Sinhala story Blog

මැයි 18, 2013

කිබිසිනි -අපට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න

Filed under: Uncategorized — arunishapiro @ 8:40 පෙ.ව.

තාත්තා වේවැල් බොකු ගැසුන පුටුවේ හිර වී සිටියි.

ඔවුන් දෙදෙනාම ඉස්තෝප්පු කාමරයට පැමිණ සිටිති. පුටුව අසලින් හිටගෙන තාත්තාගේ අතක් අල්ලා ගෙන සිටින බව දැක ඇය අත හිමිහිට ඉවත් කළාය. ඔහු පුටුවෙන් නැඟිටින්න උත්සාහයක් ගත්තේ නැත. මුහුණට එබී බලද්දී ඔහු කුමක් දෝ කියන්නට උත්සාහ කර එය අත්හැර දැමුවේය.

ලීලා කකුල දිහා බැලුවේ නූපුරය එහි නැති බව දැන දැන ය.

ඇය තාත්තා හිඳගෙන ඉන්නා පුටුව අසල වූ ලෑලී තීරුව ඉවත් කළේ නූපුරය එහි ඇති බව දැක බලා තහවුරු කරගන්නට අවශ්‍ය නිසාම නොවේ. නූපුරය එහි අනෙකුත් අබරණ සමඟ එකතු වී සතුටින් සිනාසෙනවා යැයි ඇයට සිතුණි.

“තාත්තෙ ..”

ඔහු කිසිත් පිළිතුරක් නොදී ඇය දිහා බලාගෙන සිටියේය.

“මම අතින් අල්ලාගෙන ඉන්ඳැද්දී ඒක ගැලෙව්වෙ නැත්නම් තාත්තාට ආපහු ගෙදර එන්න බැරිවෙයි කියල හිතුණ නිසයි ගැලෙව්වෙ,” ඇය පැහැදිලි කළාය. ඔහුට එය වැටහුනු බවක් නොපෙණින.

“මම පුටුවෙන් වැටෙන්න යද්දී තාත්තගෙ අතින් අල්ලා ගත්ත. මේක ඒ වෙලාවේ කොහොම කකුලට වැටුන ද කියල මම දන්නෙ නැහැ. හැබැයි එහෙමයි අපි දෙන්නම එහෙ ගියෙ,” ලීලා කීවාය.

“දෙන්නෙකුට එකපාර යන්න පුලුවන් කියල මම දන්නෙ කොහොම ද?” ඇය කීවේ නොදැන කළ වරදකට සමාව ඉල්ලන ලෙසකිනි.

තාත්තාගේ ඇස් ලීලා වෙත යොමු වී තිබුණ ද එහි අවධානයක් ඇති බවක් තව දුරටත් දකින්නට නැත.

“ඒත් තාත්තයි මායි දෙන්නම ගිය එක කොච්චර හොඳ ද?” ඇය ඉස්තෝප්පු කාමරයේ වූ කොපි පොත සොයාගත්තාය. එහි සටහන් ගැසූ පිටු පෙරළමින් හිස් පිටුවක් ඇර ගත්තාය.

“දැන් එහෙම ගියාම තාත්තාට මේ අසනීප ගතිය නැහැ. කතා කරන්න වැඩ කරන්න පුළුවන්.” ලීලා වටපිට බලා පැන්සලක් අතට ගෙන කටින් කියන්න එහි සටහන් කරගති.

අබරණක් දා ගත්තම දෙන්නාටම යන්න පුළුවන්.
ගියාම අසනීප ගතියක් නැහැ.
කතා කරන්න වැඩ කරන්න පුළුවන්.
කන්න බොන්නත් පුළුවන්.

“මට අහන්න තියෙන දේවල් ඔක්කොම අහන්න අවස්ථාවක් ලැබෙන්නෙ එහෙනම් එහෙම ගියොත් විතරයි නේද?” ඇය ඇසුවේ ඊට පිළිතුරක් තාත්තාගෙන් නොලැබෙන බව දැන දැන ය.

ඇය ගමනේ සිද්ධ වූ දේවල් සිහියට නැඟුවේ එහි දී ඉගෙන ගත්තේ කුමක් දැයි පහදා ගන්නට.

ගියාට පස්සෙ අත් හැරලා ඉන්න පුළුවන්.

ඇය සටහනට එකතු කළාය.

ඇය කොපි පොතේ පිටු මුල සිට නැවත පෙරලුවාය.

“අපට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න.” ලීලා තාත්තා දෙස බලා කියද්දී ඔහු නිකට ළයට හිර කරගෙන තද නින්දකට පත් වී සිටියේය.

“නෝනා … නෝනා … මහත්තයා ආයේ මිදුලෙ ඇවිදින්න ගිහිල්ලා,” මෙහෙකාරිය ඉස්තෝප්පුවේ සිට කෑ ගසනා හඬ ඔවුනට ඇසිණ.

මැයි 4, 2013

කිබිසිනි -එහෙදි මට කතා කරන්නත් බැරි ද?

Filed under: Uncategorized — arunishapiro @ 7:00 පෙ.ව.

විටින් විට වචනයක් දෙකක් හුවමාරු වුව ද ඔවුන් අතර කතාබහ අඩුවෙන් ද වැඩ වැඩියෙන් ද සිද්ධ විය.

පාන්දර තුනට පමණ උඩුමහලේ වූ යුවතිය තරප්පු පෙළ බැස්සේය.

“කෝපි ටිකක් රත් කළා .. හපන්න දෙයක් නම් නෑ,” ඇය මුහුණ සඟවා ගනිමින් කීවාය.

තරබාරු කාන්තාව ඇයගේ සැමියාට ඉඟි කළාය. ඔහු කරවටේ ඔතාගෙන තිබි සාටකයක් ගැලවූයේය. එහි කොණක වූයේ ලොකු ගුලියකි. ගැට ලිහා ගන්නා තෙක් අනිත් සැවොම ඔහු දෙස බලා සිටියේ කුතුහලයෙනි. ගුලියේ ඇතුලත තෙල් කඩදාසියකින් මතු වූයේ සලාමි රෝලකි.

“එහා පැත්තට ගියාට පස්සෙ මේවා ඕන තරම් ගන්න ඇහැකි වේවි,” ඔහු කීවේ තොලකට ලෙවකමින්.

“සලාමි තරම් සුවිශේෂ නොවුනාට මේකත් අපි බෙදා ගම්මු,” කාමරයේ එහා කෙළවරක හිටි අයෙක් තොප්පියක් ගලවා පත්තර කඩදාසියකින් ඔතා තිබුණ බනිස් ගෙඩි තුනක් පෙන්වීය.

තාත්තා ඔහු හැඳ සිටි කබායේ හා කමිස, කලිසම් වල සාක්කු අත ගානවා ලීලා දැක්කාය.

“මේ තියෙන්න,” තාත්තා කීය, ”ගුල්ලෝ ඉන්නවා හැබැයි මේ චීස් කෑල්ලෙ,” සාක්කුවෙන් එළියට ඇදගත් කුඩා චීස් කුට්ටිය දිහා තාත්තා ඇස් කුඩා කර බැලීය.

“ප්‍රෝටීන් මොන විදියෙන් ලැබුනත් කාරි නෑ,” සලාමි රෝල වනමින් මැදිවියේ පුරුෂයා ගෙරවීය.

ඔවුන් එකින් එකා හැකි තරම් නිහඬව තරප්පු පෙළ නැඟ්ගහ. බිත්ති වලට කන් ඇතැයි මුලින් නැඟ්ග අයෙක් කොඳුරනවා ඇසිණ.

එකා පස එකා යමින් ඔවුනොවුන්ගේ ඇඟේ හැප්පෙමින් ඔවුන් සියල්ලන්ම අඳුරැ කාමරයකට ඇතුල් වූහ. මේසය වටා තිබුනේ එකිනෙකට නොගැලපෙන පුටු කිහිපයකි. මැදිවියේ පුරැෂයා තියුණු පිහියකින් සලාමි රෝල ඉතා තුනීයට පෙති ගැසුවේය. තාත්තා ගුල්ලන් එහා මෙහා යන කුඩා චීස් කුට්ටිය තරුණිය අත තැබුවාය. එය කුඩා කෑලි වලට කඩා පිඟානක් පුරා තබන්නට ඇය සමත් වූවාය. බනිස් ගෙඩියකින් මේසයට තට්ටුවක් දැමූ එහි අයිතිකාරයා “කෝපි වල පොඟවන්න වෙයි, නැත්නම් දත් ගලවන්න දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්න අවශ්‍ය නැති වේවි,” යැයි කීය.

“කෝ මෙහාට දෙන්න,” යුවතියගේ අයියා කුඩා කියතක් මේස ලාච්චුවකින් එළියට ගෙන බනිස් ගෙඩි වලට ළංවීය.

“ගල් බනිස් හරි කන්න ලැබෙනවා නම් ඒකත් පිනක්,” කවුදෝ සුසුම් ලෑවේය.

කවුදෝ පුටුවක් ඇද තාත්තාට වාඩි වෙන්නට දෙන හැටි දැකීමෙන් ලීලාගේ සිත සැනසිණ. තරුණ අය හිටගෙන සිටියහ. මහළු අය වාඩි වූහ. වැඩ කරද්දී සේ ම කෝපි කෝප්ප හා ආහාර හෙමින් හෙමින් අවසන් වූයේ ඉඳහිට වදනක් දෙකක් මිසෙක වැඩි කතාබහකින් නොවේ.

“අපි වැටේ එහා පැත්තට ළං වෙලා ඉන්නෙ. ඒත් තව අඩි විස්සක් වත් හාරන්න ඕනෑ. ඉවර කරන දවසේ අපි යනවා, එදාට එන්න බැරි වෙන අය ගැන කරන්න කිසිම දෙයක් නැහැ ඔන්න,” තරුණයා කීය.

ඔවුන් එකඟත්වය පාමින් හිස් වැනූහ.

කෝපි කෝප්ප හිස් වූවාට වඩා ඉක්මණින් කෑම අතුරුදහන් විණ. තැන් තැන් වල බිත්ති වලට පිටදුන් ඔවුන් නින්දට ගියේ කළින් හුරු පුරුදු ලෙසකින්. තාත්තා අසලින් ලීලා වාඩි වූවාය.

“මොකද වුනේ කියලා දන්නවා ද?” ඇය රහසින් ඇසීය.

“එහෙදි මට කතා කරන්නත් බැරි ද?” තාත්තා මිමුණුවේය.

ලීලා හිස වැනුවේ වදනක් පිට කළොත් හැඬුම් ඒවි යැයි බියෙනි.

“මෙහෙම ආවම ජීවිතේට ඕනෑ දෙයක් තමයි ඉගෙන ගන්න ලැබෙන්නෙ,” ඔහු ලීලාගේ හිස තම ළයට තුරුල් කරගත්තේය. අහන්නට දහසක් ප්‍රශ්න තිබුණ ද ලීලාගේ දෑස් පියවිණ. තාත්තා හුස්ම ඉහළ පහළ යවන රිද්මයත් සමඟින් ඇය ද කාමරයේ සිටි අන් අය අනුකරණයෙන් නිදිදුව වැළඳ ගති.

උදෑසන වටින් පිටින් එළිය වැටෙද්දී එකින් එකා අවදි වූහ.

“කාටවත් කියන්න එපා කියල ආයේ මම මතක් කරන්න අවශ්‍ය නෑ නේද?” තරුණයා සියල්ලන් ගේ ම මුහුණු එකින් එක දිහා බැලුවේ ය. ඔවුන් සියල්ලන්ම හිස් වනමින් එය මතක් කිරීම අනවශ්‍ය යැයි එකඟ වූහ.

පාරේ මගියන් වැඩි වෙත්ම එකින් එකා ගෙදර දොර හැරගෙන තනි තනියම පිටත් වී යන්නට වූහ. මැදිවියේ පුරුෂයා පිට වී ගියේ ඔහුගේ භාර්යාවට ප්‍රථමයෙනි. තව දෙන්නෙක් පිටව ගිය පසු ඇය එළියට බැස්සාය.

තාත්තා තනියම දොර වෙතට ළං වෙත්ම ලීලා ඔහු දෙසට දිව ගියේය. තාත්තාගේ අත අල්ලා ගත් ඇය නැවී අනෙක් අතෙන් නූපුරය ගලවා දැම්මේ තාත්තා කුමක් දෝ කියන්නට පටන් ගනිද්දී ය.

****

Reader’s Digest True Stories of Great Escapes (1978) කතන්දරයේ පසුබිම වෙයි.

අප්‍රේල් 27, 2013

කිබිසිනි -අපි හැමෝම එක දවසේ යන්න ඕනෑ ඒ නිසා

Filed under: Uncategorized — arunishapiro @ 7:26 පෙ.ව.

උඩු මහලට ගිය තරුණයා සමඟ එක් වූ තරුණිය ඔවුන් වෙතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය ඔවුනට යාන්තමෙන් ඇසිණ.

දොරක් වැසෙන හඬකින් පසුව තරුණයාගේ අඩි තරප්පු පෙළේ පහළට එන අන්දම දෝංකාරය දුනි.

“හැමදාම අහන ප්‍රශ්න තමයි,” ඔහු දන්වා සිටියේය. “ඇයි මේ රූ වැඩ කරන්නෙ අහනවා, මම කිව්වා දවස පුරාම මට පැය හතරක් ඈත තියෙන කම්හල් රැකියාව කරන්නයි මේ ගේ රෙපෙයාර් කරන්නයි එකවර බැහැ කියල.”

“එහෙම කරන්න පුලුවන් ක්‍රමයක් තියේ නම් ඒකත් අපි ලව්වා කරවාවි,” මැදිවියේ පුරුෂයෙක් ගෙරවීය.

“මම ඉන්නවා ද කියල ඇහැව්වෙ නැත් ද අයියේ?” අනික් කඩවසම් තරුණයා සිනාවකින් ඇසීය.

“මොකෝ නැත්තෙ, එක එක්කෙනා ඉන්නෙ ගෙදර මොන කාමරේ ද කියලා ඇහැව්වෙ නැති එක විතරයි,” අයියා පිළිතුරු දුන්නේ ය.

“අපි හැමෝම එක දවසේ යන්න ඕනෑ ඒ නිසා,” මැදිවියේ පුරුෂයා නැවතත් ගෙරවීය.

“කල් යවන්න බැහැ, දැන් වැටෙන් පැනලා යන අයට වෙඩි තියලා මරණ නිසා ගොඩක් අය උමං හාරනවා කියල මේ මායිමේ තියෙන ගෙවල් ඔක්කොම ගැන පරීක්ෂාවෙන් ඉන්නත් පටන් ගෙන.” මෙතෙක් නිහඬව සිටි තරබාරු මැදිවියේ කාන්තාවක් මිමිණුවා ය.

වල වටා රැස් වූ සියල්ලන් ම හිස් වනමින් එකඟ වෙද්දී, තාත්තා ද ඔවුන් හා එකඟ වෙමින් මොනවා දෝ හිමිහිට මුමුණන බව ලීලා දැකීය. කතාබහට හැකියාවක් හා ලෝකය ගැන අවධානයක් යළි ලැබී ඇති ඔහුව පැත්තකට ඇදගෙන යන්නට නළියන සිත ලීලා දමනය කරගත්තේ ඉතා අපහසුවෙනි.

මෙවැනි ගමනක දී තමන්ට නියම වී ඇති භූමිකාවෙන් වෙනතක යන්නට හැකියාවක් නැතැයි ඇයගේ සිත කියයි. තාත්තා යා යුතු ගමනක තමන් ගිය නිසා ඔහුට අසනීප වූවා යැයි ලීලාගේ සිත තවමත් කොනහයි. කඩවසම් තරුණයන් දෙදෙනා නැවතත් වලට බැස කැනීම් පටන් ගෙන ඇත. අනිකුත් අය උඩට අදින පස් පැත්තක ගොඩ ගසන්නට නැවතත් පටන් ගෙන ඇත. ලීලා අතට බාල්දිය නැවත බාර විය.

ලීලා තාත්තා දෙස යටැසින් බලමින් පස් ඇද්දේ කතාබස් කරන්නට අවස්ථාවක් පාදා ගන්නේ කෙසේදැයි සිතමිනි. ඉඳහිට වචනයක් දෙකක් ඔවුන් හා මුමුණන තාත්තා ඉන්නා ස්ථානය ගැන දන්නා ලෙසකින් හැසිරෙයි. කුමන රට ද, කුමන කාලයක් ද, කුමන බාසාවක් දැයි දැන ගැනීමට ලීලාට තිබෙන උවමනාව වෙනත් මෙවැනි ගමනක් ආ කලක සේ දැඩි නොවීය. ලීලාගේ හදිසිය තාත්තා වෙතින් ඔහුට හදිසියේ ම සිහිකල්පනාව නැති වී ගියේ මන්දැයි දැන ගැනීමටයි.

තමනට සැබෑ ලෝකයේ දී සිහි කල්පනාව අහිමි බව ඔහු දන්නවා ද? ඇය නැවතත් තාත්තා දිහා විපරමින් බැලුවාය. ඒ ගැන අහන්නට ගියොත් ඔහුට යම් අවදානමක් මෙහි දී හට ගනියි ද? ලීලාගේ හද ගැස්ම සීඝ්‍ර විය. ඩොක් ඩොක් ගා පපුව ගැහෙන හඬ පිටතට ඇසේවි යැයි බියෙන් ඇය දිගු හුස්මක් ගෙන සෙමෙන් පිට කළාය.

විලුඹේ එල්ලෙන නූපුරය දිහා ලීලාගේ දෑස් යොමුවිණ. නූපුරය ගැලවුනොත් තාත්තා මෙහි දමා තමා පමණක් ආපසු යාවි ද? ඇයගේ හද ගැස්ම තවත් වැඩි විය. ඇය තවත් දිගු හුස්මක් ඉහළට ඇද්දා ය. ඉතා සෙමෙන් හුස්ම පිට කරමින් ඇස් පියාගත්තාය.

“හොඳටම බය වුනා නේද?” ලීලා අත වූ බාල්දිය ඉවත් කරමින් මැදිවියේ තරබාරු කාන්තාව ඇය දෙස කාරුණික ඇස් වලින් බලා සිටියි.

“ඔව්,” ලීලා කීවත් ඇය අදහස් කළේ තරුණයාව ප්‍රශ්න කරන්නට පැමිණි අය ගැන ඇති වූ බිය ගැන නෙමෙයි.

