Sinhala story Blog

මැයි 22, 2012

වෘත්තීය පුද්ගලයා මනුෂ්‍යයාට වඩා පුහුණු කාලයක් ලබා තිබුණි

Filed under: Uncategorized — sinhalashortstories @ 6:04 පෙ.ව.

9

ආචාර්ය කොකින්ට්ස් හිටියේ කිසිත් සද්දයක් ඇතුලට ඇහෙන්නේ නැති වෙන්නට නිම කරන ලද ඔහුගේ විද්‍යාගාරයේ ය. තනිවම ය. එය පිහිටියේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ ය. හතුරු ප්‍රහාරයකට මුහුණ දෙනු සඳහා වූ පුහුණු ගැන රට පුරා පැතිර ගිය ආන්දෝලනයට ඔහු සවන් දුන්නේ නැත. තනිකඩයෙක් වූ ඔහුට සිය රැකියාව වෙනුවෙන් කැමති තැනක කැමති කාලයක් ගෙවන්නට ඉඩ ලැබී තිබුණි. විද්‍යාගාරයේ රෑ ගෙවන්නට පැත්තක් හදා ගත් ඔහු තමා නැවතී සිටි නිවසේ අයිතිකාරියට දවසක් දෙකක් ගෙදර ආවේ නැත්නම් ඒ තමන් බීමතින් සිටින නිසා හෝ වාහනයක හැප්පී සිටි නිසා හෝ කාන්තාවක් සමඟ ගිය නිසා නොවන බවත් එක්කෝ ඔහු සිනමාවක් බලන්නට ගිහින් නිදා වැටුණු බව, නැත්නම් වොෂිංටන් ගිහින් ඇතැයි හෝ නැත්නම් රැකියාව වෙනුවෙන් වෙහෙසන බව ඒත්තු ගන්වන්නට වෙර දැරූවේය. ඔහුගේ කුලී කාමරය වූයේ බෲක්ලින් පැත්තේ වූ මැක්කින්ලි කාලයේ හදපු නිවසකය.

කුලී කාමරයේ අයිතිකාරිය වූ රයිනර් මහත්මිය අම්මා කෙනෙක් මෙන් පෙනුමෙන් ද හැසිරීමෙන් ද වූ කාන්තාවකි. ඇය කොකින්ට්ස් දුන් හේතු කිසිවක් විශ්වාස කළේ නැත. ඒත් ඔහුගේ හැසිරීම ගැන ප්‍රශ්න කළේ ද නැත. නමුත් ඔහු රාත්‍රියන් හි නිදා ගැනීමට කාමරයට නොපැමිණීම ඇයගේ සිත මහත් කරදරයට පත් කරන ලදි. ඇය සිතූ පරිදි තනිකඩයන් රෑට තම වාසස්ථානයෙන් පිට සිටීම නොමනා ය. එහෙම ගියාම ඔවුන් රැකියාවේ යෙදෙනවා යැයි අනිත් අයට හිතන්නට කීම විහිළුවක් යැයි ඇය සිතුවේය. ඔවුන් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ රැකියාවක් කරනවා යැයි කීම ඊටත් වඩා විහිළුවකි. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ රාත්‍රියට වැඩ කරන එකම පිරිස කසල ශෝධකයන් ය. ඉතින් ආචාර්ය කොකින්ට්ස් කසල ශෝධකයෙක් නොවේ. ආචාර්ය කොකින්ට්ස් අමුතු පුද්ගලයෙක් බව රයිනර් මහත්මියට දැනී තිබුණි. එහෙත් ඔහු නිසි වේලාවට කුලී ගෙවන්නෙකි. ඔහු කුරැල්ලන්ට ප්‍රියයි. රයිනර් මහත්මිය ද කුරුල්ලන් ප්‍රිය කළාය. ඔහු නැති විට දී ඔහුගේ කුරුල්ලන්ට ආහාර දීම ඇය කැමැත්තෙන් ම බාරගෙන තිබුණාය. ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තම කාර්යාලයේ පුද්ගලික දුරකතන අංකය ඇයට දී තිබුණි. ඒ වැඩි කාලයක් කුලී කාමරයෙන් පිටත සිටින්නේ නම් තමාට කතා කරනු පිණිසය. ඒත් රාත්‍රියේ දී කතා කරන්නට එපා යැයි ඔහු කියා තිබුණි. ඉතින් බෲක්ලින් හි අකේසියා වීදියේ රයිනර් මහත්මියත්, ඇමෙරිකාවේ ජනාධිපතිවරයාත් යන දෙදෙනා පමණි ආචාර්ය කොකින්ට්ස්ට ඔහුගේ පුද්ගලික දුරකතන අංකයෙන් ඔහුගේ රහසිගත පරමාණු භෞතික විද්‍යාගාරයට කතා කරත හැකි දෙදෙනෙකුට ඇමෙරිකාවේ සිටියේ. අනිකුත් සියළු දුරකතන ඇමතුම් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ පුවරුව හරහා එන ඒවාය.

පුහුණු පැවැත්වෙන ආන්දෝලනය ගැන උවමනාවක් නැතිකම නිසා නොවෙයි ඒ ගැන ආචාර්ය කොකින්ට්ස් කිසිත් තැකීමක් නොකළේ. ඒ පුහුණු ඔහුගේ වැඩ නිසා ඇති වූවකි. මේ සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්නට සූදානම් කරන පුහුණුවෙන් ඔහුට තවත් වැඩ වැඩි වූයේ කුවේඩියම් බෝම්බය තවත් සූක්ෂම හා ප්‍රායෝගික වූ අවියක් කරගනු සඳහා ය.

ජනතා සිත් සනසනු සඳහා අසාර්ථක ලෙසින් ඇමෙරිකාවට කුවේඩියම් බෝම්බයක් ඇතැයි කියන්නට ග්‍රිෆින් සෙනෙට් සභිකයාට සිද්ධ විය. ඒක අසත්‍යයක් නොවන නමුත් සෙනෙට් සභිකයා කතා කරපු කුවේඩියම් බෝම්බයත් ආචාර්ය කොකින්ටස් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට පෙන්වූවත් අතර සෑහෙන පරතරයකි. ආචාර්ය කොකින්ට්ස් තමන් නිම කළ ප්‍රථම වෑයමේ අපිළිවෙල ගැන තෘප්තියකින් වූයේ නැත. ඔහු එය ගලවා තවත් සූක්ෂම කිරීමේ යෙදී සිටියේය.

ඔහුට අවශ්‍ය වූයේ කුඩා බෝම්බයකි. ඕනෑම වර්ගයක අහස් යානාවකින් ඕනෑම ස්ථානයකට ගෙන යා හැකි සුරුවමට ඇසුරුම් කරන ලද්දකි. ඔහු ජනාධිපතිවරායට පිරිනැමියේ කිසිත් පිළිවෙලක් නැති ලෙසින් එකතු කරන ලද තැන තැන ගෙන යා නොහැකි වූවකි. ඔහුගේ වෘත්තීමය පුහුණුව, සකසුරුවම් ලෙසින් යමක් ඉදිරිපත් කරන හැදියාවෙන් යුතු වූ නිසා, ඒ ප්‍රථම උත්සාහය ගැන තුටු වීමට ඔහුගේ සිතට ඉඩ දුන්නේ නැත. සියල්ල නිසියාකාරව ඉටු කරන හැදියාවෙන් යුත් වූ නිසා ඔහු සිය කර්තව්‍යයන් වලින් සතුටක් ලැබුවෙකි. තම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය -එයින් ඇතිවන දැඩි විනාශය, එයින් නිකුත් වී යන යන තැන් විනාශ කරමින් පැතිර යන කාබන් දාහතර, පොළවේ නිසරු වීම- ඔහුව මනුෂ්‍ය්‍යෙක් හැටියට බිය කළේය. ඒත් සියල්ල නිසියාකාරව ඉටු කරන හැදියාවෙන් යුතු වෘත්තිමය පුද්ගලයා මනුෂ්‍ය්‍යාට වඩා පුහුණු කාලයක් ලබා තිබුණි. ඉතින් ඔහු කාර්යයේ නියැළිණ.

ඔහු එය නිම කර ඇත. වැඩ කරන මේසය මත වූයේ කුඩා, අළු පැහැති, ලෝහ ආවරණයකි. එහි ප්‍රමාණය හා හැඩය සපත්තු පෙට්ටියක් මෙනි. මේ ලෝකයේ ප්‍රථම කුවේඩියම් බෝම්බයයි. ඒක එතරම් දරුණු බවකින් දිස් වූයේ නැත. එහෙත් එයින් ඇතිවන හානිය ඉමහත් ය. එය සියුම් ලෙසින් පත්තු කිරීමට ඔහු යොදා ගත්තේ තම කුලී කාමරය අයිති රයිනර් මහත්මියෙග් කොණ්ඩා කටුවක කොටසකි. හයියෙන් වදින පහරකින් හෝ හදිසි ගැස්මකින් එය පුපුරා යන්නට හැකියි. තමන් හැදූ කුවේඩියම් බෝම්බය අහම්බෙන් පුපුරා යෑම වළකනු සඳහා ගත යුතු පියවරයන් සියල්ල තවම ආචාර්ය කොකින්ට්ස් විසින් හදා නැත. ඒ කොටස පහසු ය. ඔහු ඊට තව ටිකකින් අත තියනු ඇත. පළමුවෙන් අවශ්‍ය වූයේ බෝම්බයයි. ඔහු එය අවසන් කර ඇත.

මැයි 21, 2012

ඔහු වෙරි මතින් ද සිටියේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:24 පෙ.ව.

“ලේකම් මහත්මයාණෙනි,”

වොෂිංටනය හා කෙළින් ම සම්බන්ධ වූ පසු ඔහු ඇමතීය, “නිව් යෝර්ක් නගරයේ හදිසි තත්වයක් ගැන මට වාර්තා කරන්න වෙලා තියෙනවා. උමං දුම්රිය මාර්ග වල මිලියන බාගයක් විතර ජනතාව රැඳිලා ඉන්නවා. ඒ හැමෝම මොකක්දෝ හෑල්ලක් ගයන්න පටන් අරගෙන. ඒ හැමෝම වගේ විශ්වාස කරනවා නිව් යෝර්ක් නගරය අඟහරු ලෝකෙන් ආපු මිනිස්සු විසින් ආක්‍රමණය කරලා තියෙන්නෙ කියල. ආරක්ෂක සේවකයන්, විශේෂ සහ සාමාන්‍ය පොලීසිය සහ මට ඉන්න හැම සේවකයෙක් ම දාලා උත්සාහ කරන්නේ ජනතාව ඒ බිමෙන් පහළ කඳවුරු වල තියාගන්නයි. ඒත් මම දන්නෑ තව කොච්චර කාලයක් අපිට ඔවුන්ව එහෙම රඳවා ගන්න පුළුවන් වෙයි ද කියා.”

කෙටි නිහඬතාවයක් දුරකතනය ඔස්සේ ගලා ආවේය. තම වෘත්තියේ යම් සන්ධිස්ථානයකට තමා පැමිණ ඇතැයි ජනරාල් ස්නිපෙට්ට දැනුණි. මේ කමකට නැති කලබැගෑනිය තමන්ගේ වැඩක් නොවේ යැයි ලේකම්ට තේරුම් කරදිය හැකි නොවේ නම්, තමාගේ ඉතිරි ජීවිතය ඔහු ජීවත්වෙන අයුරට ප්‍රමාණවත් නොවන තරමින් විශ්‍රාම වැටුප් ලබා වැඩ නැති හිස් ජීවිතයක් ගෙවන්නට සිද්ධ වනු ඇත. ලේකම්වරයා ඇසූ පළමුවැනි ප්‍රශ්නය ඔහුගේ සිතට සහනයක් ගෙන දුන්නේ නැත.

“ඔබ කිව්වෙ අඟහරු ලෝකෙන් ආපු මිනිස්සු කියලා ද?” ඔහු තද ස්වරයකින් ඇසුවේය.

“ඔව්, සර්,” ජනරාල් පිළිතුරු දුන්නේය. නැවතත් කෙටි නිහඬතාවයක් පැතිර ගියේය.

“කොහොම ද මේ පිස්සුව පටන් ගත්තෙ?”

“හොයාගෙන යද්දි මට දැනගන්නට ලැබුනේ ඒක අපේ විශේෂ වාර්තා අංශයට ලැබිච්ච දුරකතන ඇමතුමකින් පටන් ගත්ත එකක් බව. ටොම් මුලිගන් කියන සිවිල් ආරක්ෂක කණ්ඩයාමේ නායකයා වාර්තාවක් දීලා තියෙනවා පියාඹන පීරිසියකින් ආපු පිරිමි කණ්ඩායමක් ආක්‍රමණය කරපු බවට. ඔවුන් යම් විදියක අවි අපේ අය වෙත එල්ල කරලා. ඔවුන් හැඳ සිටියා යැයි කියන්නෙ යකඩ ඇඳුම්.”

“ඔහු වෙරිමතින් ද සිටියේ?” ලේකම්වරයා විමසීය.

“ඒක තමයි අපේ විශ්වාසය. ඔහුට දුන් උපදෙස තමයි ඉන්න තැනම ඉන්න කියල එක්ක ගෙන එනතෙක්. ඒත් එක්ක ගෙන එන්න ගිය අය එතැනට යද්දි ඔහු -ම් ..ආ .. අතුරුදහන් වෙලා.

“අතුරුදහන් වෙලා?”

“ඔව්. කිසිත් සලකුණක් නැහැ හොයාගන්නට.”

“කිසිම සලකුණක් නෑ?”

“කිසිවක් නෑ.”

“ඔහුගේ කණ්ඩයාමේ අය හොයාගත්තා ද?”

“ඔවුන් ද අතුරුදහන් වෙලා.”

“කිසිම සලකුණක් නෑ?”

“කිසිවක් නෑ.”

තවත් නිහැඬියාවක් පැතිරිණ.

“මට කියන්න, ජනරාල්වරයාණෙනි,” ලේකම්වරයා නොකැමත්ත පළකරන හඬකින් ඇසුවේය, ”හමුදා නිලධාරියෙක් විදියට, පරමාණු විකිරණ වලින් ගැලවෙන්නට මත්පැන් සහාය දෙනවා යැයි කියූ නාවුක හමුදාවේ වාර්තාව ගැන ඔබ සැලකිල්ලක් දෙනවා ද?”

“කිසිම සැලකිල්ලක් දෙන්නේ නෑ,” ජනරාල්වරයා උත්සුක ලෙසින් කීවේය.

“ඒක දැනගන්න ලැබිමෙන් මට දැනෙන්නේ සහනයක්. දැන්, මේ අඟහරු ලෝකෙන් ආවා යැයි කියන මිනිස්සු ඔබ දැක තියනවා ද?”

“නැහැ.”

“පියාඹන පීරිසි හෝ ඒ වාගේ දේවල්?”

“නැහැ.”

“එහෙනම්, කරුණාකරලා ඔබ ම ගිහින් බැටරි සිට බ්‍රොන්ක්ස් දක්වා සංචාරය කරලා ආපහු ඇවිත් මට වාර්තාවක් දෙන්න. ඒ අතරතුරේ දී මේ උමං දුම්රිය කඳවුරු වල ඇති වී තියෙන පිස්සුව නතර කරන්න ඔබ කැමති පියවරක් ගන්න. අපේ රටේ විශාලතම නගරයේ ආරක්ෂාව මේ වගේ අමන වැඩක් නිසා නැතිවෙලා ආරක්ෂක පුහුණුවේ කිසිත් ප්‍රතිඵලයක් ද නැතිවෙනවා. නගරය, මම අළුතින් කියන්න ඕනෙ නැහැනෙ. නගරයේ ආරක්ෂාව පැවරිලා තියෙන්නෙ ඔබට. ඔබ ඇවිදින ගමන් කල්පනා කරන්න ඕන ඇයි බොස්ටන් වලින් අඟහරු ලෝකෙන් ආපු මිනිස්සු ගැන වාර්තා ලැබුනේ නැත්තෙ කියලා? තවත් ලෝකය වැසියන් ඇමෙරිකාවේ හද ගැස්ම මේ තරම් නිශ්චිතව දැනගෙන බොස්ටන් තෝරාගන්නෙ නැතිව නිව් යෝර්ක් නගරය තෝරා ගනිවී යැයි මට නම් හිතන්න බැහැ. මට පැයකින් පස්සෙ වාර්තා කරන්න.”

අනිත් පැත්තෙන් ස්ථිරව විසන්ධි වෙන දුරකතනයේ හඬ ඇසුනු පසු අතේ ඇති දුරකතනය දිහා ජනරාල් ස්නිපෙට් ගල් ගැසුණාක් මෙන් බලා සිටියේය.

“ටැස්කර්!” ඔහු තම කාර්යාල සේවකයාගේ නම ගුගුලේ ය. “මගේ වාහනය ගෙන්න!”

මැයි 18, 2012

නගරයේ ආක්‍රමණයක් අසල්වැසි ග්‍රහලෝකයකින්

Filed under: Uncategorized — sinhalashortstories @ 5:21 පෙ.ව.

“පොඩ්ඩක් ඉන්න, මම මේක ටයිප් කරන කම්.

පනහක් හරි හැටක් හරි පිරිමි, පියාඹන පීරිසියකින් -ඒයි මේ මොකක් ද මේ විහිළුව? මොනා ද මේ කියන්නෙ පියාඹන පීරිසියකින්?”

“ඒක තමයි මම කිව්වෙ,” ටොම් උත්තර දුන්නේ ය. “මම ඔවුන් ඇස් දෙකෙන් ම දැක්කා. මගේ කණ්ඩයාමත් දැක්කා. පහනක් හරි හැටක් හරි. යකඩ ඔළු තියෙන අය. දිළිසෙන දේකින් ඇඟවල් ආවරණය වූ අය. හදිසියේ ම අපි ඉදිරියෙන් මතු වුනා. මොකක් ද කිරණ තුවක්කුවකින් අපිට වෙඩි තිබ්බා.”

“මේ අහන්න, සහෝ,” විශේෂ වාර්තා අංශය කියුවේය, ”මත්පැන් හල් වලින් අයින් වෙලා ඉන්න කියලා නේද කියලා තිබ්බෙ? ඔයාල කරන වැඩ කොටස වැදගත්. නැහැය තෙත් කරගෙන බීමතින් ඉන්න එක වැරදියි. කොහෙද ඔයා දැන් ඉන්නෙ?”

“අනූඅට වැනි වීදියත් බ්‍රෝඩ්වේ වීදියත් හංදියේ,” ටොම් කීවේය. “අනික මම මොන මත්පැන් හලකට වත් ගිහින් නැහැ. අහන්න මගේ කණ්ඩයාමෙන්. ඔවුන් මා සමඟ සිටිය අය. ඔවුන් දැක්කා ඒ පිරිමින්ව. කෙළින් ම බැස්සෙ පියාඹන පීරිසියකින්. මම මේ කියන එක අහන්න. නගරයේ ආක්‍රමණයක්.”

“ඉන්න තැන ම ඉන්න,” විශේෂ වාර්තා අංශය කියුවේය. “මම කාව හරි එවන්නම්.” ඒත් ටොම් ව ගෙන ගොස් ප්‍රශ්න කරන්නට සිවිල් ආරක්ෂක නිලධාරියා පැමිණෙන්නට පෙර වෙනත් කණ්ඩයාමක් පැමිණියහ. ඔවුන් දැනටමත් තැන තැන ඇවිදිමින් සිටි ටොම්ගේ කණ්ඩායම එකතු කරගෙන ය. සාමාන්‍ය ඇඳුමින් වූ ටොම්ගේ කණ්ඩායම පියාඹන පීරිසි ගැන විස්තර කිවූහ. ඔවුන් කිසිවෙකුට තම අනන්‍යතාවය ඔප්පු කරන කාඩ්පත් තිබියේ ද නැත. හැමෝම එක හා සමාන කතාව කියූ නිසාත්, ඔවුන්ව අල්ලා ගෙන සිටීම පහසු වෙන්නටත්, ඔවුන්ගේ විෂවායු මර්ධන ඇඳුම් කට්ටල දමා ආ තැන් පෙන්වන්නට යැයි අළුතින් ආ අය ඔවුන් හා ගියහ. එහෙත් ඇඳුම් සොයාගත නොහැකි වූ නිසා ළඟ ම ඇති උමං දුම්රිය පොළේ ආරක්ෂිත කඳවුරට ඔවුන්ව කිසිත් සැලකිල්ලක් නොදක්වා දමන ලදි. එහි සේවයේ යෙදි බාරකාරයාට කතන්දරය හඟිස්සවන්නට ටොම් හා නැවත එකතු වූ විෂ වායු මර්ධන පිරිස උත්සාහ කළහ. තම කණ්ඩායම සිවිල් ආරක්ෂක සංවිධානයේ කොටස්කරුවන් බවත් ඔවුන්ගේ වගකීම් නතර වූයේ යුද ප්‍රහාරයක් නිසා බවත්, කතාව ගලා යද්දී හතුරන් ඇවිත් ඇත්තේ අඟහරු ලෝකයෙන් බවත් කියැවිණ.

“බ්ලිට්ස් ප්ලොට්ස්,” තත්වය හඳුනාගත් සේ ඇඟ වූ බාරකාරයා කීය.

එහෙත් අඟහරු ලොවින් ආ, යකඩ ඇඳුමින් සැරසුනු යෝධයන්ගේ අමුතු හා භයානක අවි වලින් වූ ආක්‍රමණය ගැන බියකුරු කටකතා දැනටමත් බියෙන් සලිත වී කරකියා ගන්නට බැරිව ආරක්ෂිත කඳවුරේ හිර වී සිටි ගැහැණු මිනිස්සු අතර කටින් කට පැතිරිණ. සතියක් පුරා සංකාවෙන් සිටි අයට මෙය දරාගත නොහැකි තරම් සිත් පීඩාවක් ඇති කරන ලදි. පැහැදිලි කරත නොහැකි අවි වලින් පරාජය ගැන කතන්දර ඇසූ ඔවුනට, පියාඹන පීරිසි ගැන කතා එමට අසා ඇති ඔවුනට, අජටාකාශ ගමන් ගැන අනේක කතන්දර කියවා ඇති ඔවුනට, අමුතු ලෝක වලින් අමුතු සත්වයන් පැමිණෙනු චිත්‍රපටි වලින් දැක ඇති ඔවුනට, අඟහරු ලෝකෙන් ආ ආක්‍රමණිකයන් ගැන කතාව ගිලින්නට වැඩි වේලාවක් ගතවුනේ නැත. සමහරු එය අසා සැනසිලි සුසුම් ද හෙලූහ. දවස් හතක් පුරා මුණගැහෙන්නට සූදානම් වූ හතුරා කවුදැයි දැන සිටීම වත් පමණක් යැයි ඒ අය පිළිගත්හ.

“අඟහරු ලොවෙන් මිනිස්සු,” යන කටකතාව අනූහය වැනි වීදියේ උමං දුම්රිය ආරක්ෂිත කඳවුරෙන් හැත්තෑදෙවැනි වීදියේ උමං දුම්රිය ආරක්ෂිත කඳවුර වෙත පැතිර ගියේය. ටික වේලාවකින් පසු නිව් යෝර්ක් නගරයේ උමං දුම්රිය පොළවල් සියල්ලෙහි ම හිර වී සිටි සියළු දෙනාම කටකතාව අසා තිබිණ. ඔවුන් එකිනෙකාට කියාගත්තේ නගරය අසල්වැසි ග්‍රහලෝකයක විශේෂ හමුදාවක් විසින් අල්ලා ගෙන ඇති බවයි.

ජනේලයේ පෙනෙනා කුඩා බලු පැටියා

Filed under: Uncategorized — sinhalashortstories @ 5:16 පෙ.ව.

ප්‍රතිචාරයන් කුතුහලය දනවන සුළු වූහ.

සමහරුන්ට එළිමහනට යන්නට අවශ්‍ය වූහ. ඒ අයව බලහත්කාරයෙන් රඳවා ගන්නට සිද්ධ වුණි. සමහරු උමං දුම්රිය ආරක්ෂිත ස්ථාන වලින් හොරෙන් පැන තවත් පොළවේ යට ඇති කානු අස්සට ගියහ. කවුදෝ අයෙක් “මා හා එකතුවන්න” ගයන්නට ගත්තේය. උස් ස්වරයකින් ගායනය වූ ඒ ගීතිකාවට මුලින් මුලින් නොසන්සුන් ලෙස කෙනෙක් දෙන්නෙක් එකතු වුනත් පසුව ජවයකින් පිරී ගොස් උමං මාර්ග දෙවනත් කරන හඬකින් හැම අත පැතිර ගියේය. ගැයූ අයට වඩා දෝංකාරය වූ හඬවල් වැඩියෙන් ඇසිණ.

වීදි වලට පහළින් බිම් මහල් වලට පහළින් වූ අයගේ ස්වරයන් ද ගලා ආවේය. බාරකාරයන් හා පොලීසිය ඒ ගැන කලබලයට පත්වූහ. ඔවුන් පාලනය කරනුයේ කෙසේද කියා තමන් නොදන්නා බව කියමින් විශේෂ වාර්තා අංශයට දුරකතන ගලා ගියේය. “මා හා එකතුවන්න” ගැයුවාට පසු “ස්තූතිය” ගැන වූ සිංදුවකටත් ඉන්පසු “ජනේලයේ පෙනෙනා කුඩා බලු පැටියා” සිංදුවටත් අතර පතර වූ නිහඬතාවයන් මැදින් නැවත නැවත ගායනා වෙන්නට පටන් ගැණුනි. පියාඹන පීරිසි මෑන්හැටන් හි උස් ගොඩනැඟිලි වලට ගොඩ බැස, කිරණ අවිගත් යකඩ පිරිමි හැම අත විසුරුවා හැර ඇතැයි යන්න හැමෝම දන්නා ප්‍රවෘත්තියක් බවට පත්විය.

විශේෂ වාර්තා අංශය මුලින් කියා සිටියේ ජනතාව කෙසේ හෝ පාලනය කරන්න ඒ සඳහා උදව්වට තව අය එවන්නම් කියාය. එහෙත් උදව්වට ගිය පිරිස් ආපහු පණිවුඩ එව්වේ ඔවුනට ද පාලනය කරනු නොහැකි තත්වයක් පැන නැඟී ඇතැයි කියාය. එවිට ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දෙන්නට ඔවුන් තීරණය කළහ. ඒ තීරණය ලෙහෙසියෙන් ගත් තීරණයක් නොවේ. මන්ද නිව් යෝර්ක් ආරක්ෂක අංශයේ මූලස්ථානයට ලැබි නියෝගය වී තිබියේ ආරක්ෂක ලේකම්ට කරදර කළ යුත්තේ ඉතාමත් වැදගත් හදිසියක් වූයේ නම් පමණයි කියා තිබීමයි.

නිව් යෝර්ක් නගරයේ උමං දුම්රිය ආරක්ෂිත කඳවුරු වල හිර වී සිටින මිලියන බාගයක් පමණ ජනතාව “ජනේලයේ පෙනෙනා කුඩා බලුපැටියා” ගැයීම වැදගත් හදිසියක් ද? නිව් යෝර්ක් නුවර සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානි ජනරාල් ස්නිපෙට් තමන් වෙතින් විමසීය. එය එසේදැයි ඔහුට පැහැදිලි නැත. කිසිම විදියකින් කලබලයට පත් නොවී වැඩ කිරීමෙන් ජනරාල් තත්වයට එන්නට හැකි ප්‍රායෝගික මිනිසෙකු ඔහු. ඔහුගේ නිර්වචනයට අනුව, මිනිස්සු සිංදු කියන්නට ගැනීම හදිසියක් නොවේ. එහෙත් ඔහු සංගීතය ප්‍රිය නොකළ අයෙකි. උදව්වට තවත් පිරිස් පිටත් කර හැරියේ නිවේදන නිකුත් කරන ට්‍රක් රථ සමඟිනි. සියළු ආරක්ෂිත කඳවුරු වල ජනතාවට කිසිත් කරදරයක් නගරයට සිද්ධ වී නැහැයි කියා ඔවුන්ව සංසුන්ව තබාගන්න යැයි හෙතෙම අණ නිකුත් කළේය.

අවාසනාවට, එසේ නිවේදන නිකුත් කළ ට්‍රක් රථ නිසා ඇතිවූයේ සංසුන් බවේ අනිත් පැත්තයි. ඒ දැවැන්ත ට්‍රක් රථ වලින් නිකුත් කළ ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ගලා ආ පණිවුඩය “අඟහරු ලෝකයෙන් මිනිස්සු පැමිණ නැහැ,” යන්න නිවැරදිව ඇසුනේ ටික දෙනෙකුට පමණි. එහෙත් වැඩි දෙනාට ඇසුනේ “අඟහරු ලෝකයෙන් මිනිස්සු” ටික විතරයි. ට්‍රක් රථ දෙකක් වීදි කොන් දෙකකින් දෙපැත්තක සිට ඉදිරියට ඇදෙද්දී, පාර යටින් ගලා ආ මිනිස් කටහඬ වල් ඇසී එයින් සිහිය වෙනතක ඇදී ගිය හෙයින් දැවැන්ත ඝට්ටනයකට මුහුණ දුන්හ. එක ට්‍රක් රථයක පැට්‍රෝල් ටැංකිය සුමුදු හඬකින් පුපුරා ගියේය. එම සිද්ධිය තවත් කටකතාවක් පැතිර යන්නට ආරම්භය විය. මෙවර කටකතාව වූයේ පරමාණු බෝම්බයක් හෙළා ඇති බවයි. කඳවුරු වල සමහරු තමන්ට විකිරණ වලින් දැනෙනා ලෙඩ ගතියන් පෙන්වන්නට පටන් ගත්හ. අනිත් අය උණුසුම දැඩි යැයි කෑ ගසා, සමහර විට නගරයෙන් බාගයක් ගිනි ඇවිලෙනවා ඇති යැයි කියූහ. හැප්පුන ට්‍රක් රථ දෙකෙන් ඇති වූ ගින්න නිවන්නට ගිය ගිනි නිවන හමුදා එන්ජින් හඬ ඇසී කලබලය සමනය නොවී තවත් තීව්ර විය. සියළු බාරකරුවන් විශේෂ වාර්තා අංශයට ඇමතුම් දුන් නිසා දුරකතන සියල්ල ක්‍රියා විරහිත විය. ඒ වාතාවරණයත් සමඟ ජනරාල් ස්නිපෙට් ආරක්ෂක ලේකම්වරයාට ඇමතුමක් දිය යුතු යැයි තීරණය කළේය.

මැයි 17, 2012

අඟහරු ලෝකෙන් ආ මිනිස්සු

Filed under: Uncategorized — sinhalashortstories @ 6:49 පෙ.ව.

“පියාඹන පීරිසියක්,” තවත් අයෙක් කෑ ගැසීය.

ඇසිපිය හෙලන්නටත් මත්තෙන් මුළු කණ්ඩායම හැරී සී සී කඩ දුව ගියහ. ඔවුන් දිව ගියේ වීදිකොනේ හැරුනාම වූ ගඟ පැත්තටයි. තමන් හැඳ සිටින ඇඳුම් සමඟ දිවීම අපහසු බව වටහා ගත් ඔව්හු ඒවා දුවන ගමන් මහමඟ ගලවා දමමින් දිව්වහ. මොහොතකින් පසු මෙතෙක් නිහඬව තිබි පරිසරය “පියාඹන පීරිසියක්!” “අඟහරු ලෝකෙන් ආ මිනිස්සු!” “කිරණ තුවක්කු!” යනාදියෙන් පිරී යන ලදි. දිව යන මිනිසුන්ගේ හිස් මතින් වේගයෙන් පියාඹා ගිය ඊතල ප්‍රහාරය නිසා කලබැගෑනිය තවත් වැඩිවිය.

තවත් ඊතල ප්‍රහාරයක් යවන්නට සූදානම් වුවත් ටලී කොයි මොහොතේ හෝ නිව් යෝර්ක් නගරයට වැටෙන්නට හැකි පරමාණු බෝම්බය ගැන මතක් වී, තම කණ්ඩයාමට පහර දීම නවතා, හඹා යෑම නවතා කොලොම්බියා විශ්ව විද්‍යාලය වෙත නැවත ගමන් කරනු සඳහා අණ දුන්නේ ය. දෙවනුව සිතට නැඟි අදහසක් නිසා ඔහු බිම වැටී තිබි හතුරාගේ ඇඳුම් කට්ටලයක් අහුලා ෆෙන්විකියානුවෙකුට එය රැගෙන එන්නට යැයි බාර දුනි.

විෂවායු සොයන කණ්ඩයාමේ නායකයා, මැදිවියේ වූ, තම ජිවිතයේ දී මතක ඇති කාලයක පත්තර වල කොමික් පිටු කියැවීම අමතක නොකළ අයෙකි. මුලින් ම පියවි සිහිය එළඹියේ ඔහුට ය. පළා යනවාට වඩා ඉටු කළ යුතු වගකීමක් තමන්ට ඇති බව ඔහුට මතක් වුනේ දිවයද්දී හුස්ම හිරවෙන්නට පටන් ගනිද්දී ය. ඒ වගකීම නම්, ඔහු දන්නා තරමින්, පියාඹන පීරිසියකින් පැමිණ ඇති ආක්‍රමණිකයන්, නිව් යෝර්ක් නගරයට ඇතුල් වී, යකඩ දම්වැල් සහිත වස්ත්‍ර හැඳගෙන වීදි දිගේ ගමන් කරමින්, කිරණ තුවක්කු වලින් යම් ආකාරයක ඊතල පිට කරන බවත්, ඒවා හුරුලම්බාමින් ගසාගෙන යන බවත්, එවැනි අය දහස් ගණනක් කුමන මිනිත්තුවක දී හෝ පාත්වන්නට හැකියාව ගැන වහාම තම ඉහළ නිලධාරීන්ට වාර්තා කිරීමයි.

බිය මඳක් පහව යද්දී ඔහුට වැටහී ගියේ, තම කතාව පිළිගන්නා අයෙක් සොයා ගැනීම ඉතා අපහසු වන බවයි. හදිසියේ ම ඔවුන් ඉදිරියට ආ ඒ අමුතු මිනිස්සු කණ්ඩයාම මනුෂ්‍යයෝ විය නොහැකි බවත් ඒ නිසා පිටසක්වලින් පැමිණි බවටත් ඔහුගේ සිතේ කිසිම සැකයක් නොවීය. අනිත් එක, සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඔවුන් උසින් ද වැඩි යැයි ඔහුට සිතිණ, සමහර විට අඩියකටත් වඩා උසින්. ඔවුන්ට කොණ්ඩය තිබ්බේ නැති බවත් හිස් සැදී තිබුනේ යකඩ වලින් බවත් මතකයේ යාන්තමින් තිබුණි. ඒ හිස් හිරු එළියෙන් දිළිසුන බව ද මතකය. අවසානයේ දී, ඔවුන් යම් සුපර්සොනික් විජට්ටුවක් තමන්ගේ හිස මතින් රූං ගා හඬක් පිට කරමින් යැවූ බව ද මතකය.

ඒ සියල්ල නැවත මතක් කරගනිමින් ඔහු වීදි කොණක වූ දුරකතනයකින් තමන්ට ලැබී තිබි රහසිගත අංකයක් කරකවමින් වාර්තා කරන්නට ලැහැස්ති වූයේය.

