“සුදු නංගි, මොකද කියන්නෙ එතකොට?”
දොරට හේත්තු වී සිටි ලීලාටත්, තාත්තාගේ අත අල්ලාගෙන ඔහු අසලින් වාඩි වී ඉන්නා අම්මාටත්, නෑදෑයින් ගෙනගිය කතාවේ අගක් මුලක් වැටහී නොතිබිණ. කටහඬවල් ඇසුනාට ඒවායෙන් කියූ වදන් ඔවුන් දෙදෙනාට ඇසුනේ නැත.
අම්මා හිස ඔසවා ඔවුන් සියළු දෙනාගේ ම මුහුණු දෙස බැලුවේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ බැල්මකිනි.
“සුදු නංගි ඔහොම පැත්තකට වෙලා ඉඳල හරියන්නෙ නැහැ. වෙන්නෙ මොනවා ද කියල හොයලා බැලුවේ නැත්නම්.” මොකද කියන්නේ දැයි ඇසූ නැන්දා කියයි.
“අපිට මැදිහත් වෙන්න පුළුවන් නංගි කියනවා නම් විතරයි,” ඇස් කණ්ණාඩි කුට්ටම ගලවා කමිස කොනකින් පිස දමනා මාමා කියයි.
“සුදු අක්කා හැම දෙයක්ම අයියා කරලා දෙනකම් බලාගෙන හිටිය මිසක් මොකෝ හොයල බැලුවයි වෙන්නෙ මොනව ද කියලා,” පුංචිඅම්මා කෙනෙක් නෝක්කඩු කියන්නේ වෙන කුමක් දෝ පරණ තරහක් පිරිමහ ගන්නට මෙනි.
“බැංකුවේ තියෙන සල්ලි ටිකෙන් හැමදාම ජීවත්වෙන්න බැහැ,” තවත් පුංචිඅම්මා කෙනෙක් කීවේ ඒ ගැන ඇයට තිබූ බයක් හෙළි කරනා ආකාරයෙන් මුල් හරිය හැමෝටම ඇහෙන්නටත් අවසන් ටික තමාට ම මුමුණා ගන්නා හඬකිනි.
“මේ ළමයාගේ අනාගතේ අමතක කරලා බෑ මල්ලි ලෙඩවුනාය කියල,” මෙතෙක් නිහඬව සිටි තවත් ඥාතියෙක් කීය.
ලීලා දිහා ඉබේම ඇදී ගිය අම්මාගේ ඇස් බියෙන් පිරී ඇත.
“සුදු නංගි ගෙදෙට්ට වෙලා මල්ලිට කැව්වා පෙව්වා කියල ඔක්කොම විසඳෙන්නේ නැහැ,” නැන්දා සුසුමක් හෙළමින් කියද්දී අනෙක් සියල්ලෝම ඔළු වනමින් ඊට එකඟ වූහ.
නැන්දාගේ ඒ කතාවත් අනිත් අයගේ ඒ හැසිරීමත් ලීලාට සිය පපුව හිරකරන දැඩි පහරක් වැදුනා සේ දැනුණි.
“අම්මා මහන්සි වෙන හරිය ඔයගොල්ලො කවුරුත් දන්නෑ. දැන් තාත්තට සනීප වෙන්න පටන් අරන්,” ඇයගෙන් පිටවූයේ ඇය නොසිතා පිටකළ වදන් සමූහයකි.
“කෝ අපිට පේන වෙනසක් තියේයැ?” ඔවුන් එකිනෙකා ගෙන් අසා ගනිති. එසේ දැකිය හැකි වෙනසක් නැතැයි එකිනෙකා හා එකඟ වෙති.
“තේ හැදුවා, මෙහාට අරගෙන එන්න ද නෝනා?” මෙහෙකාරිය දොර අසලට වුත් අනිත් සියල්ලන්ගේ ම කතාබහට උඩින් කටහඬ වැඩිකර අම්මා වෙතින් ඇසුවාය.
අම්මාට ගෙට ගොඩවැදුනු නෑදෑයන් වෙනුවෙන් තේ පිළියෙල කරන්න යැයි මෙහෙකාරියට කියන්නට මතක් වූයේ නැත. වෙනදා අම්මාගේ අණක් නොලැබ කිසිත් නොකරන මෙහෙකාරිය අද ඇයගේ ගැලවුම්කාරිය වී ඇත.
මෙහෙකාරියට උදව් කරන්නට යන බව මිමිණූ අම්මා හනිකට නැඟිට ඇය සමඟින් ගේ ඇතුලට වැදිණ.
