ලීලා හමුවන්නට යෙහෙළියන් පිරිසක් නිවසට කඩා වැදුනේ දහවල් දෙකට පමණ.
“ඔයා පංති එන්නැති නිසා අපි නෝට්ස් ගෙනාවා,” ඔවුන් කියූහ. එහෙත් අස්සෙන් පැතිර ගිය කිචිබිචියේ වෙනත් රහස් ගමනක් මේ ගමනෙන් වසන් කරගන්නා ආකාරය හෙළිවුණි.
ඉස්තෝප්පුවේ පිළිසඳරේ යෙදි ඔවුනට තේ ගෙනැවිත් පිරිනැමූ අම්මා තාත්තාට ද තේ කෝප්පයක් බොන්නට සහාය වෙන අන්දම දැක ඔවුන් කතාබහ මඳකට නතර කළ බලා සිටියහ. වෙනදා ඔහු සිටිය දී කතාබහට නොපැකිළෙන ඔවුන් මෙදා ඔහු ඇඳි පුටුවේ අසුන් ගෙන සිටීම ද ඒ වනතෙක් දැක්කේ අමුත්තක් හැටියට නොවේ. එහෙත් අම්මා තාත්තාට තේ කෝප්පය පොවද්දී එහි නුහුරු බවක් ඔවුනට දැනිණ. ඔවුන්ගේ ශෝකය ලීලා වෙත ද විස්තෘත විය. ඇය වෙනුවෙන් සටහන් ගෙන එන්නට දෙතුන් දෙනෙක් ම ඉදිරිපත් වූහ. ඔවුන් මෙතෙක් පාඩම් කරගත් දෑ ගැන කතාබහේ නිරත වෙද්දී තම පාසැල් පොත නැති වූ බව ලීලා ඔවුනට කියුවාය.
“ගෙදරින් කොහේවත් යන්නෙ නැති මෙයා පොතක් නැති කරගත්තෙ කොහොම ද?”
“ආපහු ගන්න බැරි තැනකට වැටුනනේ,” ඇය සිනහා වෙමින් කීවේ තාත්තා දිහා යටැසින් බලමිනි. ඔහුගේ මුවේ සිනාවක් යාන්තමින් ඇඳෙනවා දැක ලීලා පුදුමයට පත් වූවාය. එහෙත් එය තමන් කියූ කතාව ඇසීමෙන් හටගත් සිනාවක් ද? ලෙඩ වූ දා සිට ඔහු වෙතින් සිනාවක ඡායාවකුදු කිසිවෙක් නොදැක තිබුණි.
“පොත කොහෙද දැම්මෙ කියල මගෙන් ආයෙත් අහන්න?” ඇය යෙහෙළියට රහසින් කීවාය.
“පොත නැතිවුනේ කොහොම ද ලීලා, ඔයා ගෙදරින් පිට යන්නෙත් නැතිව?”
“ආපහු ගේන්න බැරි තැනකට අරන් ගියානෙ,” ලීලා තාත්තා දිහා එක එල්ලෙ බලමින් කීවාය. ඔහුගේ දෑස් විමතියෙන් ලීලාගේ දැස් හා එක්වූයේ එය සිද්ධ වූවා දැයි හිතාගත නොහැකි ඉතාමත් සුළු මොහොතකට පමණි. ඇස් වෙනතක යැවූ තාත්තා තුල සුපුරුදු මළානික බව නැවතත් පැතිරිණ.
අනිකුත් යෙහෙළියන් ද කතාබහ නතර කර ඔවුන් දෙස බලා සිටිති. කුමක් සිදුවූයේ දැයි ඔවුනට පැහැදිලි නැත. ලීලා කතාව වෙනතක ගෙන ගියේ තමන්ට ද තවමත් හරිහැටියකට පැහැදිලි කළ නොහැකි, කාටවත් විස්තර කරන්නට නොහැකි තොරතුරු සම්භාරයේ බර නිසා හදිසියේ ම සිතට පමණක් නොව සිරුරටත් වෙහෙස දැනෙද්දී ය.
සංවාදයන් නැවතත් ගලා ගියහ. පාඩම් මාතෘකා අස්සට වල්පල් ද රිංගා ගත්හ. එහෙත් වැඩි වේලාවක් නොරැඳී ඔවුන් යන්නට අදිටන් කරගත් අනිත් රහස් ගමනේ යෙදෙනු පිණිසයි. ඔවුන්ට සමුදෙන්නට පැමිණි අම්මාටත් පුටුවේ හිඳගෙන වෙනතක බලා ඉන්නා තාත්තාටත් “අපි ගිහින් එන්නම් ඇන්ටි, අපි ගිහින් එන්නම් අන්කල්,” කියමින් යෙහෙළියෝ රොත්ත සතුටින් පිටත් වූහ.
“පංතියකට දෙකකට ගිහින් එන්න, මං තාත්තා එක්ක ඉන්නම්,” අම්මා ඔවුන් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් විහිළු කරමින් යනමඟ දිහා බලා කියන්නීය.
“නෝට්ස් තිබ්බම ඇති අම්මා, ආයෙ එයි කාණ්ඩෙ තව නෝට්ස් අරගෙන,” ලීලා කිව්වේ ඔවුන් නැවතත් පැමිණේවි යැයි උදක් ම බලාපොරොත්තු වෙමින්. ඒ සටහන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පමණක් නොවේ. අතීතයේ ද ඔවුන් සතුටු සාමිචියේ යෙදෙද්දී තාත්තා ඔවුනට සවන් දෙන ආකාරයක් ලීලාගේ මතකයේ නොවිණ. ඒ නිසාම ඔහු ඉදිරියේ පැකිළීමක් නැතිව කතාබහේ යෙදෙන්නට ඔවුන් හුරු වී සිටියහ. මෙදින නම් යම් හුවමාරුවක් තාත්තා හා සිද්ධ වූ බවට සැකයක් නැත. එය අම්මාට නොකියන්නට ලීලා තීරණය කළාය.තාත්තාගේ අවධානය ලබන්නට හැකිනම් ඔහුගේ සහාය ලබා ගන්නට ද මාර්ගයක් සොයාගත හැකිවේ දැයි ලීලා කල්පනා කළාය.
“අනේ ඒ දරුවෝ ටික ආපු එක තාත්තටත් හොඳයි,” වෙනදා නිදි කිරනා තාත්තා අවදියෙන් වත්ත දිහාට නෙත් යොමු කරගෙන සිටිනු දැක අම්මා කියුවාය. ඇයගේ වදන් කොතරම් සත්‍යය දැයි අම්මාට දැන් ම කියනු නොහැකියි. නැවතත් තාත්තාගේ නෙත්වල වූයේ ලෙඩේ හැදි දා පටන් දකින්නට ලැබෙන ඇල්මැරුණු ගතිය මිසක් ලීලා මොහොතකට දැකි ප්‍රාණවත් කුතුහලය නොවේ.
Keep it up…
Comment විසින් Jay — සැප්තැම්බර් 23, 2012 @ 3:52 පෙ.ව.