හිමිදිරියේ ඉස්තෝප්පු කාමරයට රිංගා ගත් ලීලා එංගලන්තයේ ගොඩනැඟිලි ගැන වූ පොත අකුරක් නෑර කියැවූවාය.
මුද්ද දා ගත් විට තමන් ගිය ස්ථානය කවෙන්ට් ගාඩන්ස් රඟහල යැයි හඳුනාගත්තා ය. තමන් ගියේ අතීතයට බව එදා දැකි ඇඳුම් පැළඳුම් වලින් ලීලා දැනගෙන සිටියත්, පොතේ විස්තර වලින් ඒ 1700 ගණන් තරම් පැරණි කාලයකට යැයි දැක ඇය විස්මිත වූවාය. එහෙත් දෙවැනි වතාවට මුද්ද දා ගත් කළ ඇය ගියේ වෙනත් පළාතකට ය. ඒ කාල වකවාණුව හෝ ස්ථානය ගැන කිසිත් සොයාගන්නට ඇයට තවමත් නොහැකිය. ඉස්තෝප්පු කාමරයේ පොත් පිරි පුස්තකාලයක් වැනි ය. කිසිවකුගේ සහායක් නොමැතිව මේ පොත් විෂයයන් අනුව බෙදා ගොඩ ගැසීම කවදා ඉවර වේ දැයි ඇයගේ සිතට දැනුනු පසුබෑම ඊට උත්සාහයක් ගන්නා හැම මොහොතක ම වැඩි විය. දෙමව්පියන්ගේ කාමරයට යන්න අවස්ථා බොහොමයක් පාදා ගත්ත ද එහි තාත්තා අතින් සටහන් තැබුණු කොපි පොතක් හෝ ලිපි ගොනුවක් සොයාගත නොහැකි විය.
ඇය මුද්ද අල්ලේ කරකවමින් කල්පනා කළේ අලුත් තොරතුරක් සොයා ගන්නට එය ඇඟිල්ලක රැඳවිය යුතු ද නැද්ද කියාය.
දොර අසලින් සිටගෙන පිටත සද්ද වලට ඇහුම් කන් දුන් ඇය හෙමිහිට කාමරයෙන් එළියට ආවේ කුමක් කරන්න දැයි කියා තීරණයක් ගන්නටයි. තාත්තා අවදියෙන් සිටිනා බව දෙමව්පියන්ගේ කාමරයෙන් එන සද්ද වලින් ඇසේ. ඔහුට උදේ කෑම කවා ඉස්තෝප්පුවට කැඳවා ගෙන එන්නට අම්මාට තව පැයක් හමාරක් යන බව ලීලා දත්තීය. ඇය තම නිදන කාමරයට වැදුනා ය. එහි වූ කොපි පොත ඇරගත් ලීලා එහි ලියැවුනු පිටු දෙකක් පමණ පිරි සටහන් වෙත නැවත නෙත් යොමු කළාය.
මුද්ද දා ගන්න කළින් වේලාව ලියන්න. එතකොට ආපහු ආපු ගමන් වේලාව බලලා හරියට ම කොච්චර කාලයක් ගියා ද කියල හොයා ගන්න පුළුවන්. ඇය එහි ලියුවේ මේ ටික ඉස්තෝප්පු කාමරයේ ඇති සටහන් පොතේ ද ලියන්නට අවශ්‍ය බව තමනට කියා ගනිමිනි.
කොයි රට ද?
කොයි කාලය ද?
මොන භාෂාව ද?
හමුවෙන අනිත් අය කවුද?
එසේ ලියාගෙන යද්දී ඇය අතින් යම් කාර්යයක් ඉටු වූ බව ලීලාට පසක් විය. මුලින් ම ගිය මඩ ගොහොරුවේ දී ටින්කිරි ටින් එකක් මම කාට ද ගෙනිහින් දුන්නා. ඊ ළඟට රඟහලට ගියා ම මම මොකක් ද ලියුමක් කාට ද දුන්න. එහෙත් ෂටෝනි නම් වූවා හමුවෙද්දී ඇය කළ දැයක් නැත. ඇය නැවතත් සිද්ධියට සිහියට නඟන්නට උත්සාහයක් ගත්තාය.
