කෙල්ලො ටික බයේ ගැහෙති.
නොසෙල්වී ඉන්නට උත්සාහ ගන්නා අම්මාගේ අත වෙව්ලයි. වීදුරුව පිරෙන්නට පුරවා තිබූ බීම ඉහිරෙන්නට ඔන්න මෙන්න.
තාත්තා තවමත් ඔවුන් වෙතින් ඇස් ඉවත් කර නැත. එය අසනීපයෙන් පසු ඔහු වෙතින් දැකි එවැනි දෙවන උත්සාහයයි.
“ආයෙත් කියන්න,” පැතිර තිබු නිහඬතාවය මැද ලීලා රහසින් කීවාය. කෙල්ල හිස සොලවන්නේ ලීලාගේ දෙමාපියන් ඉදිරිපිට දී තහනම් පොතක නමක් හඬගාන්නට ඇති බලවත් අකමැත්ත නිසයි.
“ප්ලීස් … ඒක පොතක නමක් විතරයිනෙ,” ලීලා පින්සෙණ්ඩු වෙයි.
ඔඩොක්කුවට වැටී සිටි යෙහෙළියව තල්ලු කරමින් කටකාරියක් වූ කෙල්ල “ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා,” යැයි තාත්තා දිහා බලාගෙන එක එල්ලෙම නොපැකිළව කියුවාය.
තාත්තාගේ මුවේ යාන්තමින් සිනාවක් ඇඳී ගියේය. කෙල්ලන් තුල වූ බිය ද මඳක් තුරන් විය. එහෙත් ඉස්තෝප්පුවේ සිටි කිසිම අයෙක් ඒ විජයග්‍රහණය කුමක් දැයි ලීලා තරමින් දැන සිටියේ නැත.
ලීලා පුටුවෙන් නැඟිට උළුවස්ස අසල තවමත් සිටගෙන ඉන්නා අම්මාගෙන් වීදුරුව ගන්නට අත පෑවත් ඇය හිස සලා තාත්තා වෙත ඇවිද ගියේ සිද්ධ වූ හාස්කම කුමක් කියා පහදා ගත නොහැකිව.
බීම වීදුරුව පොවද්දී තාත්තා අම්මා දිහා බැලුවේ දන්නා කෙනෙක්ගේ නමක් මතක් කරගන්නට දරනා වැනි උත්සාහයකිනි. වෙනදා කිසිත් අවධානයක් නොදෙන තාත්තා ගත් මේ උත්සාහයෙන් අම්මාගේ දෑස් කඳුලින් තෙත් වී ඇත. තත්වයේ බැරෑරැම්කම නොදන්නා කෙල්ලො ටික නැවතත් සතුටු සාමීචිය පටන් ගත්හ. තහනම් පොතක නමක් කියා වැඩිහිටියන් දෙදෙනෙකු වෙතින් බැනුම් අහන්නට සිද්ධ නොවීම ඔවුන් පුදුමයට පත් කළත් එයම ඔවුන්ගේ සැනසුම විය. වරදකින් ගැලවුනා යැයි සිති ඔවුන් ගැලවුනේ කෙසේදැයි හාරා බලන්නට ගියේ නැත.
“පොත කාගේ ද?” ඔවුන්ගේ හිස් බස් අතරට එකතු වෙමින් ලීලා අසයි.
“අපොයි ඒක කියන්න බෑ,” ඔවුන් කල්ලිය අතරට පොත හඳුන්වා දුන් තැනැත්තිය කියයි.
“කා ළඟ ද දැන් තියෙන්නෙ?” ලීලා ඔවුන්ගේ මුහුණු පිරික්සයි.
“මෙයා කියෝලා ඉවර වුනාම මගේ වාරය,” රතු වූ මුහුණ උරහිසක සඟවන්නට තැත් ගත් දැරිවියක් ළඟ අසුනේ සිටියෙක්ව අතින් පෙන්වයි.
“ඊ ළඟට පොත මට දෙන්න?” ලීලා ඉල්ලයි.
සියල්ලන් ම බැලුවේ තාත්තාට තවමත් බීම වීදුරුව පොවන අම්මා දිහා ය. ලීලාට පොත දී ඔවුන් අමාරුවේ වැටෙන්නට කැමති නැත. ලීලාගේ දෙමාපියන් වෙතින් තම දෙමාපියන් වෙතට කතාව ඇදී යනවාට ඔවුන් කිසිවෙක් කිසිසේත්ම කැමති නැත.
අම්මා ඔවුන් කියූ කිසිවකට සවන් දී ඉන්නා පාටක් නොපෙනෙයි.
“අම්මේ, මම මේ “ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා” පොත කියෙව්වට කමක් නෑනේ?” ලීලා මහ හඬින් ඇසුවාය.
තාත්තාගේ මුවේ නැවතත් යාන්තමින් සිනාවක් පැතිරිණ. ඔහු තම මුවට තැබූ වීදුරුව අල්ලා ගත් අත ඉතා සුමුදු ලෙසින් අල්ලා බැලුවේ ය.
“කමක් නෑ ලීලා, මං හිතන්නෙ තාත්තත් ඒ පොත කියවලා තියෙනවා ද කොහෙද?” අම්මා මුහුණ දිගේ බේරේන කඳුළු පිසමින් කියන්නීය.
“ආන්ටි කියවලා නැද්ද?” කටකාරිය සෙමෙන් අසයි.
“මං ඔය නවකතා කියවන කෙනෙක් නෙමෙයි දුවේ, තාත්තා තමයි ඒවට හපනා” අම්මා ඔහුගේ මුහුණෙන් දෑස් ඉවත් නොකරම කෙල්ලෝ දිහා නොබලාම කියන්නේ ඉතා ප්‍රීතියෙන්.
කෙල්ලො ටික එකිනෙකාගේ මුහුණු බලාගත්හ. ලීලා ඔළුව දෙපැත්තට වැනුවේ පොත තහනම් පොතක් බව එතැන හෙළිකරන්නට එපාය කියාය.
I like this story (Read all your stories, like them all).
Waiting for next part. Please add it soon….
Now its 5 days. Everyday visit to check whether there is an update.
Comment විසින් asinsala — ඔක්තෝබර් 9, 2012 @ 4:57 පෙ.ව.
asinsala,
දකුණු පැත්තෙ Follow කරන්න විජට්ටුවක් ඇති. එය පාවිච්චි කළොත් අලුත් එකක් දාපු ගමන් දැනගන්න පුළුවන්, නිතර ඇවිත් බලන්න වෙන්නෙ නැහැ.
එනවාට ස්තූතියි. ඉක්මණින් ආයේ ලියන්නම්.
Comment විසින් arunishapiro — ඔක්තෝබර් 10, 2012 @ 6:29 පෙ.ව.