“ඔහොම තමයි ස්ටාසි බය කරලා තමයි හොයා ගන්නෙ විස්තර ඔක්කොම,” ඇය පැහැදිලි කරයි, ”අපි විස්තර දුන්නෙ නැත්නම් එයාලට හොයා ගන්න විදියක් නැහැ. ඒත් බයට මිනිස්සු විස්තර කියන නිසා උන්ට හොයාගන්න ලැබෙනවා ඔක්කොම.” ඇය ද සුසුමක් පිට කළාය.

“ෆ්‍රවුලයින් ලීනාව තවත් බය කරන්න එපා,” මැදිවියේ පුරුෂයා කරුණාබරිත හඬකින් ගෙරවීය. ඔහු ඇයගේ සැමියා බව ලීලාට පසක් විය.

“බය වෙන්න ඕනෑ තරමකට. නිර්භීතකම කියන්නෙ තියෙන අවදානම් සියල්ල ගැන දැනීම නිසා ඇතිවෙන බය ජයගන්න හැකියාව ලැබීමයි,” තරබාරු කාන්තාව කියා සිටියේය, ”ඔයා වගෙ,” ඇය සැමියාට කීවේ ඊට ඔහු වෙත ප්‍රශංසාවක් ද එකතු කරමිනි.

“මගේ ටොක්ටහ් නිර්භීතයි, ඇය බය ගුල්ලියක් නෙමෙයි,” තාත්තා ඔවුන් දෙස බලා කියද්දී ලීලාගේ ඇස් වලින් කඳුළු ගලන්නට පටන් ගති. දීර්ඝ කාලයකට පසු තාත්තාගේ කටහඬ අසන්නට හැකිවීම, එම වදන් නුහුරු බසකින් වූ උච්චාරණයක් වුවත් එහි අදහස වැටහී යාම නිසා ඇයගේ හදවත දැඩි වේදනාවත් නිම්හිම් නැති සතුටත් අතර ගැටෙන හැඟීමකින් පිරී ඉතිරී ගියේය.

අප්‍රේල් 22, 2013

කිබිසිනි -මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න

Filed under: Uncategorized — arunishapiro @ 9:17 පෙ.ව.

අඳුරු බිම් මාලයක පස් ගොඩක් මැද්දේ තාත්තා සහ ලීලා හිටගෙන.

“ලිනා, මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න,” කණට කොඳුරා රහසින් පැවසූ අයෙක් ලීලාගේ අතේ වූ බාල්දිය ඉවත් කළේය. බාල්දියක් ඔසවා ගෙන සිටිනවා යැයි ලීලා දැක්කේ එවිට.

“… මහත්තයාටත් දැන් මහන්සි ඇති, දුවත් එක්ක ම විවේකයක් ගත්තොත් නේද?” පියාට අනෙක් පැත්තෙන් වූ අයෙක් ගැඹුරු එහෙත් හඬ බාල කරන ලද කටහඬකින් කියන ලදි.

තාත්තාගේ අතේ ද හිස් බාල්දියකි. ඔහු ලීලා දෙස බැලීය. ඇය කවුදැයි අඳුනාගත්තේ ය. ඔහුගේ දෑස් සතුටින් පිරී ගියේය. වහාම හේ වටපිට බැලීය. අනිත් අය අනුගමනය කරමින් කිසිත් කතාවක් නැතිව බාල්දිය වළක් හාරමින් ඉන්නා අය වෙත බාර දුනි. වළෙන් එළියට එන පස් ඉවත් කිරීම පියාගේ සහ ලීලාගේ කාර්යය බව ඔවුන් හනිකට අවබෝධ කරගත්හ.

“තාත්තා ..,” ලීලා කියන්න පටන් ගත්ත අවසන් කරන්නට ඇයට ඉඩක් නොලැබුණි.

“මට මහන්සි නෑ ..,” තාත්තා කටහඬ ඉතා පහත් හඬින් අවදි කළේ ලෙඩේ හැදෙන්නට පෙර තිබුණු උද්‍යෝගීමත් ගති ස්වභාවයෙන්. ඒත් ඔවුන් දෙදෙන කතාබස් කළේ සිංහලෙන් නම් නෙමෙයි. තාත්තා ඇසක් වසා ඉඟි කළේ තමනට කිසිත් කරදරයක් නැහැ ඒත් මෙතැන දී ප්‍රශ්න අහන්නට එපා යැයි කියන්නට.

තාත්තා ගෙන් අසා දැනගන්නට උවමනා කරුණු කන්දරාවකි. කොහෙන් පටන් ගන්න දැයි සිතාගත නොහැක්කේ ඇය මෙවැනි අවස්ථාවක් තමනට උදාවේ දැයි කිසිම ලෙසකින් නොසිතූ නිසයි. මේ කවුදෝ නොදන්නා කට්ටියක් නිසා ඇයි මා නිහඬ විය යුත්තේ යැයි ඇය මුරණ්ඩු ලෙසින් තාත්තා දෙස බැල්මක් එල්ල කළාය. එහෙත් ඔහු එය දැක්කේ නැත.

කාය ශක්තියක් කිසිම ලෙසකින් අඩු වී නොගිය ආකාරයෙන් තාත්තා වළෙන් උඩට එන පස් පිරුණ බාල්දි ඉවතට ගෙන ගොස් හළා දමා ආපසු හිස් බාල්දි වළේ ඉන්නා අයට බාර දෙයි. වළ ඇතුලේ වූ පන්දමකින් එන යාන්තම් එළියක් මිසෙක එහි වෙනත් එළියක් දැල්වුනේ නැත. තාත්තා හා ලීලා හැරෙන්නට තවත් දෙතුන් දෙදෙනෙක් ඔවුන්ට සහාය වෙති. කිසිවෙක් වැඩි කතාබහක නොයෙදුනහ. ඉඳහිට වචනයක් පිට වුවත් එය රහසින් කොඳුරන ලද්දකි.

නලාවක හඬ පැතිර ගියේ සියල්ලන්වම තැති ගන්වමින්. ලීලා තැති ගත්තේ හදිසියේම පැතිර ආ එහි සද්දයෙන්. එහෙත් අනිත් අය, තාත්තා ද ඇතුළුව එය අපෙක්ෂා කරමින් සිටි බවක් පෙන්වූහ. වළේ උන් කඩවසම් තරුණයන් දෙදෙනෙක් හනිකට එළියට පැන ගත්හ. වටේ උන් අය හනිකට බාල්දි සියල්ලම වළ ඇතුලට දමා, වළේ කට උඩින් ලෑල්ලක් දමා එය වසා දැමූහ. ඔවුන් වතුර බාල්දි, සිමෙන්ති ගෝනි හා ලී පතුරු එහි උඩින් සකස් කළේ කළින් එසේ කර හුරු පුරුදු බවින්. තත්පර කිහිපයක් යද්දී පස් හය දෙනෙක් එකතු වී කරන ප්‍රතිසංස්කරණ සිද්ධ වූයේ වළ ඇතුලේ නොව එහි අවට සේ දැක්වෙන්නට දර්ශනය වෙනස් කෙරිණ.

“අයියණ්ඩි ඔයා ඉන්නවා ද අහනවා,” කෙල්ලකගේ සුකොමළ කටහඬක් තරප්පු පේලියක් දිගේ ඇයගේ අඩි හැප්පෙන සද්දයත් සමඟ අවට බිත්ති වල දෝංකාරය දෙයි.

“මම මේ පොඩි වැඩක්,” ඔහු උත්තර දුන්නේ කළින් සකස් කරගත් ප්‍රතිචාරයක් කෙල්ලට නොව වෙනත් අසා සිටින්නෙකුට ඇහෙන්නට කියන ලෙසකිනි.

“ඔහුට එන්න කියන්න, අපිට ඔහු සමඟ කතා කරන්න අවශ්‍යයයි,” තරුණයෙකුගේ මවා ගත් ගාම්භීර කටහඬක් බිත්ති වල දෝංකාර දෙමින් ගලා එයි. අනෙක් කිසිවෙක් හුස්ම ගන්නා සද්දයක් හෝ පිට නොකරන උත්සාහයෙන් ඉන්නා බව ලීලාට වැටහුණි.

“අයියණ්ඩි, ඔයාට එන්නලු, ඔයා එක්ක කතා කරන්න අවශ්‍යයැයිලු,” කෙල්ල කළින් උච්චාරණය කළ සුකොමළ ගතියෙන් ම කීවාය. එහෙත් ඒ ගාණක් නොගෙන සේ පැවසෙන කෙල්ලගේ කටහඬේ දැඩි බියක් ඇත්තේ යැයි ලීලාට දැනිණ.

“තත්පරයක් දෙන්න, මගේ අතේ සිමෙන්ති,” තරුණයා කීවේය. උඩට කැඳවීම නුරුස්සන බවක් මෙවර මවා පාන්නට අවශ්‍ය නොවිණ.

ඔහු අනික් අය දිහා බැලීය. ඔවුන් ඔහු දිහා බලා හිස් වැනූහ. මුහුණ දෙන්නට යන්නේ කුමන අවදානමකට දැයි ඔවුන් සියල්ලම දන්නා සේ ය. තාත්තා ද ඔවුන් අතරට එකතු වී සිටියි. ලීලාට වෙන්නේ කුමක් දැයි නොපැහැදිලියි. තරුණයා හඬ නොනැඟෙන සේ දැඩි හුස්මක් ඉහළට ගත්තේය. ඔහුගේ උඩුකය හුස්මෙන් පළල් විය. ඉන්පසු හඬක් නැඟෙන සේ ලීයක් ඔසවා පස් නොමැති තැනක බිම අත හැරියේය. ඉන්පසු පන්දමත් රැගෙන කඩිමුඩියේ දුවන බවක් අඟවමින් තරප්පු පෙළ නැඟ්ඟේය.

ඔහු නොපෙනී ගිය පසු ලීලා තාත්තා දෙස හැරුනත් තාත්තා ඉතා යාන්තමින් වරක් දෙවරක් පමණක් අන්ධකාරයේ ඔළුව දෙපැත්තට වැනුවේ දැන් මුකුත් අහන්න එපා යැයි කියන්නට.

අප්‍රේල් 14, 2013

කිබිසිනි -ආයේ තේ බොමු

Filed under: Uncategorized — arunishapiro @ 7:39 ප.ව.

“මොකද වුනේ බේබි?”

“මේක .. මේක අර ඉස්තෝප්පු කාමරේ වගේ,” ලීලා නූපුරය කොණකින් උස්සා පෙන්වීය, “මට මිදුලෙන් හම්බ වුනෙ.”

මෙහෙකාරිය වටහා ගත් ලෙසින් හිස වනයි.

“තාත්තා මිදුලෙ ඇවිද්දෙ මේක හොයන්න.”

ඇය ලීලා වෙතින් දෑස් ඉවත් නොකරම චීත්තය බුරුල් කොට නැවතත් තදින් ගැට ගසා ගත්තීය.

“ඒත් ඉස්තෝප්පු කාමරේ ඇතුලට ගෙනිච්චොත් ආයේ එළියට ගේන්න බෑ. කාමරේ ඇතුලෙ පෙට්ටියක මුදු මාල වළලු කරාබු එහෙම ගොඩක් තියෙනවා. එළියට ගන්න බැරි.”

“බේබිට ඉස්තෝප්පු කාමරේ දොර අරින්න පුළුවන් එහෙනම්,” මෙහෙකාරිය කිව්වේ සතුටින්. එය දැනගත්තා යැයි ඇය අම්මා මෙන් තැති ගත්තේ නැත. එසේම පිටතට ගත නොහැකි වටිනා මුදු මාල ඇතුලත තිබීම ගැන කතාබහක වැදගත්කමක් දැක්කේ ද නැත.

“මහත්තයාටත් කාමරේ ඇතුලට යන්න පුළුවන් ඇති,” මෙහෙකාරිය කිව්වේ අම්මා එනවාදැයි වටපිට බලමිනි.

ලීලා ඔළුව වැනුවේ එය එසේමැයි එකඟ වන්නට. ඒත් එතැනින් එහාට විස්තර පැවසීමට ලීලා අදිමදි වූවාය.

“බේබි හිතන්නෙ …”

“ඔව්, තාත්තාට අසනීපේ හැදුනේ මං ඇතුලට ගිය වෙලාවක,” ලීලා ප්‍රශ්නය අවසන් කරන්නට පෙර ඊට උත්තර දුනි.

“අද බේබිට කලන්තෙ හැදෙන්න ඇත්තෙ ..”

“තාත්තාට මේක හොයන්න ඕනෑයි කියල දැනිච්ච වෙලාවෙ වෙන්නැති,” ලීලා කීවේ එය හරියටම තමන් නොදන්නේ යැයි කියන්නට උරහිස් හකුළවමින් දෙතොල් බෙරි කර ගනිමින්.

“මං තව වතුර කේතලයක් රත් කරන්නම්. නෝනා නාගෙන ආවම ආයේ තේ බොමු.” මෙහෙකාරිය ගුරුලේත්තුවකින් වතුර පුරවා කේතලය ලිපේ තැබුවේ ඕනෑම ගැටළුවකට විසඳුමක් සොයා ගන්නට තේ උගුරක් පානයෙන් පසු පුළුවනැයි කියන විලසකිනි.

ලීලා ඉස්තොප්පුවට පියමං නැඟුවේ කකුලේ නොදා ගත්තොත් සහ ඉස්තෝප්පු කාමරයට ගෙන නොගියත් රාත්‍රියේ නිදා ගත්තාම නූපුරයට කුමක් වෙනු ඇත් දැයි කල්පනාවෙන්. ඒක ඉබේම ඉස්තෝප්පු කාමරේ අබරණ පෙට්ටියට ගිහින් තියේවි ද?

තාත්තා නිකට ළයේ තද කරගෙන තද නින්දක පසුවෙයි. ලීලා ඔහු අසලට ගියේ ඔහු ඉන්නා ආකාරය දැක එය සංසුන් වැඩි යැයි තැති ගත් නිසයි. ළං වෙද්දී ඔහු හුස්ම ඉහල පහල හෙළන ආකාරය ඇයට යාන්තමෙන් ඇසිණ. ඇය වෙතින් සැනසුම් සුසුමක් පිටවුණි. එය අම්මා පිට කරන දිගු සුසුම් හා ඉතා සමාන යැයි ඇයට එය පිටවී ගිය වහාම සිතිණ.

තාත්තා වාඩි වී සිටි පුටු ඇන්දේ ලීලා වාඩි වුනේ දවස පුරා ම ඇවිද්දා යැයි විඩාබර ගතිය හදිසියේ ම ඇයට වැඩියෙන් දැනුනු නිසා. සෝදා නොගිය පුංචි මඩ පැල්ලමක් වියළී ගොස් විලුඹේ ඇල වී තියනවා දැකි ලීලා අනෙක් කකුල පිට ඒ කකුල උස්සා තබාගෙන එක අතකින් විලුඹ අල්ලා ගෙන අනෙක් අතෙන් මඩ පැල්ලම පිස දාන්නට උත්සාහ කළාය. අතේ ගුලි කරගෙන සිටි නූපුරය එවිට අතින් ගිළිහෙන්නට ගියේය. ලීලා එය අල්ලා ගන්නට යද්දී ඇයව පුටු ඇන්දෙන් වැටෙන්නට ගියෙන් ලීලා තාත්තාගේ අත අල්ලා ගත්තා ය. නූපුරය බිමට නොවැටී ලීලාගේ විලුඹේ රැඳුනේ හෙමින් තිරයක දිග හැරෙන රූප රාමු දිහා බලා වෙන්නේ කුමක් දැයි අවබෝධ කරගත් ලීලාගේ මුව විවර වෙද්දී ය.

අප්‍රේල් 6, 2013

කිබිසිනි -මම ඇල්ලුවාට කමක් නැතෙයි?

Filed under: Uncategorized — arunishapiro @ 4:36 ප.ව.

“ඇයි දිය කරන් බොන්නෙ නැත්තෙ?”

අල්ලට සීනි ඩිංගක් හලා ගෙන එය දිව ගාමින් මෙහෙකාරිය තේ කෝප්පය බොයි.

“මෙහෙම බිව්වම රහ වැඩියි බේබි.”

“තේ වල ද? සීනි වල ද?”

“දෙකේම බේබි,” ඇය කියන්නේ සිනාවකිනි.

“කෝ අම්මා,” ලීලා ඇසුවේ රහසින්.

“නෝනා නාගන්න ගියා ද කොහෙද,” මෙහෙකාරිය වත්තේ ලිඳ පැත්තට ඔළුවෙන් ඉඟි කළාය.

ගේ ඇතුලට වත්තන් කරගෙන ආ තාත්තාගේ මඩ පැල්ලම් වැටුණු සරම මාරු කරන ලදි. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක වාඩි ව සිටිය දී දෙපතුල් වල මඩ සෝදා හරින ලදි. නිදා කිරා වැටෙද්දී ම තේ කෝප්පයක් බලහත්කාරයෙන් වගේ පොවා දැමිණ. ඒ සියල්ල අම්මා කළේ ඇයව වත්ත පුරා ඇවිද්දපු කේන්තිය පිරිමහගන්නට වාගේ යැයි ලීලාට සිතුනත් තේ කෝප්පය බී අවසන් වෙද්දී තාත්තා හාන්සි පුටුවේම තද නින්දකට වැටී තිබුණි. ඒ කටයුතු ඉක්මණින් නොකළා නම් තාත්තා මඩ සරමෙන්, මඩ කකුල් වලින් හා තිබහෙන්ම නිදියනු ඇත.

අබරණය තවමත් ලීලාගේ අල්ලේ ගුලි වී ඇත. එය තම නිදන කාමරයේ තබන්නට හෝ ඉස්තෝප්පු කාමරයට ගෙන යන්නට ලීලා සූදානම් නැත. අතෙන් අයින් වුනොත් එය ඉස්තෝප්පු කාමරයේ අනෙක් අබරණ ඇති පෙට්ටියට වැටෙනු ඇත් දැයි නිශ්චිතව නොදත්ත ද එයට වැඩි සම්භාවිතාවක් ඇතැයි ලීලා ගේ සිත කියයි. එය ඉස්තෝප්පු කාමරයට ගෙන ගියොත් යළි එළියට ගෙන ඒමට නොහැකි දැයි නිශ්චිතව නොදත්ත ද එයට ද වැඩි සම්භාවිතාවක් ඇතැයි ඇයගේ සිත කියයි.

එහි අගය අපූරු ගමනක් යෑමට හැකියාව පමණක් ද?

“රත්තරන් පොටක් විකුණුවොත් කීයක් විතර ලැබෙයි ද?”

අල්ලත් දිවත් මුණ නොගැසී එහෙත් එකිනෙකට බොහෝ ආසන්නව තිබිය දී බියමුසු මුහුණකින් මෙහෙකාරිය ලීලා දෙස බැලුවාය.

“අම්මගේ මාලයක් නෙමෙයි, මේ මගේ එකක්,” ලීලා මිමිණුවේ වැරද්දක් නිවැරදි කරන ලෙසින්.

“දන්නෑ බේබි, ගිහින් අහලාම බලන්න වෙනවා. ඒත් ඊට පස්සෙ බේරගන්නෙ?”

“කාගෙන් ද අහන්නෙ?”

“බැංකුවට දෙන්නත් පුලුවන්, ඒත් ඊට වඩා හොඳ ගාණක් ලැබෙනවා ප්‍රියාන් මහත්තයාට දුන්නම.”

“කවුද එහෙම කියන්නෙ?”

“අහල පහල අය.”

“කවුද ප්‍රියාන් මහත්තය?”

“මං දන්නෑ හරියටම කවුද කියල. එහෙම කෙනෙක් ඉන්නව කියල විතරයි දන්නෙ. ඉස්සර ඩුබායි වැඩ කරපු කෙනෙක්ලු. දැන් පොලියට ණය දෙනවාලු. රත්‍රන් බඩු ගන්නවාලු … බඩු උගසටත් ගන්නවාලු.”

බැංකුවකට ගිහින් නම් ගම් දෙනවාට වඩා මෙය නොදන්නා අයෙකුට දී මුදල් කරගත හැකි නම් අගනේ යැයි ලීලාට සිතිණ. අල්ලේ තවත් සීනි කැටයකුදූ දකින්නට නොහැකි වුවත් අල්ල දිව ගා අන්තිම තේ උගුර බිව් මෙහෙකාරිය කොළොඹුවෙන් නැඟිට්ටාය.

“ඔහොම පොඩ්ඩක් වාඩිවෙන්නට,” ලීලා ඇයට අතින් සංඥා කර එළිපත්තට ඇස් යොමු කළේ අම්මා මග එනවා දැයි බලන්නට.

“ඇයි බේබි?”

“පොඩි අත්හදා බැලීමක් කරන්න, ඔයා බය වෙන්නැත්තම් විතරයි කරන්න පුලුවන්,” ලීලා උළුවස්සට හේත්තු වී කුස්සිය ඇතුලේ ඉන්නා මෙහෙකාරියට අත්ල දිගහැර අබරණය පෑවාය.

“චාම් නූපුරයක්, හරි ලස්සනයි, කොහෙන් ද ලැබුනෙ බේබි?”

“කොණ්ඩෙට දාන එකක් ද?”

“නෑ බේබි මේක කකුලේ දාන එකක්.”

ඇය වෙත හිමිහිට ළං වූ ලීලා අත පෑවේ ඇයට තවත් හොඳින් බලාගන්නට.

“මම ඇල්ලුවට කමක් නැතෙයි?” මෙහෙකාරිය අසයි.

“අල්ල දිග අරින්න, හැබැයි පරිස්සමෙන් වාඩිවෙලා ඉඳගෙන.”

මෙහෙකාරිය හැමදාම බරදෙන කොළොඹුවේ පස්ස එහාට මෙහාට කළේ මේකෙ තවත් හරිබරි ගැහෙන්නෙ කොහොමදැයි අහන විලසට. තේ කෝප්පය බිම තැබූ ඇය අත්දෙකම පෑවා ය.

ලීලා තම අල්ලේ වූ නූපුරය මෙහෙකාරිය ගේ අල්ලට අතහැරියේ උවමනාවෙන් ම ඇසි පිය නොහෙළා සිටිමින්.

කොළොඹුව පණ ලැබූ සතෙක් මෙන් දැඟලුවා ද?

මෙහෙකාරිය ලීලාට පහරක් ගැහුවා ද?

ලීලා මෙහෙකාරියට පහරක් ගැහුවා ද?

හිටගෙන සිටි ලීලා බිම දණගසා ගෙන සිටියාය.

කොළොඹුවේ වාඩි වී සිටි මෙහෙකාරිය බිම වැතිර සිටියාය.

එනැමල් තේ කෝප්පය විසි වී තිබුනේ දොර උළුවස්ස ළඟට.

“මොකක්ද මේ වුනේ බේබි?” මෙහෙකාරිය හැඬුම්බර හඬින් අහන්නේ තවමත් බිම වැතිරගෙන.

“බයවෙන්න එපා කිව්වෙ ඒක තමයි,” ලීලා සැර කළේ ඇයට ද, නැත්නම් තමාගේ බිය අඩු කරගන්නට ද?

මාර්තු 30, 2013

කිබිසිනි -සියළු ආබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:27 පෙ.ව.

මඩ වතුරේ දිළිසෙන්නේ නා නා වර්ණ ඇබිත්තන් මැණික් ගල් ඇල්ලූ රත්තරනින් නිම කළ නූපුරයකි.

ගෙට ගොඩ වෙන්නට පෙර කකුල් හෝදන්නට තිබූ වතුර බාල්දියෙන් ලීලා එය සෝදා ගත්තාය. අල්ලේ තබාගෙන එය කෙසේ පළඳින්නක් දැයි ඇය කල්පනා කරන්නට වූවාය.

“ලීලා තාත්තා එනවා ඔන්න පඩිය නඟිද්දී පොඩ්ඩක් බලන්න,” හති දමමින් තාත්තා පසුපස තවමත් දුවන අම්මා කියයි.

එහෙත් තාත්තා ගෙට ගොඩවෙන්නට පඩිය නැඟ්ඟේ නැත. නිවස අසලට අවුත් ඔහු ලීලා දිහා නොබලා ම ආපසු හැරී වෙනතකට ඇවිද්දේය.

“මම යන්නම් තාත්තා එක්ක, අම්මා ගෙට ගිහින් මහන්සි අරින්න,” ලීලා ආබරණය රැගත් අත සිරුර පිටුපසට ගෙන ගියත් අම්මාට ඇය කුමක් කරන්නේ දැයි නිච්චියක් නොවීය.

මවගේ මුහුණේ වූයේ කරකියාගත නොහැකි බවකින් ද පිරී ගිය තැති ගැන්මකි. ඇය ලීලා දෙසත් ගස් අතරින් කුමන මොහොතේ හෝ ඔවුනට නොපෙනී යා හැකි තාත්තා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ තෝරා ගැනීමක් කරන්නට අකමැත්තෙන්.

ලීලා කිසිත් නොකියා මව පසුකරගෙන තාත්තා දිහාවට දිව්වාය.

තාත්තා වත්ත පුරා ඇවිදමින් සොයන්නේ මේ ආබරණය ද? ඔහුගේ මතකයක් අවදි වී ඇත් ද?

ඔහු සමඟ ඇවිදින්නට ගිහින් කහපාටින් මැණික් ගලක් ඇල්ලූ රත්තරන් මුද්ද සොයාගත් හැටි ලීලාට මතක් විය. එය තමා පැළඳි නිසා ඔවුනට සියළු කරදර ළඟා වූවා යැයි ලීලාගේ සිත කෙනහිල්ල තවමත් ඇයට වදයකි.

තාත්තා යන්නේ වටපිට හෝ බිම බලමින් නොවේ. ඔහු හිස කෙළින් කරගෙන හැල්මේ යයි. ඔහු පසුපසින් යන ලීලාට මඳක් දුවමින් මඳක් හතිලමින් යන්නට සිද්ධ විය. තාත්තාත් සමඟ වත්තේ ඇවිද ඔහු මුද්ද අහුලා ගත් දිනය මතකයට නඟන්නට ලීලා උත්සාහ දැරුවත් එය පහසු නොවීය.

එදා තාත්තා මිදුලට බැස්සේ ලීලාටත් එන්න කියමින්. වැස්සක් නිසා ගසක් කඩා වැටුණු බවක් කියමින් අම්මා කළ දොස් මුරයකින් ගැලවෙන්නට නොවේ ද?

වැස්සකින් පසු සොයාගන්නට ලැබෙන මෙවැනි අබරණ වලින් ඉස්තෝප්පු කාමරයේ සඟවා ඇති පෙට්ටිය පුරවන්නට ඇත්තේ තාත්තා නම් ඔහු එහි සියළු අබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද?

දැන් හමුවෙන අලුත් අබරණ ඔහු යා යුතු තැන් පිණිස ලැබෙන ඒවා ද?

“තාත්තේ, අපි යමු ගෙදෙට්ට. මේක මට හම්බ වුනා,” තවත් පියවරක් තබන්නට නොහැකි ලෙසින් ඉදිරියෙන් හිටගෙන ලීලා තාත්තාගේ අතේ එල්ලුනාය. ඔහුගේ දෑස් වලට හසුවන්නට ලීලා අත උස්සා නූපුරය එහාට මෙහාට සෙලෙව්වාය.

ඔහු නැවතිණ. නූපුරය දෙස බැලීය. අනතුරුව ලීලා දෙස බැලුවේය. යමක් කියන්නට ගියත් හඬක් පිට නොවීය. ලීලා නූපුරය ඔහු අත තබන්නට අල්ල හැරවීය. එහෙත් ඇය කරන්නට යන්නේ කුමක් දැයි දත් ලෙසකින් අත අහක් කරගන්නට උත්සාහයක් ගනිමින් ඔහු එපා යැයි කියන්නට ඔළුව වැනීය.

“ඇයි එපා?”

ඔහුගේ දෑස් තියුණු ය. යමක් කියන්නට ගන්නා උත්සාහයකින් ද ඒ කාර්යය කරගැනීමේ නොහැකියාවෙන් යුතු අඩපණ බැවින් පිරී ගිය නොඉවසුම් ගතියකින් ද යුතුය.

“මටත් යන්න පුලුවන්,” ලීලා වචනයෙන් වචනය එකින් එක හෙමිහිට ව්‍යක්තව උච්චාරණය කළාය.

ඔහුගේ දෑස්වල පැතිර ගියේ සතුටක් ද, සැනසුමක් ද, අසරණ බවක් දැයි හරි හැටියට කියන්නට ලීලාට නොහැකි වුනත් ඒ වදන් ඔහු වටහා ගත්තා යැයි ඇයට නිශ්චිතවම පැහැදිලි වුණි.

“ලීලා .. බේබි .. ලීලා …” අම්මාත් මෙහෙකාරියත් ඔවුන් සොයාගෙන ඇවිදින්.

ඔවුන්ගේ කටහඬින් තිගැස්සුණු තාත්තා විඩාබරිත ලෙසකින් මඩේ වාඩිවෙන්නට ගියේය.

“අනේ බේබි ලොකු මහත්තයට මඩේ වාඩිවෙන්න දෙන්න එපා,” මෙහෙකාරිය දුවගෙන එයි.

“ලීලා තාත්තව අල්ල ගන්න, ඔන්න වැටෙයි වැටෙයි,” අම්මා කිව්වේ ඔවුන් අසලටම වේගයෙන් ඇවිත්.

ලීලා අල්ලා ගන්නට පෙර අම්මා සහ මෙහෙකාරිය ඔහුව වත්තන් කරගත්හ. ඔවුනට අවනත වෙමින් තාත්තා නිවස බලා පිටත් වූයේ වරදක් කර අසුවුන කුඩා ළමයෙක් ලෙසිනි.

ඔහුගේ අවදි තත්වය යළි මැකී ගිය බව කියන්නට ඔහුගේ මුහුණ බලන්නට ලීලාට අනවශ්‍යයය. නූපුරයේ හැඩ බලමින් ඔවුන් පසුපසින් පිය මැන්න ලීලා කල්පනා කළේ ඊ ළඟට තමන් විසින් කළ යුත්ත කුමක් දැයි කියාය.

මාර්තු 22, 2013

කිබිසිනි -සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද?

Filed under: Uncategorized — arunishapiro @ 8:15 පෙ.ව.

හදිසියේ කඩා වැටුණු ධාරානිපාතයෙන් බස් රථයෙන් බැසි ලීලාත් මෙහෙකාරියත් ඇඳුම් ඇඟට ඇලෙන ලෙසින් තෙත බරිතව තෙමී ගියහ.

කාලයකට පස්සේ ගෙදරින් බැහැරක ගිය නිසාවෙන් ඇති වූ ගමනේ විඩාවත්, පුස්තකාලයේ ක්ලාන්ත වී වැටීමේ සිද්ධියත් දෙකෙන් ම කරකියා ගත නොහැකි ලෙසකින් සිතින් ගතින් දෙකෙන් ම හෙම්බත් වී සිටි ලීලා සහ මෙහෙකාරිය එකිනෙකා දිහා බලා අද දවස විශ්වාස කරන්න පුලුවන් දැයි වචන නැතිව අසන බැල්මක් හුවමාරු කර ගත්හ.

හංදියේ සියදෝරිස් කඩේ ලෑලි කිහිපයක් වසා තිබුනේ ඇතුලට වැසි වතුර වැදෙන නිසා. ලීලාත් මෙහෙකාරියත් ලෑලි වලට පිට දී බඩු මලු දෙන්නා මැද්දෙන් තියාගත්තේ වැසි වතුරෙන් ඒවා ආරක්ෂා කරගන්නට.

“අපරාදේ තෙමුනොත් බඩු ඔක්කොම නරක් වෙයි,” ලීලා සිතුවාය.

“අපරාදේ තෙමුනොත් සීනි ටික දියවෙලා යාවි,” මෙහෙකාරිය සිතුවාය.

ඔවුන් දෙදෙන එකිනෙකාට තවත් ළං වූහ. කඩය ඉදිරියෙන් චිරි චිරි ගා වැස්සෙන් තෙමී ගිය රෝද වලට තිරිංග අල්ලමින් නැවැත්වූ බස් රථයක් ඔවුන් දෙදෙනාවම වැසී යන සේ වැසි වතුර පහරක් ඉලක්කයට එල්ල කරන්නට සමත් විය.

හදිසියේ හටගත් ධාරානිපාතය හදිසියේ ම අවසන් විය.

බොරළු කැට මෙන් බිමට ඇද වැටුණු වැසි බිංදු හඬ නැවතී කුරුල්ලන් ගේ කිචිබිචිය පටන් ගන්නා හඬ ඇසුණි.

ලීලා ගේට්ටුව ඇර වත්තට අඩිය තබා හුන් තැනම නතර වූවාය. ඇයගේ පිටුපසින් ඇතුලට ආ මෙහෙකාරිය නැවතුනේ ලීලාගේ ඇඟේ වැදී.

තාත්තා වත්ත පුරා වේගයෙන් ඇවිදියි. අම්මා කඩා වැටෙන සාරිය පටලවා ගන්නට වෑයම් කරමින් තාත්තාගේ පිටුපසින් දුවයි.

“අපි මේ බඩු කුස්සියේ දාලා ඇඳුම් මාරැ කරගෙන ඊට පස්සෙ හොයමු මේ මොකද වෙන්නෙ කියලා” ලීලා සංසුන් හඬින් කීවාය.

“ගේට්ටුවට ඉබ්බා දාලාම යමු බේබි,” මෙහෙකාරියත් ලීලාගේ ස්වරයෙන් ම කීවාය.

දැන් අපි දෙන්නටයි වගකීම් බාරගන්න වෙලා තියෙන්නෙ, ඉස්තෝප්පුවට අඩිය තියද්දී ලීලාට සිතිණ.

ලීලා ඇඳුම් මාරු කළාය. සාළුවක් තෙත් වී යනතෙක් ම ඔළුව පිස දා ගත්තාය. ඇය මුළුතැන්ගෙයට යද්දී මෙහෙකාරිය ඇඳුම් මාරු කර, කොණ්ඩය වේලෙන්ට දිග හැර තබාගෙන, බඩු අඩුක් කරන්නට පටන් ගෙනය. ලිප මත වතුර කේතලයකි.

“තේ?”

“ඔව්, නෝනයි මහත්තයයි ඇතුලට ආවම තේ බොමු.”

“පුස්තකාලේ දී වෙච්ච ..”

“මම නෝනට කියන්නෑ, බේබිට ඕන විදියක් කරන්න. මේ වෙලාවේ ලොකු මහත්තයටයි නෝනටයි වඩා බේබි දන්නවා මොකක් ද කරන්න ඕන කියල.”

“සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද?” ලීලා ඇසුවේ සිනාවකින්.

“අනේ බේබි, …” කියන්න ගිය වදන් කියාගත නොහැකිව මෙහෙකාරියගේ දෑස් කඳුළු බිඳු වලින් පිරී ගියේය.

“විහිළුවක් කළේ, අඬන්න දෙයක් නෑනේ,” මෙහෙකාරියගේ ලිහා දැමුණු කොණ්ඩයෙන් අගිස්සක් අල්ලා නොරිදෙන සේ හෙල වූ ලීලා කීවාය. “මං ගිහින් අම්මවයි තාත්තවයි තේ බොන්න එක්කන් එන්නම්,” කියූ ලීලා තවත් හිත රිදවන වදනක් පිටවෙන්නට කළින් එතැනින් පිට වී ගියාය.

මුළුතැන්ගෙයි පැත්තෙන් එළිපත්තට බැස්ස ලීලා වත්ත සිසාරා බැලුවේ දෙමව්පියන් ඉන්නා අතක් සොයාගන්නටයි. එහෙත් ඇයගේ රබර් සෙරෙප්පුවට දැනුනේ පඩිය අයිනේ පීල්ලකින් ගසා ගෙන ආ වතුර ගොඩක් මැද්දේ නළියන්නකි. ඇය රබර් සෙරෙප්පුව උස්සා අඩියට හසුවූයේ කුමක් දැයි බැලුවාය.

මාර්තු 9, 2013

කිබිසිනි -පොත දෙන්න එපා කාටවත්, මම ආපහු ඉක්මණට එනවා

Filed under: Uncategorized — arunishapiro @ 7:25 පෙ.ව.

“එංගලන්තෙ කවෙන්ට් ගාඩන්, ඒ කියන්නෙ රෝයල් ඔපෙරා හවුස් ගැන ..”

