පොරොන්දු වූ පොත ගෙනෙන තෙක් ලීලා සිටියේ නොඉවසිල්ලෙන්.
දැන් තාත්තා වෙතින් ඉඳහිටෙක සිනාවක් දකින්නට ලැබේ. එහෙත් එය වැඩි වේලාවක් මුහුණේ රැඳී සිටින්නේ නැත. ඔහු විටෙක යමක් පහදා ගන්නට මෙන් අම්මා දිහා හෝ ලීලා දිහා එක එල්ලේ බලාගෙන සිටියි. එවැනි අවස්ථාවක දී අම්මා රටේ තොටේ ඇහෙන සිද්ධීන් ඔහු හමුවේ තබයි. ඔහුගෙන් පිළිතුරු නොලැබීම ගැන අම්මා තැකීමක් නොකරන්නීය. ඔහුගේ ඇස් ඉවතක ගොස් නිදි කිරා වැටෙන තෙක් කියවන්නට රටේ තොටේ විස්තර කන්දරාවක් අම්මා සතුව ඇත.
“අර ළමයි පොතක් අරන් එනවැයි කිව්වා නේද?” අම්මා ඇසුවේ සති දෙක තුනක් ඉක්ම ගිය පසුවයි.
“රන්සිකා පොත කියෙව්වාට පස්සෙයි ගේන්නම් කිව්වෙ. තාම කියවලා ඉවර නැතිව ඇති.” ලීලා කීවේ කියවමින් සිටි පාඩම් පොතකින් ඇස් ඉවත් නොකර.
“මේ පැත්තෙ එන්න අමතක වුනාදැයි දන්නෙත් නැහැනේ. නිකමට මෙහෙ ඇවිත් යන්න කියලා කට්ටියට පණිවිඩයක් එහෙම යැව්වොත් නරක ද?” අම්මා කියුවේ පොත ගෙනෙනවාට වඩා ඔවුන්ගේ පැමිණීමෙන් තාත්තාට යහපතක් වේ යැයි බලාපොරොත්තුවෙනි.
අම්මාගේ යෝජනාව හා එකඟ වන්නට කට ඇරියත්, එසැනින් ම ලීලාට මතක් වූයේ පොත ගැන සඳහනක් කර පණිවිඩයක් යැවිය නොහැකි බවයි. විභාගය අත ළඟ නොවූවත් පාඩම් කරන සහ පංති යන යෙහෙළියන්ව නැවත ගෙදරට ගෙන්වා ගැනීමට පෙර ඇය තව බොහොමයක් තතු සොයාගත යුතු යැයි ලීලා සිතයි.
“නවකතා කියවන්නෙ තාත්ත තමයි කියල අම්මා කිව්වා නේද?”
“ඔව්.”
“කෝ ඒ පොත්?”
“කියවලා ආපහු ගෙනිහින් කන්තෝරුවේ අයට දෙනවා මං හිතන්නෙ.”
“ගෙදර තියාගන්නෙ නැතිද?”
අම්මා ලීලාට එකවර පිළිතුරු නොදුන්නාය. ඇය නිහඬව ඉස්තෝප්පු කාමරයේ වැසී තිබුණ දොර දිහා බලා සිටියේ නොරිස්සුම් ගතියකිනි. අනතුරුව ඇය ඇස් මඳක් පියා ඔළුව වැනුවේ එහෙම වෙන්න බැහැ යැයි තමාට කියාගන්නා ලෙසකිනි.
“පොතක් ගෙනාවම මෙහෙම ඉස්තෝප්පුවේ වාඩිවෙලා කියවනවා. නිදාගන්න ගිහිල්ලත් ටිකක් කියවනවා. ඉවර කරාම වෙන අයට දෙනවා ඇති. නැත්නම් ඉතින් මෙතැන හරි අපේ කාමරයේ හරි තියෙන්න එපායෑ.”
තාත්තා ඉස්තෝප්පු කාමරයට යන එන බවක් අම්මා දැක නැත්දැයි අසන්නට ලීලාගේ දිව අග වදන් නළියන්නට විය. එහෙත් වැලමිට පුටු ඇන්දකට හිර කරගත් අම්මා අතේ ඇඟිලි තුඩු වලින් තම නළල පිරිමදින්නට ගත් බව දැකි ලීලා නිහඬ බව රැක්කාය. ඒක අහලා ඇති ඵලේ කුමක් ද? අම්මා එය නොදත්ත ද ඔහු එහි ගිය බව ලීලා දන්නීය. තමා ඉදිරිපිට දී වත්තෙන් අහුලා ගත් මුද්ද කාමරයේ බිම සැඟවූ අබරණ පෙට්ටියට ගියේ තාත්තා අතින් නැත්නම් වෙන කාගේ අතින් ද? අම්මාට එහි යන්නට බැරිබව මෙහෙකාරිය වෙතින් ලීලා දැන සිටියාය.
ලීලා පසුගිය දිනවල ඉඩක් ලැබෙන හැම විටෙක ම ඉස්තෝප්පු කාමරයේ ගැවසෙමින් තහනම් පොත ඒ පොත් ගොඩවල් අස්සේ ඇත්දැයි සොයා බැලුවත් ඇයට මෙතෙක් එය හමුවූයේ නැත. එහි ගෙනියන පොතක් ආයේ එළියට ගෙනෙන්න බැරි බව ලීලා දත් නිසා ඒ පොත ඉස්තෝප්පු කාමරයේ නැත්නම් අම්මා කියනා සේ තාත්තා එය කියවා වෙන කාට හරි දෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. වැඩිහිටි වෙන කිසිවෙකු ගෙන් ඒ පොත ගැන අසන්නට නම්, පාසැල් වයසේ ලමුන්ට ඒ පොත තහනම් වූවක් බව අම්මාට කියන්නට සිද්ධ වෙයි.
අම්මා නැඟිට ඇතුල් ගෙයට ගියේ නින්දට වැටී සිටිනා තාත්තා දෙසත් පොතකට ඔළුව ඔබාගෙන ඉන්නා ලීලාගේ හිස පිරිමැද සුසුමක් පිටකර හැරි පසුවයි.
අම්මා මුළුතැන්ගෙය පැත්තට නොපෙනී ගිය විගස ගේ තුලට ඔළුව දැමූ ලීලා ලොකු ඔරලෝසුවෙන් බලාගත් වේලාව තමාගේ පාඩම් පොතේ සටහන් කළාය. ඉස්තෝප්පු කාමරයට ඇය විගසින් ඇතුලු වූයේ වෙනත් කුමන හෝ අබරණක් පැළැඳ අලුත් තොරතුරක් සොයාගැනීමේ අදිටන ඇතුවය.
අබරණ පෙට්ටියේ පියන ඉවත් කරනවාත් සමඟ වාහනයක් පැමිණ නිවසේ ගේට්ටුව අසල නතර වෙනවා ඇයට ඇසිණ. කවුදෝ අයෙක් වාහනයෙන් බැස ගේට්ටුව අරියි. ඇය පෙට්ටියේ පියන වසා කාමරයෙන් එළියට ආවේ වාහනය නිවස ඉදිරියේ නැවතෙද්දී. එහෙත් දොර හැර ඇය ඉස්තෝප්පුවට අඩිය තබද්දී ගෙයි ඇතුලේ සිටි අම්මා ද වාහනයකින් ආවේ කවුදැයි බලන්නට ඉස්තෝප්පුවට පිවිසියාය. ඉස්තෝප්පු කාමරයෙන් එළියට බට ලීලා දිහා අම්මා බැලුවේ බියෙන් වෙව්ලමින්. වාහනයෙන් බැසි නෑදෑයින් එකින් එකා ඔවුන් අතර කතාබහෙන් ම ඉස්තෝප්පුවට ගොඩ වූයේ අම්මා දිහා බලා සිටින ලීලාවත් ලීලා දිහා බලා සිටින අම්මාවත් නොදැක. පුටුවේ නිදියන තාත්තා වෙත ළං වී අසුන් වලට බර දුන් ඔවුන් සියල්ලම එකිනෙකා හා වූ කුමක් දෝ බරපතල කතාබහේ කටහඬවල් බාල කරා මිසෙක කතාබහ නැවැත්වූයේ නැත. ලීලා අම්මා වෙත ළංවන්නට පියවරක් තැබුවාය. ලීලා දෙස බියෙන් තැතිගත් බැල්මක් හෙලූ ඇය ලීලා එන මඟෙන් ඈත් වූයේ ඇය වෙතින් කිසිදා නොදැකි වේගයකින්.