“බේබි ලැවරියා හැදුවා, තේ ලෑස්තියි,” දොර රෙද්ද අතින් මෑත් කර කාමරයට එබිකම් කළ මෙහෙකාරිය ඇය දිහා බලා සිනාසෙයි. ලීලා නිදි යහනේ මැද හිඳගෙන ඔඩොක්කුවේ පොතකුත් හැරගෙන ඇස් තදින් පියාගෙන ඉන්නා ආකාරය දැකීම මෙහෙකාරියට විහිළුවකි.
“උදේට කන්න ලැවරියා?”
“මහත්තයා කැමති වෙයි කියල ඔන්න නෝනා තමයි උදෙන් ම නැඟිටලා හැදුවේ.”
තාත්තා කන්නට කැමති රස ආහාර බොහොමයක් ලීලාගේ ප්‍රියතම ආහාරයන් ද වෙයි. ඇය කොපි පොතේ එය ද සටහන් කරගත්තේ කුමක් හෝ සම්බන්ධකමක් ඊටත් ඇත්දැයි සොයාගත යුතු නිසාවෙනි.
“පාඩම් කරන්න ඕනෙ වෙලාවක ඇහැකිනෙ, ඇවිත් කාලා ඉන්න එතකොට මට මේසේ අස්කරන්න පුළුවන්,” මෙහෙකාරිය කියයි.
ලීලා කොපි පොත ඇඳේ තිබිය දී කාමරයෙන් පිටතට ගියේ ලැවරියා කන්න වෙනදා මෙන් දුවගෙන නොගියොත් මෙහෙකාරියගේ සැකය වැඩිවෙන බව දන්නා හෙයිනි. ලැවරියා දෙකක් පිඟානට දමාගෙන රසයි කියමින් විගහින් ගිල දැමූ ඇය තේ කෝප්පය ද දිවත් උගුරත් පිච්චෙද්දී ඉවර කළේ ඉක්මන් බව රස නිසා යැයි අඟවන විලසකිනි. ඇයට ලැවරියා වල රස හෝ තේ කෝප්පයේ රස නොදැනිණ. ඇයගේ හදවත වේගයෙන් ස්පන්දනය වූයේ ආයිත් කොහේ යාවි දැයි කියාය. එය කිරීමෙන් අවදානමක් ගන්නවා නොවේ දැයි යන කරදරකාරී සිතුවිල්ලෙනි.
හිස් පිඟාන හා හිස් තේ කෝප්පය මෙහෙකාරිය අතට දුන් ලීලා නිදන කාමරයට වැද, ඇඳමත වූ කොපි හැර එහි ලියූ සටහන් නැවතත් සිහි කරගත්තා ය. මේසය උඩ වූ පොත් ගොඩක් යටින් කොපි පොත හිර කළාය. කොණ්ඩය පීරා ගත්තාය. නිදන ඇඳුම මාරු කරන්නට ගිය විට ඇඳන් යන්නේ කුමක් දැයි ඵලක් නැති වූවක් බව ඇයට සිහිවිය. කෝකටත් කියා සෙරෙප්පු දෙකකට කකුල් රිංගවා ගත් ඇය සාලයේ වූ ඔරලෝසුවෙන් වේලාව දැනගෙන හනිකට ඉස්තෝප්පු කාමරයට වැදුනේ ය. එහි වූ කොපි පොතේ වේලාව ගැහෙන හදවතින් සටහන් කළාය. ලෑල්ල ඉවත් කර මුද්ද අතට ගත් ලීලා ලොකු හුස්මක් ඉහළ ඇද එය සුළැඟිල්ලේ රැඳවූවාය.
එක හුස්මට කියවලා ඉවර කරා….
Comment විසින් Jay — සැප්තැම්බර් 24, 2012 @ 6:04 ප.ව.