“මට දෙන්න විශේෂ වාර්තා අංශය,” ඔහුගේ ඇමතුමට ප්‍රතිචාර ලැබි විට ඔහු කීවේය.

අනිත් පැත්තෙන් කෙටි නිහඬතාවයකින් පසු කටහඬක්, “විශේෂ වාර්තා අංශය. මොකක් ද ඔබේ නම සහ අංශය?” යැයි විමසීය.

“ටොම් මුලිගන්. අංශය 4-300, උප අංශය 3. විෂවායූ මර්ධන පිරිස,” ඔහු පිළිතුරු දුනි.

කොළයක් ටයිප් රයිටරයකට ඇතුල් කරන හඬත් ඉන්පසු යතුරු ලියනයේ අකුරු වැදෙන්නට පටන් ගන්නා හැටිත් ඇසිණ. “කියන්න එහෙනම් විස්තර,” විශේෂ වාර්තා අංශය ඉල්ලා සිටියේ ය.

“පියාඹන පීරිසියකින් ආපු මිනිස්සු කට්ටියක් ඉන්නවා බ්‍රෝඩ්වේ වීදියත් එකසියය වීදියත් හංදියේ,” ටොම් හුස්ම ගන්නට අමතක කරමින් කියුවේය.

“කී දෙනෙක් ද?” යාන්ත්‍රික මෙන් වූ ප්‍රතිචාරය දුරකතනයෙන් ගලා ආවේය.

“සමහර විට පනහක්, හැටක් වෙන්නැති,” ටොම් කීවේ තමන්ව විශ්වාස කරනා බව ඇසීමෙන් සැනසුම් සුසුමක් හෙළමිනි.

මැයි 16, 2012

එයාල පියාඹන පීරිසියකින් පාත් වෙච්ච අය

Filed under: Uncategorized — sinhalashortstories @ 6:35 පෙ.ව.

8

ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය විසින් ඇමෙරිකාව ආක්‍රමණය කර පැය දෙකක් පිරෙන්නට යද්දී තමයි රාජකීය මට්ටමකින් වූ, නැත්නම් ඕනෑම මට්ටමකින් වූ කිසිවෙක් හෝ එවැන්නක් සිද්ධ වෙනවා යැයි දැනගන්නේ. අවිගත් අමුතු පිරිමි මෑන්හැටන් හි දී හඳුනා ගැනුනත් එහි වැදගත්කම ගැන කිසිවෙකුට කිසිම අදහසක් තිබියේ නැහැ.

වීදි වලින් මිනිසුන් ඉවත් කර ඔවුන්ව මුර කරන පරිනත සැලසුම් සාර්ථක ය. කාලයක් තිස්සේ වැඩි වර්ධනය වූ බිය හේතු කොටගෙන පුහුණුව පටන් ගන්නට අනතුරු ඇඟවුම් කළ නලා හඬ පමණක් ආරක්ෂිත ස්ථාන සොයා පුරවැසියන්ව හනිකට යවා තිබිණ. ඒත් මේ මුල් කම්පනයට පසුව වෙන්නේ කුමක් දැයි සොයන්නට ඔවුන් පෙළඹෙන බව ආරක්ෂක ලේකම්වරයාට වැටහිණ. ඒ කුතුහලය, ඔහු විචාරය කළේය, නිව් යෝර්ක් නගරයේත් ඊට යාබද නගර වලිනුත් වැඩියෙන් ම දැක ගන්නට ඉක්මණින් හැකිවනු ඇත.

ඒ නිසා ආරක්ෂිත කඳවුරු භාරව සිටි අයට උමං දුම්රිය පොළවල් හා බිල්ඩින් වල වූ ආරක්ෂිත කඳවුරු වලින් කිසිවෙක්ට පිටත් වී යන්නට ඉඩ නොදෙන්නැයි අණ ලැබී තිබුණි. ඒ කර්තව්‍යයට ඔවුනට පොලීසියේ සහය ලැබුණි. ඔවුන් සැවොම රැඳී තිබි කඳවුරු වූයේ බිම් මහලට යටින් වූ පහත මහලයන් හි ය. අනිත් ආරක්ෂක කටයුතු වල යෙදි සේවකයෝ, විෂ වායු සොයා යන අය, පුපුරා නැති බෝම්බ සොයා යන අය, වෛද්‍ය හා හදිසි අනතුරු සේවා සපයන අය සහ ආහාර සපයන ස්වේච්ඡා සේවකයන් අනතුරු දැන්වූ නලාවෙන් පසු සියළු කටයුතු මැනවින් කෙරෙන්නේ ය යන්න සොයා බලන්නට පත් වී තිබි අයයි. නගරයේ ඊට නියමිත ව තිබි ස්ථාන වලින් පටන් ගෙන ඔවුන් හැම ගොඩනැඟිල්ලක් ම. හැම ආරක්ෂිත කඳවුරක් ම වෙත ගොස් ගර්භනී මව්වරු, කුඩා දරුවන්, වයසක ඇත්තෝ යනාදී සියල්ලන්ට ම ආහාර, වතුරු හා අවශය වස්ත්‍ර ඇත්දැයි සොයා බලන්නට පටන් ගත්හ. එහෙත් වෙන කිසිවෙක්ට එළිපහළියට යෑම තහනම් ය. ඉතින් ඒ නිසා, ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය නිව් යෝර්ක් නගරය ආක්‍රමණය කර පැය එක හමාරකටත් වඩා ගෙවී යනතෙක් ඔවුනට කිසිත් හතුරෙක් මුණ නොගැසුණි.

ටලී ගේ අණ යටතේ ඔවුන් ඒ වනවිට බ්‍රෝඩ්වේ වීදිය දිගේ උතුරට ඇවිද ගෙන යමින් සිටියහ. එකසිය වීදියට එනතෙක් කිසිම මිනිස් පුළුටක් නොදැක්කහ.

එකසිය වීදියත් බ්‍රෝඩ්වේ වීදියත් අතර මංසන්ධියේ දී ටලී කිසිදාක දැක නොමැති අමුතු ඇඳුම් ඇඳගත් මිනිස්සු පස් දෙනෙකුගේ කණ්ඩයාමක් ඔවුන්ට මුණ ගැසුනේ නොසිතූ ලෙසකිනි. ඔවුන් හැඳ සිටියේ ඇවිදින්නට ඉතා අපහසු අළු-සුදු පාට හිස සිට පාද දක්වා වැසුණු ඇඳුම් ය. හිස්වල තිබි ආවරණ වලින් එළිය බැලුවේ ඝන වීදුරු තුලින් ය. ඔවුන් එකිනෙකාට ළං වී ඇවිද්ද අතර කුඩා උපකරණ ගොඩනැඟිලි වලට අල්ලමින්, ජලෝද්ගම නළයන් වෙත අල්ලමින්, ඒ දිහා නොසන්සුන් විලසෙන් බලමින් ඇවිද ගියහ. කණ්ඩයාම් දෙකම එකිනෙකා දුටුවේ එකම මොහොතේ දී ය. එකිනෙකාගේ වස්ත්‍ර දැක දෙගොල්ලෝ ම බියෙන් තැතිගත්හ. දෙපැත්ත විසින් ම සිතුවේ වෙනත් ලෝකයකින් ආ බියකුරු රාක්ෂයන් ඉදිරියේ තමන් සිටිනවාය කියාය. දෙපැත්තම නැවතුනහ. විෂද්‍රව්‍ය සොයන කණ්ඩායම, ඔවුන්ගේ හැදියාව එහෙම නිසා, හිමිහිට ඈත් වෙන්නට පටන් ගත්හ. දුනුවායෝ ඒ අතර තම දුනු වලට ඊතල හසුකර ගනිමින් ඔවුන් ඉදිරියට ඇවිද්දහ.

එක ඇමෙරිකානුවෙක්, හැඳ සිටි ඇවිදින්නට අපහසු වස්ත්‍ර අස්සෙන්, ඔහුගේ ගොරෝසු වූ හා ගොර ගොර ගාන කටහඬ තවත් විකෘති කරමින් කලබලයෙන් තැති ගෙන “එයාල පියාඹන පීරිසියකින් පාත් වෙච්ච අය,” යැයි කෑ ගැසීය. කටින් වදන් පිට වූවාත් සමඟ පිරිසේ වූ අනිකුත් අයටත් තම සිත්වල පටන් ගත්තා වූ එම සැකය ම ක්ෂණයෙන් වැටහුණි.

මැයි 15, 2012

ඔයා හිතන්නෙ නැද්ද ඒ අපි එන බව ආරංචි වූ නිසා කියල?

Filed under: Uncategorized — sinhalashortstories @ 11:45 පෙ.ව.

පහරවල් දෙකක් තුනක් හුවමරු විණ.

අසිපතක් දෙකක් රූං ගා නාදකරමින් හෙල්මට් එකක් දෙකක් මත වැදිණ. අනතුරුව වහා ඔවුන් වටහා ගත්තේ බිල්ඩිමේ පහත මාලයේ ඔවුන් හැරෙන්නට වෙන කිසිවෙක් නැති බවයි. බලාපොරොත්තු වූව නැවතත් අහිමි ය. අවිගත් ප්‍රහාරය අනවශ්‍ය වූ කඩා බිඳගෙන ඇතුල් වීමක් වූවා පමණි. හතුරු මුහුණට මුහුණ ලා හමුවන්නට සියළු සූදානම් යෙදුවත්, එහි දී හතුරා සම්පූර්ණයෙන් ම අවිද්‍යමාන ය. කිසිවක් වටහා ගත නොහැකි වූ පිරිමි තැන තැන කල්ලි ගැසී නොසන්සුන් ලෙසින් එකිනෙකා හා වදන් මුමුණමින් සිටියහ.

“විල්,” ටලී කීවේ සිය ලුතිනන්වරයා පැත්තකට ඇදගෙන ය, ”කොටින් ම කියතොත් මම නම් මේකට කොහොමටවත් කැමති නැහැ. මට වැටහෙන්නෙ නැහැ ඇයි මේ නගරයේ කවුරු වත් නැත්තෙ කියලා.”

“ඔයා හිතන්නෙ නැද්ද ඒ අපි එන බව ආරංචි වූ නිසා කියල?” විල් ඇසුවේ හේතුව එසේ නොවන බවට සැකයක් ඔහු තුල ද මෝදු වෙද්දී ය.

“නැහැ. මම හිතන්නේ නැහැ. මේක ඊට වඩා සමාන වෙන්නෙ වසංගතයක් පැතිරිලා ගිහින් තියෙනවාට.”

විල් සුදුමැලි වූයේය. ඔහු නිර්භීත අය අතර ද නිර්භීත බවින් වැඩි වූවෙකි. එහෙත් ඔහුට විෂබීජ ගැන මරණ බියක් තිබුණි. එය හටගත්තේ කුඩා කාලයේ දී ඔහු කන් යටි පැත්ත සේදුවේ නැත්නම් ලෙඩ හැදී මිය යනු ඇතැයි බියක් ඇතිකර තිබූ නිසා ය. “මේ හරියෙ අපුල ගන්ධයක් තියෙනවා,” ඔහු කීවේය.

“ඒක හැම තිස්සෙ ම තියනවා,” ටලී කීවේය.

“මේ බිම ඇලවිලා තියන කළු කුට්ටි කෑලි මොනවා හරි යුද්ධ කරන විෂබීජ වර්ගයක් ද දන්නෑ?”

“නැහැ. එක විදියකින් එහෙමත් තමයි ඒ වුනාට. ඒ පරණ චුවින්ගම් කෑලි. ටොන් ගණනක්. මයික්‍රෝබ වලින් පිරිලා ඇති. ඒත් ඒවා කිසිදාක නිව් යෝර්ක් වැසියන්ට කරදරයක් දීලා නැහැ. අපි කාව හරි හොයාගන්න ඕන කියන්න එයාලව ආක්‍රමණය කරලා තියෙන්නෙ කියලා. අපි කොහේට හරි පහරක් දෙන්න ඕන. ආක්‍රමණයකින් වැඩක් වෙන්නෙ නැහැනෙ කිසිවෙක් ඒ ගැන දැනගත්තෙ නැත්නම්.”

ඔහු සිය අත අසිපත් පටියේ රඳවා දිගු කල්පනාවක ගිලුනේ ය. එවිට හතළිස් හතරවැනි වීදියේ දී කකුලේ දැවටී ආ පත්තර තීරුව ඔහු අත ගැටුණි. එය ඈතකට විසිකරන්නට හදනවාත් සමඟ කුමක් දෝ ඉවක් දැනුනු නිසා ඔහු නගරය පාළුවට ගිය හේතුව එහිවත් දැනගන්නට ඇත්දැයි සොයන්නට පත්තර තීරුව දිග හැරියේය.

ඒ පත්තර තීරුව නිව් යෝර්ක් ටයිම්ස් හි පළමු පිටුවයි. පහුගිය දිනයේ පත්තරයයි. එහි සිරස්තල දෙකකි. එකක්: “ග්‍රිෆින් විසින් සුපර් බෝම්බය අනාවරණය කරයි. අනෙක: පැය කිහිපයකින් නැගෙනහිර වෙරළේ පුහුණුව පටන් ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවත් සිරස්තල පිටුව පුරා හැම තැනම තිබුණි. පළමු සිරස්තල වල වාර්තාව මෙසේ ලියා තිබුණි. “වර්ග සැතපුම් මිලියන දෙකක ප්‍රමාණයක් විනාශ මුඛයට යවත හැකි සමූහ ඝාතනයේ මහා අවසන් අවිය ඇමෙරිකාව සතු ය.” අනතුරුව ලිපිය ඒ ගැන පරමාණු ඉන්ධන කොමිසමේ ග්‍රිෆින් සෙනෙට් සභිකයා දැන් වූ ආකාරය විස්තරයක් විය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය කොකින්ට්ස් විසින් අවිය නිපදවන ලද බවත් සඳහන් විය. දෙවැනි සිරස්තලයේ වාර්තාව පළමුවැන්න හා සබැඳි වූවකි. එයින් කියැවුනේ පත්තරයට ඉහළ තැනක ඉන්නා තතු දන්නා අයගෙන් දැන ගන්නට ලැබි පරිදි පරමාණු අවි ප්‍රහාරයක් සඳහා නැගෙනහිර වෙරළේ වූ පුහුණුව ඊ ළඟ පැය විසිහතර තුල දී පටන් ගැනෙනා බවයි.

ටලී වාර්තා දෙක ම දෙවතාවක් කියැවීය. තමන් ඉදිරියේ ඇති බරපතල තත්වය ඔහුට වැටහුනේ ඉන් අනතුරුවයි. එය ප්‍රධාන කාරණා දෙකකට ඔහු සංක්ෂිප්ත කළේය. පළමුවැන්න නම් නිව් යෝර්ක් නගරයට පැය ගණනකින් පරමාණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි. සමහර විට මිනිත්තු ගණනකින්. දෙවැන්න නම් ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට වඩා අල්ලා ගත යුතු වැදගත්කමක් ඇත්තා නම් මේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය කොකින්ට්ස් නැමැත්තා ව බවයි. ඇමෙරිකාවට පහර දෙන කුමන හතුරා හෝ නිව් යෝර්ක් නගරය පුපුරුවා හරින්නට පෙර කෙසේ හෝ ආචාර්ය කොකින්ට්ස් අල්ලා ගත යුතුයි. නැත්නම් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට කිසිත් අවස්ථාවක් නැතිවන්නේ ය.

“පේලි ගැහිලා කාණ්ඩෙ එක්ක පාරට බහිමු,” ඔහු හදිසි තීරණයකින් විල් අමතා කෑ ගැසීය.

“අපිට නැහැ වැඩි වේලාවක් මේ යුද්ධය දිනන්නට. අපි ඇවිදින්න ඕන හැතැප්ම අටක්.”

“අපි කොහේද යන්නෙ?” විල් විමසීය.

“කොලොම්බියා විශ්ව විද්‍යාලයට,” ටලී පිළිතුරු දුන්නේ ය.

මැයි 14, 2012

අපි ඒක පස්සෙ කරමු

Filed under: Uncategorized — sinhalashortstories @ 7:02 පෙ.ව.

පාළුවට ගිය වීදිය, ගොළු ගොඩනැඟිලි, නිශ්ශබ්ද වායුව, හිස් දොරකඩ

යනාදියෙන් වූ නිව් යෝර්ක් නගරයට ඇතුල් වී එහි මැද්දට පා ගමනින් ගිය ෆෙන්වික් දනව්වේ හමුදා බලකායේ සද්දය අමුතු ලෙසකින් දෝංකාරය දුනි. එය නව ලෝකයේ කවදාවත් ඇසී නැති හඬකි. යකඩ දම්වැල් වලින් සෑදුන ඇඳුම් වලට උඩින් දමාගත් ආවරණ වලින් ආ හඬ අහන්නට කැලෑවත් නිහඬ වී සිටියා සේ ය. හිස් දෙකකින් වූ උකුස්සාගේ ජාතික කොඩිය තනිවම ලෙල දෙයි. අවිගත් මිනිසුන්ගේ පලිහ හා හෙල්මට් හිරු එළියෙන් දිළිසෙයි. ඒත් එය දැක්කේ කුරුල්ලෝ විතරයි.

නිහඬ බව බිඳිමින් විශේෂ හමුදා බලකායේ එකෙක් දෙන්නෙක් කැස්සහ. ඒ කැස්ස අඩු තරමේ සැතපුමක් තරම් ඈතකට ඇහෙන්න ඇතැයි හැඟුන නිසා නොසන්සුන් බවින් එකිනෙකා දිහා බැලූහ. වීදි කොණකින් මතු වූ පූසෙක් මහ හයියෙන් ඤාව් කියා දිව ගියේය. එය දැකි ටික දෙනා සිනාසුනේ හිත කලබල කරද්දී ය. පූසා නොදැක එහෙත් ඤාව් ගෑ හඬ ඇසූ අය තැති ගත්හ. පරෙවි රෑනක් පියාඹා ඇවිත් හිරැ එළිය වූ තැනක ලැග්ගහ. ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය සී සී කඩ විසිර නොගියේ ඔවුන් ලද දැඩි පුහුණුව නිසා පමණි. සුළඟකට හසු වූ පත්තර තීරුවක් ඔවුන් පසුපසින් වීදිය දිගේ වීදි යාචක කුඩා දරුවෙක් සෙල්ලම් කරනවා සේ නැවති නැවති පාවි පාවී ආවේය. අවසානයේ එය ටලී ගේ කකුල වටා එතිණ. ඔහු නැවතී එය අහුලා ගෙන කෝපයෙන් එය තම ඉන පටියේ රඳවා ගත්තේ ය. සාමාන්‍යයෙන් නගරයේ මහත් ගොරවන හඬෙන් මැකී යන මේ කුඩා සිදුවීම් හා හඬවල් හැරෙන්නට ඔවුන් ද නගරය ද වෙනත් සද්දයක් පිට කළේ නැත.

කිසිවෙක් හමු නොවී ඔව්හු ඉදිරියට ම ගිහින් ටයිම්ස් චතුරශ්‍රයට පැමිණියහ. නිව් යෝර්ක් ටයිම්ස් ගොඩනැඟිල්ල තනිවම හිටගෙන සිටියේය. හිස් හරස් පාරයන් හි පාළුවට ගිය ගොඩනැඟිල්ලක් සේ දිස් වූ එය දැකි ටලී එය ආක්‍රමණය කළ යුතු යැයි සිතුවේ ය. එය තාවකාලික බලකොටුවක් සඳහා ප්‍රමාණවත් යැයි ඔහු කල්පනා කළේය. එය අල්ලා ගැනීමෙන් යුද්ධයේ යම්කිසි ආරම්භයක් පටන් ගැනේවි යැයි ද අපේක්ෂා කළේය. එය යුද නවතන කොන්දේසි ගැන කතාබහට සුදුසු සාම සාකච්ඡා වලට හොඳ තැනක් වනු ඇතැයි ද හේ සිතුවේ ය.

පහත මාලයේ වූයේ ඖෂධ හලකි. එහි ජනේලයේ එල්ලා තිබූ සිත් ආකර්ෂණීය විසිතුරු භාණ්ඩ ෆෙන්වික් දනව්වේ පිරිමින්ගේ සිත් කුතුහලයට පත් කරන ලදි.

“විල්,” ටලී තම ලුතිනන්වරයා ඇමතීය, “බාගයක් එක්ක යන්න බිල්ඩිමේ අනිත් පැත්තට. එතැන දොරක් හමුවේවි. මම “ඉදිරියට යමු” කියා කෑ ගැහැව්ව ම දොර කඩල නවත්වන්න එන ඕන කෙනෙක් ව මරලා දාන්න. අපි මේ පැත්තෙ දොරෙන් ඒ වෙලාවෙ ම එහෙම ඇතුල් වෙනවා.”

විල් අණ පිළිගත් බව පෙන්වන සැලියුට් ප්‍රතිචාරයක් දක්වා තම කණ්ඩයාමත් සමඟ නික්ම ගියේය. කොතරම් පුහුණුවක් ලබා තිබියත් කඩේ ජනේල වලින් දිස්වෙන යාන්ත්‍රික පැන්සල්, පෑන්, පසුම්බි, හෑන්ඩ්බෑග්, සිගරට්, දුම්කොල පයිප්ප සහ සිගරට් ලයිටර් දිහා නෙත් යොමුවීම නවතා ගැනීමට ඔවුනට අසීරු විය. ඇතුලේ දැවැන්ත නිවේදයක් දිස්විය: ගබඩා මාරු කළ යුතුයි. “යමු,” හෙමින් පා තබනා අයෙකුට විල් කීවේය, ”අපි ඒක පස්සෙ කරමු.”

අනිත් පැත්තේ ඔවුනට පිත්තල පියන් දෙකකින් වූ දොරක් හමුවුණි. ටලී ගේ අණ ලැබුණ විගසින් එය කඩා දමා ඇතුල් වෙන්නට ඔවුන් දොර ඉදිරියේ ලැහැස්ති වූහ. එහෙත් ටලී ගේ අණ ලැබුණ විට, මස්පිඬු ශක්තිමත් වූ පිරිමි හයදෙනාගේ උරහිස් දොරට වැදෙද්දී, දොර අගුල් ලා නොතිබි නිසා ඔවුන් ගොඩනැඟිල්ල ඇතුලට ඇදගෙන වැටුණි. ඒ අවස්ථාවේ ම අනිත් පැත්තෙන් එසේම ඇතුල් වූ ටලී ඇතුළු කණ්ඩායම අත්විඳියේ ද එවැනි ම ප්‍රතිඵලයකි. අගුල් ලා නොතිබි දොරවල් දෙකෙන් ඇතුල් වූ කණ්ඩායම් දෙක අවි අමෝරා ගෙන පැති දෙකෙන් ම කඩයේ මැදට දුව ගියහ.

මැයි 13, 2012

ජය සඳහා මා පිටුපසින් එන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 6:17 පෙ.ව.

“මේ,” ටලී කීවේය, “මේ තමයි යුද්ධය.”

“හා එහෙනම්. ඒක යුද්ධය,” හරියට කුඩා දරුවෙක් හා එකඟ වෙනවා සේ පේද්‍රෝ කීවේය. “ඒත් මට දකින්න නැහැ කිසිම කැමරාකරුවෙක් පේන තෙක් මානයක ප්‍රචාරක ඡායාරූප ගන්නට සැරසී සිටින. ඒ අය එනතෙක් අපි පොඩ්ඩක් ඉන්න වෙයි.”

“නැංගුරම් දාපන්,” ටලී ගුගුලේ ය. “උඹේ කන් උගුල්ලන්න කළින් නැංගුරම් දාපන්.”

“ආයි, ආයි,” පේද්‍රෝ කීවේය. සිටගන්නට සුදුසු තැනක් පෙන්වා දුන් ඔහු තම සේවකයන් පස් දෙනෙකු සමඟ නැවේ ඉස්සරහා කොටසේ කඩිමුඩියේ එහා මෙහා ගියහ. “උත්සාහය” හරවා ගෙන රුවල් වෙනස් කරගෙන කුනාඩ් ඩොක් එක වෙත ළඟා විය.

“ෆෙන්වික් දනව්වේ මිනිසුනි,” නැව නැංගුරම් ලා අවසන් වූ සැණින් ටලී හඬ ගෑවේය. “මම ඔබලාව හතුරු දේශසීමාවේ අභ්‍යන්තරයට රැගෙන ඇවිත් ඇත්තෙමි. ජය සඳහා මා පිටුපසින් එන්න.” අගිස්සේ කොක්කක් ගැට ගසා ඇති කඹයක් විසිකර එයින් නැවෙන් බහින්නට මඟක් සාදා ගත්තේ ය. තවත් කඹ තුනක් විසිවුණි. පේලි ගැසි ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය නැවෙන් බටහ.

“ඒයි,” පේද්‍රෝ කෑ ගැසීය, “මම මොකක් ද කරන්න ඕන?”

“අපි ආපු සැණින් රුවල් උස්සලා ආපහු යන්න සූදානමින් ඉන්න,” ටලී කීවේය.

“ගොඩක් වෙලා යයි ද?”

ටලී වීදිය දිහාත් පාළුවට ගිය නගරය දිහාත් බැලුවේ ය. කඩා පැන විනාශ කරන්නට ඔහු හා ඔහුගේ හමුදාව එනතෙක් බලා සිටින උගුලක් මෙන් කිසිවෙක් නැති යකඩ හා සිමෙන්තියෙන් වූ නගරය දිස්විය.

“මට කියන්න විදියක් නැහැ,” ඔහු කීවේය. අනතුරුව හේ තම විශේෂ හමුදා බලකාය දිහාට හැරුණි. “ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ උත්සාහය වෙනුවෙන් කොඩිය ඔසවාගෙන ඉදිරියට යමු.”

නිව් යෝර්ක් නගරයට පිවිසි ටලී ඊ ළඟට කරන්නේ කුමක් දැයි පැහැදිලි අදහසකින් යුතු වූයේ නැත. ඒ සැලසුමක් නැතිකම තමා හා අවුත් සිටිනා පිරිස වෙතින් සඟවන්නට ඔහු ප්‍රවේසම් විය. සිවිල් ඇඳුම් වලින් සැරසී රහසිගතව නැවෙන් බැස වොෂිංටන් දක්වා ගමන් කරන්නටයි ඔහුගේ සැලසුම වූයේ. නැත්නම් දුම්රියකින් ගොස් වයිට් හවුස් ආක්‍රමණයට කරන්නට ය. ක්ෂණික වූ හා අධිෂ්ඨානයකින් වූ ප්‍රහාරයක් එල්ල කර විමතියට පත් කරන්නට සැලැස්ම විය. තමන්ව ප්‍රාණ ඇපකරුවෙක් ලෙසින් අල්ලා ගන්නට දී රටවල් දෙක අතර සාම සාකච්ඡා අරඹන්නට හැකි වේ යැයි ටලී අපේක්ෂා කළේය. එහෙත් නොසිතූ ලෙසකින් ඒ සැලැස්මට වැඩියෙන් ම විරෝධය දැක්වූයේ ඔහුගේ ම ලුතිනන්වරයෙක් වූ විල් ටැටම් විසිනි. විල් ටැටම් ඔවුන් පිටත් වී එන්නට පෙර ග්ලොරියානා සමඟ පුද්ගලික සාකච්ඡාවක් කළේය. ඔහුව ඒ සැලැස්මට කෙසෙත් එකඟ කරවා ගත නොහැකි විය.

“අපි අවංක යුද්ධයක් වදින්න ඕන,” විල් කියා සිටියේ ය. “අවි රැගත්, සතුරාව එළිමහනේ දී මුණ ගැහෙන. අපි හොර විදියට සටන් වැදුනොත් අපි සොල්දාදුවෝ වෙන්නෙ නැහැ. සොල්දාදුවන්ගෙ සපත්තු අඩි විතරයි වෙන්නෙ.”

මේ ගැන සිතා බැලූ ටලී ඊට එකඟ වූයේය. ගෞරවනීය යුද්ධයක් මුලින් ඉල්ලා සිටියේ ඔහු නිසා තම ප්‍රතිපත්තියෙන් වෙනතක යාම ගැන ඔහුට මඳ ලැජ්ජාවක් ඇතිවිය. දැන් ගැටළුව ඔහු නිව් යෝර්ක් නගරයට පිවිස ඇත. එහෙත් සටන් වදින්නට හතුරෙක් පෙනෙන තෙක් මානයක නැත. පොළවට අඩියක් තබන්නට පවා දැඩි අරගලයකින් ලොකු බැටයක් කන්නට ඔහු අපේක්ෂා කළේය. සමහර විට මුහුදේ දී සටන් වදින්නට වේ යැයි ඔහු අපේක්ෂා කළේය. ඒ නිසයි “මේරි රැජින” නෞකාවට ඔහු ඊතල පහරක් එල්ල කරන්නට අණ දුන්නේ. කිසිම මුරකරුවෙක් පෙනෙන තෙක් මානයක නැත. හතළිස් හතරවැනි වීදිය දිගේ ටයිම්ස් චතුරශ්‍රය වෙත ගමන් කරන්නට ඔහු තම විශේෂ හමුදා බලකායට අණ දුන්නේ සතුරා හමුවෙතැයි බලාපොරොත්තුවෙනි.

මැයි 11, 2012

මේ තමයි නිව් යෝර්ක් නගරය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:49 පෙ.ව.

“මේ තමයි නිව් යෝර්ක් නගරය,” ටලි කිව්වේ ඔහුගේ ලුතිනන්වරයා වූ විල් ටැටම් ට ය.

“ඒත් කිසිම හතුරෙක් පේන මානයක නැත්තෙ ඇයි කියා මට වැටහෙන්නෙ නැහැ. මුළු ගඟයි මුළු වරායයි දෙකම අපේ. සාමාන්‍යයෙන් මේ හරිය නැව් වලින් පිරිලා තියෙන්නෙ හරියට මැස්සො ඇලෙන කොළ වල මැස්සෝ පිරෙනවා වගේ.”

“එහෙනම් එයාලට තේරුම් යන්න ඇති අපේ වෑයම සුළු පටු වූවක් නොවේ කියලා,” විල් කීවේ නොසතුටු මුහුණකිනි. “අපිට පහර දෙන්න හැංගිලා ඇති. අපි පරිස්සමෙන් යන්න ඕන. අර තියන ගොඩනැඟිලි මම ජීවිතේට ම දැකලා තියන ලොකුම ඒවා. ඒවා ඇතුලට වැදිලා පහර දෙන්න සෑහෙන්න අමාරු වෙයි. මම දන්නෙ නැහැ ඇයි මේ ඇමෙරිකන් අය මේ තරම් විශාල මාලිගා හැදුවේ කියල. එයාලට වැඩියෙන් පහර දෙන බවක් ගැන ඇහෙන්න නෑනේ.”

ඔසබයෙක් ගේ ලෙසින් සිරුර වැඩී තිබුණු විල් ගැන ජනයා දත්තේ ඔහුගේ මානසික ශක්තියට වඩා සිරුරේ ශක්තිය වැඩි යැයි කියා ය. ඔහු රාත්තල් එකසිය පනහක බරකින් යුතු දුන්නක් අතැතිව, අඩි හයයි අඟල් තුනක් උසකින් වූ කිසි දිනයෙක ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලින් පිටත නොගිය අයෙකි. ඊට වඩා කල්පනා ශක්තිය ඇති මිනිසෙක් ඔහු ඉදිරියේ වූ නගරය දැක සම්භ්‍රමයට පත්වෙනු ඇත. ඇත්තෙන්ම, කණ්ඩයාමේ ඉතිරි පිරිස “උත්සාහය” නැව තුල පේලියට සිටගෙන මෑන්හැටන් අහස් තීරය දෙස බලා සිටියේ දැඩි නිශ්ශබ්දතාවයකිනි. විල් තම මෙහෙය දුටුවේ කළ යුතු වැඩක් සේ පමණි. පහර දෙන්නත් පහර ලබන්නත් සූදානමින් සිටිනා වූ අවසානයේ කෙසේ හෝ සාර්ථකව නිමා වන කටයුත්තකට සහභාගී වෙන්නෙක් සේ පමණි.

ෆෙන්වික් විශේෂ හමුදා බලකාය මුහුදු ගමනේ දී සිවිල් ඇඳුමෙන් සැරසී සිටිය ද දැන් ඔවුන් ඒවා උනා දමා යුද ඇඳුමෙන් සැරසී සිටියහ. දුනුවායන් විසිදෙනාගේ හිස් මත හට්ටි වැනි හෙල්මට් දිස්වුණි. හම් කමිස මතින් හැඳ සිටි යකඩ චේන්පටි වලින් තැනි ආවරණ බෙල්ලත්, උදරයත්, පිටමැදත් වසා තිබිණ. මුව බඩවැල් වලින් හදන ලද දුනු පටි හය බැගින් ඔවුන්ගේ ඉණ වටා ගැට ගසා තිබිණ. වම් අතේ කුඩා පලිහක් ද, එය මතින් කුඩා කඩුවක් ද, පිටේ එල්ලා ගත් දිගු දුන්නක් ද විය. ටලී ඔවුන් පිරික්සා බැලුවේ ය. තමන්ට හා තම රටට සරිලන සේ ඔවුන් පෙනී සිටින්නේ යැයි ටලී සතුටු වූයේය. අවිගත් තුන්දෙනා, ටලී ත් ඔවුන් අතර වූයෙකි, හැඳ සිටියේ උකුසු රාජ්‍ය ලාංජනයෙන් වූ ආරක්ෂක වැස්ම උඩින් වැටි සුදු ලෝගු වලිනි. දිගු දුනු වලට අමතරව ඔවුන් බියකරු ලෙසින් උල් කරන ලද තුඩු ඇති ගදාවන් අතැතිව සිටියහ.

නැව ප්‍රංශයේ මාසෙල් නගරයෙන් කුලියට ගෙන එන ගමනේ දී මේ යම් චිත්‍රපටි හා සම්බන්ධ වූ මෙහෙයුමක් යැයි සිතූ නැව් කප්පිත්තා තම කුලිය තුන් ගුණයකින් වැඩි කරන්නට සිතමින් සිටිය දී “පේද්‍රෝ, -” යැයි ටලී නැව් කප්පිත්තා ඇමතීය. “පේද්‍රෝ, හතළිස් හතර වැනි වීදියේ අග තියන කුනාඩ් ඩොක් එකට ගෙනියන්න. අපි එතන දී තමයි අපේ පහර දීම පටන් ගන්නේ,”යැයි ටලී කියා සිටියේ ය.

“මම එහෙම කළොත් එයාල හරි කලබැගෑනියක් ඇති කරාවි,” පේද්‍රෝ විසින් කියන ලදි. “ඉස්සර වෙලා ම, රේගු නිලධාරි කඩා පනීවි. ඊ ළඟට හාබර්මාස්ටර්, පොලීසියයි, නැව් ලිපිකරුවෝ හැමෝම මාව එලවලා දාවි. මේ මුළු නැවේ ම වටිනාකමට වැඩියෙන් දඩයක් ගහාවි. මම දන්නෙ නැහැ ඇයි කියල කවුරුත් මට නැංගුරම් දාන අවසරය දෙන්න ඇවිත් නැත්තෙ කියල. තොටුපළට එන කොටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එනවා. සමහර විට ඒ හැමෝම කාර්ය බහුල සති අන්තයක් ගෙවලා තාම නිදි ඇති. මේ සඳුදා උදේනෙ.”

“මේ,” ටලී කීවේය, ”මේක යුද්ධයක්.”

« නව ලිපිපැරණි ලිපි »

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.