“ඒ ගැන පොත් ගොඩක ලියැවිලා තියෙනවා. ඒක ගැනම ලියපු පොත් තියෙනවා.”

“නැහැ, තැන ගැන නෙමෙයි. ඒකෙ ඇතුලේ වෙච්ච කතාන්දරයක්.”

මිස් සුරම්‍යා ඇයගේ වදන් වලට උවමනාවෙන් සවන් දෙන්නේ නැවතත් තොලේ කොණක් හපමින්.

“රතු කොණ්ඩයක් තියෙන ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් ඇතුල් වෙනවා ඒ රඟහලේ ඔපෙරා දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී. පිට රටකින් ගෙනාපු එකක් .. මට ඒකෙ නම මතක නැහැ හැබැයි හැමෝම ඒක බලන්න ආසාවෙන් හිටියෙ…”

“එහෙම ලියන්නෙ කර්තෘවරයා ලියන විදියට ද නැත්නම් වෙන කාගේ හරි චරිතයකින් කියන විදියට ද?”

“මම …” ලීලා හුස්මක් ගෙන වටපිට බැලුවාය.

“මට ඒ හරිය මතක නෑ. ඒ රතු කොණ්ඩෙ තියන ලේඩිගේ නමත් .. කියෙව්වා … ඒ වුනාට දැන් මතක නෑ,” ලීලා කීවේ මිස් සුරම්‍යා ගේ ඇස් හමු නොවී.

“මම හිතන්නෙ ඔත්තු බලන එකක් වගේ දෙයක් ගැන මොනා හරි කතාබහක් තිබ්බා. කවුද කෙනෙක් ‘ලා මිනිහෝ,’ කියලා …” ලීලාට වාක්‍යය අවසන් කරන්නට ඉඩක් නොදී මිස් සුරම්‍යා ලීලාගේ අතින් ඇදගෙන පොත් රාක්කයක් වෙතට ගියාය. ඇය පොත් කිහිපයක් අතගා පොතක් තෝරාගත්තේ රටක් රාජ්‍යයක් ජයගත්තියක් ලෙසිනි.

“මේ තියෙන්නෙ ස්කාලට් පිම්පර්නල්, මේකෙ ඉන්නවා රතු කොණ්ඩයක් තියෙන මාගරීට් කියලා රූමත් කාන්තාවක්.”

ලීලා පොතේ පිටු පෙරලීය. මිස් සුරම්‍යා ලීලා ලෙසින්ම නොඉවසිල්ලෙන් බලා සිටින්නීය.

“මිස් සුරම්‍යා කියවලා තියෙනවා ද මේ පොත?”

“ඉංග්‍රීසි පොත ගොඩක් ඉස්සර කාලෙක දී කියෙව්වා. මේ සිංහල පරිවර්තනය කියෙව්වෙ නම් නැහැ.”

“පොතේ කොයි හරියේ ද රඟහල ගැන තියෙන්නෙ? අර ලේඩි ඇතුල්වෙන තැන?” ලීලා මිස් සුරම්‍යා අතේ පොත තැබුවේ සීතලෙන් වෙව්ලා ගිය දෑත් වලින්.

මිස් සුරම්‍යා පොතේ පිටු අතරින් පතර කියවමින් තැන සොයන්නට උත්සාහයක යෙදෙන්නීය.

“ඔර්ෆියස් ..” මහ හඬින් පටන් ගත්ත ද, “ඒ ඔපෙරාව ජර්මනියෙන් … නම ඔර්ෆියස්,” යැයි හෙමින් කියූ ලීලාගේ කටහඬ ද වෙව්ලීය.

මිස් සුරම්‍යා ගේ දෑස් හිර වී තිබුනේ පොතේ අකුරු පේලි අස්සේ. පුස්තකාලයේ අනෙකුත් අය ද තම තමන්ගේ කටයුතු වල යෙදුනා මිසෙක ඔවුන් දෙදෙනාව ගණනකට නොගත්හ.

“මේ තියෙන්න මුල හරියේ ම තමයි .. ඔව් ඔර්ෆියස් තමයි නම. මතක නෑ කිව්වට ලීලාට හොඳ මතකයක් ..” මිස් සුරම්‍යාට එවර වාක්‍ය අවසන් කරන්නට ඉඩක් නොලැබිණ. ලීලා දෙපැත්තට වැනෙමින් ක්ලාන්ත වී බිමට ඇද වැටෙන්නට යද්දී මිස් සුරම්‍යා ඇයව වත්තන් කරගත්තේ බොහොම අමාරුවෙන්. අහල පහල සිටි කාන්තාවන් දෙතුන් දෙනෙක් ඔවුන් අසලට ඇදී ආහ.

“මොකද වුනේ?”

“මිස් අල්ලගත්ත නිසා හොඳයි තව පොඩ්ඩෙන් දඩාං ගාලා වැටෙනවා මෙයාව බිමට.”

“තනියෙන් ගෑණු ළමයි එහෙ මෙහෙ යවන්න නරකයි. ඔන්න බලන්න ඔය වගේ වෙලාවට මොකද කරන්නෙ?”

“එහෙම කලන්තෙ දානවැයි අනේ ගෑණු ළමයෙක් වුන පළියට. ඔයා මේ මොනා කියෝනවාද මන්ද මේ වෙලාවෙ.”

“ඔය ළමයා එක්ක ආව වැඩකරන එක්කෙනා අර එළියෙ ඉන්නවා,” එතැනට පැමිණි මිස් ප්‍රියදර්ශනී දැනුම් දුන්නේ හරියට “වෙන්න කළින් මෙයා හරි කරදරයක් කරන බව මම දැන හිටියා,” යැයි කියන්නා සේ ය.

“එයාට එන්න කියන්න.”

“එළවළු මලු ගොඩත් උස්සන්?”

“සර්ගෙන් අහන්න,” යැයි කියමින් මිස් සුරම්‍යා අවට වෙන කෙනෙකුට කියන්නට බලද්දී හීන්දෑරි වයසක මහත්තයා පුස්තකාලයෙන් එළියට ගමන් කරන බව දැක්කාය.

මෙහෙකාරිය බඩු මලුත් රැගෙන ඇතුලට දිවගෙන ආවේ ලීලාට සිහිය එනවාත් සමඟයි.

“මොකෝ බේබි, මේ මක්කැයි වුනේ?” බඩු මලු බිම තබමින් මෙහෙකාරිය ඇය අසලින් දණගසා ගති.

ලීලා තමන් වෙත යොමු වී ඇති මුහුණු දෙස බලා සිටියේ කුමක් වූයේ දැයි සිතාගන්නට නොහැකිව. ඇය මීට පෙර කිසිම දිනයෙක ක්ලාන්ත වී ඇද වැටී නැත.

“බේබිගේ තාත්තත් අසනීපෙන් ඉන්නෙ, අනේ බේබිත් අසනීප වෙන්න එපා,” කියමින් මෙහෙකාරිය හඬන්නට පටන් ගත්තාය.

ලීලා දඩිබිඩියේ නැඟිටින්නට හදද්දී මිස් සුරම්‍යා ඇයට කලබල වෙන්නට ඉඩ නොදී පුටුවක් වෙතට වත්තන් කරගෙන ගියේ අවට රැස් වූ අය ක්ලාන්තයට ඒ ඒ අය කැමති හේතු දක්වමින් විසිර යද්දීය.

“මේ ළමයගෙ ගෙදෙට්ට පණිවිඩයක් යවන්න ද?” සර් එතැනට පැමිණියේ අනිත් අය වෙනතක ගියාට පසුව.

“මට දැන් හරි. අව්වෙ ඇවිදලා ඇවිදලා ආවේ. ඒ නිසා වෙන්නැති,” ලීලා යාන්තමින් සිනාවක් පෑවේ ලැජ්ජාවෙනි.

මිස් සුරම්‍යා සහ සර් කිසිත් නොකීහ.

“මට පුස්තකාලේ සාමාජිකත්වය ගන්න ඕනි,” ලීලා කිව්වේ පොතත් රැගෙන එතැනින් ඉක්මණින් පිටත් වී යන අදහසිනි.

“ඔය ළමයා දැන් මෙයා එක්ක ගෙදර යන්න. වෙන දවසක ජාතික හැඳුනුම්පත එහෙම අරගෙන ඇවිත් සාමාජිකත්වය ගන්න පුලුවන්.” සර් ඉතා කාරුණික ලෙසින් කීය.

“අපි ගෙදර යමු බේබි, දැන් නෝනා හොඳටම බයවෙලත් ඇති,” මෙහෙකාරිය බඩු මලු එකතු කරගත්තේ ඇයගේ ඇස් වලින් තවමත් ගලනා කඳුළු පිසදාන්නේ නැතිවම.

ලීලා පුටුවෙන් නැඟිට්ටාය. බඩු මල්ලක් උස්සන්නට ගියත් මෙහෙකාරිය ඇයට ඉඩ දුන්නේ නැත. මිස් සුරම්‍යා ඔවුන් දෙස බලා සිටියේ නැවතත් තොලේ කොණක් හපමින්. චීත්තය බැහැරකට සුදුසු වුවත්, සායම් දිය වී නූල් කැඩී ඇති හැට්ටයක් හැඳ සිටිනා මෙහෙකාරිය නිරීක්ෂණය කළ මිස් සුරම්‍යාට මෙහෙකාරිය ගැනත් ලීලා ගැනත් අනුකම්පා සිතක් පහළ විය. බේබිත් මෙහෙකාරියත් දෙදෙනා නිහඬව බෙදාගන්නා කුමක් හෝ බරපතල තත්වයක් ඇති බව මිස් සුරම්‍යාට වැටහිණ.

“ඔය පොත දෙන්න එපා කාටවත්, මම ආපහු ඉක්මණට එනවා,” දොර වෙතට ගමන් කර ආපසු හැරී ආ ලීලා කියද්දී මිස් සුරම්‍යා ඊට හිස වනමින් පොරොන්දු වූයේ ඔවුන් ඉන්නා දොම්නස් තත්වය කුමක් වුවත් ඊට හවුල්කාරයෙක් වෙන්නට කැමැත්ත ප්‍රකාශ කරන්නට මෙනි.

මාර්තු 3, 2013

කිබිසිනි -මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව

Filed under: Uncategorized — arunishapiro @ 5:25 පෙ.ව.

“ඔය ළමයා, ඔය බඩු මළු උස්සන් ඉන්න ළමයා, ඕවා අරන් එන්න බෑ පුස්තකාලේ ඇතුලට.”

ලීලා වටපිට බැලුවාය.

“ඔව්, ඔය ළමයට තමයි කියන්නෙ,” මැදිවියේ කාන්තාවක් ඇය දිහා සැර පරුෂ දෙනෙත් එල්ල කරගෙන සිටින්නීය.

ලීලාට තම අත්වල එල්ලෙන බඩු මළු ඇතිබව මතක් වුනේ එවිටයි. පුස්තකාලය අයිනේ කාණු ගැට්ටක වාඩි වී සිටින කාන්තාවන් කිහිප දෙනෙක් දැක, හති දමමින් දුව ආ මෙහෙකාරියටත් එතැනින් වාඩි වෙන්නට සලස්වා බඩු මළු ඇය ළඟින් තබා ලීලා ආපහු පුස්තකාලයට දිව්වාය.

“පුස්තකාලයක් කියන්න සංසුන් පරිසරයක්. දාංගලයක් තියෙන අයට හදලා තියෙන තැනක් නෙමෙයි මේ,” අර කාන්තාව ලීලාට කීවේ හිසේ සිට පාදාන්තය තෙක් නෙත් යොමුකර තමන් දැක්ක කිසිවක් කිසිසේත් ම අනුමත කරන්නේ නැතැයි කියන බැල්මක් හෙළමින්.

“පොතක් ගැන අහගන්න ආවේ?”

“මොකක් ද නම?”

“පොතේ නම දන්නෙ නෑ.”

මැදිවියේ කාන්තාව අවඥා සහගතව සිනහා වූවාය. හීන්දෑරී වයසක මහත්තයෙක් කාමරයක දොරක් හැර එළියට එන සද්දයෙන් මැදිවියේ කාන්තාව තුල යම් තැති ගැන්මක් සිද්ධ වූ බව ලීලාට සිතුණි.

“ඇයි මිස් ප්‍රියදර්ශනී?”

“සර්, මේ ළමයා පොතක් හොයන්න ඇවිල්ල, ඒත් පොතේ නම දන්නෙ නැහැල්ලු.”

“එන්න මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව,” ඔහු හැරී පොත් රාක්ක මැදින් ඇවිද ගියේ ලීලා පසුපසින් එනවා දැයි නොබලාම. ලීලා ආපහු හැරී බැලුවා නම් මිස් ප්‍රියදර්ශනී ගේ මුහුණේ කිසිම ප්‍රිය දර්ශනයක් නොමැති බව දකිනු ඇත.

තලතුනා කාන්තාවක් උපැස් යුවළක් අස්සෙන් දිග හැරුණු රෙජිස්තරයක කුරුටු ගායි.

“කෝ සුරම්‍යා මිස්?”

“අලුත් පොත් වලට කාඩ් ලියනවා සර්.”

“එළියට ඇවිත් මේ ළමයාට පොතක් හොයාගන්න උදව් කරන්න කියන්න,”

“හා සර්.”

“ඇතුලට යන්න එපා, මෙතෙන්නට ඒ මිස් ඒවි,” කියූ සර් වෙනතක ගියේය.

ලීලාට වඩා වැඩි වයසක් නොවූ තරුණියක් සිනා මුහුණින් ඇය වෙත එයි.

“මොකක්ද ඔයාට හොයාගන්න ඕනෑ පොත?”

“ප්‍රංශයේ හිරගෙයක් ඇතුලේ කතාවක් … “

“මනුතාපය?”

“නෑ මේක ග්‍රීෂ්ම පරිසරයක, ලංකාවේ වගේ දේශගුණයක් … මඩ පිරිලා තියෙන, මැස්සො මදුරුවෝ පිරිච්ච තැනක තියෙන සිරගෙයක් … ඒ මිනිස්සුන්ට කන්න අඳින්න නැහැ .. ටින්කිරි ටින් කාලා ජීවත්වෙන කෙනෙක් ගැනත් තියෙනවා..”

ලීලා තව කරුණු මතක් කරගන්නට උත්සාහය කළාය.

සුරම්‍යා මිස් යටි තොලේ කොණක් දතින් හපමින් කල්පනා කරන්නීය.

“ඉංග්‍රීසි කතන්දර පොතක් වෙන්නැති එහෙනම් .. තවම සිංහලෙන් ලියැවිච්ච නැති.”

“ඔව්, ඔව් එහෙම එකක් වෙන්න ඕන.”

“ඔයාගේ නම මොකක් ද?”

“මම ලීලා.

“මම මිස් සුරම්‍යා. ආයේ දවසක එන්න පුලුවන් නම් මම ටිකක් හොයලා බලන්නම්,” ඇය තොල සැපීම නතර කර ඇත.

“වෙන පොතක් ගැන අහන්න ද?”

“අයියෝ ඕන පොතක් ගැන අහන්න නංගි.”

ලීලා මිස් ප්‍රියදර්ශනී හිටගෙන සිටි තැන දිහා බැලුවේ නිතැතයෙන්.

මිස් සුරම්‍යා වෙතින් කිංකිණි හිනා හඬක් පිටවිය, “මිස් ප්‍රියදර්ශනීව ගණන් ගන්න එපා, එයා පුස්තකාලේ එයාගෙ කියල හිතාගෙන ඉන්නෙ,” ඇය කීවේ පහත් ස්වරයකින්.

“මේක ගොඩාක් ම ගොඩාක් ඉස්සර කාලෙක වෙච්ච කතන්දරයක් මම හිතන්නෙ. මේකත් ප්‍රංශයේ. 1819 වසර. ඩැනියේ ඩ’ආර්තේස් කියල කඩවසම් තරුණයෙක් ඉන්න, එයාට ලුසියන් කියල යාළුවෙක් ඉන්න කතාවක්. ඒ පිරිමි ළමයි දුප්පත් ඒත් ඒ අය හොඳ අධ්‍යාපනයක් තියෙන …”

“…. රචකයෝ, ලේඛකයෝ කවි ලියන අය එහෙම නේද?” මිස් සුරම්‍යාගේ දෑස් කාන්තියෙන් පිරී ඇත.

“ඔව් ඔව් එහෙම කට්ටියක් තමයි.” ලීලා උනන්දුවෙන් කීවාය.

“අනුමානයක් නැහැ එහෙම නම් කතාව හොනරේ බල්සැක් ලියපු එකක් වෙන්න ඕනෑ. එයා ප්‍රංශයේ ඔය යුගය ගැන මහා දිග කතාවක් ලියලා තියෙනවා පොත් තුනකින්, ඒ පොත් තුනේ එක පොතකුත් හෙන දිගම දිගයි. මට මතක හැටියට ‘දුප්පත් ඥාතියෝ’ කියලා. හැබැයි ඒවයේ කොයි එකේ ද ඔය ඩැනියෙල් ඩ’ආර්තේස් කියන චරිතයයි ලුසියන් චරිතයයි තියෙන්නෙ, එයා නම් කර්තෘවරයා, එහෙම නම් ඒක හොයාගන්න ලේසි නැහැ.”

“පොත් තුනම කියවන්න වෙයි නේද?” ලීලා ඇසුවාය.

“ඒ ඇරෙන්නට වෙන කතන්දර පොතුත් එයා ලියලා තියෙන නිසා,” මිස් සුරම්‍යා කීවේ උදව් කරන්නට බැරි වූවා සේ ය.

“මිස් සුරම්‍යා ..”

“ඔව් ලීලා?”

“මේ පුස්තකාලයේ සාමාජිකත්වය ගන්නෙ කොහොම ද? පොත් කීයක් ගෙදර අරන් යන්න දෙනවා ද?”

“පොත කියවන්න ඕනෑ විභාගෙකට ද?”

“ම්හු … නැහැ .. ඔව් … මේකත් එක විදියක විභාගයක් තමයි මට හිතෙන්නෙ. ජීවිතේ විභාගයක්,” ලීලා පුස්තකාලයේ පොත් රාක්ක පිරී ඇති ආකරය දිහා වටපිට බලමින් මුමුණද්දී මිස් සුරම්‍යා ගේ මුහුණ කුතුහලයෙන් පිරී ගිය හැටි ඇය නොදැක්කාය.

පැරණි ලිපි »

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.