකො එහෙනම්. මම තව හොයල බලල තීරණයක් දෙන්නම්.”

“හොඳයි සර්.” අධ්‍යක්ෂකවරයා කාර්යාලයෙන් පිටව ගියේ නිෂ්පාදක තැනගේ කතාවෙන් සිත අමනාපයට පත්කර ගෙනය. ඔහු නැඟ එන කලාකරුවෙකි. අධ්‍යාපනය හා කලාත්මක හැකියාව යන දෙකටම හිමිකම් කියන්නෙකි. “කෙනෙකුට තත්වෙ දීලා කතා කරන්න දන්නෙ නැහැ. තමුසෙ කියනවා. මිස්ටර් බැරි නම් නම කියපන්කො.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: