“අම්මෙ … ඇයි මට අර .. (ඇය නිකටෙන් පෙන්වූවාය) කාමරේට යන්න එපා කිව්වෙ.”
තාත්තාට බත් ගුලි කරමින් කවන අම්මා වෙතින් ලීලා ඇහුවේ තොරතුරු සෙවීම තවත් කල් දාන්නට බැහැ යැයි තීරණයක් ගත් නිසයි.
අම්මා අත වූ බත් පිඟාන වෙව්ලා ගිහින් තාත්තාගේ ඔඩොක්කුවට ද බත් හොදි වැටිණ.
“මට තියෙන වැඩ කන්දරාව මදි කියල හිතුවා ද ලීලා?”
“ඉතින් අම්මෙ ..”
“අනේ දරුවෝ .. තාත්තට මේ බත් ඩිංග කවන්න දීලා මට කරදර නොකර ඉන්න හොඳ ළමයා වගේ.”
ලීලා නිහඬ වූයේ වෙනදා තමන් කරන්නේ කියන්නේ කුමක් දැයි නිතර සොයමින් අවවාද, අනුශාසනා, නිරීක්ෂණ හා මැසිවිලි තමාට කියන්නට පැකිළෙන්නේ නැති අම්මා මේ දිනවල වැඩි කතාබහෙන් තොර බව සිහි වූ නිසයි.
අම්මා නාන්නට යන තෙක් බලා සිට ලීලා ගෙදර මෙහෙකාරිය සොයා ගියාය.
“අර ඉස්තෝප්පු කාමරේට කවුරුත් යන්නෙ නැත්තෙ ඇයි?”
“ඉතින් බේබි ගිහින් බලන්නකෝ .. හැබැයි බලාගෙන ආයේ බේබිවත් ඉස්පිරිතාලේ එක්කන් යන්න වේවි ද දන්නෑ,” ඇය කීවේ සිනාවකින්.
“ඇයි ඒ?”
“ඔයාලැයි තාත්තාට විතරයි ඒ කාමරේට යන්න පුළුවන්,” ඇය හට්ටියක පතුලක් තදින් සූරයි. අවධානය එයට යොමු වී තිබුනෙන් එය සුද්ද කරගන්නා තෙක් මෙහෙකාරිය කිසිත් කීවේ නැත.
“බේබි ඉපදෙන්න කළින් දවසක නෝනා යන්න හැදුවා ඇතුලට. දොරේ වැදිලා ඉස්තෝප්පුවේ බිම වැටිලා තව පොඩ්ඩෙන් නාහේටත් මැහුම් දාන්න වෙනවා. මට ඇහුණ එදා බේබිලැයි තාත්තා හොඳට ම විහිළු කරනවා. ඒත් නෝනා නම් හිනා වුනේ නැහැ.”
“ඔයා ඇතුලට යන්න බැලුවේ නැත් ද?” ලීලා ඇසුවේ ඇසෙන නොඇසෙන තරම් හෙමින්.
මෙහෙකාරිය සෝදා අවසන් කළ හට්ටි වතුර බේරෙන්නට පේලියට මුනින් අත නවයි. ඇය අත් පිස්නයක් අඹරමින් ලීලා දෙස බලා මුළුතැන්ගෙයි දොර වෙතට ඉක්මනින් ගියාය. කිසිවෙක් අවට ඇත්දැයි සොයා බැලූ ඇය ඔළුවෙන් ඉඟි කළේ තමන් ද ඊට උත්සාහයක් ගත් බවයි.
ඇය අසලට දිව ගිය ලීලා “ඉතින් මොකද වුනේ?” යැයි රහසින් විමසුවාය.
“හරියට කවුදෝ තල්ලු කළා වගේ .. පුටුවකුත් පෙරලා ගෙන මාව වැටිච්චි.”
“ඉතින්?”
“ඉස්තොප්පුවෙනුත් එළියට විසිවුනේ නැතිවා විතරයි.”
“ඊට පස්සෙ?”
“දොරේ අගුල හෙලවුනේ වත් නැහැ ඒ වුනාට.”
“එතකොට?”
“එච්චරයි.”
“කවුද අතුගාන්නේ?”
“ඔයාලැයි තාත්තා වෙන්නැති .. ඒත් මං දැකලා නැහැ මහත්තයා කවදාවත් කොස්සක් අල්ලනවා නම්,” ඇයගේ මුහුණේ නැවතත් සිනාවක් මතුවිය.
“ආයි ඇරලා බලන්න හිතුනේ ම නැද්ද?” ලීලා ඇසුවාය.
“නිකං මොකට පස්ස බිම ඇන ගන්නවා ද බේබි මේ කරන්න වැඩ ඕන තරම් තියෙද්දී,” මෙහෙකාරිය ලීලාට පිටුපා ගොස් කොස්සක් අරගෙන මුළුතැන්ගෙය අතුගාන්නට පටන් ගත්තේ එය නොකළ බව හදිසියේ මතක් වූ ලෙසිනි.
තමන් එහි ඇතුල් වූ බව මෙහෙකාරියට කියනවා දැයි නැද්දැයි ඇය බිම අතු ගාන දිහා බලාගෙන ලීලා කල්පනා කළාය. තමන් එය ඇයට කිව්වොත් ඇය අම්මාගේ කණ නොතබා ඉන්නේ නැත. තාත්තා අම්මාට කිසිත් විස්තර කියා නැතිවා වෙන්නට පුළුවන. ඒ නිසා වෙන්නැති තාත්තාගේ අසනීපයත් ඒ හා කිසියම් සම්බන්ධයක් ඇත්දැයි අම්මා නිකමට වත් සෙව්වේ නැත්තේ. තාත්තාට හා තමාට පමණක් දොර හැරෙන්නේ ඇයි? තම ප්‍රශ්න වලට උත්තර සහ තාත්තා නිරෝගී බවට හැරවීමේ පිළියම ඇත්තේ එහිම බව ලීලා තරයේ ම විශ්වාස කළාය. එදින රූ හැමෝම නින්දට ගිය පසු එහි ගොස් සොයා බලන්නට කාලයක් ගත යුතු යැයි ලීලා අදිටන් කරගත්තා ය.