Sinhala story Blog

ඔක්තෝබර් 29, 2012

කිබිසිනි -ගහක් කඩා වැටී ඇත් ද?

Filed under: Uncategorized — arunishapiro @ 9:02 පෙ.ව.

උදෑසන අවදි වූ ලීලා ඇස් ඇරියේ ගසක් කඩා වැටුණු සද්දය ඇසුනා දැයි සිතුවිල්ලෙනි.

තාත්තාට අසනීප වූ දිනයේ හටගත් මහා වර්ෂාවෙන් කඩා වැටුණු ගස යම් වැදගත්කමකින් වූවක් ද? ඊයේ රෑ හෙනහඬ සමඟින් ගසක් කඩා වැටුන හඬක් ඇසුණ බවක් ලීලාගේ මතකයේ සටහන් වී නැත. හනිකට නිදන ඇඳුම් මාරු කරගත් ඇය වත්තට දිව ගියේ ගහක් කඩා වැටී ඇත් දැයි සහ මඩ ගොඩකින් තාත්තා සේ යම් අබරණක් තමාටත් හොයාගත හැකිවේවි දැයි සොයා බලන්නට.

වැස්ස නැවතී කුරුල්ලන් සතුටින් නාද කරන හඬ පැතිර යයි. වැස්ස නිසා එළියට ආපු පණුවන් අල්ලා ගන්නට සමත් වූ උදෑසනම අවදි වන කුරුල්ලන් උන්ගේ සතුට කියා පානවා වැනිය. සීතල සුළං පහරකින් ලීලාගේ ඇඟ වෙව්ලීය. දැඩි කුසගින්නක් ඇයට දැනිණ. පහුගිය දිනයේ රෑ කෑමට ගත්තේ කුමක් දැයි සිහි කරන්නට තැත් දැරුවත් එය සිතට ආවේ නැත. මතකයෙන් යම් යම් දෑ ගිලිහී යනවා ද නැත්නම් රෑ කෑම ගත්තෙ නැති දැයි ඇය කල්පනා කළාය. වෙනදා කෑමට ඉඳගන්න ඩිංගක් පරක්කු වුනොත් කෑම නිවෙනවා යැයි කන්කෙඳිරි ගාන මෙහෙකාරියවත් කිසිත් කීවේ නැත්තේ ඇයි?

ලීලාට ඉස්තෝප්පු කාමරයට ඇතුල් වන්න හැකිබව අම්මා මෙහෙකාරියට කියා ඇත් ද? ඒ නිසා අම්මා මෙන් මෙහෙකාරියත් තමා ගැන බියකින් පසුවෙනවා ද? ඒ නිසා ද මෙහෙකාරිය තමන්ව රෑ කෑමට කැඳවූයේ නැත්තේ?

සිත රිදවන සිතුවිලි සමූහයක් සමඟින් වත්ත පුරා ගිය ලීලාට දකින්නට ලැබුනේ මඩ වතුර ගලා යන දිය පාරවල් පමණි. කඩා වැටුණු ගසක් නොවීය. එකතු වූ මඩ ගොහොරුවක් නොවීය. තාත්තා හා ඇවිද්ද දිනයේ මෙන් කිසිත් අබරණක් කකුල එරෙන මඩ පොළවෙන් දකින්නට ලීලාට නොලැබුණි.

“ඔය බාල්දියෙන් වතුර අරන් කකුල් හෝදලාම ගෙට එන්න බේබි,” ඇය පිළිකන්නෙන් ගෙට ඇතුල් වන්නට යද්දී මෙහෙකාරිය කීවාය. ලීලා කිසිත් කතාබහක් නොමැතිව බාල්දියේ වූ වතුර කෝප්පයෙන් කකුල් පතුල් අතුල්ලමින් මඩ සේදුවාය.

“ඊයේ රෑට කන්නෙත් නැතිව නිදාගත්ත නිසා දැන් බඩගිනි ඇති හොඳටෝම,” ඇය කියයි.

ලීලා හිස එසවූයේ සිනාවකින්. ඒ කතාව ඇය සිතට සහනයක් ගෙන දුනි.

“ඇයි මට කන්න කතා කළේ නැත්තෙ?”

“කෝ, මම බැලුවම කාමරේ හිටියෙ නෑ. නෝනා කිව්වා බේබි පාඩම් කරනවා ඉස්තොප්පුවේ කරදර කරන්න එපැයි කියල. මාත් නිකම් හිටිය. බඩගිනි වුනාම එන්නැතැයි කියල.”

අම්මා රහස රැකගෙන ය. ලීලාගේ සතුට තවත් වැඩිවිය.

“දැන් බඩගිනියි. මොනවා ද හැදුවේ?” කියමින් ලීලා තෙත කකුල් පාපිස්සේ දෙපාරක් තුන්පාරක් අතුල්ලා ගෙට ගොඩ වූවාය.

“කොස් තැම්බුවා.”

“කොස්? උදේට?”

මෙහෙකාරිය මුහුණ බිමට හරවා ගත්තීය.

“නෝනා කිව්වා පොල් සම්බෝලෙ හදලා කොස් තම්බන්න කියල,” ඇය බිමට නැවී ලීලා නොදැකි යමක් අහුලා ඇඟිලි තුඩු එකට ගසා එය විසි කර දැමුවාය. “හාල්පිටියි පාන්පිටියි දෙකම ඉවර වෙලා සති දෙකක් විතර, නෝනා තාම ගෙනාවේ නැහැ,” මෙහෙකාරිය මිමිණුවේ ඉතා සිහින් හඬකින්.

ඔවුන් ගත් ආහාර පාන තාත්තාගේ අසනීපයත් සමඟ වෙනස් වී ගිය බව ලීලා දුටුවත් ඔවුන් මේ තරම් දුප්පත් තත්වයක සිටිනවා යැයි ඇය කිසිසේත් ම සැක කළේ නැත. තව කොපමණ කාලයක් තාත්තාව බලාගෙන ඉන්නට ඔවුනට හැකියාවක් ඇත් ද? අම්මා කිසි දිනයෙක රස්සාවක් කර නැත්තෙකි. පවුලට කන්න දෙන්න සකසුරුවමෙන් පමණක් හැකි වූ කාලය අවසන් වී යන බව ලීලාට සිතිණ.

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. Create a free website or blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: