“කෝ මේ ළමයා, තාම නිදි ද?”
අම්මාගේ කටහඬ කෑම කාමරය පැත්තෙන් ඇහෙයි.
“බේබි ඇහැරිලා පාඩම් කරනවා නෝනා, ලැවරියා කාලා ආපහු දිව්වා,” මෙහෙකාරිය කියන්නීය.
ලීලා සුළැඟිල්ලේ වූ මුද්ද දිහා බලා සිටියේ විමතියෙන්. ඇය තවමත් හිටි තැනම සිටගෙන. ඉස්තෝප්පු කාමරයෙන් බැහැරක ගොසින් නැත. ඇය මුද්ද ගලවා වෙන ඇඟිල්ලක රැඳවූවාය. ඇය එතැනම ය. අනිත් අතේ ඇඟිල්ලක දැම්මා ය. ඒත් එතැනම ය. කුමක් වී ද? එහි බලය තව දුරටත් ක්‍රියා කරන්නේ නැත් ද? මුද්ද ඇඟිල්ලක රැඳී තිබිය දී ම ඇය බොකු ගැසුන වේවැල් පුටුවේ වාඩි වුනේ මේ අලුත් විපර්යාසය කෙසේ වටහා ගන්න දැයි නොහැකිව.
එදින හිරු බැබළෙන උදෑසනක් යැයි ජනේලයෙන් එපිටතින් පෙනේ. දවසේ වැඩ පටන් ගන්නටත් පෙර ලීලාට දැනෙන්නේ ගත අඩපණ කරන විඩාවකි. මේ කාමරයේ රැඳී නොසිට පුටුවෙන් නැඟිට ගොස් තම දවසේ කටයුතු පටන් ගත යුතු බව ඇය දත්තී ය. එහෙත් පුටුවෙන් නැඟිටින්නට තරම් පසක් සිතක් ඇය තුල නැත. මුද්ද ඇඟිල්ලේ තිබිය දී ම අත්ල දෙකේ හිස රඳවා ගත් ඇය කොළ පාට පදම් හමින් වූ මේස තීරුවට වැලමිටි ඇණගෙන ඇස් පියාගත්තා ය.
මුද්දේ බලය අහිමි වී ඇත්තේ ඇයි?
එක ආභරණයකින් යා හැක්කේ යම් සීමිත ගමන් ප්‍රමාණයක් පමණක් විය හැකි ද?
ඒ මුද්ද දා ගත් තාත්තා කොහේ හෝ ගිහින් පැමිණියේය යන්න ලීලා සැක කරන්නීය. ඒ මුද්ද සොයාගත් දිනයේ ආපහු නිවසට වැදි සැණින් තාත්තා නිදන කාමරයට ගිය බවත්, රෑ කෑම කද්දී ඔහු ඉතා සතුටින් සිටි බවත් මතකයේ තදින් ම ඇඳී ඇති බැවින් ඔහු සතුටු ගමනක් ගිහින් පැමිණියා යැයි ඇය සිතයි. මුද්දෙන් ගමන් දෙකක් ගියේ ලීලා ය.
එසේ නම් මේ මුද්දට ඇත්තේ ගමන් තුනක සීමාවක් ද?
තුන්වැනි ගමන යා යුතුව තිබ්බේ තාත්තා ද?
දෙදෙනෙකුට වාරයෙන් වාරයන් ගනිමින් මුද්ද පාවිච්චි කළ හැකි ද?
ඇස් පියාගෙන කල්පනා කළ ලීලාට ඒ ගැටළු වලට පිළිතුරු දීගත නොහැකි වුවත් මෙහි දී මුද්ද තාත්තාගේ අසනීපය හා බැඳි වූවක් යන ප්‍රස්තුතය නම් කිසිසේත් ම ප්‍රතික්ෂේප නොවන බවත් පැහැදිලි විය.
නිවස අසල වූ කුරුළු පොරයක් ඇයට ඇසුණි. හතුරෙක් එළවා දමන්නට චූට්ටන් කුරුල්ලන් එකට එකතු වී හැම අත පැතිර යන සේ නාද කරනා හඬ පැතිර ගියේය. අවදානමක් ඉදිරියේ කිසිත් නොකර ඉන්නවාට වඩා අවදානමෙන් ගැලවෙන්නට හැකි උත්සාහයක් ගත යුතු යැයි තමාට කියා දෙන්නේ චූට්ට්න් බට්ටිච්චන් ද? ඔවුන්ගේ උත්සාහයට සිනාවකින් සවන් දුන් ලීලා ඉස්තෝප්පු කාමරයේ තබන කොපි පොත රැගෙන සිතට ගලා ආ සියළු ගැටළු හනිකට එහි ලිව්වේ අමතක වෙන්නට පෙර තම නිදන කාමරයට දිව ගොස් එහි වු කොපි පොතේ ද ඒවා ලියාගත යුතු යැයි තීරණයක් ගනිමිනි.
හදිසියේ ම අප්‍රාණික බව තුරන් වී ගොස් කඩිසර ජවයක් ගත පුරා දිව ගියා යැයි ලීලාට දැනිණ.