ඉස්තෝප්පු කාමරයේ ඇති පොත් බොහොමයක් කියවන්නට ලීලා සමත් වූවාය.
තම පාඩම් පොත්වලින් දැනුම වෙනදාට වඩා හොඳින් උකහා ගන්නට තමන් සමත් වූයේ කෙසේදැයි හදිසියේ ම ඇයට පසක් විය. ඒ වෙනදා කිසි අරමුණක් නැතිව ඉබගාතේ දුවන සිතුවිලි වලින් දවස ගෙවන ඇය දැන් පාඩම් කටයුතු වලට හැම දිනක ම කාලයක් නිශ්චිතව ම වෙන් කරන නිසා ය. එසේම තාත්තාගේ ලෙඩේ සනීප කරන්නට හැකි යැයි ගෙන යන සෙවුම් මෙහෙයට ද ඇය කාලයක් යොදවන්නට සමත් වූවා ය. දවසේ කාලය සීමිත වුවත් එය ක්‍රමවත් සේ පරිහරණයෙන් තොරව කාලයට නිකම් ගෙවී යන්නට තමා කොතරම් ඉඩ දී ඇත් දැයි ඇය දැන් දත්තා ය.
සිය යෙහෙළියන් නැවතත් ඇය හමුවන්නට එන දිනයෙකි අද. කාමර අතු ගා, තමන් ද සුද්ද පවිත්‍ර වී ඇය ඉස්තෝප්පුවේ තාත්තා අසලින් වාඩි වූයේ ඔවුන්ගේ පැමිණීමෙන් යම් අලුත් තොරතුරක් එකතු කරගත හැකි වේ යැයි උදක් ම බලාපොරොත්තු වෙමිනි. තාත්තා දිහා ලීලා කිහිප වතාවක් ඇහැ ගැහැව්වේ ඔහු ඉන්නා විලාසය මතකයේ තහවුරු කරගන්නටයි. දකින්නේ තමන් හිතින් හදාගන්නා අමුත්තක් ද නැත්නම් සත්‍යයෙන් ම ඇතිවන අමුත්තක් දැයි පැහැදිලිව සොයා ගත යුතුය.
යෙහෙළියන්ගේ සුහද වදන් ඔවුන් දසුනට හසුවන්නටත් පෙර පළාතේ දෝංකාරය වෙමින් පැතිර යයි. කෙල්ලො ටික දුවගෙන ඇවිත් ඉස්තෝප්පුවට ගොඩවැදුනේ හරි රස්නෙයි හරි තිබහයි කියමින්. ඔවුන් ආ බව කියන්නට ලීලා මුළුතැන්ගෙය බලා යද්දී බීම බෝතල් හා වීදුරු රැසක් පිරි බන්දේසියක් උස්සා ගෙන එන අම්මා ඇයට සාලයේ දී මුණ ගැසිණ.
“මේ දැරිවියෝ ටික ඉන්න කොට තාත්තටත් හොඳයි. පොඩ්ඩක් පාඩම් කරන එක පැත්තකට දාලා කතා කරන්න. එයාලා කැමති වේලාවක් හිටපු දෙන්.” අම්මා ලීලාගේ කණට කර කීවාය.
ලීලා කිසිත් නොකියා හිස වනා අම්මා සමඟ සිනා වුයේ එය කොතරම් සත්‍යයක් දැයි අම්මාටත් වඩා ඇය දත් හෙයිනි.
“මං විජහට ඇවිත් තාත්තට බීම වීදුරුවක් පොවන්නම්,” කියූ අම්මා බන්දේසිය ඔවුන් අතර තබා ආපහු ගියාය.
“අපිට මාර පොතක් හම්බ වුනා,” යෙහෙළියක් රහසින් මිමුණුවේ තාත්තා දිහා හොරැහින් බලමින්.
“තව පොඩ්ඩෙන් අපෙ අයියට අහුවෙලා මම ගුටිත් කනවා,” තවත් යෙහෙළියක් පොතේ අගය ගැන පැහැදිලි කරන්නට දායාද වෙයි.
“ලීලාව නරක් කරන්න හදන්නෙ මේ වනචර කෙල්ලො,” ඔවුන් වෙත රුදුරු බැල්මක් මවා පාමින් තවත් අයෙක් කියන්නීය.
“අපොයි ඔව්, ඔයා තරම් නරක නෑ තමයි, මං දන්නවානේ අර එදා අරයා එක්ක ..” යෙහෙළිය විසින් ඇද පැද කියන්නට ගිය තම රහස හෙළි වේ යැයි බියෙන් ඇයගේ කට වහන්නට තැත් කළ පුටු ඇන්දේ වාඩි වූ කෙල්ල පුටුවේ සිටි කෙල්ලගේ ඔඩොක්කුවට වැටිණ.
“මේ දෙන්නා පොතේ ජවනිකා රඟ පාන්න හදනවා,” යැයි කීවේ පොත ගැන මුලින් සඳහන් කළ යුවතිය සිනාවකින් මුව සරසාගෙන.
බීම වීදුරුවෙන් ලොකු උගුරක් කටට ගත් තවත් යෙහළියකට එය ඇසී බීම ඉස්මුරුත්තේ ගිය නිසා හැමෝම අතර සිනහාව තවත් පැතිර ගියේය. හැමෝම එකවර කතා කරන්නට වූහ.
“මොකක් ද මේ මාර පොතේ නම?” ලීලා ඇසුවාය.
හැමෝම හයියෙන් එකිනෙකාට විහිළු කරගනිමින් සිටි නිසා එය ඇසුනේ බීම ඉස්මුරුත්තේ ගිය බැවින් නිහඬව සිටි යෙහෙළියට පමණයි. අනිත් අයගේ කටහඬවල් උඩින් ලීලාට ඇසෙනු පිණිස කෙල්ල මහ හඬින් පොතේ නම කිව්වේ තාත්තා ඔවුන් අසල වාඩි වී ඉන්නා බව අමතක වී.
“ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා!”
තාත්තා ඔවුන් දෙසට ඔළුව හැරවීය. යමක් හඳුනාගත් ඇස් ඔවුන් වෙත එල්ල වූහ. තාත්තා වෙනුවෙන් ගෙනා බීම වීදුරුව අතැති අම්මා ඉස්තෝප්පුවට පිවිස ඔවුන් සියල්ලන් දෙස ම විමතියෙන් බලා සිටින්නී ය.