ඉඩක් ලැබුණු සැනින් ඉස්තෝප්පු කාමරයට දුවන්නට ලීලා යුහුසුළු වූවාය.
අම්මා වත්ත පහළ ගස කපා දර ගොඩ ගැසූ සේනට වියදම් පියවනු පිණිස මුදල් රැගෙන එන්නට බැංකුවට ගිය දිනය ඇයට ලැබි ප්‍රථම අවස්ථාවයි. තනිවම දිවා ආහාරය පිළියෙල කරන්නට සිද්ධ වූ මෙහෙකාරිය ඉස්තෝප්පුව පැත්තේ කරක් ගහන්නට නොඑන බව ලීලා දනියි. තාත්තා ඇඳි පුටුවේ සුපුරුදු නින්දේ වැටී සිටියි.
තාත්තා අසලින් හිඳගෙන සිටිය දී පාඩම් කරපු පාසැල් පොතත්, තම සැලැස්ම ගැසූ කොපි පොතත් අරන් ඉස්තෝප්පු කාමරය ඇතුලට ගිය ඇය මේසය මත ඇති පොත් වලින් සැලැස්ම ආරම්භ කළ යුතු යැයි සිතුවාය. විෂයයන් අනුව පොත් ගොඩවල් වෙන් කළ ඇය භාෂාවන් ගැන වූ පොත් වෙනම ගොඩකට දැම්මා ය. මුලින් ම ගිය මඩගොහොරුවේ කතාබහ සිද්ධ වූයේ ප්‍රංශ බසින් යැයි ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නා පොතක් පෙරලා බැලූ ඇයට සිතිණ. එහෙත් ඒ වදන් ගැන මතකය ඉතා අඩු බැවින් ඇයට එය සහතික නැත. රුසියන්, ස්පාඤ්ඤ, ඕලන්ද, ජර්මන් හා පෘතුගීසි වදන් වහර කියාදෙන කුඩා පොත් බොහොමයක් තැන් තැන් වල අනිත් තොරතුරු අස්සේ තිබී ඇයට වෙන්කර ගත හැකිවිය. ඒවා ඔක්කොම ඉගෙන ගන්න වෙයි ද කියා යාන්තමින් පසුබැස්මක් ද ඇයගේ හිතට දැනුණි.
මේසයෙන් බාගයක් පමණ ලතාවකට සංවිධානය වෙද්දී ඇය මඳ විවේකයක් ගනු පිණිස තම පොත් රැගෙන ඉස්තෝප්පුවට යන්නට ගියාය. එහෙත් දොර නැවතත් සුපුරුදු පරිදි ඇයට පිටමං වෙන්නට ඉඩ නොදෙයි. දොර අගුලට අත තබනවාත් සමඟින් ඇයගේ කකුල් දෙක හිරිවැටී ගියෙන් ඇය වහාම අත ඉවත් කර ගත්තාය. නැවතත් අත දිගු කරද්දී අතේ වූ පොත් අතින් ලිස්සී බිමට වැටිණ. ඒවා බිම තියෙද්දී අතින් අල්ලා ගත් අගුල ඉබේම කරකැවී දොර හැරුණි. එහෙත් වැටිච්ච එක පොතක් අහුලන්නට ගිය ගමන් විවර වූ දොර අවුත් ඇයගේ මුහුණ අසලින් ම තඩස් ගා වැසී ගියේය.
ඇය මේසය වෙතට ඇවිද ගොස් පොත් දෙකම මේසයේ තබා බොකු වේවැල් පුටුවේ වාඩි වූවාය. මේ පොත් තමාගේ ය. ඒවා මේ කාමරයට අයිති වූවක් නොවේ. ඒ කියන්නේ මේක ඇතුලට ගේන එකක් වත් ආයේ එළියට අරන් යන්න බැරි ද?
ඇය පොත් දෙක මේසය මත තිබිය දී ගොස් දොරේ අගුලට අත තබද්දී එය පහසුවෙන් හැරිණ.
පාසැල් පොත මෙහි දමා යෑම ඇයගේ අධ්‍යාපන කටයුතු වලට ඉමහත් පාඩුවකි. කොපි පොතේ ලියූ සටහන් නම් වෙනකක ලියා මේ කාමරයෙන් පිටතක තබන්නට හැකිය. කොපි පොත හැරගත් ඇය ආයේ තව පොත් මෙහි ගෙන්න එපා යැයි එහි සටහනක් ගසා එම වගන්තිය යටින් ඉරි කිහිපයක් ද ඇන්ඳාය. කාමරය ඇතුලේ තොරතුරු හොයන්නයි විභාගෙට ලැහැස්ති වෙන පාඩම් කරගන්නයි දෙකට ම හිතුවාට වැඩිපුර කාලයක් එහි ගත කරන්නට සිදුවෙන බව ඇයට වැටහිණ.
පුටුවේ ඇන්දට බර දී අත් දෙපසට කඩා හැලෙන්නට දමාගෙන කිසිත් අරමුණක් නොමැතිව දෑස් පොත් අල්මාරියක් වෙත යොමු කරගෙන සිටි ලීලාට එහි පොතක දාරයක වූ පොතේ නම ඇස ගැසුණි. “එංගලන්තයේ ඵෛතිහාසික ගොඩනැඟිලි” යැයි එහි ඇලේට ලියා තිබිණ. ඇය නැඟිට්ටේ ආයෙත් වරක් පුටුව පෙරලී යද්දී ය. එහෙත් එය බිම වැදෙන්නට පෙර අල්ලා කෙළින් කරන්නට ඇය සමත් වූවාය. පොත් අල්මාරියෙන් බැඳපු ඝනකම කවරයකින් යුතු බරැති පොත ගෙන ඇය එය මේසය මත තබා පිටු පෙරලා බැලුවාය. බංකිහැම් මාලිගාව ඇය කළින් දැකි පින්තූරයකි. අරුන්ඩෙල් මාලිගාව හා තවත් කිසිදා අසා නැති මාලිගා බොහොමයකින් පොතේ පිටු සැරසී තිබිණ. පාලම් හා බලකොටු ගැන ද සිරගෙවල් ගැන ද එහි විස්තර පිරී තිබිණ.
අම්මා ඉස්තෝප්පුවට ගොඩ වී තාත්තා හා කුමක් දෝ කියනා හඬ ඇසිණ. කලබලයේ පොත වහන්නට ගිය ලීලාට පෙරළෙන පිටු අස්සේ නත්‍යාගාරයක සිතියමක් දකින්නට ලැබිණ. එය තමන් මුද්ද දාගත් පළමු වතාවේ ගිය රඟහල යැයි ඇයට සිතුණි.
“ලීලා .. කෝ මේ දරුවා ..” අම්මා කටහඬත් සමඟින් ගේ ඇතුලට ඇවිද යයි.
පොත මේසය මත ඒ පිටුවට ම විවෘත වී තිබිය දී ලීලා තම පොත් දෙකත් කාමරයේ ම තියෙන්නට හැර අගුලට අත තබා ඉස්තෝප්පුවට පිවිසුනේ අම්මා ආපසු එන්නට පෙර කාමරයෙන් ඉවත් වී සිටින්නටයි.
This episode is really exiting.
Comment විසින් Jay — සැප්තැම්බර් 18, 2012 @ 5:03 පෙ.ව.
Jay,
ඔයා කියන්නෙ exciting කියලා වෙන්නැති නේද?
Comment විසින් arunishapiro — සැප්තැම්බර් 18, 2012 @ 7:14 පෙ.ව.