තහනම් පොතේ නම කියූ හැම අවස්ථාවක දී ම තාත්තා වෙතින් සිනාවක් ලබාගත හැකි වූවත් එය මේ ඥාතීන් ඉදිරියේ කියා පෙන්වන්නේ කෙසේද? පෑරී ඇති හිත තුල තද කරගත් තරහින් යුතුව ඔවුන් දෙස බලා සිටි ලීලා කිසිත් නොකීවාය.
“මහතුන්ට ඉඩම විකුණන්ට සුදු නංගිගේ කැමැත්ත නැතිව බෑ,” උන් අසුනෙන් නොනැඟිට, ගේ ඇතුලට එබෙන්නට පමණක් පුටුවේ ඇන්දකට වැලමිටෙන් බර දී පස්ස ඉස්සුව නැන්දා අම්මා එන බවක් පෙනෙන්නේ නැති බැවින් යළි අසුනේ හරිබරි ගැසුනාය.
“මහතුන් මොන අඳෝනාව කියාගෙන ආවත් රැවටෙන්න එපාය කිව්වම මදෑ,” ඇය කීවේ ලීලා එතැන සිටිනා බවක් ගණනකට නොගෙනය.
“සුදු අක්කාගෙ හිත උණුවෙනව. කෑලි කඩල මහතුන් අයියගෙ කොටස විතරක් විකුණාගන්න එයා ඇහුවොත් කැමැති වේවි.”
“මෙයාට මල්ලිගෙ තීරණ ගන්න බලේ තිබ්බට මේක හැමෝගෙම ඉඩම. මුළු ආදායම බෙදිලා යන්න මිසක් එක කොටසක ආදායම ගන්න නෙමෙයි ඉඩම හැමෝටම ලියලා තියෙන්නෙ,” මාමා ඇස් කණ්ණාඩිය ගලවා ආයෙත් පිහිදන්නට පටන් ගෙන.
අම්මා තේ පෝච්චිය, සීනි හා කිරිපිටි භාජන රැගත් බන්දේසිය රැගෙන එද්දී, මෙහෙකාරිය ඇය පිටුපසින් ආවාය. මෙහෙකාරිය අත වූ බන්දේසියේ එකිනෙක හා කිටි කිටි ගා ගැටෙන තේ කෝප්ප හඬ ඇසුණි. සියල්ලන්ම කතාබහෙන් තොරව තේ පානය කළහ.
“මොකක් ද මට කරන්නෙයි කියන්න?” අම්මා ඇසුවේ පැහැදිලි වූ නොසැලෙන කටහඬකිනි.
ඔවුන් එකිනෙකා මුහුණු දෙස බලාගත්හ. මාමා උගුර පාදා දකුණතින් ඇස් කණ්ණාඩිය අතෙකින් ගැලවූවත් වමතේ වූ පීරිසිය මත රැඳි තේ කෝප්පය තිබි නිසා ඇස් කණ්ණාඩිය නැවතත් නැහැය මත රැඳවීය.
“මහතුන් මල්ලි ඉඩම කොටස් කරලා වෙන්දේසි කරන්න හදනවා. මල්ලිගෙ කැමැත්ත නැතිව, ඒ කිව්වේ මේ නංගිගෙ කැමැත්ත නැතිව කරන්න බෑ. ඒකට කැමතිවෙන්න එපැයි කියන්නයි අපි ආවේ.”
“හා,” අම්මා කීවාය.
“මොනවා කියාගෙන ආවත් …” යැයි පුංචිඅම්මා පටන් ගනිද්දී ම “ඒ ඉඩම විකුණන්න මම දෙන්නෙ නැහැ,” යැයි තරයේ කියූ අම්මා පිළියෙල කරගත් තේ කෝප්පය තාත්තාට පොවන්නට ගත්තේ ඔවුන් හා කතාබහ අවසන් යැයි කියන්නට මෙනි.
ඔවුන් සියල්ලම තේ පානය අවසන ඔවුන් අතර මුමුණන ලද සංවාදයෙන් ම නැඟිට පිටත් වී ගියහ.
“ඇයි ඒ ඉඩම විකුණන්න ඉඩ දෙන්නෙ නැහැයි කිව්වෙ?” ලීලා සෙමෙන් ඇසුවාය.
“මේ ගෙදර අයිති දුවට, තාත්තටයි මටයි නෙමේ,” ඉස්තෝප්පු කාමරය දිහා යටැසින් බැලුවත් ලීලා දෙස නොබැලූ අම්මා කීවේ ඇහෙන නෑහෙන හඬකිනි.