Sinhala story Blog

සැප්තැම්බර් 11, 2012

කිබිසිනි -අවුලක් ලිහන්නට නම් කොණක් අල්ලා ගන්නේ කෙසේද?

Filed under: Uncategorized — arunishapiro @ 2:28 ප.ව.

වළාකුල් නොමැති රාත්‍රියේ පුරහඳ හැම අස්සකට ම කොනකට ම එළිය පතුරුවා හැර ඇත.

නිවසේ වූ අනිත් අයට නින්ද යනතෙක් බලා සිටි ලීලාට ද නින්ද ගොස් තිබිණ. පාන්දර තුනට පමණ තිගැස්සී අවදි වූ ඇය මුලින් ම ඔරලෝසුවක් දිහා බැලුවේ තමාට මුළු රාත්‍රිය ම අහිමි වූවා දැයි සොයන්නට යි. බකමූණෙක් හූම් හූම් ගානා හඬ ළඟ පාතකින් ඇසිණ. ඒ හැරෙන්නට වෙනත් කිසි සද්දයක් නැත. කළින් ලැහැස්ති කර තබාගත් ඉටි පන්දමත් ගිනිකූරු පෙට්ටියත් අතැතිව ඇය නිහඬ පා තබමින් ඉස්තෝප්පු කාමරයට ගියාය.

දොර අගුලට අත තැබූ සැනින් එය විවෘත වුණි. කාමරය ඇතුලත හඳ එළියෙන් නැහැවී තිබුණි. ඉටිපන්දමත් ගිනි පෙට්ටියත් මේසය මත තැබූ ලීලා බොකු ගැසුණු වේවැල් පුටුවේ හිඳ ගත්තාය. මේසය මත වූ පොත් කිහිපයක් ළඟට ඇද ගත් ඇය ඉටිපන්දම දල්වා ගත්තාය. ඝනකම කවරයකින් වූ පොතක් උඩ ඒ ඉටිපන්දම රුඳ වූ ඇය ළඟට ගත් පොත් පිටු පෙරලුවේ ඒ අතරින් සොයා ගත යුත්ත කුමක් දැයි පහදා ගනු පිණිස ය. රීඩර්ස් ඩයිජස්ට් සඟරා කිහිපයක් එකතු කර බඳින ලද එක පොතකි. ඒ එක වසරක් තුල පළ කරන ලද සඟරා නොව වසර කිහිපයක තැනින් තැනින් ගන්නා ලද එකතුවකි. ඒවායෙහි ගැබ් වී ඇති යම් රටාවක් සොයා ගැනීමට ලීලා අපොහොසත් වූවාය. පොත් හැර ඇතුලත කියවනවා වෙනුවට කවරයේ ඇති නම් මොනවා දැයි අනතුරුව ඇය සොයා බැලුවාය. එකක් භූගෝලය ගැන ය. අනෙක ජපානයේ කබුකි නාට්‍ය්‍ය පිළිබඳව ය. තවෙකක් ප්‍රංශ ආහාර වට්ටෝරු හා අනුභවයේ දී කරන සිරිත් විරිත් ගැන ය. රුසියන් බසින් සිංහලට පරිවර්තනය වූ කෙටිකතා සංග්‍රහයක් ද විය. ජුඩෝ සටන් ක්‍රම ගැන පින්තූර සහිත වූ පොතක් ද විය.

ලීලා ඊ ළඟට ඉටිපන්දම අසලට ගෙනාවේ ගොඩ ගැසූ ලිපි තොගයකි. ඒවා පත්තර හා සඟරා වලින් කපා ගන්න ලද කරදහි කෑලි වූහ. එකෙක ‘දරුවා ලිඳට වැටී මිය යයි’ නමින් සිරස්තලයකින් වූ ප්‍රවෘත්තියකි. තවෙකක සූට් කේසයක් අතින් ගත්තෙකුගේ පින්තූරයකුත් සමඟින් ‘විදේශ ඇමති එතෙර සංචාරයක” යැයි පළ වූ ලිපියකි. දේශීය විදේශීය වූ නොයෙකුත් සිද්ධි වාර්තා කරන ලද ඒ පත්තර කරදහි සියල්ලේ දිනය වටා රතු පැන්සල් පහරකින් රවුමක් ඇඳ තිබුණි. දින නියම පිළිවෙකට හෝ එකකින් එකකට සම්බන්ධකමක් නොතිබූ විවිධ පුවත් සේ ම විවිධ වාර්තා කරුවන් විසින් ලියන ලද ඒ ගොඩ අතරින් ද කිසිම රටාවක් සොයා ගැනීමට ලීලා අපොහසත් වූවාය.

ලීලා කාමරය සිසාරා බැලුවේ පොත් හෝ සඟරා ගොඩ ගැසී ඇති අල්මාරි වල යම්කිසි වර්ගීකරණයක් ඇත්දැයි බලන්නට. එහෙත් ඇයට එවැන්නක් හඳුනාගත නොහැකි විය. වැලමිටි මේසයට තබා නිකට අත්වල අල්ලේ රඳවා ගත් ලීලාගේ ඇස් කොණකට රතු පැන්සල් පිර වූ මැටි පෝච්චියක් හසු විය. ඒ දිහා බලාගෙන ඇය කල්පනා කළේ තමන් සොයන්නේ කුමක් දැයි නොදැන සටහන් ගහන්නට පැන්සල් තිබීමෙන් ඇති ඵලේ කුමක් දැයි කියාය.

ඉටිපන්දම දිය වී ගොස් උණු ඉටි දියර පිරුණු වලක වෙව්ලන තිරය අවසන් මොහොතේ වැඩියෙන් එළිය පතුරුවා හරින්නට මෙන් තදින් දැල්වෙයි. ජනේලයෙන් ගලා එන පුරහඳ එළිය ඝන අඳුර මකා දැමුවත් අකුරු කියවන්නට තරම් එළියක් ලබා නොදෙයි. ඉටිපන්දමේ තිරය දැවී ගොස් මඳක් වෙව්ලා අවසන් හුස්මක් පිට කරන්නා සේ රහස් සූස් ගෑමකින් පසු මැකී ගියේය. ඉටිපන්දම තමා සිටි බව කියන්නට මෙන් පොතේ කවරයේ ලොකු රවුමකින් යුතු ඉටි තලියක් ඉතිරි කර ගිහින් ඇත. තවමත් උණු ඉටි දියරය මැද්දට ඇඟිල්ලක් එබූ ලීලා එහි උණුසුමින් සියුම් සතුටක් ලැබුවාය.

අවුල ලිහන්නට කොණක් අල්ලා ගන්නේ කෙසේ ද?

මේ ඔක්කොම පොත්පත් හා සඟරා කියවන්නට ඇයට සිද්ධ වේ ද?

එච්චර කාලයක් මේ කාමරයේ ගෙවන්නට ඉඩ සොයා ගන්නේ කෙසේ ද?

ඇය සුසුමක් හෙළා බොකු වේවැල් පුටුවෙන් නැඟිට නිදිමතින් පියවෙන ඇස්වලට ඊට ඉඩක් දෙන්නට නිදි යහන සොයා ගියාය.

About these ads

ප්‍රතිචාර 3 »

  1. Today post finished without conclusion.

    Comment විසින් Jay — සැප්තැම්බර් 13, 2012 @ 6:13 ප.ව.

  2. This is not the correct place to thank you about your post about Muslims.

    Comment විසින් Jay — සැප්තැම්බර් 15, 2012 @ 7:09 පෙ.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: